වැදගත් විශය 1 ( Sex Education in Sinhala )

Saturday, February 9, 2013
සිතුවිලි පවුර පාලුවෙලා ගිහිල්ලා හින්දා මම හිතුවා මම මගේ බ්ලොගේ කලින් දාපු ලිපි පෙලක් මේකේ පල කරන්ඩ.එතකොට මගේ බොලොගට නො එන ඒත් සිතුවිලි පවුර බලන ඈයින්ටත් යමක් ලැබෙයිනේ.




මේකයි කේස් එක.මේ දවස්වල මට විභාගේ.ඉවරයක් නැති විභාගවලින් තවත් එකක්.විශය හරි වැදගත් එකක්.ඒක තමයි "ප්‍රජනක සෞඛ්‍යය".මේ විශය අපේ රටේ කතා කෙරෙනවා අඩුයි නේ.මේ ගැන කතා කරන්ඩ ඕනෙ,  කවුරුත් කතා කරන්නෑ කිය කිය ඉන්නවා මිසක් කවුරුත් කතා කරන්නේ නෑ.ඉතිං මේ වැදගත් විශය ගැන සුළු විස්තරයක් අපේ හෙළ බසින් කරන්ඩ තමයි මගේ බලාපොරොත්තුව.ටිකක් අවුල් යයි.මොකද සමහර වචන සිංහලෙන් ඉගෙනගෙනම නෑ.සමහර සිංහල වචනවලට වඩා ඉංග්‍රීසි වචන සමාජ ගත වෙලා තියෙනවා.බලමු කොහොම හරි ගැට ගහගන්ඩ.

අනික හැමෝම තම තමංගේ විශය ගැන ලිපි ලියනවා.ඉතිං බොලේ මාත් මොනවා හරි ලියන්ඩ එපායෑ.


මුලින්ම ප්‍රජනනය කියන්නෙ මොකක්ද කියලා දැනං ඉන්න එක හොඳයිනේ.ප්‍රජනනය කියන්නේ ඊළඟ පරම්පරාව බිහි කිරීම සඳහා ඇති ස්වභාවික ක්‍රියාවලිය කියලා කවුරුත් දන්නවා.ඒත් ඇයි මේ ප්‍රජනනය කියන ක්‍රියාවට දෙන්නෙක් සම්බන්ධ වෙන්නේ? ඇයි මේක මෙච්චර සංකීර්ණ?

දැනටත් පරිණාමයේ පහත් මට්ටම්වල ඉන්න ජීවීන් ඒ කියන්නේ ඔය බැක්ටීරියා වගේ අය එක්කෙනෙක් ලොකු වෙලා ලොකු වෙලා එක පාරට දෙකට බෙදිලා දෙන්නෙක් වෙන ප්‍රජනන ක්‍රම තියෙනවා.ඒ වගේම ඔය ගොඩක් ගස්වලත් තියෙන්නේ අතුවලින්, මුල්වලින් අළුත් පැළ එනවා.ඔය පෙම්වතියෝ ඉන්න(වදක භාරියෝ) අයට හිතෙන්ඩ පුළුවන් අනේ අපිටත් මේ විදිහට තිබ්බනං ලොකේ කොච්චර සොඳුරුයිද කියලා.

නමුත් මේකේ ගැටළු තියෙනවා.මොකද මේ වගේ සරළ ප්‍රජනන ක්‍රමයකින් බිහිවෙන අලුත් ජනිතයා මව් ජනිතයාට බොහෝම සමානයි.ඒ කියන්නේ හිතන්ඩ හිට්ලර් මේ විදිහට ලොකු වෙලා ලොකු වෙලා දෙකට බෙදුණානං හැදෙන්නේ ඒ වගේම උස, ඒ කටහඬම තියෙන, ඒ වගේම හිතන පතන දෙන්නෙක්.අනේ ෂෝක්නේ කියලා කට්ටියකට හිතෙන්ඩ පුළුවං.ඇත්තනේ නිකං හිතන්ඩ දීපිකා පදුකෝන්ලා සීයක් හමාරක් හිටියනං අපිටත් කණාවට හරි චාන්ස් එකක් එන්ඩ ඉඩ තියෙනවනේ නේද?

ඒ උනාට සමාජයක් විදිහට බලද්දි තමයි ගැටළුව එන්නේ.අපි හිතමු නිකං ළාදුරු වගේ ලෙඩක් ගැන.දැං බෙහෙත් තිබුණට ඔය රොබින් හුඩ් එහෙම බලපු අයට මතක ඇතිනේ ඒ ලෙඩ්ඩුංව සමාජයෙන් කොන් කරලා කැළේ මැරෙන්ඩ ඇරලා තිබ්බ හැටී.ළාදුරු ගත්තම සමහර මිනිස්සුන්ට ලෙඩේ හැදුනා.හැදිලා මැරුණා.ඒත් සමහරුන්ට ලෙඩ්ඩු ළඟින් ආශ්‍රය කළත් ලෙඩේ හැදුනේ නෑ.එහෙම උනේ මිනිස්සු එකිනෙකාට ජානමය වශයෙන් තරමක් වෙනස් නිසා.එකිනෙකා ඒ ඒ ලෙඩේට දක්වන ප්‍රතිරෝධය වෙනස් නිසා.බැරිවෙලාවත් මිනිස්සු ඔක්කොම එක වගේ වෙලා මොකක් හරි මාරාන්තික ලෙඩක් පැතිරුණානං ඔක්කොම චකබ්ලාස් තමයි.අන්න ඒ නිසා තමයි ජීවීන් පරිණාමයේදී තමන්ගේ ඊළඟ පරම්පරාවට තමන්ගේ ජාන මිශ්‍ර කරලා දෙන ක්‍රමවේදයක් ඇති උනේ.


දැං අපි යමු චුට්ටක් විතර ගැඹුරු කතාවකට.ඔය උ/පෙ වලට ජීව විද්‍යාව ඉගෙනගත්තු අයටනං මේ ගැන යම් අවබෝධයක් ඇති.අනිත් අයට එහෙම දැනුමක් ලැබෙන්නේ නෑනේ.එයාලම හොයා ගත්තොත් මිසක්.ඒක නිසා මම හැකිතරම් සරළව කියන්න බලන්නං.

මොනවද මේ ජාන සහ ඩී එන් ඒ කියන්නේ??

ඩී එන් ඒ කියන්නේ සරළවම කිව්වොත් එක්තරා විදිහක භාශාවක්.අපේ ඇඟේ තියෙන ගොඩාක් සෛලවල අපේ ශරීරය ක්‍රියාකළයුතු ආකාරය ගැන ලියවෙච්ච දත්ත ගොන්නක පිටපතක් ගානෙ තියෙනවා.


 



මේ රූපයේ තියෙන්නේ ඩී එන් ඒ අණුවක සරළ ව්‍යුහයක්.

A-ඇඩිනීන්
G-ගුවැනීන්
T-තයමීන්
C-සයිටොසීන්
S-සීනි අණුවක්
P-පොස්පේට් අණුවක්
















එතකොට මේ ඩී එන් ඒ අණුවේ වෙනස් වෙන්නේ ඇඩිනීන්, තයමීන්, ගුවැනීන් සහ සයිටොසීන් තියෙන අනුපිළිවෙල තමයි.ඉතින් මේවායේ පිළිවෙල වෙනස් වීමෙන් එක් එක් ඩී එන් ඒ කොටසින් දෙන පණිවිඩය වෙනස් වෙනවා.ඒ කියන්නේ හරියට අකුරු හතරක භාශාවක් වගේ.

දැන් ඔය ඩී එන් ඒ අණුව ගත්තම ඒකේ පණිවිඩ ගොඩාක් අඩංගු වෙනවා.පුද්ගලයෙක්ගේ කොණ්ඩය කැරලි වෙන්ඩ ඕනෙද, කෙළිං වෙන්ඩ ඕනෙද, කොණ්ඩයෙ වර්ණය, ඇස්වල වර්ණය, නහයේ හැඩය, කණේ හැඩය ,සමේ වර්ණය වගේ හැම ලක්ෂණයක්ම ගැන ම විස්තර අඩංගු වෙනවා ඩී එන් ඒ වල.ඉතින් ඒ එක් ලක්ෂණයක් තීරණය කරන ඩී එන් ඒ කොටසට තමයි ජානයක් කියන්නේ.සරළව කිව්වොත් ඩී එන් ඒ අණුව පොතක් වගේ තොරතුරු ගොඩක් තියෙන එකක්. ජානයක් කියන්නේ ඒ පොතේ එක දෙයක් ගැන විස්තර කරන පරිච්ඡේදයක්.

මේ ඩී එන් ඒ තියෙන්නේ අපේ ඇඟේ තියෙන සෛලවල තියෙන න්‍යෂ්ටිය කියන පරිපාලන මධ්‍යස්ථානයේ.





ඔය හැම සෛලයකම මැද්දෙ තියෙන්නේ න්‍යෂ්ටිය තමයි.













මේ න්‍යෂ්ටිය ඇතුලේ ඩී එන් ඒ අණු තියෙන්නේ ක්‍රෝමසෝම විදිහට එහෙම නැත්නං වර්ණදේහ විදිහට.ඩී එන් ඒ අණුව ප්‍රෝටීන් අණු එක්ක එක්ක එකතුවෙලා තමයි වර්ණදේහ කියන ව්‍යුහය හැදෙන්නේ.වර්ණදේහවල ඩී එන් ඒ අණුව ඔතලා ඔතලා හොඳට පැක් කරලා තියෙන්නේ.අපේ ඇඟේ සෛලවල මේ විදිහට වර්ණදේහ 46ක් තියෙනවා.කොච්චර හොඳට මේක පැක් කරලා තියෙනවද කිව්වොත් මේ ඇහැට පේන්නැති පුංචි සෛලයක් ඇතුලේ තියෙන වර්ණදේහ 46 තියෙන ඩී එන් ඒ අණු ටික දිග ඇරලා අරගෙන ඔක්කොම එක දිගට ගැට ගහලා බැලුවොත් මීටර් 1කට චුට්ටක් වැඩියෙන් දිගයි කියලා තමයි කියන්නේ.


සාමාන්‍යයෙන් හැම මනුස්සයෙක්ගෙම තියෙන්නේ වර්ණදේහ 46ක් උනාට සමහරුන්ගේ මෙයිට වඩා වැඩි වෙන හෝ අඩුවෙන අවස්ථා තියෙනවා.හැබැයි ගොඩක් වෙලාවට යම් යම් අසාමාන්‍යතාවලට ඒවා හේතු වෙනවා.

ඒ අසාමාන්‍යතා ගැනත් කියන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පැහැදිලි නැති තැන් තියෙනවානං අහන්ඩ.මම දන්න දෙයක් නං කියන්නං.දන්නැති දෙයක්නං හොයලා කියන්නං.




10 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Gayani Wedage said...

දැනුවත් කිරීමට ස්තුතියි

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

මඩිස්සලේ නිශාන් said...

මේකට ලිපියක් දැමීම ගැනද ස්තුතිවන්ත වෙනවා.

Naleen Dilruksha said...

හොද වටිනා ලිපියකි

තරියා said...

ඒ ලෙවල් කාලේ මතක් උනා....

Yasiru Udana said...

හොද ලිපියක් යාළුවා.අපේ පැත්තෙත් ඇවිදින් යන්න http://sinhapedia.blogspot.com

නාට්‍යකාරයා said...

bohoma hoda lipiyak ........

desh දේශ් said...

අහ් මේක අපි කියෙව්වනෙ. එල එල ඇ.

PM said...

මං නම්, තවදුරත් මේ ලිපිය ලිපි පෙළක් කරන්න පුළුවන් නම් ස්තූතිවන්ත වෙනවා. මොකද මේ දවස් වල ඩිඑන්ඒ, සෛල ගැන එහෙම ටිකක් දැන ගන්න ඕනා වෙලා තියෙනවා. සිංහලෙන් නම් ඒ ගැන හොයන්න තොරතුරු බොහොම ටිකයි තියෙන්නේ. ඒවා තියෙන්නේත් තේරෙන සිංහලෙන් නෙවේ.. කඩ්ඩ හොදා ඒ සිංහල වලට වඩා.

මේ ලිපිය ලියලා තියෙන හැටිය නම් හොදින් තේරුම් ගන්න හැකියි.. නොදන්නා කෙනෙක්ට උනත්.

දිනුක said...

@Gayani Wedage :- කියැවූ ඔබටත් ඉස්තූතියි.

@මඩිස්සලේ නිශාන් :- ඒකනේ බං කෝ උඹලවත් දාන්නෑනේ මේකට මොකවත්...

@Naleen Dilruksha :- ඉස්තූතියි මචං

@තරියා :- උඹත් බයෝ ද කළේ??

@Yasiru Udana :- ඉස්තූතියි මචං

@නාට්‍යකාරයා :- ඉස්තූතියි මචං

@desh දේශ්:- මෙහෙදිත් කියෝපං මචං.වැඩි වෙන්නේ නං නෑ ඕං.

@PM :- අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් ගහපු පොතක් තිබ්බා ජීවයේ රසායනික පදනම සහ සෛලය කියලා.නිල් පාට කවරයක් තියෙන පොතක්.තාමත් තියෙනවද නං දන්නේ නෑ.ඒකෙ ඔය කියන විස්තර තිබුණා බොහොම සරළව මට මතක විදිහට.මගේ ඊළඟ ලිපිවල ටිකක් විස්තර තිබුණත් ඔය කියන විස්තර ගැන ඒ තරම් දෙයක් නම් නෑ මම හිතන්නේ.

kelum78 said...

A/L කාලේ මතක් වෙනවා .....මගේ කැමතිම පාඩම

Post a Comment

පි‍ටු පෙරලපු ගාන