අවසන් හුස්ම . . .

Tuesday, October 11, 2011



ඒක මහ පාලු මූසල ගඳ ගහන තැනක් . මම කාටවත්ම දොස් කියන්නේ නෑ මේ තැන මට උරුම වුණු එක ගැන .අපේ අම්මා හරි අහිංසකයි . හිත හොද ගෑනි හැමදාම බඩින් කියන කතාවට මම එකඟ වුණේ ඒ නිසාම නම් නෙවෙයි . මොකද ඒක අම්මගේ වරදක්ම නොවුන නිසා . එතනදි අම්මාගේ වරද  වුණේ ගැහැනියක් වීම විතරයි කියලයි මට හිතුනේ . මගේ තාත්තව මම කොයිතරම් දැකගන්න ආසවුණත් ඇහැටවත් දැකලා තිබුණේ නෑ . මට මතකයි පුංචි කාලේ මම අම්මගෙන් තණේ එල්ලිලා කිරි බොනගමන් අහනවා " අම්මේ කෝ තාත්තා " කියලා . ඒ අහන ගමන් මම ඇස් දෙක උස්සගෙන බලන් ඉන්නවා දැං කියයි දැං කියයි කියලා . ඒත් හැමදාම එයා මාව ඉඹලා ඔළුව පැත්තකට හරවගන්නවා . කවදාවත් මට ඒකට උත්තර හම්බුනේ නෑ . සමහර විට එයාටත් මතක නැතුව ඇති . මට කවදාවත් ඔය ප්‍රශ්නෙන් මිදෙන්න බැරිවුණා . මම කලේ ඔය ප්‍රශ්නෙන් හැංගෙන එක .

පොඩිකාලේ ඉඳලම හැමෝගෙන්ම අඩන්තේට්ටම් වෙන්න වුණු නිසා මම හිටියේ ඒ හැමෝගෙන්ම ඈත්වෙලා . මට මතකයි කිරිබොන්න ගියත් නැමෝම මාව පෙරලගෙන ගිහින් කිරිබොනවා . ටික ටික මට හැමදෙයක් ගැනම තිබ්බ ආසාව නැතිවුණා . හැමෝම කාල බීලා ඉවරවෙනකන් ඉන්න මම අන්තිමට ඉතුරුවෙලා තියෙන මොනවා හරි කාල බඩ පුරෝගන්නවා . අපේ පවුලේ මම බාලයලු . හැමෝම මට එහෙමයි සැලකුවේ . සමහරවිට මම ටිකක් ඔතෑනි නිසාත් ඇඟපතින් වැඩි උස මහතක් නැතිනිසාත් වෙන්න ඇති . සමහරු මාව නෝන්ජලයෙක් කියලා පැත්තකට කළා .

ඔය අතරේ දවසක් මම අපේ ලොකු අයියගේ බත් එකෙන් බත් චුට්ටක් කන්න ගියා කියලා එයාට හොඳටෝම තරහගියා . මාත් එක්ක රංඩු ඇල්ලුවා . හැමෝම එක පැත්තකට වුණා . මම තනිවුණා .මාව මගේම උන් පෙරලගෙන කන්න ගත්තා . මම බේරෙන්න එහේ මෙහේ හැමතැනකම දිවුවා . හුන්ඩුවක් වගේ මිදුලේ මට දුවාගන්න බැරිවුණා . අන්තිමට අපිව නවත්තන්න අපිව බලාගත්ත මාමට බට්ටෝ දාන්න සිද්ද වුණා . බට්ටෝ සද්දෙට හැමෝම සීසීකඩ දිවුවා . ඒ වෙනකොට මගේ කකුල දරුණු විදියට තුවාල වෙලා . මට නැගිට ගන්නවත් බැරි තරම් තදට දත් පාර වැදිලා තිබුණා . ඒක අපේ ලොකු අයියගේ කියලා මම හොඳටම දන්නවා . මම යාන්තන් අද්ද අද්ද නැගිටින්න හදනකොට අපිව බලාගත්ත මාම ඇවිත් මාව උස්සලා වාහනේකට දාගත්තා . 

ඒකට කියන්නේ ත්‍රීවීල් එකලු . මට වටින් ගොඩින් කතාවෙන් තේරුනේ . මම ඒකේ බිම දිගාවෙලා හිටියේ . හයියෙන් එහෙමෙහෙ යන දේවල් දිහා මම හරි බයෙන් බලාගෙන හිටියා . ඒ හැමදේකම මට ලොකු අමුත්තක් දැනුනා . ඒ එකකටවත් කියන්නේ මොකද්ද කියලා මම දැනගෙන හිටියේ නෑ . මම ඔහේ බලාගෙන හිටියා . මම තුවාලෙන් දැනුන වේදනාවටත් වඩා ඒ දේවල් වලට බයවෙලා හිටියේ . ටිකකින් අපි ගිය වාහනේ නැවැත්තුවා . ඒක අපේ ගේ වගේ නෙවෙයි . හරි විසාල තැනක් .
අපේ ජාතියේ අය ගොඩක් ලස්සන ලස්සන පටි දාගෙන ඉන්නවා මම දැක්කා . ලස්සන ලස්සන කොන්ඩ දාපු ගෑනු ළමයිනුත් ඉන්නවා දැක්කා . හැරිලා බලන්න කොයිතරම් හිත කිව්වත් ගතේ ඒහැටි වාරුවක් තිබුනේ නෑ . ඒකලු මෙහේ තියෙන හොඳම ඉස්පිරිතාලේ  . ඒක මම දන්නේ පස්සේ . මාව අරන් ගිහින් තිබ්බා ඇඳක් උඩ . 

 " කෝ ඔය රෙද්දක් දාලා තියන්න . ඕගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනෙද . . . ? "

 මිසී කෙනෙක් මහ හයියෙන් කෑගැහුවා . කොයිතරන් අමාරුවක් , හදිස්සියක් උනත් ඒගොල්ලෝ ඉතින් නීතියටනේ වැඩ . මාව ආයෙමත් උස්සලා ඇඳට රෙද්දක් දාලා ආපහු ඒකෙන් තිබ්බා .  කෑගහලා කියන්න හිතුනා අනේ දෙයියනේ මට රිදෙනවා කියලා . ඒත් කටින් ඒ වචන පිටවුනේ නෑ . කොයිතරම් රිදුම් දුන්නත් මම කරන්න දෙයක් නැතිකමට ඉවසගෙන හිටියා .  ඒ අතරේ මට දැනුනා කවුදෝ කෙනෙක් හරි හදිස්සියෙන් මොනවදෝ කරනවා . මම හැරිලා බලන්න හදත්දි එතන හිටපු මිසී මාව හයියෙන් ඇඳට තියලා තද කළා . ඒක මට තුවාලෙට වඩා රිදුනා . කටුවක් කකුල ඇතුලටම කිඳාබහිනවා දැනුනා . හැමදේම කැරකෙන්න ගත්තා . නිලංකාරවුණා . හැමදේම ඉවරයි . මට දැනුනා . . . මට මතක එච්චරයි .
ටිකවෙලාවකින් බලද්දි මාව එක්කන් ආපු මාමා මගේ ඔළුව අතගගා හිටියා . එතකොටයි මට තේරුම්ගියේ මම මෙච්චරවෙලා සිහිනැතිකරලා ඉඳලා තියෙන්නේ කියලා . මගේ ඇඟට මොකද්දෝ කට්ටක් ගහලා තිබුණා . ඒකෙන් මොනවදෝ වතුරක් බින්දු බින්දු මගේ ඇඟට කාන්දුවුණා . ලොකු සුදු ඇඳුමක් දාගත්ත කෙනෙක් මගේ ලඟට ඇවිත් මා දිහා බලලා " දැන් හොඳයි , ඉක්මනට ගෙදර ගියෑකි " කියලා කිව්වා . මට ඒ නෝනට ස්තූති කරන්න ඕනේ වුණා . ඒත් එක වචනයක් පිට කරන්නත් කලියෙන් මාව එක්කන් ආපු මාමා බොහොම ස්තූතියි ඩොක්ටර් කිව්වා . මට ඕනේ වුනේ එහෙම නෙවෙයි . මං වෙනුවෙන් කරපු උපකාරේට කඳුළු පුරෝගෙන පිංදෙන්නයි මට ඕනේ වුනේ . මම හිටියේ ඒතරමට කියාගන්න බැරිතරම් වේදනාවකින් . ඒ වේදනාව නැතිකරපු දොස්තර නෝනව මට පෙනුනේ දෙවිකෙනෙක් වගෙයි . මගේ කකුල තදට වෙලලා තිබුණා . මම නැගිටින්න හැදුවට තවමත් මට වාරුවක් නෑ . ඇඟට පන නැ . තොල කට වේලිලා තිබුණා . අමාරුවෙන් කට ඇරලා දිව එලියට දාපුවහම ඒ දැකලා ඒ දොස්තර නෝනා මොකද්ද බටේකින් මගේ කටට වතුර වගයක් විද්දා . හරි තිත්තයි . ඒත් මොනවා කරන්නද . පිපාසෙට මම සේරම බිව්වා .

