මේ මගේ කතාවයි....

Monday, July 18, 2011

     "ආහ් මේ, මචං කැම්පස් ලබන සතියේ පටන් ගන්නවලු", "මයෙ පුතේ උඹලෑ වාසිටි කවද්ද බං පටන් ගන්නේ?", "හෙට කැබිනට් රැස්වීමක් තියනවලු, ඒකෙන් විසඳුමක් ලැබෙයි", "අම්මේ හෙට කැම්පස් එකේ පොඩි වැඩ වගයක් තියනවා", "අනේ මයෙ පුතේ ඔය පෙළපාලි වලට හෙම යනව නෙවෙයි", "කැම්පස් වහලලු නේද?", "තව මාස හයකට ඕවා ඇරෙන්නෙ නෑ", "හූ හූ මහලොකුවට ගියා කැම්පස්"......

     "කොල්ලො ඔය මොකෑ කරන්නෙ බත් එක කන්නෙ නැතුව ?", අම්මගෙ කටහඬ ඇහිලා තමා අයේ පියවි සිහියට ආවේ. "හා හා අම්මේ", ටිකක් උගුර බැරැණ්ඩි කරලා බර කට හඬකින් මම කිව්වා "මට කැම්පස් මතක් උනා". අම්මා ඇහුන නෑහුන ගානට යන්න ගියා. මම හිටියේ ගෙයි පිලේ අම්මා රෑට බෙදලා දීපු බත් එක කන ගමන්. එළියෙ කිසිම සද්දයක් නෑ රැහැයියන්ගෙ සද්දෙ ඇරුනහම. හෙට ඇසළ පෝය. ඒ හින්දා හොඳට හඳත් පායලා. බත් කද්දි මට මතක් උනේම ගොඩේ බත් එක. ඒක කොච්චර රස නැති උනත්, වෑඤ්ජන නැති උනත් මම ඒක කෑවෙ හරිම උජාරුවෙන්, හරිම ආඩම්බරෙන්. ඒත් ඉතිං මේ ටිකේ ගොඩේ බත් කන්න විදිහක් නෑනේ. කැම්පස් වහලානේ. මට මතක් උනා මේ ටිකේ කණ වැකුණු ඒවා ටිකක්. අනේ ඉතිං මට හිනා වෙන්න එපා. මම ඇත්තමයි කීවේ. මට මේ දවස් ටිකේ එහෙන් මෙහෙන් ඇහිච්ච ඒවා ටිකක් තමා ඔය. ඉන්නකො මම මුල ඉඳන්ම කියන්න.

