නිදුකින් ඔබ උන්නාවේ.........

Friday, June 24, 2011


නිදුකින්


 ඔබ 


උන්නාවේ.........


ඉර ගැස්සිලා ගැස්සිලා මුහුදේ ගිලිලා නොපෙනීම යන්න ගියා.මොහොතකට කලින් නේක වර්ණයෙන් පිරිලා තිබ්බ අහස කළුවර වෙලා.
හරියටම මගේ ලෝකේ වගේ.
මලිති යන්න ගියේ මගේ ආදරයත්,ඒ ආදරය වටා එක් වෙලා තිබුන බලාපොරොත්තු කන්දරාවත් හදවතෙන් ගලවලා දාලා.
පිරිමි අපට බලාපොරොත්තු බිඳිලා ගියාම හිත ආපහු යම් තරමකට හරි හදාගන්න කම් එක එක දේවල් වල පිහිට පතන්න වෙනවා.
 ඒත් ගැහැණුන්ට එහෙම නැහැ.ඒක ස්වභාවයෙන්ම ගැහැණුන්ට ලැබිලා තියන දායාදයක්.ඒකම තමයි එයාලා කෙනෙක්ගෙන් වෙන්වෙන්න පාවිච්චි කරන්නෙත්.
"අය්යෙ මලිති ඔයාට එන්න කියලා පණිවිඩයක් එවලා තිබුනා.හෙට හවසට...,තොටුපලට."
අපේ ආදරයට දර දිය අදින වරුණිකා නංගි ඇවිත් වට පිට බල බලා කිව්වෙ කවුරු හරි පේන්න ඉන්නවද කියලා වෙන්නැති.
"හෙට...?"

මගේ හිතේ ඇඳිලා ගියේ ප්‍රශ්ණාර්ථයක් .ඒක මුහුණෙනුත් පෙනෙන්න ඇති.
"ඇයි අය්යෙ..?
වරුණිත් නොදන්නවා වගේ අහන හැටි.ගෑණු ඔහොමම තමයි,දන්න දේත් නොදන්නවා වගේ ඉන්න දන්නෙම නෑනෙ.
"හෙටනෙ වරුණි මලිති ගෙ මස්සිනා එන්නෙ රට ඉඳන්,ඒ මනුස්සයා එන්නෙ එයාව කසාද බඳින්න බලාගන.කොහොමද මලිති හෙට එන්නෙ මාව මුන ගැහෙන්න..?"

"විහිලු නෙවෙයි අය්යෙ ඔයා මොකද ඉතින් කරන්නෙ?ඔයාට පුලුවන්ද එයා මලිතිව බැඳලා අරගන යනවා බලන් ඉන්න...?"
"තාම රස්සාවක් නැතුව ඉන්න මම කොහොමද නංගි මලිතිව ගෙනත් එයාගෙ අඩුපාඩු හොයලාවත් බලන්නෙ?බලමු ...!"

මම යත්දිත් මලිති ඇවිත්.
"ගොඩාක් වෙලාද ඇවිත් ඔයා?"
"නැහැ ..ටික වෙලාවයි..."
නිහඬ නිමේෂ දහයක් පහලවක් එක ලඟම ගත වෙලා ගියා.දෙන්නගෙන් කාටවත්ම කතා කරගන්න දෙයක් නැතුවද නැත්නම් විදියක් නැතුවද කියන එක උත්තර නැති ප්‍රශ්ණයක්.

"අපිට මොකද වෙන්නෙ මලිති?"
අන්තිමේ මම නිහඬතාවය බින්ඳා.
ලොකු කඳුලු බින්ඳු දෙකක් ඇස් වල පුරවා ගත්තු මලිති ඒවා වැටෙන්න කලින් මා දිහාට හරුනා.
"මට සමාවෙන්න අය්යෙ..!"
"අසීමාන්තිකව ඔයාට දෙන්න මා ගාව තියෙන්නෙත් එච්චරයි නංගි...!"
අඩි දෙක තුනක පරතරය පැය ගානක් අරගන ලං වෙච්චි මලිති නුහුරු කමකින් වගේ මගෙ අත අල්ල ගත්තා.

"නාස්ති වෙන්නෙ නැහැ කියලා පොරොන්දු වෙන්න...!"
කිසිම හැලහොල්මනකට පස්සෙ ගෙවිච්ච කල්පෙකට පස්සෙ මට කියාගන්න පුලුවන් උනේ මෙච්චරයි.
"ඔයා සතුටින් ඉන්න නංගි.."
ඉකිය වාවගන්න බැරිව මලිති දුවලා ගියා.පස්සෙන් වෙනදා වගේ දුවලා යන්න ඕන වුනත් මම ආයාසයෙන් කකුල් දෙක අත් දෙකින් අල්ලගන උන්නා.
හේතුවක් අරමුණක් නැතුව දවස් ගෙවුනා.
දවසක් වරුනිකා දුවගෙන ආවා ලොකූ කලබලයකින්.හරියට ලෝකෙ එයාගෙ ඔලුව උඩින් පෙරලෙන්න එනව වගේ.
"අය්යෙ මලිතිට ඔයාව වතාවක් බලාගන්න ඕනලු..!"
මට හිනා ආවා.
"නංගි මලිති බැඳලනෙ.මම ඔය අතරට තුන් වෙනියෙක් වෙන්නෑ..ඔයා ගිහින් මලිතිට ඒක කියන්න.."
"ඔයා ඇත්ත දන්නවා නම් ඔයකතාව කියන්නෙ නැහැ...!"
"මොකක්ද ඔය කියන භයානක ඇත්ත...?"
"මලිතිගෙ කිඩ්නි නරක් වෙලාලු...එයාට ගැලපෙන කිඩ්නි එකක් තාම හම්බවෙලා නැහැ...!"
පෘථිවියෙ භ්‍රමන වේගය එකපාරටම වැඩි වුනා වගේ මට දැණුනෙ.
"නංගි යන්න මම එන්නම්.....!"
මම ගියේ මලිතිට වෙදකම් කල වෛද්‍යවරයාව මුණගැහෙන්න.
"ඩොක්ටර් මට පුලුවන්ද අර වකුගඩුවක් ඕන කරන පේෂන්ට් ගෙ හස්බන්ඩ් ට කතාකරන්න.."
"පුලුවන්,ඒත් ඔයාගෙ කිඩ්නි එක ගැලපේවිද එයාට...?"
"අපි දෙන්නටම තියෙන්නෙ එකම බ්ලඩ් ගෲප් එක..!"
ඔහු මට පොරොන්දු වුනා කවමදාවත් මලිතිට කියන්නෙ නැහැ කියලා ,එයාට වකුගඩුව දීපු කෙනා ගැන.
සැත්කම සාර්තකව සිද්ධ වුනා.
මම රෝහලෙන් පිට වෙන්න කලින් නිදාඋන්නු මලිතිගෙ මුහුණ බලාගත්තා,ඒ අවසාන වතාවට කියලා මගේ හිතටම මම අවධාරනය කලා.
දැන් දවස් කීපයක ඉඳන් මලිති මගේ ජංගම දුරකතනයට ඇමතුම් ගන්නවා.එයාගෙ ස්වාමියා මට දීපු පොරොන්දුව කඩලා වගේ.
ආයෙත් වතාවක් දුරකතනය නාද වෙනවා.
'වෙන කරන්න දෙයක් නැහැ මලිති...සමාවෙන්න.'
සිම් පත දුරකතනයෙන් ගලවලා මුහුදට වීසි කල මම නැගිට්ටෙ හිත හදාගන.
'ආදරය වෙනුවෙන් කරන කැපකිරීම් වලට ස්තූති කිරීමක් වත්,අගය කිරීමක් වත් අවශ්‍ය නැහැ නංගි'
අපි ආයෙ මුණ ගැහෙන්නෑ.....!






1 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

ප්‍රාර්ථනා said...

හ්ම්ම්.. දුකයි. ඔහොම අය ඉන්නේ ගොඩාක් අඩුවෙන් මේ ලෝකෙ...

Post a Comment

පි‍ටු පෙරලපු ගාන