Friday, October 21, 2011

මේ ගලන කඳුළු
ගිනි කන්දකින් වැටෙන ලෝදිය වී 
නුඹ මතට කඩා හැළුනා  නම්,
මා දැවෙන තරමක්,
නුඹට දැනගන්නට තිබුනා,.


මේ ගැහෙන හදවත,
වේදනා විඳින තරමක්,
මගේ හදවතේ ලේ බිඳුවක් වෙලා
නුඹ ගලා ගියා නම්,.
නුඹට දැනගන්නට තිබුනා,..


මේ ලියන කවි පද,
මගේ සුරතේ ‍රැ‍ඳෙන පන්හිඳ වී
නුඹට පෙනුනා නම්,
මා පෙම් කරන තරමක්,
නුඹට දැනගන්නට තිබුනා,.

දැක්ම

Wednesday, October 19, 2011



"අපේ යක්කුන්ට
 තේරෙන්නෑ මල්ලි
 හයි වේ හදලා
 හැමතැනම
 සී ප්ලේන් එකේ
 යතෑකි රට වටේම
 කොච්චර කළත්
 අගයක් නෑ අපේ උන්ට"

එහෙම කියලා
ධර්මේ අයියා එල්ලුනා
කෝච්චියේ
ෆුට් බෝඩ් එකේ

"ඕයි
 යනවලකො
 පොඩ්ඩක් ඇතුලට
 පේන්නැද්ද
 දොරේ යන්නෙත්
 මිනිස්සුම තමයි
 තමුසෙලා විතරක්
 සැපට ගියාම හරිද?"

අසිරිමත්ම සිදුවීම

Tuesday, October 18, 2011



පහුගිය සතිය හරිම කාර්ය බහුලව තමයි ගත උනේ.අත්දැකීම්, කකුල්දැකීම් රාශියක් ලබා ගන්න පුළුවං උනා.ජීවිතේට වටින කියන පාඩම් රැසක් එක්ක මිනිස්සු අඳුර ගන්න, ජීවිතේ තේරුම් ගන්න වැදගත් සිදුවීම් බහුල සතියක්.

ඇත්තටම කියන්න හැදුවෙ පහුගිය සතියේ මගේ ඇස් දෙකෙන් ලෝකේ සිද්දවෙන අසිරිමත්ම සිදුවීම දැකගන්න මට වාසනාව ලැබුණා කියලා.දරු ප්‍රසූතියක් හැබෑවට දකින්න ලංකාවෙනං ගොඩක් දෙනෙක්ට ලැබෙන්නෙ නෑ.අපි පහුගිය සති දෙකේම හිටියෙ දි සොයිසා කාන්තා රෝහලේ.දරු ප්‍රසූතියක තියෙන ඒ ආශ්චර්යමත් බව ගැන කතන්දර අහලා තිබුණට සහ පොත්වලින් කියවලා තිබුණට ඒක මොනවගේද කියලා දැකගන්න මම පුදුම කුතුහලයකිං හිටියෙ.ඒක ඉටු කරලා දීපු සොයිසා රෝහලට දීර්ඝායු වේවා!!!!

අපි යනකොට ඒ අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙං හිටපු විසිහැවිරිදි මුස්ලිම් තරුණියට විලිරුදාව, එහෙම නැත්තං පොෂ් විදිහට කියන 'ලේබර් පේන්ස්' පටං අරං.ඇයට සින්ටොසින් කියන කෘත්‍රිම හෝමෝනය දීලා තිබුනෙ ප්‍රසූතිය වේගවත් කරන්න.

ඇත්තටම මම ප්‍රසූතිය ගැන වෛද්‍ය විද්‍යාත්මකව නොකියා සාමාන්‍ය මනුස්සයෙක්ගේ දෘෂ්ඨි කෝණයෙන් කියන එක හොඳයි.මොකද ඒක හුදී ජනයාට තේරෙන්නෙ හුදී ජනයෙක්ම කිව්වොත්නෙ.අනික වෛද්‍ය දේශනයක් කරන්න තරං ලොකු දැනුමකුත් මට නෑ.

ඇයගේ දරුවා බිහිවෙනකන් අපිට සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්න සිද්ද උනා.සාමාන්‍යයෙන් දරු උපතකට මුල්ම වෙදනාව පැමිණීමේ සිට පැය පහළවක්, දහ අටක් විතර යනවා කියලා තමයි අපිට එතන හිටපු නර්ස් කෙනෙක් කිව්වෙ.නමුත් සින්ටොසින් කියන හෝමෝනය මගින් ඒක පැය බාගයත්, පැය හතරත් අතර කාලයකට අඩු කරනවාලු.මේක ඇහුවම මට මතක් උනේ ඉස්සර කාලෙ ගෑනුන්ට ළමයි හම්බ උනු හැටි.පැය ගාණක් අර ළමයි වදන කාමරේට වෙලා වහලෙන් එල්ලෙන කඹයක් අල්ලගෙන ගැම්ම අරං ළමයා එළියට දාන්න දත කන හැටි.අර පොඩි ජනේලයක් තියෙන කරුවල මූසල පාට කාමරේක යාන්තං ඇවිලෙන පහන් දැල්ලක් වෙව්ලනවා මම හිතන්නෙ ඔයාලත් දැකලා ඇති ෆිල්ම්වල, නාට්‍යවල එහෙම.

