මම උ\පෙ ලිව්වෙමි

Wednesday, August 17, 2011



උ\පෙ නං ඉවරයි.මට ඉවර උනාට තව ගොඩාක් අය දාහක් බලාපොරොත්තු තියං ලියනවා නොවැ.ඉතිං ඔන්න ඒ හැමෝටම හද පතුලෙන්ම ඒ කිව්වෙ මහා ප්‍රාචීරය කිට්ටුවෙන්ම සුභ පතනවා.

ඔන්න ඉතිං මම ගියානෙ මේ ආසියාවේ භයානකම අසීරුම දරුණුම පරීක්ෂනේට ආයෙමත් මූන දෙන්න.හප්පා මමත් ඉතිං කවදාවත් නැතුව නැගිට්ටා උදේ පාන්දරම.ඒ කියන්නෙ හයහාමාරට විතර.දත් එහෙම මැදලා සුදු කමිසෙට කලු කලිසමක් ඇඳලා හරියට ටෙක් එකේ කෝස් එකකට යනවා වගේ.

නමෝ විත්තියෙං දකුණු කකුල පෙරට තියලා මම ගියා මට මේ කෙරුවාවට මූන දෙන්න තියෙන ඉස්කෝලෙට.ඉස්සෙල්ලාම ගිහිං හොයාගත්තෙ ටොයිලට් එක කොහෙද කියලා.මොකද කලිං පාරක් මට විභාගෙකදි සුළුදිය පහකරගන්ඩ අවශ්‍යතාවක් ඇවිත් යාන්තං ගොඩ ගියේ.පේපර් එක දීලා විනාඩි විස්සක් ගියේ නෑ.මගේ පුංචි මුත්‍රාශෙ පිරිලා කට ගාවට.එදා මම වෛද්‍ය ඉතිහාසයම වෙනස් කරන සොයාගැනීමක් කළා.මිනිසාගේ බුද්ධිය තියෙන්නෙ මොළේ නෙමෙයි.මුත්‍රාශයේ.ඒකයි ඒක පිරිලා දැනෙන්න ගත්තම අපිට කිසිම දෙයක් හිතාගන්න බැරි.කොච්චර බුද්ධිමත් කෙනෙක්ට උනත් දෙකයි දෙකයි කීයද කියලා ඇහුවත් කියාගන්න බැරි වෙනවා.

කොහොම හරි සුළුදිය පහ කරලා අනාගතය පිළිබඳ බිය තුරන් කරගත්තට පස්සෙ මම එතන මම වගේම මේ අසිරිමත් විභාගයට මුහුණ දෙන්න ඇවිත් හිටපු සහෝදරයෙක්ගෙන් අහගත්තා ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය කොයි වගේද කියලා.ඒ කියන්නෙ මොන වගේ ප්‍රශ්නද එන්නෙ.අනිවාර්ය එව්වා තියෙනවද.කොච්චරක් විතර දිගට උත්තරයක් ලියන්න ඕනෙද වගේ දේවල්.අපරාදෙ කියන්න බෑ මේ කොලුවා කිසි පැකිලීමක් නැතුව කියලා දුන්නා කොහොමද ප්‍රශ්න එන්නෙ වගේ දේවල්.හිතිං මොනවා හිතුවද කියලානං මම දන්නෙ නෑ.

ඊට පස්සෙ මම ගිහිං ඔන්න මට අදාල තැන වාඩි උනා කියමුකො.මම නිකං සරත් ෆොන්සේකා යුද්ධෙට ලෑස්ති උනා වගේ තමයි මේකට ලෑස්ති උනේ.මම ගෙනත් තිබ්බා නිල් පෑන් පහකුයි කලු පෑන් එකකුයි පැන්සල් දෙකකුයි.ඉතිං ඔන්න ප්‍රශ්න පත්තරේ බෙදාගෙන බෙදාගෙන යනවා.රටේ කොල්ලො කෙල්ලො ලක්ෂ දෙකහමාරකිං විතර විසිදෙදාහක් තෝරන විභාගෙ.දැං පිටරට උං එන්න ගත්තම තවත් ටිකක් අඩුවෙයිනෙ.ඒක හින්දා අපි කියමු විසි එක් දාහක් තෝරන විභාගෙ.එකෙක් ඉතිපිසෝ ගාථාව කියනවා, තව එකෙක් පපුවෙ කුරුසෙ ලකුණු කරගන්නවා.මමත් පම්පෝරි සහ චාටර් වීම් අතරෙ අතරමං වෙලා.

කිරිසුදු පාට කොළේ.නිකමටවත් පැල්ලමක් නෑ.තරුණ ජීවිත සුඛිත මුදිත කරනවද අන්ත දුක්ඛිත කරනවද කියලා තීරණය කරන කලුපාට අකුරු ඇරුනාම.මම කියෙව්වා ප්‍රශ්න ටික මුල ඉඳං අගට, ආයෙ අග ඉඳන් මුලට.මාක් කරගත්තා ලියන එව්වා ටික(ලියන්ඩ පුළුවං ටික ). බෙදා ගත්තා එක එක ප්‍රශ්නෙට ගන්න කාලය.හුටා ඔරලෝසුවක් නෑ නේද මගෙ ළඟ.මගේ ඉස්මුදුනෙං තරු විසි උනා.මම බැලුවා වටපිට.හෝල් එකෙත් නෑ ඔරලෝසුවක්.ඔය ඉතිං අපි කොපි කරනවද බලන්ඩ, අපි මේසෙට පෑනෙන් ගහපුවාම කොළ ගෙනත් දෙන්ඩ ඉන්න එක්කෙනාගෙන් වෙලාව අහන්ඩ මට හිතුනෙ නෑ.මොකද සැරින් සැරේ වෙලාව අහන්ඩ ඒ උන්දැව මගේ මේසෙ ළඟට ගෙන්න ගන්ඩ මගේ හිත දුන්නෑ.මගෙ දෙපැත්තෙ හිටියෙ කෙල්ලො දෙන්නෙක්.ඉස්සරහා තඩි කොල්ලෙක්.කොල්ලගෙන් වෙලාව බලනවා බොරු.උගෙ ඔරලෝසුව තියා උගෙ මේසෙවත් මට පෙනුනෙ නෑ උගේ පංචස්කන්දෙටම වැහිලා.

දෙපැත්තෙ කෙල්ලො දෙන්නා අපරාදෙ කියන්න බෑ ඔරලෝසු බැඳන් ඇවිත්.ඔරලෝසු දෙකම එක වගේ.එකකවත් ඉලක්කං පේන්න නෑ.ඔරලෝසු මූණත් සත විසි පහක කාසියකට වඩා ලොකු නෑ.පැය කට්ට විනාඩි කට්ට වෙන්කරලා අඳුන ගන්න වෙනම කට්ටක් කන්ඩ ඕනෙ.මට තියා අඩුම තරමෙ උන් දෙන්නටවත් උන්ගෙ ඔරලෝසුවල වෙලාව පෙනුනද දන්නෑ.දන්න තියරි ඔක්කොම දාලා කටු දෙක අඳුරගෙන ඒ දෙක අතර කෝණයත් හිතාගත්තට පස්සෙ ඉලක්කං කොයි පැත්තට තිබුණානං වෙලාව කීය වෙන්ඩ පුළුවන්ද කියලා හිතාගන්ඩ තවත් වෙලාවක් ගියා.කෙල්ලගේ අත උත්කුබ්ජනය වී ඇති විට ඔරලෝසු මූණතේ හයේ ඉලක්කම තිබිය යුත්තේ කොයි පැත්තේද?හපෙ හප්පෝ වෙලාව බලාගන්ඩම සෑහෙන වෙලාවක් කෑවා.කොහොම හරි කාලය කළමණාකරණය කරගෙන විභාගෙනං ලිව්වා.පාසුත් වේවි.පාස් උනත් ඉතිං තව ඔය අකුරු වගේකුත් දෙනවනෙ.මොන අකුරක් හම්බවෙයිද කියලා දන්නෙ උඩ ඉන්න දෙයියොත් පේපර් එක බලන උත්තමයත් විතරයි.

මට ආව ප්‍රශ්නෙ තමයි කෙල්ලො කවදාවත් පොඩි දේවල්වලට කැමති නෑනෙ.නිකමට අහල බලන්න 'සොඳුර අපගේ විවාහයෙන් පසු අපි අපේම ඉතා කුඩා කාමර එකකුත් කුස්සියක් හා වැසිකිලියක් පමණකින් යුක්තවන ගෘහයක වසමු ද?'කියලා.'මේ මාව ගෙනියන්න ඕනෙනං හොඳට අතපය දිගෑරලා ඉන්න පුළුවං තැනකට එක්ක යන්න.නැත්තං නිකා ඉන්න.අපේ අම්මලට අපිව බරක් නෙමෙයි හරි ද?' කියලා තමයි කියන්නෙ.හැබැයි ඉතිං මුල පටං ගත්තු කාලෙ ඔය සීනිබෝල ආදරේ යන කාලෙ නෙමෙයි.ඇත්තටම බඳින්නම සෙට් වෙලා කියලා බලන්න.ගෙදර පාවිච්චියට මරුටියක් ඇති කියන කෙල්ලෙක් හොයාගන්ඩ කොච්චර අමාරු ද?උන්ට ඕනෙම ලොකු කාර්.ටීවී එකක් ගත්තත් පුළුවං තරං ලොකු එකක්මයි හොයන්නෙ.අනික කොල්ලටත් හැමතිස්සෙම කියන්නෙ 'ඇඟ ටිකක් හදාගන්නවකො හැටි විතරක් පෙන්දෙක් වගේ' කියලමනෙ.

ඉතිං එහෙව් කෙල්ලන්ට තිබුණනෙ ටිකක් ලොකු ඔරලෝසුවක් බැඳගෙන එන්න.එහෙම උනානං මට අච්චර කට්ටක් කන්ඩ වෙන්නෑනෙ.

3 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Ranul Hashika Gomas said...

ඔව් ඒ වගේ ඔරලෝසු වල වෙලාව කියවන්න අන්වීක්ෂයක් ඕනා වෙනවා.

සැමදෙයක්ම බ්ලොග් සයිට්

සනෝජ් තරංග said...

විබාගේ හොඳට කලා නම් එච්චරයි

දිනුක ජයකොඩි said...

@Ranul Hashika Gomas : ඒක නොවෙන්නං මචං....

@සනෝජ් තරංග : හොඳට ලියන්න ඇති කියලානං හිතනවා.බලමුකෝ.ප්‍රථිපල එයිනෙ ඉක්මනට

Post a Comment

පි‍ටු පෙරලපු ගාන