     මගෙ නම සමන්ත. මම කොළඹට බොහොම දුර බැහැර පළාතක. අපේ ගමට කිව්වෙ නාරංකැටිය කියලා. මම තුන්දෙනෙක් ඉන්න පවුලක වැඩිමහලා. පොඩි කාලේ ඉගෙන ගත්තෙ ගමේ ඉස්කෝලේ. ශිෂ්‍යත්වෙ සමත් වෙලා තමයි. අපේ ගමට හැතැප්ම පහකින් හයකින් එහා තිබ්බ නගරේ ඉස්කෝලෙට ඇතුල් උනේ. බොහොම අමාරුවෙන් තමයි නගරෙ ඉස්කෝලෙට ගියේ. මට මතකයි අළුත් සපත්තු දෙකක්වත් ගන්න සල්ලි තිබ්බෙ නෑ. තාත්තා කුලී වැඩ කරේ. අපි හිටියෙ කටු මැටි ගහපු ගේක. මේක කියවද්දි ඕගොල්ලො හිතයි ඒවා තියෙන්නෙ මාටින් වික්‍රමසිංහ මහත්තයගෙ නවකතා වල, රේඩියෝ එකේ ටී.වී. එකේ යන කතා වල කියලා. නෑ ඇත්තමයි අපි ඉන්නෙ ඒ වගේ ගේක. තාත්තාට ගේ හදන්න කොච්චර ඕනෙ උනත් ඒ ගැන තවත් හිතලා, සල්ලි ටික ටික පොතේ දැම්මා මට ඉගෙන ගන්න කියලා. අම්මට, තාත්තා විඳින දුක බලං ඉන්න බැරුව මොනවහරි කරන්නං කිව්වට තාත්තා කැමති උනේ නෑ අම්මා දුක් විඳිනවා බලං ඉන්න. ඒ උනත් අම්මත් පොල් අතු වියලා, එළවළු පාත්තියක් වවලා සල්ලි ටිකක් හෙවුවා. කොහොම හරි යන්තමින් ජීවිතේ ගැටගහගත්තා. අමාරුකම් තිබ්බට අපි බොහොම සතුටින් හිටියා. ඔන්න ඔහොම ඉද්දි දවසක් ආරංචි උනා තාත්තට අනතුරක් වෙලා ටිකක් අමාරුයි කියලා. අපි දුවලා ගියා තාත්තා වැඩ කරපු තැනට. තාත්තලා කප කප හිටපු ළිඳේ පස් කඩාගෙන ඇතුලට වැටිලා යටවෙ ලා ඉද්දි තමයි එලියට අරං තියෙන්නෙ. එක්කෙනෙක් එතනම මැරිලා. තාත්තා හුස්ම ගන්නවා අමාරුවෙන් අපි එද්දිත්. අම්මා අඬාගෙන දිව්වා තාත්තා ලඟට. මම දිව්වා පහළ ගෙදර මාමලෑ දිහාට. ගිහින් විස්තරේ කියලා ත්‍රී වීලර් එක ඉල්ලුවා තාත්තා නගරෙ රෝහලටවත් ගෙනියන්න. ඒත් මාමා අපිත් එක්ක තරහින් හිටියේ පොඩි ඉඩම් හබේකට. මාමා බෑ කිව්වා. මම වැඳ වැඳ කිව්වත් මාමා කැමති උනේ නෑ. මොනවා කරන්නද ආපහු දුවලා ගියා තාත්තා ලඟට. අම්මා අඬන්නෙ නෑ. මම බය උනා. දුවගෙන යද්දි තාත්තා හුස්ම ගන්නෙ නෑ. මට එදා තමයි ජීවිතේ වැඩියෙන්ම දුක හිතිච්ච දවස. මම ඇඬුවා මගෙ දුක නැති වෙනකන්ම. කඳුළු ඉවර උනත් දුක නම් නැති උනේ නෑ. අම්මා මටත්, මල්ලිටත්, නංගිටත් තාත්තා නැති අඩුව දැනෙන්න දුන්නෙ නෑ, "උඹලා හොඳට ඉගෙන ගනින් මම කොහොමහරි උඹලට උගන්නනවා, තාත්තා හැමදාම උඹලා දිහා බලන් ඉඳියි.".

     අම්මා ඒ කතාව කියන වාරයක් වාරයක් පාසා මගෙ හිතේ ඇඳුනේ මම සාමාන්‍ය පෙළ පාස් වෙලා, ඊට පස්සෙ උසස් පෙළ පාස් වෙලා කැම්පස් යන පින්තූරයක්. ඉතිං කොහොමහරි වෙර වීරිය දරලා කටුබැද්දෙ ඉංජිනියරිං කරන්න සිලෙක්ට් උනා ඔන්න. ඒකට දරපු වීරිය, විඳපු දුක් ගැහැට ගැන මගෙ හිතේ වැඩිය නෑ දැන්. අමතක වෙලා නෙමේ, මගෙ හිතේ තියන එකම ආසාව කොහොමහරි හොඳ ඉංජිනේරුවෙක් වෙලා අපේ පවුල ගොඩ ගන්නයි, ගේ පොඩ්ඩ ටිකක් හදා ගන්නයි, මල්ලිටයි නංගිටයි හොඳට උගන්නන්නයි. අම්මා විඳපු දුක් හොඳටම ඇති. කැම්පස් යන පළවෙනි දවසෙ අම්මගෙ හිතේ තිබ්බ සතුට මම දැක්කෙ උන්දැගෙ ඇස් දෙකෙන්. ඇස් වල කඳුළු පිරිලා ඒත් ඒ කඳුළු කැට වැටෙන්නෙ නෑ, මට දුක හිතෙයි කියලා. මූන පිහදාලා අම්මා කිව්වා "මයෙ පුතේ උඹේ තාත්තා අද හිටියනම් ගොඩාක් සතුටු වෙයි". එතකොට මගේ ඇහෙනුත් කඳුළක් රූටලා ගියා. මම ඉක්මනට මූන හදාගෙන ගියා, පළවෙනි දවසෙම අඬ අඬ ඉන්න බෑනේ. හැම තැනම තියෙන්නෙ නුපුරුදු මූනවල්. අපේ ගමේ කවුරුත් ඒ වෙනකොට කැම්පස් ගිහින් තිබුනෙ නෑ. ඒක හින්දා ගමේ ගොඩාක් දෙනෙක් මාත් එක්ක ඉරිසියාවෙන් හිටියේ. මට පළවෙනි දවසේ කැම්පස් එකේ වෙච්ච සිද්ධි එච්චර මතක නෑ. මම හොඳටම බයවෙලයි හිටියෙ. අයියලාත් එක එක ඒව කියල හිනා උනා, මම හිතන්නෙ මට වෙන්නැති.

