විමසුම

Thursday, February 16, 2012
අපේ රටේ ජනතාව නැවතත් කුපිත කරවනු ලැබ ඇත.රට පුරා සිදුවන වර්ජනයන්ගේ නිමක් නැත.රට කුරිරු ත්‍රස්තවාදයෙන් ගලවාගත් අතිගරු ජනාධිපතිතුමාට තැන් තැන්වල බැණවැදීමෙන්ම අපේ රටේ ජනතාවගේ අවස්ථාවාදී කුහක මානසිකත්වය මනාව ප්‍රදර්ශනය වේ.රට ත්‍රස්තවාදයෙන් ගලවාගත් එතුමා ඉන් නොනැවතී ආරම්භ කළ මහා දැවැන්ත සංවර්ධන සංග්‍රාමයේ ප්‍රථිපල තවමත් ජනතාවට ලැබෙන්නට පටන් ගත්තා පමණි.

මෙකී සංවර්ධනයෙන් රට ඉසුරට ඇදී යද්දී ඩොලර් කාක්කන්ගෙන් පිරී ඇති විපක්ෂය රජය අප්‍රසාදයට පත් කිරීම සඳහා විවිධ කරුණු ඇද දක්වමින් ජනතාව මුලා කොට රට ආගාදයට ඇද දැමීමට කටයුතු කරගෙන යන්නේ ය.රුධිර පිපාසිත ජේවීපී ය මේ ජනතා කුපිත කිරීමේ ක්‍රියාදාමවලදී දැනටමත් ජීවිත දෙකක් බිළිගෙන ඇත.මෙසේ රටේ අහිංසක ජනතාවගේ මළ සිරුරු මතින් ඉදිරියට යාමට උත්සාහ දරන ජේවීපීයත් බටහිර ගැති, බටහිරට අප රට පාවා දීමට උත්සාහ කරන යූඇන්පීයයත් අතිගරු ජනාධිපතිතුමාගේ යෝධ වැඩ පිළිවෙල අසාර්ථක කරවීමේ නිශ්ඵල කුමන්ත්‍රණයක නිරත වී සිටිති.

විපක්ෂයේ මේ අමනෝඥ ක්‍රියාවන් අපේ රටේ බුද්ධිමත් ජනතාව හොඳ හැටි වටහාගෙන සිටිති.පසුගිය මැතිවරණයේ දී ඔවුන් ඒ බව රටටම හඬ ගා කීවේ යූඇන්පී‍යට කොළඹ පමණක් ඉතුරු කරමින් සහ ජේවීපීයට තිස්සමහාරාමයද අහිමි කරවමිනි.මැතිවරණයෙන් පසුවද වත්මන් රජයේ ජනතාවාදී ප්‍රතිපත්තීන් හඳුනාගත් විපක්ෂයේ සැබෑ ජනතා නායකයන් අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට එක් වන්නේ තමන්ගේ පරම අභිප්‍රාය ජනතා සේවය මිස තමාගේ පක්ෂය රජ කරවීම නොවන බව හඬ ගා කියමිනි.

වර්ථමාන රජය යටතේ තරම් සංවර්ධන ව්‍යාපෘතීන් ඇරඹුණු කිසිඳු රජයක් ඉතිහාසයේ පැවතී නැත.එක් නිමේෂයකින් රටේ ඕනෑම තැනකට යාමට හැකිවන පරිද්දෙන් රටේ මහා මාර්ග පද්ධතිය යෝධ සංවර්ධනයකට ලක්වෙමින් පවතී.අමතක කොට දමා තිබූ සිංහල දේශය එනම් දකුණ, නව වරායක් ගුවන් තොටුපලක් ඇතුලු සියළුම යටිතල පහසුකම් සහිතව නැවත අවදි වී ඇත.ජනාධිපතිතුමාගේ යෝධ වැඩපිළිවෙලෙහි එක් අදියරක් ලෙස උතුරට වසන්තය ගෙන ආවේය.ත්‍රස්තවාදයෙන් මුදාගත් ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කෙරෙමින් පවතී.නව ක්‍රීඩාංගන, රංගශාලා අප රටේ ජනතාවට සිහිනයක්ව පැවති යුගයක්ද තිබුණි.ඒ අඳුරු යුගය අවසන් කරමින් අතිගරු ජනාධිපතිතුමා සූර්යයෙක් සේ අප අතරට පායා ආවේ මේ රටේ ජනතාවගේ පෙර පිනකටය.






