කුරුදු ඔය ඇල්ල සොයා

Friday, June 22, 2012


A /L ඉවර කරලා අවුරුදු දෙකහමාරක් තිස්සේ මම වැඩ කලේ විගණන ආයතනයක පුහුණු වන්නෙක් විදියට. මේ කාලේ අපිට රට වටේම ඇවිදින්න සිද්ද උනා. කොටින්ම කියනවා යාපනය, මන්නාරම්, මඩකලපුව ඇර අනිත් හැම තැනම අපට ඔඩිට් තිබුන. සමහර දවස් වල අපට රැ වෙන්නේ හම්බන්තොටදී පහු වෙනිදා එලිය වැටෙන්නේ පොළොන්නරුවේදී. ඒ කාලේ මතක් වෙද්දී ගෙව්වේ කොච්චර නම් ආතල් ජීවිතයක්ද කියලා හිතෙනවා. අපි ඔක්කොම හිටියේ A /L ඉවර කරපු ගමන් වගේ කොල්ලෝ සෙට් එකක්. එහෙම ටිකක් සෙට් උනාම වෙන දේවල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඔහොම ගමන් යනකොට අපි කරපු කියපු දේවල් වගේම රසබර සිද්දිත් ගොඩයි. මේකත් අපි නටපු එක පිස්සුවක් ගැන කතාවක්. මේක මුලින්ම ලිව්වේ මගේ බ්ලොග් එකේ ඒක පටන් ගත්ත දවස්වල.

මේ ඔඩිට් එක තිබුනේ වලපනේ. නුවර එලිය දිස්ත්‍රික්කේ. ලස්සන ගම්මානයක්. ඒ ඔෆිස් එකට යන්න වලපනේ ටවුන් එකේ ඉදලා නුවර එලිය පාරේ ටික දුරක් යන්න ඕනේ. මට මතක හැටියට ඒ හරියට කියන්නේ මහ ඌව වත්ත වගේ නමක්. වැඩේට ගියේ අපි තුන් දෙනයි. අපේ වැඩ හවස 4 වෙනකොට ඉවරයි. අපට නවතින්න තිබුනේ ඒ ඔෆිස් එකේම උඩ තට්ටුවේ. හවස් වරුවට කරන්න වැඩකුත් නැ. ඉතින් අපි සෙට් එකටම හවස් වෙනකොට නිකම් කැහිල්ල වගේ. ඉතින් ඔය හරියේ බලන්න වටිනා තැන් එහෙම තියනවාද කියලා අපි හොයලා බැලුවේ මෙච්චර ලස්සන පළාතකටත් ඇවිත් නිකම්ම හවස් වරුව ගෙවලා දාන්න තිබුණු කම්මැලි කම හින්දා. ටිකක් කන්දෙන් පල්ලෙහාට වෙන්න ජපන් පන්සලකුයි, ඊට ටිකක් එහාට වෙන්න ලස්සන දිය ඇල්ලකුයි තියනවා කියලා කිව්වේ අපට උයන්න ඇවිත් හිටපු රංජි අයියා. ඉතින් අපිත් ගමනට සෙට් උනා. හවස වැඩ ඉවර කරපු ගමන් රංජි අයියාව මුණ ගැහිලා පාර අහගන අපි පයින්ම පල්ලම් බැස්සා. තේ වත්තක් මැදින් ටික දුරක් යනකොට අපිට අර කියපු ජපන් පන්සල නම් දැක ගන්න ලැබුනා.

මේ තියෙන්නේ ඒ ජපන් පන්සල තමයි..