මේ අම්මටත් ටිකක් වේදනාව විඳින්න උනා ප්‍රසූතිය නිසි විදිහට පටන් ගන්නකන්.ඒ කාලය අතරතුරදි නර්ස්ලගේ අකාරුණික කතා අහං ඉන්නත් මේ ලෝකෙ ඉහලම වේදනාව විඳින්න සූදානම් වෙන අම්මලට සිද්ද වෙන බව කියන්නම ඕනෙ.කොහොම හරි ප්‍රසූතියට හෙදියන්ගේ මැදිහත් වීම අවශ්‍යවෙන වෙලාව වෙනකොටනං ඒ අය කරුණාවෙන් කතා කරලා උපදෙස් දෙන්න පටං ගත්ත.අනේ මන්දා ගෑනුංගෙ හැටි.මුල ඉඳංම කරුණාවෙන් කතා කළානං මොකද වෙන්නෙ.මගෙ මිත්‍රයෙක් කිව්වා අම්මලට හොඳිං කිව්වම කියන දේ අහන්නෑලු.ඒකලු බණින්නෙ.මම උගෙන් ඇහුවා එතකොට ප්‍රයිවට් හොස්පිට්ල්වලට එන අම්මලා මේ වගේ නෙමෙයිද?උන්ටනං මොනවා කළත් හරි ආදරෙං කතා කරන්නෙ කියලා.ඇත්ත තමයි කියලා ඌත් කියනවා එතකොට.

ඔන්න දැං අම්මගේ වෝටර් බෑග් එක කැඩිලා ඒකෙ තියෙන දියරය වෑස්සෙන්න පටන් ගත්තා.නර්ස් කෙනෙක් ඇවිත් දරුවා බිහිකරන්න අම්මා තටමන්න ඕනෙ විදිහ කියලා දුන්නා.කට්ටිය මේක බලලා ඕනෙනං නිකං ඉන්න වෙලාවට පුරුදු උනත් පාඩුවක්නං වෙන්නෙ නෑ.ඇඳේ උඩු අතට නිදාගෙන කකුල් දෙක දණහිසෙන් සහ ඉණෙන් නමලා, අත් දෙක කකුල් දෙකට දෙපැත්තෙන් යවලා යටි පතුල් දෙක අල්ලගන්න ඕනෙ.ඊට පස්සෙ කකුල් දෙක පුළුවන් තරම් දෙපැත්තට ඈත් කරලා තටමන්න තමයි නර්ස්නං කිව්වෙ.හැබැයි ළමයාව එළියට දාන එකත් අම්මට ඕනෙ ඕනෙ විදිහට කරන්න බෑ.වේදනාව දැනෙන කොට තමයි ගර්භාශය සංකෝචනය වෙන්නෙ.අන්න ඒ වෙලාවට විතරයි අම්මත් තටමලා ඒ ක්‍රියාවට සහයෝගය දෙන්න ඕනෙ.

ටික වෙලාවකිං අපිට දරුවගෙ කොණ්ඩය පේන්න පටං ගත්තා.මුළින් යන්තමට පෙණුනෙ.වේදනාවත් එක්ක අම්මා තටමද්දි යන්තං පේන්න ගන්නවා.වේදනාවයි තැටමීමයි නවත්තපුවාම ආයෙත් ඇතුලට යනවා.බොහොම වෙලාවක් මේ ක්‍රියාව සිද්ද වෙවී තිබ්බා.හැබැයි ටික ටික දරුවාගේ ඔළුව පේන එක වැඩි උනා.

ඒක සෑහෙන්න පේන්න ගත්තට පස්සෙ තමයි 'එපිසියොටොමි' කියන යෝනි මාර්ගය විශාල කිරීමේ කැපුම නර්ස් කෙනෙක් දැම්මෙ.ඒකෙං රුධිර වහනයක් සිද්ධ උනත් ඒක නිසා දරුවා බිහි වීම පහසු වෙනවා වගේම අම්මාගේ පටකවලට සිද්ධ වෙන හානියත් අවම වෙනවා.

දරුවා එළියට ගන්න කට්ටිය සෑහෙන කට්ටක් කෑවා.අපි බලං හිටියා.පොඩි එකා සෑහෙන්න ලොකුයිලු.ඒකලු ගන්න අමාරු.නර්ස්ලා ඇඟිලි දාලා මාර්ගය ලොකු කරලා දරුවව ගත්තා.අලි සයිස් කොලු පැටියෙක්.කොල්ලාව ගත්ත ගමං ඌව අම්මගෙ බඩ උඩින් තිබ්බා.ඒක තමයි මම බලාගෙන හිටපු මොහොත.අම්මගෙ මූණෙ වේදනාව ඔක්කොම එක පාරට අතුරුදහන් වෙලා යන හැටි, අති මහත් වෙහෙස මැද්දෙන් උතුරලා දෝරෙ ගලන සතුටක් එක්ක වෙහෙසකර හිනාවක් මතුවෙච්ච හැටි මට වචනවලින් නං ලියන්න තේරෙන්නෙ නෑ.අර අපිට ඇඬෙන්න එනකොට උගුරෙ ගුලියක් හිරවෙනවා වගේ දැනෙන ගතියක් මට ඒ වෙලාවෙ දැනුණා.

