සලු පිලි උනා දැමූ විට..හෙවත් විදුලි බල්බයේ කුමන්ත්රණය

Thursday, February 14, 2013

Story No1
මේ කතාව අපි කතාවකින්ම ආරම්භ කරමු……….. පරිඝණකයට ඈඳා ඇති 'ප්‍රින්ටරයෙන්' ලිපියක පිටපතක් මුද්ද්‍රණය කරමින් සිටි ස්පාඥ්ඥ ජාතිකයෙකුවූ මාර්කෝස්ට හදිස්සියේම සිය පරිඝණක තිරයේ දිස්වෙනව මෙන්න මේ වගේ දැන්වීමක්……..”Maintenance Call – Parts inside your printer are at the end of their service life”…..  මේක අප බොහෝ දෙනෙක් නිවසේදී හෝ කාර්යාලයේදී වරක්, දෙවරක් ලැබූ අත්දැකීමක්.  ඉතිං මාර්කොස් තමන්ගේ ප්‍රින්ටරය අරගෙන යනව වෙළඳ ආයතනයට අලුත්වැඩියා කරගන්න හිතාගෙන. ඒත් ඔහුට ලැබෙන්නේ සෑහීමකට පත්විය හැකි පිලිතුරක් නොවෙයි. ඉතිං ඔහු වෙනත් පරිඝනක දෘඩාංඟ විකුනන ස්තාන කීපයකටම සිය ප්‍රින්ටරය අරන් යනව රෙපෙයාර් කරගන්න හිතාගෙන.  ඒත් හැමතැනින්ම ලැබෙන්නෙ එක සමාන විසඳුමක්.  අලුත්වැඩියා කරන්න බැහැ,පාර්ට්ස් නැහැ, වියදම වැඩියි, වැනි නොයෙකුත් හේතු සමග යෝජනා වෙන අවසන් විසදුම අලුත් ප්‍රින්ටරයක් ගන්න කියන එකයි. ලෝකයේ බොහෝ දෙනෙක් කරන විදිහට අලුත් ප්‍රින්ටරය ගන්නවා වෙනුවට, මාර්කෝස් වෙනස් විදිහකට ක්‍රියාකරනවා. මෙය තමන්ටම අලුත්වැඩියා කරගත හැකිදැයි ඔහු අන්තර්ජාලය හරහා කරුනු සොයන්න ගන්නවා. එහෙත් අන්තර්ජාලයෙන් ලැබෙන තොරතුරු ඔහුව පුදුමයටත් කෝපයටත් පත්කරනවා. …….සැලසුම්ගත යල්පැනීම (Planned Obsolescence) යන වචනය මීට පෙර ඔබ අසා නැත්නම්, නිසැකවම මේ ලිපිය කියවීමෙන් පසු ඔබත් මාර්කෝස් මෙන්ම පුදුමයටත්, කෝපයටත් පත්වෙනවා නොඅනුමානය…..ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්තේ 'ප්‍රින්ටරයේ' දෘඩාංඟ දෝශයක් නොව, ප්‍රින්ටරයේ නිශ්පාදිත සමාගම විසින් පූර්ව නිශ්චය කල පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය කල පසු ප්‍රින්ටරය තුල ස්තානගත කල 'ස්මාර්ට් චිපයක්' මගින් එය ඉබේ ක්‍රියාවිරහිත කිරීමට සලස්වීමය. සිය ප්‍රින්ටරයේ සැබෑ දෝශය පසුපස ඇති දුශ්ඨ ආර්ථික ක්‍රියාවලිය පිලිබඳව පමනක් නොව වාසනාවට මේ දුශ්ඨත්වට එරෙහි සමාජ ව්‍යාපාර හා පුද්ගල සටන්ද ඇති බව අන්තර්ජාලය ඔහුට පසක් කර දෙනවා. මෙවැනි එක් රුසියානු ජාතිකයෙක් සිය වෙබ් අඩවියේ හුදු ලාබය තකා පරිඝනක උපාංඟ නිශ්පාදනය කරන සමාගම් වල නින්දිත සූරාකෑම හෙලිදරව් කරනවාට අමතරව ප්‍රින්ටර් වල මුද්‍රන පිටපත් සංඛ්‍යා ගණනය නැවත ප්‍රත්‍යාරම්බ (Reset) කිරීමට හැකි මෘදුකාංඟයක් නිර්මානය කර නොමිලේ ලබාදීමද කරනවා. මේ මෘදුකාංගය සමගින් කිසිදු අලුත්වැඩියාවකින් තොරව සිය ප්‍රින්ටරය නැවත් පනගන්වන්නට මාර්කෝස්ට හැකි වෙනවා.
ඉහත කතාව කෑගසා පවසන්නේ  මේ මොහොතේ අපේ ලෝකය වේගයෙන් අගාධයට ඇදගෙන යන නියො ලිබරල් අර්ථ ක්‍රමයේ සලු පිලි උනා දැමූ විට පෙනෙන විසකුරු භාවය මිස වෙනකක් නොවේ. ඔබේ ලැප්ටොප් පරිඝනකය සැමවිටම වසර තුනහමාරකින් අක්‍රීය වන්නේ ඇයි දැයි ඔබට ප්‍රශ්නයක් තිබුනානම් නැත්නම් ඔබේ ජන්ගම දුරකතනය අවුරුදු දෙකක් යන්නට පෙර මාරු කරන්නට සිදුවන්නේ ඇයිදැයි ප්‍රශ්නයක් තිබුනානම් දැන් ඔබට උත්තරය  ලැබී ඇත. අපේ සීයා 1970දී ගත් විදුලි පංකාවක් අවුරුදු 40කට පසුව තවමත් හොඳින් ක්‍රියාකරන නමුත් පසුගිය වසර විස්ස, විසිපහ තුල කුනු ගොඩට ගිය විදුලි පංකා ප්‍රමාණය මට පසක් කරන්නේ වෙනකක් නොව සැලසුම්ගත යල්පැනීමය. ඔබ බොහෝ දෙනෙකුටද එවැනි කථාවල් ඇතුවාට සැක නැත. මේ කථා සියල්ලේ සමාරම්භක කථාව හෙවත් 'විදුලි බල්බයේ කුමන්ත්‍රණය' සමස්ථ කථා වස්තුවේම ඉතා පැහැදිලි පිලිඹිබුවක් හෙයින් සැලසුම්ගත යල්පැනීම (Planned Obsolescence) ගැන කිය්ද්දී එය නොකියාම බැරිය. ඉතිං අපි ඒ කතාවට යමු.
Story No 2
මේ කතාවේ එන එකෝමත් එක රට ස්පාඥ්ඥය නොව ඇමරිකාවය. ඇමරිකාවේ කැලිෆොනියා ප්‍රාන්තයේ නගරයක් වන ලිවර්මොර්(Livermore)හි ගිනි නිවන බටයන්ගේ ගොඩනැගිල්ලක් තුල විශේෂ ආරක්ෂාවක් සහිතව පැය 24 මුලුල්ලේ විමර්ශන කැමරාවක් මගින් ආවරනය වන විදුලි බල්බයක් දැල් වෙමින් තිබේ. මෙහි විශේෂත්වයනම් ඉහත බල්බය වසර 1901 සිට අවුරුදු 110යකට වැඩි කාලයක් තවමත් හොඳින් දැල් වීමය. විදුලි බල්බයකට උපන්දින සාදයක් මේ ලෝකයේ පවත්වා ඇත්නම් ඒ වාසනාව හිමිවූයේ 2001දී ඉහත බල්බය සිය සියවන උපන්දිනය සැමරූ අවස්තාවේය. දහසකට ආසන්න නගර වැසියන් මෙම උපන්දින සාදයට සහබාගී වී ඇත. තොමස් එඩිසන් විසින් විදුලි බල්බය ලොවට දායාද කර වසර කීපයකට පසුව 1895හේ පමන මේ බල්බය ෂෙලිස් නැමැත්තෙකු විසින් නිර්මානය කර ඇත. එනම් විදුලි බල්බය බිහිවූ ආරම්බක කාලයේ පටන්ම දීර්ග කාලයක් දැල් විය හැකි බල්බ නිපදවීමේ තාක්ශනය ලොව සතුවී තිබුනු බවය. කොටින්ම තොමස් එඩිසන් 1881 නිර්මානය කල මුල්ම වානිජ්‍ය බල්බ පවා පැය 1500 කට වැඩි කාලයක් දැල්විය හැකිවී ඇත. ……………..නිකමට කල්පනා කර බලන්න ඔබේ ජීවිත කාලය තුල බල්බ කොතරම් ප්‍රමානයක් ඔබේ නිවසේ කුනු ගොඩට යන්නට ඇතිද කියා. ඒ සමගම විනාශ වූ ටංග්ස්ටන්, සිලිකා, ලෝහ, බලශක්ති ප්‍රබව ඇතුලු ස්වබාවික සම්පත් ප්‍රමාණය කොතරම්ද කියා..... අපේ කතාවේ බල්බය වැනි බල්බ අපට තිබුනානම් තත්වය කොහොමද?............
එසේ නම් මේසේ සිදුවූයේ කෙසේද?...... කථාවේ ඉතුරු කොටස නැත්නම් හොඳම කොටස, එයය.
1920ගනන් වල ලොව පුරා බල්බ් නිශ්පාදකයන්ගේ අරමුන වූයේ වැඩි කාලයක් දැල්වෙන බල්බ තැනීමය. සිය නිශ්පාදන වල අනර්ගත්වය කියැවෙන එකල වෙළඳ දැන්වීම් දුටුවහොත් මෙය හොඳින් වටහා ගත හැක. එකල පැය 2500ක් පමන දැල්වෙන බල්බ වෙලඳ පොලේ බහුලව තිබින. නමුත් මේ දීර්ඝායුෂ බල්බ නිශ්පාදනයට දීර්ඝායුෂ තිබුනේ නැත. අද අප මේ මොහොතේ අත් විදින සැලසුම්ගත යල්පැනීමේ විසකුරු සූරා කෑමේ ආරම්භය සනිටුහන් වෙන්නේ ලොව බල්බ නිශ්පාදනය කරන ඕලන්දයේ Philips'', ජර්මනියේ 'Osram' ඇතුලු ප්‍රමුක සමාගම් එක්වී 1924 නිර්මානය කරගන්නා ෆීබස් (Pheobus) නම් වෙළඳ කාටලය බිහිවීමත් සමගය. මෙම කාටලයට ඇමරිකාවේ, යුරෝපයේ මතු නොව, ජපානයේ මෙන්ම එවකට අධිරාජ්‍යවාදීන්ගේ යටත්විජිත් බවට පත්ව තිබූ බොහෝ ආසියානු ,අප්‍රිකානු රටවල සමාගම්ද අයත් විය. මොවුන්ගේ අරමුන වූයේ විදුලි බල්බයේ ගුනාත්මක භාවය අඩුකොට දැල්වීම පැය 1000කට වඩා අඩු කිරීමය. ඒ හරහා වැඩි බල්බ ප්‍රමානයක් විකුනා වැඩියෙන් ලාබ ලබා ගැනීමය. වසර කීපයක් තුල සිය දුශ්ට අරමුනු ඉටුකර ගන්නට මේ වෙළද කාටලය සමත් වෙයි. පසු කාලීනව මේ කාටලයට සම්බන්ඳ ලේඛන හදාරන ජර්මන් සමාජ විද්යාඥයෙකු වන හෙල්මුට් හෝග් (Helmut Hoge) විසින් ඉතා රහසි ගතව සිදුකල මේ ජඩ ක්‍රියාවලිය හෙලිදරව් කරනු ලබයි.
එතැන් පටන්, මේ ලෝකය එහි පරිසරය, සතා සීපාවා මතුනොව මිනිසුන්ද ආර්ථික ලාභය වෙනුවෙන් විනාශ කරමින්යන පවතින සිස්ටම් එකේ අනිවාර්‍ය අංගයක් බවට සැලසුම්ගත යල්පැනීම පත්විය. මුල් අවධියේදී සැලසුම් ඉන්ජිනේරුවන් සිය දැනුම හා කුසලතා තත්වයෙන් බාල භාන්ඩ නිශ්පාදනය උදෙසා පාවිච්චි කිරීමට යම් ප්‍රතිවිරෝධයක් දැක්වූවද ඔවුන් අභිබවා සමාගම් මුදලාලිලාගේ මුදල් අවසානයේ ජය ලැබීය. අද දවසේ ඉන්ජිනේරුවන්ට නම් භාන්ඩ සැලසුම් කල හැක්කේ සිය සේවාදායක සමාගමේ ලාභය උපරිම කලහැකි ව්‍යාපාරික උපායමාර්ගයන්ට යටත්වය. ඉහත කථා ද්විත්වයේ සඳහන්වූ Planned Obsolescence / Built-in-Obsolescence අමතරව මෙහිම තවත් මානයක් ලෙස Perceived Obselescence පවතියි. මෙහිදී සිදුවන්නේ භාන්ඩය සියයට සීයක් හොඳින් ක්‍රියාත්මක වුවද, මෝස්තරයෙන්,නවීනත්වයෙන් හෝ පිටත පෙනුමෙන් යල් පැන තිබීමය. ඇඳුම් පැලඳුම් විලාසිතා,ජංගම දුරකතන, මෝටර් රථ දීර්ඝ ලැයිස්තුවකට අයත් උදාහරණ කීපයකි. ක්‍රියාකාරීත්වයේ සුලු වෙනසක් හෝ බොහෝවිට පිටත පෙනුමේ වෙනසක් පමනක් හරහා පැරනි භාන්ඩ වීසිකර අලුත් මොඩල් එක මිලදී ගැනීමට බල කෙරෙන පෙලඹවීමයි. මෙය තනිකරම වෙළඳ දැන්වීම් හා මාධ්‍ය හරහා පාරිබෝගිකයන්ගේ මොල තුල නිර්මානය කරන දෙයකි. Credit Card , ලීසිං, කොටස් වශයෙන් ගෙවීමේ ක්‍රම වැනි ණය කන්දරාවන් තමංට මේ මොහොතේ අත්‍යාවශ්‍ය නොවන දෙයක් ගැනීමට ඇති පෙලඹවීම තීව්‍ර කරයි. මෙසේ නිකරුනේ කුනුගොඩට යන භාණ්ඩ යනු අති දැවැන්ත ස්වභාවික සම්පත් ප්‍රමානයක් විනාශ කිරීමට ලැබෙන සහතිකයයි.
Pirates of the…………….Next Generation
අනාගත පරම්පරා ගනනාවක් වෙනුවෙන් ඇති ස්වභාවික සම්පත්, අතීතයේ වසර මිලියන ගනනක් පුරා නිර්මානයවූ ස්වභාවික සම්පත්, වර්තමානයේදී නිමේශයක් තුල කාබාසිනියා කරමින් ලාභයම පමනක් සොයන ලෝකයක් තුල අපි මංමුලාවූවන්සේ ඉබාගතේ දුවමින් සිටිමු. අතිශය සීමිත සම්පත් ප්‍රමානයක් අතැතිව මේ ක්‍රියාවලිය තව කොතරම් කාලයකටදැයි ඇසිය යුතු කාලය එළබ ඇත.  තව දුරටත් මේ නියෝ ලිබරල් ධනවාදය තුල මිනිසාට හෝ පෘතිවියට අනාගතයක් නැත. අධික වේගයෙන් අප ගමන් කරමින් සිටින්නේ අනිවාර්ය ව්‍යසනයක් කරාය. වටිනා ගහකොලද, සතා සීපාවාද පොසිල ඉන්දනද ඇතුලුව බොහෝ සම්පත් දැනටමත් අපට අහිමි වී ඇත, නො එසේනම් නුදුරේදීම අහිමිවීමට නියත විවරන ලබා ඇත. ලෝකයේ බොහෝ මත්ස්‍ය බිම් මෙසේ සූරාකා විනාශ කර ඇත, අද ඒවා මාලු නැති මුහුදු බවට පත්වී ඇත. ඇමරිකාව ප්‍රමුක බටහිර විසින් මෙසේ විනාශ කර දැමූ එක් කුප්‍රකට මත්ස්‍ය බිමක් නම් සෝමාලියාව අවට මුහුදු ප්‍රදේශයයි. අතීත සෝමාලියානු ධීවර ප්‍රජාව, අද මුහුදු කොල්ලකරුවන් වීමේ ප්‍රමුක හේතුව එයයි. අප, ඔවුන් මේ තත්වයට ඇද දැමූ ආර්තික මොඩලය වැළඳ ගනිමින් කොල්ලකරුවන්ට පයින් ගසමින් සිටිමු, එහෙත් ඛේදවාචකයනම් අපේ දරුමුනුපුරන්ගේ ඉරනමද ඔවැනිම වනු ඇති බවය.
Day light robbers
සුප්‍රකට ඇපල් සමාගමද, එහි මහ මොලකරු ලෙස සිටි (මෑතකදී මියගිය) ස්ටීව් ජොබ්ස්ද සිය මඩි තරකර ගැනීමට සැලසුම්ගත යල්පැනීම ඉහලින්ම භාවිතාකරන්නන් අතර ඉදිරියෙන්ම සිටී. Apple i-Pod එක වෙළඳ පොලට ආ අවදියේ එහි බැටරිය නිර්මානය කර තිබුනේ වසරකට ආසන්න කාලයකදී අක්‍රීයවීමටය, එහෙත් එවිට බැටරිය ප්‍රතිශ්ඨාපනය කිරීමේ කිසිදු ක්‍රමවේදයක් ඔවුන් සතුව නොවීය, ඒ වෙනුවට ඇපල් සමාගමේ උත්තරය වූයේ, බැටරියේ දෝශයට මුලු උපාංගයම විසි කර අලුත් එකක් ගන්නා ලෙසය. ඒ වනවිට ඇමරිකාවේ පමනක් i-Pod මිලියන 3ක් විකුනා තිබුනි. බොහෝ දෙනෙක් එසේ කලද, මෙයට විරුද්ද වූවන් ,සමාජ ක්‍රියාකාරීන්ද සමග එක්වී, අධිකරනයට යාමත් සමග පාදයක් පසුපසට තියන්නට ඇපල් සමාගමට සිදුවිය. ඒ අනුව උපාංගය වීසිකරනවා වෙනුවට බැටරිය මාරුකිරීමෙන් පමනක් නැවත යතා තත්වට පත්කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන්නට සමාගම එකඟ විය. එහෙත් අදටද විවිද මුහුනුවරේ සැලසුම්ගත යල්පනීම සිය නිශ්පාදන තුල කිසිදු හිරිකිතයක් නැතුව ලාභය වෙනුවෙන් පාවිච්චි කරන සමාගම් අතර 'චැම්පියන්ලා' ඇපල් විය යුතුය. සෑම විටම ලියාපදිංචි නොකල (Unregistered)මෝටර් රථයක් පැදවීම වැනි බොළඳ ආශාව තෘප්ත කර ගැනීමට, සෑම 6 මසකට වරක් තමන් පාවිච්චි කල බෙන්ස් කාර් එක ඉවත්කර අලුත් බෙන්ස් රථයක් ගත් ස්ටීව් ජොබ්ස් වැන්නෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලා පොරොත්තු වීමද එක අතකට විහිලුවකි. (ඔහු ජීවත් වූ ප්‍රාන්තයේ ලියාපදිංචි නොකර මෝටර් රථයක් මාස 6ක් භාවිතා කල හැකිය.) ස්ට්ව් ජොබ්ස් පඩි ගත්තේ ඩොලර් 1 (අනේ පවු කුක්කු පැටියා) වැනි ගොං පාට් ලියන රට තක්කඩියන් නොලියන ඇත්ත මේවාය.
Quietly flows the Odaw……………or is it?
මේ ඉවක් බවක් නැති නිශ්පාදනයේ අනික් අනිවාර්‍ය අංගය පරිසර විනාශයයි. හුස්ම ගැනීමට පිරිසිදු වාතය, බීමට සුදුසු වතුර ටික මේ මොහොතේද දුර්ලභ වස්තූන් වී හමාරය. ඉහල යන ගෝලීය උනුසුමද, එකක් පසුපස තවෙකක් ලෙස එන ස්වාභාවික විපත්ද, පරිසර විනාසයේ සුලබ ප්‍රතිවිපාකය. තුන්වන ලෝකයේ රටවල ගොඩ ගසන බටහිර රටවලින් වීසිකරන, විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික හා පරිඝනක අබලි කඳුද තවත් විපාකයකි. අප්‍රිකානු දුප්පත් රාජ්‍යයක් වන ඝානාවේ ඇග්බොලොශි හි ඔඩාව් (Odaw) නදිය හා ඒ අවට තැනිතලා පිටිය හඬගා කියා සිටින්නේ මේ විශම ආර්තික මොඩලයේ දුෂ්ටත්වයයි. මීට දශක දෙකකට පමන පෙර ඉතා සුන්දර නදී තෙරක් අසබඩ වූ සුපිරිසිදු මනරම් පරිසර පද්දතිය අද අබලි පරිඝනක හා උපාංග, 'T.V', රේඩියො උපාංග ගොඩ ගැසූ දැවැන්ත කුනු ගොඩකි,ජලය එකතැන රැඳී පල්වූ ලෙඩ රෝග පතුරන දුඟද හමන පල් වලකි, තැන ,තැන ලෝහ ලබා ගැනීමට මේ අබලි වලට ගිනි තැබීමෙන් නිකුත් වන විශ දුම් අහසට නැගෙන මර උගුලකි. එදා ඔඩාව් නදිය අසල සුන්දර පරිසරයක පාපන්දු ක්‍රීඩා කරමින් කෙලිදෙලෙන් දුව පැන්න සතුටින් පිරි මුහුනු සහිත දරුවන්ගේ දරුවන් අද දුප්පත් කමින් මිරිකෙමින් කේඩෑරිවී ගිය මුහුනු සහිතව වැරහැලි ඇඳගෙන මේ කුනු කන්ඳ මත යකඩ ඇතුලු වෙනත් ලෝහ සොයමින් යන කුනු බුදින්නන් වී ඇති සැටි මේ නියො ලිබරල් දහදුරාව ලෝකය ඇදගෙන යන දිශානතිය, එහි පාරිසරික ඵලවිපාක මතු නොව මානව ඛේදවාචකය පිලිබඳ කදීම එහෙත් අතිශය දුක්බර රූපසටහනකි.
අද අප දෑස් නිලංකාරව බලා සිටින මේ සුරංගනා මායාවට එපිටින් ඇති සත්‍ය තෙරුම් ගැනීම තව දුරටත් පමා කලනොහැකි වී ඇත.  එබැවින් අපට අසන, දකින, කියවන දෑ සියල්ල දෙස විවෘත මනසින් බැලීමට,විචාරාක්ශියෙන් බැලීමට හා විශ්ෂයෙන් මොලය පාවිච්චි කිරීමට බල කෙරී ඇත. මීට සති කීපයකට පෙර සිංහල බ්ලොග් එකක (නම මට හරියටම මතක නැත ), නිමල්,සුනිල් කමල් වැනි සුලබ නාමයන් හා මාතලං, බුවා වැනි බ්ලොග් නාමයන්ද, ඈදා ගෙන ‘ඉස්සන් වලක’ සරල උදාහරණයකින් සියලු ප්‍රශ්න වලට නියො ලිබරල් ධනවාදයේ උත්තර ඇතැයි සුරංගනා කතාවක් තිබුනා දුටුවෙමි. එහෙත් පැහැදිලි සත්‍ය නම් මේ සිස්ටම් එක එකක් ,පසුපස තවෙකක් ලෙස උත්තර නැති දැවැන්ත ප්‍රශ්න කන්දරාවක් නිර්මානය කරමින් යන බවය.  මේ මාලු වලේ මාලු බාන කුසල්හාමිලාගේ සුදු පිරුවට සලු පිලි උනා දැමූ විට හමුවන්නේ එක්කෝ, අරුනි ශපීරො ජාතියේ කුලියට ගජබින්නාලංකාරය ලියන රට තක්කඩියෙකි, නැත්නම් ඒ/ලෙවල් ඉකොනොමික්ස් වලින් රටේ ආර්තිකය විග්‍රහ කරන බන්දුල 'ධන-රිණ' ගුනවර්ධන පන්නයේ රට හරකෙකි. මේ කුමක් වුවද කියවන්නා සිහි බුද්දියෙන් කියවීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය කොන්දේසියක් වී ඇත්තේ තව දුරටත් මංමුලාවී සිටීම යනු අපේ මිනී වල අපිම කපා ගැනීමම වන බැවිනි.
End of the Story
'සැලසුම්ගත යල්පැනීම' ආශ්‍රිත අපේ අද කතාව අවසන් කිරීමට විදුලි බල්බය තරම් යෝග්‍ය වෙනකක් නැත. බාල විදුලි පහන් නිපදවීම ඇරඹූ කාලයේ සිටම දීර්ගායුශ බල්බ සදහා සැලසුම් බොහෝ ප්‍රමානයක් එලිදැක් වුවද ඒවා වානිජ්‍ය නිශ්පාදනය තුලට කිසිවිට වැද්ද ගත්තේ නැත. යලි එවන්නකට උදාහරන හමුවන්නේ, දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහිවූ නැගෙනහිර යුරෝපානු 'සමාජවාදී' කදවුර තුල කාර්මික අතින් වඩත්  ඉදිරියෙන්ම සිටි නැගෙනහිර ජර්මනියෙනි.  බටහිර ලාභය පදනම්වූ ආර්තික මොඩලයට එරෙහිව නැගෙනහිර රාජ්‍ය-ඒකාදිකාරී, එක අතකට අකාර්යක්ශම , මධ්‍යගත ආර්තිකයක් අඩසිය වසකට ආසන්න කාලයක් විශාල කාර්මීකරනයක් සහිතව වර්දනය විය. නැගෙනහිර ජර්මනියේ කම්හලක දීර්ඝායුෂ විදුලි බුබුලු නිපදවූ අතර, 80' ගනන්වල වරක් ජාත්‍යන්තර වෙලඳ ප්‍රදර්ශනයකට ඉදිරි පත් කර තිබුනේ, බටහිර වෙළඳපොලට හඳුන්වාදීමේ උත්සහයක් ලෙසය. බටහිර රාජ්‍යයන් එකකවත් ඉහත බල්බ නිපද්වීමට හවුල්කාර සමාගමක් සොයා ගැනීමට නොහැකිවූ අතර, එවායේ සේවකයන්ගේ මතය වූයේ දීර්ගායුශ බල්බ නිපදවූවොත් වෙළදාම අඩුවී  තමන්ගේ රැකියා අහිමි වන බවය. එහෙත් ජර්මන් සමාගමේ ඉන්ජිනේරුවන්ගේ මතය වූයේ “දීර්ගායුශ බල්බ නිසා ඒවා නිශ්පාදනයට අවශ්‍ය ස්වභාවික සම්පත් දිගු කලක් ආරක්ශාවන නිසා සිය රැකියා දීර්ගකාලයකට සුරක්ශිත වන” බවයි. 89යේ බර්ලින් තාප්පය බිඳ වැටී නැගෙනහිර ජර්මනියද බටහිර ආර්තික මොඩලය වැලඳගැනීමත් සමග ඉහත බල්බයද අභාවයට ගිය අතර දැන් ඒවා දකින්නට ඇත්තේ කෞතුකාගාරවල ප්‍රදර්ශන භන්ඩයක් ලෙස පමණි.
නැගෙන්හිර ජර්මනියේ හෝ පැරණි සොවියට් රුසියාවේ හෝ පැවති යල්පැන්න සමාජාර්තික මොඩලය අදට නොගැලපුනද එම ප්‍රකාශයේ හරය ගත්විට අප කලයුත්තේ අපේ පමනක් නොව අපේ දරු මුනුබුරන්ගේ රැකියාද සමස්තයක් ලෙස මානව සංහතියේ පැවැත්මද ආරක්ශා කලහැකි වඩාත් ධරණීය ආර්තික මොඩලයක, සුසමාදර්ශ වෙනසක අත්‍යවශ්‍යතාවය වෙනුවෙන් සටන් වැදීමට නොපමාව නැගී සිටීමයි. විදුලි බල්බ කුමන්ත්‍රනයේ ප්‍රභල භූමිකාවක් රඟපෑ Philips අධිරාජ්‍යයේ වත්මන් පුරුකක් වන වොරන් ෆිලිප්ස් වසර 25ක් දැල් විය හැකි බල්බ නිශ්පාදනය කරමින් සිය දායකත්වය ලබාදෙමින් සිටියි. මෙසේ ලොව පුරා බොහෝ දැනුවත් මිනිසුන්, ගැහැනුන් තනි තනිව මෙන්ම, කුඩා කන්ඩායම් ලෙසද විවිද මානයන්ගෙන් මේ සටන දැනටමත් ආරම්බ කර ඇත. මිනිසත් බවේ නාමයෙන් එක්ව අත්වැල් බැඳගෙන පොදුසටනක් බවට පත් කිරීම හෙට දවසේ යහපත් ලොවක් ප්‍රර්තනා කරන සියල්ලන්ගේ අද දවසේ වගකීම, යුතුකම බව අවිවාදිතය.