                           

හැබැයි ඒ වෙලාවේ පන්සලේ කවුරුවත්ම හිටියේ නැ. හාමුදුරුවෝ වැඩිපුරම ඉන්නේ ශ්‍රී පාදස්ථානයේ තියන ජපන් පන්සලේ කියලයි අපට දැනගන්න ලැබුනේ. අහල පහල තිබුණු ගෙදරකින් දිය අල්ලට යන පාරත් අහගන අපි ගියේ ලංකාවේ තියන දිය අලි අතරින් උසින් දෙවන ස්ථානය ගන්න කුරුදුඔය ඇල්ල හොයාගන. ඔය කියන කාලේ තමයි වලපනේ ප්‍රදේශය දරුණු නාය යාමකට මුහුණ දුන්නේ. ඒ නිසා ඇල්ලට යන ගමන් මාර්ගයත් දරුණු විදියට නාය ගිහින් තිබුණු නිසා අපිට අලුතෙන්ම පාරවල් හොයාගන කැලේ මැදින් තමයි යන්න සිද්ද උනේ. දුෂ්කර ගමන් මාර්ගයකින් යන්න තියන නිසාද කොහෙද මේ ඇල්ල බලන්න සංචාරකයින් නම් එන බවක් පෙනුනේ නැ.

අපිත් වැඩේ අත අරින්නේ නැතුව කැලේ පිරගන කන්ද මුදුනටම නැගගෙන ගියා. මෙන්න කැලේ අතර මග දේවාලෙකුත් තියනවා. එතනත් කවුරුවත් හිටියේ නම් නැ. ඒත් එතන මිනිසුන් ගැවසෙන තැනක් බවට සලකුණු නම් තිබුනා. අපි ඉතින් දේවාලෙටත් පඩුරක් එහම දාලා අපි තවත් කන්ද මුදුනටම නැග්ගා. දැන් අපි ඉන්නේ ඒ හරියේ තියන උසම කන්දක් උඩ. ඒත් කෝ දිය ඇල්ලක්. පේන මානෙක වත් නැ. අඩු ගානේ දිය ඇල්ලක සද්දයක්වත් නැ. ඒත් දෙපැත්තටම අඩි පාරවල් දෙකක් නම් තියනවා. දැන් වෙලාවත් හවස 5.30 විතර ඇති. දැනටමත් කිලෝමීටර් තුන හතරක් ඇවිත්. ඕන දෙයක් කියලා අපි දකුණු පැත්තට තියන පාර දිගේ ඉස්සරහට ගියා. තණකොළ ගොල්ල ඉවර උන ගමන් අඩි පාර ඉවරයි. ඊළගට තියෙන්නේ දිගටම ගල් තලාවක්. අපිටත් ඕනේ කොහොම හරි කරලා දිය ඇල්ල හොයා ගන්න නිසා අපි දිගටම ගියා. දැන් නම් ගල් තලාව වටේම තද බැවුම. කකුල පොඩ්ඩක් වත් ලිස්සලා ගියොත් කෑලිත් නැ. මචන් ඉක්මනට වරෙන් හැමෝටම කලින් ගල් තලාවේ එහාම කොනට දුවපු රොෂානයා කෑ ගහන්න පටන් ගත්තේ ඇදන් හිටපු ටි ෂර්ට් එකත් ගලවලා අත් දෙකින්ම ඒක එහාට මෙහාට වනන ගමන්. අපිත් ඉක්මනටම එතනට දුවලා ගියේ මෙයා මේ කෑගහන්නේ දිය ඇල්ල හොයාගෙනවත් ද කියලා.

මෙන්න ඒ ගල් තලාවෙන් කොටසක්


                                    