අම්මට තමන්ගෙ සිරුරට තවමත් පෙකණිවැලෙන් සම්බන්ධවෙලා ඉන්න කොලු පැටියව මේ ඔයාගේ දරුවා කියලා පෙන්නලා තමයි පෙකණි වැල කපන්නෙ.ඊට පස්සෙ අම්මගෙයි දරුවගෙයි එකම සළකුණු දෙකක් අත්වල ගැටගහලා කොල්ලව අරගත්තා පිහදාලා පිරිසිඳු කරන්න.කොල්ලගෙ බර කිව්වට විශ්වාස කරන්න කිලෝ 3යි ග්‍රෑම් 680ක්!!!!.  රජ කොලු පැටියෙක් තමයි.දාරක ස්නේහයක්ද කොහෙද මටත් ඇති උනා.අපේ රටේ තාත්තලට තමංගෙ දරුවා මේ ලෝකෙට බිහිවෙද්දි ළඟ ඉන්න දෙනවනං කොච්චර වටිනවද කියලා මට හිතෙනවා.මොකද මේ අහක ඉන්න මටත් එච්චර හැඟීමක් ආව එකේ තාත්තා කෙනෙක්ට කොච්චර සෙනෙහසක් ඇතිවෙයිද?

රෙජීම වෙනසක අරුනලු: 'ඔක්යුපයින්ග් වෝල් ස්ට්රීට්' හෙවත් මනුශ්යත්වය කරා නැවතත්...........