31 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

හිරු said...

///සුප්‍රකට ඇපල් සමාගමද, එහි මහ මොලකරු ලෙස සිටි (මෑතකදී මියගිය) ස්ටීව් ජොබ්ස්ද සිය මඩි තරකර ගැනීමට සැලසුම්ගත යල්පැනීම ඉහලින්ම භාවිතාකරන්නන් අතර ඉදිරියෙන්ම සිටී///

අනිවාර්යයෙන්ම 100% එකඟයි....

මේ ප්‍රශ්නෙට මම පෙරේදා මූණ දුන්නා... ම‌ෙග් තියෙන 10.5.8 OS එක අප්ඩේට් කරපු වෙලාවේ ඉඳලා Plug-ins කිපයක් වැඩ කරන්නේ නෑ.. ඒ පාර මම පොඩ්ඩක් හොයලා බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා... වෙලා තියෙන්නේ මේ කියපු දේම තමයි... ඇපල් එක 10.5 එක මේන්ටේන් කරන එක නවත්තලා නිසා OS එක අප්ඩේට් කරපු වෙලාවේ ඉඳලා දෙන එකම විසඳුම තමයි සල්ලි ගෙවලා 10.6 එකට අප්ග්‍රේ‌ඩ් කරන්න කියලා... Discussion forum වල තාමත් ඉන්නවා 10.5 පාවිච්චි කරන අය... ඒ අයට වෙන විකල්පයක් නෑ බලනකොට... Google Chorme එක පවා අප්සට්... Google එකට නම් බොහොම දෙනෙක් අප්‍රසාදය පළ කරලා තිබුනා අයිත් කවදාවත් Chorme පාවිච්චි කරන්‌ෙන් නෑ කියලා.... ඒත් OSට කරන්න දෙයක් ඇත්තෙම නෑ සල්ලි ගෙවලා ගන්නවා ඇරෙන්න...

සමහර සොෆ්ට් වෙයාර් එනවා අවුරුදු දෙකකට සැරයක් විතර පරණ OS වලට සපොට් කරන්නේ නැති... ඉතිං ඒවා අයින් කරලා අලුත් ඒවා ගන්න වෙනවා...ඒවා සමහර අයට තියෙන හොඳ තත්වයේ කම්පියුටර්ස් වලට අප්ග්‍රේඩ් කරන්න බෑ.. ඒවා විනාශ කරන්න වෙනවා... මොනතරම් සම්පත් නාස්තියක්ද.. ඊටත් වඩා මිනිස්සු කී දෙනක් අමාරුවේ වැටෙනවද... හැමෝම සල්ලි තියෙන පලියට මේවා පාවිච්චි කරන්‌ෙන් නෑ නේ...

ඇත්තටම මේවාට විරුද්ධව කරන එක දෙයක් තමයි පයිරටඩ් කොපිස් මුදාහරින එක.. අනිත් එක මේ කිව්වා වගේ කුඩි කණ්ඩායම් වශයෙන් විසඳුම් හොයලා ලෝකයත් එක්ක බෙදා ගන්න එක තමයි කරන්න තියෙන එකම දේ...

රූ.... said...

ස්තුතියි මේ ලිපියට..
Planned Obsolescence දැන් නිෂ්පාදිත ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංගයක් වෙලා..සෑම පර්යේෂණ කණ්ඩායමක්ම අවම වශයෙන් වසර 5කට සැරයක්වත් (මේ කාලය භාන්ඩය අනුව වෙනස්වේ)අළුත් උපාගංයක් වෙළඳපලට දැමීමට උත්සුක වන්නේ මේ වාණිජ පරමාර්ථ නිසා..

අනිත් අතට මේ මගින් බොහෝ උපකරණ දැරිය හැකි මිල ගණන් වලට ලැබෙන්නේත් මේ planned obsolescence හි අතුරු ඵලයක් නිසා නොවෙද?

තරියා said...

අනේ දෙයියනේ මගේ ලැප් එක...
ඉහි ඉහි...

amuthu sithuwili said...

ඔතන පැති ‍රැසක් තියෙනවා.අපි වසර ගණනාවක් ඒ කියන්නේ අවුරුදු සිය ගනන් තියෙන්න භාණ්ඩයක් හදන්න ගියොත් පාරිභෝගිකයාට පහසු මිලකට දෙන්න පුලුවන්ද?
ඇපල් ගැන කතා කරනවානම් ඒකත් මේ ක්‍රමයේ තියෙන තවත් සමාගමක්.අපිට ව්‍යාපාරයකින් බෝධිසත්ව ගුණ බලාපොරොත්තු වෙන්න බෑනෙ.කොහොමහරි මේ තරම් තාක්ෂනය ඉදිරියට යන්න හේතුවක් විදිහට ඒ සමාගම් වල දායකත්වය අපි අගය කරන්න ඕනේ නේද?පුලුවන් නම් මේ වගේ කරන සමාගම් වල නම් ලැයිස්තුවක් දාන්න.ඒක හරි වටිනවා.මං amuthusithuwili.wordpress.com

sAm (සෑම්) said...

සැලසුම් සහගත යල් පැනීම උන්ගෙ ජීවනෝපාය කියල තේරුනේ මේ ලිපියෙන් තමා.

හොද ලිපියක් සහෝ !
ජය !

Chathuranga Perera said...

කාලෙකට පස්සේ සිතුවිලි පවුරේ පළවුනු වටිනාම ලිපියක්...

ස්තුතියි මේ දැනුවත් කිරීමට !!! ඇත්ත පෙන්වා දුන්නාට පිං !!!

Naleen Dilruksha said...

අතිශයම වටිනා ලිපියක්... විශාල තොරතුරු ගොන්නක් එක්ක මෙවන් අගනා ලිපියක් අපට ලැබෙන්නට සැලැස් වීම ගැන ස්තුතියි.

අරුන්දතී said...

අනේ මමත් කල්පනා කලා ඇයි ලැප් එක අවුරුදු තුනකට වඩා පාවිච්චි කරන්න බැරි කියලා. මේ කිවුව කරුණු ගැන දැන ගත්ත එක හුඟක් වටිනවා. බොහෝම ස්තූතියි.. හුඟක් වටිනා ලිපියක්.

Nirmala Madushani said...

පළමුව ඔබේ උත්සාහය සාර්තකයි කිව යුතුය. අප බොහෝ දෙනා අදහන මෙම ආර්ථික මොඩලයේ හෙළුව එයයි. එපමණක් ද නොව ස්ටීව් ජොබ්ස් කියන්නේ තම සේවකයින්ට දරදඩු අන්දමින් සලකපුකෙනෙක්.

silentsahan said...

මචන් එතෙක් මෙතෙක් කියවූ හොදම
බ්ලොග් ලිපිය ..ස්ටීව් ජොබ්ස් මැරුණ වෙලේ මාත් ලිව්වා
" ඇයි ටයි මාමට නො අඬපු අපි මෙයාට අඬන්නේ ? " කියල...

මට ඒක මතක් උනා, දැන් මොන තූත්තු කුඩුවේ තියෙනවද මන්ද ..

නියමයි , නියමයි නියමයි ...!

