වැදගත් විශයය....7 ( Sex Education in Sinhala )

Wednesday, February 27, 2013
අද බලමුද එහෙනම් පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඇතිවෙන රෝගාබාධ ටිකක් ගැන.


වෘෂණවල පිළිකා

වෘෂණ ගත්තම වෘෂණවල ඇතිවෙන්ඩ පුළුවන් භයානකම දෙයක්නේ පිළිකා කියන්නේ.ඒ උනත් වෘෂණවල පිළිකා එච්චර බහුලව දකින්ඩ නෑ වගේම ගොඩක් වෙලාවට ප්‍රථිකාරවලින් හොඳ කරගන්ඩ පුළුවං කියලයි කියන්නේ.වේදනාවකින් තොර වෘෂණයේ ඉදිමුමක් හෝ එක වෘෂණයක ඇතිවෙන ගැටිත්තක් විදිහට තමයි මුළින්ම පිළිකාව අදාල රෝගියාට දකින්ඩ ලැබෙන්නේ.මේ ගැටිත්තනං ඉතිං බිරින්දෑ උනත් හොයා දෙන්ඩ බැරි නෑ.ඒ වගේම පිළිකා කියන්නේ ඇඟේ වෙනත් තැංවලටත් පැතිරෙන්න ඉඩ තියෙන දෙයක්නේ.ඉතිං මේ වෘෂණවල පිළිකා එහෙම වෙන තැංවලට පැතිරිලා තිබ්බොත් බෙල්ලේ මුල හරියේ වසා ගැටිති ඉදිමීම (වසා පද්ධතිය හරහා පැතිරී යෑම ), ඔක්කාර ගතිය සහ කන්ඩ බැරි ගතිය (අහාර මාර්ගයට ඇතිරීම නිසා ), කැස්ස, හුස්මගැනීමේ අපහසුතාවය, කැස්ස සමඟ රුධිරය පිට වීම සහ පපුවේ වේදනව ඇතිවෙන්ඩ පුළුවන් පෙනහළු සහ පපුව ආශ්‍රිත ප්‍රදේශවලට පැතිරීම නිසා.

වෘෂණවල වේදනාවක් ඇතිවෙන්ඩ වගේම නැතිවෙන්ඩත් පුළුවන්.ඒක හින්දා මෙච්චර වැදගත් ඉන්ද්‍රිය ඉඳලා හිටලා පොඩ්ඩක් අල්ලලා බලන්ඩ.වෙනසක් ප්‍රමාණයේ වෙනසක්, වෙනත් අසාමාන්‍ය වර්ධනයක් තියෙනවානං වෛද්‍යවරයෙකුට පෙන්නන එක තමයි හොඳ.


හයිඩ්‍රොසීල් හෙවත් වෘෂණ වටා තරලයක් එකතු වීම

මේකෙදි වෙන්නේ වෘෂණ වටේට තියෙන පටලයක් අස්සට වතුර වගේ තරලයක් එකතු වීම.මේක භයානක තත්ත්වයක් නොවුනත් හෙන ලොකු මල්ලක් කකුල් දෙක මැද්දෑවේ එල්ලං ඉන්න එක හරි අපහසුයිනේ.ඒක හින්දා මේක ශල්‍යකර්මයකින් නිවැරදි කරනවා.බොහොම සරළ ශල්‍යකර්මයක්.බය වෙන්ඩ දෙයක් නෑ.

  

ඔය උඩ තියෙන රූප දෙකෙන් පළවෙනි එක වගේ ඒවා තමයි සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නෙ.මොකද ඒ අය වෛද්‍ය ප්‍රථිකාරවලට යොමු වෙන හින්දා ඔය ඊළඟට තියෙන එක වගේ එකක් ඇතිවෙන්ඩ තියෙන අවස්ථාව අඩුයි. දෙවෙනි එකේ පේනවද වෘෂණය වටේ තරලය එකතු වීම නිසා වෘෂණකෝෂයේ ප්‍රමාණය විශාල වෙනකොට ශිෂ්ණයත් ඒ මල්ල ඇතුලටම ඇදිලා ගිහිං හැංගිලා තියෙන හැටි.ඔච්චර ලොකු නැතත් එහෙම ආසන්න වශයෙන් ශිෂ්ණය නොපෙනීම වගේ ගිය එක්කෙනෙක් දැකලා තියෙනවා.ශල්‍යකර්මයේදී වෘෂණයේ ආවරණය සිදුරු කරලා තරලය ඉවත් කරද්දි වෘෂණ කෝෂය ඇතුලෙ ඉඳං ශිෂ්ණය එළියට ආවේ නාගයා වගේ තමයි.


වෘෂණයේ ඇඹරීම හෙවත් ටෝර්ෂන් කියන තත්ත්වය

මේක සිද්ධ වෙන්නේ ඔය වෘෂණ කෝෂේ ඇතුලේ තියෙන වෘෂණයක් කැරකැවුනාම.එතකොට වෘෂණයට සම්බන්ධ වෙලා තියෙන රුධිර නාල ටිකත් ඇඹරිලා යනවනේ හරියට නැට්ට කරකවලා ගහකින් ගෙඩියක් කඩන්න යනවා වගේ.මෙහෙම රුධිර නාල ඇඹරුනාම වෘෂණයට රුධිර සැපයුම අඩාල වෙලා වෘෂණයේ පටක මැරෙන්ඩ ඉඩ තියෙනවා.මේ තත්ත්වයේදී වෘෂණ කෝෂයේ එක පැත්තක දරාගන්ඩ අමාරු වේදනාවක් එක පාරටම ඇතිවෙන්ඩ පුලුවන්.ඒ වගේම වෘෂන කෝෂය ඉදිමෙන එකත් සිද්ද වෙනවා.මෙහෙම උනාම වෘෂණය ආපහු කරකවන්ඩ උත්සාහ කරන්ඩ හොඳ නෑ.මොකද කොයි පැත්තට කැරකිලාද කවුද දන්නේ.අනික ඉවසන්ඩ බැරි වේදනාව එක්ක මොකුත් කරන්ඩ බෑ.හැකි ඉක්මනින් රෝහලකට යන එක තමයි කරන්ඩ ඕනෙ.එහෙදි ශල්‍යකර්මයක් කරලා වෘෂණය නියම විදිහට පත් කරනවා විතරක් නෙමෙයි ආපහු කැරකෙන්නැති විදිහට වෘෂණ කෝෂ‍යට සවි කරන එකත් කරනවා.




වෘෂණ සහ අපිවෘෂණවල ඇතිවෙන ආසාදන

මේ තත්ත්වයන් ඇති කිරීමට ප්‍රධාන වශයෙන් හේතුවෙනවා ආහාර මාර්ගයේ සාමාන්‍යයෙන් වාසය කරන Escherichiya coli කියන බැක්ටීරියාව, ගොනෝරියාව කියන ලිංගාශ්‍රිත රෝගය හදන Gonococcus කියන බැක්ටීරියාව, සහ chlamydiae කියන පරපෝෂිතයින්.එයිට අමතරව ක්ෂය රෝගය හදන්ඩ හේතුවෙන tuberculosis කියන බැක්ටීරියාවත් වෘෂණ සහ අපිවෘෂණවල ආසාදන හදන්ඩ පුළුවන්.ඊට අමතරව සිපිලිස් කියන ලිංගාශ්‍රිත රෝගය හදන බැක්ටීරියාව වගේම කම්මුල් ගාය හදන්ඩ හේතුවෙන Mumps වෛරසයත් ආසාදනය වෙන්ඩ පුළුවන්.පිරිමි ඈයො ලිංගිකව පරිණත උනාට පස්සේ මේ කම්මුල්ගාය හදන Mumps වෛරසය ආසාදනය උනොත් ඒ පුද්ගලයාගේ ශුක්‍රාණු ජනනය සම්පූර්ණයෙන්ම වගේ නැතිවෙලා යන්ඩ පුළුවන්.මේ තත්ත්වය නැති කරන්ඩ තමයි MMR කියන එන්නත පොඩි කාලෙදි ලබා දෙන්නේ.මේ එන්නතෙන් උනත් ලැබෙන්නේ 80%ක විතර ආරක්ෂාවක් විතරයි.ඒ නිසා පරිස්සම් වෙන එක කෝකටත් හොඳයි.එහෙම නැත්තං පොඩි කාලෙදිම ලෙඩේ හදවා ගත්තොත් ඒකත් හොඳයි නේ.



මේ ආසාදනවලින් ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ ශුක්‍රාණු ජනනය අඩාල වීම හෝ ශුක්‍රාණු ප්‍රවාහනය අඩාල වීම නිසා පුද්ගලයාගේ ප්‍රජනක ශක්තිය අඩු වීම හෝ නැති වීම තමයි.ඒ වගේම කලාතුරකින් පටකවලට ලැබෙන රුධිර ප්‍රමාණය අඩු වීම නිසා පටක මිය යාමත් වෙන්ඩ පුළුවන්.

වෙනම මාතෘකාවක් යටතේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ගැන කියන්ඩ බලාපොරොත්තු වෙන නිසා ඒ ගැන මෙතන කියන්ඩ බලාපොරොත්තු වෙන්නේ නෑ.


බරවා



බරවා රෝගය ගැන ඕනෙ තරම් අහලා ඇතිනේ.ඒක මදුරුවෙක්ගෙන් බෝ වෙනවා, ඒක හැදුනම කකුල් ලොකු වෙනවා කියලනේ අහලා තියෙන්නේ වැඩි පුරම.නමුත් මේ බරවා රෝගය නිසා වෘෂණ කෝෂත් විශාල වෙන්ඩත් පුළුවන්.මේ රූපයේ තියෙන තර විශාල ඒවා හැම තිස්සෙම දකින්ඩ නැති උනාට වෘෂණ කෝෂ වගේම කාන්තාවන්ගේ පියයුරු එහෙමත් සැලකියයුතු විදිහට විශාල වෙන්ඩ මේ බරවා රෝගය හේතු වෙන්ඩ පුළුවන්.මීට පස්සේ බරවා පෙති බොන්ඩ ඈ.අනික මදුරුවෝ බෝ වෙන එක වල්ක්වන්ඩත් පියවර ගන්ඩ.බරවා වැඩිපුර තියෙන්නෙත් මේ කොළඹ අවට හරියෙමනේ.ඔය දෙහිවල පැත්තෙ එහෙම අය පරිස්සමෙන් ඈ.හැබැයි ඔන්න පියයුරු ලොකු වෙනවා කිව්වම අනේ එහෙනං මගෙ ගෑනිට බරවාවත් හදෝලා බලන්ඩ ඕනෙ කියලා හිතන්ඩ එපා ඈ.ලොකු උනාම පේනවනේ විල් බැරැක්කයක් ඕනේ වෙනවා අරං යන්ඩ.




වැරිකොසීල්

මේ කියන්නේ වෘෂණයේ රුධිරය ආපහු අරන් යන ශිරා කියන රුධිර වාහිනීවල රුධිරය එකතුවෙලා විශාල වෙන අවස්ථාවට.මේකත් ඔය කකුල්වල නහර ගැටගැහෙනවා වගේම තමයි.නිදාගෙන ඒ කියන්නේ ඇලවෙලා ඉන්න කොට ප්‍රාමාණයෙන් කුඩා වෙන වගේම හිටගත්තාම ලොකුවෙන වෘෂණ කෝෂයක් තමයි මේකෙදි දකින්ඩ ලැබෙන්නේ.ඒ වගේම හිටගෙන ඉද්දි අල්ලලා බැලුවාම හරියට පණුවෝ පුරවලා ඉන්න මල්ලක් වගේ අහුවෙනවා.මේකත් ශල්‍යකර්මයකින් සුව කරගන්ඩ පුළුවන්.






නොමග ගිය වෘෂණ

වෘෂණ හැදෙන්නේ පොඩි එකාගේ බඩ ඇතුලේනේ.ඊට පස්සේ ඒවා ඇඟෙන් එළියේ තියෙන වෘෂණ කෝෂ ඇතුලට වැටෙනවා සාමාන්‍යයෙන් ඉපදෙන්ඩ කළිං.සමහරුන්ගේ මේ විදිහට වෘෂණ එකක් හෝ දෙකම වෘෂණ කෝෂවලට ඇවිත් නොතියෙන්ඩ පුළුවන් ඉපදෙද්දි.සමහරුන්ගේ ටිකක් කල් ගිහින් මේ වෘෂන වෘෂණ කෝෂවලට එන්ඩ පුලුවන් උනත් සමහරුන්ගේ එහෙම එන්නේ නෑ.ශරීරය ඇතුලේ උෂ්ණත්වය වෘෂණවල ශුක්‍රාණු ජනනයට උචිත නෑ.ඒක හින්දා මෙහෙම ඇඟ ඇතුලේ තියෙන වෘෂණවල ශුක්‍රාණු හැදෙන්නෑ වගේම සමහර වෙලාවට මේ වෘෂණවල පිළිකාමය තත්ත්වයක් ඇතිවෙන්ඩත් පුළුවන්.

ඒ වගේම මේ විදිහට වෘෂණකෝෂවලට එන වෘෂණ පාර වැරදිලා වෙන තැන්වලටත් යන්ඩ පුළුවන්. මේ හැම එකක්ම වගේ ශල්‍යකර්මයකින් නිවැරදි කරගන්ඩ පුළුවන්.එහෙම බැරි නම් ඇඟ ඇතුලේ තියෙන වෘෂණ ඉවත් කරන්ඩත් වෙන අවස්ථාත් තියෙනවා.මොකද පිළිකාමය අවධානමක් තියෙන හින්දා.



පුරස්ථිති ග්‍රන්ථියේ අසාමාන්‍ය වර්ධනයන්

මේවා පිළිකාමය හෝ පිළිකාමය නොවන ඒවා වෙන්න පුළුවන්.මේ තත්ත්වයන් සාමාන්‍යයෙන් ඇතිවෙන්නේ තරමක් වයස්ගත උනාම.ඒ කියන්නේ 40-50 සහ ඊටත් වැඩි වයස්වල අයට.

