පොඩි කාලේ

Wednesday, February 1, 2012
පොඩි කාලේ අපි හිටියේ අපේ සීයලාගේ ගෙදර, වෙනම ගෙදරක පදිංචියට එනකම් තවත් නෑදෑ පවුල් දෙකතුනක් එක්කම ජීවත් උනේ එකම ගෙදර. ඒ කාලේ දැන් වගේ පරිඝනක, ටීවී, විවිධාකාර සෙල්ලම් බඩු තිබ්බේ නැති නිසා අපි ගොඩක් වෙලාවට සෙල්ලම් කලේ වට පිටේ තියෙන දේවල් වලින්.

පරණ ටයර් කියන්නේ ඒ කාලේ මහා අනර්ඝ වස්තුවක් ඕක දෙපැත්තෙන් ලී දෙකක් ගහගත්තාම බයිසිකලයක් වගේ තල්ලු කරන්න පුළුවන්. කාලයක් යනකම් මට හරියට ටයර් එක පැදගනන් බැරුව තිබ්බේ ඒත් පුරුදු උනාට පස්සේ ටයර් එක පදින එක හරිම ලේසි කටයුත්තක්. තවත් වැඩේ නැගලා යන්න ටයර් එක ඇතුලට වතුර හරි බොරලු හරි ටිකක් දානවා. දැන් නම් ඩෙංගු බෝ වෙන්න ඉඩ තියෙන නිසා වතුර දාන්න යන්න හොඳ නැහැ ඒත් ඒ කාලේ අපි වතුර දාලා ටයර් එක පදින එක හරිම විනෝදාත්මක ක්‍රීඩාවක් උනා.

ගෙදර වටේම පුවක් ගස් තිබ්බ නිසා හරිම ලේසියෙන් කොලපොතක් හොයා ගන්න පුළුවන්. කුස්සියේ ඉන්න වැඩිහිටි කාන්තාවන්ගෙන් විරෝධයක් එල්ල උනත් අපේ පාවිච්චියට කොලපොතක් ගන්න එක ඒ හැටි අපහසුවක් උනේ නැහැ. දැන් වගේ ප්ලාස්ටික් භාජන සුලබ නොවුනු ඒ කාලේ කොලපොත කුස්සියට බොහෝම ප්‍රයෝජනවත් දෙයක් උනා. එක්කෙනෙක් වාඩි වෙලා තව කෙනෙක් කොලපොත ඇදගෙන යන එකේ තියෙන සතුට දන්නේ කොලපත් පැදපු කෙනෙක්ම විතරයි. බොරලු පොළවේ කොලපතේ යනකොට පස්සට දැනෙන සනීපේ. ටිකක් ලොකු කොලපොතක් නම් දෙන්නෙක්ට යන්නත් බැරිකමක් නැහැ. හිටපු ගමන් කොලපොත අදින කෙනා වාඩිවෙලා ඉන්න අයව බිමට පෙරලෙන විදිහට අදින්නේ නැතුවමත් නෙමෙයි.

ගේ වටේ තිබ්බ වැලි ගොඩවල් වල බිංකුන්ඩෝ නම් හිඟයක් තිබුනේ නැහැ. බිංකුන්ඩෝ ඉන්න වලකට පොඩි ඉරටුවක් දාලා කරකවලා ඒකේ ඉන්න බිංකුන්ඩා එළියට අරන් ඌව නටවනවා. සමහර වෙලාවට බිංකුන්ඩා අල්ල ගනන් ලේසි වෙන්න උගේ වලට පොඩි කූඹියෙක් අල්ලලා දානවා. නටවලා ඉවර උනාම බිංකුන්ඩට නම් මොනාද කලේ කියලා මට මතක නැහැ.

මිදුලේ පොඩි වලක් හාරලා ඒකට කඩියෙක් එක්ක දිමියෙක් දානවා ඊට පස්සේ වීදුරු කෑල්ලකින් මේ වල උඩින් වහලා ඒක දිහා බලාගෙන ඉන්නවා. ටික වෙලාවක් යනකොට මුන් දෙන්නා කා ගන්න පටන් ගන්නවා මේ තරඟය තවත් උද්යෝගමත් කරන්න හිතාගෙන තුත්තිරි ගස් වල ඉස්ම පොවනවා කඩියටයි දිමියටයි. උන් ඒවා බීලා වෙරි වෙනවද නම් දන්නේ නැහැ මන් නම් තුත්තිරි ගස් වල ඉස්ම බිව්වට දැනුනේවත් නැහැ.

කඩයයි ගෙයයි දානවා කියලා එකක් කරනවා මේකට නම් ගෙදර ඉන්න වැඩිහිටි කාන්තාවෝ වැඩිය කැමති නැහැ මොකද කඩේ එළවලු වලට කියලා මල් ගස් වල කොල කඩාගන්න නිසා. ගඩොල්කුඩු, වැලි, කොස්කොල සල්ලි එක්ක මේකේ කරන්නේ සෙල්ලම් කඩයක් සහ ගෙයක් දැමීම. කඩේට සහ ගෙදරට ඕනේ සියලුම දේවල් කුස්සියෙ විසිකරන හිස් ටින් බෙලෙක්ක පියන් වලින් තමා සපයා ගන්නේ.

ඩ්‍රැයිවර් කෙනෙක් නැති කොන්දොස්තර කෙනෙක් විතරක් ඉන්න, සුයිප් විකුනන කෙනෙක් සහ බත් කඩයක් කරන අනික් සාමාජිකයොන්ගෙන් සැදුන බස් එකක් යන වැඩක් කලා සමහර වෙලාවට. මේකට නම් සල්ලි, සුයිප් සහ බස් ටිකක්ට් එක්සයිස් පොත්වල පිටු ඉරලා අරගෙන වෙනම හදාගෙන තමා කලේ.

අවුරුදු තුනේ හතරේ ඉඳන් මොන්ටිසෝරි යන්න පටන් ගනන් දැන් කාලේ ලමයින්ට නම් මේවා අත්විඳින්න ලැබෙනවාද කියලා නම් මන් දන්නේ නැහැ.

පි‍ටු පෙරලපු ගාන