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වල ඔය දේ නොතිබුනා නම් අලුත් නිෂ්පාදනයන් එලිදක්වන්න ඒවා ප්‍රචලිත වෙන්න අවකාශයක් නෑ . ඒ වගේම උපකරණ වල මිල මට්ටම් සැහෙන ඉහල තත්වයෙන් පවතින්නත් පුලුවන් . ඔයා ජංගම දුරකථන ගැන කථා කරල තියනවා , නමුත් අලුත් ජංගම දුරකථනකට කෙරෙන බලකිරීම ඉතා වේගයෙන් වෙනස් වුනු තාක්ෂණික පසුබිම මිසක් , එකේ භාහිර පෙනුමේ වෙනසක් පමණක් නෙවෙයි . ඉතා සෙමෙන් වැඩ කරන වසර 4ක් පරණ ලැප්ටොප් එක වෙනුවෙන් තුන්වන පරම්පරාවෙ ප්‍රසෙසරයක් සහිත ලැප්ටොපයක් ගන්නවාද කියන තීරණය ඔබ සතුයි . හැබැයි අවුරුදු 4ක් පරණ ලැප්ටොපයෙන් එදා කරපු වැඩ මිසක් අද කරන වැඩ කරන්න අවශ්‍ය නැත්නම්

@@හිරු - ඔයා ඇපල් නිෂ්පාදනයක් ගන්නවා කියන්නෙම මුදල් යහමින් තියන කෙනෙක් විය යුතුයි . ඇපල් සමාගමේ තියරියත් ඒකම තමයි . ඇපල් සමාගම ඉලක්ක කරන්නේ ගෘහස්ථ පාරිභෝගිකයින් නිසා ඔවුන් කොහොම හරි අලුත් එකට මාරු වෙන්න පොලඹවනවා . ව්‍යාපාර ඉලක්ක ගත කරල නිෂ්පාදන කරන නිසාත් , තමන්ගේම මෘදුකාංග නිෂ්පාදන පදධති ආදියට සහය දක්වන්න ඕනි නිසාත් වින්ඩෝස් කලින් මෘදුකාංග වලට උපරිම සහයක් දක්වන්න උත්සාහ කරනවා (මයික්‍ර සොෆ්ට් ලගේ නිෂ්පාදනයක් වෙච්ච වින්ඩෝස් 98 ඉඳන් අද වින්ඩෝස් 8 දක්වා හැම එකකම වැඩ කලා ) . මෘදුකාංග වැඩ වලදි පරණ අංග වලට සහය දක්වන්න උත්සාහ කීරීම ටිකක් විතර අමාරු දෙයක් (සමහර වෙලාවට ) , මොකද එහෙම හදන මෘදුකාංගයක් අලුත් පාරිභෝගිකයින්ට උපරිම පහසුකම් නොදෙන්න , ආරක්ෂක ප්‍රශ්න ඇති කරන්න සමත් වෙන්න පුලුවන් . ඇපල් කියන්නේ වර්ස්ට් කේස් එක . ග්‍රැෆික් නිර්මාණ වගේ විශේෂ වුවමනාවක් නැත්නම් මැක් වලට යන්න එපා . දැන්වුනත් පුලුවන් නම් වින්ඩෝස් දාගන්න ඩුවල් බූට් කරලා ඔයිට වඩා සාර්ථක වෙයි . ඩෙල් වගේ ලැපක් අරගෙන හරියට පාවිච්චි කලොත් අවුරුදු 5ක් උනත් ඇදෙගෙන ගිය හැකි (මේ දවස් වල ෆියුචර් පෲෆ් ලැපක් ගන්න චාන්ස් වැඩියි ) , ඇඳ උඩ ඉඳන් ලැප බිම අතැරපු එකෙකුත් 4 වෙනි අවුරුද්දටත් කරදරයක් නැතුව පාවිච්චි කරන ලැප්ටොප් තියනවා , හැබැයි ඉතින් වැඩ හෙමින්

හිරු said...

බුවා...

මට නම් මේක තෑගි හම්බුඋන එකක්... ලැප් නෙවෙයි IMac එකක්... ග්‍රැෆික් වලට තමයි පාවිච්චි කරන්නේ.. මේකක් ගන්න නම් මට හීනෙන්වත් හිතන්න බෑ... හි හි... ඒත් මං විතරක් නෙවෙයි බුවා ඇත්තටම මේ කේස් එකේදි ඩිස්කෂන් බලද්දි මට පෙනුනා ඇපල් පාවිච්චි කරන්‌ෙන් සල්ලි තියෙන අය විතරක් නෙවෙයි කියන එක....2012 දෙසම්බර් වලත් කම්ප්ලේන් තිබ්බා දාස් ගානක්... හැබැයි කම්පැණි වලට සම්බන්ධ අය අඩුයි තමයි... ඒක නිසාද දන්නෙත් නෑ මෙයාලට මේක දිගටම කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ... එක්කෙනෙක් අතෑරියා කියලා ලොකු පාඩුවක් නෑ නේ...

ඔයා කියන කතාව ඇත්ත... දැන් නම් මාත් කල්පනා කරනවා ඩුවල් බූට් කරන්න... ඒත් තව වින්ඩෝස් එකක් තියෙන නිසා මට ඒක ලොකුම ප්‍රශ්නයක් නෙවෛයි තාම... කො‌ොහමත් වින්ඩෝස් කියන්නේ කෝකටත් තෛලයක් තමයි... හි හි....

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ග්‍රැෆික් මෘදුකාංග හරියට වැඩ නම් ඇදගෙන ගිය හැකිනේ .ඩුවල් බූට් කරන්න එපා වින්ඩෝස් එකක් වෙනම තියේ නම් . ඇපල් ප්‍රඩක්ට් ගත්ත අය ලේසියෙන් අත්හරින්නේ නෑ , ඒකනේ අගලක් දිගට ගහල "ඉනෝවේශන්" කිව්ව අයිෆෝන් 5 එකත් උඩ පැනල බදාගන්නේ . වෙන රටවල මොනම පරිඝණකයක්වත් ඒ අයගේ ආදයම් එක්ක බලත්දි ලොකු දේවල් නෙවෙයි . ලංකාවේ තමයි සල්ලිත් හොඳට තියන , ඇපල් ගන්න තරම් ආමාරුවක් තියන එකෙක් විතරක් ඇපල් ගන්නේ . අයිමැක් තැගි ලැබෙන්නේ නෑ නෙව හැමෝටම :0

හිරු said...

හි හි... ඔව්.. මටත් මේක හම්බුවෙනකම් ඇපල් එකක් ඇහැට දැකලා තිබ්බේ නෑ... තව චුට්ටෙන් පපුවේ අමාරුව හැදෙනවා සන්තෝසෙට.. හි හි...

අප්සට් වෙලා තියෙන්නේ ප්‍රඩක්ට් එකත් එක්කම ආපු ප්‍රෝග්‍රෑම් කීපයක් විතරයි... ඒවා එච්චරම වැදගත් නෑ... හැබැයි ක්‍රෝම් එක නම් ලෙඩ දෙනවා... ඒත් සිංංහල හරියට පෙන්නන්නේ ක්‍රෝම් විතරක් නිසා සෆාරි එකයි මේකයි හවුලේ පාවිච්චි කරනවා දැන්.. ගානක් නෑ.. ඒත් ටිකක් දුකයි.. පණ වගේ පරිස්සම් කරපු කොම්පියුටරේනේ.. හි හි

දිනුක said...

සිරාම ලිපියක්.ධනවාදයේ මේ වගේ කුමන්ත්‍රණ නැත්තං තමයි අපි පුදුම වෙන්ඩ ඕන.

BuLa said...

කලකින් කියවපු ඉතා වටිනා ලිපියක් ,පයිරේටඩ් හදන එවුන් තව තව වැඩි වේවා.

සෙන්නා said...

මෙහෙම කූඨ උපක්‍රමයක් තියනවා කියලා දන්නෙත් අදයි.. ඔබට ස්තූතියි මේ දැනුවත් කිරීම පිලිබඳව.

ඇත්ත තමයි... මහ ලොකුවට කල් පවතිනවාය, බිල ඉතිරි කරනවාය කියලා අර දගර දගර තියන බල්බ් ගෙනත් දැම්මා මුලු ගෙටම.. අවුරුද්දක්වත් ගියේ නැ ඔක්කොම මාරු කරන්න වුනා..ඉස්සර ටියුබ් ලයිට් එකක් කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන්ද !! ඒකට දැන් !!

ශික්.. මේ ලෝකෙ කොහාටද අප්පා ගමන් කරන්නෙ..

අහවලා said...

+1

kashyapa1917 said...

@ හිරු,
ඔයාගේ comment එක ලිපියෙම extention එකක් වගේ, ඉත්ං අපි ඒකට කියමු Story No 3 කියල,..ඇත්තටම ICT Industry තමයි planned obsolescence වල ලොකුම culpritsල. මේක තාක්ශනයේ දියුනුවේ අතුරු ඵලයක් කියන්නේ අලි බොරුවක්....සමාගම් උවමනාවෙනම සූරාකෑම සඳහ පවත්වාගෙන යන ක්රමයක්.

