2012 දී අපි යන්නේ කොයිබටද?

Wednesday, January 11, 2012
පහුගිය කාලයේ අපි කරපු කියපු, බලාපොරොත්තු වුණු දේවල් වලින් මොකද වුණේ..? මොනවද අපි ඉස්සරහට අරං යන්නේ...? මොනවද අපිට වැරදුණේ..? මොනවද පහුගිය අවුරුද්දේ හමුවුණු වැදගත් කඩයිම්...?

අලුත් අවුරුද්ද ලබන දවස් වල.. ඒ කියන්නේ 2012 මුලදී, නැත්නං 2011 අග දී අපි හිතුවා.. අලුත් ප්ලෑන් ගැහුවා.. ඒ අපේ පුද්ගලික සංවර්ධනය වෙනුවෙන්.. මේ ගැන අපේ බ්ලොග් වලත් හොඳ හොඳ ලිපි ලියැවිලා තිබුණා.. මේ මං දැකපු එක අපූරු ලිපියක්..  . ඒ අතරේ මේ වගේ අහිංසක පුංචි බලාපොරොත්තු ටිකක් කැටි කරලා ලියපු ලිපිත්, තම තමන්ගේ ක්ෂේත්‍ර පිළිබඳ ලියපු මේ වගේ ලිපිත් තිබුණා..

ඒත් අපි සමාජයක් විදිහට ඉදිරියට යන්න ඕනි කොහොමද කියලා පොඩ්ඩක් හිතන්න ඕනි කියලා මට හිතුණා..

මම නියෝජනය කරන්නේ සිංහල බෞද්ධ සමාජය නොවැ.. මං මීට මාස 7 කට විතර කලිං ලියපු අපි තවත් ප්‍රමාද වෙමුද? කියන ලිපියෙනුත්, දුෂ්චරිත  ලිපියෙනුත් මං ටිකක් මේ ගැන කතා කළා..

කොහොම වුණත් මං කියන්නේ අපි පුංචි පුංචි දේවල් වලින් පටන්ගමු කියලයි..ඕවා කිය කියා ඉන්නේ..  තමන්ට කරන්න බැරියෑ.. කියලා එහෙම කියන්ට එපා දැං..
මාත් කරනවා.. කරන්ට උත්සාහ කරනවා.. ඔයාලටත් එක්වෙන්න කියලයි කියන්නේ..

ආරම්භයක් විදිහට පන්සිල් රකින්න උත්සාහ කරමුද? පංච ශීලය කියන්නේ අපිට හැදෙන්න පටන් ගන්න තියෙන හොඳම තැනක් කියලයි මට හිතෙන්නේ.. අනික පංචශීලය ගැන මං දකින විදිහෙත් පුංචි පුංචි වෙනස් කම් තියෙනවා..

ප්‍රාණඝාතයෙන් වැළකීම -- අපි වගේම මේ ලෝකේ හැම සතෙක්ම ජීවත් වෙන්න ආසයි. අපේ සැපය පිණිස, අපේ සතුට පිණිස, අපේ පැවැත්ම පිණිස එහෙමත් නැත්නම් අපේ රසය පිණිස මේ සතුන් ඝාතනය කිරීම හොඳයි කියලා කියන්නේ කොහොමද? සමහර විට වෙනත් කෙනෙක් වෙනුවෙන්, ඒ අයගේ පැවැත්ම, ආරක්ෂාව වෙනුවෙන් අපි ප්‍රාණඝාතයට පෙළඹෙන්නත් පුළුවන්.. එතනදී අපි සාධාරණයි කියලා හිතෙන්නත් පුළුවන්.. ඒත් ඇත්තටම අපි සාධාරණ ද? අඩු තරමින් බැරිම තැනකදී විතරක් එහෙම දෙයක් කරන්න හිත හදාගමු...