මේ සංවර්ධනයන් ජනතාවගෙන් සැඟවිය නොහැක.නමුත් විපක්ෂය අසරණ ලෙස සිය ඡන්ද අතලොස්ස රැකගනු පිණිස එළවලු කූඩ ප්‍රශ්නයක් බවට පත් කොට ජනතාව කුපිත කරන්නට උත්සාහ කළේය.පුද්ගලික සේවක විශ්‍රාම වැටුප යක්ෂයෙක් ලෙස හුවා දැක්වූවෝ ය.ඔවුන් පවසන ලෙසට ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහල යන්නේ ද රජයේ අකාර්යක්ෂමතාව නිසාය.ලෝක වෙළඳපලේ තෙල් මිල ඉහල යන විට ඒ හා සාපේක්ෂව රටක තෙල් මිලද ඉහල යන බව කුඩා දරුවෙකුට වුවද අවබෝධ කරගත හැක.ඒත් සමඟ තෙල් හා බැඳී ඇති සියළු නිශ්පාදන හා සේවා මිළද ඉහල යෑම ඉස්ථිරවම සිදුවන්නකි.මේ සරල සත්‍ය තේරුම්ගත නොහැකි අමනෝඥ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විපක්ෂයට ජනතා කැමැත්ත ලබා ගැනීම කිසිසේත්ම පහසු නැත.


රජය අපහසුතාවයට පත් කිරීම සඳහා දූෂණ චෝදනා ඉදිරිපත් කරන විපක්ෂය ඔවුන් බලයේ සිටියදී කටයුතු කළ ආකාරය ජනතාවට මතක තිබේ.ස්ත්‍රී දූෂකයින් නිදහස් කළ ජේ ආර් ගේ පක්ෂයේ කිසිවෙකුටත් දුමින්ද සිල්වා ගැන ප්‍රශ්න කිරීමේ අයිතියක් නැත.අධ්‍යාපනයේ ධවල පත්‍රිකාව ගෙන ආ විපක්ෂ නායකවරයා ප්‍රමුඛ විපක්ෂය පුද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධව හඬ නැගීම විහිළුවකි.චීනයෙන් ආනයනය කළ සමාජවාදය කරපින්නාගෙන සිටින ජේවීපී ය චීන ආධාරවලට විරුද්ධ වීම ප්‍රහසනයක් නොවන්නේද?

කෙසේ වෙතත් තව නොබෝ දිනකින් ඉඳිවන නෙළුම් කුළුණ මතද නැග විපක්ෂය උපවාස කරනු ඇත.මත්තලගොඩට ගුවනින් ගොස් දකුණේ පා ගමන් සංවිධානය කරනු ඇත.උතුරු නැගෙනහිර සිය ප්‍රචාරණ කටයුතු දියත් කරනු ඇත.ජනපතිතුමාගේ නමින් ඉඳිවන බේස්බෝල් පිටියට බැණවදිනු ඇත.නමුත් අතිගරු ජනාධිපතිතුමා මෙකී සංවර්ධනයන් සිදු කරන්නේ තමාට ගෙන යෑමට නොව රටේ ජනතාව වෙනුවෙන් බව ජනතාව මතක තබා ගනු ඇත.

අද විමසුම පිටපත - දිනුක ජයකොඩි


15 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

අංකල් මයා | Mr. Uncle said...

මේ ආණ්ඩුව කරපු හොද වැඩත් තියනවා.උපහසාත්මක අරමුණකින් ලිව්වත් මේ ලිපියෙත් ඉට අදාළ යම් යම් කාරණා තියනවා.නමුත් මේ වන විට ආණ්ඩුව ගමන් කරමින් සිටින දිසාව අනුමත කරන්න බැහැ.

sAm (සෑම්) said...

//රට කුරිරු ත්‍රස්තවාදයෙන් ගලවාගත් අතිගරු ජනාධිපතිතුමාට //

ජනපතිතුමා, ජෙනරාල් සහ වී‍රෝධාර ත්‍රිවිධ හමුදාව ලෙස නිවැරදි විය යුතු..

// විපක්ෂය රජය අප්‍රසාදයට පත් කිරීම සඳහා විවිධ කරුණු ඇද දක්වමින් //

විපක්ෂය පමණක් නොව ආණ්ඩුවේ ඇතැමි පිරිස්ද ප්‍රසිද්ධියේ රජයේ දූෂණ විවේචනය කරනු මා දැක ඇත්තෙමි

//විපක්ෂයේ සැබෑ ජනතා නායකයන් අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට එක් වන්නේ //

බොහොමයක් එක් වුනේ තම වැරදි වසා ගැනීමට බව නොරහසකි. එසේ එක් වූ අය බොහොමයක් ජනාධිපතිතුමාට නිගා වෙන වැඩපිලිවෙලවල් දියත් කළහ. උදා - එලවලු කූඩ / Z - ස්කෝර්

//ස්ත්‍රී දූෂකයින් නිදහස් කළ ජේ ආර් ගේ පක්ෂයේ කිසිවෙකුටත් //

ඒ කාලේ වැරදි නිවැරදි කරන නායෙකයෙකු යැයි සිතා මහ රජු දිනවූ මුත් එතුමා ඒව මතක් කරමින් දැන්ද ඒවා ක්‍රියාත්මක කරමින් සාධාරණී කරනය කරනු දැක ඇත්තෙමි. ඔබද එය සාධාරණී කරනය කර ඇත.

//මෙකී සංවර්ධනයන් සිදු කරන්නේ තමාට ගෙන යෑමට නොව//

විපක්ෂය සහ රජයට සහය දක්වන ඇතැම් අය පවා යටි මඩි ගැහිලි ගැන දක්වන ප්‍රශ්න වලට නිසි උත්තර නොදී පලා යාමක් මා දැක ඇත්තෙමි..


පාට කණ්නාඩි දේශපාලනයට වඩා ජනතා වාදී දේශපාලනය උගත යුතුමය. අපද මහරජුට කැමැත්තෙන් සිටි මුත් ජනතා වාදීත්වද ඉස්මතුව අපටද ඔහු එපා වී ඇත්තේමය.

සෙන්නා said...

අනේ බම්බුව තමයි... තවටිකක් ඔහොම ගියොත් ලංකාවේ කන්ඩ නැතුව මිනිස්සු මැරුණා කියලත් අහන්ඩ වෙයි..

යුද්දේ කරපු එක හරි... එහෙමයි කියලා මේ නටන නාඩගම් ඔක්කොම අනුමත කරන්ඩ පුලුවන්ද..

යුධ්දෙ කරලා රට බේර ගත්තනම් ඒක හදන්ඩ ඕනා.. ඒ නැතුව පිස්සු නට නට ඉන්නවනම්.. ලඟදිම මිනිස්සුන්ගේ රතු ඉර පනියි...

ඕන් කිව්වා මේන් ගියා..

Missaka said...

එතකොට රැපියල බාල්දු කරගන්නේ ඇයි බලෙන්ම ?. ඒකෙන් රටේ මිනිසුන්ට වෙන බලපෑම කොච්චරද ඔබතුමාට තේරෙනවද ?
ඇමති මණ්ඩලය රටේ ජනගහණයට වඩා වැඩියි. ඒකට නාස්ති කරන මුදල් ප්‍රමාණය අඩු කලොත් වසරටකට කොච්චර මුදල් ප්‍රමාණයක් ඉතිරි වෙයිද ?

චතුර විජේකෝන් said...

හික්.. හික්... හික්.. හික්..///////////////

මාත් මෙහෙම ලිපියක් ලියන්ට සිතා සිටියෙමි.. ඒත් මේ තරම් අපූරුවට නම් එය ලියන්ට බැරි වෙන එක නං සහතිකය.. මේ ගුණමකු හැත්තට නොතේරුණාට අපේ ජනාධිපති තුමා හොඳ කෙනෙකි.. එතුමාගේ ඇමති මණ්ඩලය ඉතා හොඳය.. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වරුන් ගේ හොඳ කියා නිම කරන්ට බැරි තරම්ය.

ලෝක වෙළඳ පොලේ තෙල් මිල සුළු අනුපාතයකින් ඉහල යන විට මෙහේ විශාල අනුපාතයකින් ඉහල යන්නේ අපේ රටේ ඇති අති සංවේදී ගුණය නිසා බව අප තේරුම් ගත යුතුය.. අනෙක් අතට විදුලි ගාස්තු වැඩි කරන්ට සංශෝධන ගෙනෙන්නේ නැතිව ගැලපුම් ගාස්තුවක් ගෙන ඒම කොයි තරම් කාලෝචිත දැයි කල්පනා කළ යුතුව ඇත..