ගල්තලාවෙන් පහල කෙලින්ම අපට පෙනුනේ වලපනේ නගරය. එතනින් එහාට යන්න පාරකුත් නැහැ. ලෝකාන්තය වගේ තැනක්. වලපනේ බස් නැවතුම්පල ලග ඉදන් කෙලින්ම උඩ බැලුවාම පේන්නේ ඔය අපි හිටපු ගල් කන්ද බව අපට මතක් උනේ ඒ වෙලාවේ. දැන් වෙලාව හවස හයත් පහු වෙලා. අදුරත් වැටිලා මහා කැලෑවක් මැද්දෙන් කිලෝමීටර් තුන හතරක් යන්නත් ඕනේ. පාර දෙපැත්තේම මහා ප්‍රපාතයක්. දිය ඇලි හෙවිල්ල පැත්තක තියලා අපි ආයෙමත් හෙමින් හෙමින් පල්ලම් බහින්න පටන් ගත්තා. ඒ මදිවට හැන්දෑ අදුර නිසා පාරවල් හරියට පේන්නෙත් නෑ. එක පාරටම මහා හුලගකුත් හමන්න පටන් ගත්තා. හුළගේ සැර වැඩි කම නිසාම කොහාටවත් යන්නත් බෑ. දැනුත් ඒ මොහොත මතක් වෙනකොට ඇග හිතල වෙලා යනවා. විනාඩි දහයක් විතර අපි එතනටම වෙලා වාඩි වෙලාබලන් හිටියේ වෙන කරන්නම දෙයක් නැති නිසා.
කොහොම හරි කරලා ෆෝන් වල තිබ්බ ටෝච් වලින් පාරවල් හොයාගෙන ජපන් පන්සල පහු කරලා ඉස්සරහට එනකොට ඉස්සරහට මුණ ගැහුනේ රංජි අයියාව. අපේ පරක්කුව නිසා රංජි අයියා අපිව හොයන්න මගටත් ඇවිත්. "මොකද මහත්තයෝ මෙච්චර වෙලා කලේ. මම මේ කොහේ ගියාද කියලා බලන්න ආවේ. අපි රංජි අයියට ඇත්ත කතන්දරේම කිව්වා. ඔතන තියෙන්නේ හුලං කපොල්ලක්නේ මහත්තයෝ. ඇති ඔයින් බේරුනා. අනිත් එක ඇල්ලට යන්න තියෙන්නේ. දේවාලේ ගාවින් උඩට නැග්ගාම හමුවෙන වම් පැත්තට තියන පාරේ ගිහින්. එතන ඉදලා ටික දුරයි. රංජි අයියා කිව්වාම තමයි තේරුනේ කරපු ගොන් කම. මොනවා කරන්නද? අපි රංජි අයියා එක්ක කතා කර කර නවාතැනට ගියා.

පහුවදා එලි වෙනකොට් අපි එක්ක ගිය කොන්ඩයාට උන ගැනිලා. (මට උගේ නමත් හරියට මතක නෑ. එදායින් පස්සේ මම තාම ඌව ඇහැට වත් දැක්කේ නෑ. ෆෝන් වැඩ කලෙත් නෑ.) මොනවා කරන්නද? බෙහෙත් අරන් දීලා අපේ බොසාටත් කියලා ගෙදර පිටත් කළා. ඉතුරු උනේ මායි රෝශානයයි විතරයි. ගෙදර ගිය එකාගේ වැඩත් අපිටම අදින්න උන නිසා ඇල්ල සොයා යන අපේ ගමන දවස් දෙක තුනක් පහු උනත් දිවා රෑ වැඩ කරලා ඉක්මනට වැඩේ ඉවර කරලා තවත් හවසක අපි දෙන්නා ඇල්ල බලන්න යන්න සෙට් උනා.
පුරුදු පාරේම කන්ද නැගලා දේවාලේ ලගින් වමට පාරේ යනකොට පොඩි ලයින් කාමර පේලියක් හමු උනා. 

"මහත්තයෝ ඇල්ල බලන්න ගියාට නම් කමක් නෑ ඔතන නාන්න නම් යන්න එපා බිලි ගන්නවා. ගිය සතියෙත් ඉස්කෝලේ යන්නේ නැතුව නාන්න ගිය ළමයෙක් බිලි අරන් තිබුනා."

 එතන හිටපු මිනිස්සු ඇල්ලට යන පාර පෙන්නලා එහෙම කිව්වේ අපේ ආරක්ෂාවට. දෙමල මිනිස්සු උනත් ඒ අය අපුරුවට සිංහල කතා කළා. ඒ මහා කන්ද මුදුනේත් එළවලු වගා බිම් හැම තැනම. ලෝකෙන්ම හුදකලා වෙච්ච අපුරු පුංචි ගම්මානයක් වගේ. ඒ මිනිස්සු පෙන්නපු පාර දිගේ අපි ඉදිරියටම ගියා මහා කන්දක් වටේට යන පාරේ වංගුවකින් හැරෙන කොටම ඇතින් ලස්සනට දිය ඇල්ල පේනවා

                                



මහා කදු දෙකකට අතර මැද්දෙන් කඩා වැටෙන දිය ඇල්ල දිහා අපි ටිකක් වෙලා නැවතිලා බලා හිටියා. වරෙන් යන්න. රොෂානයා මාවත් ඇදගන ඉස්සරහටම ගියා. දිය ඇල්ල ලගට යන්න නම් පාරෙන් පල්ලමට බහින්න ඕනේ. ඒ ගමනත් යන්න ඕනේ පොඩි අඩි පාරකින් කැලේ මැදින්. අපි අඩි පාර දිගේ ටික දුරක් ගියත් ඇල්ල ලගට නම් යන්න උනේ නෑ. ඒ වෙනකොටත් වෙලාව හවස පහ විතර වෙලා තිබුන නිසා. ආයෙමත් උඩට ඇවිත් දිය ඇල්ල දිහා බලා ඉදපු අපි ආයෙත් එන්න පිටත් උනේ බිම් කළුවරත් එක්ක.
                                

මේ දිය ඇල්ලේ උස මීටර් 189 ක් ලංකාවේ තියෙන දිය ඇලි අතරේ උසින් දෙවැනි ස්ථානය ගන්න මේ දිය ඇල්ල පෝෂණය වෙන්නේ මහවැලි ගගේ අතු ගංගාවක් වන කුරුදු ඔයෙන් කියලයි දැනගන්න ලැබුනේ. ඔය ෆර්ම් යන කාලේ අපට මොන කැමරාද. මේ පින්තූර ටිකත් ඉල්ලගත්තේ ගුගල් දෙයියන්ගෙන් තමයි. ඒ පින්තුර අයිති හැමෝටම බොහොම ස්තුතියි.

                                                                

හාමතේ තැවෙන ඇමරි(කාණුවෝ) හෙවත් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ..........