@@ රූ.... ,තරියා,amuthu sithuwili,sAm (සෑම්),Chathuranga Perera,Naleen Dilruksha, අරුන්දතී,Nirmala Madushani,silentsahan,බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !,දිනුක,BuLa, සෙන්නා,අහවලා
brothers and sisters, අදහස්, ඇගයීම් වලට ස්තුතියි,

ඇත්තටම භාණ්ඩ බොහෝ දෙනෙකුට ගන්න පුලුවන් මුදලට වෙළද පොලට ආවේ, මහා පරිමාන නිශ්පාදනය(mass production) නිසා. ඒත් ඒ එන වේගයට පාරිබෝගිකයන්ගේ වේගය match උනේ නැහැ... planned obsolescence එන්නේ ඔන්න ඔය වෙලාවෙයි. මනස පොළබවන advertiesments, easy access to credit ඔක්කොම මේ සිස්ටම් එකේ අඬු බඬු ….. ....මෙවා නැත්නම්, නිශ්පාදනය අඩු වෙනවා, එතකොට job නැතිවෙනවා, තාක්ශනය දියුනුවෙන්නෙ නැහැ වගේ ඒවා මේ සිස්ටම් එක පවත්වාගෙන යන්න මතුරන කතා….. මොකද මේක පවතිනේ growth එක මත, පුලුවන්තරම් පරිබෝජනය කරපන්, කාබාසිනියා කරපන් කියන එක මේකේ theme එක….. ඒ හින්ඳ planned obsolescence විතරක් ඉවත් කරල මේක විසදන්න බැහැ....මේවට පැලැස්තර විසදුම් නැහැ....මේ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම විශ්තාපනය කරල, අලුත්ම මොඩල් එකක් ඕනෙ, paradigm shift එකක් අවශ්ය බව අපි යොජනා කරන්නේ ඒකයි.
අපිට තියෙන්නේ සීමිත සම්පත් ප්රමානයක් කියන එක undeniable, ඉතිං මේ සිස්ටම් එකට වැඩිකල් දුවන්න බැහැ කියන එකත් ඒ හින්ඳා අනිවාර්යයක්…… ඉතිං මානව ඛේදවාචකයකට යන්න ඉස්සෙල්ල අලුතෙන් හිතන්න, මොලය පාවිච්චි කරන්න අපට බල කෙරිල තියෙනව. ඈත ශිෂ්ඨාර යුගවල ඉදල, ප්ලේටො, පයිතගරස්, ඇරිස්ටොටල්, ගැලීලියො, නිව්ටන්ල දියුනු කරපු විද්යාව තාක්ශණය මුලු මනුශ්ෂ්ය සංහතියටම අයිති වුනා.....ඒත් මේ නියො ලිබරල් සිස්ටම් එක ඇතුලේ විද්යාව තාක්ශණය දියුනුවත් සමාගම් මුදලාලිල Hijack කරල, ඒකත් ඔවුන්ගේ ලාභ තර කරගැනීමේ එක් ව්යාපෘතියක් පමනක් වෙලා…… අපි කියන්නේ එහෙම වෙන්න බෑ විද්යාව තාක්ශණය දියුනුව මුලු ලෝකයේම සුබ සෙත වෙනුවෙන් විය යුතුයි...... ඉතිහාසය පුරා තාක්ශනය දියුනු වුනේ මුදලාලිලා නිසා නොවන බව අපේ බුවා බ්රදර්ට මතක් කරල දෙන්න ඕනේ..
බුවාගේ ලැප්ටොප් උදාහරනෙ ගත්තොත්, හුඟක් වෙලාවට වැඩි දියුනු වෙන්නේ ඉතා කුඩා කොටසක් විතරයි, උදාහරනෙකට processor විතරයි, ඉතින් මුලු ලැප්ටොප් එකම වීසි නොකර processor එක විතරක් මාරු කරන්න පුලුවන්නම්, ඉතුරුවෙන සම්පත් ප්රමානය, අඩුවෙන කුනු කන්ඳල් ප්රමානය කොච්චරද කියල නිකමට හිතල බලන්න….. ඒත් සමාගම් මේ වගේ replacement වලට තියෙන chance එක අහුරනව, parts වල size එක ,හැඩය වගේ ඒව උවමනාවේන්ම වෙනස් කරල....තනිකරම ලාභය ගැන විතරක් හිතල…… ඉතින් අපි නැවත නැවතත් කියන්නේ shareholders wealth maximize කරන සිස්ටම් එක වෙනුවට මනුශ්ෂත්වය මත පදනම් වුනු ස්වභාවධර්මයට සමීප ධරණීය(sustainable) ආර්තික මොඩලයක් වෙනුවෙන් නැගී සිටීමට තවත් කල් පමා නොකල යුතු බවය.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ඔබතුමාලා වගේ දැනට නොපවතින න්‍යාත්මකව සොඳුරු ආර්ථික මොඩලයක් පිලිබඳව මම විශ්වාස කරන්නේ නෑ , තියන ක්‍රමය ඇතුලේ මේ දාමය මිනිස් වර්ගයාගේ ප්‍රගමනයට හේතුවෙනවාය කියලයි මම දකින්නේ . පර්යේෂණ කටයුතු අධ්‍යාපනික ආයතන වලින් එහාට ගිහින් සමාගම් වල රිසර්ච් ඇන්ඩ් ඩිවලප්මන්ට් වලට එකතු වීම අලුත් තාක්ෂණයන් මිනිසාටවෙතට ලැබීම ඉක්මන් කරනවා .ඔබ කියන විදිහට මුදලාලිලා තාක්ෂණයට කර ගැහුවේ නැතිනම් , අද අපිට (ලංකාවේ නොවේ ) දකින්න තියන තාක්ෂණය සාමාන්‍ය ජනතාව අතරට පත්වෙන්නේ තව වසර 100කට පසුව වෙන්න පුලුවන් . හිතන්න ඔබ විශ්ව විද්‍යාලයක පර්යේෂකයෙක් විදිහට අලුත් මෙහෙයුම් පද්ධතියක් හොයගන්නවා ජංගම උපකරණ වලට . ඔබට තිබෙන සම්පත් ප්‍රමාණය බොහොම සීමිතයි , ඔබට අදාල මෙහෙයුම් පද්ධතිය ටෙස්ට් කරන්න තියන සිමාවන් , මානව සම්පත් විශ්ව විද්‍යාලයෙන් ඒ සඳහා ලබාගන්න පුලුවන් උපරිමයට යටත් , ඔබ එතනින් සාර්ථකත්වයක් ලැබුවොත් මානව වර්ගයාගේම හිතසුව පිණිය ඔබ අදාල පර්යේෂණය නිදහස් කරනවා , ලෝකේ පුරා එක් එක් අය ඒක තව දුරටත් වැඩි දියුණු කරල භාවිතා කරනවා . ඔය වෙන්න පුලුවන් සොඳුරුම අවස්ථාවක් ඔබේ සංකල්පයට අනුව . ඔතනදි ඔබ පර්යේෂණය නතර කලේ කියන X තැනින් නම් ඊලඟ අයට පටන් ගන්න වෙන්නේ එතනින් . එක්වර කිහිප දෙනෙක් අදාල තාක්ෂණය X වල ඉඳන් දියුණු කරන එක වලක් වන්න බෑ , ඒක මානව වර්ගයාගේ යහපත වෙනුවෙන් නිදහස් කරල අවසානයි . විවිධා කාර පුද්ගලයින් විවිධා කාර තැන් වලදි කරන වැඩි දියුණු කිරීම් නිසා ඊලඟ පියවරයන් y1 , y2 y3

ආදි වශයෙන් විවිධා කාර වෙන්න පුලුවන් .

ඔය විදිහට කටයුතු සිද්ධ නොවී , මේ පවතින මොඩලය ඇතුලෙදි ඔබේ පර්යේෂණය මුදලාලි කෙනෙක් මිලදී ගන්නවා . බොහෝ වෙලාවට ඔබවත් එක්කම , ඔබට හොඳම ඔෆර් එක තෝරගන්න පුලුවන් මුදලාලිලා කිහිප දෙනෙක් අතර තියන තරඟ කාරීත්වය නිසා . ඔය ගත්ත මුදලාලිගේ බලාපොරොත්තුව ලාබ උපයන එක , ඒ නිසා එයාට ඒ සඳහා සම්පත් යොදවන්න බාධාවක් නෑ , එයා ගාව දැනටමත් ඉන්න මානව සම්පත වගේම හොඳ මොල සල්ලිවලට ගන්න මුදලාලි යොදන සාම්ප්‍රදායික උපක්‍රම නිසා අලුතෙන් අවශ්‍ය කරන මානව සම්පත ගන්න බැරි කමකුත් නෑ . මුදලාලිට ඕනි පුලුවන් ඉක්මනට ලාභ ගන්න . ඒ නිසා තරඟකාරි මුදලාලිලා දැනට ඉන්න තත්වයෙන් උඩට ආපු නිශ්පාදනයක් පුලුවන් ඉක්මනින් එලියට දාන්න මුදලාලි උපරිම උත්සහයක් ගන්නවා , ඒ නිසා සීමීත සම්පත් යටතේ වෙන වෙනම වලට යන්න තිබුන තාක්ෂණය තරඟකාරිත්වයේ ස්වාභාවය අනුව Y වලට හෝ Z වලට යනවා . මුදලාලි දැනට හදපු අතිරේක සේවා තියනවා නම් ඒවාත් ගැටගහනවා . ඊට පස්සෙ මුදලාලිම හෝ තවත් මුදලාලිලා කිහිප දෙනෙක් එක්ක සාමාන්‍ය පාරිභෝගිකයා අතර අදාල තාක්ෂණය එනවා . ඒ එන තාක්ෂණය අර එක් එක් තැන්වල නිපදවුනු y1 , y2 , y3 ට වඩා ගුණාත්මක බවෙන් ඉහලයි . අනික මුදලාලිගෙ වගකීමත් තියනවා ,එක් ස්ටැන්ඩර්ඩ් එකක් මත පදනම් වෙන නිසා තව තවත් මුදලාලිලාට තමන්ගේ නිශ්පාදන අරකට ගාව ගන්නත් ලේසියි . ඒතනත් වාසිය තියෙන්නේ පාරිභෝගිකයටම තමයි , ඔයිට අමතරව ආශ්‍රිත සේවා සැපයීම වෙනුවෙන් ඇමරිකාවේ ඉන්න මුදලාලි නිසා චීනෙ, ඉන්දියාවේ , ලංකාවේ කොල්ලෝ කෙල්ලොත් ගාණක් හම්බ කරගන්නවා .

