එකක භාර

Sunday, October 30, 2011
කලින් පාඩම් ඔක්කොම පිනාගේ කුප්පියේ තියෙනවා 
කොටස් වෙලදපලෙන් ටිකක් එලියට බැහැලා අපි අද තවත් ආයෝජන මාර්ගයක් වන එකක භාර ගැන සලකලා බලමු. මම ජොබ් එක කරන තැන නිසාම මුල්‍ය වාර්තා විශ්ලේෂණය පාඩම නම් තව ටිකක් කල් යනවා. 
මොකක්ද මේ එකක භාරයක් කියලා කියන්නේ. මේක ඉතාමත් සරල ආයෝජන ක්‍රමයක්. අපි මේ සංකල්පය උදාහරණයකින්ම පැහැදිලි කරගනිමු.
රත්තරන් කියලා කියන්නේ මේ දවස්වල ඉතාම වේගයෙන් මිල ඉහල යන වත්කමක්.  අපි හිතමු අද ඔයාට  රත්තරන් කිලෝ එකක් මිලදීල ගන්න ඕන උනා කියලා. එත් ඒක මිලට ගන්න තරම් ප්‍රමාණවත් මුදලක් දැනට ඔයා අතේ නැහැ. නමුත් ඒ රත්තරන් වල අනාගත වටිනාකම පෙන්නලා දීලා ඔයාගේ යහළුවන් කිහිප දෙනෙක් එකතු කරගත්තොත් ඒ රත්තරන් ප්‍රමාණය මිලදීල ගන්න ඔයාට පුළුවන් වෙයි. ඒ සාමුහික ප්‍රයත්නයක් විදියට තමුන්ගේ මුදල් යෙදවීමෙන්. යම්කිසි කාලයකදී ඒ රත්තරන් ප්‍රමාණය  වටිනාකම වැඩි වූ විට විකුණා දැමීම තුලින් ලැබෙන ලාබය සියලු දෙනා අතර බෙදා ගැනීමටත් ඔබට හැකියාව ලැබෙයි.
එකක භාරයක තියෙන්නෙත් මෙන්න මේ සංකල්පය තමයි.ආයෝජකයන් රාශියකගේ මුදල් කොටස් වෙලදපොලේ හෝ  භාණ්ඩාගාර බිල්පත්, බැදුම්කර, සාංගමික නයපත්‍ර වැනි සුරක්ෂිත ආයෝජන මාර්ගයක යෙදීම තමයි මෙමගින් සිදුවෙන්නේ. 
එකක භාර වෙළදපොල මත රැදී සිටියත් වෙළදපොල ඉහල පහල යාම් වලට සාපේක්ෂව උද්දමනය හා බැංකු පොලි අනුපාත අභිබවමින් පැහැදිලි වර්දනයකින් ඉදිරියට යන ආකාරය දැක ගන්නට පුළුවන්. හොදම උදාහරණයක් විදියට මේ අරමුදල්වලින් එක අරමුදලක්  1996-2006 කියන වසර 10 ක කාලය තුල 359% ක ප්‍රතිලාබ පිරිනැමීම පෙන්වන්න පුළුවන්.
මේකේ තියන වැදගත්ම දේ තමයි රු 1000 ක් වැනි මුදලකින් වුවත් එකක මිලට ගැනීමට හැකියාව ලැබීම.
විශේෂයෙන්ම එකක භාර තම ආයෝජන උපක්‍රමය ලෙස භාවිතා කරන්නේ ආයෝජන විවිදාන්ගිකරණය. ඔවුන්ගේ සියලුම ආයෝජන එකම ආයෝජන උපකරණයක යෙදීමෙන් අවදානමකට භාජනය වීමට ඔවුන් කිසිසේත්ම කටයුතු කරන්නේ නැ.   ඒ වගේම මේ අරමුදල් කළමනාකරණය කිරීම සදහා ඉදිරිපත් වන්නේ ආර්ථික ක්ෂේස්ත්‍රයේ දිගුකාලින අත්දැකීම් වලින් පරිපුර්ණ කළමනාකරුවන් පිරිසක්. ඒ නිසාම තමන්ට තමන්ගේ ආයෝජන සම්බන්දයෙන් කැපකිරීමට කාලයක් දැනුමක් නොමැති උනත් ඔබේ ආයෝජන ප්‍රවීන කළමනාකරුවන් ලවා කළමනාකරණය කරවා ගැනීමේ අවස්තාව ලැබෙනවා.
ඒ වගේම ඔබ දැරීමට කැමති අවදානමේ ස්වභාවය අනුව විවිද අරමුදල් වර්ග රාශියක් මේ තුල ක්‍රියාත්මක වනවා. ඔබ ආයෝජනය කරන මුදලෙහි ප්රාග්දන සුරක්ෂිත තාවයත් අවසානයේදී ස්ථිර ප්‍රතිලාබයක් ලැබීමත් ඔබේ බලාපොරෝත්තුවනම් ඔබ තෝරාගත යුත්තේ රජයේ සුරැකුම්පත් වල මුදල් ආයෝජනය කරන අරමුදල් වර්ගයකි. ඒ වගේම ඉහල ප්‍රතිලාබයක් සදහා ප්රාග්දන අවදානමකට මුහුණදීමට වුවත් ඔබ කැමතිනම් තෝරා ගත යුත්තේ අරමුදල් අඩු වැඩි වශයෙන් කොටස් වෙළදපොල සදහා මුදාහරින ආකාරයේ අරමුදලකි. කෙසේ නමුත් එකක භාර සමාගම් එකක භාර හිමියාට උපරිම ප්‍රතිලාබයක් ලබාදීමට කටයුතු කරන නිසා ඒ සම්බන්දයෙන් එම සමාගම් සමග සාකච්චාකර තමන්ට කැමති අරමුදලක් තෝරාගැනීමේ හැකියාව ආයෝජකයන් සතුවනවා. මේ එකක භාර ආයෝජනයෙන් උපයන සියලුම මුදල් බද්දෙන් නිදහස්. එකත් ඔබට ලැබෙන විශාල වරප්‍රසාදයක්.
කොහොම උනත් එකක බාර වල බලාපොරොත්තුව තමයි  දිගුකාලින ආයෝජන සදහා ආයෝජකයන් යොමු කිරීම. ඒ කියන්නේ සරුසාර පැලයක් වැඩෙන ආකාරයට සෙමෙන් හා ස්ථාවරව ඉහල ප්‍රතිලාබයක් සහිතව ඔබව ඉහලට ඔසවා තැබීම. ඒ සදහා අවම කාලය වර්ෂයකට වඩා වැඩි වෙන්න ඕන. ඔබේ එදිනෙදා අවශ්‍යතා සදහා ඇති මුදල් එකකභාර සදහා ආයෝජනය කරන්න එපා. මාස්පතා සුළු මුදලක් හරි ආයෝජනය කරන්න. ඔබ ආයෝජනය කරන මුදල් ප්‍රමාණය සුළු උනත් ඔබට ලැබෙන ප්‍රතිලාබයේ අනුපාතය සුළු අගයක් නොවන බව මතක තියා ගන්න. ඔබ දැනට හුරුවී ඇති බැංකු තැන්පතු. ස්ථාවර තැන්පතු වලින් ලබන ප්‍රතිලාබ අනුපාතයත්, එකක භාරවල ප්‍රතිලාබ අනුපාතයත් සංසන්දනය කරලා තමන්ට ගැලපෙන ආයෝජන මාර්ගය මොකක්ද කියලා තීරණය කරන ඒක ඔබ විසින් කල යුතු වෙනවා. මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් එකක භාර වල ආයෝජනය කරන්න කැමතිනම් මෙතනට කොටලා ඔයාලට කැමති ආයෝජන කළමනාකරන සමාගමකට ගොඩ වෙන්න පුළුවන්.
එහෙමනම් ආයෙමත් ටික කාලෙකට ආයුබෝවන් 

පි‍ටු පෙරලපු ගාන