මේ රජයේ අධ්‍යාපන ඇමති වරයා විසින් අනිවාර්‍යයෙන් නිවැරදි කළ යුතු දෙයක් තිබේ.. ඒක ඒ කාලේ ඉඳං අපගේ විෂය නිර්දේශයේ තිබුණු වැරැද්දකි.. එනම් අප රටේ විදුලිය නිපදවන්නේ ජලයෙන් යැයි පට්ටපල් බොරුවක් අපට ඉගැන්වීමය. එම කරුණ නිවැරදි නම්.. මේ කවිය වැරදි විය යුතුය..

මහවැලි, කැලණි, වලවේ, කළු යන ගංගා
සමනොල කන්ද මුදුණේ සිට පැන නැංගා
බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා
මේවා ගලයි මිණි කැට දිය යට හංගා

සමනොල කන්ද මුදුනේ සිට ආවා නම් ඒ වතුර ටර්බයින තුළින් යවන්නට ඩීසල් පොම්ප අවශ්‍ය නොවනු ඇත. එහෙයින් මේවා ඇවිත් ඇත්තේ වෙන තැනක ඉඳන් විය යුතුය..

මේ කවිය කීමෙන් ගංගා සිඳී යාමේ අවදානමක් ඇතිවිය හැකි බවට විපක්ෂය හඬ නැඟුවොත් පුදුම විය යුතු නැත. අපගේ ගරු ආරක්ෂක ලේඛම් තුමා විසින් සිය පිරිස යොදවා ගංගා සින්දවා මිණිකැට හොයන බවට ඔවුන් අලුත් මතයක් පතුරවන්නට ද බැරි නැත.

කොහොම වෙතත් ඔය විපක්ෂේ අයට තමන්ගේ පිරිසවත් ඒ අයත් එක්ක රඳවා ගන්ට බැරිව තියෙන්නේ අතීතයේදී ඒ අය කළ වැරදි නිසාය. ඒ අතින් ආණ්ඩුවේ ඉන්න අය කලිං එහෙම කර තිබුණත් කමක් නැත.

අනිත් එක ජනාධිපති තුමා රනිල් මෙන් කළු සුද්දෙකු නොවේ. හොඳ සිංහල බෞද්ධයෙකි (නමට Percy කෑල්ලක් දමා ඇත්තේ රනිල් ලා ගේ කුමන්ත්‍රණයක් අනුව විය හැක) . මේ වගේ තැන් වල.. එතුමා බමුණු මත ධාරියෙක් බැවු කියා ඇතත්.. එහෙම නරක කතා කියන්ට හොඳ නැති බැවු අපි මතක් කරමු..

මේ අයුරින් ගත් කල, මේ සුළු තෙල් වැඩි වීමක් අල්ලාගෙන, විදුලි ගැලපුම් ගාස්තුවක් අල්ලාගෙන කෑ ගැසීම අන්තිම වැරදිය. අප නිතරම යන හයිවේ එක කොයි තරම් අපූරුවට නිමවා තිබේද? (අප කලාතුරකින් යන A4 හෙවත් හයිලෙවල් පාරේ උඩ පැන පැන යන්නට සැලැස්වීමද ඉතා විනෝදාත්මක අවස්ථාවක් බව ද මෙතැනදී මතක් කරමු)

Unknown said...

හම්බන්තොට වරායේ ගලක් ලු නේද?
නෙළුම් පොකුනද විලද පටං ගත්තේ චන්ද්‍රිකාලු නේද?
හයිවේ එක ආයි දෙපැත්ත කඩලා ලයින් 6 කරන්න යනවලු නේද?
ගෝල් ෆේස් එක ගොඩකරලා හදන ටවුම අවුරුදු 99 ගියාමලු නේද අපිට හම්බෙන්නේ..

f vinol said...

ලන්කාවෙ විතරක් නෙවේ ජපානෙත්,සියලුම භාන්ඩ සදහා පනවා ඇති බද්ද 5% සිට 8% දක්වා ඉහල නැන්වීමට තීරනය කර ඇත,ජවිපෙ ඉතින් හැමදාම කළේ පිකටින් කරන එකය.කවුරු කොච්චර කෑගැහුවත් බලයට ආපසු කරන්නෙ එකම දෙයය,අද ආණ්ඩුවේ සිටින ඇමතිවරු ඊළග ආණ්ඩුවේද ඇමතිවරුය.

Anonymous said...