ඔඅය දෙන්න පුලුවන් කැතම නිර්වචනය , එත් ඇත්තටම මෘදුකාංග ආශ්‍රිත ක්ෂේත්‍රවලදි ඔයිට වඩා මානව වර්ගයාට හිතසුව පිණිස තමයි ප්‍රයෝගිකව කටයුතු සිද්ධ වෙන්නේ .

ප.ලි- ලැප්ටොප් වල ප්‍රසෙසරයට අමතරව , මෙමරි ධාරිතාව , හාඩ් ඩිස්ක් තාක්ෂණය ( වෙගවත් බව වැඩි ), පෝර්ට්ස් වල තාක්ෂණය (යූ එස් බී 2.0->යූඑස් බී 3.0 ) , ග්‍රැෆික් කාඩ් පත , තිරයේ වර්ගය හෝ රූප ගුණාත්මක බව ආදී ගොඩක් දේවල් වෙනස් වෙනවා .

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

Correction - , ඒ නිසා සීමීත සම්පත් යටතේ වෙන වෙනම y1 , y2 , y3 වලට යන්න තිබුන තාක්ෂණය තරඟකාරිත්වයේ ස්වාභාවය අනුව Y වලට හෝ Z වලට යනවා

kashyapa1917 said...

බුවා බ්රදර් මූලික ප්රශ්නයෙන් පැනල ගිහින් අවශේෂ කරුනු සාකච්චා කරල වැඩක් නැහැ, අපිට තියෙන්නේ සීමිත සම්පත් ප්රමානයක්, ඒක කාබාසිනියා කරගෙන ,කරගෙන,කරගෙන ගිහින් අපේ ශිෂ්ටාචරය අකාලයේ අවසන් කරනවද, නැත්නම් විකල්පයකට යනවද කියන එකයි ප්රදාන කාරනය.

දැනට ක්රියාත්මකව නොපවතින න්යායාත්මක මොඩලයක් පිලිගන්නේ නෑ කියන එක මෝඩ කතාවක්, මොකද මානවයා සමාජගත වෙච්ච දා ඉඳන් තිබුනේ මේ නියො ලිබරල් ධනවාදෙ නෙමෙයිනෙ, එකක් ත්වකෙකින් විස්තාපනය වෙමින් තමයි ඇවිල්ල තියෙන්නේ, එහෙමනම් අලුත් මොඩල් එකකින් මේක විස්තාපනය කරන්න පුලුවන් කියන එක පිලිගන් නෑ කියන්නෙම මෝඩ කතාවක්,අනික බුවා පිලිගන්නවද , නැද්ද කියන එක කොහොමත් වැඩක් නෑ, මොකද අලුත් යමක් වෙන්න ලෝකේ ඉන්න බිලියන 7ම කැමත් වෙන්න හරි ,පිලිගන්න හරි ඕනෙ නෑ.

බුවා බ්රදර් දිග උදාහරණ හෑල්ලක් ලියල පෙන්නල දීල තියෙන්නේ, මම උදාහරන නැතුව කිව්ව මුදලාලිලා විද්යාව හා තාක්ශණය Hijack කරල තියෙන විදිහ....ඒකට ස්තුතියි ඔන්නම් අපි ඒකට Story No 4 කියමු, මොකද හිරුගේ Story එකට අපි No 3 දුන්නනෙ. ඉතින් අපි කියන්නේ ඒක වැරදියි කියල, මුදලාලිගෙ ලාභය වෙනුවෙන් නෙවෙයි එය සිදු විය යුත්තේ සමස්ත ලෝකෙට යහපතක් වෙන විදිහට කියල...... මිනිස්සුන්ට, ලෝකෙට හොඳක් වන බොහෝ සොයා ගැනීම් commercially viable නැහැ කියන හේතුව මත අද එලියට එන්නෙ නෑ....ඔයාගෙ කතාවෙන්ම කියනවනම්....ලෝකෙට වඩාත් හොඳක් වෙන්නෙ අපි කියමු y3 කියල ඒත් මුදලාලිගෙ bottom line එකට හොඳ y1 කියල...ඉතින් අපි කියන්නෙ අපි යා යුත්තේ y3ට මිස දැන් වගේ y1ට නොවෙයි කියලා.... ඔය කතන්දර හරියන්නේ box එකෙන් එලියට ඇවිල්ල හිතන්න බැරි මිනිස්සුන්ට.......ඒත් එලියට ඇවිල්ලා බැලුවොත් තේරෙයි....ඕකත් අර 'ඉස්සො වලේ' කතාවට වඩා වැඩි වෙනසක් නැති බව.

අනිත් කාරනය තමයි, ලැප්ටොප් එකේ processor එක අලුත්වෙන, අලුත්වෙන ගානේ ඔයාගෙ ලිස්ට් එකේ තියෙන ඔක්කොම upgrade වෙන්න ඕනෙ නැහැ, (බොහෝ levels වලදී ඔය එකක්වත් upgrade වෙන්න ඕනෙ නෑ ලැප්ටොප් එක වැඩ කරන්න ) ඒක නිකම් තවත් බයිලාවක්.....හරියට මුදලාලිලා නැත්නම් තාක්ශනේ දියුනු වෙන්නෑ වගෙ

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ඕගොල්ලන් කියන මොඩලය මම පිලිනොගන්න එකෙන් වගේම ඔයා ඇතුලේ එහෙම එකක් ඕනිය කියල මොරදෙන අයගෙ අදහසිනුත් වැඩක් නෑ කොහෙවත් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් . සිහින ලෝකවල කොච්චර ලස්සන අදහස් තියෙන්න පුලුවන්ද , ලෝකේ හැමෝම ඕනි නෑ කොහේ හරි එක තැනකින් පටන් අරගෙන සාර්ථකයි කියල පෙනුනොත් අනික් හැමෝමත් එතනට යයි . ඔයා මගේ උදාහරණේ ඔයාගේ සිහින ලෝකෙට ගැටගහත්තට මට කරන්න දෙයක් නෑ . ලෝකෙට වඩාත්ම හොඳ එක අරකය මේකය කියල , අලුතෙන් එන්න තියන තාක්ෂණයක් ගැන නිර්ණය කරන්න කාටවත් බෑ . මම කථා කරන්නේ වඩාත්ම හොඳ දෙයක්, දියුණු දෙයක් එලියට එන්න තියන හැකියාව ගැන . හරියට තරුණ මිනිහෙක් සහ වයසක මිනිහෙක් සිරිපාදේ නගින්න තියන හැකියාව වගේ .

පරිඝණක උදාහරණයත් පටලවාගෙන , මම කොතනද කිව්වේ ප්‍රසෙසරයත් එක්ක ඔය ඔක්කොම වැඩි දියුණු වීම අනිවාර්ය අවශ්‍යතාවක් කියල . මම මුලිනුත් කියල තියනවා වගේ අප්ග්‍රේඩ් කරනවද නැද්ද කියන එක පෞද්ගලික තීරණයක් , මම ඔය උත්තර දුන්නේ ඔයාගේ ප්‍රොසෙසරය විතරක් අලුත් කරල ආයෙමත් එකක් ගන්න බලකරනවාය කියන එකට පිලිතුරක් . කෙනෙක් අලුත් ලැපකට යන්නේ අවම වශයෙන් වසර දෙකක් ගිහින් කියල ගත්තත් , ඒකෙනා අවුරුදු දෙකකට පස්සෙ වෙලඳ පොලට යන කොට ප්‍රොසෙසරය විතරක් නෙවෙයි තවත් අලුත් දේවල් ගොඩක් ඔහුට ලැබෙනවා . ඒහෙම අවශ්‍යතාවයක් නැත්නම් නිකා ඉන්න පුලුවන් . මම ගාව අවුරුදු 5ක් පරණ , 11 පරිඝණක දෙකක් තියනවා . හැබැයි 11ක් පරණ එකෙන් කරන්න පුලුවන් දේවල් සීමිතයි . මට ඒ දේවල් මදි නිසා මම අලුත් එකක් ගන්නවා . අලුතින් එන මෘදුකාංග 11 ක් පරණ එකේ වැඩ කරන්න හැදුවොත් ඒක තාක්ෂණය ඉදිරියට යාමක් නෙවෙයි

කොහොම වුනත් ඔයාගේ විකල්පය කොහේ හරි තැනක ප්‍රැක්ටිකලි වෙනකන් , ඔයා ගාව තියෙන්නේ තියරියක් විතරයි . එහෙම තියරි ගැන කථා කරන එකත් කාලය නාස්ති කිරීමක් !

Naleen Dilruksha said...

මේ මල ඉලව් පැත්තක තියෙද්දි සිලෝන් ලිනක්ස් භාවිත කරලා සතියකින් කියන්නකෝ එවිට වෙනස දැනෙයි. නොමිලේ දෙන හින්දා අගේ නෑ.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

නලින් - ලිනක්ස් ප්‍රමාණවත් බොහෝ දෙනෙකුගේ එදිනෙදා වැඩවලට , නමුත් හැමෝටම ලිනකස් ප්‍රමාණවත් වෙන්නේ නෑ , උදා හිරු වගේ ග්‍රැෆික් කරන කෙනෙකුට ලිනක්ස් වලදි තමන්ගේ මෘදුකාංග භාවිතා කරන්න බෑ . හොර වින්ඩෝස් භාවිතා කරනවට වඩා ලිනකස් පාවිච්චි කරන එක හොඳයි තමන්ට ඕනි වැඩ ඔක්කොම කරගන්න පුලුවන්, සහ ලිනක්ස් එක්ක වැඩ කරන්න අවශ්‍ය දැනුම තියනවා නම්

kashyapa1917 said...

@බුවා

ලෝකය පුරා වඩා පරිසර හිතකාමී මෙන්ම මුදල හෝ ලාභය එකම අරමුන නොවන ධරනීය නිශ්පාදන , ආර්තික මොඩල විවිද මට්ටමෙන් සහ මානයන්ගෙන් බොහෝමයක් දැනටත් අත්හදා බැලෙනවා, ලිපියේ සඳහන් Worren Philips ගේ උදාහරනය මෙන්ම, සියයට සීයක් bio-degradable chemicals පමනක් භාවිතා කරන රෙදි නිශ්පාදනය වගේම opan sourse software (මේ Naleen Dilruksha කෑගසන ජාතියේ) සමහර උදාහරන ........ඒ වගේම න්යායාත්මක තලයේ විවිද විද්වතුන්, විද්යාඥ්ඥයන් මෙන්ම සමාජ ව්යාපාර ඉහල වැඩ කොටසක් මේ මොහොතේ කරමින් ඉන්නවා.. මේවා සිහින නම්, වඩාත් වැදගත් වන්නේ මානව ශිෂ්ඨාචාරයේ පැවැත්ම උදෙසා මේ සිහිනය සැබෑ විය යුතුව තිබෙනවා යන්නය. මේ පනිවුඩය බහුතරයක් වෙතට ගෙනයාම අපේ වෑයමය. පවතින ක්රමය වෙනස් කලයුතු අනන්ත හේතු වලින් එකක් ගැන ලිපියේ සාකච්චා කර ඇත්තේ එබැවිනි......අපේ කෑ ගැසීමේ වැදගත්කම ඇත්තේ එතැනය....බුවා බ්රදර්ගේ පිලිනොගැනීම වැදගත් නොවන්නේ අප වතුර දාන්නට උත්සාහ ගන්නේ මුනින් නැවූ කළ වලට නොවන බැවිනි. පැවති හෝ පවතින සිස්ටම් කිසිවක් දෙය්යෝ මැව්වා සේ රෑ එලිවෙන කොට ප්රාදූර්ත වූ ඒවා නොව ක්රමයෙන් ස්තාපිත වූ ඒවාය, එබැවින් අනාගත මොඩලයද අනිවාර්යයෙන්ම එසේම වනු ඇත.
Laptop උදාහරනය පටලවාගෙන ඇත්තේ මම නොව බුවාය......මුලු ලැප්ටොප් එකම වීසිකරනවා වෙනුවට processor පමනක් upgrade කල හැකි ක්රමයක් තිබුනානම් ලොවපුරා වීසි කරන ලැප්ටොප් වලින් සෑහෙන ප්රමානයක් එසේ නොවීමට ඉඩතිබෙන බවය...එවැනි අනෙක් භාන්ඩද සැලකූ විට ඉතිරිවන සම්පත් ප්රමානය හා අඩු වන කුනු කන්ඳ විශාල බවය.........එවිට processor පමනක් upgrade වී මදිය තව ලිස්ට් එකක්ද වෙනස් වෙනවායයි කීවේ මම නොව බුවාය.......එසේ අවශ්යතාවයක් නැති බව පෙන්නාදුන් විට දැන් බුවා කියන්නේ...තමන්ට කැමතිනම් පමනක් ඒවා වෙනස් කරගත හැකි බවය......නමුත් ප්රශ්නය තියෙන්නේ එසේ අපිට ඕනෑ විදිහට වෙනස් කරගන් නට මුදලාලිලා ඉඩ නොදීමය...ඒ වෙනුවට මුලු ලැප්ටොප් එකම වීසි කර අලුත් එකක් ගන්නට සිදුවී තිබීමය ……

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

සිහින සැබැ වූ දිනෙක තබා අපිට (සාමාන්‍ය ජනතාවට ) එහෙම දෙයක් දැනුන දවසකට අපි බලමු . ඕපන් සෝස් හොඳ සංකල්පයක් , හැබැයි ඒකේ සාර්ථකත්වය පිටිපස්සෙත් මුදලාලිලා ඉන්නවා . ලැප්ටොපයේ කැලි මාරු කරන්න අවස්ථාව සහ ඒකේ "ලැප්ටොපයක් " වශයෙන් ලබාදෙන පහසුකම් අතර ඝට්ටනයක් තියනවා . ඩෙක්ස්ටොප් පරිඝණකයක තියන දෘඩාංග නම්‍යශිලි තාවය ලැප්ටොප් එකක් වීම තුලම නැති වෙනවා . ප්‍රොසෙසරයක් මාරු කිරීමත් එක්ක වෙනස් වන බලසැපයුම් ,සහ සිසිල්කරණ පද්ධති වල වෙනස් කිරීම් ආදීයට ලැප්ටොප් පරිඝනකයක සීමිත ඉඩ කඩ තුල අවස්ථාවක් නෑ , ඒ නිසා ප්‍රොසෙසරයක වෙනසක් පමණක් නිරන්තරයෙන් අවශ්‍ය කෙනෙකුට (ප්‍රයෝගිකව ප්‍රොසෙසරයේ වෙනසක් විතරක් අවශ්‍ය වෙන අවස්ථාවක් කියන්න පුලුවන්ද ) ලැප්ටොප් එක ගැලපෙන උපකරණයක් නෙවෙයි . පාන් කපන්න කියතතෙන් බැනේ තමන්ගේ අවශ්‍යතාවය අනුව උපකරණය තෝරාගන්න තමන්ට හැකිවිය යුතුයි !

හිරු said...

මේ පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි කියවද්දි Wall-E ෆිල්ම් එකමයි මට මතක් වෙන්නේ... අර ලෝක ගෝලේ වටේට පරණ සැටලයිට් වලින් හැදිච්ච කුණු වළල්ලක් තියෙන විදිය එහෙම.. හි හි

Nirmala Madushani said...

kashyapa1917 said...
//ඈත ශිෂ්ඨාර යුගවල ඉදල, ප්ලේටො, පයිතගරස්, ඇරිස්ටොටල්, ගැලීලියො, නිව්ටන්ල දියුනු කරපු විද්යාව තාක්ශණය මුලු මනුශ්ෂ්ය සංහතියටම අයිති වුනා.....ඒත් මේ නියො ලිබරල් සිස්ටම් එක ඇතුලේ විද්යාව තාක්ශණය දියුනුවත් සමාගම් මුදලාලිල Hijack කරල, ඒකත් ඔවුන්ගේ ලාභ තර කරගැනීමේ එක් ව්යාපෘතියක් පමනක් වෙලා// ඔබ කිව යුතු දේ කෙලින්ම කියා තිබෙනවා. ඇත්ත එයයි.

Anonymous said...

ගොඩක් හොඳ ලිපියක්. මේ අදහස් ක්‍රියාත්මක කරන්නට අපහසු උනත් කුඩා පරිමාණයෙන් දැනටමත් ලොව පුරා ක්‍රියාත්මක වෙනවා. බුවාගේ උදාහරණය එතරම් නිවැරදි නෑ. පරිගණකයේ Ram එක අප්ග්‍රේඩ් කරන්න යමෙකුට අවශ්‍ය උනොත් ඔහුට මව්පුවරුව මාරු කිරීමට සිදුවීම අසාධාරණ නැද්ද? මෙය තනිකරම වාණිජ පරමාර්ථ මත නවතාක්ෂණය යන්න බිල්ලට දී සිදුකරන මගඩියක්. නිෂ්පාදන ක්‍රියාවලිය නැවැත්විය යුත්තේ ඉල්ලුම නැවතුනු විටයි. නමුත් අද සිදුවන්නේ නවීකරණය යන්න බලෙන් ඇඟෙහි ගැසීමක්. මේවා සදාචාර විරෝධී උනත් අද වනවිට සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.
ආශ්‍රිත ලිපි:
http://www.nytimes.com/2008/03/23/technology/23digi.html?_r=0
http://www.eastvalleytribune.com/money/article_7855c6d2-124d-11e2-878d-0019bb2963f4.html

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

රැම් එක මාරු කරන්න මවු පුවරුව මාරු කරන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නෑ , සමාන්‍යයෙන් දැනට වෙලඳ පොලේ තියන ලැප්ටොප් එකක උපරිම මෙමරි හැකියාවටම මෙමරි සහිතව එන්නේ නැ ,අදාල මවු පුවරුවට උපරිම වශයෙන් දරාගත හැකි ප්‍රමාණය දක්වා මෙමරි ඇතුල් කරගන්න පුලුවන් බොහෝ වෙලාවට 8 දක්වා . ප්‍රොසෙසරයේ , හෝ ග්‍රැෆික් කාඩ් පතේ වෙනසකට තමයි සම්පූර්‍ණ මවු පුවරුවම මාරු කරන්න වෙන්නේ

Post a Comment

පි‍ටු පෙරලපු ගාන