Showing posts with label කෙටි කථා. Show all posts
Showing posts with label කෙටි කථා. Show all posts

හැන්දෑව..!

Thursday, March 22, 2012


හැන්දෑවට ගෙයිං එළියට බහිද්දී අත්තම්මා කියන්නේ ඇඳිරි වැටෙන්ට කලියෙං එන්ට ඕනෙ කියලයි.. ඒත් බෝල ගහන්ට ගත්තහම රවිඳුට හෝ සගයන්ට ඇට කළුවර එනකං ම කළුවර වැටුණු බව දැනෙන්නේ නැත.. පන්දු ඕවර අටෙන් පටං ගන්නා සෙල්ලම ඇඳිරි වැටෙත්ම ටික ටික අඩුවී තනි ඕවරයට බසී..  රවිඳු ගෙදරට එන විට අත්තම්මා ඉන්නේ පෙරමඟ බලා ගෙනය. තාත්තා ගෙතුළ නැතිනම් පමණක් "මොකද කොල්ලෝ මෙච්චර රෑ වුණේ..? " කියා විස්සෝපයෙන් අසයි.. ඒ අත්තම්මා අද නැත.. ඇට කළුවර වැටෙනකම් බෝල ගහන්නට සිටි කොලු රෑන ද අද නැත..


තුෂාරි ත් සමඟ හාද වූ පසු හැන්දෑව රවිඳු ගේ දවසේ ප්‍රියතම කාලය විය. අමතර පංතියෙන් පසු ඈ හමුවී විනාඩි කීපයක් කතා කරන්නට ලැබෙන්නේ ඒ සොඳුරු හැන්දෑවේය. කලාතුරකින් පංතියක් නොපැවැත්වුණු දිනක වැඩි වේලාවක් ඇය හා සතුටු වන්නට ලැබෙයි. ඒ ගැන රවිඳුට නෝක්කාඩුවක් තිබුණේ නැත.. දැං අමතර පංති නැත.. තුෂාරී රවිඳුට අයිති නැත..


වාසිටියේ දී හැන්දෑව කොයි තරම් සොඳුරු දැයි තේරුම් ගැනීමට අටුවා, ටීකා, ටිප්පණි අවැසි නැත. සේපාලිකා රවිඳු ට කැමැත්ත දුන්නේ ද එවන් හැන්දෑවක ය.. ඈ රවිඳුගේ අත අල්ලගෙන කප්පරක් සිහින ගොනු කරමින් ආදරය කළ හැන්දෑවන් ගණන රවිඳුට මතක නැත. දැන් රවිඳු වත් සේපාලිකා වත් වාසිටියේ ද නැත.. සේපාලිකා තුළ සිටි අහිංසකාවියත් අද නැත...


කලාතුරකින් නිවාඩු දොහක හැන්දෑවට එකතු වෙන යාළුවොත් එක්ක මධුවිත තොල ගාමින් ගීයක් මිමිනූ අයුරු සොඳුරු මතක මවයි.. එවන් වූ දිනක හිතේ යම් දුකක්, ගැහැටක්, සංකාවක් ඇත් නම් එය පහව ගිය බව රවිඳුට සිහි වේ. අද රවිඳු මධුවිත තොල ගාන්නෙත් නැත. එසේ නොවුණත් එකතු වෙන්නට යාළුවොත් නැත..
රවිඳු හා හා පුරා කියා රස්සාවට ගිහිං ගෙදර ආපු හැන්දෑව හැබෑවටම සුන්දරය. උදේ ගෙදරින් ගියාටත් වඩා ප්‍රබෝධයෙන් එදා නිවසට ආ හැටි ඔහුට මතකය. එදා බස් රථයේ තෙරපීමෙන් හෝ ඔහුට තෙහෙට්ටුවක් දැනුණේ නැත. ඒ සැහැල්ලුව, ප්‍රබෝධය අද නැත. වෙහෙස, තෙහෙට්ටුව පමණක් ඇත..


කිසිවක් ස්ථිර නැත. හැන්දෑව අපට දැනෙන විදිහත් ස්ථිර නැත.. !


පිංතූරෙ ගත්තේ මෙතැනින්..

තරු

Wednesday, November 2, 2011

බ්ලොග්වල, මූනු පොතේ ලියපු තමන්ගෙ නිර්මාණ සයිබරයෙන් එ...

Tuesday, October 25, 2011

ඉස්සර හිතට දුකක්... සතුටක්... ආවම අපි අහුවෙන කොල කෑල්ලක පොතක පිටිපස්සෙ ඔහේ කුරුටුගෑව...
මතකද...

සමහර වෙලාවට ඒව දකින්නෙ අපිම විතරයි...ඕනෙනම් ඉස්කෝලෙ .. පන්තියෙ.. අල්ලපු ඩෙස් එකේ යාලුව දකීවි...

වැඩිම උනොත් බිත්ති පුවත්පතට යාවි.....

ඒත් දවස් කීයකටද... ..

සමහර වෙලාවට  කොලකෑලිවල පොත් පිටිපස්සෙ ලියපු ඒව  ගේ අතුගාගෙන  යනකොට අපිටම ආයෙ අහුවෙලා  නැද්ද... ??

කාඩ් බෝඩ් පෙට්ටි පුරවපු පරණ පොත් බෝතල් පත්තර කාරයට දෙනකොට කාවොකාපු තමන්ම ලියපු පරණ කවියක් කකුල් දෙක මුල වැටිල නැද්ද...

පස්සෙ පස්සෙ අන්තර්ජාලෙ එක එක අඩවි වල... මූනුපොතේ තමන්ගෙ වෝල් එකේ... ගෲපයක වෝල් එකේ...
එහෙමත් නැත්නම්  බ්ලොග් එකක....

ඒවනම් ටිකක් දෙනෙක් දැක්ක...
ලයික් දෙක තුනක් වැටුනාම කමෙට් එක් වැටුනාම.. හිතට එනවා මාර ගැම්මක්...

ඔන්න ඉතිං ලියනව.. ෆේස්බුක් එකේ...  ගූගල් එකේ සවර් පිරෙන්න  කවි.. නිසදැස් ... සින්දු කෙටිකතා... අපිට හිතෙන දේවල්  ඔය හැම ජාතියම

ඒත් මූනුපොතේ වෝල් එකේ දාපු පරණ කවියක් ආයෙ හොයාගන්නෙ කොහොමද......

 අන්තර්ජාලෙ හැමෝටම සමීපත් නෑ...

ඒවගේම අන්තර්ජාලෙ කියන මාහා විසාල  මුහුදෙ අපි පුංචිම පුංචි එක වතුර බින්දුවක් විතරයි...

සයිබරයෙ හිරවුන අපේ නිර්මාණ ඊට ටිකක් එහාටත් ගෙනියමුද...
මොකද කියන්නෙ....

කැමතිනම් මෙන්න හැමෝටම අවස්තාව......  බ්ලොග් ලියන කියවන හැමෝටම....


                



ඔබේ අපේ නිර්මාණ වලටම එලිදකින පත්තරයක්...

මාසෙට කලාප දෙකක් එලියට දාන්න තමයි අදහස.....

මංගල කලාපෙ ලගදීම ....

තමන්ගෙ නමින්.. එහෙමත් නැතිනම් බ්ලොග් අඩවියේ නමින් පින්තූරයක් ඇතුව නැතුව... තමන්ට කැමති විදියකට... කැමතිනම් ඕනෙ කෙනෙක්ට පුලුවන් වියමනත් එක්ක එකතුවෙන්න...

ඔබේ අතින්ම වියූ හොඳම අකුරු සහ ලස්සනම වචන...
අපට එවන්න ඕන මෙහෙමයි..

 
අපිට ඊ මේල් කරනවානම් viyamana.art@gmail.com

  අපේ 'වියමන' face book group එකේ wall එකේ දාන්නත් පුලුවන්

   එහෙමත් නැත්නම්   'ප්‍රවිෂ්ඨ' ප්‍රකාශන, 199/ඒ, ඔරුතොට, ගම්පහ, ශ්‍රී   ලංකාව, ලිපිනයට තැපෑලෙන් එවන්නත් පුලුවන්...



                        හොඳම අකුරුවලින්
                        ලස්සනම වචනවලින්
               නිදහස් කරගන්න කාලය ඇවිත්
                       හිත පුරාවට පිරුණු
                             ආදරණීයම
                               හැ ඟී ම්. . .
                 මගේ ආදරණීය නොරිකෝ෴

        
  

අවසන් හුස්ම . . .

Tuesday, October 11, 2011



ඒක මහ පාලු මූසල ගඳ ගහන තැනක් . මම කාටවත්ම දොස් කියන්නේ නෑ මේ තැන මට උරුම වුණු එක ගැන .අපේ අම්මා හරි අහිංසකයි . හිත හොද ගෑනි හැමදාම බඩින් කියන කතාවට මම එකඟ වුණේ ඒ නිසාම නම් නෙවෙයි . මොකද ඒක අම්මගේ වරදක්ම නොවුන නිසා . එතනදි අම්මාගේ වරද  වුණේ ගැහැනියක් වීම විතරයි කියලයි මට හිතුනේ . මගේ තාත්තව මම කොයිතරම් දැකගන්න ආසවුණත් ඇහැටවත් දැකලා තිබුණේ නෑ . මට මතකයි පුංචි කාලේ මම අම්මගෙන් තණේ එල්ලිලා කිරි බොනගමන් අහනවා " අම්මේ කෝ තාත්තා " කියලා . ඒ අහන ගමන් මම ඇස් දෙක උස්සගෙන බලන් ඉන්නවා දැං කියයි දැං කියයි කියලා . ඒත් හැමදාම එයා මාව ඉඹලා ඔළුව පැත්තකට හරවගන්නවා . කවදාවත් මට ඒකට උත්තර හම්බුනේ නෑ . සමහර විට එයාටත් මතක නැතුව ඇති . මට කවදාවත් ඔය ප්‍රශ්නෙන් මිදෙන්න බැරිවුණා . මම කලේ ඔය ප්‍රශ්නෙන් හැංගෙන එක .

පොඩිකාලේ ඉඳලම හැමෝගෙන්ම අඩන්තේට්ටම් වෙන්න වුණු නිසා මම හිටියේ ඒ හැමෝගෙන්ම ඈත්වෙලා . මට මතකයි කිරිබොන්න ගියත් නැමෝම මාව පෙරලගෙන ගිහින් කිරිබොනවා . ටික ටික මට හැමදෙයක් ගැනම තිබ්බ ආසාව නැතිවුණා . හැමෝම කාල බීලා ඉවරවෙනකන් ඉන්න මම අන්තිමට ඉතුරුවෙලා තියෙන මොනවා හරි කාල බඩ පුරෝගන්නවා . අපේ පවුලේ මම බාලයලු . හැමෝම මට එහෙමයි සැලකුවේ . සමහරවිට මම ටිකක් ඔතෑනි නිසාත් ඇඟපතින් වැඩි උස මහතක් නැතිනිසාත් වෙන්න ඇති . සමහරු මාව නෝන්ජලයෙක් කියලා පැත්තකට කළා .

ඔය අතරේ දවසක් මම අපේ ලොකු අයියගේ බත් එකෙන් බත් චුට්ටක් කන්න ගියා කියලා එයාට හොඳටෝම තරහගියා . මාත් එක්ක රංඩු ඇල්ලුවා . හැමෝම එක පැත්තකට වුණා . මම තනිවුණා .මාව මගේම උන් පෙරලගෙන කන්න ගත්තා . මම බේරෙන්න එහේ මෙහේ හැමතැනකම දිවුවා . හුන්ඩුවක් වගේ මිදුලේ මට දුවාගන්න බැරිවුණා . අන්තිමට අපිව නවත්තන්න අපිව බලාගත්ත මාමට බට්ටෝ දාන්න සිද්ද වුණා . බට්ටෝ සද්දෙට හැමෝම සීසීකඩ දිවුවා . ඒ වෙනකොට මගේ කකුල දරුණු විදියට තුවාල වෙලා . මට නැගිට ගන්නවත් බැරි තරම් තදට දත් පාර වැදිලා තිබුණා . ඒක අපේ ලොකු අයියගේ කියලා මම හොඳටම දන්නවා . මම යාන්තන් අද්ද අද්ද නැගිටින්න හදනකොට අපිව බලාගත්ත මාම ඇවිත් මාව උස්සලා වාහනේකට දාගත්තා . 

ඒකට කියන්නේ ත්‍රීවීල් එකලු . මට වටින් ගොඩින් කතාවෙන් තේරුනේ . මම ඒකේ බිම දිගාවෙලා හිටියේ . හයියෙන් එහෙමෙහෙ යන දේවල් දිහා මම හරි බයෙන් බලාගෙන හිටියා . ඒ හැමදේකම මට ලොකු අමුත්තක් දැනුනා . ඒ එකකටවත් කියන්නේ මොකද්ද කියලා මම දැනගෙන හිටියේ නෑ . මම ඔහේ බලාගෙන හිටියා . මම තුවාලෙන් දැනුන වේදනාවටත් වඩා ඒ දේවල් වලට බයවෙලා හිටියේ . ටිකකින් අපි ගිය වාහනේ නැවැත්තුවා . ඒක අපේ ගේ වගේ නෙවෙයි . හරි විසාල තැනක් .
අපේ ජාතියේ අය ගොඩක් ලස්සන ලස්සන පටි දාගෙන ඉන්නවා මම දැක්කා . ලස්සන ලස්සන කොන්ඩ දාපු ගෑනු ළමයිනුත් ඉන්නවා දැක්කා . හැරිලා බලන්න කොයිතරම් හිත කිව්වත් ගතේ ඒහැටි වාරුවක් තිබුනේ නෑ . ඒකලු මෙහේ තියෙන හොඳම ඉස්පිරිතාලේ  . ඒක මම දන්නේ පස්සේ . මාව අරන් ගිහින් තිබ්බා ඇඳක් උඩ . 

 " කෝ ඔය රෙද්දක් දාලා තියන්න . ඕගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනෙද . . . ? "

 මිසී කෙනෙක් මහ හයියෙන් කෑගැහුවා . කොයිතරන් අමාරුවක් , හදිස්සියක් උනත් ඒගොල්ලෝ ඉතින් නීතියටනේ වැඩ . මාව ආයෙමත් උස්සලා ඇඳට රෙද්දක් දාලා ආපහු ඒකෙන් තිබ්බා .  කෑගහලා කියන්න හිතුනා අනේ දෙයියනේ මට රිදෙනවා කියලා . ඒත් කටින් ඒ වචන පිටවුනේ නෑ . කොයිතරම් රිදුම් දුන්නත් මම කරන්න දෙයක් නැතිකමට ඉවසගෙන හිටියා .  ඒ අතරේ මට දැනුනා කවුදෝ කෙනෙක් හරි හදිස්සියෙන් මොනවදෝ කරනවා . මම හැරිලා බලන්න හදත්දි එතන හිටපු මිසී මාව හයියෙන් ඇඳට තියලා තද කළා . ඒක මට තුවාලෙට වඩා රිදුනා . කටුවක් කකුල ඇතුලටම කිඳාබහිනවා දැනුනා . හැමදේම කැරකෙන්න ගත්තා . නිලංකාරවුණා . හැමදේම ඉවරයි . මට දැනුනා . . . මට මතක එච්චරයි .
ටිකවෙලාවකින් බලද්දි මාව එක්කන් ආපු මාමා මගේ ඔළුව අතගගා හිටියා . එතකොටයි මට තේරුම්ගියේ මම මෙච්චරවෙලා සිහිනැතිකරලා ඉඳලා තියෙන්නේ කියලා . මගේ ඇඟට මොකද්දෝ කට්ටක් ගහලා තිබුණා . ඒකෙන් මොනවදෝ වතුරක් බින්දු බින්දු මගේ ඇඟට කාන්දුවුණා . ලොකු සුදු ඇඳුමක් දාගත්ත කෙනෙක් මගේ ලඟට ඇවිත් මා දිහා බලලා " දැන් හොඳයි , ඉක්මනට ගෙදර ගියෑකි " කියලා කිව්වා . මට ඒ නෝනට ස්තූති කරන්න ඕනේ වුණා . ඒත් එක වචනයක් පිට කරන්නත් කලියෙන් මාව එක්කන් ආපු මාමා බොහොම ස්තූතියි ඩොක්ටර් කිව්වා . මට ඕනේ වුනේ එහෙම නෙවෙයි . මං වෙනුවෙන් කරපු උපකාරේට කඳුළු පුරෝගෙන පිංදෙන්නයි මට ඕනේ වුනේ . මම හිටියේ ඒතරමට කියාගන්න බැරිතරම් වේදනාවකින් . ඒ වේදනාව නැතිකරපු දොස්තර නෝනව මට පෙනුනේ දෙවිකෙනෙක් වගෙයි . මගේ කකුල තදට වෙලලා තිබුණා . මම නැගිටින්න හැදුවට තවමත් මට වාරුවක් නෑ . ඇඟට පන නැ . තොල කට වේලිලා තිබුණා . අමාරුවෙන් කට ඇරලා දිව එලියට දාපුවහම ඒ දැකලා ඒ දොස්තර නෝනා මොකද්ද බටේකින් මගේ කටට වතුර වගයක් විද්දා . හරි තිත්තයි . ඒත් මොනවා කරන්නද . පිපාසෙට මම සේරම බිව්වා .

අපි ගෙදර එනකොට හොඳටම ඇඳිරි වැටිලා . මට හිතුනා මගේ ජීවිතෙත් මොනතරම් අඳුරුවෙලාද කියලා . මාව උස්සගෙන ගිහින් කෙලවරේම තිබුණු කාමරයකින් තිබ්බා . මට ඇහුනා එක එක්කෙනා එක එක කතා කියනවා . මට ඒ එකකටවත් උත්තර දෙන්න කිසිම වුවමනාවක් තිබ්බේ නැ . ලොකු අයියා මාව දැකලා බිම බලාගත්තා මිසක් මා දිහා බැලුවේවත් නෑ . මම එතනින් එහාට හිතන්න ගියේ නැ . රිදෙන හිත වාකුල් කරගෙන මම නිහඬවම පැත්තකට වුණා . ඇඟේ අමාරුවටද කොහෙද මට වැටිච්ච තැන එහෙම්මම නින්ද ගියා . මම හීනෙන් එක එක දේවල් දැක්කා . මම ඇහැරෙද්දි දැක්කා අම්මා මම දිහා බලාන ඉඳලා යන්න හදනවා . මට කියන්න හිතුනා අම්මේ පොඩ්ඩක් මගේ ලඟට වෙලා ඉන්න කියලා . ඒත් මම එයාගේ අලුත් ස්වාමිපුර්ශයාව දැක්ක හැටියම ඒ වචන ටික ආපහු ගිලගත්තා .

ඔහොම ටික කාලෙකින් මගේ කකුල හොඳවුණා . ඒත් තුවාල වුණු කකුල අනිත් ඒවට වඩා ටිකක් කොටයි කියලා මට ඇවිදිද්දි තේරුණා . මම ඒ ගැන හිතන්න ගියේ නෑ . මම හැමෝගෙන්ම ඈත්වුණා . ඔහොම කලක් යනකොට අපේ පවුලෙන් ඉතුරුවෙලා හිටියේ මමයි අම්මයි විතරයි . අනිත් හැමෝවම එක එක්කෙනා හදාගන්න අරන් ගිහින්ලු . මට තවත් මහා පාලුවක් දැනුන . මම අම්මා දිහා සමහරදාට ඔහේ බලන් ඉන්නවා . ඒත් කවදාවත් එයා මා එක්ක වචනයක්වත් කතාකලේ නෑ . 

දවසක් අපිව බලාගත්ත මාමා අපි හිටපු තැනට ගැටිස්සියෙක් ගෙනල්ල තිබුණා . ඇත්ත , මමත් හොරෙන් වරු ගනන් බලාන උන්නා . මාමා මට එයා ඉන්න පැත්තපලාතට යන්න දුන්නේ නෑ . දවසක් දෙකක් මාව ගැටගහලත් තිබ්බා . මට ලොකු දුකක් දැනුනා . මම ආයේ එයා දිහා බලන්න ගියේ නෑ . ටික දවසක් යද්දි අම්මා පේන්න හිටියේ නෑ . මට පස්සේ තේරුනේ අම්මගේ තැන පුරවන්න තමයි ඒ ගැටිස්සි ඇවිත් තියෙන්නේ කියලා . මම අම්මව හැමතැනම පිස්සු හැදුනු ගානට හෙව්වා . මම අම්මේ කියලා කෑ ගහලා අඬගැහුවා . ඒත් එයා ආවේ නෑ . මම දවස් ගානක් හැමතැනම කෑගගහ හෙවුවා . මම අම්මව බැලුවේ නෑ නේද කියලා මගේ හිතට ලොකු පසුතැවීමක් දැනෙන්න ගත්තා . 

" මූ නිකන් කකා බිබී ඉන්නවා මෙලෝ වැඩකට ඇති එකෙක් නෙවෙයි . අඩුම තරමේ රෑට නිදියන එක නිදියන්න දීපන් . ඒත් නෑ. වදකාරයා . "  

දවසක් රෑ මාමා මම කෑගහන සද්දෙට මට හොඳටෝම ගහලා ගේට්ටුවෙන් එළියට දැම්මා . මම නොදුටු නුපුරුදු ලෝකෙක තනිවුණා . සමහරදේට මම ගොඩාක් බයවුණා. නොදන්න පාරවල් දිගේ මම ඔහේ ඇවිදගෙන ගියා . සමහරුන්ව දකිද්දි මම ගොඩාක් ඈතින් ගියේ . ඒ අය මාව දකින්න , මම එනවට අකමැතියි කියලා මට දැනුනා . සමහරු නම් මට ගොඩාක් අනුකම්පා කළා . තවත් සමහරු මාව දැක්ක තැන එලෝගත්තා . මම ඉබාගාතේ ඔහොම යනකොට හදිසියේම දැක්කා කවුදෝ පාරේ වැටිලා ඉන්නවා . කාටමුත් කරදරයක් නේද කියලා මම කොරගගහා දුවගෙන ගියා . ටික ටික ලංවෙනකොට මම දැක්ක දෙයින් මට ඇස් අදහාගන්න බැරිවුණා . දෙයියනේ අම්මා නේද . මගේ ඇස්වලට කඳුළු පිරුණා . අම්මගේ හෝපොතුගැහුණු බඩ දිහා මම බලාගෙන හිටියා . කඳුළු දෝරේගියා . මට කෑගැහුන . මම අම්මව ඉඹගෙන ඉඹගෙන ගියා . වැඩිවෙලාවක් ඉන්න හම්බුනේ නෑ . මගේ බෙල්ලට තොන්ඩුවක් වැටුණා. මම බේරෙන්න දැඟලුවා . ඒ තොන්ඩුව මගේ කටත් වහගෙනයි වැටිලා තිබුනේ . උදවු ඉල්ලන්න කෑගැහුවත් එකවචනයක්වත් පිටවුනේ නෑ . ඒ එක්කම කට්ටක් මගේ ඇඟට කිඳාබැස්සා මට තේරුණා . ටික ටික මගේ බෙල්ලට තදවුණු පටිය ලිහිල්වුනා . ඈතට දුවල හැංගෙන්න ඕනේ වුණත් දුවගන්න බැරිවුණා . හැමදේම කැරකෙන්න පටන් ගත්තා . බොඳවෙලා ගියා . වාකුල් නැති කකුල් මාව අම්මා ලඟම ඇද්ගෙන වැට්ටුවා . මම අම්මා දිහා ඔහේ බලාගෙන හිටියා . " මේ ලෝකේ අපේ නෙමේ අම්මේ . අපි ගොඩක් පවු කරලා ඇති . " මම ලොකු හුස්මකින් මගේ කතාව අහසට පාකළා . මම හිතුවේ නෑ හීනෙකින්වත් ඒ හුස්ම මගේ අවසන් හුස්ම වෙයි කියලා . . .

විරහව

Thursday, September 8, 2011

රන් තරු යුවලක්

Thursday, July 14, 2011


සඳ බැස යමින් තිබුනා.....


සුමුදු වැලි තලාව මතින් සුදෝ සුදු පෙණ කැටි දඟ කරද්දි ඇය වෙරලේ ඈත කොනෙකින් මතු වුන ඔහු දෙස බලා සිටියේ ගැහෙන හදින්.. රිදී පැහැ ගත් ඔහුගේ රන්වන් වත මඩල ඇගේ සිතට ලබාදුන්නේ සිසිලසක්. ඇත්තටම මේ ඔහුමද? සීතලෙන් ගැහෙමින් තිබුන ඇගේ එක් අතක් ඇයටත් නොදැනුවත්ව ඇගේ අතේ තිබුන කුඩා මල්ල දෙසට දිව ගියේ සු‍රැකිව තබා තිබුන ඒ මතකය තවමත් සු‍රැකිව තිබේදැයි බලන්නට මෙනි.


තවමත් සඳ බැස යමින් තිබුනා,..


තරු කැටිති එක දෙක එබී බලමින් තිබුනේ සඳේ එලිය අඩු වෙන ලෝකය එලිය කරන්නට හැකි දායකත්වය ලබා දෙන්නට වගෙයි. ඈත අහසේ දිලිසෙන එක දීප්තිමත් පුංචි තරුවක් ලඟ ඇගේ දෙනෙත් නතර වුනේ නොදැනුවත්වම... සඳ නැති වුනත් ඒ තරුව කොතරම් සුන්දරද? විටෙන් විට එලිය අඩු වැඩි වෙමින් දිලිසෙන ඒ තරුව ජීවි වස්තුවක් වගේ ඇගේ නෙත් මානේ දඟ කරන්නට පටන් ගත්තා.

දවල් දුටු සිහිනය!!!!!

Monday, June 27, 2011
ගෙදර ඉස්සරහාම  ලොකු සුදු කොඩියක්... ඇයි මේ???  අනේ මංදා... හ්ම්ම්ම්... වෙනදට උවමනාවත විතරක් අපේ ගෙදරට එන අය අද මේ මොකද ගේට්ටුව ඉස්සරහම ලොකු කතාවක? අහන්නත් බෑ. අනේ මංදා. අනේ මෙන්න වැඩක්, මගේ යාලුවො ඔක්කොම ඇවිත්.. අවුරුදු ගානකින් කට්ටිය ඔක්කොම අපේ ගෙදර ඇවිත්, සමහර අය මගේ මූනවත් බලන් නැති අය. ඇයි මේ?? ආහ්, මේ මොකද?? මගේ ලගටම ඇවිත් මාව දැක්කෙ නෑ වගෙ හැරිලා ගියා අර පිස්සා.මෙන්න බොලේ වැස්සකට වත් අපේ ගෙදර ආපු නැති එකෙකුත් ඇවිත් ගාලු සෙනග ඔක්කොම ඇවිත්. මොකක් හරි අවුලක් වෙලා.


ගේට්ටුවෙන් ඇතුලට යනකොටම දිගටම ලස්සනට ගොක් කොල සැරසිලි කරලා.හ්ම්ම්ම්ම්.. දානෙකට පිරිතකට අපේ ගෙදර අය අත දිගෑරලා වියදන් කරාට, දෙයියනේ මේ තරන්??? හ්ම්ම්ම්ම්... බය හිතෙනවා. මළ ගෙදරක්, මට දැනෙනවා.. වෙලා තියෙන්නෙ හොද දෙයක් නෙවී. ඒත් කවුද මැරිලා ඉන්නෙ?? හිත ගැස්සෙනවා. 
අක්කි?? අක්කිත් හදිස්සියෙම ඇවිත්, මං දන්නෙත් නෑ. හැමෝම ඇවිත්ද? ඇයි කවුරුත් මට මුකුත් කියන්නෙ නැත්තෙ. හැමෝම අහක බලාගෙන යනවා. මාව ගනන් ගන්නෙවත් නෑ.. කවුද දෙයියනේ මැරුනේ?? අනේ මට කියන්න??


හැමෝම ඇවිත්, දානෙකට මගුලකට විතරක් එකතු වෙන අය හැමොම ඇවිත්. චූටි කෙල්ල ඇවිදිනවා. අනේ ආසාවෙ බෑ, දුවලා ගිහින් වඩා ගන්න හිතෙනවා, ඒත් ඊට වඩා හිත ගැහෙනවා. කවුද දෙයියනේ මැරුනෙ?? මට කියන්නකො??? කවුරුත් ඇයි මාව ගනන් ගන්නෙ ඇත්තෙ??හ්ම්ම්ම්ම්... මොකක් හරි ප්‍රශ්නයක්, තේරෙන්නෙ නෑ ඔලුව අවුල් වෙනවා. 


ගේ ඇතුලෙත් ඔක්කොම අස් කරලා, වෙනදට සාලෙ පිරෙන්න තියන මේස පුටු අද එකක් වත් නෑ..හැම දේම වෙනස් වෙලා... හ්ම්ම්ම්ම්... අම්ම කෝ??? ගිහින් බලන්න ඕන කාමරේට. අනේ ඇයි මේ අම්ම අඩන්නෙ?? අක්කා, අක්කි, ඇන්ටි ඔක්කොමලා ඇයි මේ අඩන්නෙ?? අහ්, වෙලාව රෑ 7යි. "ඔන්න දැන් ගේනවලු" කවුදෝ ඇවිත් කියුවා. කාගෙන් අහන්නද මං???අනෙ මංදා. මේ ලෝකෙ මං ආසම නැති දේ, අම්මා අඩන එක, ඒත් දෛයනෙ අද මට ඇඩෙන්නෙ නැත්තෙ ඇයි??? හ්ම්ම්ම්ම්... ඔන්න ආවා වාහන පේලියක්. මට මේක බලාගන්නකන් ඉන්න වෙනවා.කවුරුත් මට කියන්නෙ නෑ ඒ කියන්නෙ? හරි බලමුකො.. එයාලට කොඉ වෙලෙ හරි මට කියන්නම වෙනව නෙ...




ලස්සන ලොකු ඇත් දල දෙකක් උස්සන් ඇවිත් තිව්වා. උඩුවියන්, සාලෙ මැදින් තියලා,හැම දේම හරි ලොකූ කෑගැහිල්ලක් මැදින් ලස්සනට කැටයම් කරපු මිණි පෙට්ටියක් ගෙනත් තිව්වා. ලස්සනයි. අයියා, මේ තරන් අඩන්නෙ ඇයි??? පවුලෙ හැමොම මෙතන ඉන්නකොට් කවුද මේ මැරිලා ඉන්නෙ? හිතා ගන්නත් බෑ. 
හෙමීට හෙමීට ඒ පෙට්ටියෙ පලු 2 ඇරියා. දෙවියනෙ. 


ලස්සන සාරියක් ඇදන් එතන ඉන්නෙ මම නේද?????

(මගේ කලින් බ්ලොග් එකක දාපු පෝස්ට් එකක්. අද මෙ නික්මට වගෙ ඒකට ගියාම දැක්කෙ. මේක නිකන්ම නිකන් හිතුන දෙයක් විතරයි.. ඒ වෙලාවෙ මගේ හිතේ මොනව තිබුනද කියලා නං අද මතකයි නෑ. ඒ තරන් ගොඩක් පරණයිද කොහෙදෝ මේක. අනේ මංදා.)

නිදුකින් ඔබ උන්නාවේ.........

Friday, June 24, 2011


නිදුකින්


 ඔබ 


උන්නාවේ.........


ඉර ගැස්සිලා ගැස්සිලා මුහුදේ ගිලිලා නොපෙනීම යන්න ගියා.මොහොතකට කලින් නේක වර්ණයෙන් පිරිලා තිබ්බ අහස කළුවර වෙලා.
හරියටම මගේ ලෝකේ වගේ.
මලිති යන්න ගියේ මගේ ආදරයත්,ඒ ආදරය වටා එක් වෙලා තිබුන බලාපොරොත්තු කන්දරාවත් හදවතෙන් ගලවලා දාලා.
පිරිමි අපට බලාපොරොත්තු බිඳිලා ගියාම හිත ආපහු යම් තරමකට හරි හදාගන්න කම් එක එක දේවල් වල පිහිට පතන්න වෙනවා.
 ඒත් ගැහැණුන්ට එහෙම නැහැ.ඒක ස්වභාවයෙන්ම ගැහැණුන්ට ලැබිලා තියන දායාදයක්.ඒකම තමයි එයාලා කෙනෙක්ගෙන් වෙන්වෙන්න පාවිච්චි කරන්නෙත්.
"අය්යෙ මලිති ඔයාට එන්න කියලා පණිවිඩයක් එවලා තිබුනා.හෙට හවසට...,තොටුපලට."
අපේ ආදරයට දර දිය අදින වරුණිකා නංගි ඇවිත් වට පිට බල බලා කිව්වෙ කවුරු හරි පේන්න ඉන්නවද කියලා වෙන්නැති.
"හෙට...?"

මගේ හිතේ ඇඳිලා ගියේ ප්‍රශ්ණාර්ථයක් .ඒක මුහුණෙනුත් පෙනෙන්න ඇති.
"ඇයි අය්යෙ..?
වරුණිත් නොදන්නවා වගේ අහන හැටි.ගෑණු ඔහොමම තමයි,දන්න දේත් නොදන්නවා වගේ ඉන්න දන්නෙම නෑනෙ.
"හෙටනෙ වරුණි මලිති ගෙ මස්සිනා එන්නෙ රට ඉඳන්,ඒ මනුස්සයා එන්නෙ එයාව කසාද බඳින්න බලාගන.කොහොමද මලිති හෙට එන්නෙ මාව මුන ගැහෙන්න..?"

"විහිලු නෙවෙයි අය්යෙ ඔයා මොකද ඉතින් කරන්නෙ?ඔයාට පුලුවන්ද එයා මලිතිව බැඳලා අරගන යනවා බලන් ඉන්න...?"
"තාම රස්සාවක් නැතුව ඉන්න මම කොහොමද නංගි මලිතිව ගෙනත් එයාගෙ අඩුපාඩු හොයලාවත් බලන්නෙ?බලමු ...!"

මම යත්දිත් මලිති ඇවිත්.
"ගොඩාක් වෙලාද ඇවිත් ඔයා?"
"නැහැ ..ටික වෙලාවයි..."
නිහඬ නිමේෂ දහයක් පහලවක් එක ලඟම ගත වෙලා ගියා.දෙන්නගෙන් කාටවත්ම කතා කරගන්න දෙයක් නැතුවද නැත්නම් විදියක් නැතුවද කියන එක උත්තර නැති ප්‍රශ්ණයක්.

"අපිට මොකද වෙන්නෙ මලිති?"
අන්තිමේ මම නිහඬතාවය බින්ඳා.
ලොකු කඳුලු බින්ඳු දෙකක් ඇස් වල පුරවා ගත්තු මලිති ඒවා වැටෙන්න කලින් මා දිහාට හරුනා.
"මට සමාවෙන්න අය්යෙ..!"
"අසීමාන්තිකව ඔයාට දෙන්න මා ගාව තියෙන්නෙත් එච්චරයි නංගි...!"
අඩි දෙක තුනක පරතරය පැය ගානක් අරගන ලං වෙච්චි මලිති නුහුරු කමකින් වගේ මගෙ අත අල්ල ගත්තා.

"නාස්ති වෙන්නෙ නැහැ කියලා පොරොන්දු වෙන්න...!"
කිසිම හැලහොල්මනකට පස්සෙ ගෙවිච්ච කල්පෙකට පස්සෙ මට කියාගන්න පුලුවන් උනේ මෙච්චරයි.
"ඔයා සතුටින් ඉන්න නංගි.."
ඉකිය වාවගන්න බැරිව මලිති දුවලා ගියා.පස්සෙන් වෙනදා වගේ දුවලා යන්න ඕන වුනත් මම ආයාසයෙන් කකුල් දෙක අත් දෙකින් අල්ලගන උන්නා.
හේතුවක් අරමුණක් නැතුව දවස් ගෙවුනා.
දවසක් වරුනිකා දුවගෙන ආවා ලොකූ කලබලයකින්.හරියට ලෝකෙ එයාගෙ ඔලුව උඩින් පෙරලෙන්න එනව වගේ.
"අය්යෙ මලිතිට ඔයාව වතාවක් බලාගන්න ඕනලු..!"
මට හිනා ආවා.
"නංගි මලිති බැඳලනෙ.මම ඔය අතරට තුන් වෙනියෙක් වෙන්නෑ..ඔයා ගිහින් මලිතිට ඒක කියන්න.."
"ඔයා ඇත්ත දන්නවා නම් ඔයකතාව කියන්නෙ නැහැ...!"
"මොකක්ද ඔය කියන භයානක ඇත්ත...?"
"මලිතිගෙ කිඩ්නි නරක් වෙලාලු...එයාට ගැලපෙන කිඩ්නි එකක් තාම හම්බවෙලා නැහැ...!"
පෘථිවියෙ භ්‍රමන වේගය එකපාරටම වැඩි වුනා වගේ මට දැණුනෙ.
"නංගි යන්න මම එන්නම්.....!"
මම ගියේ මලිතිට වෙදකම් කල වෛද්‍යවරයාව මුණගැහෙන්න.
"ඩොක්ටර් මට පුලුවන්ද අර වකුගඩුවක් ඕන කරන පේෂන්ට් ගෙ හස්බන්ඩ් ට කතාකරන්න.."
"පුලුවන්,ඒත් ඔයාගෙ කිඩ්නි එක ගැලපේවිද එයාට...?"
"අපි දෙන්නටම තියෙන්නෙ එකම බ්ලඩ් ගෲප් එක..!"
ඔහු මට පොරොන්දු වුනා කවමදාවත් මලිතිට කියන්නෙ නැහැ කියලා ,එයාට වකුගඩුව දීපු කෙනා ගැන.
සැත්කම සාර්තකව සිද්ධ වුනා.
මම රෝහලෙන් පිට වෙන්න කලින් නිදාඋන්නු මලිතිගෙ මුහුණ බලාගත්තා,ඒ අවසාන වතාවට කියලා මගේ හිතටම මම අවධාරනය කලා.
දැන් දවස් කීපයක ඉඳන් මලිති මගේ ජංගම දුරකතනයට ඇමතුම් ගන්නවා.එයාගෙ ස්වාමියා මට දීපු පොරොන්දුව කඩලා වගේ.
ආයෙත් වතාවක් දුරකතනය නාද වෙනවා.
'වෙන කරන්න දෙයක් නැහැ මලිති...සමාවෙන්න.'
සිම් පත දුරකතනයෙන් ගලවලා මුහුදට වීසි කල මම නැගිට්ටෙ හිත හදාගන.
'ආදරය වෙනුවෙන් කරන කැපකිරීම් වලට ස්තූති කිරීමක් වත්,අගය කිරීමක් වත් අවශ්‍ය නැහැ නංගි'
අපි ආයෙ මුණ ගැහෙන්නෑ.....!






සඳුන් සුවඳමයි ආදරේ....

Sunday, June 19, 2011

බස් නැවතුමේ නවත්වන හයවෙනි බස් එකත් නවත්වලා බහින සේරමත් බැහැලා ගියා.බහින සේරම කියලා කිව්වේ බස් එක නැවතුනාද කියලා දන්නෙ නැතුව තාමත් නිදාගන ඉන්න අය ගැනත් සලකලා.එයාලාව බස්සන්න ඕන.
චතුනි තාමත් නැහැ.
බස් එකක් ඇවිත් අනෙක එන්න විනාඩි දහයක් යනවා.එතකොට දැන් පැයක් තිස්සෙ මම මේ කනුවට බරදීගන ඔරලෝසුවෙ කටු දිහා බලාන ඉන්නවා.කනුවට කතා කරන්න බැරි නිසා හොඳයි.නැත්නම් කනුව මගෙන් අහනවා"මචං මම දැන් උඹට පොඩ්ඩක් හේත්තු වෙන්නද?" කියලා.

ඔරලෝසුව නම් දැන් කොයි වෙලේ හරි නතර වෙනවා,මට දැන් වෝර්නින් දෙක තුනක්ම දීලා තියෙන්නෙ " මට තවත් උඹට කත් අදින්න බැහැ " කියලා.
චෙහ්....කෝල් එකක් ගන්න චතූට ෆෝන් එකකුත් නැහැනෙ.කොහෙද කොච්චර ඇහුවත් "එපා අය්යෙ තියාගන්න විදිහක් නැහැ " ගානවා.
මේ වගේ වෙලාවට තමයි ඒකේ අගය තේරෙන්නෙ.
කුලියට හිඟාකන පොඩි එකා විසිවතාවක් විතර ඇවිත් මදිවෙලාද කොහෙද ආයෙත් ඇවිත්.පලවෙනි වතාවෙ මම ඌට රුපියලක් දුන්නා.ඌ මට රුපියල් විසිපහක ඔරවලා ගියා.

එක අතකින් ඌ සාධාරණයි,ඇයි දැන් රුපියලක් සතයක් වටින්නෙ නැහැනෙ.
අනික් අතින් හරිම අසාධාරණයි,ඔය රුපියල ඌට වගේ අපිට කවුරුවත් නිකන් දෙන්නෙ නැහැනෙ.
චතුනිට මක් වෙලාද යකෝ....?
අද පංති නැතුවා වත්ද? වෙන්න බෑනෙ..මට ඊයෙ කිව්වනෙ අද පංති තියනවා කියලා.හරියට බස් නැති පාරක ඉන්නවා වගේනෙ.
විනාඩි දහයෙන් දහයට බස් එනවා.
ඔන්න මම කිව්ව නම් කමක් නැහැ.දහයාමාරට එන එකේ ආවෙ නැත්නම් අනික තියෙන්නෙ එකයි කාලට.එකොලහේ ඉඳන් මම ස්ටෑන්ඩ් එකේ චාටර්.කෙල්ල වෙලාවට ඇවිත් වෙලාවට යනවා.පොඩ්ඩක් හරි පරක්කු වුනොත් "අනේ අය්යේ... ආයෙ..අපි හම්බවෙනවානෙ..."ගාලා ටිකක් තොඳොල් වෙලා ලිස්සල පනිනවා.අපි පව්.
"ආ..මල්ලියෝ කොහොමද ඉතින්...කෝ අනේ .. ඔයා ලියන ඒවා'.....'පත්තරේ යනවා කිව්වට නෑනේ.මම සති තුනක් ගත්තා ආයෙ නම් ගන්නෙ නැහැ."
හය්යෝ අලි කොටි මදිවට හරක් කිව්වලු.
"න්.නෑඅක්කෙ එයාලගේ පරණ ආව කෙටි කතා ඉවර වුනාට පස්සෙ තමයි මගේ ඒවාට ප්‍රයරිටි එක හම්බවෙන්නෙ..ළඟදීම යනවා අක්කෙ.."
අහ්.. අන්න අන්න චන්ද්‍රිකාව එන බස් එක ආවා.ඒක අල්ලාගත්තානම් පංති ඇති නැති වග දැන ගන්න තිබුනා.
"ම.ල්ලි කොහෙද දුවන්න හදන්නෙ ගෑණු ළමයා වත් එනවද...?"
අප්පෝ අක්ක ඇණයක් වෙන්න හදනවානෙ...වයසේ තරමට මොලේ වැඩිලා නැත්ද මන්දා..?

"ඔ..ඔව්..න්.නෑ අක්කෙ අපි පස්සෙ හම්බවෙමුද...?මට පොඩී වැඩක් තියනවා දැන්"
"හා හා හරි හරි ඕන්න අපි ගියා අනිත්දාට ස්කොලෙදි හම්බවෙමුකෝ අපි..."
බඩුම තමයි... අක්ක දෙයි මට සඳුදාට..සං..වේගීයි.!
ෂෙහ් ඒ අස්සෙ පැන්න නේද චන්ද්‍රිකාව කක්ෂයෙන් එළියට.අටවෙනි බස් එකත් ඇවිත් සෙනග බස්සවලා ගියා.දැන් ඉතින් තවත් ඉන්න එකේ තෙරුමක් නැහැ ..ෂිහ්..අපේ උන් දන්නවානම් 'ස්ටෑන්ඩ් එක අතු පතු ගාලා බලාඋන්නට කෙල්ල ආවෙ නෑ නේ..'කියලා මාව නෝන්ඩි කරයි.කව්ද උන්ට කියන්නෙ..?
යනව යන්න චතුනිට ඕන කුදයක් ගහගන්න කියලා.
ආ.ආ ඔය ආවෙ තව එකක් ..බලනවද ඒකෙත්..? නෑ ඕන්නෑ යනවා යන්න.
චතුනිට ඕන නැත්නම් මට විතරක් මොකටද...?

නොඉවසිලිමත් ඉරිදාවකට පස්සෙ සඳුදා මම ස්කෝලෙට ගියාට මූණෙ තිබුන 'බකුස්'ගතිය ගිහින් තිබුනෙ නැහැ.මම මූණ හංඟගනම උන්නා කතන්දරය එලිවෙයි කියලා.
ටික වෙලාවකින් ටිං ටිං මාටින් දුවගෙන ඇවිත් මට ලියුමක් දික්කලා.
"කාගෙන්ද බං.?"
"කාගෙන්ජ? බොගෙ අහවලීගෙන්.බොට සෙනසුරාදා කට්ට කන්න වෙලා මල පැනලා ඇති කියලා අරෙහෙ ඇඬූකඳුලෙන් ඉන්නෙ."

"ඉතින්..?"
"ඉතින්..කියන්නෙ ඔය ලියුම බලලා වෙලා තියෙන්නෙ මොකක්ද කියලා ටිකක් තේරුම් ගනින්.වලිගෙ පාගගෙන දඟලන්නෙ නැතුව..."
ටිං ටිං මාටින් ගියාට පස්සෙ හිමීට ලියුම දිග ඇරියා.
"අය්යේ,ඔයා හිතන දෙයක් වෙලා නැහැ .මම පන්ති එන්න ලෑස්ති වෙනකොට ආච්චි අම්මා ඇහුවා එයාව නාවන්න බැරිද කියලා.ඉතින් මම එයාව නාවලා පන්ති එනකොට ඔයා තරහෙන් යනවා.තරහා වෙන්න එපා අය්යෙ...මම ඔයාට වරදක් කලේ නැහැ කියලා ඔයා දන්නවනේ"

"යකෝ මෙහෙම කියත්දි තරහා වෙන්නෙ කොහොමද ..?"
මට කියවුනාද එහෙම නැත්නම් කිව්වද කියලා තාම හිතාගන්න බැහැ.ඒත් පන්තියෙ සේරම මා දිහා බලාන හය්යෙන් "ඔව් බං"කිව්වා...!







පි‍ටු පෙරලපු ගාන