Wednesday, June 20, 2012
ඇමරිකාවේ ලාස් වේගාස් යනු ලෝකයේ සූදු පිටිය යයි පැවසීම වඩාත් නිවැරදිය. ඇති පදම් සුරාවද, දිව්‍ය කම් සැපද අඩුනැති , දැල්වෙන නිවෙන නියොන් ආලෝකයෙන් විචිත්‍රවත් මිහි බට සුරපුර සදිසි දිස්වෙන, ලෝකයේ දල කාරයන් රාත්‍රියකට ඩොලර් මිලියන 16 ක් වීසි කරනා සූදු පොල මෙයය. ඒත් මේ ලිපියේ ප්‍රස්තුතය එම දිලිසෙන මායා ලෝකය නොව ඊට යටින් ඇති යථා ලෝකයය. හරියටම කියනවානම් ලාස් වේගාස් නගරයේ පොලව යටින් දිවෙන කුනු කාණු පද්ධතිය තුල ජීවත්වන දහස් ගනනක් ඇමරිකානු දිලින්ඳන්ය.  රැකියා අහිමිවූවන්, නිවාස අහිමිවූවන්, කුඩ්ඩන්, බේබද්දන්ද මේ කානු තුල මීයන්ද සමග සහ ජීවනයෙන් දිවි ගෙවති.  සිය හිසට ඉහිලින් ලෝකයේ, කැසිනෝ හල් තුල ඩොලර් ලක්ෂ ගනනින් ලංසු තැබෙද්දී, විස්කි වඩියට ,මොහොතක කම්සැපයට, ඩොලර් මිටි පිටින් වීසි කරද්දී මොවුන් දරු පැටවුන්ද සමගින් හාමතේ නිදියති.
මෙය ලාස් වේගාස් වලට සීමාවූවක් නොව තවත් බොහෝ ඇමරිකන් නගරවල කානු තුලද පවතින තත්වයකි. එහෙත් ලාස් වේගාස් උදාහරණය යනු, අතිශය සුලුතරයක් අතට මුදල් රැස් වෙද්දී හා ඔවුන් ලෝක ආර්තිකය හා සූදු කෙලිද්දී සාතිශය බහුතරයක් දිනෙන් දින දිලින්දන් බවට පත්කරන මේ ඊනියා නියෝ ලිබරල් ක්‍රමයේ කදීම පිලිඹිබුවයි. ලෝකෙට පරකාසේ ,ගෙදරට මරගාතේ වූ ඇමරිකන් නිරුවතයි. උතුරු කොරියාවේ බඩගිනිකාරයන් ගැන සිංහල බ්ලොග් තුල උදේ හවා කෙඳිරි ගාන මොල සෝදන්නන් හා සෝදන්නියන්ගේ හෙලුවයි.
පසුගිය අවුරුදු 15 තුල ඇමරිකාවේ දුප්පත්කමේ රේඛාවෙන් පහල සිටින ජන සංක්‍යාව දෙගුනයක් වී ඇත. ලක්ශ 462ක් ඇමරිකානුවන් දිලින්දන්ගේ වර්ග කිරීමට වැටේ.  එය අපේ රටේ සමස්ත ජනගහනය මෙන් දෙගුනයකටත් වැඩිය. සෑම දරුවන් පස් දෙනෙකුගෙන් එක් දරුවෙක් දිලිඳු දරුවෙකි. මිලියන 13 රැකියා විරහිතයන්ය. ලක්ෂ 500කට නො එසේනම් සෑම ඇමරිකානුවන් හයදෙනෙකුගෙන් එක් අයෙකුට සෞඛ්‍ය රක්ශනාවරනයක් නැත, වෙනත් විදිහකට කියනවානම් ලෙඩකට දුකකට පිහිටක් නැත.   ඇමේසන් වනාශ්‍රිතව සිටින නොදියුනු වෛද්‍ය පහසුකම් නොමැති ජනයා වෙනුවෙන් Stan Brock විසින් ආරම්බ කල නොමිලේ පවත්වන වෛද්‍ය සායන (Remote Area Medical ‘RAM’) දැන් පවත්වන්නේ ඇමේසන් වල නොව ඇමරිකන් නගර වලය. අද නොමිලේ සායන වැඩියෙන් අවශ්‍ය වී ඇත්තේ ඇමේසන් වනයට නොව නව ලිබරල් ආර්තිකයේ රන් දෙවොල වන ඇමරිකාවටය. උදෑසන ආරම්භවන මේ සායන වලට සියගනනින් ගැහැනුන්,මිනිසුන් සිය දරුවන් සමග කටුක සීතලේ පෝලිම් ගැහෙන්නේ පාන්දර එකේ , දෙකේ සිටය. මේවායේ දොස්තරලාට බොහෝ විට හමුවන්නේ බේතක් ,හේතක් ගන්නට මුදල් නැති කමින් වසර ගනන් ලෙඩ රෝග වලින් පෙලෙමින් දුක් විඳින මිනිසුන්ය, ගැහැනුන්ය.
පාසැල් යන දරුවන්ගෙන් ලක්ෂ 15ක් නිවාස අහිමි දරුවන්ය. ඔවුන් කානු තුල, කූඩාරම් තුල හෝ තුට්ටු දෙකේ ගුබ්බෑයම් වල ජීවත් වන්නෝය. වයස 25ට අඩු තරුන උපාදිධාරීන්ගෙන් (College Graduates) භාගයකට ආසන්න ප්‍රමානයක් එක්කෝ විරැකියාවෙන් හෝ ඌනරැකියාවෙන් පෙලෙයි. පවුල් ලක්ශ 64කට සිය දෛනික ආහාර සුරක්ශිතභාවය ගැන ගැටලු ඇත. මෙවැනි සංඛ්‍ය, දත්ත වල ලැයිස්තුව ඉතා දිගු එකකි. එහෙත් අර්බුදයට ගොස් ඇති නව ලිබරල් ධනවාදයේ වපසරිය මැන ගැනීමට ඔය ටික හොදටම ප්‍රමානවත්ය.
මෙහි ඇති සැබෑ ඛේදවාචකය නම් දිනපතා සීග්‍රයෙන් දුප්පත්කම පැතිරෙන්නේ රටේ ඉහලම ධනපතියන් සුලුතරය වඩ වඩා පොහොසත් වෙද්දී වීමය. වසරින් වසර, සතියෙන් සතිය, පැයෙන් පැය, සෑම මොහොතක් පාසාම ඇති නැති පරතරය එන්න එන්නම පුලුල්වෙයි.  1975 ඇමරිකාවේ ඉහලම ආදායම් ලබන සියයට 1ට සමස්ත ආදායමෙන් 8.9% අයිති විය, වසර 33කට පසුව 2008 ඔවුන් සමස්ත ආදායමෙන් පහෙන් එකකටත් වඩා දැවැන්ත කොටසක් එනම් 21% අත් පත් කර ගනී. තවදුරටත් විස්තර කරනවානම් ඉහලම ආදායම් ලබන සියයට එකකගේ වත්කම පහල අදායම් ලබන 90% ජනතාවගේ මුලු වත්කම් ප්‍රමානයට වඩා වැඩිය. ඇමරිකාවේ ධනවත්ම 400දෙනාගේ වත්කම පහල ඇමරිකානුවන් මිලියන 150කගේ සමස්ත වත්කම් එකතුවට වඩා වැඩිය. වොල්මාර්ට් සමාගමේ හිමිකරුවන් 6දෙනාගේ වත්කම ඇමරිකාවේ පහල ආදායම් ලබන ජනගහනයෙන් 30% ගේ මුලු වත්කම් එකතුවට වඩා වැඩිය. ඇදහිය නොහැකි දැවැන්ත ආදායම් බෙදීයාමේ විශමතාවයේ දිග පලල සිතා ගැනීමට තවත් අටුවා ටීකා අවශ්‍ය වන්නේ නැත.
ඇමරිකන් දක්ෂිනාන්ශික රිපබ්ලිකන් පාක්ෂිකයන් මෙය ඔබාමාගේ නොහැකියාවට ලඝු කිරීමට දැඟලුවද ඇත්තවශයෙන්ම මෙය ක්‍රමයේ තාර්කික ඵලයක් බව යුරෝපයේද ලොව අන් තැන්හිද තතු විමසීමෙන් ප්‍රත්‍යක්ශ වෙයි. ස්පාන්ඥයේද, ග්‍රීසියේද තරුණ විරැකියාව 50%ක් තරම් වේ. බොහෝ යුරෝපා සංගමයේ රට වල දුප්පත්කම අහස උසට නැග ඇත. යුරෝපා රාජ්‍යයන් පුරා අගනගර වල වර්ජන විරෝධතා වීදි සටන් සුලබ දසුන්ය. එන්ගලන්තයේ ලන්ඩන් නගරයේ මීට මාස කීපයකට පෙර ජාත්වාදී මුහුනුවරක්ද සහිතව සති කීපයක් පුරා පැතිර ගිය කැරලිකාරීත්වයද මේ ආර්ථික බිඳ වැටීමේ අසහනය පුපුරා ගිය අවස්තාවකි. පහල ස්තරයේ අසහනය මේ ලෙස වර්ධනය වන්නේ එන්ගලන්තයේ ලොකුම ධනවතුන් 1000 දෙනාගේ වත්කම වසරක් තුලදී පවුම් බිලියන 20 කින් වැඩි වෙද්දීය.  
මෙසේ ඇමරිකන් වැඩ කරන ජනතාව වල පල්ලට යද්දී, දැවැන්ත සමාගම් අති විශාල ලාබ ලබමින් සිටී. ඇමරිකන් සමාගම් වල බදු ගෙවීමෙන් අනතුරුව ලාභය ඉතිහාසයේ ඉහලම අගය ලබාගෙන ඇත. මේ ලාභය ආර්තිකයේ ප්‍රතිශතයක් ලෙස ගත් කල ඉතිහාසයේ ඉහලම අගය වාර්තා කරද්දී එයට ප්‍රතිපක්ශව ශ්‍රමයට ගෙවන වැටුප් ආර්තිකයේ ප්‍රතිශතයක් ලෙස ඉතිහාසයේ පහලම අගය වාර්තා කරයි.  ලෝක ආර්ථිකයේ පාලනය බහුජාතික සමාගම් ජාලයක් අතට පත් කල, ශ්‍රමයට ඉහලින් ප්‍රාග්ධනය ස්තානගත කල නියො ලිබරල් ආර්තික ක්‍රමය විසින් නිර්මානය කර ඇති විශමතාවය විස්තර කල හැකි හොඳම වාක්‍ය ඉහත වාක්‍යය බව මගේ හැඟීමයි.
සිය ලාභය මිසක අන් කිසිවක් නොතකන මේ කෑදර සමාගම් ජාලය ජනතාව ණය උගුලේ කර වටක් ගිලී සිටියදී මුදල් මත පිහිනමින් සිටී.  මිලියන ගනනින් මිනිසුන් විරැකියාවෙන් පෙලෙද්දී, තවත් ලක්ශ ගනනින් රැකියා අහිමි වෙද්දී සිය ලාභ ප්‍රති ආයෝජනය කර රැකියා අවස්තා පුලුල් කරනු වෙනුවට මේ දැවැන්ත සමාගම් අනාගත්යේ වැඩි වැඩියෙන් ලාභ ලබනු පිනිස අති විශාල අතිරික්ත මුදල් ප්‍රමානයක් මත ඉදගෙන සිටියි. 'ඇපල්' සමාගම ඩොලර් බිලියන දහයකට වඩා මේසේ සිය තැන්පතු වල පවත් වාගෙන යයි. 'BP' සමාගමට පවුම් බිලියන 15.8 මුදල් අතිරික්තයක් ඇත.BAE Systems සිය සේවකයන් 22,000ක් දොට්ට දාන්නේ පවුම් බිලියන 2.1ක මුදල් අතිරික්තයක් සිය ශේෂ පත්‍රයේ සටහන් වෙද්දීය.  
ඇමරිකාවේ, එන්ගලන්තයේ හෝ යුරෝපයේ මතු නොව ඉන්දියාවේද, ලංකාවේද, සෝමාලියාවේද වෙනසක් නැතිවම මේ ආර්තික ක්‍රමය විසින් නිර්මානය කර ඇත්තේ ඇදහිය නොහැකි විශමතාවයකි. වෙනසකට ඇත්තේ අපේ වැනි පරිධියේ රටවල පවතින්නේ දේශපාලුවන්ගේ බලපෑමෙන් වඩාත් විකෘති වූ නව ලිබරල් ධනවාදයක් වීමය. ක්‍රමයේ විශමතාවයට අමතරව මහා පරිමාන දූෂනය, වංචාව, ඉහවහා ගිය නාස්තිය,පැතිරුන ඥාති සංග්‍රහය සහිත දුගඳ හමන සමාජ ආර්තිකය එම විකෘතීන්ගේ ප්‍රතිපලයයි.
සංඛ්‍යා ලේකන මෙන්ම බහුතරයකගේ ඇඟට දැනෙන අග ගිඟකම් කියාපාන්නේ ලෝකයට දැන් අවශ්‍ය මේ නව ලිබරල් දහදුරාව පවත්වාගෙන යාමට යොදන පැලැස්තර විසදුම් නොව පැහැදිලිවම සුසමාදර්ශ වෙනසක් (Paradigm Shift) බවයි. නො එසේ නම් ලාබ අලාබ ගිනුමක පහල තීරුව වෙනුවට මනුශ්ෂත්වය මත පදනම් වුනු සමාජ ආර්තික ක්‍රමයක් බවයි.   

පි‍ටු පෙරලපු ගාන