Saturday, October 15, 2011
ලොව පුරා නිදහස් සුළං හමන්නට පටන්ගෙන ඇත. සැබෑ ප්රජාතන්ත්රවාදය....ජනතාවගේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් අරගල බිම් නිර්මානය වෙමින් තිබේ. ටියුනීසියවෙන්, ඊජිප්තුවෙන්,ලිබියාවෙන් සිරියාව හරහා නිව්යෝර්ක්, ලංඩන්,ඇතන්ස්, මැඩ්රිඩ් මෙල්බර්න් වෙත මේ නිදහස් සුළඟ හමා එමින් ඇත. බෙලා, මුබාරක්,සලේ, ගඩාෆි, අසාද් වැනි පුද්ගල ඒකාධිපතියන්ට එරෙහිව මෙන්ම ඊනියා ලිබරල් ආර්තික ක්රියාවලිය හරහා ලෝක ආර්ථික දේශපාලනය හසුරුවන මූල් සමාගම් ඇතුලු බහු ජාතික කොම්පැනි වල ආර්ථික ඒකාධිපතියන්ටද එරෙහිවද මිනිසුන් වීදි බැස ඇත. 'ඔක්යුපයින්ග් වෝල් ස්ට්රිට්' විරෝදතා ව්‍යාපාරයේ හරය එයයි. සියයට එකක් විසින් 99%ක් ජනතාවගේ ජීවිතය හුසුරුවන මේ ක්‍රමයට එරෙහි හඬ එයයි. විකල්පයක් වෙනුවෙන්වන බලාපොරොත්තුවේ නියෝජනය එයයි. සියලු වටිනාකම්, හර පද්ධතීන් ලාබ තීරුවට යට කල යුගය වෙනුවට නැවතත් මනුශ්‍යත්වය කරා යාමට දැනුවත් මිනිසුන් ,ගැහැනුන් තුල වන බලවත් උවමනාවේ පිලිබිඹුව එයයි.
ඉන්දියානු සමාජ ක්රියාකාරිනියක් වන වන්දනා ශිවා පවසන පරිදි "අද අප බලකර සිටින්නේ G8 වෙනුවට සමස්ථ මනුශ්යත්වය එනම් G7,000,000,000 ආදේශ කල යුතු" බවයි.
'ඔක්‍යුපයින්ග් වෝල් ස්ට්‍රීට්' ව්‍යාපාරයට සහෝදරාත්මක සහයෝගය පල කර ලොව පුරා ඔක්තෝබර් 15 එනම් අද , මහාද්වීප 6 කට අයත් රටවල් 82ක නගර 1000කට වැඩි ගනනක පැවත්වෙන විරෝධතා වෙනුවෙන්, නිකුත් කල ප්‍රකාශනය 'ඊනියා ගෝලීය ලිබරල්වාදය' නිරුවත් කල සංක්ශිප්ත වුවත් බලවත් සටහනකි. ගෝලීය වෙනසක් උදෙසා, ගෝලීය ප්රජාතන්ත්රවාදය උදෙසා, ජනතාව වෙනුවෙන්  ජනතාව විසින් ක්රියාත්මක කරන යහ පාලනයක් උදෙසා ගෝලීය එක්සත් වීමකට ඇරයුම් කරන මේ ප්රකාශණය , බ්රිතාන්යය,ඊජිප්තුව,ටියුනීසියාව,ජර්මනිය,ස්පාඥ්ඥය,ඇමරිකාව,බ්රසීලය,පලස්තීනය,ඊශ්රායලය,මෙක්සිකෝව, උරුගුවේ,ආර්ජන්ටීනාව,ඉන්දියාව හා ඕස්ට්රේලියාව වැනි රටවල සමාජ ප්රජතන්ත්රවාදී ව්යාපාර, ක්රියාධාරීන්, ජනතා එකමුතුවන් වල අදහස් උදහස් කැටි කොට ලියැවී ඇත.
මනුශ්ෂත්වය වෙනුවෙන් 'රෙජීම වෙනසක්' උදෙසා වූ ප්රකාශනය
2011 ඔක්තෝබර් 15 දින ගෝලීය වෙනසක් සඳහා එක්සත්ව, ගෝලීය ප්රජතන්ත්රවාදය හා ජනතාව විසින් ජනතාව උදෙසා වූ ගෝලීය යහ පාලනයක් අපි බලකර ඉල්ලාසිටිමු.ටියුනීසියාවේ, ඊජිප්තුවේ,ලිබියාවේ,සිරියාවේ,බහරේනයේ,නිව්යොර්ක් හි, ඊශ්රායලයේ,ග්රීසියේ,ස්පාඥ්ඥ්යයේ නැගීසිටින අප සහෝදර සහෝදරියන්ගේ සටන්කාමීත්වයේ ආශ්වාදයෙන් යුතුව අප බලකර සිටින්නේ, රෙජීම වෙනසකටය. ගෝලීය රෙජීම වෙනසකටය.
ප්රජතන්ත්රවිරෝදී ජාත්යන්තර ආයතන යනු, අපගේ ගෝලීය මුබාරක්ලාය, අපගේ ගෝලීය අසාද්ලාය, අපගේ ගෝලීය ගඩාෆිලාය. ජාත්යන්තර මූල් අරමුදල, ලෝක වෙළඳ සංවිධානය, ගෝලීය වෙලඳපොල, බහුජාතික බැංකු,G8/G20,යුරෝපියානු මධ්යම බැංකුව,එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වැනි ආයතන මේවාට අයත්ය.
අසාද්ලා ,මුබාරක්ලා මෙන්ම ඉහත ආයතන වලටද ජනතාවගේ කැමැත්ත නොමැතිව, ඔවුන්ගේ ජීවිත හසුරුවන්නට ඉඩ දිය යුතු නැත. දුප්පත් වේවා පොහොසත් වේවා, ගැහැනු වේවා පිරිමි වේවා අප සියල්ලන්ම සමානයන් ලෙස ඉපදුනෙමු. සෑම අප්රිකානුවෙක්ම, ආසියානුවෙක්ම, යුරෝපියෙකුට, ඇමරිකානුවෙකුට සමානය. ගෝලීය ආයතන තුල මෙය පිලිබිඹු විය යුතුය. නැත් නම් ඒවා පෙරලා දැමිය යුතුය.
ඉතිහාසයේ අන් කවර දාකටත් වඩා අද දවසේ, අපේ ජීවිත හසුරුවන්නේ මේ ගෝලීය බලවේගයන්ය. අපේ රැකියාව,සෞඛ්යය, නිවාස අධ්යාපනය,විශ්රාම වැටුප යනාදී සියල්ලක්ම පාලනය කරන්නේ, ගෝලීය බැංකු, වෙළඳපොල,සංස්ථා, මූල් අර්බූද වැනි දෑය. වෙනත් මහාද්වීපයක සිදුකරන, පරිසර දූශනය නිස අපේ පරිසරය විනාශ වී යයි. අපේ ආරක්ෂාව තීරනය කරන්නේ ජාත්යන්තර යුද්ධ, ජාත්යන්තර යුධ අවි වෙළඳාම, මත්ද්රව්යය හෝ ස්වභාවික සම්පත්ය. අපේ ජීවිතවල පාලනය අප අතින් ගිලිහෙමින් පවතී. මෙය නැවතිය යුතුය. මෙය නවතනු ඇත.
අද අපි මෙක්සිකානු සැපටිස්ටාවන් සේ මෙසේ කියමු, "¡Ya basta! Aquí el pueblo manda y el gobierno obedece":'ඇති, මේ ජනතාවගේ අණයි, ගෝලීය ආයතන එය පිලිපදිනු' අද අපි ස්පාඥ්ඥ ටොමලප්ලාසාවන් සේ මෙසේ කියමු,'"Democracia Real Ya": ‘සැබෑ ගෝලීය ප්රජතන්ත්රවාදය දියවු’. අපි සියලු ලෝක පුරවැසියන්ට ආරාධනා කරමු, අපි ටහ්-රිර් චතුරස්රය ගෝලීයකරනය කරමු.පුවර්ටා ඩෙල් සෝලාව ගෝලීයකරනය කරමු.
දශක තුනහමාරකට ආසන්න කාලයක් මේ 'ඊනියා ගෝලීය ලිබරල් ආර්ථික' මඩ ගොහොරුවේ ගාටන අපේ රටටද අද ඇවැසිව ඇත්තේ මේ වෙනසයි.මනුශ්ෂත්වයයි. ලොව පුරා සෙමෙන් හමන මේ වෙනසක සුළඟ අපේ ආදරණීය මවුබිම හරහා හමන්නේ කවදාද? ගෝලීය සහෝදරවරුනි, ඔබේ ගිටාරයේ, බැලලයිකාවේ හඬට, අපේ සිතාරයේ සර මුසු කරන්නට අපි බලා සිටිමු. නිදිගැට හැර ලොව දෙස බලන්නට මගේ සහෝදරයන්ට, ආයාචනා කරමි.
රෙජීමාදිපතිගෙ මෝඩ ජෝක් අසමින්, කුරහන් තලප හපන්නට මසකට සැරයක් අරලිය මැදුරු වන්දනාවේ යන පුවත් කතුවරුන්ගේ පත්තර කඩමාලුවලින් මේවැනි මාතෘකා කථාකරවියැයි සිතීම උගහටය.  බ්ලොග් අවකාශය තුල අවම තරමින් සංවාදයක්වත් ආරම්භ කරන්නට මනුශ්ෂත්වයේ නාමයෙන්, ආදරණීය මිනිසුන්ට ආයාචනා කරමි.

බ්ලොග් ලියන අපිට අදහසක් කපුගේගෙන්

Wednesday, October 12, 2011
සබඳ අපි කඳු නොවෙමු~ 
උනුන් පරයා නැඟෙන~ 
සුනිල දිය දහර වෙමු~ 
එකම ගඟකට වැටෙන~ 
වියරු ගිනි දැල් නොවෙමු~ 
වනය අවුලාතබන~
සිහිල දෙන වැස්ස වෙමු~ 
දැවෙන කැලයට වසින~ 
නපුරු හීනය නොවෙමු~ 
ළමුන් නිදි සුව බිඳින~ 
සොඳුරු අඬහැරය වෙමු~
දනන් නින්දෙන් මුදන~ 
-(ගුනදාස කපුගේ)

අවසන් හුස්ම . . .

Tuesday, October 11, 2011



ඒක මහ පාලු මූසල ගඳ ගහන තැනක් . මම කාටවත්ම දොස් කියන්නේ නෑ මේ තැන මට උරුම වුණු එක ගැන .අපේ අම්මා හරි අහිංසකයි . හිත හොද ගෑනි හැමදාම බඩින් කියන කතාවට මම එකඟ වුණේ ඒ නිසාම නම් නෙවෙයි . මොකද ඒක අම්මගේ වරදක්ම නොවුන නිසා . එතනදි අම්මාගේ වරද  වුණේ ගැහැනියක් වීම විතරයි කියලයි මට හිතුනේ . මගේ තාත්තව මම කොයිතරම් දැකගන්න ආසවුණත් ඇහැටවත් දැකලා තිබුණේ නෑ . මට මතකයි පුංචි කාලේ මම අම්මගෙන් තණේ එල්ලිලා කිරි බොනගමන් අහනවා " අම්මේ කෝ තාත්තා " කියලා . ඒ අහන ගමන් මම ඇස් දෙක උස්සගෙන බලන් ඉන්නවා දැං කියයි දැං කියයි කියලා . ඒත් හැමදාම එයා මාව ඉඹලා ඔළුව පැත්තකට හරවගන්නවා . කවදාවත් මට ඒකට උත්තර හම්බුනේ නෑ . සමහර විට එයාටත් මතක නැතුව ඇති . මට කවදාවත් ඔය ප්‍රශ්නෙන් මිදෙන්න බැරිවුණා . මම කලේ ඔය ප්‍රශ්නෙන් හැංගෙන එක .

පොඩිකාලේ ඉඳලම හැමෝගෙන්ම අඩන්තේට්ටම් වෙන්න වුණු නිසා මම හිටියේ ඒ හැමෝගෙන්ම ඈත්වෙලා . මට මතකයි කිරිබොන්න ගියත් නැමෝම මාව පෙරලගෙන ගිහින් කිරිබොනවා . ටික ටික මට හැමදෙයක් ගැනම තිබ්බ ආසාව නැතිවුණා . හැමෝම කාල බීලා ඉවරවෙනකන් ඉන්න මම අන්තිමට ඉතුරුවෙලා තියෙන මොනවා හරි කාල බඩ පුරෝගන්නවා . අපේ පවුලේ මම බාලයලු . හැමෝම මට එහෙමයි සැලකුවේ . සමහරවිට මම ටිකක් ඔතෑනි නිසාත් ඇඟපතින් වැඩි උස මහතක් නැතිනිසාත් වෙන්න ඇති . සමහරු මාව නෝන්ජලයෙක් කියලා පැත්තකට කළා .

ඔය අතරේ දවසක් මම අපේ ලොකු අයියගේ බත් එකෙන් බත් චුට්ටක් කන්න ගියා කියලා එයාට හොඳටෝම තරහගියා . මාත් එක්ක රංඩු ඇල්ලුවා . හැමෝම එක පැත්තකට වුණා . මම තනිවුණා .මාව මගේම උන් පෙරලගෙන කන්න ගත්තා . මම බේරෙන්න එහේ මෙහේ හැමතැනකම දිවුවා . හුන්ඩුවක් වගේ මිදුලේ මට දුවාගන්න බැරිවුණා . අන්තිමට අපිව නවත්තන්න අපිව බලාගත්ත මාමට බට්ටෝ දාන්න සිද්ද වුණා . බට්ටෝ සද්දෙට හැමෝම සීසීකඩ දිවුවා . ඒ වෙනකොට මගේ කකුල දරුණු විදියට තුවාල වෙලා . මට නැගිට ගන්නවත් බැරි තරම් තදට දත් පාර වැදිලා තිබුණා . ඒක අපේ ලොකු අයියගේ කියලා මම හොඳටම දන්නවා . මම යාන්තන් අද්ද අද්ද නැගිටින්න හදනකොට අපිව බලාගත්ත මාම ඇවිත් මාව උස්සලා වාහනේකට දාගත්තා . 

ඒකට කියන්නේ ත්‍රීවීල් එකලු . මට වටින් ගොඩින් කතාවෙන් තේරුනේ . මම ඒකේ බිම දිගාවෙලා හිටියේ . හයියෙන් එහෙමෙහෙ යන දේවල් දිහා මම හරි බයෙන් බලාගෙන හිටියා . ඒ හැමදේකම මට ලොකු අමුත්තක් දැනුනා . ඒ එකකටවත් කියන්නේ මොකද්ද කියලා මම දැනගෙන හිටියේ නෑ . මම ඔහේ බලාගෙන හිටියා . මම තුවාලෙන් දැනුන වේදනාවටත් වඩා ඒ දේවල් වලට බයවෙලා හිටියේ . ටිකකින් අපි ගිය වාහනේ නැවැත්තුවා . ඒක අපේ ගේ වගේ නෙවෙයි . හරි විසාල තැනක් .
අපේ ජාතියේ අය ගොඩක් ලස්සන ලස්සන පටි දාගෙන ඉන්නවා මම දැක්කා . ලස්සන ලස්සන කොන්ඩ දාපු ගෑනු ළමයිනුත් ඉන්නවා දැක්කා . හැරිලා බලන්න කොයිතරම් හිත කිව්වත් ගතේ ඒහැටි වාරුවක් තිබුනේ නෑ . ඒකලු මෙහේ තියෙන හොඳම ඉස්පිරිතාලේ  . ඒක මම දන්නේ පස්සේ . මාව අරන් ගිහින් තිබ්බා ඇඳක් උඩ . 

 " කෝ ඔය රෙද්දක් දාලා තියන්න . ඕගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනෙද . . . ? "

 මිසී කෙනෙක් මහ හයියෙන් කෑගැහුවා . කොයිතරන් අමාරුවක් , හදිස්සියක් උනත් ඒගොල්ලෝ ඉතින් නීතියටනේ වැඩ . මාව ආයෙමත් උස්සලා ඇඳට රෙද්දක් දාලා ආපහු ඒකෙන් තිබ්බා .  කෑගහලා කියන්න හිතුනා අනේ දෙයියනේ මට රිදෙනවා කියලා . ඒත් කටින් ඒ වචන පිටවුනේ නෑ . කොයිතරම් රිදුම් දුන්නත් මම කරන්න දෙයක් නැතිකමට ඉවසගෙන හිටියා .  ඒ අතරේ මට දැනුනා කවුදෝ කෙනෙක් හරි හදිස්සියෙන් මොනවදෝ කරනවා . මම හැරිලා බලන්න හදත්දි එතන හිටපු මිසී මාව හයියෙන් ඇඳට තියලා තද කළා . ඒක මට තුවාලෙට වඩා රිදුනා . කටුවක් කකුල ඇතුලටම කිඳාබහිනවා දැනුනා . හැමදේම කැරකෙන්න ගත්තා . නිලංකාරවුණා . හැමදේම ඉවරයි . මට දැනුනා . . . මට මතක එච්චරයි .
ටිකවෙලාවකින් බලද්දි මාව එක්කන් ආපු මාමා මගේ ඔළුව අතගගා හිටියා . එතකොටයි මට තේරුම්ගියේ මම මෙච්චරවෙලා සිහිනැතිකරලා ඉඳලා තියෙන්නේ කියලා . මගේ ඇඟට මොකද්දෝ කට්ටක් ගහලා තිබුණා . ඒකෙන් මොනවදෝ වතුරක් බින්දු බින්දු මගේ ඇඟට කාන්දුවුණා . ලොකු සුදු ඇඳුමක් දාගත්ත කෙනෙක් මගේ ලඟට ඇවිත් මා දිහා බලලා " දැන් හොඳයි , ඉක්මනට ගෙදර ගියෑකි " කියලා කිව්වා . මට ඒ නෝනට ස්තූති කරන්න ඕනේ වුණා . ඒත් එක වචනයක් පිට කරන්නත් කලියෙන් මාව එක්කන් ආපු මාමා බොහොම ස්තූතියි ඩොක්ටර් කිව්වා . මට ඕනේ වුනේ එහෙම නෙවෙයි . මං වෙනුවෙන් කරපු උපකාරේට කඳුළු පුරෝගෙන පිංදෙන්නයි මට ඕනේ වුනේ . මම හිටියේ ඒතරමට කියාගන්න බැරිතරම් වේදනාවකින් . ඒ වේදනාව නැතිකරපු දොස්තර නෝනව මට පෙනුනේ දෙවිකෙනෙක් වගෙයි . මගේ කකුල තදට වෙලලා තිබුණා . මම නැගිටින්න හැදුවට තවමත් මට වාරුවක් නෑ . ඇඟට පන නැ . තොල කට වේලිලා තිබුණා . අමාරුවෙන් කට ඇරලා දිව එලියට දාපුවහම ඒ දැකලා ඒ දොස්තර නෝනා මොකද්ද බටේකින් මගේ කටට වතුර වගයක් විද්දා . හරි තිත්තයි . ඒත් මොනවා කරන්නද . පිපාසෙට මම සේරම බිව්වා .

අපි ගෙදර එනකොට හොඳටම ඇඳිරි වැටිලා . මට හිතුනා මගේ ජීවිතෙත් මොනතරම් අඳුරුවෙලාද කියලා . මාව උස්සගෙන ගිහින් කෙලවරේම තිබුණු කාමරයකින් තිබ්බා . මට ඇහුනා එක එක්කෙනා එක එක කතා කියනවා . මට ඒ එකකටවත් උත්තර දෙන්න කිසිම වුවමනාවක් තිබ්බේ නැ . ලොකු අයියා මාව දැකලා බිම බලාගත්තා මිසක් මා දිහා බැලුවේවත් නෑ . මම එතනින් එහාට හිතන්න ගියේ නැ . රිදෙන හිත වාකුල් කරගෙන මම නිහඬවම පැත්තකට වුණා . ඇඟේ අමාරුවටද කොහෙද මට වැටිච්ච තැන එහෙම්මම නින්ද ගියා . මම හීනෙන් එක එක දේවල් දැක්කා . මම ඇහැරෙද්දි දැක්කා අම්මා මම දිහා බලාන ඉඳලා යන්න හදනවා . මට කියන්න හිතුනා අම්මේ පොඩ්ඩක් මගේ ලඟට වෙලා ඉන්න කියලා . ඒත් මම එයාගේ අලුත් ස්වාමිපුර්ශයාව දැක්ක හැටියම ඒ වචන ටික ආපහු ගිලගත්තා .

ඔහොම ටික කාලෙකින් මගේ කකුල හොඳවුණා . ඒත් තුවාල වුණු කකුල අනිත් ඒවට වඩා ටිකක් කොටයි කියලා මට ඇවිදිද්දි තේරුණා . මම ඒ ගැන හිතන්න ගියේ නෑ . මම හැමෝගෙන්ම ඈත්වුණා . ඔහොම කලක් යනකොට අපේ පවුලෙන් ඉතුරුවෙලා හිටියේ මමයි අම්මයි විතරයි . අනිත් හැමෝවම එක එක්කෙනා හදාගන්න අරන් ගිහින්ලු . මට තවත් මහා පාලුවක් දැනුන . මම අම්මා දිහා සමහරදාට ඔහේ බලන් ඉන්නවා . ඒත් කවදාවත් එයා මා එක්ක වචනයක්වත් කතාකලේ නෑ . 

දවසක් අපිව බලාගත්ත මාමා අපි හිටපු තැනට ගැටිස්සියෙක් ගෙනල්ල තිබුණා . ඇත්ත , මමත් හොරෙන් වරු ගනන් බලාන උන්නා . මාමා මට එයා ඉන්න පැත්තපලාතට යන්න දුන්නේ නෑ . දවසක් දෙකක් මාව ගැටගහලත් තිබ්බා . මට ලොකු දුකක් දැනුනා . මම ආයේ එයා දිහා බලන්න ගියේ නෑ . ටික දවසක් යද්දි අම්මා පේන්න හිටියේ නෑ . මට පස්සේ තේරුනේ අම්මගේ තැන පුරවන්න තමයි ඒ ගැටිස්සි ඇවිත් තියෙන්නේ කියලා . මම අම්මව හැමතැනම පිස්සු හැදුනු ගානට හෙව්වා . මම අම්මේ කියලා කෑ ගහලා අඬගැහුවා . ඒත් එයා ආවේ නෑ . මම දවස් ගානක් හැමතැනම කෑගගහ හෙවුවා . මම අම්මව බැලුවේ නෑ නේද කියලා මගේ හිතට ලොකු පසුතැවීමක් දැනෙන්න ගත්තා . 

" මූ නිකන් කකා බිබී ඉන්නවා මෙලෝ වැඩකට ඇති එකෙක් නෙවෙයි . අඩුම තරමේ රෑට නිදියන එක නිදියන්න දීපන් . ඒත් නෑ. වදකාරයා . "  

දවසක් රෑ මාමා මම කෑගහන සද්දෙට මට හොඳටෝම ගහලා ගේට්ටුවෙන් එළියට දැම්මා . මම නොදුටු නුපුරුදු ලෝකෙක තනිවුණා . සමහරදේට මම ගොඩාක් බයවුණා. නොදන්න පාරවල් දිගේ මම ඔහේ ඇවිදගෙන ගියා . සමහරුන්ව දකිද්දි මම ගොඩාක් ඈතින් ගියේ . ඒ අය මාව දකින්න , මම එනවට අකමැතියි කියලා මට දැනුනා . සමහරු නම් මට ගොඩාක් අනුකම්පා කළා . තවත් සමහරු මාව දැක්ක තැන එලෝගත්තා . මම ඉබාගාතේ ඔහොම යනකොට හදිසියේම දැක්කා කවුදෝ පාරේ වැටිලා ඉන්නවා . කාටමුත් කරදරයක් නේද කියලා මම කොරගගහා දුවගෙන ගියා . ටික ටික ලංවෙනකොට මම දැක්ක දෙයින් මට ඇස් අදහාගන්න බැරිවුණා . දෙයියනේ අම්මා නේද . මගේ ඇස්වලට කඳුළු පිරුණා . අම්මගේ හෝපොතුගැහුණු බඩ දිහා මම බලාගෙන හිටියා . කඳුළු දෝරේගියා . මට කෑගැහුන . මම අම්මව ඉඹගෙන ඉඹගෙන ගියා . වැඩිවෙලාවක් ඉන්න හම්බුනේ නෑ . මගේ බෙල්ලට තොන්ඩුවක් වැටුණා. මම බේරෙන්න දැඟලුවා . ඒ තොන්ඩුව මගේ කටත් වහගෙනයි වැටිලා තිබුනේ . උදවු ඉල්ලන්න කෑගැහුවත් එකවචනයක්වත් පිටවුනේ නෑ . ඒ එක්කම කට්ටක් මගේ ඇඟට කිඳාබැස්සා මට තේරුණා . ටික ටික මගේ බෙල්ලට තදවුණු පටිය ලිහිල්වුනා . ඈතට දුවල හැංගෙන්න ඕනේ වුණත් දුවගන්න බැරිවුණා . හැමදේම කැරකෙන්න පටන් ගත්තා . බොඳවෙලා ගියා . වාකුල් නැති කකුල් මාව අම්මා ලඟම ඇද්ගෙන වැට්ටුවා . මම අම්මා දිහා ඔහේ බලාගෙන හිටියා . " මේ ලෝකේ අපේ නෙමේ අම්මේ . අපි ගොඩක් පවු කරලා ඇති . " මම ලොකු හුස්මකින් මගේ කතාව අහසට පාකළා . මම හිතුවේ නෑ හීනෙකින්වත් ඒ හුස්ම මගේ අවසන් හුස්ම වෙයි කියලා . . .

මේ දේශපාලන නරාවලේම ගිලෙමුද? නැත්නම්...............

Monday, October 10, 2011
මේ දුගඳ හමන දේශපාලනයට තිත තබන්නට අපි තවත් බලා හිඳිමුද? තම තමන්ගේම එවුන් බල්ලන්, බලලුන් මෙන් කා මරා ගන්නා තරමට ජරාජීර්නව පල්වී පනුවන් නලියන මේ ක්රමය අවසන් කරන්නට සිතමුද? නැත්නම් මේ නරා වලේම ලැග එහි අසූචි අනුභව කරමින් එහිම ගිලී යමුද?
දෙවියන් පලා ගිය පිං බිමේ කුඩ්ඩන්,පිස්සන්,හොරුන්,තක්කඩියන්,මංකොල්ලකාරයන්,කුම්භාන්ඩයන්,පිසාචයන්,  පිනුම් ගසද්දී, අපි කට ඇරගෙන බලා සිටිමු.හුරේ දමමු.විසිල් ගසමු. සුපර් කුඩ්ඩා,සුපර් පිස්සා, සුපර් තක්කඩියා තෝරන්නට චන්දෙද දාමු. කොක්කෙන් හෝ කෙක්කෙන් චන්දෙ දිනන්නට පුලුවන්කම පමනක්, තිබෙන එකම සුදුසුකම වන ඕනෑම කාළකන්නියෙකුට කිසිම හිරිකිතයක් නැතුව නාමයෝජනා දෙන තරමට පිරිහුනු දූෂිත දේශපාලන පක්ෂ හා නායකයන් රටේ චන්දදායක තකතීරුවන්ගේ මොලේ තරම ගැන කියමින් දෙකොනෙන්ම සිනාසෙනවා නියතය. වේදිකාවට නැග "බුද්ධිමත් ඡන්දදායකයනි" යනුවෙන් ආමන්ත්රනය කරන අතර, ‘අනේ මුං වගේ ගොං තකතීරු නිවට රැලක්’ යනුවෙන් යටි සිතෙන් සිතනවාට සැක නැත.
ඔලමොට්ටල බූරු රැලේ කර මතින් පාර්ලිමේන්තුවටද, පළාත් සභාවටද,නගර සභාවටද, අරකටද, මේකටද රිංගන එවුන් ඊට පසු හතර වරං ගසති, පරම්පරාවටම හම්බුකරති. තාත්තා කැබිනට් ඇමතිය, පුතා පළාත් ඇමතිය, මුනුපුරා නගරාධිපතිය,මල්ලී අහවල් සභාපතිය, අක්කා අහවල් ලේකම්ය,නෑනාද මස්සිනාද, බෑනාද,උගෙ හොඳම යාලුවාද, ලේලීද, ඒකිගෙ පරන බෝයි ෆ්රෙන්ඩ්ද, එකී මෙකී නොකී සනුහරේම තවත් තානාන්තරවලය.  පගා,කොමිස්,දූෂණ,වංචා, මුන්ගේ සාමාන් දෛනික රාජකාරි බවට පත්වී ඇත.සමාජයට වගේ වගක් නැත. මෙවැනි නිවට රැලකට මේ දේශපා+එලුවන් නිකට පා නවතින්නේ නැත.
අවාසනාවනම්, මේවයේ පලවිපාක මුන්ට ඡන්දෙ දුන් නොදුන් හැමටත් , මේගැන හාන්කවින්සියක් නොදන්නා නූපන් පරම්පරාවටත් විදින්නට සිදුවීමය.
තවදුරත් කැනහිලුන් විසින් සියල්ල කබාසිනියා කරන තුරු නිහඬව සිටීමෙන් පලක් නැත. 'මොරගොඩ' වෙනුවට 'මුසම්මිල්' ගෙන ඒමෙන් හෝ රාජපක්ෂ, පෙරලා වික්රමසිංහ ගෙන ඒමෙන් පලක් වන්නේද නැත. මේ අවජාතක සමාජ ක්රමය බිහිකල වූවන්ගෙන් යහපත් සමාජයක් බලාපොරොත්තුවීම, රාජපක්ෂලාගෙන් එවැන්නක් බලාපොරොත්තුවෙනවාට වඩා වැඩි වෙනසක් නැත. අවශ් වන්නේ ඔලු ගෙඩි වල වෙනසක් නොව ක්රමයේ වෙනසකි. මේ ප්රොඩාකාරී, විකාර ඡන්ද තුලින් එය කල නොහැකිය,මක්නිසාදයත් පවතින 'නියෝජිත ප්රජාතන්ත්රවාදී විහිලුව විහිලුවක්ම බැවිනි.
මිනිස්කම ඉතිරිවුනු, උපන් බිමට යන්තම් හෝ ආදරයක් ඇති, ආත්මය මුදලට පාවානුදුන් මිනිසුන් ගැහැනුන් පෙරට යුතු කාළය පැමින ඇත. තවත් බලා සිටින්නට කාළයක් නැත. වෙන්ව බෙදී යාමට නොව එක්ව සටන් කරන්නට මොහොත එළඹ ඇත. ඇත්ත ඇති සැටියෙන් දැකිය හැකි, කවුරු කලත් හරිදේ අගය කලහැකි, වැරද්දට විරුද්ධ විය හැකි කොඳුඇට පෙල තවමත් ඉතිරිව ඇති යහපත් මිනිසුන්ගේ, ගැහැනුන්ගේ මොහොත එළඹ ඇත. නීතියේ ආධිපත් තහවුරු කල, විනයක් සහිත, මිනිස්කම උත්තරීතර කල, සාධාරණ සමාජයක් නිර්මානය කල හැකි සමාජ ව්යපාරයක් අප රටට වහාම අවශ්යව ඇත.

පි‍ටු පෙරලපු ගාන