     මම හිටියෙ හොස්ටල් එකේ. මට එහෙදි යාළුවො ගොඩක් හම්බ උනා. හොස්ටල් එකේ දේවල් ගැනත් වැඩිය කතා කරන්න ඕන නෑ. මට කැම්පස් එකේදි හිනා වෙච්ච අයියලාම පස්සෙ උදව් කරා. පොත් පත් හොයලා දුන්නා, කුප්පි දාලා දුන්නා. මමත් හොඳට විභාගෙ කරලා ට්‍රිකල් කරන්න තේරුනා. අම්මලාටත් සතුටුයි මම ඒක ගිහින් කියපුහම. මට නිතරම ගෙදර යන්න හම්බුනේ නෑ. ආවට පස්සෙ ගෙදර ගියෙ පළවෙනි විභාගෙ කරාට පස්සෙ.

     "කොල්ලො මොකෑ ඔය කරන්නෙ? ගිහින් අත හෝද ගනින්, ඔය අතත් වේලිලා", අම්මා කෑගහද්දි තමා මතක් උනේ මම ඉන්නෙ කැම්පස් එකේ නෙමේ ගෙදර කියලා. ගිහින් අත හෝද ගෙන ඇවිත්ම මම ඉතුරු ටික කියන්නම්කො.

     මල්ලි දැන් දහය වසරෙ, නංගි අටේ. උන් දෙන්නට උගන්නන්නත් ඕනේ. මම වගේම උන් දෙන්නත් කැම්පස් යවන්න තමා මගෙ හිතේ තියෙන්නෙ. ඒත් ඉතිං කැම්පස් වහලානෙ. මොනවා කරන්නද? කාට කියන්නද? කාලා එහෙම ඉවර වෙලා රෑට මම හැමදාම වැව් ඉස්මත්තට යනවා. මොකද එතෙන්ට විතරයි සිග්නල් තියෙන්නෙ. ඔව්.. මට කැම්පස් ගියාට පස්සෙ හොඳම යාළුවා රජිත මට පොඩි ෆෝන් කට්ටක් අරං දුන්නා. ඒකත් නැත්තං කිසිම ආරංචියක් එන්නෙ නෑ. ඉතිං ගිහින් මගෙ හොඳම යාළුවා රජිත ට මම කතා කරලා විස්තර අහනවා. එයා මගෙ කතාව හොඳට දන්නවා. "මචං අයියලා මොකද්ද හෙට වැඩක් කරනවලු අපේ බැච් එකේ ඔක්කොටම එන්නලු, ඒත් උඹ එන්න ඕන නෑ මචං... මම දන්නවනෙ උඹට යන්න එන්න තියන අමාරුව". "නෑ නෑ මචං මම එන්නං", එතකොට තමා මතක් වෙන්නෙ මේ ටිකේ අම්මට පොල් අතු වියන්න, පොල් කූරු ගාන්න උදව් කරන්න ඕනෙ නේද කියලා. "එහෙනම් මචං උඹලා හොඳට වැඩ ටික කරපං මම ළඟදිම එනවා". "එළ එළ, පටන් ගන්න ආරංචියක් ආවොත් මම අනිවා කියන්නම්" රජිත හැමදාම මගෙ හිත හදලා තමා කතාව ඉවර කරන්නෙ. "තෑන්ක්ස් මචං", කවද වෙනකන්ද මේක. අම්මටත් දැන් වැඩ කරන්න අමාරුයි. මම රස්සාවක් හොයා ගත්තෙ නැත්තම් අපි ඉවරයි. මහපොළ හම්බෙන නිසා යන්තම් මගෙ වැඩයි, මල්ලිගෙ නංගිගෙ වැඩයි කෙරෙනවා. ඒත් ඉතිං කටුබැද්දෙ හිටියොත් වියදම දන්නවනෙ. වාසනාවට දෝ, අවාසනාවට දෝ මේ ටිකේ කැම්පස් වහලා.