අපි ගෙදර එනකොට හොඳටම ඇඳිරි වැටිලා . මට හිතුනා මගේ ජීවිතෙත් මොනතරම් අඳුරුවෙලාද කියලා . මාව උස්සගෙන ගිහින් කෙලවරේම තිබුණු කාමරයකින් තිබ්බා . මට ඇහුනා එක එක්කෙනා එක එක කතා කියනවා . මට ඒ එකකටවත් උත්තර දෙන්න කිසිම වුවමනාවක් තිබ්බේ නැ . ලොකු අයියා මාව දැකලා බිම බලාගත්තා මිසක් මා දිහා බැලුවේවත් නෑ . මම එතනින් එහාට හිතන්න ගියේ නැ . රිදෙන හිත වාකුල් කරගෙන මම නිහඬවම පැත්තකට වුණා . ඇඟේ අමාරුවටද කොහෙද මට වැටිච්ච තැන එහෙම්මම නින්ද ගියා . මම හීනෙන් එක එක දේවල් දැක්කා . මම ඇහැරෙද්දි දැක්කා අම්මා මම දිහා බලාන ඉඳලා යන්න හදනවා . මට කියන්න හිතුනා අම්මේ පොඩ්ඩක් මගේ ලඟට වෙලා ඉන්න කියලා . ඒත් මම එයාගේ අලුත් ස්වාමිපුර්ශයාව දැක්ක හැටියම ඒ වචන ටික ආපහු ගිලගත්තා .

ඔහොම ටික කාලෙකින් මගේ කකුල හොඳවුණා . ඒත් තුවාල වුණු කකුල අනිත් ඒවට වඩා ටිකක් කොටයි කියලා මට ඇවිදිද්දි තේරුණා . මම ඒ ගැන හිතන්න ගියේ නෑ . මම හැමෝගෙන්ම ඈත්වුණා . ඔහොම කලක් යනකොට අපේ පවුලෙන් ඉතුරුවෙලා හිටියේ මමයි අම්මයි විතරයි . අනිත් හැමෝවම එක එක්කෙනා හදාගන්න අරන් ගිහින්ලු . මට තවත් මහා පාලුවක් දැනුන . මම අම්මා දිහා සමහරදාට ඔහේ බලන් ඉන්නවා . ඒත් කවදාවත් එයා මා එක්ක වචනයක්වත් කතාකලේ නෑ . 

දවසක් අපිව බලාගත්ත මාමා අපි හිටපු තැනට ගැටිස්සියෙක් ගෙනල්ල තිබුණා . ඇත්ත , මමත් හොරෙන් වරු ගනන් බලාන උන්නා . මාමා මට එයා ඉන්න පැත්තපලාතට යන්න දුන්නේ නෑ . දවසක් දෙකක් මාව ගැටගහලත් තිබ්බා . මට ලොකු දුකක් දැනුනා . මම ආයේ එයා දිහා බලන්න ගියේ නෑ . ටික දවසක් යද්දි අම්මා පේන්න හිටියේ නෑ . මට පස්සේ තේරුනේ අම්මගේ තැන පුරවන්න තමයි ඒ ගැටිස්සි ඇවිත් තියෙන්නේ කියලා . මම අම්මව හැමතැනම පිස්සු හැදුනු ගානට හෙව්වා . මම අම්මේ කියලා කෑ ගහලා අඬගැහුවා . ඒත් එයා ආවේ නෑ . මම දවස් ගානක් හැමතැනම කෑගගහ හෙවුවා . මම අම්මව බැලුවේ නෑ නේද කියලා මගේ හිතට ලොකු පසුතැවීමක් දැනෙන්න ගත්තා . 

