පිනාගේ කුප්පිය 06 - කොටස් වෙළදපොල ගැන තව දුරටත්

Sunday, October 9, 2011
මේ පොස්ට් එක දාන්න මාසයකටත් වඩා කාලයක් ගත උනාට සමා වෙන්න. මොකද මම ජොබ් එක කරන්නේ කම්පියුටර්  එකක් ලග නෙවෙයි. රට වටේ ඇවිදලා අදයි කාලෙකින් නෙට් එක පැත්තට ආවේ. පහු ගිය සති තුනට කිලෝ මීටර් තුන්දහාස් පන්සීය ගානක් මම ඇවිදලා තිබුනා. ඉතින් කොහොමද බ්ලොග් පොස්ට් දාන්නේ. දැන් මම කලින් දීපු සිලබස් එකෙන් පිට පැනලා යනවා කියලා බනින්න නම්  එපා. මුල්‍ය වාර්තා විශ්ලේෂණය කියන පාඩම අන්තිමටම කරන්න මම තීරණය කළා.  ඒ  වගේම වඩාත්ම ගැටළු එන්නේ මේ පාඩමේ නිසා මහා පාරේ ඉන්න මට මේ දවස් වල  ඒවාට උත්තර දෙන්න ක්‍රමයක් නැති නිසා.  සිංහල බ්ලොග් එකක මේ පාඩම කරනවා මම නම් මිට කලින් දැකලා නෑ. දැන් ඉතින් වැඩි කතා නැතුව වැඩේට බහිමු. කලින් පොස්ට් බලන්න ඕන නම් පිනාගේ කුප්පියේ ඔක්කොම තියනවා.  
.......................................................................................................................................................
කලින් පාඩමේදී අපි කතා කලේ කොටස් වෙළද පොලේ ගනුදෙනු වෙන උපකරණ මොනවද කියලනේ. දැන් අපි බලමු මේ ගනුදෙනු සිද්ද වෙන්නේ කොහොමද කියලා.
අනිත් පොළවල් වගේ කොටස් වෙළද පොලට ගිහිල්ලා මට අර සමාගමෙන් කොටස් 1000 ක් දෙන්න. මේකෙන් ණයකර 5000 ක් දෙන්න කියලා ගන්න බැහැ. එතැනදී අපට සහය වෙන්න වෙනමම පිරිසක් ඉන්නවා. ඒ අය තමයි කොටස් තැරව්කාර සමාගම්. කොටස් වෙලදපොලේ ආයෝජනය කරන්න නම් අනිවාර්යයෙන්ම අපට මේ ආයතනයක් එක්ක සම්බන්ද වෙන්න සිද්ද වෙනවා. මෙතනින් ඒ අයගේ ප්‍රදාන කාර්යාල වල තොරතුරු ලබාගන්න පුළුවන්. ඒ වගේම මේ ආයතන වල ශාඛාවන දිවයින පුරාම විසිරිලා තියන නිසා ඒ ශාඛා කාර්යාලයක් මගිනුත් ඔවුන් එක්ක සම්බන්ද වෙන්න පුළුවන්.  
මේ තැරව්කාර ආයතන මොනවගේ සේවාවන් සපයනවද කියලා අපි දැන් බලමු.
කාට හරි කොටස් වෙලදපොලේ ගනුදෙනු කරන්න නම් අනිවාර්යයෙන්ම ඔහුට හෝ ඇයට මද්‍යම තැන්පතු ක්‍රමයේ එහෙමත් නැත්තම් C .D .S ගිණුමක් තියෙන්නම ඕනේ. ආයෝජකයන් සදහා මේ ගිණුම්  වීවෘත කරලා දීම තැරව්කාර ආයතන වල කාර්යයක්. මිට අමතරව ද්විතියික වෙළදපොල කටයුතු ඒ කියන්නේ ආයෝජකයන් වෙනුවෙන් කොටස් මිලදී ගැනීම විකිණීම. ආයෝජන උපදෙස් ලබාදීම. සමීක්ෂණ වාර්තා පිලියල කිරීම වගේ කටයුතු මේ තැරව් කාර ආයතනයක් මගින් සිදු කරනවා. 
එතකොට මොකක්ද මේ C .D .S .  එහෙමත් නැත්තම් මධ්‍යම තැන්පතු ක්‍රමය කියලා කියන්නේ. මේක 100% ක් ම කොලබ කොටස් වෙළදපොලට හිමිකාරිත්වය පවතින උප සමාගමක්.ආයෝජකයින්ගේ කොටස් වලට හොද ආරක්ෂාවක් වගේම ඒවායේ බාරකාරිත්වය දැරීම තමයි මේකේ ප්‍රදානතම කාර්යබාරය වෙන්නේ. මෙමගින් ගනුදෙනුකරුවන් ලියාපදිංචිය  කොටස් තැන්පත් කිරීම, කොටස් ආපසු ගැනීම, කොටස් පැවරීම, නිෂ්කාශනය, බෙරුම් කිරිම, ගනුදෙනු ලියාපදිංචිය වගේ සේවාවන් සැපයීම සිදුවෙනවා.
කොටස් වෙළද පොලේ විවිද මිල දර්ශකයන් පවතිනවා. ඒ ගැනත් පොඩ්ඩක් කිව්වොත් හොදයි කියලා හිතෙනවා.
පලවෙනි එක තමයි සමස්ත කොටස් මිල දර්ශකය. එහෙමත් නැත්තම් All Share Price Index (A .S .P .I )  මේකෙන් සමස්ත වෙළදපොල ක්‍රියාකාරිත්වය පිළිබද අදහසක් ලබාගන්න පුළුවන්. අද කොටස් වෙළදපොල .94 කින් ඉහල නැග්ගා. අද .5 කින් පහල බැස්සා කියලා කියනවා ඔයාලට ඇහිලා ඇති. ඒ කතා වලට පදනම් වෙන්නේ මෙන්න මේ සමස්ත කොටස් මිල දර්ශකය. මේක පදනම් වර්ෂයකට සාපේක්ෂව ගොඩ නගාපු මිනුම් දණ්ඩක්.
මිලංකා මිල දර්ශකය කියන්නේ වැඩිම ප්‍රාග්දනයක් සහ ද්‍රවශීල තාවයක් ඇති සමාගම් 25 ක ක්‍රියාකාරිත්වය පෙන්වන මිනුම් දණ්ඩක්.
ඒවගේම ආංශික මිල දර්ශක කියන්නේ විවිද අංශ අනුව සමාගම් වල ක්‍රියා කාරිත්වය දක්වන මිනුමක්.
සාර්ථක ආයෝජනයකට වැදගත් වන කරුණු ටිකකින්ම අදට මම මේ පොස්ට් එක ඉවර කරන්න හිතුවා.
  • ආයෝජන විවිදාන්ගිකරණය
  • මද්‍ය සහ දිගුකාලින ආයෝජන සදහා නැබුරු වීම
  • තැරව්කාර උපදෙස් ලබාගැනීම
  • ආයෝජනය සම්බන්ද අවසාන තීරණය තමා විසින් ගැනීම
  • තම ආයෝජනයේ වර්තමාන තත්වය කලින්කලට නිරීක්ෂණය කිරීම
  • ප්‍රතිලාබ ලැබීමේදී සෑහීමට පත්වීම
  • තොරතුරු මුලාශ්‍රයන් රැස්කිරීම සහ පරිශීලනය
  • වෙළදපොල  දැකීමේ හැකියාව වර්දනය කර ගැනීම 

පි‍ටු පෙරලපු ගාන