හැන්දෑව..!

Thursday, March 22, 2012


හැන්දෑවට ගෙයිං එළියට බහිද්දී අත්තම්මා කියන්නේ ඇඳිරි වැටෙන්ට කලියෙං එන්ට ඕනෙ කියලයි.. ඒත් බෝල ගහන්ට ගත්තහම රවිඳුට හෝ සගයන්ට ඇට කළුවර එනකං ම කළුවර වැටුණු බව දැනෙන්නේ නැත.. පන්දු ඕවර අටෙන් පටං ගන්නා සෙල්ලම ඇඳිරි වැටෙත්ම ටික ටික අඩුවී තනි ඕවරයට බසී..  රවිඳු ගෙදරට එන විට අත්තම්මා ඉන්නේ පෙරමඟ බලා ගෙනය. තාත්තා ගෙතුළ නැතිනම් පමණක් "මොකද කොල්ලෝ මෙච්චර රෑ වුණේ..? " කියා විස්සෝපයෙන් අසයි.. ඒ අත්තම්මා අද නැත.. ඇට කළුවර වැටෙනකම් බෝල ගහන්නට සිටි කොලු රෑන ද අද නැත..


තුෂාරි ත් සමඟ හාද වූ පසු හැන්දෑව රවිඳු ගේ දවසේ ප්‍රියතම කාලය විය. අමතර පංතියෙන් පසු ඈ හමුවී විනාඩි කීපයක් කතා කරන්නට ලැබෙන්නේ ඒ සොඳුරු හැන්දෑවේය. කලාතුරකින් පංතියක් නොපැවැත්වුණු දිනක වැඩි වේලාවක් ඇය හා සතුටු වන්නට ලැබෙයි. ඒ ගැන රවිඳුට නෝක්කාඩුවක් තිබුණේ නැත.. දැං අමතර පංති නැත.. තුෂාරී රවිඳුට අයිති නැත..


වාසිටියේ දී හැන්දෑව කොයි තරම් සොඳුරු දැයි තේරුම් ගැනීමට අටුවා, ටීකා, ටිප්පණි අවැසි නැත. සේපාලිකා රවිඳු ට කැමැත්ත දුන්නේ ද එවන් හැන්දෑවක ය.. ඈ රවිඳුගේ අත අල්ලගෙන කප්පරක් සිහින ගොනු කරමින් ආදරය කළ හැන්දෑවන් ගණන රවිඳුට මතක නැත. දැන් රවිඳු වත් සේපාලිකා වත් වාසිටියේ ද නැත.. සේපාලිකා තුළ සිටි අහිංසකාවියත් අද නැත...


කලාතුරකින් නිවාඩු දොහක හැන්දෑවට එකතු වෙන යාළුවොත් එක්ක මධුවිත තොල ගාමින් ගීයක් මිමිනූ අයුරු සොඳුරු මතක මවයි.. එවන් වූ දිනක හිතේ යම් දුකක්, ගැහැටක්, සංකාවක් ඇත් නම් එය පහව ගිය බව රවිඳුට සිහි වේ. අද රවිඳු මධුවිත තොල ගාන්නෙත් නැත. එසේ නොවුණත් එකතු වෙන්නට යාළුවොත් නැත..
රවිඳු හා හා පුරා කියා රස්සාවට ගිහිං ගෙදර ආපු හැන්දෑව හැබෑවටම සුන්දරය. උදේ ගෙදරින් ගියාටත් වඩා ප්‍රබෝධයෙන් එදා නිවසට ආ හැටි ඔහුට මතකය. එදා බස් රථයේ තෙරපීමෙන් හෝ ඔහුට තෙහෙට්ටුවක් දැනුණේ නැත. ඒ සැහැල්ලුව, ප්‍රබෝධය අද නැත. වෙහෙස, තෙහෙට්ටුව පමණක් ඇත..


කිසිවක් ස්ථිර නැත. හැන්දෑව අපට දැනෙන විදිහත් ස්ථිර නැත.. !


පිංතූරෙ ගත්තේ මෙතැනින්..

12 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

sAm (සෑම්) said...

හැන්දෑව කිව්වම මාර සනීපයක් බං ඇගට ආවේ..

ජිංජි බිරිස් said...