පිළිකාමය නොවන වර්ධනයන් නිසා මුත්‍රා කිරීමේ අපහසුතා එන්ඩ පුළුවන්.ඒ කියන්නේ මුත්‍ර පිට කරන්ඩ හැදුවට එකපාරට මුත්‍ර පිට වෙන්නෙ නැතුව හිර වුනා වගේ දැනෙන්ඩ පුළුවන්.මුත්‍ර දුරට විදලා යන එක අඩුවෙන්ඩ පුළුවන්.මුත්‍ර කරලා ඉවර උනාට පස්සේ බින්දු බින්දු වැක්කෙරෙන්ඩ පුළුවන්.මේ විදිහේ ලක්ෂණ ඇතිවෙන්නේ පුරස්ථිති ග්‍රන්ථිය මුත්‍ර මාර්ගය වටේට පිහිටලා තියෙන හින්දා.ඉතිං ග්‍රන්ථිය ලොකු වෙද්දී මුත්‍ර මාර්ගය පොඩි වෙලා යනවා.

පුරස්ථිති ග්‍රන්ථි පිළිකාව බහුලව දකින්ඩැ හම්බවෙන පිළිකාවක්.ඒක ටෙස්ටොස්ටෙරොන් මත යැපෙන වර්ගයේ එකක් නිසා සමහර අවස්ථාවලදී පිළිකාවත් එක්කම වෘෂණ දෙකත් ඉවත් කරන්ඩ සිද්ද වෙනවා.එතකොට ඇඟේ ටෙස්ටොස්ටෙරොන් නිපදවීම අඩුවෙන නිසා පිළිකාවේ වර්ධනය අඩාල වෙලා යනවා.මේක ගොඩක් හැදෙන්නේ වයසට ගියාම නිසා ගැටළුවක් ඇතිවෙන්නේ නෑ.

ශිෂ්ණයේ ඇතිවෙන පිළිකා

මේවා බොහොම කළාතුරකින් ඇතිවෙන පිළිකාමය තත්ත්වයක්.සුන්නත් කරපු අය අතර මේ පිළිකා ඇතිවීමේ අවධානම ගොඩක් අඩුයි කියලයි කියන්නේ.යුදෙව්වන්ගේ දකින්නම නැති තරම්ලු.ඔවුන් උපන් ගමන් සුන්නත් කරන නිසා.මුස්ලිම්වරුන්ගේ ගොඩක් අඩුයිලු.ඔවුන් පොඩි කාලෙම සුන්නත් කරන නිසා.පිළිකාවේ වර්ධනය ගොඩක් වැඩි අවස්ථවලදී ශිෂ්ණය කපා ඉවත් කරන්ඩ සිද්ද වෙනවා.බොහෝ විට මේත් සමඟ වෘෂණත් ඉවත් කරන්නේ ඒ අයට ලිංගික ආශාවන් ඇති වීම නැති කරන්ඩලු.මෙව්වා එක අයින් කළාට පස්සේ ආශාවන් ආවාම මොනවා කියලා කරන්ඩද?ඒ වගේ මනුස්සයෙක් කොච්චර අසරණ වෙනවද කියලා මටනම් හිතාගන්ඩවත් බෑ.


වැදගත් විශයය....6 ( Sex Education in Sinhala )

Monday, February 25, 2013

 ���*^�bh��





පුරුෂ ප්‍රජනක පද්ධතියේ ශුක්‍රාණු ජනනයත්, හෝමෝන ගැනත් කියලා ලෙඩ රෝග කීපයක් ගැනත් කියලා කට්ටිය පුල පුලා බලා ඉන්න ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන කතා කරන්ඩ පටං ගම්මු ඈ.

ශුක්‍රාණු ජනනය සිද්ද වෙන්නේ වෘෂණ ඇතුලේ කියලා කළිං කිව්වනේ.වෘෂණ ඇතුලේ පුංචි නාළ පද්ධතියක් තියෙනවා කියලත් කළිං ලිපියක කිව්වා.කියෙව්වේ නැත්තං කියවන්ඩ.ඉතිං මේ බට ඇතුලේ සෛල වර්ග තුනක් තියෙනවා.ඒ තමයි ස්'ටොලී සෛල, ලේඩිග් සෛල සහ ශුක්‍රාණු ජනක සෛල.



ශුක්‍රාණු ජනක සෛල කියන්නේ බෙදිලා බෙදිලා ශුක්‍රාණු බවට පත්වෙන්ඩ හැකියාවක් තියෙන සෛලවලට.මේවායේ වර්ණදේහ 46ක් තියෙනවා.ඒ කියන්නේ සාමාන්‍ය මිනිස් සෛලයක තියෙන වර්ණදේහ සංඛ්‍යාව.මේවා මුළින් අනූනන විභාජනයේන් බෙදිලා සංඛ්‍යාව වැඩි කරගන්නවා.අනූනන විභාජනය කියන්නේ වර්ණදේහ ගාණ අඩු නොවෙන විදිහට සෛලය බෙදෙන එකටනේ.ඊට පස්සේ මේවායින් සමහරක් අනාගතයේ ශුක්‍රාණු ජනනය සඳහා ඉතුරු කරලා අනිත් ටික  ඌණන විභාජනයෙන් බෙදිලා, ඒ කියන්නේ වර්ණදේහ සංඛ්‍යාව අර්ධයක් වෙන සෛල බවට පත් වෙනවා.ඉතිං ශුකාණු මහා ගොඩක් එක ශුක්‍ර මෝචනයකදි පිට වෙන හින්දා හැම තිස්සෙම ශුක්‍රාණු පිරිමින්ගේ වෘෂණ ඇතුලේ නිපදවෙනවා.ශුක්‍රාණු මහ ගොඩක් කිව්වේ කොච්චරක් විතර කියලද හිතන්නේ?? ශුක්‍ර තරලයේ එක මිලි ලීටරයක ශුක්‍රාණු සාමාන්‍යයෙන් මිලියන 20ත් මිලියන 40ත් අතර සංඛ්‍යාවක් තියෙනවා කියල තමයි කියන්නේ.සාමාන්‍යයෙන් ශුක්‍ර මෝචනයකදී ශුක්‍ර තරලය මිලි ලීටර් 2ත් 6ත් අතර ප්‍රමාණයක් පිට වෙනවා කියලා කියන හින්දා එක ශුක්‍ර මෝචනයක තියෙන ශුක්‍රාණු සංඛ්‍යාව ගණං හදලා බලන්ඩකෝ.

ඒ අතිං බැලුවම අපි හරි පෝසත් නේ.....

ස්'ටොලී සෛල කරන්නේ මේ ශුක්‍රාණු ජනනයට උදව් කරන එක.එතකොට ලේඩිග් සෛල කරන්නේ ටෙස්ටොස්ටෙරොන් කියන පුරුෂ හෝමෝනය නිපදවන එක.


හෝමෝන කියන්නේ මොනවද කියලා දන්නවද? දන්නැති අයට ඔන්න සරළව කිව්වොත් හෝමෝන කියන්නේ පණිවිඩකාරයෙක්.හරියට නිකං එස් එම් එස් එකක් වගේ.ඇඟේ එක තැනක හෝමෝන හදලා රුධිරයට නිදහස් කරනවා.මේ හෝමෝන අදාල තැනට ගිහිල්ලා කියනවා පණිවිඩේ.ඒක එක්කෝ වැඩ පටං ගන්ඩ හෝ වැඩ නවත්තන්ඩ කියලා වෙන්ඩ පුළුවන්.මේ සමහර හෝමෝන හදන හෝ නවත්තන එකත් පාලනය කරනවා වෙන හෝමෝන මඟින්.හෝමෝන ගැන ඔය ඇති නේ කිව්වා.

දැං බලමු පුරුෂ ලිංගික හෝමෝන වැඩේ කොහොමද වෙන්නේ කියලා.

අපේ මොළයේ තියෙනවා හයිපොතැලමසය කියලා කොටසක්.ගොඩක් දේවල් පාලනය කරන්නේ ඒකෙන්.ඇඟේ උෂ්ණත්වය, හෝමෝන, බඩගින්න, තිබහා, ලිංගික හැසිරීම් වගේ දේවල් ගොඩක් පාලනය කරන කොටස තමයි මේක.ඒ ළඟම පොඩි එල්ලෙන කෑලක් තියෙනවා පිටියුටරිය කියලා.මේකෙන් කරන්නේ ඇඟේ වැදගත් හෝමෝන ගොඩක් නිපදව එක.මේකේ හොමෝන නිපදවීම සහ රුධිරයට මුදා හැරීම පාලනය කරන්නේ හයිපොතැලමසය මඟින්.





හයිපොතැලමසයේ හැදෙනවා හෝමෝනයක් GNRH කියලා.ඒක පිටියුටරිය මත ක්‍රියා කරලා පිටියුටරියෙන් FSH සහ LH කියන හෝමෝන දෙක නිදහස් වෙන එක උත්තේජනය කරනවා.මේ FSH සහ LH වෘෂණ මත ක්‍රියා කරලා වෘෂණවල ලේඩිග් සෛල මගි ටෙස්ටොස්ටෙරොන් නිපදවීම උත්තේජනය කරනවා.මේ ටෙස්ටොස්ටෙරොන් සහ FSH එකතුවෙලා ශුක්‍රාණු ජනනය යාමනය කරනවා.ඒ වගේම ටෙස්ටොස්ටෙරොන් රුධිරය හරහා ගිහින් පිටියුටරිය මත සහ හයිපොතැලමසය මත ක්‍රියා කරලා ඒවායේ GNRH සහ FSH, LH හැදෙන එක අඩු කරනවා.

ටෙස්ටොස්ටෙරොන්වල අනිත් කාර්යයන් තමයි පොඩි එකෙක් ඉපදෙන්ඩ කලිං අම්මගේ බඩේ ඉද්දි උගේ පුරුෂ ලිංගික අවයව හදන්ඩ දායක වෙන එක.මේ කියන්නේ ශිෂ්ණය සහ වෘෂණ කෝෂ ඈ.මොකද වෘෂණ කළිංම හැදෙනවා.

එයිට අමතරව පිරිමි ඈයින්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ  ඒ කිව්වේ ඔය හොඳට මාංශ පේෂි හැදෙන්ඩ, ලිංගික අවයව ලොකු වෙන්ඩ, කටහඬ වෙනස් වෙන්ඩ, කිහිලි ඉකිලිවල රෝම වැවෙන්ඩ වගේ දේවල් වෙන්නෙත් මේ ටෙස්ටොස්ටෙරොන්වලින්ම තමයි.ඒ වගේම ඔය පිරිමි අයගේ නළල දෙපැත්තේ කොණ්ඩෙ ගිහිල්ලා තට්ටේ එන්නෙත් මේ ටෙස්ටෙරොන්වල බලපෑම හින්දා.වැදගත්ම එක තමයි ලිංගික ආශාව ඇති වෙන්නෙත් ටෙස්ටොස්ටෙරොන් හින්දම තමයි.


ටෙස්ටොස්ටෙරොන් වෘෂණවලට අමතරව අධිවෘක්කීය ග්‍රන්ති කියන වකුගඩුවල උඩ පිහිටලා තියෙන ග්‍රන්ථියකත් හැදෙනවා.මේ ද්විතීක ලිංගික ලක්ෂණ ඇතිවෙන්ඩ ඒකෙන් එන ටෙස්ටොස්ටෙරොනුත් සෑහෙන්ඩ බලපානවා.


මේ ඔක්කොම කියලත් වැදගත්ම එක්කෙනා වෙච්ච ශුක්‍රාණුව ගැන නොකියා කොහොමද?

ශුක්‍රාණුව කියන්නේ චලනය වෙන්ඩ පුළුවන්, සාමාන්‍ය සෛලවලට වඩා පුංචි වගේම සාමාන්‍ය වර්ණදේහ සංඛ්‍යාවෙන් අර්ධයක් (23) තියෙන සෛලයක්.මේ ශුක්‍රාණුවේ හිස කොටසේ තමයි වර්ණදේහ අඩංගුවන න්‍යෂ්ඨිය තියෙන්නේ.හිස උඩින් තියෙන ඇක්‍රොසෝමය කියන්නේ හරියට බෝම්බයක් වගේ එකක්.ඒක ඇතුලේ තියෙනවා එන්සයිම රාශියක්.ශුක්‍රාණුවක් ගිහිල්ලා ඩිම්බයක් එක්ක සෙට් වෙනකොට ඩිම්බයේ බිත්තිය සිදුරු කරන්ඩ අවශ්‍ය කරන එන්සයිම තමයි ඇක්‍රොසෝමයේ තියෙන්නේ.මැද කොටස කියන ප්‍රදේශයේ තමයි ශුක්‍රාණුවේ චලනයට අවශ්‍ය කරන ශක්තිය නිපදවන මයිටකොන්ඩ්‍රියා තියෙන්නේ.වලිගය හෙවත් නැට්ට තියෙන්නේ ඉතින් පීනන්ඩ.




අපේ ඇඟේ තියෙන වර්ණදේහ 46 අම්මගෙන් ලැබිච්ච සහ තාත්තගෙන් ලැබිච්ච 23 බැගින් තියෙන නිසා ඒවා යුගල් විදිහට දක්වන්ඩ පුළුවන් කියලා කිව්වනේ.ඒ වගේම මේ යුගල් 23න් එක යුගලක් ලිංග වර්ණදේහ ඒ කියන්නේ පුද්ගලයෙකුගේ ලිංගය තීරණය කරන වර්ණදේහ යුගලය කියලත් කිව්වා.ලිංග වර්ණදේහ ජාති දෙකක් තියෙන බවත් ඒ X සහ ‍Y කියන ජාති දෙක බවත් මුල් ලිපිය කියෝපු අයට මතක ඇති.

ගෑනු කෙනෙක්ගේ තියෙන ලිංග වර්ණදේහ යුගලයම X වර්ණදේහ.පිරිමින්ට තියෙන්නේ X එකකුයි ‍Y එකකුයි.ගෑනු අය ලිංග සෛල ඒ කියන්නේ ඩිම්බ හදද්දි එයාලගේ වර්ණදේහ යුගල් වෙන්වෙලා ගියාට හැම සෛලෙටම ලැබෙන්නේ X වර්ණදේහයක්.ඒත් පිරිමි අයගේ ශුක්‍රාණු ජනනයේදී සෛල දෙකට බෙදෙද්දී මේ ලිංග වර්ණදේහ යුගල දෙකට බෙදිලා යනකොට සමහර ශුක්‍රාණුවලට X වර්ණදේහය ලැබෙනවා වගේම සමහර ශුක්‍රාණුවලට ‍Y වර්ණදේහය ලැබෙනවා.ඉතිං සංසේචනයේදී ඒ කියන්නේ ඩිම්බයක් එක්ක ශුක්‍රාණුවක් එකතුවෙද්දී X වර්ණදේහය තියෙන ශුක්‍රාණුවක් ඩිම්බය එක්ක එකතු උනොත් ඩිම්බයේ තියෙන X වර්ණදේහයත් එක්ක X වර්ණදේහ යුගලක් වෙලා ගැහැනු දරුවෙක් තමයි හැදෙන්නේ.ඒ වගේම ‍Y වර්ණදේහයක් තියෙන ශුක්‍රාණුවක් ඩිම්බය එක්ක එකතු උනොත් X‍Y ලිංග වර්ණදේහ යුගලක් තියෙන  පිරිමි දරුවෙක් තමයි ඉපදෙන්නේ.



ඉතිං ගෑනු ළමයිම ඉපදෙනවා කියලා ඉස්සර කාලෙ පිරිමි වගේ ගෑනිට බණින්න එපා.

වැදගත් කාරණයක් තමයි මේ ‍Y වර්ණදේහය X වර්ණදේහයට වඩා ගොඩක් පුංචි හින්දා ‍Y වර්ණදේහ තියෙන ශුක්‍රාණු X වර්ණදේහ තියෙන ශුක්‍රාණුවලට වඩා බරින් අඩුයි.මේ නිසා Y වර්ණදේහ තියෙන ශුක්‍රාණු X තියෙන ඒවට කලින් පැලෝපීය නාළවලට යෑමේ සම්භාවිතාවක් තියෙනවලු.ඉතිං මේ වෙද්දි ඩිම්බයකුත් පැලෝපීය නාළයට ඇතුල්වෙලා තිබ්බොත් කොල්ලෙක් තමයි.ඩිම්බය එන්ඩ ටිකක් පරක්කු උනොත් පස්සෙ එන X වර්ණදේහය තියෙන ශුක්‍රාණුවක් එක්ක එකතුවෙලා කෙල්ලෙක් තමයි හැදෙන්නේ.අපේ ඉතිං ඔය ගණිතය එහෙම දන්න ඇත්තෝ ඩිම්බයක් මෝචනය වෙන වෙලාවක් බලලා නැකතට ශුක්‍රාණුවක සාමන්‍ය පිහිනුම් වේගය එහෙම සලකලා කළනය දාලා ජ්‍යාමිතික සූත්‍රයක් ඇසුරෙන් මීට පස්සේ ළමයි හදන්ඩ ට්‍රයි කළාට කමක් නෑ.



වැදගත් විශයය....5 ( Sex Education in Sinhala )

Monday, February 18, 2013



ශුක්‍ර ආශයිකා

මේ ගැන කියන්ඩ තව පොඩ්ඩෙන් අමතක වෙනවා.ශුක්‍ර ආශයිකා තියෙන්නේ මුත්‍රාශයට පිටිපස්සෙන් දෙපැත්තේ දෙකක් විදිහට.මේ ශුක්‍ර ආශයිකා ඒ ඒ පැත්තෙන් එන ශුක්‍ර නාළයට තමන්ගේ ශ්‍රාවයන් කුඩා ප්‍රණාලයක් හරහා එකතු කරනවා.ශුක්‍ර තරලයෙන් වැඩි ප්‍රමාණයක් හදන්ඩ දායක වෙන්නේ මේ ශුක්‍ර ආශයිකා තමයි.මේ ශ්‍රාවයන්ගේ ප්‍රධාන වශයෙන් වතුරත්, ෆෘක්ටෝස් කියන සීනි වර්ගයත්, ප්‍රොස්ටග්ලැන්ඩීන් කියන රසායනික පණිවුඩකාරකයත්, විටමින් සී ත් අඩංගු වෙනවා.මේ ශ්‍රාවයත් භාශ්මික නිසා ස්ත්‍රී යෝනියේ ආම්ලික බව නැති කරන්ඩ දායක වෙනවා.මෙහි අඩංගු ෆෘක්ටෝස් කියන සීනි තමයි ශුක්‍රාණුවලට අවශ්‍ය කරන ශක්තිය සපයන්නේ.




දැං සෛල විභාජනය ගැන විස්තරයක් කරලා හිටියොත් හොඳයි කියලා මට හිතෙනවා.මොකද ප්‍රජනනයේ මූලික ක්‍රමයේ සිට හැම තැනකම පදනම මේ සෛල විභාජනයනේ.අනික ශුක්‍රාණු ජනනය වගේම ඩිම්බාණු ජනනයත් ඒ එක එකේ වෙනස්කමුත් කියන්ඩනං සෛල විභාජනය ගැන අවබෝධයක් තියෙන එක හොඳයි.ටිකක් විතර කම්මැලි මාතෘකාවක් උනත් ඔන්නොහෙ කියන්නං.කියවන්ඩ ඈ...

මුලින්ම මේ ලිපිටික පටං ගද්දිම සෛලවල අඩංගු වර්ණදේහ ගැන කිව්වනේ.ඉතිං හිතන්ඩ අපි ජීවිතය පටන් ගන්නේ එක සෛලයක් විදිහටනේ.ඉතිං මේ සෛලය දෙකට බෙදෙනවා, ආයෙ බෙදෙනවා, ආයෙ බෙදෙනවා.......................ඔය විදිහට බෙදිලා බෙදිලා මිලියන ගාණක් සෛල තියෙන වැඩුනු මිනිහෙක් බවට පත්වෙනවා.ඉතිං මේ විදිහට සෛල දෙකට බෙදෙද්දී හැදෙන දරු සෛල දෙකටම කළිං සෛලයේ තිබ්බ වර්ණදේහ ගාණම ලැබෙන්ඩ ඕනෙ.එහෙම නොවුනොත් ලෙඩක්නේ.ඉතිං ඒක පවත්වාගෙන යන්නේ මෙහෙම,

මුලින්ම බෙදෙන්ඩ යන සෛලයේ වර්ණදේහ දෙගුණ වෙනවා.ඒක වෙන්නේ මෙහෙමයි.ඔය DNA අණුව කියන්නේ ඉණිමගක් වගේ ව්‍යුහයක්නේ.ඉතින් මේ ඉණිමගේ මැද පොලු කියන්නේ දෙපැත්තේ දිග පොලු දෙක එකට බැඳලා තියාගන්න බන්ධනවලට.DNA වල මේ බන්ධන අවශ්‍යවෙලාවට කඩන්ඩ පුළුවන්.එහෙම කඩලා වෙන් වෙච්ච දිග පොලු දෙකට සමාන පොලු දෙකක් අලුතෙන් හදලා සෙට් කරනවා.ඒ කියන්නේ පරණ පොලු දෙක අලුත් පොලු දෙකක් හදන්ඩ අච්චුව විදිහට පාවිච්චි වෙනවා.

ඊට පස්සේ මේ DNA අඩංගු වර්ණදේහ සෛලය මැද්දේ දිගට පෝලිමක් හැදෙනවා.ඊට පස්සේ පුංචි තන්තු වගයකින් මේ වර්ණදේහ හරියට දෙකට බෙදලා සෛලයේ එක පැත්තක එක ගොඩකුත් අනිත් පැත්තේ අනිත් ගොඩකුත් ගහනවා.ඊට පස්සේ සෛලයේ මැද්දෙන් අර වර්ණදේහ ගොඩවල් දෙක වෙන් කරමින් බිත්තියක් හැදිලා සෛල දෙකක් බවට පත්වෙනවා.


මේ විදිහට කලින් පැවති සෛලයට සමාන වර්ණදේහ සංඛ්‍යාවක් ඇතුව දරු සෛල දෙකක් හදන සෛල විභාජන ක්‍රමයට කියන්නේ 'අනූණන විභාජනය' කියලා.ඒ කියන්නේ අඩුවක් නැතුව කියන තේරුමනේ.

ඒත් මම කලින් ලිපියක සඳහන් කළා වගේ උසස් සත්තුන්ගේ ලිංගික ප්‍රජනනයේදී සත්තු දෙන්නෙක්ගේ ජාන කළවම් වීම අපේක්ෂා කරනවා.ඒකට මව් හා පිය ජීවීන්ගේ තියෙන වර්ණදේහ ගාණෙන් භාගයක් වර්ණදේහ තියෙන සෛලය බැගින් ගෑනු ජීවියයි පිරිමි ජීවියයි හදලා ඒ දෙක එකතු කළොත් හැදෙන එකාට අම්මගෙ ජාන වගේම තාත්තගෙ ජානත් ලැබෙනවා.ඒ වගේම වර්ණදේහ ගාණත් ආයෙත් අම්මගේ සහ තාත්තගෙ ගාණටම එනවනේ.

අම්මාගේ වර්ණදේහ සංඛ්‍යාව   = 46
අම්මාගේ ඩිම්බයක වර්ණදේහ සංඛ්‍යාව  = 23

තාත්තාගේ වර්ණදේහ සංඛ්‍යාව  = 46
තාත්තාගේ ශුක්‍රාණුවක වර්ණදේහ සංඛ්‍යාව = 23

ඩිම්බය සහ ශුක්‍රාණුව එකතු වීමෙන් හැදෙන යුක්තාණුවේ වර්ණදේහ සංඛ්‍යාව = 23+23 = 46



ඉතින් මේ ක්‍රියාවට අවශ්‍ය විදිහට සෛලයක අඩංගු වර්ණදේහ ගාණෙන් භාගයක් අඩංගු සෛල හදන විභාජන ක්‍රමයට කියන්නේ 'ඌණන විභාජනය' කියලා.ඒ කියන්නේ අඩු වෙන කියන අර්ථය තියෙන විභාජන ක්‍රමයක්නේ.

අපේ ඇඟේ සෛලවල වර්ණදේහ 46ක් තියෙනවනේ.ඒකෙන් 23ක් තාත්තගෙන් ලැබිච්ච ඒවා.අනිත් 23 අම්මගෙන් ලැබිච්ච ඒවා.ඉතින් මේ වර්ණදේහ 46 අපිට අම්මගෙන් එකයි තාත්තගෙන් එකයි විදිහට අරගෙන යුගල් 23ක් හදන්ඩ පුලුවන්.මේ විදිහට හැදෙන යුගල් තමයි ඌණන විභාජනයේදී සෛලයේ මැද්දේ පෙළ ගැහෙන්නේ.



ඉතින් මේ වර්ණදේහ යුගලය දෙකට බෙදිලා එක් දරු සෛලයකට සම්පූර්ණ වර්ණදේහයක් බැගින් ලැබෙනවා.

ඌණන විභාජනය පියවර දෙකකින් යුක්තයි.පළවෙනි පියවරේදි තමයි සම්පූර්ණ වර්ණදෙහ බැගින් ලැබෙමින් මව් සෛලයේ වර්ණදේහ සංඛ්‍යාවෙන් භාගයක් සහිත සෛල දෙකක් හැදෙන්නේ.ඊළඟට අනූනන විභාජනයක් සිද්ද වෙනවා.ඒ තමයි දෙවෙනි පියවර.ඒ නිසා සම්පූර්ණ ඌණන විභාජනයෙන් දරු සෛල 4ක් හැදෙනවා.ඒ වගේම ඌණන විභාජනයේ පළවෙනි පියවරේදී වර්ණදේහ යුගල් අත් අල්ලගෙන සෛලය මැද්දෙ පෝළිමට ඉන්න කොට මේ වර්ණදේහ කොටස් කැඩිලා එකිනෙක මාරු වෙන්ඩත් පුළුවන්.එතකොට හැදෙන ජීවියාට අළුත්ම ලක්ෂණ ඇතිවෙන්ඩ පුළුවන් අර වර්ණදෙහ කොටස් කළවම් වීමෙදි අළුත් ජාන ඇති උනොත්.ඒවට තමයි විකෘති ඇති වීම කියලා කියන්නේ.


විකෘති හොඳ වෙන්ඩත් පුළුවන් නරක වෙන්ඩත් පුළුවන්.උදාහරණයක් විදිහට කකුල් හතරෙන් ගිය වානරයින්ගේ ඇති වෙච්ච විකෘතියක් හින්දා කකුල් දෙකෙන් ඇවිදින වානරයෙක් බිහි උනා.නරක විකෘතියක් විදිහට ඔය සමහර පරම්පරාවෙන් එන ලෙඩ රෝග තියෙන්නේ.අන්න ඒවා නරක විකෘති.පරම්පරාවේ කොහෙහරි කෙනෙක්ගෙ ඇතිවෙච්ච වර්ණදේහ විකෘතියක් නිසා ඇතිවෙච්ච රෝගයක් එයාගෙ ළමයින්ටයි එයාලගෙ ළමයින්ටයි විදිහට පරම්පරාගත වෙනවා.....

------------------------------------------------------------------------------------------------------------

මේ විස්තරේ ලිව්වේ කරුණු සම්පූර්ණ කරන්ඩ අවශ්‍ය නිසා.සාමාන්‍ය ජනතාවට මේවා එච්චර වැදගත් නැති නිසා හැකි තරම් සරලවයි කිව්වේ.ගැටළු තියෙනවානං අහන්ඩ.පැහැදිලි නැති තැනක් තියෙනවනං කියන්ඩ.මල්, ගල්, මඩ ඕනෙ එකක් කියලා යන්ඩ.හොඳ වැඩි කරගන්ඩත් වැරදි හදාගන්ඩත් බලාපොරොත්තු වෙමි.පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටිමි.ස්තූතියි.!!

සලු පිලි උනා දැමූ විට..හෙවත් විදුලි බල්බයේ කුමන්ත්රණය

Thursday, February 14, 2013

Story No1
මේ කතාව අපි කතාවකින්ම ආරම්භ කරමු……….. පරිඝණකයට ඈඳා ඇති 'ප්‍රින්ටරයෙන්' ලිපියක පිටපතක් මුද්ද්‍රණය කරමින් සිටි ස්පාඥ්ඥ ජාතිකයෙකුවූ මාර්කෝස්ට හදිස්සියේම සිය පරිඝණක තිරයේ දිස්වෙනව මෙන්න මේ වගේ දැන්වීමක්……..”Maintenance Call – Parts inside your printer are at the end of their service life”…..  මේක අප බොහෝ දෙනෙක් නිවසේදී හෝ කාර්යාලයේදී වරක්, දෙවරක් ලැබූ අත්දැකීමක්.  ඉතිං මාර්කොස් තමන්ගේ ප්‍රින්ටරය අරගෙන යනව වෙළඳ ආයතනයට අලුත්වැඩියා කරගන්න හිතාගෙන. ඒත් ඔහුට ලැබෙන්නේ සෑහීමකට පත්විය හැකි පිලිතුරක් නොවෙයි. ඉතිං ඔහු වෙනත් පරිඝනක දෘඩාංඟ විකුනන ස්තාන කීපයකටම සිය ප්‍රින්ටරය අරන් යනව රෙපෙයාර් කරගන්න හිතාගෙන.  ඒත් හැමතැනින්ම ලැබෙන්නෙ එක සමාන විසඳුමක්.  අලුත්වැඩියා කරන්න බැහැ,පාර්ට්ස් නැහැ, වියදම වැඩියි, වැනි නොයෙකුත් හේතු සමග යෝජනා වෙන අවසන් විසදුම අලුත් ප්‍රින්ටරයක් ගන්න කියන එකයි. ලෝකයේ බොහෝ දෙනෙක් කරන විදිහට අලුත් ප්‍රින්ටරය ගන්නවා වෙනුවට, මාර්කෝස් වෙනස් විදිහකට ක්‍රියාකරනවා. මෙය තමන්ටම අලුත්වැඩියා කරගත හැකිදැයි ඔහු අන්තර්ජාලය හරහා කරුනු සොයන්න ගන්නවා. එහෙත් අන්තර්ජාලයෙන් ලැබෙන තොරතුරු ඔහුව පුදුමයටත් කෝපයටත් පත්කරනවා. …….සැලසුම්ගත යල්පැනීම (Planned Obsolescence) යන වචනය මීට පෙර ඔබ අසා නැත්නම්, නිසැකවම මේ ලිපිය කියවීමෙන් පසු ඔබත් මාර්කෝස් මෙන්ම පුදුමයටත්, කෝපයටත් පත්වෙනවා නොඅනුමානය…..ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්තේ 'ප්‍රින්ටරයේ' දෘඩාංඟ දෝශයක් නොව, ප්‍රින්ටරයේ නිශ්පාදිත සමාගම විසින් පූර්ව නිශ්චය කල පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය කල පසු ප්‍රින්ටරය තුල ස්තානගත කල 'ස්මාර්ට් චිපයක්' මගින් එය ඉබේ ක්‍රියාවිරහිත කිරීමට සලස්වීමය. සිය ප්‍රින්ටරයේ සැබෑ දෝශය පසුපස ඇති දුශ්ඨ ආර්ථික ක්‍රියාවලිය පිලිබඳව පමනක් නොව වාසනාවට මේ දුශ්ඨත්වට එරෙහි සමාජ ව්‍යාපාර හා පුද්ගල සටන්ද ඇති බව අන්තර්ජාලය ඔහුට පසක් කර දෙනවා. මෙවැනි එක් රුසියානු ජාතිකයෙක් සිය වෙබ් අඩවියේ හුදු ලාබය තකා පරිඝනක උපාංඟ නිශ්පාදනය කරන සමාගම් වල නින්දිත සූරාකෑම හෙලිදරව් කරනවාට අමතරව ප්‍රින්ටර් වල මුද්‍රන පිටපත් සංඛ්‍යා ගණනය නැවත ප්‍රත්‍යාරම්බ (Reset) කිරීමට හැකි මෘදුකාංඟයක් නිර්මානය කර නොමිලේ ලබාදීමද කරනවා. මේ මෘදුකාංගය සමගින් කිසිදු අලුත්වැඩියාවකින් තොරව සිය ප්‍රින්ටරය නැවත් පනගන්වන්නට මාර්කෝස්ට හැකි වෙනවා.
ඉහත කතාව කෑගසා පවසන්නේ  මේ මොහොතේ අපේ ලෝකය වේගයෙන් අගාධයට ඇදගෙන යන නියො ලිබරල් අර්ථ ක්‍රමයේ සලු පිලි උනා දැමූ විට පෙනෙන විසකුරු භාවය මිස වෙනකක් නොවේ. ඔබේ ලැප්ටොප් පරිඝනකය සැමවිටම වසර තුනහමාරකින් අක්‍රීය වන්නේ ඇයි දැයි ඔබට ප්‍රශ්නයක් තිබුනානම් නැත්නම් ඔබේ ජන්ගම දුරකතනය අවුරුදු දෙකක් යන්නට පෙර මාරු කරන්නට සිදුවන්නේ ඇයිදැයි ප්‍රශ්නයක් තිබුනානම් දැන් ඔබට උත්තරය  ලැබී ඇත. අපේ සීයා 1970දී ගත් විදුලි පංකාවක් අවුරුදු 40කට පසුව තවමත් හොඳින් ක්‍රියාකරන නමුත් පසුගිය වසර විස්ස, විසිපහ තුල කුනු ගොඩට ගිය විදුලි පංකා ප්‍රමාණය මට පසක් කරන්නේ වෙනකක් නොව සැලසුම්ගත යල්පැනීමය. ඔබ බොහෝ දෙනෙකුටද එවැනි කථාවල් ඇතුවාට සැක නැත. මේ කථා සියල්ලේ සමාරම්භක කථාව හෙවත් 'විදුලි බල්බයේ කුමන්ත්‍රණය' සමස්ථ කථා වස්තුවේම ඉතා පැහැදිලි පිලිඹිබුවක් හෙයින් සැලසුම්ගත යල්පැනීම (Planned Obsolescence) ගැන කිය්ද්දී එය නොකියාම බැරිය. ඉතිං අපි ඒ කතාවට යමු.
Story No 2
මේ කතාවේ එන එකෝමත් එක රට ස්පාඥ්ඥය නොව ඇමරිකාවය. ඇමරිකාවේ කැලිෆොනියා ප්‍රාන්තයේ නගරයක් වන ලිවර්මොර්(Livermore)හි ගිනි නිවන බටයන්ගේ ගොඩනැගිල්ලක් තුල විශේෂ ආරක්ෂාවක් සහිතව පැය 24 මුලුල්ලේ විමර්ශන කැමරාවක් මගින් ආවරනය වන විදුලි බල්බයක් දැල් වෙමින් තිබේ. මෙහි විශේෂත්වයනම් ඉහත බල්බය වසර 1901 සිට අවුරුදු 110යකට වැඩි කාලයක් තවමත් හොඳින් දැල් වීමය. විදුලි බල්බයකට උපන්දින සාදයක් මේ ලෝකයේ පවත්වා ඇත්නම් ඒ වාසනාව හිමිවූයේ 2001දී ඉහත බල්බය සිය සියවන උපන්දිනය සැමරූ අවස්තාවේය. දහසකට ආසන්න නගර වැසියන් මෙම උපන්දින සාදයට සහබාගී වී ඇත. තොමස් එඩිසන් විසින් විදුලි බල්බය ලොවට දායාද කර වසර කීපයකට පසුව 1895හේ පමන මේ බල්බය ෂෙලිස් නැමැත්තෙකු විසින් නිර්මානය කර ඇත. එනම් විදුලි බල්බය බිහිවූ ආරම්බක කාලයේ පටන්ම දීර්ග කාලයක් දැල් විය හැකි බල්බ නිපදවීමේ තාක්ශනය ලොව සතුවී තිබුනු බවය. කොටින්ම තොමස් එඩිසන් 1881 නිර්මානය කල මුල්ම වානිජ්‍ය බල්බ පවා පැය 1500 කට වැඩි කාලයක් දැල්විය හැකිවී ඇත. ……………..නිකමට කල්පනා කර බලන්න ඔබේ ජීවිත කාලය තුල බල්බ කොතරම් ප්‍රමානයක් ඔබේ නිවසේ කුනු ගොඩට යන්නට ඇතිද කියා. ඒ සමගම විනාශ වූ ටංග්ස්ටන්, සිලිකා, ලෝහ, බලශක්ති ප්‍රබව ඇතුලු ස්වබාවික සම්පත් ප්‍රමාණය කොතරම්ද කියා..... අපේ කතාවේ බල්බය වැනි බල්බ අපට තිබුනානම් තත්වය කොහොමද?............
එසේ නම් මේසේ සිදුවූයේ කෙසේද?...... කථාවේ ඉතුරු කොටස නැත්නම් හොඳම කොටස, එයය.
1920ගනන් වල ලොව පුරා බල්බ් නිශ්පාදකයන්ගේ අරමුන වූයේ වැඩි කාලයක් දැල්වෙන බල්බ තැනීමය. සිය නිශ්පාදන වල අනර්ගත්වය කියැවෙන එකල වෙළඳ දැන්වීම් දුටුවහොත් මෙය හොඳින් වටහා ගත හැක. එකල පැය 2500ක් පමන දැල්වෙන බල්බ වෙලඳ පොලේ බහුලව තිබින. නමුත් මේ දීර්ඝායුෂ බල්බ නිශ්පාදනයට දීර්ඝායුෂ තිබුනේ නැත. අද අප මේ මොහොතේ අත් විදින සැලසුම්ගත යල්පැනීමේ විසකුරු සූරා කෑමේ ආරම්භය සනිටුහන් වෙන්නේ ලොව බල්බ නිශ්පාදනය කරන ඕලන්දයේ Philips'', ජර්මනියේ 'Osram' ඇතුලු ප්‍රමුක සමාගම් එක්වී 1924 නිර්මානය කරගන්නා ෆීබස් (Pheobus) නම් වෙළඳ කාටලය බිහිවීමත් සමගය. මෙම කාටලයට ඇමරිකාවේ, යුරෝපයේ මතු නොව, ජපානයේ මෙන්ම එවකට අධිරාජ්‍යවාදීන්ගේ යටත්විජිත් බවට පත්ව තිබූ බොහෝ ආසියානු ,අප්‍රිකානු රටවල සමාගම්ද අයත් විය. මොවුන්ගේ අරමුන වූයේ විදුලි බල්බයේ ගුනාත්මක භාවය අඩුකොට දැල්වීම පැය 1000කට වඩා අඩු කිරීමය. ඒ හරහා වැඩි බල්බ ප්‍රමානයක් විකුනා වැඩියෙන් ලාබ ලබා ගැනීමය. වසර කීපයක් තුල සිය දුශ්ට අරමුනු ඉටුකර ගන්නට මේ වෙළද කාටලය සමත් වෙයි. පසු කාලීනව මේ කාටලයට සම්බන්ඳ ලේඛන හදාරන ජර්මන් සමාජ විද්යාඥයෙකු වන හෙල්මුට් හෝග් (Helmut Hoge) විසින් ඉතා රහසි ගතව සිදුකල මේ ජඩ ක්‍රියාවලිය හෙලිදරව් කරනු ලබයි.
එතැන් පටන්, මේ ලෝකය එහි පරිසරය, සතා සීපාවා මතුනොව මිනිසුන්ද ආර්ථික ලාභය වෙනුවෙන් විනාශ කරමින්යන පවතින සිස්ටම් එකේ අනිවාර්‍ය අංගයක් බවට සැලසුම්ගත යල්පැනීම පත්විය. මුල් අවධියේදී සැලසුම් ඉන්ජිනේරුවන් සිය දැනුම හා කුසලතා තත්වයෙන් බාල භාන්ඩ නිශ්පාදනය උදෙසා පාවිච්චි කිරීමට යම් ප්‍රතිවිරෝධයක් දැක්වූවද ඔවුන් අභිබවා සමාගම් මුදලාලිලාගේ මුදල් අවසානයේ ජය ලැබීය. අද දවසේ ඉන්ජිනේරුවන්ට නම් භාන්ඩ සැලසුම් කල හැක්කේ සිය සේවාදායක සමාගමේ ලාභය උපරිම කලහැකි ව්‍යාපාරික උපායමාර්ගයන්ට යටත්වය. ඉහත කථා ද්විත්වයේ සඳහන්වූ Planned Obsolescence / Built-in-Obsolescence අමතරව මෙහිම තවත් මානයක් ලෙස Perceived Obselescence පවතියි. මෙහිදී සිදුවන්නේ භාන්ඩය සියයට සීයක් හොඳින් ක්‍රියාත්මක වුවද, මෝස්තරයෙන්,නවීනත්වයෙන් හෝ පිටත පෙනුමෙන් යල් පැන තිබීමය. ඇඳුම් පැලඳුම් විලාසිතා,ජංගම දුරකතන, මෝටර් රථ දීර්ඝ ලැයිස්තුවකට අයත් උදාහරණ කීපයකි. ක්‍රියාකාරීත්වයේ සුලු වෙනසක් හෝ බොහෝවිට පිටත පෙනුමේ වෙනසක් පමනක් හරහා පැරනි භාන්ඩ වීසිකර අලුත් මොඩල් එක මිලදී ගැනීමට බල කෙරෙන පෙලඹවීමයි. මෙය තනිකරම වෙළඳ දැන්වීම් හා මාධ්‍ය හරහා පාරිබෝගිකයන්ගේ මොල තුල නිර්මානය කරන දෙයකි. Credit Card , ලීසිං, කොටස් වශයෙන් ගෙවීමේ ක්‍රම වැනි ණය කන්දරාවන් තමංට මේ මොහොතේ අත්‍යාවශ්‍ය නොවන දෙයක් ගැනීමට ඇති පෙලඹවීම තීව්‍ර කරයි. මෙසේ නිකරුනේ කුනුගොඩට යන භාණ්ඩ යනු අති දැවැන්ත ස්වභාවික සම්පත් ප්‍රමානයක් විනාශ කිරීමට ලැබෙන සහතිකයයි.
Pirates of the…………….Next Generation