" මූ නිකන් කකා බිබී ඉන්නවා මෙලෝ වැඩකට ඇති එකෙක් නෙවෙයි . අඩුම තරමේ රෑට නිදියන එක නිදියන්න දීපන් . ඒත් නෑ. වදකාරයා . "  

දවසක් රෑ මාමා මම කෑගහන සද්දෙට මට හොඳටෝම ගහලා ගේට්ටුවෙන් එළියට දැම්මා . මම නොදුටු නුපුරුදු ලෝකෙක තනිවුණා . සමහරදේට මම ගොඩාක් බයවුණා. නොදන්න පාරවල් දිගේ මම ඔහේ ඇවිදගෙන ගියා . සමහරුන්ව දකිද්දි මම ගොඩාක් ඈතින් ගියේ . ඒ අය මාව දකින්න , මම එනවට අකමැතියි කියලා මට දැනුනා . සමහරු නම් මට ගොඩාක් අනුකම්පා කළා . තවත් සමහරු මාව දැක්ක තැන එලෝගත්තා . මම ඉබාගාතේ ඔහොම යනකොට හදිසියේම දැක්කා කවුදෝ පාරේ වැටිලා ඉන්නවා . කාටමුත් කරදරයක් නේද කියලා මම කොරගගහා දුවගෙන ගියා . ටික ටික ලංවෙනකොට මම දැක්ක දෙයින් මට ඇස් අදහාගන්න බැරිවුණා . දෙයියනේ අම්මා නේද . මගේ ඇස්වලට කඳුළු පිරුණා . අම්මගේ හෝපොතුගැහුණු බඩ දිහා මම බලාගෙන හිටියා . කඳුළු දෝරේගියා . මට කෑගැහුන . මම අම්මව ඉඹගෙන ඉඹගෙන ගියා . වැඩිවෙලාවක් ඉන්න හම්බුනේ නෑ . මගේ බෙල්ලට තොන්ඩුවක් වැටුණා. මම බේරෙන්න දැඟලුවා . ඒ තොන්ඩුව මගේ කටත් වහගෙනයි වැටිලා තිබුනේ . උදවු ඉල්ලන්න කෑගැහුවත් එකවචනයක්වත් පිටවුනේ නෑ . ඒ එක්කම කට්ටක් මගේ ඇඟට කිඳාබැස්සා මට තේරුණා . ටික ටික මගේ බෙල්ලට තදවුණු පටිය ලිහිල්වුනා . ඈතට දුවල හැංගෙන්න ඕනේ වුණත් දුවගන්න බැරිවුණා . හැමදේම කැරකෙන්න පටන් ගත්තා . බොඳවෙලා ගියා . වාකුල් නැති කකුල් මාව අම්මා ලඟම ඇද්ගෙන වැට්ටුවා . මම අම්මා දිහා ඔහේ බලාගෙන හිටියා . " මේ ලෝකේ අපේ නෙමේ අම්මේ . අපි ගොඩක් පවු කරලා ඇති . " මම ලොකු හුස්මකින් මගේ කතාව අහසට පාකළා . මම හිතුවේ නෑ හීනෙකින්වත් ඒ හුස්ම මගේ අවසන් හුස්ම වෙයි කියලා . . .

7 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

හරී - පිණිපළස said...

ඇත්තටම සත්තුන්ට කථාකරන්න පුලුවන් කම තිබුණ නම් කියන්න කොච්චර දේ ඇතිද? ලස්සනට ලියලා තියෙනවා.

සිත් අහස said...

හරිම ලස්සනයි අයියේ.. ඇත්තටම සත්තුත් අපි වගේමයි කියලා ගොඩාක් දෙනෙක් හිතන්නේ නැති එකයි වරද?

Gayan Rupasinghe said...

නියමයි මචන් එලස්

ජය,

සරත් ලංකාප්‍රිය said...

නියමයි සහෝදරයා කතාකරන්න බැරි සත්තුන් වෙනුවෙන් අපිවත් කතාකරමු.. මගේ කතා බැලුවද ?

සරත් ලංකාප්‍රිය said...

සාප නොකරනු පුත
අම්මාට එනමුත්
යුදෙන් ලොව නසන්නට
කොටි ප්‍රකොටියෙන්
වැයකරන උන්හට
සාපය හරවාපන්..

ඔබ නොදු‍ටු ලොවක්..... said...

දොස්තර හොද හිතට පස්සේ අද දැක්කේ මෙහෙම කථා කරපු එකක් .....

ආදරණිය said...

නොහිතන පැත්තක්, හරීම ලස්සනයි !

Post a Comment

පි‍ටු පෙරලපු ගාන