හැන්දැව අපිට අයිති නැති හැටි
කාලය ඉගිලෙන වේගය
මතකයන් පරණ වූ හැටි
අවසන කුමක් ඉතිරිද
බිදවැටුන හීන වල
මතකයන් පමණී

සරත් ලංකාප්‍රිය said...

බිරිඳ හා දරුවන් සමග ගතකල ඒ සොඳුරු කාලය මතකයක් පමණි
බිරිඳ හැර ගොස් බෝ කල්ය
දරුවෝ නොරටකය..
මගේ සරීරයද මට නැති බව පසක්වෙයි වේදනාවෙන් ගැලවීමක් නැති කල.. ..

Harshana said...

ස්ථීර නැති ජීවිතයට කොතෙකුත් දේ එනවාද යනවාද ..... ජීවතය විඳින්නට මිස විඳවන්නට නොවේ යන්න මගේ අදහසයි.

Unknown said...

සතුටු වෙන්න තියෙන ටික කාලයේ උපරිමයෙන්ම සතුටු වෙන්න මන්ද දුක් සහිත කාලයක් අනිවා එනවා ඒක අද එයිද හෙට එයිද කියන්න බැහැ.දුක් සහිත කාලය ආවම පරණ අතීතයන් හරි මතක් කරලා සැනසෙන්න පුළුවන්.

Rangani said...

ලස්සන සිතුවිල්ලක්..
ලෝකයේ හැමදේම හැමදාම එකලෙස පවතින්නේ නැත..

දිනුක said...

රවිඳු මිය ගියේද මනහර හැන්දෑවකය.....මළා ඌ මළොත් කතාව ලියන්න බැරි වෙනවනේ.

දයානන්ද රත්නායක said...

ඉර බහින හැන්දෑවත්, සඳ නැගෙන රාත්‍රියත්, ඉර නැගෙන අලුයමත්, හැම විටම වෙනස් වෙනවා. ඒ වෙනස එය විඳින මොහොතේ ජීවිතයට දුක සතුට වගේම මිහිරකුත් ගේනවා.

ඒ හැනිදෑව වර්ණවත් සිතුවිල්ලකින් සරසා ඇති හැටි කදිමයි.

චතුර විජේකෝන් said...

@sAm (සෑම්)
අනේ හොඳා.. ඒත් ඕකත් වෙනස් වෙයි ද මංදා.. ටික කාලයක් ගිහිං ම තමයි බලන්න වෙන්නේ..

@ජිංජිබිරිස්
අගේ ඇති වචන එකතුවක්.. බොහොම ස්තුතියි..


@සරත් ලංකාප්‍රිය
හැම හැන්දෑවම එක වගේ නෙවෙයි.. ඒත් හැම හැන්දෑවකටම පස්සේ රෑ වෙනවා.. මං හිතන්නේ ඊටත් පස්සේ එළි වෙනවා.. ස්තුතියි සහෝ..

චතුර විජේකෝන් said...

@Harshana
අනිවාර්‍යයෙන්ම.. ඒත් අපේ උන්නැහේලා ජීවිතේ විඳින්න ගිහිල්ලා අනික් අයට විදින එකයි නරක.. හිකිස්.. හැන්දෑවක විඳින්න දේත් හිතන්න දේත් හුඟාක් තියෙනවා නොවැ..

චතුර විජේකෝන් said...

@මඩිස්සලේ නිශාන්
පරෙස්සමට.. අනිත් අයට කරදරයක් වෙන්නේ නැති විදිහට තමයි සතුටු වෙන්න ඕන.. හැම දෙයක්ම තාවකාලිකයි.. එහෙම කියලා යහපත් දෙය අතහරින්නවත් අයහපත් දෙයෙහි ඇලෙන්නවත් නරකයි නේද..?

@රූ....
කිසිම දෙයක් නෑ.. සත්‍යය ධර්මය විතරක් නොවෙනස්ව තියේවි..

@දිනුක
එහෙනම් මළ වුන් ගෙන්නන්න වෙනවා..

@දයානන්ද රත්නායක
ඇත්තමයි..

Dini said...

ලෝකේ නොවෙනස් වන එකම දේ, වෙනස්වීම.......... මේ තරම්ම වේදනාකාරීද?

Post a Comment

පි‍ටු පෙරලපු ගාන