අසිරිමත්ම සිදුවීම

Tuesday, October 18, 2011



පහුගිය සතිය හරිම කාර්ය බහුලව තමයි ගත උනේ.අත්දැකීම්, කකුල්දැකීම් රාශියක් ලබා ගන්න පුළුවං උනා.ජීවිතේට වටින කියන පාඩම් රැසක් එක්ක මිනිස්සු අඳුර ගන්න, ජීවිතේ තේරුම් ගන්න වැදගත් සිදුවීම් බහුල සතියක්.

ඇත්තටම කියන්න හැදුවෙ පහුගිය සතියේ මගේ ඇස් දෙකෙන් ලෝකේ සිද්දවෙන අසිරිමත්ම සිදුවීම දැකගන්න මට වාසනාව ලැබුණා කියලා.දරු ප්‍රසූතියක් හැබෑවට දකින්න ලංකාවෙනං ගොඩක් දෙනෙක්ට ලැබෙන්නෙ නෑ.අපි පහුගිය සති දෙකේම හිටියෙ දි සොයිසා කාන්තා රෝහලේ.දරු ප්‍රසූතියක තියෙන ඒ ආශ්චර්යමත් බව ගැන කතන්දර අහලා තිබුණට සහ පොත්වලින් කියවලා තිබුණට ඒක මොනවගේද කියලා දැකගන්න මම පුදුම කුතුහලයකිං හිටියෙ.ඒක ඉටු කරලා දීපු සොයිසා රෝහලට දීර්ඝායු වේවා!!!!

අපි යනකොට ඒ අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙං හිටපු විසිහැවිරිදි මුස්ලිම් තරුණියට විලිරුදාව, එහෙම නැත්තං පොෂ් විදිහට කියන 'ලේබර් පේන්ස්' පටං අරං.ඇයට සින්ටොසින් කියන කෘත්‍රිම හෝමෝනය දීලා තිබුනෙ ප්‍රසූතිය වේගවත් කරන්න.

ඇත්තටම මම ප්‍රසූතිය ගැන වෛද්‍ය විද්‍යාත්මකව නොකියා සාමාන්‍ය මනුස්සයෙක්ගේ දෘෂ්ඨි කෝණයෙන් කියන එක හොඳයි.මොකද ඒක හුදී ජනයාට තේරෙන්නෙ හුදී ජනයෙක්ම කිව්වොත්නෙ.අනික වෛද්‍ය දේශනයක් කරන්න තරං ලොකු දැනුමකුත් මට නෑ.

ඇයගේ දරුවා බිහිවෙනකන් අපිට සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්න සිද්ද උනා.සාමාන්‍යයෙන් දරු උපතකට මුල්ම වෙදනාව පැමිණීමේ සිට පැය පහළවක්, දහ අටක් විතර යනවා කියලා තමයි අපිට එතන හිටපු නර්ස් කෙනෙක් කිව්වෙ.නමුත් සින්ටොසින් කියන හෝමෝනය මගින් ඒක පැය බාගයත්, පැය හතරත් අතර කාලයකට අඩු කරනවාලු.මේක ඇහුවම මට මතක් උනේ ඉස්සර කාලෙ ගෑනුන්ට ළමයි හම්බ උනු හැටි.පැය ගාණක් අර ළමයි වදන කාමරේට වෙලා වහලෙන් එල්ලෙන කඹයක් අල්ලගෙන ගැම්ම අරං ළමයා එළියට දාන්න දත කන හැටි.අර පොඩි ජනේලයක් තියෙන කරුවල මූසල පාට කාමරේක යාන්තං ඇවිලෙන පහන් දැල්ලක් වෙව්ලනවා මම හිතන්නෙ ඔයාලත් දැකලා ඇති ෆිල්ම්වල, නාට්‍යවල එහෙම.

මේ අම්මටත් ටිකක් වේදනාව විඳින්න උනා ප්‍රසූතිය නිසි විදිහට පටන් ගන්නකන්.ඒ කාලය අතරතුරදි නර්ස්ලගේ අකාරුණික කතා අහං ඉන්නත් මේ ලෝකෙ ඉහලම වේදනාව විඳින්න සූදානම් වෙන අම්මලට සිද්ද වෙන බව කියන්නම ඕනෙ.කොහොම හරි ප්‍රසූතියට හෙදියන්ගේ මැදිහත් වීම අවශ්‍යවෙන වෙලාව වෙනකොටනං ඒ අය කරුණාවෙන් කතා කරලා උපදෙස් දෙන්න පටං ගත්ත.අනේ මන්දා ගෑනුංගෙ හැටි.මුල ඉඳංම කරුණාවෙන් කතා කළානං මොකද වෙන්නෙ.මගෙ මිත්‍රයෙක් කිව්වා අම්මලට හොඳිං කිව්වම කියන දේ අහන්නෑලු.ඒකලු බණින්නෙ.මම උගෙන් ඇහුවා එතකොට ප්‍රයිවට් හොස්පිට්ල්වලට එන අම්මලා මේ වගේ නෙමෙයිද?උන්ටනං මොනවා කළත් හරි ආදරෙං කතා කරන්නෙ කියලා.ඇත්ත තමයි කියලා ඌත් කියනවා එතකොට.