රටේ ඉන්න ජනතාව ගැන හිතන්නැතුව රට සංවර්ධනය කරලා වැඩක් වෙයිද? ඔය දැනට කරලා තියෙන දේවල් වලින් දුප්පත් අහිංසක මනුස්සයෙකුට ඇති වැඩේ මුකක්ද? හයි වේ එකේ යනවද? නෙලුම් පොකුණේ නටනවද? දැයට කිරුළට වෙන්කළ කෝටි 2100 ජනතාවගේ සුභ සිද්ධියට යෙදෙව්වනං මුනා වෙනවද?ඒවගෙන් ලැබුණු ආදායම් වලට මුකද වෙන්නේ. පළාතකට විදුලි බලය දීපු ටැම්පාන ජලාශයේ වතුර ඇරලා ඒ විශාල ගල කඩන්නේ මොන මගුලකටද? ඇස් බැන්දුම් වලට රැවටෙන්න එපා. එදා රැවටුණු නිසා තමයි ජනතාව මේ වගේ දුකක් විදින්නේ. හිතට නෙවෙයි මොලයට තැන දෙන්න.

Anonymous said...

ane e unata dan elawalu ganan adu welane. e ay?

ක්සැන්ඩරයා said...

මමත් මේ රට යන විදියට කැමති නෑ. රටේ සුළු අදායම් ලබන ජනතාවට උන්හිටිතැන් අහිමි වෙන විදියක් තමයි මතුපිටින් නම් පෙනෙන්නේ. එත් එකක් කියන්නම ඕනේ. මේ සියලු දේවල් අර කිව්වත් වගේ පුද්ගලයෙකුට ගෙනියන්න බැරිවෙන්න පුළුවන්. එත් අවුරුදු 99 ගිහින් හරි ගෝල්ෆේස් එකේ හැදෙන නව නගරය ලංකාවට ලැබෙනවා. හයිවේ එකත් එහෙමමයි. ඔය හදන නෙලුම් කුලුන වුනත්. මට දැනගන ලැබුන ඩිස්නිලන්තයකුත් හදනවා කියල.

එකපාරම දේශපාලන වාසි බලාගෙන අපි මේ දේවල් වලට විරුද්ධව කෑගහන්න පුළුවන්. රටේ ජනතාවගෙන් බැලුවාම එකේ ඇති වරදකුත් නෑ. මොකද ජීවත් වෙන්න, බඩු ගාණ ? බඩු මිල අහස උසට. ඉතින් බුදු හාමුදුරුවොත් කිව්වනේ කුසගින්නේ ඉන්න කෙනෙකුට බණ කියල වැඩක් නෑ කියල. ඒ වගේ රටේ ජනතාව පීඩා වෙලා ඉන්න මේ වෙලාවේ මේ දේ කියල ඒ අයට එක තේරුම් කරන්න අමාරුයි.

දැන් රටේ ජනතාව හිතන්නේ යුද්දෙත් ඉවර වෙච්ච එකේ ඒ සල්ලි වලින් ඇයි බඩු මිල අඩු කරන්න බැරි කියල. ඒ අයට දොස් කියන්න බෑ, යුද්දේ වෙනුවෙන් මිනිස්සු සැහෙන කැපකිරීම් කළා. එත් මේ සංවර්ධනේ කරන්නේ අදට නෙවෙයි හෙටටයි. මේ සංවර්ධනෙන් අද අපිට පේනවට වඩා යමක් හෙටට සිදුවන්න නියමිතයි. මේ නගර වලට එන විදේශිකයින් වියදම් කරන සල්ලි යනෙන් අපේ රටේ ජනතාවට. මොකද නගරේ අයිතිය කාට උනත් ඒ ගෙවල් කුලී, සාප්පු කුලී වගේ ඒවා ගන්න විතරයි. සේවකයෝ ඉම්පෝර්ට් කරන්නේ නෑ. ඒ සේවකයෝ අපේ අය. ඉතින් ඔය නගරේදී වියදම් කරන සල්ලි වලින් පඩි ගෙවන සමාගම් වල වැඩ කරනෙන් අපේ මිනිස්සු. ඩිස්නිලන්තේ උනත් එහෙමයි. එතනින් එන රැකියා උත්පාදනය ගැන කවුරුත් කතා කරන්නේ නෑ. ඒ රැකියා අපිටමයි. අධි වේගී මාර්ගයේ ගමන්කරන අය එහෙම යන්නේ තැනකට ඉක්මනින් යන්න. එකෙන් ඉතුරු වෙන්නේ රටේ කාලය. ඒ එහෙම යන කෙනා හෙමින් යන කෙනෙකුට සාපේක්ෂව කාලයක් ඉතුරු කරගෙන වැඩි වැඩ කොටසක් කරන්න හැකියාවක් ලැබෙනවා.

දැන් ගොඩක් රටවල් මේ සංචාරක ප්‍රවර්ධනය කියන දේ තුලින් ලාබ ලබනවා. ඉතින් ඔය දේ තමයි ලංකාවෙත් කරන්න හදන්නේ. එත් ජනතාවට සහන දෙන්න ඕනේ. අනවශ්‍ය වියදම් රජය අඩු කරා කියල පෙන්නන්න ඕනේ. ඇමතිලා දුසිම් ගණන් ඉන්න කැබිනට් තියන රටක ආණ්ඩුවට විවේචන එල්ල වෙන එක අරුමයක් නෙවෙයි. ඇමති මැතිවරුන්ටත් පටි තදකරගන්න වෙනවා. තමන්ගේ වියදම 50% වත් කපා හරින්න වෙනවා. ඒ කොහොම උනත් මේ වගේ විලි සන්ගේ නැති එවුන් පාර්ලිමේන්තු යවපු අපිට මෙහෙම වෙන එකත් හොඳ පාඩම්.

දිනුක said...

අපේ අප්පෝ කට්ටියගේ කොමෙන්ට්වල දිග............ඉතිං වෙන වෙනම ඔක්කොටම රිප්ලයි කරන්නැතුව මම එකකින් කියන්නං.

කට්ටිය කියවලා තියෙනවද ආර්ථික කුලී ඝාතකයාගේ පාපොච්ඡාරණය කියලා පොතක්.ඒ දවස්වල විමල් අයියා සෑහෙන්න මේකට පබ්ලිසිටියක් දුන්නා.ඒකෙ තියෙන්නෙ කොහොමද ඇමරිකාවෙ කට්ටිය පොඩි පොඩි රටවල්වලට දරාගන්න බැරි විදිහට ණය දීලා ඒ රටවල් වට්ටන හැටි.ඒ ණය දෙන්නෙ ඒ රටවලට ඇත්තටම අවශ්‍ය නැති යෝධ සංවර්ධන ව්‍යාපෘතිවලට.ඒ අය කොහොමද රාජ්‍ය නායකයින්ව අල්ල ගන්නෙ, කොහොමද ඒ රටවල ණය බර හින්දා දුප්පත් මිනිස්සු තැලෙන්නෙ කියලා හොඳට විස්තර කරලා තියෙනවා.

දැං විමල් අයියා කඩේ යන හින්දා උන්දැට පොත අමතක වෙලා ඇති.අනික ඇමරිකාවෙන් නෙමෙයිනෙ දැං චීනෙන් නෙ මේවා දෙන්නෙ.අවුරුදු 99ක් ගිහිං ඕවායේ පල පොරොජන අපේ රටට එනකං කට ඇරං බලං ඉඳපල්ලා.නාමල් බේබිලා හොඳට ආරලා එද්දි තොපේ ඉළ ඇට මතු වෙන හැටි ආඩම්බරෙං බලං ඉඳපල්ලා.ගන්න ණයවලිං තුනෙන් දෙකක් ගසා කාලා ණය ගෙවන්න තොපිට බදු ගහද්දි කන්න නැතුව වැසිකිළිවලිං ඇති වැඩක් නැති හින්දා ඒක කඩා දාලා එතනත් රජතුමාගෙ ලොකු සයිස් කටවුට් එකක් ගහලා උදේ හවහ මල් පූජා කරපල්ලා................

වර්ණා said...

හොඳ වැඩත් තියෙනවා නැත්තේ නෑ

Asa said...

වර්ණා කියන කතාවට මාත් එකගයි.

Sandamal said...

උඹ නාඩං අපිට පිස්සු :-D

වින්චැට් කිරිල්ලි. said...

මට දේශපාලනය ගැන කිසිම දෙයක් තේරෙන්නෙ නැහැ..(අනේ වාසනාවන්.)ඒත් ලංකාවට ගියාම ඉස්සරට වඩා අලුත් දේවල් පේනව ඉස්සරට වඩා දියුනුවක් තියන පාටක් නම් පේනව..ඒත් අනේ මන්ද ....

Post a Comment

පි‍ටු පෙරලපු ගාන