     මගෙ කතාව ඔක්කොම කියන්න ගියොත් මගේ කෙළත් හිඳිලා යයි. ඔයගොල්ලන්ටත් එපා වෙයි. දැන්නම් මට ටික ටික බයත් හිතෙනවා. රස්සාවක් හොයාගන්න බැරි උනොත් අපිට මොනවා වෙයිද. අපේ ගමේ අය කියපු කතා ඇත්තද? කැම්පස් යන්නැතුව නගරෙ මොකක් හරි රස්සාවක් හොයාගෙන කීයක් හරි හම්බ කරලා ගමට වෙලා හිටියනම් අම්මලත් සන්තෝසෙන් ඉඳියි. මේ දුක කාටද මම කියන්නෙ? කියන්න කෙනෙක් නෑ මේ ලෝකෙ. මේ කතාව අපේ ඇමති තුමාටත් ඇහෙනවනම්, ලොකු ලොක්කන්ටත් අහෙනවනම්.

ඉවසා    සිටින්නම් මේ සා දුක් ගැහැට,
මොනවා කරන්නද පූරුවෙ කළ පවට……

මේ මගේ කතාවයි.... ඔයාගෙ කතාවත් කියන්න මම අහං ඉන්නම්.

12 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Fx මැක්ස් said...

මචං හොදට එක්සෑම් ගොඩදාපන්............

අසනි said...

ඇත්තටම කදුලක් ඉනුවා ඇස් දෙකට ඒ මේ ලිපිය කුරුටු ගාපු සහෝදරයා ගැන විතරක් දුක හිතිලම නම් නෙවේ..මට මන් ගැනත් ආත්ම අනුකම්පාවක් දැනුනු හින්දා..

අපි දාස් ගානක් හිතින් මැරි මැරි දුක් විදිනවා කියලා බලධරයෝ කියා ගන්න ඈයොන්ට අබ මල් රේනුවකටවත් නොදැනෙන එකනේ අරුමේ..

කවදා හරි කරපු පව් ඉවර වෙනකම් ඉවසනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ අසරණ අපිට..

ගයන්ත said...

අපේ කැම්පස් වල හුඟ දෙනෙක්ගේ කතාව මේ වගේ තමා.... ඒත් බලධාරීන්ට නං ඒ ජිවිත එක්ක සෙල්ලං කරන එක විනෝදයක් වෙලා... අපිව ජෝක් ඒකට අරං...!!!

චතුරංග පෙරේරා | chathuranga Perera said...

කථාව නම් හොඳයි සහෝ... කියන්න හදන දේත් පැහැදිලියි... වෙන ප්‍රශ්ණ නැතුවත් නෙවී. ඒත් මං අහන්නේ මේක කෙටුවේ මොකාද කියලයි.

Dhayal Bathee said...

චතුරංගට සැකයක් ඇති උනා වගේ, මෙය ප්‍රබන්ධයක් උනත් නැතත් මේ වැනි දේ කැම්පස්වල සිදු උන පලමු වතාව නොවේ, මට මතකයි මෙඩිකල් ෆැකල්ටි එකේ හිටිය මගේ හොඳම හිතවතෙක් අවුරුද්දක් විතර, දෙහිවල හෝටලේක වැඩකලා, දිග් ගැස්සුන ශිශ්ය අරගලයකදී. දැන් විසේශඥයෙක්. ඔහු නහයෙන් අඬ අඬා සිටියේ නැත.
ආන්ඩු සහ සිශ්්ය සටන් ගැන කතා කිරීමෙන් නම් පලක් නැත.ඔවුන් ඉන්නේ බල අරගලයකය.

දෙගොල්ලොම තුන්ගොල්ලොම ශිෂ්යො නමැති human shield එකට මුවා වෙලාය, දැන් අවශ්ය ශිෂ්යන් ගලවා ගත හැකි මානුශික මෙහෙයුමකි.

පිස්සු පුසා said...

සහෝදරයා අපි ඔබලා සමගයි

deeps said...

හ්ම්ම් මේ දේවල් ගැන ආණ්ඩුවයි ඇමතිලයි හිතන්නේ නැති එක තමා අවුල

Jචමත්™ said...

බොහොම ස්තූතියි ප්‍රතිචාර වලට....

@ Fx මැක්ස් සහ පිස්සු පූසා : බොහොම ස්තූතියි !

@ අසනි : ඔව් ඇත්තටම මගේ ඇහැටත් කඳුලක් ඉනුවා මේක ලියලා ඉවරලා කියවද්දී..

@ ගයන්ත, Dhayal Bathee සහ deeps : අන්න ඒක තමයි ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ. රටක පාලකයන්ට වගකීමක් තියනවා මේ දේවල් වලට ඉක්මනින් විසඳුම් හොයන්න. නැතුව රටේ අනාගතය එක්ක සෙල්ලම් කරනවා කියන්නෙ බොහොම බරපතල දෙයක්.

@ චතුරංග පෙරේරා : බොහෝම ස්තූතියි ප්‍රතිචාරයට සහෝ. ඇත්තටම මේක කෙටුවේ මමම තමයි. ඇත්ත මේක මගෙ හිතට ආපු කතාවක්. ඒත් මට නිකන්ම මේ සිතුවිල්ල පහළ වෙලා විඤ්ඤානයටත් හොරෙන් අතින් කෙටුනා නම් නෙමේ. මේ වගේම කතා තියන, සමහර විට මීටත් වඩා දුක හිතෙන කතා තියන ඒත් ඒක කියාගන්න බැරුව ඉන්න මගේම යාළුවො ඕන තරම් ඉන්නවා. ඒ අයගෙ දුක තේරිලා නොතේරුනා වගේ ඉන්න මට බැරි වුනා. මට හිතුනෙ ඒ මගේම කතාව කියලා. අන්න ඒක හින්දයි මේ වගේ කතාවක් කෙටුවෙ. සමන්ත කියන්නෙ මගෙ හෘද සාක්ෂිය. ඒ යාළුවන්ගේ ඇස් දිහා බලද්දී මම දැක්කෙ මෙන්න මේ වගේ කතාවක්. ගොතපු කතාවක් ඇත්ත වගේ කියවන්න දීලා ඕගොල්ලන්ගේ කාලය නාස්ති කරානම් සමා වෙන්න මට.

ප්‍රාර්ථනා said...

හ්ම්ම්... ඇත්තම කථාවක්.. අපේ කැම්පස් එකෙත් ගොඩාක් අයගේ කථාව ඔය වගේ.. දුප්පත්කමින් මිරිකුන ගොඩාක් ලමයින්ට දැන් කැම්පස් එකටත් වඩා වැදගත් වෙලා තියෙන්නේ රස්සාවක් හොයාගන්න එක. මගේ හොඳම යාළුවෙකුත් ඉන්නව ඔය වගේ. එයාගේ නමත් ඇත්තටම සමන්ත, ගොඩාක්ම දුප්පත්. ඒ අතින් බල්ද්දි අපි කොයි තරම් වරප්‍රසාද ලබල තියෙද කියල හිතනව.කථාව නම් හරිම හැඟීම්බරයි..

උත්පලා Janadaree said...

තමන්ගෙ කථාවත් මේ වගේම උනත් මෙහෙම බ්ලොග් එකකට දාල හමොටම ඇහෙන්න කියන්න හැමෝටම බෑනෙ. එයාල හැමෝම වෙනුවෙන් එයාලගෙ කථාව අහෙන්න සැලැස්සුවට චමත් ට ගොඩාක් පින් සිද්ද වෙයි.මේ කථාව වෙනස් කරන්න පුලුවන් ලොකු ලොකු කට්ටියට මේක හීනෙන් හරි දකින්න ලබේවා!

Jචමත්™ said...

@ ප්‍රාර්ථනා : බොහොම ස්තූතියි ප්‍රතිචාරයට, ඒ වගේම ඔයාගෙ යාළුවා සමන්ත ගැන කිව්ව එකට. දැන්නම් මට හිතෙන්නෙ මම ගොතලා ලිව්වත් ඒක ඇත්තම කතාවක් වගේ කියලා...

@ උත්පලා : ඔව්, මේ වගේ කතා තියෙන ගොඩාක් අය ඉන්නවා කියාගන්න බැරුව. කිව්වත් වගේ මේ කතාව හීනෙන් දැකලද කොහෙද අන්න මොකද්ද තීරණයක් අරන් ලු.

අලුත් කොල්ලා said...

අපිට නොදැනුනාට සමහර දෙනෙක් ගෙවන ඇත්ත ජීවිතේ අකුරු වලට එකතු කරපු වියමනක්. ලස්සනයි, හැඟීම්බරයි

Post a Comment

පි‍ටු පෙරලපු ගාන