සොරකමින් වැළකීම -- අනුන් සතු දේවල් කෙරෙහි විවිධ ආශාවන් අපට ඇති වෙනවා.. ඒ ආශාවන් පාලනය කළ නොහැකි වූ විටෙක සොරකම් කිරීමට පෙළඹෙන්නෝ වෙති. විටෙක ඉරිසියාව, වෛරය වැනි හේතු නිසා හොරකම් කිරීමට පෙළඹෙන අයද ඇත.. හුදු විනෝදය සඳහා හොරකම් කරන අයත් ඉන්නවා.... කොහොම කළත් හොරකමට සාධාරණ හේතු සොයන්නට පුළුවං කියලා මට නං හිතෙන්නේ නෑ..

කාමයේ වරදවා නොහැසිරෙමු -- කාම ලෝකයේ විවිධ කාම වස්තූන් පරිහරණය කරන අපි ඒවා කෙරෙහි අසීමිත ආශාවන් ඇති කරගන්නවා.. මේක සාමාන්‍ය අර්ථ කතනයට වඩා වෙනස් තමයි.. ඒත් මට හිතෙනවා මේක නිවැරදි ඇතියි කියලා.. මේ ලිපියේ මං උත්සාහ කළේ මගේ අදහස පහදන්න. ඇස, කණ ආදී පසිඳුරන් පිනවීමේ දී සම්මත බිඳිමින් සහ අන් අයට හෝ තමාට අයහපතක් වන අයුරින් ඉඳුරන් පිනවීම නොකර ඉන්න පුළුවන් නම් මේ සිල් පදය ආරක්ෂා කර ගන්න අපට පුළුවනි..

බොරු නොකියා ඉමු -- අර ඉස්සෙල්ලා කියපු ආශාවන් නිසා වගේම ආරක්ෂාව උදෙසාත්, විහිළුවටත්, ඊර්ෂ්‍යා ආදී දුර්ගුණ පෙරදැරි කරගෙනත් අපි බොරු කියන්න පෙළඹෙනවා.. ඒත් එක බොරුවක් වහන්න තව බොරු දහයක් කියන්න ඕනි කියලා කියමනකුත් තියෙනවනේ.. තමන්ට මොන පාඩුවක් වුණත් ඇත්ත කතා කරන්න පුළුවන් නම් ඒක සංතෝෂ වෙන්න කාරනයක් කියලයි මට හිතෙන්නේ.. බොරු විතරක් නෙවෙයි, සම්ප්‍රප්පලාප, කේලාම්, පරුෂ වචන වගේ මුවින් සිදුවෙන වැරදි බොහෝමයකින් වැළකිලා ඉන්න පුළුවන්නම් ඒක ලොකු දෙයක් නේද..?

මත් ද්‍රව්‍ය වලින් වැළකෙමු --   මත් ද්‍රව්‍ය පිළිබඳ මගේ විග්‍රහයත් ටිකක් වෙනස්. එතනදීත් මම කියන්නේ අපේ සිහිය විකල් කරන්න, නැත්නම් පියවි සිහිය අපෙන් ඈත් කරන්න පුළුවන් දේවල් මත් ද්‍රව්‍ය විදිහට හඳුන්වන්න පුළුවන් බවයි.. ඉතිං මේ දේවල් වලින් මත් නොවී ඉන්න පුළුවන්නං අපට මේ සිල් පදය ආරක්ෂා කරන්න පුළුවන් බවයි මගේ හැඟීම.. මේ ලිපියේ ඔය මත්වීම ගැන මගේ අදහස තියෙනවා..

කොහොමටත් පොඩ්ඩක් හිතන්න.. අපිට මේ ටික ක්‍රියාත්මක කරන්න පුළුවං වුණොත් 2012 විතරක් නෙවෙයි.. අපේ පොඩි එවුන්ගේ අනාගතයත් ලස්සන වෙයි...

අනාගත විප්ලවයේ ඔබේ කොටස ඉටු කරන්න..

පි‍ටු පෙරලපු ගාන