'ප්රේමකුමාර් ගුනරත්නම්' ගේ වැදගත්ම ප්රකාශය හා හෙට දවසේ ලාංකීය දේශපාලනයේ 'මිලිටරි ලකුණ..................

Saturday, April 14, 2012

ප්‍රේමකුමාර් සහ දිමුතුගේ පැහැර ගැනීම පොලීසියේ තවත් විහිලු කතාවකින් නිමා වී ඇත. ශ්‍රී ලංකා පොලීසිය ' ජෝකරයන් රැලක්' ගේ තත්වයට තවත් වටයකින් ඇද දමා රෙජීමය අත පිසදාගෙන ඇත. සමහර විට මේ රෙජීමය සහ රෙජීම කුක්කං , ජනතාව සුරංඟනා කථාවට රැවටුනා යයි සිතා සිටිනවා වන්නටද බැරි නැත. දැන් කාලේ කොන්ඩේ බැඳපු චීන්නුත් නැති නිසා ..මේවා හොඳ අර ඩොක්ටර් නිර්මාල් ඉතා නිවැරදිව කිව්වාසේ..විමල් වීරවංශගේ වෙබ් එකට කමෙන්ට්ස් දාන උන්ටය. නැත්නම් ...ආණ්ඩුවේ එක,එක 'මාධ්‍ය ප්‍රකාශක'ලා දෙන ටෝක්ස්, කිසිම ප්‍රශ්නයක් නොඅසා ජාතික යැයි කියා ගන්නා පත්තර කඩමාලු වල අලවන කොන්දක් නැති බෝතල් පත්තර කාරයන්ටය. මක් නිසාද යත්, මේ මාධ්‍ය ප්‍රකාශකයන්ගේ කතන්දර පිලිනොගන්නවා නම්, ඒවා සෘජුව ප්‍රශ්න කිරීමට හොඳම අවස්තාව ලැබෙන්නේ මාධ්‍ය සාකච්චා වලට යන පුද්ගලයන්ට බැවිනි. එසේ නොකර උන් කියන ඕන කුනුහරපයක් ටේප් රෙකෝඩරයක, ටේප් කරගෙන විත් වග විභාගයකි තොරව, කොලයක ලියන්නට මාධ්‍යවේදීන් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ දැන් ඉන්න ජාතියේ නිවට කුලී ලියන්නන්ය. මුන් පත්තර වල නොලියා මැල්ලුම් ලිව්වානම් මීට වඩා සෙතක් රටට වන බව නිසැකය.

කෙසේ වෙතත් මේ ලිපියේ අවදානය යොමු කරන්නේ ආණ්ඩුවේ ප්‍රකාශකයන්ගේ කතන්දර වලට නොව 'ප්‍රේමකුමාර්' විසින් ඕස්ට්‍රලියාවේ සිට පැයක් පමන් වේලා පැවැත්වූ මාධ්‍ය සාකච්චාවේ එක් අවස්තාවක මතු කල අදහසකටය. ඔහුව පැහැර ගෙන ගිය පුද්ගලයන් හා ඔවුන් ඔහුට සැල්කු ආකාරය ගැන ප්‍රශ්නකල අවස්තාවක ප්‍රේමකුමාර් ඔවුන් ආරක්ශක අංශ සාමාජිකයන් විය හැකි බව පවසන අතර , වඩාත් වැදගත් කරුන ලෙස අප දකින්නේ, ඔවුන්ට සිය හෘද සාක්ශිය අනුව නොව, ඉහලින් එන අණ සහ උපදෙස් මත ක්‍රියා කරන්නට සිදුවී ඇති බවත් එහෙත් ආරක්ශක අංශ වල සේවය කරන බහුතරය සාමාන්‍ය පංතියේ දෙමව්පියන්ගේ දරුවන් බවත් ඔවුන්ව ආමන්ත්‍රනය කිරීමට ඇති අවශ්‍යතාවය ගැනත් පැවසීමය.

ඉහත සඳහන් කල ලෙසම සමස්ත සාකච්චාවෙන්ම මතුවූ වැදගත්ම කාරනාව එය බව අපේ හැඟීමයි. අපේ රට භයානක ඒකාදිපතිත්වයක් කරා ගමන් කරන බව තව දුරටත් හිතලුවක් නොවේ. රාජ්‍යයේ බල කනු තුනම එනම්, විධායක, ව්‍යවස්තාධායක සහ අධිකරණ බලය එක් පුද්ගලයෙකු නැත්නම් එක් පවුලක් අත සංකෙන්ද්‍රනය වී ඇත.  අද ඇමති මණ්ඩලය යනු එහෙයියන් රැලක් පමනි. පාර්ලිමෙන්තුව නාමමාත්‍රික විපක්ෂයක් සහිත නිකම්ම නිකම් කතා සාප්පුවක් පමනි. අද අධිකරණ පද්දතිය පාලක රෙජීමය ඉදිරියේ දණ ගසා ඇත.  නීතියේ ආදිපත්‍ය හා රට තුල නීතිය හා සාමය ආරක්ෂා කරන ආයතන එහෙන් පිටින්ම විකාරයක් , විහිලුවක් බවට පත් කර ඇත.  ඉහවහා ගිය හොරකම, දූෂනය,ඥාතිසංග්‍රහය,රාජ්ය තාන්ත්‍රික මරි මෝඩකම්, නිල නොවන මිනීමරු පැරා මිලිටරි කණ්ඩායම්, මර්දනය කල හෝ හීලෑ කල මාධ්‍ය, ජාත්‍යන්තර කුමන්ත්‍රණ බිල්ලන්, අවස්තාවාදී දෙශ්ප්‍රේමය, මේ සියල්ල පෙන්නුම් කරන්නේ නිසැකයෙන්ම රට ගමන් කරන්නේ භියකරු ප්‍රපාතයකට බවය.

අනෙක් අතට රට ඇත්තේ, දළ දෙශීය නිශ්පාදිතය හා කොටස් වෙළඳ පොල දත්ත මගින් ආර්ථික වර්ධනය පෙන්වන නව ලිබරල් ධනවාදයේ මායාවෙන් වැසුනු දැවැන්ත ආර්ථික අර්බුදයක මුව විටය. ජීවන වියදමට සරිලන වැටුපක් අහිමි නාගරික ශ්‍රම ආර්ථිකයද සිය නිශ්පාදනයට සාධාරන මිලක් අහිමි ග්‍රාමීය ගොවි/ධීවර ආර්ථිකයද ඉතිහාසය පුරා සූරාකෑමට යටත්වූ වැවිලි ආර්ථිකයද ප්‍රසාරණය වන සමාජ අසහනයේ කැළඹිම් මාත්‍රයන් පෙන්නුම් කරමින් සිටී.

උග්‍රවන උපාධිදාරී රැකියා විරහිත භාවය, කඩා වැටෙන අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුලු සුබසාදන සේවාවන් සමාජගත අර්බූදයේ පිලිඹිබුවන්ය.  මේ සියලු රෝග, ව්‍යාධි, සඳහා කෝකටත්  තෛලය ලෙස රෙජීමයට ඇත්තේ එක් පිලිතුරකි. ඒ අන් කිසිවක් නොව මර්ධනයයි.  රටේ ත්‍රිවිද හමුදාව, පොලීසිය ඇතුලු ආරක්ෂක යාන්ත්‍රනය, මේ මර්ධනයේ මාරාන්තික දැති රෝද ලෙස භාවිතා කිරීම රෙජීමයේ අභිප්‍රාය බව ඕනෑවටත් වඩා පෙන්නුම් කරමින් සිටී.  ඒ සඳහා සුදුස්සා තමන් බව, රෙජීමයේ දුශ්ඨත්වයේ,වෛරීභාවයේ හා අනම්‍ය ස්වරූපයේ මුහුනුවර වන ගෝඨාභය වරින් වර සනාථ කරමින් සිටී.  මේ සංදර්භය, ප්‍රේමකුමාර් ගුනරත්නම්ගේ ප්‍රකාශයේ වැදගත් කම තවත් තීව්‍ර කරයි.  

එක් පැත්තකින් රෙජීමයට සිය දූශිත අත්තනෝමතික ඒකාධිපති පාලනය සදාකාලික කර ගැනීමටත්, එයට එරෙහිවන බලවේග කුඩුපට්ටම් කිරීමටත් 'මිලිටරි' බලය පාවිච්චි කිරීමට සිදුවනු ඇත.සැලකිය යුතු සාර්ථකත්වයක් ඒ අරබයා අත්පත් කර ගන්නට දැනටමත් රෙජීමය සමත් වී ඇති අතර ඒ සඳහා මිලිටරි යාන්ත්‍රනයේ මර්මස්ථාන වලට සිය ඔඩොක්කු කුක්කං පත් කිරීම සහ මිලිටරිය තුලම නිර්මානය කර ඇති අභ්‍යන්තර බෙදීම් හා අවිශ්වාසයන් සූක්ෂම ලෙස යොදා ගනිමින් සිටී.

අනෙක් අතිං මේ ඒකාධිපති වියරුවට එරෙහිව පැන නැගීමට නියමිත ජනතා අරගලයේදී, මිලිටරි බලයේ ස්ථානගත වීම, අරගලයේ ස්වභාවයට, දින වකවානු වලට මෙන්ම අවසන් වශයෙන් එහි සාර්ථක අසාර්ථක බාවයට සෘජුව බලපානු ඇත. අරගලයට නායකත්වය දෙන්නේ ප්‍රේමකුමර් ගේ පෙරටුගාමී සමාජවාදීන්ද, සෝමවංශගේ ජ.වි.පෙ. ද එසේත් නැතිනම් රනිල් වික්‍රමසිංහ හෝ කරූ ජයසූරිය හෝ සජිත් ප්‍රේමදාස හෝ නැතිනම් ජෙනරාල් සරත් ෆොන්සේකා පෙරටු කරගත් යූ.ඇන්.පීය ප්‍රමුක බලවේගද, එසේත් නැතිනම් මෑත කාලීන ලෝක අත්දැකීමක් වූ ආරම්භයේදී නිශ්චිත නායකත්වයකින් තොරව පොදු ජනයාගේ මැදිහත්වීමෙන් නිර්මානය වන වීදි සටනකටද එය එක ලෙසම සත්යයක් වනු ඇත.  මේ අර්ථයෙන් ගත් කල ප්‍රේමකුමාර් පවසන පරිදි සාමාන්‍ය පංතියේ සොල්දාදුවන් එනම් 'මිලිටරියේ' සාතිශ්‍ය බහුතරය ආමන්ත්‍රනය කිරීම නැතහොත් ඔවුන් සමග සබුද්ධික, සවිඥානික ගනු දෙනුවක වැදගත්කම තහවුරු වෙයි.

200,000ක් පමන වන ආරක්ශක අංශ සාමාජිකයන්ගෙන් හතරෙන් තුනකටත් වැඩි ප්‍රමානයක් සැදුම් ලබන්නේ ගැමි ගොවි සමාජාර්ථික පසුබිමක් සහිත දුප්පත් පවුල්වල දරුවන්ගෙනි.  පවුලේ වැඩිමහල් පිරිමි දරුවාට පමණක් උරුමය පැවරිය හැකි, අක්කර කිහිපයක 'ස්වර්ණභූමි' ඉඩමක් පමනක් හිමි ,දරුවන්ට ඉහල අධ්‍යාපනයක්ද දිය හැකි තරම් වත්කමක් හෝ පහසුකම් නොමැති ග්‍රාමීය ගොවි පවුලක , දෙවෙනි,තුන්වෙනි පිරිමි දරුවන්ගේ නිශ්චිත ඉරනම හමුදාවය. මීට වසර හත අටකට පෙර ලේඛකයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මහඉලුප්පල්ලම අවට ගම් වල සැරි සරද්දී අසන්නට ලැබුනු සුලබ කතාන්දරය එය විය. යුද්ධෙට ගිය තරුණ දරුවෙකු නොමැති ගෙයක් සෙවීම, හරියට කිසිවෙකු නොමල ගෙයකින් අබැටක් සොයන තරම් අමාරු කාර්යයක් විය. ගොඩනැගිල්ලකට දෙකකට සීමාවූ, එක්කෝ අටේ පංතියට නැත්තම් දහයේ පංතියට පමනක් වූ පාසැලක්, කටුමැටි නිවෙස් මෙවැනි ගම් වල ලාක්ෂනික භූදර්ශනය විය. තරමක් විශාලව පිලිවෙලකට ගඩොලින් නිමවා උලු සෙවිලි කර තිබූ නිවෙස් වූයේනම් ඒවායේ අනෙක් අනිවාර්ර්‍ය අංගය වූයේ ගේ ඉදිරිපස බැඳ තිබූ මියගිය සොල්දාදුවෙකුගේ සොහොනයි. දැනුදු මේවායේ වැඩි වෙනසක් ඇතැයි සිතිය නොහැක.

පෙර කී ලෙසම තීරණාත්මක නිමේශයකදී, ක්‍රමානුකූල සන්නද්ද පුහුනුවක් සහිත මේ විශාල බලවේගය සිට ගන්නේ ඒකාධිපති රෙජීමය සමගද නැතහොත් ඊට එරෙහි තමන්ගේ පංති බලවේගය සමගද යන්න ප්‍රභලම සාදකය වනු ඇත. විශේෂයෙන්ම ලංකාවේ භූදේශපාලනය  තුල හා ලෝක යුධ තාක්ෂණික වර්ධනය තුල, බිංදුවේ සිට ගොඩනගන 'ගරිල්ල්ලා' ව්‍යාපාරයක් අද දවසේ යථාර්තයක් නොවේ.  ප්‍රේමකුමාර් හා නව පක්ශය සිය මාධ්‍ය ප්‍රකාශයට සීමා නොවී, මේ සුවිශේෂී බලවේගය ආමන්ත්‍රනය කිරීමටත්, ඔවුන්ගේ ප්‍රශ්නවලට පිලිතුරු දීමටත්, ඔවුන් සමග සබුද්ධික සංවාදයක් බිම් මට්ටමේ සිට ගොඩ නැගීමටත් නිශ්චිත වැඩපිලිවලක්, ක්‍රියාවලියක් වහ වහා දියත් කල යුතුය. එසේම  'අපි ශ්‍රි ලාංකිකයෝ' වැනි අනුබද්ද සංවිදාන සමහර අවස්තාවලදී ඉතා මෝඩ ලෙස හමුදාව සමග සෘජු ගැටීම්වලට නොයා ඒ වෙනුවට ප්‍රජාතන්ත්‍ර විරොධී ලෙස හමුදාව හසුරුවන පාලක රෙජීමය හා උන්ගේ ඔඩොක්කු කුක්කංට එරෙහි විය යුතුය.

පාලක රෙජීමය මර්ධනය කැඳවන මොහොතක, මිලිටරිය සිය දඩ බල්ලන් සේ සමාජය මතට මුදා හරින්නට බලා සිටී. එවන් නිමේශයක මිලිටරිය තුලින් එයට එරෙහිව මතුවන ප්‍රතිරෝධයක් හෙට දවසේ නිදහස,ප්‍රජාතන්ත්‍රවාදය හා ආර්ථිකයේ තමන්ගේ නියමිත කොටස ඉල්ලන ජන අරගලයක තීරණාත්මක හැරවුම් ලක්ෂය වනු ඇත.

3 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

ලහිරු said...

නමුදු කරන්නට දෙයක් අත පොවන මානයේ නම් නැත....

sAm (සෑම්) said...

පණ ඇති විපක්ෂයක් නැති කලෙක ජන අරගලයක් හැරුම් ලක්ෂයක් වනු නියතය. විය යුතුමය.

ජයෙන් ජය !

දිනුක said...

අපේ රටේ බහුතරයකට දේශපාලනික දැක්මක් නැත.කවුරුන් විසින් හෝ තමන්ව පාලනය කරනු දැකීම ඔවුන්ගේ එකම අභිප්‍රාය වන බැවින් සහ එම පාලනය කරනු ලැබීමේදී පාලකයා විසින් කරනු ලබන සියලුම අවකල්ක්‍රියා කරබාගෙන ඉවසා සිටීමද ඔවුන්ට මහත් වූ සන්තෝශයක් වන නිසා කිසිඳු අරගලයක් මේ භූමියේ දී සාර්ථක වන්නේ නැත.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන