කැම්පස් යන නංගිලා මල්ලිලා වෙත ආදරයෙන්...

Friday, February 3, 2012
මේ ලිපිය ක්සැන්ඩරයා ගේ කොළමේ 26/01/2012 දින පලවූ ලිපියක් නැවත පල කිරීමකි.



කැම්පස් යන නංගිලා මල්ලිලා වෙත ආදරයෙන්...


අවුරුදු 13 ක පාසල් ජීවිතෙන් පස්සේ තවත් හොඳට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් නෝනා කෙනෙක් වෙන්න හිතාන කැම්පස් එකට අඩිය තියපු ඔයාල කරන කියන දේවල් දැක්කම මට මේක නොකිය ඉන්න හිතක් ඇත්තෙම නැති තරම්.

පුංචි බැංකු කෑල්ලක එල්ලිලා පස්ස හිරිවටෙනකම් ටියුෂන් ගිහින් ඉගනගන්නකොට හැමදාම අපි හිතුවේ කොහොමහරි පාස් වෙලා කැම්පස් යනවා කියල. ලෙවල් කරනකොට අපි හිතුවේ කවදාහරි ඒ ලෙවල් පාස් වෙලා කැම්පස් යනවා කියල. ඊටත් කලින් අපි හිතුවේ මං දොස්තර මහත්තයෙක් වෙනවා.. ඉංජිනේරුවෙක් වෙනවා කියල. ඉතින් එහෙම හිතාන අපි රෑ එළිවෙනකම් කකුල් වතුරේ ඔබාන පාඩම් කලා.. බනිස් ගෙඩියක් බත් මුලක් අරන් ගිහින් කාල පන්ති ගියා.. මහා අව්වේ කර වේවි.. මහා වැස්සේ තෙමි තෙමි.. අපි ඉගනගත්තේ අපේ හීනේ හැබෑ කරගන්න..අපේ අම්මල අප්පච්චිලා දහ දුක් විඳලා හම්බ කරලා උගැන්නුවාට ඒ අයට පස්සේ කාලෙක සලකන්න..

ඉතින් එහෙම ඉගනගෙන කැම්පස් ආපු ඔයාල මේ දවස්වල කරන අරගල ගැන දැක්කම මට හිතෙන්නේ ඔයාල ලංකාවේ බෙලහීන දේශපාලනේ තවත් එක ගොදුරක් වෙලා කියල. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් හැටියට කොන්ද කෙලින් තියාගන්න ඕනේ ඔයාල මේ ලංකාවේ වැදගම්මක් නැති දේශපාලන බලවේග වල තවත් එක අතකොලුවක් වෙලා. ඉගනගන්න ආව ගමන පැත්තක තියල රූකඩ ශිෂ්‍ය ව්‍යාපාර ගෙනියන බොළඳ රැල්ලට අහුවෙලා ගහගන ගිහින් ඉන්නවා දැක්කම මටනම් හිතට වේදනාවක් දැනුන..

මමත් ඔයාල වගේම පන්ති ගිහින් ඉගනගෙන විභාග ලිව්වත් කැම්පස් යන්න හම්බවෙන 20000 වන ශිෂ්‍ය ප්‍රජාවට අයත් නොවුණු කුලකයේ එකෙක්. එත් මගේ පූරුවෙ වාසනාවට මගේ අම්මලාට පින් සිද්ධ වෙන්න මම පුද්ගලිකව ඉගෙනගෙන අද ගොඩක් හොඳ තැනක ඉන්නවා. එත් මගේ එක්ක එක පන්තියේ ඉගනගෙන කැම්පස් ගියපු සමහර යාලුවෝ අද මං ඉන්න තැනට කිට්ටුවට එන්නත් බැරිව ඉන්නවා. එහෙම උනේ එයාල ඉගනගන්න අදක්ෂ නිසාවත් වෙන දෙයක් නිසාවත් නෙවෙයි. ඒ අයත් ඉගනගත්ත. එත් කැම්පස් වහද්දි ගෙවල් වලට ගිහින් ආයේ අරිද්දි ඇවිත් ඉගෙනගෙන අපහු වහද්දි ගෙදර ගිය එකේ කාලය එයාලට නොලැබුන හින්දයි එහෙම උනේ.. එයාල කාලය එක්ක තිබ්බ රේස් එකෙන් පැරදුණා.. ඉතින් එයාලට උනෙත් කැම්පස් වල දේශපාලන අතකොලු වෙන්න. පිකට් කරන්න කඳුළු ගෑස් කන්න පොලිසි උසාවි වල රස්තියාදු වෙන්න කාලය වැය කරන්න. ඒ කරපු දේවල් වලින් රටට වෙච්ච යමක් නෑ. තමන්ගේ කාලය නැති උනා මිසක්..



අරගල කරන්න ඕනේ. ඒකත් එක සොඳුරු අත්දැකීමක්.. ඒත් සීමාවක් ඇතුව. අද දකින අරගල සීමා මායිම් නැති හුදෙක් චන්ඩිකම් කරන අරගල වෙලා.. මිනිස්සුන්ට ගහන්න ගෙවල් වාහන කුඩු කරන්න මිනිස්සුන්ගේ ගමනාගමන නිදහසට බාදා කරන්න අද අරගල වෙසින් ශිෂ්‍යයින් මෙහෙයවනවා. ඇත්තටම රටේ බුද්ධිමතුන් කියාගන්න ඔයාලට තරම් වැඩ නෙවෙයි නේද මේ? 

ඔය අතරේ කැම්පස් වල තියන වර්ගවාදී පටු භේද ආදිය මටනම් හිතෙන්නේ කුහක කමින් කරන කෙනහිලි කියල. මේ කැන්ටිම තියෙන්නේ දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට ඒකට තොපි එන්න ලජ්ජා නැද්ද? ඔය හොඳ හෝටල් තියෙන්නේ ගිහින් කාපියව් කියල බඩගින්නට කන්නට එන තමන්ගේම ෆැකල්ටියේ තවත් එක ශිෂ්‍යෙක්ට ශිෂ්‍යාවකට කියන්නේ පටු පන්ති භේදය මුල් කරගත් කුහක කමෙන් නෙවෙයිද? ඇත්ත සමහරුන්ට හොඳට සල්ලිය බාගේ තියෙන්න පුළුවන් ඒත් ඒ දරුවත් එන්නේ ඉගනගන්න. සමහරුන්ට පේන තරමට සල්ලි නොතියෙන්නත් පුළුවන්. ඉන්ටර්නැෂනල් ස්කුල් වලට ගියපු උන් එන්නේ නෑ කවදාවත් ඔය කැම්පස් වලට. උන් එංගලන්තේ ඇමරිකාවේ යයි. එහෙනම් මේ කාටද මෙහෙම කියන්නේ?

තව දෙයක් තම කැම්පස් රැග. පොඩි විහිළුවක් දෙකක් කරන අහිංසක රැග නම් ඕනේ කෙනෙක් එපා නොකියාවී. ඒත් දැන්? ලිංගික අසහනකාරයෝ අසහනකාරියෝ රෑනක් ම කැම්පස් එකේ ඉන්නවා කියන්න පහුගිය ටිකේ පුවත්පත් වල ගිය පුවත් ප්‍රමාණවත්. කෙල්ලන්ගේ කොල්ලන්ගේ කියල වෙනසක් නැතිවම මේ එන්නෙත් අර තියන කුහකත්වයේ තවත් එක පැතිකඩක්.

ඉතින් ඉස්කෝලෙන් හොඳට ගිය එකා කැම්පස් ගියගමන් මේ වෙනස් වෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නය ඔබට බාරයි.. හිතන්න.. රටේ හෙට දවස ඔබ අතේ නම් අද ඔබ හොඳ පුරවැසියෙක් විය යුතුයි. ඔබේ කාලය නාස්ති නොකර ඉගනගන්න.. තරඟකාරී ලෝකයේ තරගයට ඉක්මනින් පා නගන්න.. අපි බලන් ඉන්නම්..

එසේනම් කඩතුරා ඉරා සත්‍ය දකින්න කාලයි මේ....

13 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

අවතාර් said...

ඇත්ත සමහරු දැන හෝ නොදැන තමන්ගේ විතරක් නෙවෙයි දහස් ගාණක අහින්සකයිනගේ බලාපොරොත්තු නැති කරනවා

Love for all said...

හ්ම්ම් කතාටික නං සහතික ඇත්ත..

Anonymous said...

මේ ලිපිය පුරවටම ඈත්තේ කුනුම කුනු ඕජස් ගලන මමත්වයම පමනයි.
මේක ලියපුකෙනාගේ අදහස් හා අද අපි හෑමෝම බනින, රටකන දේශපාලුවන්ගේ අදහස් අතර කිසිම වෙනසක් නෑ.මොකද දෙගොල්ලන්ම කරන්නේ අනුන්ගෑන රටගෑන නොසිතා තමුන් ගෑන සිතීම.
ඵ් දේසපාලුවන් තමුන්ගෑන පමණක් හිතමින් රටකනවා.
ඔබලා රටගෑන දුප්පත් අසරන හෑමදාම රෑවටෙන ජනතාව ගෑන නොසිතා තමන් ගෑනම සිතමින් ඵ් රටකෑම ගෑන නිහඩව බලාගෙන ඉන්නවා.
ඉතින් මොකද්ද මේ දෙකේ වෙනස????????????????????????????

Unknown said...

ජෙප්පෝ තමා අහිංසකයන්ව මේවට පොළඹවන්නේ......

නදුන් උයන said...

අපේ රටේ සරසවියකින් ඉගෙන ගත්ත මටත් කියන්න තියෙන්නේ අපේ රටේ සරසවියක නොවී ඔබ කියු කතාවමයි.

ඒත් ආණ්ඩුව පැත්තෙන් දැන් සිද්දවෙන දේවලුත්, අනුමත කරන්න අමාරුයි...

ක්සැන්ඩරයා said...

@ දිලුෂ නුවන් : ඔයාගේ කතාව සහතික ඇත්ත. ඒකෙන් එයාලගේ විතරක් නෙවෙයි, රටේ අනාගතෙත් අඳුරු වෙනවා.
@ Love for all: බොහොම ස්තුතියි ඔබට.

Miyuru said...

මම ඔයා කියපු මේ කතාව කෝණ කිහිපයකින්ම දැකල තියෙනව... ඒ නිසා මේ කියන බොහෝ දේවල් ඇත්ත කියලා අත්දැකීමෙනුත් ඇහු දුටු දේවලිනුත් දන්නවා.....

The තරුවා said...

හ්ම්...කතාව ඇත්ත....

ක්සැන්ඩරයා said...

ඇනෝ. මට කියන්න ඇත්තෙත් ඔබ කියූ දේ ඔබටත් අදාලයි කියන එක විතරයි.

ඔබ නොදුටු ලොවක් : ජෙප්පෝ වගේම දේශපාලනේට කඩේ යන ඔක්කොම තමයි ඉතින් මේවා කරන්නේ. ඒ අය ළමයි ගැන හිතනවට වැඩ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ගැන හිතන හින්ද ඔය දේවල් කරන්නේ.,

නදුන් උයන. ඔයා මේ කතාවට වැදගත් දෙයක් එකතු කලා සහෝ. ඇත්ත. ආණ්ඩුවේ ක්‍රියාකලාපය හරි කියල මම කොහොමත් කියන්නේ නෑ. ඒ වැඩේ සහමුලින්ම වැරදි. එයාල දේශපාලන බල මඩින්න ගෙනාව පොලිස් හමුදාවල් වලට අහුවුනේ ඇත්තටම ඔයදෙවල් වලට ළමයි පොලබවපු අයමද? අනිත් එක ඒ වගේ උණුසුම් වාතාවරණයකට පොලිසිය ගෙනත් දාල මැදිහත් කරාම හරිද? නෑ. එකයි මම කියව්වේ දේශපාලකයන් ළමයින්ගේ කරෙන් එයාලගේ අරමුණු වලට යන්න හදනවා කියල. මේක පක්ෂ විපක්ෂ දෙකටම අදාළ දේශපාලකයින්ට කියපු දෙයක්.

දිනුක said...

සහෝදරයා කියන දේත් ඇත්තක් තියෙනවා.ඒ වගේම මේ දවස්වල මාධ්‍යයෙන් පෙන්නන දේවල් ඔක්කොම ඇත්ත කියලා හිතලා ගෙඩි පිටින් ගිලින්න එපා කියලත් කාරුණිකව ඉල්ලා හිටින්න ඕනෙ.මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට දන්නවා මේ දවස්වල විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ නම කෙළෙසන විදිහේ මාධ්‍ය මාෆියාවක් අණ්ඩුවේ උවමනාවට ක්‍රියාත්මක වෙනවා කියලා.ශිෂ්‍යයො අරගල කරනවා කියලා බණින එක ලේසියි ඇත්තටම ශිෂ්‍යයින්ට අවශ්‍ය දේවල් දෙනවට වඩා.

උදාහරණයක් විදිහට, කැළණිය විශ්වවිද්‍යාලය තමයි මම හිතන විදිහට ලෝකෙ එකම විශ්වවිද්‍යාලය නාට්‍ය හා රංග කලාවට උපාධියක් දෙන, රංග ශාලාවක්වත් නැතුව.
සබරගමුව විශ්වවිද්‍යාලය තමයි ලෝකෙ එකම විශ්වවිද්‍යාලය ක්‍රීඩාව සම්බන්ධව උපාධි පිරිනමන, ක්‍රීඩා පිට්ටනියක්වත් නැතුව.
සෞන්දර්ය විශ්වවිද්‍යාලෙටම තියෙන්නෙ බටනලා 5ක් විතරක්නං සහ පේරාදෙණියේ සම සෞඛ්‍ය පීඨයේ ළමයින්ට දේශන සඳහා අවශ්‍ය ප්‍රොජෙක්ටර් එකක් ගන්නත් පිකට් එකක් කරන්නම වෙනවනං ඔය කරන චෝදනාව ටිකක් අතිශයෝක්තියෙන් කරන එකක්ය කියලා හිතෙන්නෙ නැද්ද?

රජරට ළමයි පිකට් කරන්නෙ මහාචාර්ය ඒකකයක් ඉල්ලලා.ඒක නැතුව ඒ ළමයින්ට වෛද්‍ය උපාධිය ඉවර කරගන්න බෑ.
ජ'පුරෙ ළමයි පිකට් කරන්නෙ අර එයාම එයා සෝවාන් කියලා කියා ගන්න සහ කෙල්ලන්ගෙ කන්‍යාභාවය පරීක්ෂා කරන්න යන මානසික රෝගියාව අයින් කරන්න කියලා.

මේවා තමයි ප්‍රශ්න.ටී වී එකේවත් පත්තරවලවත් මේවා පෙන්නන්නෙ නෑ.ජෙප්පන්ගෙ ගොං වැඩ හින්දා ළමයින්ට තමංගෙ ප්‍රශ්නයක්වත් කතා කරන්න බෑ, ජෙප්පො කියලා හංවඩු ගහනවා.මොකද ඉතිං කරන්නෙ.

ආ තව එකක්, පුද්ගලික ආයතනයකින් ඉගෙනගෙන හොඳ තැනකට එන්න පුළුවන් වෙන්නෙත් කැම්පස් යන ළමයින්ට එහෙම බැරි වෙන්නෙත් ඒ ළමයින්ගෙ වැරැද්දක් හින්දම නෙමෙයි.

උදාහරණයක් විදිහට පේරාදෙණියේ උගන්වන්නෙ තාමත් 1970 ගණන්වල භෞතික විද්‍යා විශය නිර්දේශය.ඉතිං කැම්පස් ළමයි අනිත් අයට වඩා පස්සෙන් ඉන්න එක අහන්නත් දෙයක්ද?

ඉතිං අරගල නොකර කොහොමද?

ක්සැන්ඩරයා said...

සහෝදරයා ඔය කියන කතාව ඇත්තටම මගේ කතාවේ එක අඩුවක් පිරෙව්වා. මම මගේ පසුබිම කියන්නම්, මගේ බිරිඳ පේරාදෙණියේ සම සෞඛ්‍ය පීඨයේ මුල්ම කණ්ඩායමේ කෙනෙක්. මගේ නංගි අද පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ ඉගනගන්නවා. ඉතින් මම ඔය කතාවේ දෙකොනම බොහොම හොඳින් දන්නවා. ඉතින් මට මාධ්‍ය මාෆියාවෙන් රැවටෙන්න ඕනේ නෑ.

ඇත්ත, උද්ඝෝෂණ කරන්න ඕනේ, මොකද මම දන්නවා පේරාදෙණියේ සම සෞඛ්‍ය පීඨයේ වෙච්ච දේවල් ටික වගේම පේරාදෙණියේ විශ්වවිද්‍යාලෙ තිරෙන් පිටිපස්සේ උන දේවල් ටිකත්. ඉතින් එහෙම වෙනකොට උද්ඝෝෂණ කරන්න ඕනේ. මතකද ඔය සම සෞඛ්‍ය පීඨයේ ළමයින්ට රෝහල් වල ප්‍රයෝගික ක්‍රියාකාරකම් කරන්න දෙන්න බෑ කියල දොස්තරවරු කිව්වාම ළමයි පිකට් කරා. මතකද එදා ඒකට තිබුණු මහජන මතය? ඒ මතය ශිෂ්‍යයින්ගේ පැත්තට නේද තිබුනේ? ඒ සාධාරණ උද්ඝෝෂණ . ඒ වුනත් අද මේ නිදහස් අධ්‍යාපනේ විකුණන් කෑමක් ගැන කියන ශිෂ්‍යයෝ දන්නේ නැතිද දන්නේ නෑ APIIT ACBT වගේ ආයතන හරහා කරන්නෙත් ඒ විදියේ පිටරට විශ්වවිද්‍යාල වල තියන උපාධි යම් මුදලක් ගෙවන්න පුළුවන් විදියෙන් පුද්ගලිකව ඉගනගන්න පහසුකම් සලස්වන එක බව. ඒ වගේම ඒ කෑගහන ශිෂයෝ දන්නේ නැතිද දන්නේ නෑ ඒ උපාධි සඳහා බොහොමයක් ළමයි ලියාපදිංචි වෙනවා කියන එක.

ඉතින් වෙන්න ඕනේ සහෝ ඔයා කියන්නා වගේ අපේ විශ්වවිද්‍යාල වල උපාධි පාඨමාලා වෙනස් කරන එක. අද කාලෙට ගැලපෙන විදියට ඒවා අලුත් කරන එක මුලින්ම. ඒකට මමත් සීයට සීයක්ම එකඟයි. මොකද පේරාදෙණියේ ළමයින්ට උගන්නන්නේ තාමත් ms dos ඒ වගේම ළමයිනුත් තමන්ට හැකි පමණින් නව ලෝකෙට පිවිසෙන දැනුම ගන්න ඕනේ. පරිඝනක දැනුම ඉංග්‍රීසි දැනුම කාටවත් පොවන්න බෑ. ඒ වගේම ඒ දැනුම තියන උන්ට ඉරිසියා කරලා, වල කපන්න හදල දිනන්නත් බෑ. මගේ මිතුරෙක් හිටියා, මිනිහ ඒ කාලේ ඉංග්‍රීසි ඉගනගන්න අකමැතියි. පරිඝනක?? වහ කදුරු. මිනිහා ඉතින් ඔය දෙක දන්නා උන්ට බනිනවා උන් සුද්දොන්ට අහවල් එක දෙන්න යනවා කියල. ඒත් කාලෙකින් පස්සේ වැඩ ලෝකෙදි මට මිනිහා හම්බවෙනකොට හිටියේ ඉංග්‍රීසි හා පරිඝනක පාඨමාලා හදාරමින්. මම ඇහුව ඇයි කියල මේ වෙනස. එතකොට කියනවා මචං මේ දෙකට ඉස්සර බැන්නට මෙව්වා නැතුව හොඳ ජොබක් ගන්න බෑ බං කියල.

" ආ තව එකක්, පුද්ගලික ආයතනයකින් ඉගෙනගෙන හොඳ තැනකට එන්න පුළුවන් වෙන්නෙත් කැම්පස් යන ළමයින්ට එහෙම බැරි වෙන්නෙත් ඒ ළමයින්ගෙ වැරැද්දක් හින්දම නෙමෙයි " මේ වෙන්නේ කැම්පස් යන ළමයින්ගේ වරදක් හින්දම නෙවෙයි කියන එකට මම එකඟයි. ඒත් එතන තව පොඩි පොඩි දේවල් ටිකක් ළමයින්ගේ පැත්තෙනුත් කරන්න බැරි වෙන්නේ නෑ.

ඉතින් මම කියන්නේ උද්ඝෝෂණ කියන දේ නිවැරදි ඉල්ලීම් වලට පමණක් යොමු කරමින් ඉගැනුමට වැඩි බරක් දෙන ගමන් ඉල්ලීම් දිනාගන්න කියල. එත් අද වෙන්නේ කාගේ හරි උවමනා වලට කඩේ ගිහින් පාරවල් ගානේ කෑගහන කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් බවට විශ්ව විද්‍යාල ශිෂ්‍යන් පත්වෙලා තියන එක. එක ඔයාලට තරම් නෑ සහෝ. ඔයාල රටේ අනාගතේ. ඉතින් ශක්තිමත් කොඳු තියන අය තාම ඔයාල. ඒ වගේම ඔයාල බොහොම බුද්ධිමත්. එහෙනම් ඇයි මේ වගේ රැවටෙන්නේ දේශපාලන කැරට් අල වලට? ඇයි උන්ගේ තෙල කාල වමාරගන්න බැරුව ඉන්නේ?

Anonymous said...

බටහිර විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන ශ්‍රී ලංකික සිසුවාගේ යාච්ඥාව.
Posted on 2012 ජනවාරි 15 by Shan


දෙවියනි ලංකාවේ උසස් පෙළ සමත් වූ වහාම මාව සයුරෙන් එතර විශ්ව විද්‍යාලයකට යැවීමට දෙමාපියන්ට මුදල් ලබා දීම ගැන මා ඔබවහන්සේට ස්තුතිවන්ත වෙමි

දෙවියනි මාව ලංකාවේ විශ්ව විද්‍යාලයකට නොයවා අන්තර්ජාතිකව පිළිගත් විශ්ව විද්‍යාලයකට යොමු කිරීම ගැන මා ඔබට තුති පුදමි

දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියේ නම් අන්තරයේ තිරිසන් සිසුන් අතින් මා හිංසනයට ලක් වීමට තිබුණි මට එවැනි අවාසනාවක් උදා නොකර දීම ගැන මා ඔබට තුති පුදමි

දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගොස් විශ්ව විද්‍යාල දින නියමයක් නොමැතිව වසා දමන විට ඇතිවන කාලකන්නි හැඟීමෙන් මා මුදවාලීම ගැන මම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමි

දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියේ නම් එහි සිටින හීනමානකාරයන් , දේශපාලන උන කරට ගැසූ පිස්සන්ගේ තෙල් බෙදීම් ඇසීමට සිදුවන කම්පනයෙන්මා ගලවා ගැනීමට ස්තුති වෙමි

දෙවියනි ලංකාවේ උපාධියක් කොට රැකියා නොමැතිව රැකියාවක් ඉල්ලා පිකටින් වර්ජන කිරීමට පාරවල් දිගේ රස්තියාදු කිරීමට නොසලස්වීම ගැන මම ඔබවහන්සේට ස්තුතිය පුදමි.

දෙවියනි මාව ලංකාවේ විශ්ව විද්‍යාලයකට නොයවා මගේ ජීවිතය කාලකන්නි නොකොට මට මාර්ගය පෙන්වීම ගැන මම ඔබට අනේකවාරයක් කෘතඥ වෙමි

ආමේන්

ක්සැන්ඩරයා said...

තුන්වෙනි ඇනෝ..

මම මේ ලිපිය ලියල තියෙන්නේ සත්‍ය කරුණු පදනම් කරගෙන. ස්තුතියි ඔබේ ලින්ක් එකට. ඒ ලින්ක් ඒක මම කියන කතා ඔප්පු කරනවා.

හතරවෙනි ඇනෝ..

මේ වාදය යද්දී මම කොහෙන්දෝ මේ ටික කියෙව්වා. ස්තුතියි ඔබට.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන