සදමලි මාලි ......

Tuesday, May 1, 2012





මේ කතාවත් මම දැනට ටික කාලෙකට කලින් රෙපාගේ අම්බලමට ලියපු මට දකින්න ලැබුන ඇත්ත කතාවක්. හැබැයි කතාව ටිකක් දිගයි. ඒ හින්දා මගේ බ්ලොගේ නම් දැම්මේ කොටස් දෙකකට. ඒත් මෙතන තියෙන්නේ ඒ කොටස් දෙකම එකතු කරපු සම්පුර්ණ කතාව. මේක මේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ එක ගම්මානෙක සිද්ද උන ඇත්තම කතාවක්. තව මොන කතාද එහෙනං  කියවලාම බලන්නකෝ.

සදමලි කියන්නේ මගේ ජිවිතේ මට මුණ ගැහුණු තවත් එක ගැහැනියක් විතරයි. ඒත් මේ ජීවිතේට සිද්ද උන දේවල් සිද්ද උනේ කාගේ වැරද්දකින්ද? වගකිව යුත්තෝ කව්ද? කියන්න මට තේරෙන්නේ නෑ. ඔයාල මේක කියවලාම හිතෙන දෙයක් කියලා යන්න. (නම් ගම් ඔක්කොම මනකල්පිතයි) 
............................................................................................................................................................................................................


පාඩම් කර කර හිටපු පොත පැත්තකින් තියලා සදමාලි ඇදේ වතිරුනේ අනාගතේ ගැන බලාපොරොත්තු හීන ගොඩාක් හිතේ හිර කරගන දන්නෙම නැතුව ඇස් දෙක පිය උනත් එක පාරටම ඇහැරුනේ අල්ලපු ගෙදර ගුණපාල මාමා ගේ කෑගැහිල්ලට. 


"සිරිපාලයෝ ඉක්මනට නැගිටලා වරෙන් හේනට අලි අවිල්ලලු" 


හුළු අත්තකුත් පත්තු කරගන වැට ලගට දුවගෙන ඇවිල්ල අප්පච්චිව ඇහරවා ගත්ත ගුණපාල මම ඉක්මනට වරෙන් මම යනවා කියලා ගම දිහාවට දුවගන ගියා.ලාම්පුවට අල්ලලා හුළු අත්තක් පත්තු කරගත්ත අප්පච්චි එලියට බැස්සේ උබල පරිස්සමින් දොර වහගන හිටපල්ලා කියලා අම්මට කියන ගමන්. අප්පච්චි පිටවෙලා යන දිහා ටිකක් වෙලා බලන් හිටපු අම්මත් දොර වහල දාල ගේ ඇතුලට ආවේ මේ මල කරදරේ කවදා ඉවර වෙයිද කියලා කියන ගමන්. 


"ඇයි අම්මේ ගිය සතියේ ග්‍රාම සංවර්දන සමිතියට ආපු මහත්තුරු  කිව්වලු නේද අලි වැටක් ගහනවා කියලා. එතකොට මේ කරදරේ ඉවර වෙයි."


සදමාලි කිව්වේ කුස්සියේ ලිපට ගිනි පෙනෙල්ලක් දාල පිබින අම්ම දිහා බලාගන. 
"ඕව කවදා කෙරෙන වැඩද බං ? හැමදාමත් ඔය මහත්තුරු එනවා මොනවහරි කොලේක ලියාගන යනවා. එත් වෙච්ච වැඩක් නම් නෑ. උබටත් තේ කහට උගුරක් ඕනද?"


 අම්ම ඇහුවේ වතුර පුරවපු කෙතලේ ලිප උඩින් තියන ගමන් දිග හුස්මක් හෙලමින් .

ඩෝ o ............. 


එක පාරටම ඇහුන වෙඩි සද්දේත් එක්කම ඇහුන කෑගැහිල්ලට සදමාලි අම්මව බදා ගත්තා. 


"කොටිවත් ඇවිල්ලද?"


  මාලි අම්මගෙන් ඇහුවේ රහසින් වගේ. සදමාලිට මතක් උනේ ගිය මාසේ දවසක ගමට කොටි ගහපු දවස. ගමට කොටි ආවා කියන ආරංචියට අම්මයි අප්පච්චියි එක්ක කැලේ හදාගන තිබුණු බංකරේට රිංගලා පන බයේ ගැහි ගැහි ගුලිවෙලා හිටපු විදිය මතක් වෙනකොටත් තවම පපුව ගැහෙනවා. ඒ තරමට මරණ බය කියන එක සදමාලිට කවදාකවත් දැනිලා නෑ. 


"වෙන්න බෑ. ඔය කව්රුහරි අලින්ට වෙඩි තියන්න ඇති. උබ බය නැතුව ඉදින්."


 කුසුමාවතී සදමාලිගේ ඔලුව අතගාවේ ආදරෙන්.


"කුසුමාවතී අක්කේ............,  කුසුමාවතී අක්කේ...........,"


 එහෙම කෑ ගහගන ගේ දිහාවට දුවගන ආවේ ගුණපාල මාම. ඉක්මනට දොර ඇරපන් අක්කේ කඩුල්ලෙන් පැනලා මිදුලට ඇවිත් ගුණපාල කෑ ගැහුවා. 


"මොකද මල්ලියේ උනේ කවුද වෙඩි තිබ්බේ" 


කුසුමාවතී එහෙම ඇහුවේ දොර අරින ගමන්. 


"අක්කේ උබ කලබල වෙන්න එපා. සිරිපාල අයියට අලියා ගැහුවා." 


"මොකක් ....... "
සදමාලිට මතක තිබුනේ එච්චරයි....
............................................................................................................................................................................................................
අප්පච්ච්ගේ මරණේ කටයුතුයි හත්දවසේ දානේ කටයුතුයි ඉවර වෙන කොට තවත් වියදම් කරන්න කියලා තබ දොයිතුවක් වත් කුසුමාවතී ලග තිබුනේ නෑ. සිරිපාලගේ මරණය වෙනුවෙන් ආණ්ඩුවෙන් ලැබුණු වන්දි මුදල ටික දවසකට ජීවිතය ගැට ගහගන්න ප්‍රමාණවත් උනත් හැමදාමත් පපුවේ මහන්සියෙන් පිඩා විදපු කුසුමාවතිට රස්සාවක් කරන්න තරම් හයියක් ඉතුරුවෙලා තිබුනේ නෑ. 


" කෙල්ලේ උබට තවත් ඉස්කෝලේ යන්න ඕනද? "


කුසුමාවතී සදමාලිගෙන් ඇහුවේ වෙන කරන්නම දෙයක් තිබුනේ නැති නිසා. මේ වෙනකොටත් ගෙදර තත්වය ගැන හොද අවබෝදයකින් හිටපු මාලි තමන්ට රසාවක් හොයාදෙන්න කියලා දන්නා කියන කිහිප දෙනෙකුටම කියලයි තිබුනේ. අල්ලපු ගමේ තිබුණු රාජ්‍ය නොවන සංවිධානයක කාර්යාල සහායිකාවක් විදියට සදමාලිට රස්සාවක් ලැබෙන්නේ ඒ කෙනෙක්ගේ උදවුව මත.
............................................................................................................................................................................................................
"අම්මේ මම දර ටිකක් කඩාගන එන්නම්."


 සදමලි එහෙම කියාගන එලියට බැස්සේ හැමදාම වැඩ ඇරිලා ඇවිත් කරන මේ රාජකාරියත් ජිවිතේ තවත් එක අංගයක් විතරක් නිසා. ඒත් දර හොයාගන වැඩි  දුරක් යන්න සදමාලිට ලැබුනේ නෑ. ඉස්සරහට මුණගැහුනේ ග්‍රාමාරක්ෂකයෙක්  විදියට රස්සාව කරපු සුනිල් අයියාව. ඉස්සර ඉස්කෝලේ යන දවස් වල සිද්ද උන සිද්දියක්  සදමාලිගේ මතකෙට ආවේ නිරායාසයෙන්. පාර අයිනේ බංකරයක් ලග හිටපු සුනිල් මුලින්ම තමන්ට කැමතිද කියල මාලිගෙන් ඇහුවේ එදා. අනාගතේ ගැන දහසකුත් එකක් බලාපොරොත්තු පොඩි බදාගන ඉස්කෝලේ ගිය මාලි තමන්ට වඩා අවුරුදු විස්සකටත් වඩා වැඩුමහල් සුනිල්ගේ ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළේ සුනිල්ට හොදටම බැනලා. එදා ඉදන් අද වෙනකම් වචනයක් වත් කතා නොකලත් නිතරම සුනිල් තමන් වටේ කැරකෙමින් හිටපු බව සදමාලිට තෙරිලයි තිබුනේ. 

"ආ නංගි මොකද මේ තනි පංගලමේ කැලේ" 


මාලි ආයෙත් මේ ලෝකෙට ආවේ සුනිල්ගේ කට හඩට. 


"දර ටිකක් කඩා ගන්න කියල ආව අයියේ"


"ඒක නෙවෙයි නංගි දැන් තාත්තා නැතිවෙලත් කාලයක් උන එකේ ඔයාලට අමාරුත් ඇති නේද?"


 සුනිල් එහෙම අහගන සදමාලිට ලං වුනා.


"මට රස්සාවක් හම්බුනා එක නිසා ප්‍රශ්නයක් නෑ. මට පරක්කු වෙනවා ගිහින් එන්නම් අයියේ" 


සදමාලි සුනිල්ව මග ඇරලා යන්න හැදුවත් පාර හරස් කරගන හිටපු සුනිල්  මාලිගේ අතින් අල්ලලා තමන් ලගට ඇදලා ගත්තා. අනාගතේ ගැන තවත් හීන දකින්න උවමනාවක් තව දුරටත් මාලිගේ හිතේ ඉතුරුවෙලා තිබුනේ නෑ. නිරන්තර ත්‍රස්තවාදී  තර්ජන වලට මුහුණ දීපු මායිම් ගම්මනෙක අසරණ වෙලා හිටපු මාලිගේ හිතේ ඒ වෙන කොට ඉතුරු වෙලා තිබුනේ අද දවසේ ජිවත් වෙන්නේ කොහොමද කියන බලාපොරොත්තුව විතරයි. 


" මට රස්සාවක් තියනවා. ඔයා කැමතිනම් අපි හෙටම කසාද බදිමු " 


සුනිල් කියන දේට කිසිම දෙයක් නොකියා බලාගන හිටපු මාලිගේ අතින් ඇදගන සුනිල් කැලේ ඇතුලටම රිංගුවා...................................................................................................................................................................................................

සදමාලිගෙයි සුනිල්ගෙයි කසාදෙ රෙජිස්ටර් කලේ බොරු වයසක් දාල. මොකද තාම මාලිගේ වයස අවුරුදු පහළොවක් විතරයි. එදා මාලිගේ ගෙදර මහා ලොකු උත්සවයක් නොතිබුනත් සුනිල් එයා ගේ යාළුවො කිහිප දෙනෙක් එක්ක මදුවිතින් සප්පායම් වෙන්න පටන් ගත්තේ කලින් දවසේ දඩයම් කරගන ආපු වල් උරු මස් බයිට් එකත් එක්ක. කසාද බැදලා පලවෙනි දවසෙම හොදටම බිලා වැටිලා හිටපු සුනිල්ව වත්තම් කරගන ගෙට අරන් එන්න උනෙත් සදමලිටයි අම්මටයි දෙන්නට. සුනිල්ගේ  යාළුවො ඔක්කොම මේ වෙනකොටත් නොකියම ගිහිල්ලයි තිබුනේ. 
පහුවෙනිදා මොකුත් නොදන්නවා වගේ සුනිල් රාජකාරියට පිටත් උනේ මේ දවස්වල පළාතේ තිබුණු තත්වය උඩ කසාද බදින්න කියලා නිවාඩු දාල ඉන්න පුළුවන් කමක් තිබුනේ නැති නිසා.
කාලය මේ විදියට වේගයෙන් ගෙවිලගියා අවරුදු දහසය ලබනකොට අම්ම කෙනෙක් වෙන්න සිද්ද උනත් මාලිගේ රුප ලස්සනේ නම් අඩුවක් වෙලා තිබුනේ නැ.  


රංග කියන්නේ මාලිගේ ගමේ පොලිස් ස්ථානයට අලුතින් පත්වෙලා ආපු පොලිස් කොස්තාපල් කෙනෙක්. රංගව එක දවසක් මලීට මුණ ගැහුනේ රාජකාරි කටයුත්තකට මාලි සේවය කරපු රාජ්‍ය නොවන ආයතනයට ආව වෙලාවක. එදා රාජකාරි මට්ටමින් ඇති වෙච්ච දැන අදුනුම්කම තහනම් ගහේ ගෙඩි කමක් දක්වා දුර දිග යන්න වැඩි කාලයක් ගත උනේ නැ.
මාලිගේ හිතේ සුනිල් ගැන කවමදාවත් ඇති නොවෙච්ච ආදරයක් රංග ගැන ඇති වෙලයි තිබුනේ. තමන් කරන්නේ  වරදක් බව දන දැනත් ඒ ආදරේ  නතර කරලා දාන්න රංග වත් මලිවත් කල්පනා කලේ නැ. මාලි අවුරුදු දෙකක පුංචි කොලු පැටියෙකුගේ අම්ම කෙනෙක් උනත් මලීට රංගත් ගොඩාක් ආදරේ කළා.


ලෝකෙටම හොරෙන් කරගන ගිය මේ ආදර කතාව සුනිල්ගේ කනට වැටෙන්නත් වැඩි දවසක් ගත උනේ නැ. එදා හවස සුනිල් ගෙදර ආවේ හොදටම වෙරිමතින්


"පට්ට #@@# උබ අරු එක්ක නටන නෙයියාඩගම නැවැත්තුවේ නැත්තම් තොපි දෙන්නම බාවලා මමත් මැරෙනවා."

සුනිල් වෙරි මතේම මහා හයියෙන් කෑ ගැහුවා. 


"මම #@@# තමයි යකෝ, මට ඕන නම් මම රංග එක්ක යනවා උබට  පුලුවන්නම් නවත්තපන් බලන්න මම මෙහෙමවත් ඉන්නේ මේ කිරි සප්පය හින්දා " 


මාලි සුනිල් එක්ක එකට එකම කියන්න පටන් ගත්තේ මේ වෙනකොට සුනිල්ව හොදටම එපා වෙලා තිබුණු නිසා.
හැමදාම මේ විදියට සිද්ද වෙන රණ්ඩු සරුවල් දිහා බලා ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් මාලිගේ අම්මට වත් පුංචි පුතාටවත් තිබුනේ නැ.


මේ වෙනකොට සුනිල් සේවය කෙරුවෙත් රංග සේවය කරපු පොලිස් ස්ථානයට අනියුක්තවමයි. රංග ගැන දැඩි වෛරයක් හිතේ තියාගන හිටපු  සුනිල් බලාගන හිටියේ රංගගෙන් පලිගන්න අවස්තාවක් ලැබෙන තුරු.
ඒ දවස උදා උනේ නොහිතපු විදියට.
එක දවසක් පාන්දර සුනිල් රාජකාරි නිමාකරලා ගෙදරට එමින් සිටියා. ඉස්සරහට මුණගැහුනේ තමන්ගේ ගෙදර ඉදලා එලියට බහින රංගව ..
උදේ පාන්දර රංගගේ මුණ දැකපු සුනිල්ගේ ඇස දෙකෙන් ගිනි  පිට උනා. 


"#%%  බල්ලා,"

අතේ තිබුණු රාජකාරි ගිනි අවිය රංගගේ මුනට එල්ල කරලා කොකා ගස්සන්න සුනිල්ට මහා වෙලාවක් ගත උනේ නැ. කපාපු කෙහෙල් කදක් වගේ රංග  බිම වැටෙන කොට වෙඩි සද්දෙට ඉස්සරහට ආපු මාලිට කිසිම දෙයක් හිතාගන්න බැරි උනා. 

"අනේ මගේ රංග,"


 මාලි මහ හඩින් විලාප තිව්වා. 


"මාවත් ඔකෙන්ම තියලා මරලා දාපන්" 


මාලි කෑ ගැහුවේ  මොකුත්ම සිද්ද නොවුණු ගානට පාර දිගේ යන සුනිල් දිහා බලාගන. මාලිගේ අම්ම සිද්ද උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව බලා ගෙන හිටියා. මාලි පිස්සියක් වගේ ගේ ඇතුලට දිව්වා. පුංචි කොලු පැටියා අම්මගේ පස්සෙන් දිව්වා. අතට අහුවුනේ කුබුරට ගහන්න ගෙනාපු කෘමි නාශක බෝතලයක්. වැඩිපුර හිතන්නේ නැතුවම මාලි කෘමි නාශක බෝතලයම කටේ හලා ගන්නවා පොඩි එකා බලාගන හිටියා. මාලි බිම වැටුනේ කට දෙපැත්තෙන්ම වමනය පිට කරන ගමන්. 
අනේ මගේ  අම්මා........................


%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%

අප ආයතනයේ සේවය කල සදමාලි දිසානායක මහත්මියගේ අවමගුල් කටයුතු වෙනුවෙන් ගෙවූ මුදල 
රු xxxxxx


"මේ ගිය පාර අපි එනකොට මේකේ වැඩ  කරපු ගැනු ළමය නේද?" 


වසර කිහිපයකට කලින් මේ රාජ්‍ය නොවන ආයතනයක විගණන කටයුතු වෙනුවෙන් ගියපු වෙලාවේ මම පරික්ෂා කර කර හිටපු වව්චර් එක පෙන්නලා මම එතන හිටපු ගිණුම් සහායකවරයා ගෙන් ඇහුවේ මොකද මෙයාට උනේ කියලා.

"එක දිග කතාවක් මම හවසට කියන්නම් " 


එදා ඔහු එහෙම කියලා ගියත් වැඩ රාජකාරී නිසා ඒ කතාව අහන්න බැරි උනා. මම විගණන ආයතනයෙන් අයින් වෙලා ටික කාලෙකට පස්සේ ආයෙමත් මට ඒ ගිණුම් සහායකවරයව මුණගැහුනේ එක්තරා පාසලක ගුරුවරයෙක් වශයෙන්. රාජකාරි බැදීම් අත ඇරලා අපි හොද මිතුරන් වුනා. මේ තියෙන්නේ එදා ඔහු මට කියපු කතාව. දැන් ඉතිං මේ කතාවේ කවුද හරි, කවුද වැරදි කියලා තීරණය කරන එක කියවන ඔයාලටම බාරයි.......

7 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Reeza said...

අනිවාරෙන්ම වැරදි කාරයා සුනිල් තමයි...ඒ උනාට මාලිට තිබ්බේ අර පුංචි කොලු පැටියා ගැන මොහුතක් හිතන්න..!

Reeza said...

අනිවාරෙන්ම වැරදි කාරයා සුනිල් තමයි...ඒ උනාට මාලිට තිබ්බේ අර පුංචි කොලු පැටියා ගැන මොහතක් හිතන්න..!

සිත්තමී said...

මේ වගේ කථා ඕනිතරම් මේ මහ පොලව යට පස් වෙලා වැලලිලා ගිහින් ඇති...අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් විවාහ වුනත් ජීවිතේ කොතරම් බාධක ආවත් ජිවත් විය යුත්තේ විවාහ වූ කෙනා සමග..මෙහි වැරැද්ද සදමාලි අතේ..විවාහ වූ කෙනාට ආදරේ නොකල වුනත් විවාහ වෙලා ඉවරයිනෙ..පුංචි දරු පැටියෙකුත් ඉන්න අම්ම කෙනෙක් මීට වඩා හිතන්න තිබුණා.ඇය අතින් වරදක් සිදු වූ නිසා සැමියගේ කරදර වැඩි වුනේ.. ඇය එසේ නොකලනම් සැමියට බිරිද වගේම අහිංසක දරු පැටියට මවක් ඉතිරි වන්න තිබුණා.. බිරිදක් වුණාම ඉවසීමෙන් වැඩ කරන්න ඕනි....

මෙවැනි කථාවන් තුලින් ජීවිතේ වැරැද්ද තේරැම් ගන්නවනම් හැමෝගෙම ජීවිත ලස්සන වේවි....

පල කල ඔබට සුභ පතනවා....තවත් අර්ථවත් දෙයක් කරන්න...

Nishan de siva said...

ළමයා ගැන හිතන්නේ නැතුව වෙන දීගයක්‌ ගැන හිතේ ආසාව මවාගත්ත මාලි නම් ඇත්තටම වැරදිකාරියක්.

සරත් ලංකාප්‍රිය said...

එක එක අවස්ථාවල මිනිස්සු හැසිරෙන ආකාරයේ හොඳ නරක තෝරා බේරා ගන්න වෙනත් පසුබිමක ජීවත්වෙන අර මිනිස්සු මුණ දුන්න දුෂ්කරතා මානසික පීඩන කිසිත් නොදන්නා තවත් අයට කරන්න පුළුවන් කියල මං හිතන්නේ නැහැ.. මෙතන තියෙන මුලික ප්‍රශ්නය දුප්පත් කම.. ගැහැනියකට තනිවම කෙලින් හිටගන්න හැකියාවක් ඇති සමාජක්‍රමයක් ඇති නොවීම. ජීවිතය ගැට ගසා ගැනීමට සරීරය උගසට තියා අකමැති මිනිහෙක් එක්ක යන්න ගැහැනියක් තීරණය කරන්නේ ඒ නිසයි.. ඒ හින්දයි දහසක් ගැහැනුන් මහා මගට වැටෙන්නේ.. මේ අපේ සමාජයේ එක පැති කඩක් විතරයි..

දිනුක said...

කවුරු හරි උනත් කවුරු වැරදි උනත් පොඩි එකෙක් අසරණ වෙච්චි එක තමයි අන්තිමට උනේ.

අනූ said...

කවුරු වැරදිද හිතාගන්න බෑ.... :(((

Post a Comment

පි‍ටු පෙරලපු ගාන