අනාගත පරම්පරා ගනනාවක් වෙනුවෙන් ඇති ස්වභාවික සම්පත්, අතීතයේ වසර මිලියන ගනනක් පුරා නිර්මානයවූ ස්වභාවික සම්පත්, වර්තමානයේදී නිමේශයක් තුල කාබාසිනියා කරමින් ලාභයම පමනක් සොයන ලෝකයක් තුල අපි මංමුලාවූවන්සේ ඉබාගතේ දුවමින් සිටිමු. අතිශය සීමිත සම්පත් ප්‍රමානයක් අතැතිව මේ ක්‍රියාවලිය තව කොතරම් කාලයකටදැයි ඇසිය යුතු කාලය එළබ ඇත.  තව දුරටත් මේ නියෝ ලිබරල් ධනවාදය තුල මිනිසාට හෝ පෘතිවියට අනාගතයක් නැත. අධික වේගයෙන් අප ගමන් කරමින් සිටින්නේ අනිවාර්ය ව්‍යසනයක් කරාය. වටිනා ගහකොලද, සතා සීපාවාද පොසිල ඉන්දනද ඇතුලුව බොහෝ සම්පත් දැනටමත් අපට අහිමි වී ඇත, නො එසේනම් නුදුරේදීම අහිමිවීමට නියත විවරන ලබා ඇත. ලෝකයේ බොහෝ මත්ස්‍ය බිම් මෙසේ සූරාකා විනාශ කර ඇත, අද ඒවා මාලු නැති මුහුදු බවට පත්වී ඇත. ඇමරිකාව ප්‍රමුක බටහිර විසින් මෙසේ විනාශ කර දැමූ එක් කුප්‍රකට මත්ස්‍ය බිමක් නම් සෝමාලියාව අවට මුහුදු ප්‍රදේශයයි. අතීත සෝමාලියානු ධීවර ප්‍රජාව, අද මුහුදු කොල්ලකරුවන් වීමේ ප්‍රමුක හේතුව එයයි. අප, ඔවුන් මේ තත්වයට ඇද දැමූ ආර්තික මොඩලය වැළඳ ගනිමින් කොල්ලකරුවන්ට පයින් ගසමින් සිටිමු, එහෙත් ඛේදවාචකයනම් අපේ දරුමුනුපුරන්ගේ ඉරනමද ඔවැනිම වනු ඇති බවය.
Day light robbers
සුප්‍රකට ඇපල් සමාගමද, එහි මහ මොලකරු ලෙස සිටි (මෑතකදී මියගිය) ස්ටීව් ජොබ්ස්ද සිය මඩි තරකර ගැනීමට සැලසුම්ගත යල්පැනීම ඉහලින්ම භාවිතාකරන්නන් අතර ඉදිරියෙන්ම සිටී. Apple i-Pod එක වෙළඳ පොලට ආ අවදියේ එහි බැටරිය නිර්මානය කර තිබුනේ වසරකට ආසන්න කාලයකදී අක්‍රීයවීමටය, එහෙත් එවිට බැටරිය ප්‍රතිශ්ඨාපනය කිරීමේ කිසිදු ක්‍රමවේදයක් ඔවුන් සතුව නොවීය, ඒ වෙනුවට ඇපල් සමාගමේ උත්තරය වූයේ, බැටරියේ දෝශයට මුලු උපාංගයම විසි කර අලුත් එකක් ගන්නා ලෙසය. ඒ වනවිට ඇමරිකාවේ පමනක් i-Pod මිලියන 3ක් විකුනා තිබුනි. බොහෝ දෙනෙක් එසේ කලද, මෙයට විරුද්ද වූවන් ,සමාජ ක්‍රියාකාරීන්ද සමග එක්වී, අධිකරනයට යාමත් සමග පාදයක් පසුපසට තියන්නට ඇපල් සමාගමට සිදුවිය. ඒ අනුව උපාංගය වීසිකරනවා වෙනුවට බැටරිය මාරුකිරීමෙන් පමනක් නැවත යතා තත්වට පත්කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන්නට සමාගම එකඟ විය. එහෙත් අදටද විවිද මුහුනුවරේ සැලසුම්ගත යල්පනීම සිය නිශ්පාදන තුල කිසිදු හිරිකිතයක් නැතුව ලාභය වෙනුවෙන් පාවිච්චි කරන සමාගම් අතර 'චැම්පියන්ලා' ඇපල් විය යුතුය. සෑම විටම ලියාපදිංචි නොකල (Unregistered)මෝටර් රථයක් පැදවීම වැනි බොළඳ ආශාව තෘප්ත කර ගැනීමට, සෑම 6 මසකට වරක් තමන් පාවිච්චි කල බෙන්ස් කාර් එක ඉවත්කර අලුත් බෙන්ස් රථයක් ගත් ස්ටීව් ජොබ්ස් වැන්නෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලා පොරොත්තු වීමද එක අතකට විහිලුවකි. (ඔහු ජීවත් වූ ප්‍රාන්තයේ ලියාපදිංචි නොකර මෝටර් රථයක් මාස 6ක් භාවිතා කල හැකිය.) ස්ට්ව් ජොබ්ස් පඩි ගත්තේ ඩොලර් 1 (අනේ පවු කුක්කු පැටියා) වැනි ගොං පාට් ලියන රට තක්කඩියන් නොලියන ඇත්ත මේවාය.
Quietly flows the Odaw……………or is it?
මේ ඉවක් බවක් නැති නිශ්පාදනයේ අනික් අනිවාර්‍ය අංගය පරිසර විනාශයයි. හුස්ම ගැනීමට පිරිසිදු වාතය, බීමට සුදුසු වතුර ටික මේ මොහොතේද දුර්ලභ වස්තූන් වී හමාරය. ඉහල යන ගෝලීය උනුසුමද, එකක් පසුපස තවෙකක් ලෙස එන ස්වාභාවික විපත්ද, පරිසර විනාසයේ සුලබ ප්‍රතිවිපාකය. තුන්වන ලෝකයේ රටවල ගොඩ ගසන බටහිර රටවලින් වීසිකරන, විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික හා පරිඝනක අබලි කඳුද තවත් විපාකයකි. අප්‍රිකානු දුප්පත් රාජ්‍යයක් වන ඝානාවේ ඇග්බොලොශි හි ඔඩාව් (Odaw) නදිය හා ඒ අවට තැනිතලා පිටිය හඬගා කියා සිටින්නේ මේ විශම ආර්තික මොඩලයේ දුෂ්ටත්වයයි. මීට දශක දෙකකට පමන පෙර ඉතා සුන්දර නදී තෙරක් අසබඩ වූ සුපිරිසිදු මනරම් පරිසර පද්දතිය අද අබලි පරිඝනක හා උපාංග, 'T.V', රේඩියො උපාංග ගොඩ ගැසූ දැවැන්ත කුනු ගොඩකි,ජලය එකතැන රැඳී පල්වූ ලෙඩ රෝග පතුරන දුඟද හමන පල් වලකි, තැන ,තැන ලෝහ ලබා ගැනීමට මේ අබලි වලට ගිනි තැබීමෙන් නිකුත් වන විශ දුම් අහසට නැගෙන මර උගුලකි. එදා ඔඩාව් නදිය අසල සුන්දර පරිසරයක පාපන්දු ක්‍රීඩා කරමින් කෙලිදෙලෙන් දුව පැන්න සතුටින් පිරි මුහුනු සහිත දරුවන්ගේ දරුවන් අද දුප්පත් කමින් මිරිකෙමින් කේඩෑරිවී ගිය මුහුනු සහිතව වැරහැලි ඇඳගෙන මේ කුනු කන්ඳ මත යකඩ ඇතුලු වෙනත් ලෝහ සොයමින් යන කුනු බුදින්නන් වී ඇති සැටි මේ නියො ලිබරල් දහදුරාව ලෝකය ඇදගෙන යන දිශානතිය, එහි පාරිසරික ඵලවිපාක මතු නොව මානව ඛේදවාචකය පිලිබඳ කදීම එහෙත් අතිශය දුක්බර රූපසටහනකි.
අද අප දෑස් නිලංකාරව බලා සිටින මේ සුරංගනා මායාවට එපිටින් ඇති සත්‍ය තෙරුම් ගැනීම තව දුරටත් පමා කලනොහැකි වී ඇත.  එබැවින් අපට අසන, දකින, කියවන දෑ සියල්ල දෙස විවෘත මනසින් බැලීමට,විචාරාක්ශියෙන් බැලීමට හා විශ්ෂයෙන් මොලය පාවිච්චි කිරීමට බල කෙරී ඇත. මීට සති කීපයකට පෙර සිංහල බ්ලොග් එකක (නම මට හරියටම මතක නැත ), නිමල්,සුනිල් කමල් වැනි සුලබ නාමයන් හා මාතලං, බුවා වැනි බ්ලොග් නාමයන්ද, ඈදා ගෙන ‘ඉස්සන් වලක’ සරල උදාහරණයකින් සියලු ප්‍රශ්න වලට නියො ලිබරල් ධනවාදයේ උත්තර ඇතැයි සුරංගනා කතාවක් තිබුනා දුටුවෙමි. එහෙත් පැහැදිලි සත්‍ය නම් මේ සිස්ටම් එක එකක් ,පසුපස තවෙකක් ලෙස උත්තර නැති දැවැන්ත ප්‍රශ්න කන්දරාවක් නිර්මානය කරමින් යන බවය.  මේ මාලු වලේ මාලු බාන කුසල්හාමිලාගේ සුදු පිරුවට සලු පිලි උනා දැමූ විට හමුවන්නේ එක්කෝ, අරුනි ශපීරො ජාතියේ කුලියට ගජබින්නාලංකාරය ලියන රට තක්කඩියෙකි, නැත්නම් ඒ/ලෙවල් ඉකොනොමික්ස් වලින් රටේ ආර්තිකය විග්‍රහ කරන බන්දුල 'ධන-රිණ' ගුනවර්ධන පන්නයේ රට හරකෙකි. මේ කුමක් වුවද කියවන්නා සිහි බුද්දියෙන් කියවීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය කොන්දේසියක් වී ඇත්තේ තව දුරටත් මංමුලාවී සිටීම යනු අපේ මිනී වල අපිම කපා ගැනීමම වන බැවිනි.
End of the Story
'සැලසුම්ගත යල්පැනීම' ආශ්‍රිත අපේ අද කතාව අවසන් කිරීමට විදුලි බල්බය තරම් යෝග්‍ය වෙනකක් නැත. බාල විදුලි පහන් නිපදවීම ඇරඹූ කාලයේ සිටම දීර්ගායුශ බල්බ සදහා සැලසුම් බොහෝ ප්‍රමානයක් එලිදැක් වුවද ඒවා වානිජ්‍ය නිශ්පාදනය තුලට කිසිවිට වැද්ද ගත්තේ නැත. යලි එවන්නකට උදාහරන හමුවන්නේ, දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහිවූ නැගෙනහිර යුරෝපානු 'සමාජවාදී' කදවුර තුල කාර්මික අතින් වඩත්  ඉදිරියෙන්ම සිටි නැගෙනහිර ජර්මනියෙනි.  බටහිර ලාභය පදනම්වූ ආර්තික මොඩලයට එරෙහිව නැගෙනහිර රාජ්‍ය-ඒකාදිකාරී, එක අතකට අකාර්යක්ශම , මධ්‍යගත ආර්තිකයක් අඩසිය වසකට ආසන්න කාලයක් විශාල කාර්මීකරනයක් සහිතව වර්දනය විය. නැගෙනහිර ජර්මනියේ කම්හලක දීර්ඝායුෂ විදුලි බුබුලු නිපදවූ අතර, 80' ගනන්වල වරක් ජාත්‍යන්තර වෙලඳ ප්‍රදර්ශනයකට ඉදිරි පත් කර තිබුනේ, බටහිර වෙළඳපොලට හඳුන්වාදීමේ උත්සහයක් ලෙසය. බටහිර රාජ්‍යයන් එකකවත් ඉහත බල්බ නිපද්වීමට හවුල්කාර සමාගමක් සොයා ගැනීමට නොහැකිවූ අතර, එවායේ සේවකයන්ගේ මතය වූයේ දීර්ගායුශ බල්බ නිපදවූවොත් වෙළදාම අඩුවී  තමන්ගේ රැකියා අහිමි වන බවය. එහෙත් ජර්මන් සමාගමේ ඉන්ජිනේරුවන්ගේ මතය වූයේ “දීර්ගායුශ බල්බ නිසා ඒවා නිශ්පාදනයට අවශ්‍ය ස්වභාවික සම්පත් දිගු කලක් ආරක්ශාවන නිසා සිය රැකියා දීර්ගකාලයකට සුරක්ශිත වන” බවයි. 89යේ බර්ලින් තාප්පය බිඳ වැටී නැගෙනහිර ජර්මනියද බටහිර ආර්තික මොඩලය වැලඳගැනීමත් සමග ඉහත බල්බයද අභාවයට ගිය අතර දැන් ඒවා දකින්නට ඇත්තේ කෞතුකාගාරවල ප්‍රදර්ශන භන්ඩයක් ලෙස පමණි.
නැගෙන්හිර ජර්මනියේ හෝ පැරණි සොවියට් රුසියාවේ හෝ පැවති යල්පැන්න සමාජාර්තික මොඩලය අදට නොගැලපුනද එම ප්‍රකාශයේ හරය ගත්විට අප කලයුත්තේ අපේ පමනක් නොව අපේ දරු මුනුබුරන්ගේ රැකියාද සමස්තයක් ලෙස මානව සංහතියේ පැවැත්මද ආරක්ශා කලහැකි වඩාත් ධරණීය ආර්තික මොඩලයක, සුසමාදර්ශ වෙනසක අත්‍යවශ්‍යතාවය වෙනුවෙන් සටන් වැදීමට නොපමාව නැගී සිටීමයි. විදුලි බල්බ කුමන්ත්‍රනයේ ප්‍රභල භූමිකාවක් රඟපෑ Philips අධිරාජ්‍යයේ වත්මන් පුරුකක් වන වොරන් ෆිලිප්ස් වසර 25ක් දැල් විය හැකි බල්බ නිශ්පාදනය කරමින් සිය දායකත්වය ලබාදෙමින් සිටියි. මෙසේ ලොව පුරා බොහෝ දැනුවත් මිනිසුන්, ගැහැනුන් තනි තනිව මෙන්ම, කුඩා කන්ඩායම් ලෙසද විවිද මානයන්ගෙන් මේ සටන දැනටමත් ආරම්බ කර ඇත. මිනිසත් බවේ නාමයෙන් එක්ව අත්වැල් බැඳගෙන පොදුසටනක් බවට පත් කිරීම හෙට දවසේ යහපත් ලොවක් ප්‍රර්තනා කරන සියල්ලන්ගේ අද දවසේ වගකීම, යුතුකම බව අවිවාදිතය.

වැදගත් විශයය....4 ( Sex Education in Sinhala )

Wednesday, February 13, 2013



කූපර් ග්‍රන්ථි

කූපර් ග්‍රන්ථි කියන්නේ බෝංචි ඇටයක් තරමේ ග්‍රන්ථි දෙකක්.පුරස්ථිති ග්‍රන්ථියට පහළින් දෙපැත්තේ මේවා දෙක පිහිටලා තියෙන්නේ.මේවා  එක එකක් කුඩා නාළයක් මගින් මුත්‍ර මාර්ගයට විවෘත වෙනවා.ලිංගික ආවේගය ඇති වීමත් එක්කම කූපර් ග්‍රන්ථිවල තියෙන ශ්‍රාවයන් මුත්‍ර මාර්ගයට මුදා හැරෙනවා.මේ ශ්‍රාවය ක්ෂාරීයයි.ඒ නිසා මුත්‍ර මාර්ගයේ මුත්‍ර නිසා ඇතිවෙලා තියෙන ආම්ලික බව නැති කරන්ඩ මේ ශ්‍රාවය දායක වෙනවා.ඒ වගේම ශුක්‍ර තරලයට මුත්‍ර මාර්ගය හරහා පහසුවෙන් ගලා යාමටත් මේ ශ්‍රාවය පැවතීම උදව්වක් වෙනවා.ඊට අමතරව ශිෂ්ණයේ කෙළවර යම් පමණකට තෙත් බවක් ඇති කර ලිහිසි කාරකයක් විදිහටත් මේ තරලය ක්‍රියාත්මක වෙනවා.

මුත්‍ර මාර්ගය

ගැහැනුන්ට වගේ නෙමෙයි පිරිමින්ට මුත්‍ර පිටවීමටත්, ලිංගික ක්‍රියාවේදී පිටවන ශ්‍රාවයන් ගමන් කිරීමටත් දෙකටම තියෙන්නේ පොදු නාළයක්.ඒ තමයි මුත්‍ර මාර්ගය.පිරිමින්ගේ මුත්‍ර මාර්ගය සාපේක්ෂකව දිගින් වැඩියි.ඒක 20cm විතර දිගයි.මුත්‍රා කිරීමේදී මුත්‍රත්, ලිංගික සුරතාන්තයේදී ශුක්‍ර තරලයත් ගමන් කිරීමට මුත්‍ර මාර්ගය ඉඩ දෙනවා.ඒ උනාට ශුක්‍ර තරලය පිට වෙද්දී මුත්‍ර පහකරන්ඩ මුත්‍ර මාර්ගය ඉඩ දෙන්නේ නෑ.ශිෂ්ණය සෘජු වෙලා තියෙද්දිත් මුත්‍රා කරන්ඩ අමාරු මුත්‍ර මාර්ගයට මුත්‍ර එන විවරය ඒ වෙලාවට වැහිලා තියෙන හින්දා.


ශිෂ්ණය

මේක තමයිනේ වැදගත්ම ඉන්ද්‍රිය.ශිෂ්ණය කියන්නේ අවශ්‍ය වෙලාවට සෘජු වෙන අනිත් වෙලාවට නිකං එල්ලි එල්ලි තියෙන ව්‍යුහයක්නේ.මේක සෘජු වීම නොවුනොත් බෙලහීනයෙක් කියලා අපහාස විඳින්ඩ වෙනවා.ඒ වගේම හැමතිස්සෙම සෘජු වෙලා තිබ්බොත් වනචරයෙක් කියලා අපහාස විඳින්ඩ සිද්ද වෙනවා.මේක පාලනය කරං ඉන්නෙ කොච්චර අමාරුවෙන්ද කියලා දන්නේ ඒක තියෙන එකෙක්ම විතරයිනේ.
ප්‍රියාපස් නම් ග්‍රීක දෙවියා

ශිෂ්ණය හැදිලා තියෙන්නේ ස්පොන්ජිමය පටකවලින් හැදිච්ච කූරු වගේ ව්‍යුහ තුනකිං.මේවායෙන් දෙකක් එක සමානයි.ඒ දෙක ඉහළ දෙපැත්තේත් අනිත් එක පහළ මැදත් පිහිටලා තියෙනවා.ඉහළින් තියෙන ව්‍යුහ දෙක වටේට තද පටකයකින් හැදිච්ච ආවරණයක්, ඒ කියන්නේ කවරයක් තියෙනවා.මේ ඉහළින් තියන ස්පොන්ජිමය පටක මැද්දෙන් ධමනි කියන රුධිර නාළ( හදවතේ ඉඳං රුධිරය අරන් එන රුධිර වාහිනී ) පිහිටලා තියෙනවා.දැං ඉතිං ඔන්න කට්ටිය මතක් කර ගන්ඩ අර ඉස්සර කාලේ රුපියල් දෙකට තිබ්බ අයිස් පැකට්. අන්න ඒ අයිස් පැකට් කාලා ඉවර වෙලා ඒකට හුලං පුරවලා කොහෙ හරි ගහලා 'ඩෝං' ගාලා පිපිරෙව්වා මතකද? අන්න ඒ වගේ නිකං හිතලා බලන්ඩ ඒ අයිස් පැකට් එකකට තරමක පීඩනයෙන් වතුර පිරෙව්වොත් මොකද වෙන්නේ?? 

අන්න ඒ සිද්දියම තමයි ශිෂ්ණයෙත් වෙන්නේ.ශිෂ්ණයේ මේ තියෙන ස්පොන්ජිමය පටකවල රුධිරය පිරෙනවා.එතකොට ශිෂ්ණය ක්‍රමයෙන් ප්‍රමාණයෙන් විශාල වෙනවා.ඊට පස්සේ අර ස්පොන්ජිමය පටක වටේ තියෙන තද පටකයෙන් හැදිච්ච කවරේ නිසා එක්තරා අවස්ථාවකදි විශාල වෙන එක නැවතිලා මේ පටක ඇතුලේ පීඩනය වැඩි වෙන්ඩ ගන්නවා.ඊට පස්සේ මේ පීඩනය නිසා ශිෂ්ණය සෘජු වෙන්ඩ පටං ගන්නවා. ශිෂ්ණයට රුධිර සැපයුම වැඩි වෙනකොට ශිෂ්ණය ප්‍රමාණයෙන් විශාල වෙද්දි ශිෂ්ණයෙන් රුධිරය අරන් යන ශිරා අවහිර වෙනවා.ඒ නිසා ශිෂ්ණය ඇතුලේ රුධිරය එක් රැස් වෙලා පීඩනය වැඩි කරගන්ඩ පුළුවං.

ඉතිං ලිංගික ක්‍රියාවේදී ශුක්‍ර මෝචනය උනාට පස්සේ ශිෂ්ණයට ලැබෙන මේ රුධිර ප්‍රමාණය අඩු වීම නිසා නැවතත් ශිෂ්ණය කුඩා වෙනවා.

ශිෂ්ණයේ අග කෙළවර තියෙන ශිෂ්ණ මුණ්ඩය හැදෙන්නේ අර පහළින් තිබුණු ස්පොන්ජිමය පටකය ශිෂ්ණය කෙළවරදී විශාල වීම නිසා.මේ පහළින් තියෙන ස්පොන්ජිමය පටකය මැද්දෙන් තමයි මුත්‍ර මාර්ගය ගමන් කරන්නේ.මේ ශිෂ්ණ මුණ්ඩය කියන කොටස තමයි පුරුෂයින්ගේ ලිංගිකමය සංවේදී ප්‍රධානම ප්‍රදේශය.

ශිෂ්ණ මුණ්ඩය ප්‍රදේශය ආවරණය වෙලා තියෙන සම පසුපසට කිරීමෙන් ශිෂ්ණ මුණ්ඩය නිරාවරණය කරන්ඩ පුළුවන්.යුදෙව්වන් සහ මුස්ලිම් අය මේ පෙර සම කපා දමනවා.පෙරසම් කපා නොදැමූ අය මේ පෙරසම පසුපසට කර ශිෂ්ණය පිරිසිඳු කිරීම වැදගත්.එහෙම නිතර පිරිසිඳු නොකිරීම නිසා ශිෂ්ණ මුණ්ඩය හා පෙරසම අතර 'ස්මැග්මා' කියන ශ්‍රාවයන් එකතු වෙනවා.සාමාන්‍ය ජන වහරේ 'පොල්කුඩු' ලෙස හඳුන්වන මේ ස්මැග්මා දුඟදින් යුක්ත වන අතරම පිළිකා කාරකද වෙනවා.






ශිෂ්ණයේ පිළිකාවක්

ශිෂ්ණයේ ප්‍රමාණය ගැන කළබල විය යුතු නැත.ශිෂ්ණයේ ප්‍රමාණය මත ඔබේ හෝ සහකාරියගේ තෘප්තිය රඳා පවතින්නේ යැයි කිසි විටක සිතන්න එපා.ශරීරයේ ප්‍රමාණයට සාපේක්ෂකව විශාලම ශිෂ්ණය හිමි වන්නේ මිනිසාටයි.කොහොමත් කාන්තාවක් තෘප්තිමත් කිරීමට අඟල් 4ක් දිග ශිෂ්ණයක් තිබීම ප්‍රමාණවත් කියලයි කියන්නේ.අනික ඔබේ සහකාරිය ඔබේ ශිෂ්ණය ප්‍රමාණවත් නැතැයි ඔබට චෝදනා කරන්නේ නම් (ඔබ සැළකිල්ලට ගත යුත්තේ ඔබේ සහකාරියගේ චෝදනා පමණි.ලෝකයා මොන කතා කිව්වත් ඒ කිසිවෙකුත් ඔබගෙන් ලිංගික තෘප්තිය බලාපොරොත්තු නොවන නිසා ඒ වෙනුවෙන් වෙහෙසී පළක් නැත.) ඔබ කළ යුත්තේ ඇය යෝනි මාර්ගය විශාල කර ගැනීම පිළිබඳව දොස් පැවරීමය.


වැදගත් විශයය....3 ( Sex Education in Sinhala )

Monday, February 11, 2013





කලිං වෘෂණ ගැන කිව්වනේ.දැං වෘෂණ ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාව දළ වශයෙන් කියන්ඩයි හදන්නේ.

දන්නවනේ වෘෂණ ඇතුලේ ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ ශුක්‍රාණු ජනනය වෙන එකනේ.එයිට අමතරව ටෙස්ටොස්ටෙරොන් කියන පුරුෂ හෝමෝනය හදන්නත් ප්‍රධාන වශයෙන් වෘෂණ දායක වෙනවා.මේ කියන ටෙස්ටොස්ටෙරොන් හැදෙන්නේ වෘෂණවල තියෙන 'ලේඩිග් සෛල' කියන සෛල ඇතුලේ.කලිං කිව්වනේ වෘෂණ ඇතුලේ තියෙන්නේ නාල ගොඩක් එහෙම නැත්තං බට පද්ධතියක් කියලා.මේ බට අතරේ (ඇතුලේ නෙමෙයි ) තමයි ලේඩිග් සෛල තියෙන්නේ.එතකොට බට ඇතුලේ සෛල ජාති දෙකක් තියෙනවා.එක ජාතියක් බෙදිලා බෙදිලා තමයි ශුක්‍රාණු හැදෙන්නේ.අනිත් සෛල ජාතිය තමයි "ස'ටොලී සෛල" කියන්නේ.එයාලගේ කර්තව්‍යය තමයි ශුක්‍රාණු හදන එකට උදව් කරන එක.එයිට අමතරව මෙයාලා බට පද්ධතිය ඇතුලට දියරයක් ශ්‍රාවය කරනවා.ඒ දියරයත් එක්ක වෘෂණ ඇතුලේ හැදෙන ශුක්‍රාණු වෘෂණවලින් පිටතට එනවා.



ටෙස්ටොස්ටෙරොන් හෝමෝනය පුරුෂයින්ගේ ලිංගික අවයව හදන්ඩ, පුරුෂ ගතිලක්ෂණ පවත්වගෙන යන්ඩ වගේම ලිංගික ආශාව ඇති කරන්ඩත් දායක වෙනවා.ඒක හින්දා එක එක අවශ්‍යතාවලදි සමහරුන්ගේ වෘෂණ ඉවත් කරනවා.සමහරු අධික ලිංගික ආශාව හින්දා ස්ත්‍රී දූෂකයෙක් උනොත් දඬුවමක් විදිහට වෘෂණවල ක්‍රියාකාරීත්වය නැති කරන්ඩ දකුණු කොරියාව වගේ සමහර රටවල් ක්‍රියා කරනවා.ඒ වගේම හරක්, බල්ලෝ වගේ සත්තුංගේ ප්‍රජනන හැකියාව නැති කරන්ඩත් මේ විදිහට වෘෂණ විනාශ කරලා දානවා.ඒ දවස්වල හරක්ව වඳ කරන මේ ක්‍රියාවට කිව්වේ 'කර අඹනවා' කියලා.ඒක කලේ පොලු දෙකක් අරගෙන හරකගෙ වෘෂණ දෙක මේ පොලු දෙක මැද්දට තියලා අඹරණ එකලු.හිතනකොටත් යටිබඩ කොර වෙලා යනවා.



වෘෂණ කෝෂය

වෘෂණ කෝෂය කියන්නේ ශරීරයෙන් පිටතට එල්ලී ඇති සමෙන් සෑදුනු මල්ලක් වගේ ව්‍යුහයක්.මේකේ එක එක වෘෂණය සඳහා වෙන වෙනම කොටස් දෙකක් තියෙනවා.ඒ කියන්නේ එළියෙන් පේන්නේ එකක් වගේ උනාට ඇතුලෙන් වෘෂණ දෙක වෙන් කරමින් බිත්තියක් තියෙනවා.ඒක හින්දා වෘෂණ දෙක පැත්ත මාරුවෙයි කියලාවත් දෙක පැටලෙයි කියලාවත් බය වෙන්ඩ ඕනෙ නෑ.වෘෂණ කෝෂයේ කාර්යය වෙන්නේ ශුක්‍රාණු ජනනය සඳහා අවශ්‍ය කරන නියම උෂ්ණත්වය වෘෂණවලට ලබා දෙන එක.මේ සඳහා එහි ඇති දහදිය ග්‍රන්ථිත් දායක වෙනවා.

අපිවෘෂණ

අපිවෘෂණ කියන්නේ එක එක වෘෂණයක ඒවා මත පිහිටලා තියෙන පුංචි පණුවෙක් වගේ ව්‍යුහයක්.මෙයත් නාළ පද්ධතියක්ම තමයි.ඒත් මෙයා වෘෂණයෙන් පිට වෙන නාළ ටික එකට එකතු කරලා තනි බටයක් බවට (ශුක්‍ර නාළය බවට ) පත් කරන්ඩ දායක වෙනවා.ඒ වගේම වෘෂණයෙන් පිට වෙන ශුක්‍රාණු පරිණත වෙන්නෙත් අපිවෘෂණයේදි තමයි.

ශුක්‍ර නාළ

එක එක වෘෂණයේ හැදෙන ශුක්‍රාණු ශිෂ්ණය කරා ගේන්ඩ දෙපැත්තේ තියෙන බට දෙක තමයි ශුක්‍ර නාළ කියන්නේ.වෘෂණ තියෙන්නේ ඇඟෙන් එළියෙනේ.ඒත් හැදුනේ ඇඟ ඇතුලේ හින්දා වෘෂණ එළියට ආවට ශුක්‍රානු ගෙනියන බට ලයින් එක යන්නේ වෘෂණවල ඉඳං ආයෙත් ඇඟ ඇතුලට.ශ්‍රෝණිය ඇතුලේ මුත්‍රාශයට දෙපැත්තෙන් ගිහිල්ලා මේ ශුක්‍ර නාළ දෙක පුරස්ථිති ග්‍රන්ථිය ඇතුලෙදි මුත්‍ර මාර්ගයට එකතු වෙනවා.





පුරස්ථිති ග්‍රන්ථිය

පුරස්ථිති ග්‍රන්ථිය කියන්නේ ලෙල්ල ඉවත් කරපු පුවක් ගෙඩියක් වගේ ව්‍යුහයක්.මේක මැද්දෙං තමයි මුත්‍රාශයේ ඉඳං 'මුත්‍ර මාර්ගය' ඒ කියන්නේ 'මුත්‍ර වාහිනිය' ගමන් කරන්නේ.ඒ යන අතර මැදදි මුත්‍ර මාර්ගයට ශුක්‍ර නාළ වගේම ශුක්‍ර ආශයිකා දෙකත් විවෘත වෙනවා.මේ පුරස්ථිති ග්‍රන්ථිය ටිකක් දැඩි ව්‍යුහයක්.ඒ හින්දා මිනිහෙක් මැරිලා අඳුණ ගන්ඩ බැරි වෙන තරමට කුණු උනත් මේ පුරස්ථිති ග්‍රන්ථිය ටිකක් කල් යනකං නරක් නොවී තියෙනවලු.ඒක හින්දා ඔය නරක් වෙච්ච මිනී එහෙම හම්බ උනාම ගෑනුද පිරිමිද කියලා අඳුර ගන්ඩ මේ පුරස්ථිති ග්‍රන්ථිය උදව් වෙනවා.

පුරස්ථිති ග්‍රන්ථියේ කාර්යය වෙන්නේ ශුක්‍ර තරලය හදන්ඩ දායක වෙන එක.වෘෂණවල හැදිච්ච ශුක්‍රාණු පිට වෙන්නේ තරලයක් විදිහටනේ ඉතිං මේ තරලයට ශ්ලේශ්මලය යම් ප්‍රමාණයක් එකතු කරන්නේ පුරස්ථිති ග්‍රන්ථිය.ශ්ලේශ්මලය කියන්නේ නිකං සෙම වගේ ජල්ලිමය තරලයකට.ඊට අමතරව ශුක්‍ර තරලය භාශ්මික කරන්ඩත් පුරස්ථිති ග්‍රන්ථියේ ශ්‍රාවයන් දායක වෙනවා.ශුක්‍රාණුවලට ආම්ලික මාධ්‍යවල පවතින්න බෑ.ස්ත්‍රී යෝනිය ආම්ලිකයිනේ (දන්නැති අයට- ආම්ලිකයි ඈ..). ඉතිං මේ ස්ත්‍රී යෝනියේ ආම්ලික බව උදාසීන කරන්ඩ ශුක්‍ර තරලයේ භාෂ්මික බව වැදගත් වෙනවා.

ඒ වගේම කියන්ඩ ඕනේ මේ පුරස්ථිති ග්‍රන්ථිය ස්ත්‍රීන්ගේ යෝනි මාර්ගයේ ඇතුල් බිත්තියේ තියෙන 'G ස්පොට්' කියන අධි සංවේදී ස්ථානයට සමාන පුරුෂ ප්‍රථිරූපකයලු.ඒ කියන්නේ ඒ වෙනුවට පිරිමින්ට තියෙන එකලු.ඒ නිසා මේ පුරස්ථිති ග්‍රන්ථිය උත්තේජනය කිරීමෙනුත් ලිංගික තෘප්තිය ලබාගන්ඩ පුලුවං කියලයි කියන්නේ.ගුද මාර්ගයට ඇඟිල්ල දාලා එහි ඉදිරි බිත්තිය හරහා පුරස්ථිති ග්‍රන්ථිය තියෙනවා අල්ලලා බලන්ඩ පුළුවං.සමහර රෝගී තත්ත්වවලදී පුරස්ථිති ග්‍රන්ථිය ලොකු වෙලාද බලන්ඩ ගුද මාර්ගයට ඇඟිල්ල දාලා බලන්ඩ සිද්ද වෙනවා.සමලිංගිකයින් ගුද රමණය හෙවත් ශිෂ්ණය ගුද මාර්ගයට ඇතුළු කිරීමේ සංසර්ගීය ක්‍රියාව කරන්නේ මේ පුරස්ථිති ග්‍රන්ථිය උත්තේජනය කරන්ඩ කියලා තමයි කියන්නේ.




පැහැදිලි නැති තැන් තියෙනවානං අහන්ඩ.මම දන්න දෙයක් නං කියන්නං.දන්නැති දෙයක්නං හොයලා කියන්නං.



වැදගත් විශයය....2 ( Sex Education in Sinhala )

Sunday, February 10, 2013


හරි කලිං ලිපියේ කිව්වනේ බොහොමයක් සෛලවල තියෙන වර්ණදේහ ගැන.ඉතිං මේ වර්ණදේහ 46 පුද්ගලයෙක්ට ලැබෙන්නේ ඒ පුද්ගලයාගේ මවගෙන් සහ ජීවවිද්‍යාත්මක පියාගෙන් කියන දෙන්නගෙන්ම.අම්මගෙන් 23කුත් තාත්තගෙන් 23කුත් විදිහට ලැබෙන මේ වර්ණදේහ යුගල් ඒ කියන්නේ දෙකේ ගොඩවල් 23ක් විදිහට සළකන්ඩ පුළුවං.මේ යුගල් 23න් 22ක් සාමාන්‍ය ශරීරයේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය යාමනය කරන්ඩ දායක වෙද්දි එක යුගලක් පුද්ගලයාගේ ලිංගය තීරණය කරන්ඩ දායක වෙනවා.ඒ යුගලට කියන්නේ ලිංග වර්ණදේහ කියලා.

ලිංග වර්ණදේහ ජාති දෙකක් තියෙනවා.X වර්ණදේහ සහ ‍Y වර්ණදේහ කියලා.ගැහැනු අයගේ මේ ලිංග වර්ණදේහ යුගලම X වර්ණදේහ.පිරිමි අයගේ ලිංග වර්ණදේහ යුගලෙන් එකක් X වර්ණදේහයක්.අනික ‍Y වර්ණදේහයක්.



අම්මගෙන් වර්ණදේහ 23කුත් තාත්තගෙන් වර්ණදේහ 23කුත් ලැබිච්ච හින්දා තමයි දරුවන්ට අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම ලක්ෂණ තියෙන්නේ.ඔන්න 'අපිනං අපේ තාත්තා වගේ නෙමෙයිනෙ' කියලා කොමෙන්ට් දාන්ඩ එපා.පොඩ්ඩක් වටේ පිටේ ගෙවල්වල ඇවිදලා බලන්ඩ ඈ.

ඉතිං දැං මේ විදිහට වර්ණදේහ කළවං කරලා ළමයෙක් හදන්ඩනං ඉස්සෙල්ලාම වර්ණදේහ 23ක් තියෙන සෛලයක් හදාගන්ඩ ඕනෙ.ඊට පස්සේ අනිත් එක්කෙනාගෙත් එහෙම වර්ණදේහ 23ක් තියෙන සෛලයක් එක්ක මේක එකතු කරලා වර්ණදේහ 46ක් තියෙන සෛලයක් හදාගන්ඩ විදිහක් තියෙන්ඩ ඕනෙනෙ.අන්න ඒකට තමයි ස්ත්‍රී සහ පුරුෂ ප්‍රජනක පද්ධති හැදිලා තියෙන්නේ.ඒ කියන්නේ පිරිමින්ගේ වෘෂණවලදිත් ගැහැනුන්ගේ ඩිම්බකෝෂවලදිත් වර්ණදේහ 46ක් තියෙන සෛල බෙදීමට ලක්කරලා වර්ණදේහ 23ක් තියෙන සෛල හදනවා.

ඊට පස්සේ පුරුෂ ප්‍රජනක පද්ධතියේ තියෙන අනිකුත් නාල, ග්‍රන්ථි සහ ශිෂ්ණය කියන කොටස් වෘෂණ ඇතුලේ හදපු ඒ වර්ණදේහ 23ක් අඩංගු ශුක්‍රාණුව ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට ලබා දෙන්ඩ කටයුතු කරනවා.එතකොට ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ තියෙන යෝනි මාර්ගය ගර්භාෂය සහ පැලෝපීය නාල මේ ශුක්‍රාණුව ඩිම්බය කරා ගෙනියන්ඩ දායක වෙනවා.

ඩිම්බයක් සහ ශුක්‍රාණුව එකට එකතු වීම හෙවත් සංසේචනයෙන් පස්සේ වර්ධනය වෙන කළලය පොඩි කොලු පැටියෙක් හරි කෙලි පැටියෙක් හරි වෙනකන් ලොකුමහත් කරන්නේ ගර්භාශය ඇතුලේ.සති 40කට පස්සේ පොඩි එකා අම්මගේ යෝනි මාර්ගය හරහා එළියට ඇවිල්ලා කිරි ඉල්ලලා අඬන්ඩ ගන්නවා.ඔන්න ඔහොමයි වෙන්නේ ඈ.නැතුව කොකෙක් ඇවිත් ගෙදර දුම් බටෙන් පොඩි එකෙක්ව ගේ ඇතුලට දානවා එහෙම නෙමෙයි.

ඔහොම කිව්වට ඕක ඔහොම ලේසියට වෙන්නෙ නෑ.ඒකට ඉතිං ඒ ඒ ප්‍රජනක පද්ධති විස්තර කරලම කියන්ඩ එපායෑ.පොඩි කාලේ ඉඳං දැකලා තියෙන හින්දා ඉස් ඉස්සෙල්ලම විශිෂ්ඨම ප්‍රජනක පද්ධතිය ඒ කියන්නේ පුරුෂ ප්‍රජනක පද්ධතිය ගැන කියන්නං.

පුරුෂ ප්‍රජනක පද්ධතිය ගත්තම වැඩි කොටසක් තියෙන්නේ ශරීරයෙන් බාහිරට වර්ධනය වෙලානේ.ඒකේ ප්‍රධාන වශයෙන් කොටස් කීපයක් නම් කරන්ඩ පුළුවන්.

# වෘෂණ
# වෘෂණ කෝෂය
# අපිවෘෂණ
# ශුක්‍ර නාළ
# පුරස්ථිති ග්‍රන්ථිය
# කූපර් ග්‍රන්ථි
# මුත්‍ර මාර්ගය
# ශිෂ්ණය

වෘෂණ

වෘෂණ තියෙන්නේ යුගලක් ඒ කියන්නේ දෙකක් විදිහට.මේවා තියෙන්නේ වෘෂණ කෝෂය කියන සමෙන් නිර්මාණය වුනු ව්‍යුහය ඇතුලේ ශරීරයෙන් පිටතට එල්ලෙන විදිහට.මේ වෘෂණ දෙකෙන් එකක් සාමාන්‍යයෙන් අනිත් එකට වඩා පහලින් තියෙන්නේ මේ නිසා ඇවිදීමේදී එකිනෙක ගැටීමෙන් ඇතිවන අපහසුව අවම වෙලා තියෙනවා.පුංචි කොලු පැටියෙක් අම්මගෙ බඩේ ඉද්දී උගේ වෘෂණ දෙක හැදෙන්නේ උගේ බඩ ඇතුලේ.පොඩි එකා බඩ ඇතුලේ ඉන්න සති 40න් 33වෙනි සතිය විතර වෙද්දි සාමාන්‍යයෙන් මේ වෘෂණ දෙක බඩ ඇතුලේ ඉඳං එළියේ තියෙන වෘෂණ කෝෂයට එනවා.සමහර අයගේ මෙහෙම බඩේ ඉඳං එන වෘෂණ ඔන්නොහේ එන්ඩ බෑ කියලා බඩ ඇතුලෙම නවතිනවා.සමහර අයගේ බඩේ ඉඳං වෘෂණ කෝෂ‍යට එන පාර මැද හරියකදි නවතිනවා.සමහරුංගේ පහලටම එන වෘෂණ පාර වැරදිලා වෘෂණ කෝෂයට නොගිහිං කකුලේ කළවා ප්‍රදේශයට ගමන් කරනවා.සැත්කමකින් මේවා නිවැරදි කරගන්ඩ පුළුවං.

වෘෂණ ශරීරයෙන් එළියේ මල්ලක දාලා එල්ලලා තියෙන්නේ ඒවයේ ශුක්‍රාණු හැදෙන්ඩ තරමක අඩු උෂ්ණත්වයක් අවශ්‍ය හින්දයි.ඒක හින්දා රස්නේ වැඩි වෙලාවට වෘෂණ දාලා තියෙන මල්ල බුරුල් වෙලා මේවා තරමක් ඇඟෙන් ඈත් වෙලා ඉන්නවා.ඒ වගේම තමයි තද සීතලත් හොඳ නැති හින්දා හොඳටම සීත වෙලාවට වෘෂණ දෙක ඇඟට බොහොම කිට්ටු වෙන විදිහට වෘෂණ කෝෂ හොඳටම හැකිලෙනවා.මේ උෂ්ණත්ව යාමනයටම තමයි පිරිමි අය වාඩි වෙද්දි කකුල් දෙක ඈත් කරලා වාඩි වෙන්නේ.




හැබැයි කට්ටිය තද යට ඇඳුම් ඇන්දම, නයිලෝන් යට ඇඳුම් ඇන්දම වෘෂණවල උෂ්ණත්වය අඩු කරගන්ඩ බැරි වෙනවා.එතකොට ඒ අයගේ ශුක්‍රාණු හැදෙන එක අඩුවෙනවා.අනික නිතරම තද උණු වතුරෙන් නාන එකත් හොඳ නෑ කියලා තමයි කියන්නේ.ඒ වගේම ලැප්ටොප් එක උකුල උඩ තියං පාවිච්චි කරනවනං ඒකත් හොඳ නෑ.මොකද ලැප්ටොප් එක උකුළ උඩ තියාගන්ඩනං කකුල් දෙක ටිකක් ළං කරලා තියාගන්ඩ ඕනෙ වගේම ලැප්ටොප් එක රත් වෙද්දි ඒ උෂ්ණත්වයත් වෘෂණවලට බලපානවනේ.

නිකං මොකටද ඉල්ලං මාමයිට් ගාගන්නේ කියලා හැකි හැම වෙලාවෙම නිදහසේ එල්ලෙන්ඩ දීලා සිවිල් පිට හිටියම හරිනේ.

වෘෂණ ඇතුලේ තියෙන්නේ ඉතා කුඩා නාළ පද්ධතියක්.ඒ කියන්නේ පුංචිම පුංචි බට සෙට් එකක්.මේවා ඇතුලේ තමයි ශුක්‍රාණු හැදෙන්නේ.වෘෂණවල තියෙන මේ බටවල දිග එකතු කරලා බැලුවොත් මීටර් 250ක් විතර වෙනවා කියලා තමයි කියන්නේ.
වෘෂණ බඩේ ඉඳං වෘෂණ කෝෂයට ආපු මාර්ගය සාමාන්‍යයෙන් වැහිලා යනවා.සමහරුන්ගේ මේ පාර වැහිච්ච එක දුර්වල උනොත් ඒ පාර දිගේ බඩවැල් ඇවිල්ලා හර්නියා තත්වයක් එන්ඩත් පුළුවං.





වැදගත් විශය 1 ( Sex Education in Sinhala )

Saturday, February 9, 2013
සිතුවිලි පවුර පාලුවෙලා ගිහිල්ලා හින්දා මම හිතුවා මම මගේ බ්ලොගේ කලින් දාපු ලිපි පෙලක් මේකේ පල කරන්ඩ.එතකොට මගේ බොලොගට නො එන ඒත් සිතුවිලි පවුර බලන ඈයින්ටත් යමක් ලැබෙයිනේ.




මේකයි කේස් එක.මේ දවස්වල මට විභාගේ.ඉවරයක් නැති විභාගවලින් තවත් එකක්.විශය හරි වැදගත් එකක්.ඒක තමයි "ප්‍රජනක සෞඛ්‍යය".මේ විශය අපේ රටේ කතා කෙරෙනවා අඩුයි නේ.මේ ගැන කතා කරන්ඩ ඕනෙ,  කවුරුත් කතා කරන්නෑ කිය කිය ඉන්නවා මිසක් කවුරුත් කතා කරන්නේ නෑ.ඉතිං මේ වැදගත් විශය ගැන සුළු විස්තරයක් අපේ හෙළ බසින් කරන්ඩ තමයි මගේ බලාපොරොත්තුව.ටිකක් අවුල් යයි.මොකද සමහර වචන සිංහලෙන් ඉගෙනගෙනම නෑ.සමහර සිංහල වචනවලට වඩා ඉංග්‍රීසි වචන සමාජ ගත වෙලා තියෙනවා.බලමු කොහොම හරි ගැට ගහගන්ඩ.

අනික හැමෝම තම තමංගේ විශය ගැන ලිපි ලියනවා.ඉතිං බොලේ මාත් මොනවා හරි ලියන්ඩ එපායෑ.


මුලින්ම ප්‍රජනනය කියන්නෙ මොකක්ද කියලා දැනං ඉන්න එක හොඳයිනේ.ප්‍රජනනය කියන්නේ ඊළඟ පරම්පරාව බිහි කිරීම සඳහා ඇති ස්වභාවික ක්‍රියාවලිය කියලා කවුරුත් දන්නවා.ඒත් ඇයි මේ ප්‍රජනනය කියන ක්‍රියාවට දෙන්නෙක් සම්බන්ධ වෙන්නේ? ඇයි මේක මෙච්චර සංකීර්ණ?

දැනටත් පරිණාමයේ පහත් මට්ටම්වල ඉන්න ජීවීන් ඒ කියන්නේ ඔය බැක්ටීරියා වගේ අය එක්කෙනෙක් ලොකු වෙලා ලොකු වෙලා එක පාරට දෙකට බෙදිලා දෙන්නෙක් වෙන ප්‍රජනන ක්‍රම තියෙනවා.ඒ වගේම ඔය ගොඩක් ගස්වලත් තියෙන්නේ අතුවලින්, මුල්වලින් අළුත් පැළ එනවා.ඔය පෙම්වතියෝ ඉන්න(වදක භාරියෝ) අයට හිතෙන්ඩ පුළුවන් අනේ අපිටත් මේ විදිහට තිබ්බනං ලොකේ කොච්චර සොඳුරුයිද කියලා.

නමුත් මේකේ ගැටළු තියෙනවා.මොකද මේ වගේ සරළ ප්‍රජනන ක්‍රමයකින් බිහිවෙන අලුත් ජනිතයා මව් ජනිතයාට බොහෝම සමානයි.ඒ කියන්නේ හිතන්ඩ හිට්ලර් මේ විදිහට ලොකු වෙලා ලොකු වෙලා දෙකට බෙදුණානං හැදෙන්නේ ඒ වගේම උස, ඒ කටහඬම තියෙන, ඒ වගේම හිතන පතන දෙන්නෙක්.අනේ ෂෝක්නේ කියලා කට්ටියකට හිතෙන්ඩ පුළුවං.ඇත්තනේ නිකං හිතන්ඩ දීපිකා පදුකෝන්ලා සීයක් හමාරක් හිටියනං අපිටත් කණාවට හරි චාන්ස් එකක් එන්ඩ ඉඩ තියෙනවනේ නේද?

ඒ උනාට සමාජයක් විදිහට බලද්දි තමයි ගැටළුව එන්නේ.අපි හිතමු නිකං ළාදුරු වගේ ලෙඩක් ගැන.දැං බෙහෙත් තිබුණට ඔය රොබින් හුඩ් එහෙම බලපු අයට මතක ඇතිනේ ඒ ලෙඩ්ඩුංව සමාජයෙන් කොන් කරලා කැළේ මැරෙන්ඩ ඇරලා තිබ්බ හැටී.ළාදුරු ගත්තම සමහර මිනිස්සුන්ට ලෙඩේ හැදුනා.හැදිලා මැරුණා.ඒත් සමහරුන්ට ලෙඩ්ඩු ළඟින් ආශ්‍රය කළත් ලෙඩේ හැදුනේ නෑ.එහෙම උනේ මිනිස්සු එකිනෙකාට ජානමය වශයෙන් තරමක් වෙනස් නිසා.එකිනෙකා ඒ ඒ ලෙඩේට දක්වන ප්‍රතිරෝධය වෙනස් නිසා.බැරිවෙලාවත් මිනිස්සු ඔක්කොම එක වගේ වෙලා මොකක් හරි මාරාන්තික ලෙඩක් පැතිරුණානං ඔක්කොම චකබ්ලාස් තමයි.අන්න ඒ නිසා තමයි ජීවීන් පරිණාමයේදී තමන්ගේ ඊළඟ පරම්පරාවට තමන්ගේ ජාන මිශ්‍ර කරලා දෙන ක්‍රමවේදයක් ඇති උනේ.


දැං අපි යමු චුට්ටක් විතර ගැඹුරු කතාවකට.ඔය උ/පෙ වලට ජීව විද්‍යාව ඉගෙනගත්තු අයටනං මේ ගැන යම් අවබෝධයක් ඇති.අනිත් අයට එහෙම දැනුමක් ලැබෙන්නේ නෑනේ.එයාලම හොයා ගත්තොත් මිසක්.ඒක නිසා මම හැකිතරම් සරළව කියන්න බලන්නං.

මොනවද මේ ජාන සහ ඩී එන් ඒ කියන්නේ??

ඩී එන් ඒ කියන්නේ සරළවම කිව්වොත් එක්තරා විදිහක භාශාවක්.අපේ ඇඟේ තියෙන ගොඩාක් සෛලවල අපේ ශරීරය ක්‍රියාකළයුතු ආකාරය ගැන ලියවෙච්ච දත්ත ගොන්නක පිටපතක් ගානෙ තියෙනවා.


 



මේ රූපයේ තියෙන්නේ ඩී එන් ඒ අණුවක සරළ ව්‍යුහයක්.

A-ඇඩිනීන්
G-ගුවැනීන්
T-තයමීන්
C-සයිටොසීන්
S-සීනි අණුවක්
P-පොස්පේට් අණුවක්
















එතකොට මේ ඩී එන් ඒ අණුවේ වෙනස් වෙන්නේ ඇඩිනීන්, තයමීන්, ගුවැනීන් සහ සයිටොසීන් තියෙන අනුපිළිවෙල තමයි.ඉතින් මේවායේ පිළිවෙල වෙනස් වීමෙන් එක් එක් ඩී එන් ඒ කොටසින් දෙන පණිවිඩය වෙනස් වෙනවා.ඒ කියන්නේ හරියට අකුරු හතරක භාශාවක් වගේ.

දැන් ඔය ඩී එන් ඒ අණුව ගත්තම ඒකේ පණිවිඩ ගොඩාක් අඩංගු වෙනවා.පුද්ගලයෙක්ගේ කොණ්ඩය කැරලි වෙන්ඩ ඕනෙද, කෙළිං වෙන්ඩ ඕනෙද, කොණ්ඩයෙ වර්ණය, ඇස්වල වර්ණය, නහයේ හැඩය, කණේ හැඩය ,සමේ වර්ණය වගේ හැම ලක්ෂණයක්ම ගැන ම විස්තර අඩංගු වෙනවා ඩී එන් ඒ වල.ඉතින් ඒ එක් ලක්ෂණයක් තීරණය කරන ඩී එන් ඒ කොටසට තමයි ජානයක් කියන්නේ.සරළව කිව්වොත් ඩී එන් ඒ අණුව පොතක් වගේ තොරතුරු ගොඩක් තියෙන එකක්. ජානයක් කියන්නේ ඒ පොතේ එක දෙයක් ගැන විස්තර කරන පරිච්ඡේදයක්.

මේ ඩී එන් ඒ තියෙන්නේ අපේ ඇඟේ තියෙන සෛලවල තියෙන න්‍යෂ්ටිය කියන පරිපාලන මධ්‍යස්ථානයේ.





ඔය හැම සෛලයකම මැද්දෙ තියෙන්නේ න්‍යෂ්ටිය තමයි.













මේ න්‍යෂ්ටිය ඇතුලේ ඩී එන් ඒ අණු තියෙන්නේ ක්‍රෝමසෝම විදිහට එහෙම නැත්නං වර්ණදේහ විදිහට.ඩී එන් ඒ අණුව ප්‍රෝටීන් අණු එක්ක එක්ක එකතුවෙලා තමයි වර්ණදේහ කියන ව්‍යුහය හැදෙන්නේ.වර්ණදේහවල ඩී එන් ඒ අණුව ඔතලා ඔතලා හොඳට පැක් කරලා තියෙන්නේ.අපේ ඇඟේ සෛලවල මේ විදිහට වර්ණදේහ 46ක් තියෙනවා.කොච්චර හොඳට මේක පැක් කරලා තියෙනවද කිව්වොත් මේ ඇහැට පේන්නැති පුංචි සෛලයක් ඇතුලේ තියෙන වර්ණදේහ 46 තියෙන ඩී එන් ඒ අණු ටික දිග ඇරලා අරගෙන ඔක්කොම එක දිගට ගැට ගහලා බැලුවොත් මීටර් 1කට චුට්ටක් වැඩියෙන් දිගයි කියලා තමයි කියන්නේ.


සාමාන්‍යයෙන් හැම මනුස්සයෙක්ගෙම තියෙන්නේ වර්ණදේහ 46ක් උනාට සමහරුන්ගේ මෙයිට වඩා වැඩි වෙන හෝ අඩුවෙන අවස්ථා තියෙනවා.හැබැයි ගොඩක් වෙලාවට යම් යම් අසාමාන්‍යතාවලට ඒවා හේතු වෙනවා.

ඒ අසාමාන්‍යතා ගැනත් කියන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පැහැදිලි නැති තැන් තියෙනවානං අහන්ඩ.මම දන්න දෙයක් නං කියන්නං.දන්නැති දෙයක්නං හොයලා කියන්නං.




පි‍ටු පෙරලපු ගාන