ඔන්න දැං අම්මගේ වෝටර් බෑග් එක කැඩිලා ඒකෙ තියෙන දියරය වෑස්සෙන්න පටන් ගත්තා.නර්ස් කෙනෙක් ඇවිත් දරුවා බිහිකරන්න අම්මා තටමන්න ඕනෙ විදිහ කියලා දුන්නා.කට්ටිය මේක බලලා ඕනෙනං නිකං ඉන්න වෙලාවට පුරුදු උනත් පාඩුවක්නං වෙන්නෙ නෑ.ඇඳේ උඩු අතට නිදාගෙන කකුල් දෙක දණහිසෙන් සහ ඉණෙන් නමලා, අත් දෙක කකුල් දෙකට දෙපැත්තෙන් යවලා යටි පතුල් දෙක අල්ලගන්න ඕනෙ.ඊට පස්සෙ කකුල් දෙක පුළුවන් තරම් දෙපැත්තට ඈත් කරලා තටමන්න තමයි නර්ස්නං කිව්වෙ.හැබැයි ළමයාව එළියට දාන එකත් අම්මට ඕනෙ ඕනෙ විදිහට කරන්න බෑ.වේදනාව දැනෙන කොට තමයි ගර්භාශය සංකෝචනය වෙන්නෙ.අන්න ඒ වෙලාවට විතරයි අම්මත් තටමලා ඒ ක්‍රියාවට සහයෝගය දෙන්න ඕනෙ.

ටික වෙලාවකිං අපිට දරුවගෙ කොණ්ඩය පේන්න පටං ගත්තා.මුළින් යන්තමට පෙණුනෙ.වේදනාවත් එක්ක අම්මා තටමද්දි යන්තං පේන්න ගන්නවා.වේදනාවයි තැටමීමයි නවත්තපුවාම ආයෙත් ඇතුලට යනවා.බොහොම වෙලාවක් මේ ක්‍රියාව සිද්ද වෙවී තිබ්බා.හැබැයි ටික ටික දරුවාගේ ඔළුව පේන එක වැඩි උනා.

ඒක සෑහෙන්න පේන්න ගත්තට පස්සෙ තමයි 'එපිසියොටොමි' කියන යෝනි මාර්ගය විශාල කිරීමේ කැපුම නර්ස් කෙනෙක් දැම්මෙ.ඒකෙං රුධිර වහනයක් සිද්ධ උනත් ඒක නිසා දරුවා බිහි වීම පහසු වෙනවා වගේම අම්මාගේ පටකවලට සිද්ධ වෙන හානියත් අවම වෙනවා.

දරුවා එළියට ගන්න කට්ටිය සෑහෙන කට්ටක් කෑවා.අපි බලං හිටියා.පොඩි එකා සෑහෙන්න ලොකුයිලු.ඒකලු ගන්න අමාරු.නර්ස්ලා ඇඟිලි දාලා මාර්ගය ලොකු කරලා දරුවව ගත්තා.අලි සයිස් කොලු පැටියෙක්.කොල්ලාව ගත්ත ගමං ඌව අම්මගෙ බඩ උඩින් තිබ්බා.ඒක තමයි මම බලාගෙන හිටපු මොහොත.අම්මගෙ මූණෙ වේදනාව ඔක්කොම එක පාරට අතුරුදහන් වෙලා යන හැටි, අති මහත් වෙහෙස මැද්දෙන් උතුරලා දෝරෙ ගලන සතුටක් එක්ක වෙහෙසකර හිනාවක් මතුවෙච්ච හැටි මට වචනවලින් නං ලියන්න තේරෙන්නෙ නෑ.අර අපිට ඇඬෙන්න එනකොට උගුරෙ ගුලියක් හිරවෙනවා වගේ දැනෙන ගතියක් මට ඒ වෙලාවෙ දැනුණා.

අම්මට තමන්ගෙ සිරුරට තවමත් පෙකණිවැලෙන් සම්බන්ධවෙලා ඉන්න කොලු පැටියව මේ ඔයාගේ දරුවා කියලා පෙන්නලා තමයි පෙකණි වැල කපන්නෙ.ඊට පස්සෙ අම්මගෙයි දරුවගෙයි එකම සළකුණු දෙකක් අත්වල ගැටගහලා කොල්ලව අරගත්තා පිහදාලා පිරිසිඳු කරන්න.කොල්ලගෙ බර කිව්වට විශ්වාස කරන්න කිලෝ 3යි ග්‍රෑම් 680ක්!!!!.  රජ කොලු පැටියෙක් තමයි.දාරක ස්නේහයක්ද කොහෙද මටත් ඇති උනා.අපේ රටේ තාත්තලට තමංගෙ දරුවා මේ ලෝකෙට බිහිවෙද්දි ළඟ ඉන්න දෙනවනං කොච්චර වටිනවද කියලා මට හිතෙනවා.මොකද මේ අහක ඉන්න මටත් එච්චර හැඟීමක් ආව එකේ තාත්තා කෙනෙක්ට කොච්චර සෙනෙහසක් ඇතිවෙයිද?

10 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Gayan Rupasinghe said...

නියමායි... මම හිතන්නේ පුද්ගලික රෝහල වල නම් එඅ අවස්තාව ලබා දෙනවා තාත්තලාට.. ඩර්ඩන්ස් එකේ අනිවා පුළුවන්,,

ජය..

පන්සල් හංදිය said...

දරු ප්‍රසූතියක වේදනාව දන්නෙ ඒක විඳින කෙනා විතරයි, ඒත් ඒ දරුවගේ මූණ දැක්කාම ඒ සේරම නැති වෙනවා .......

සෑහෙන්න දුලබ අවස්ථාවක් ........

ඔබ නොදු‍ටු ලොවක්..... said...

මටනං ලේ දැක්කම කලංතේ වගේ එනවා......

චතුරංග පෙරේරා | chathuranga Perera said...

නියම විස්තරයක් සහෝ.... ඇත්තටම ප්‍රසූතිය වෙලාවේ අම්මා ලඳ දරුවගේ තාත්තා ඉන්නම ඕනේ... ඒක එක අතකින් අම්මට ශක්තියක්. අනික අම්මා ගැනත් දරුවා ගැනත් තාත්තටත් ලොකු හැඟීමක් එනවා...

දිනුක ජයකොඩි said...

@Gayan Rupasinghe : ඇත්ත ඇත්ත.පුද්ගලික රොහල්වලනං ඒ අවස්ථාව දෙනවා.රජයේ රෝහල්වල තියෙන ප්‍රශ්නෙ තමයි ඉඩකඩ මදි කම.ඒත් අතිං ඇත්තටම උවමනාවක් තියෙනවානං ඒ වෙනුවෙන් ඉඩක් ලබා දෙන්න රෝහල් කාර්‍ය මණ්ඩලයට පුළුවං.ඒ අයට උවමනාවක් නැති එක තමයි තියෙන්නෙ.

@චතුරංග පෙරේරා | chathuranga Perera :අනිවා සහෝදරයා.අම්මා කෙනෙක් ගොඩක් අසරණ වෙනවා එහෙම අඳුරන කවුරුත් නැතුව ඒ වගේ අවස්ථාවක තනිවෙන්න උනාම.තාත්තටත් එතකොට පේනවානෙ තමන්ට පිය පදවිය දෙන්න මේ ගෑනි කොච්චර කට්ටක් කෑවද කියලා...

බිඟූ...! said...

http://bingunada.blogspot.com/2010/05/blog-post_23.හ්ට්ම්ල්

මෙන්න මචන් රියල් එකක්

බිඟූ...! said...

http://bingunada.blogspot.com/2010/06/blog-post.html

මෙන්න වීඩියෝ එක

දිනුක ජයකොඩි said...

@පන්සල් හංදිය : මටත් ආසයි ඔය වේදනාව විඳලා බලන්න.ඒත් ඉතිං අපිට බඩ යන්න බේත් දීලා පු... මහනවා ඇරෙන්න වෙන දෙයක්නම් කරගන්න අමාරුයි.

@ඔබ නොදු‍ටු ලොවක් : මට ලේ දැක්කම නෙමෙයි ලෙඩා අමාරුවෙන් කෑ ගහද්දි බලං ඉන්න අමාරුයි.ඒත් මේක බලද්දිනං අවුලක් උනේ නෑ.

@බිඟූ : මේක සිසේරියන් එකක් ද??

sajith said...

ඔව් දිනූක මම එකගයි, තවත් එකක් අපි හිතමු අම්මට ලේබර් එක පටන් ගන්නේ උදේ පහයි තිහට විතර, ඊට පස්සේ ලමයා ලැබෙන්නේ හවස 6ට කියලා එතකොට ගෙදර අයට උදේට, දවල්ට වගේම හවසටත් ලෙඩාව බලන්න බැහැ, ලෙඩා හා ගෙදර උදවිය කොච්චර අසරන වෙනවා ඇද්ද.
ලග සැමියට ඉන්න දෙන එක හොදයි තමයි, නමුත් පෙනෙනවානේ සොයිසා එකේ තියන කලබලය, ලේබර් රූම් එකේ ඇදන් ඔක්කොම පිරිච්ච දවසකට පිරිමින්ට ඕක ඇතුලෙ ඉන්න දුන්නොත් සදාචාර ගැටලුත් ඇතිවෙනවනේ.

දිනුක ජයකොඩි said...

@sajith : ඇත්ත ඇත්ත.හැම එකේම දෙපැත්තක් හිතන්න ඕනෙ.ඒත් මේ තරං සංවේදී කාරණයකදි රජය යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලයි මමනං හිතන්නෙ.ඔය යෝධ සංවර්ධන වැඩසටහන්වලට වඩා මිනිස්සුන්ට වටින්නෙ මේ වගේ දේවල්.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන