අපි සොබා දහමේ දරුවෝ නෙවෙයිද ?

Tuesday, July 12, 2011

අපි වැඩ කල නගරේ තිබුනේ මේ අරාබි රටේ ඇතුලේ නිසා කාන්තාරයේ උපරිම උණුසුම තිබුන අඩුවක් නැතිව.මේ වැඩ පොලේ වැඩිදෙනෙක්  වැඩ කෙරුවේ ගිනිගහන  අවුවේ සහ ගිනිගත් වායුව මැද්දේ. හරියට පාන්  පෝරණුවක් ලඟට වෙලා ඉන්නවා වගේ ..රෑට අවුව නැතත් උෂ්ණය එහෙමමයි.. . වාහන එලවන එක දොඹකර පදවන එක වගේම තව බොහොම රාජකාරි කරන්න තිබුනේ දැඩි අවු රශ්මියෙන් පීඩා විඳිමින් තමයි.
සාතිර්  කියන්න අපේ කොම්පැනියේ වැඩකරපු රියදුරා  . වයසින් මෝරපු මේ මනුස්සයාගේ වයස හැටක් විතර ඇති.. අරාබි කාරයෝ හරිම ආඩම්බර ජාතියක්. සාතිර් අනිත් අරාබි   කාරයෝ වගේ ආඩම්බර මිනිහෙක් නෙවෙයි. ඉංග්රීසි කතා කරන්න පුළුවන් නිසා මගේ සේවයේ  මුල්   කාලයේදී   රියදුරා හැටියට වැඩ කලෙත් එයා. ඊට අමතරව දවස පුරාම නොයෙකුත් සේවකයන්  එහා මෙහා ගෙනයාම එයාගේ රාජකාරිය.. දිවා රෑ වැඩ කරන මේ වැඩපොළේ රාත්රී සේවය දවසට මම මේ මනුස්සය එක්ක බොහොම දිග වෙලාවල් කතා කර කර ඉන්නවා. 
මට තියෙනවනේ ඉතින් මගේ කට වහගෙන ඉන්න බැරි ලෙඩක් .. හැම වෙලාවේම ඇරිච්ච ගමන් තමයි..
 ආරංචියක් ආව මේ මනුස්සයව රස්සාවෙන් අයින් කරාවි කියල ..වයස නිසා.  මේ ආරංචිය මට බොහොම කණගාටුදායකයි. මොකද මේ වෙනකොට සාතිර් මගේ රියදුරා නුනත් මගේ හොඳම මිත්රයෙක් වෙලයි හිටියේ.. මම එදා පාන්දර යාමයේ  සාතිර් කාර්යාලයේ  එළියේ  වාඩිවෙලා ඉන්නවා දැකල ලඟට ගියා..
පොඩි කතාවකට පස්සේ මං සාතිර්ගෙන්  ඇහුව එයා මොකද කරන්න යන්නේ රස්සාව නැති උනාම කියල. මොකද මේ පුංචි නගරේ රස්සාවක් කරන්න තැන් තිබුනේ හරිම ටිකයි..  
සාතිර් අර පුරුදු විදිහට හිනා උනා.. දතුත් ටිකක් අඩු හින්ද හිනාව හරිම ලස්සනයි.. 
"සරත් මහත්තය එන්නකෝ මං දෙයක් පෙන්නන්න .." 
මගේ  ප්රශ්නේ  පැත්තක තියෙද්දී  හිටි තැනින් නැගිටලා   එයා ඉස්සර වෙලා දැන් ඇවිදිනවා.  මං පස්සෙන් යනවා.. 
අපේ කාර්යාල භුමිය කෙලවරේ ඉතින් සාමාන් කාන්තාරේ  තමයි. එකේ වැවිල තිබුනේ කටු සහිත ලොකු පඳුරු වගයක්..
"පේනවද මේ පඳුරු ?" සාතිර් අහනවා..
"ඔවු.. මේවා විතරනේ ඉතින් මේ කාන්තාරේ වැවෙන්නේ.. "
"මේ ගස් වල කොළ කවදාවත් පාට වෙනස්  කරලා තියෙනවද ?"
ඇත්ත තමයි.. එතකොටයි මට හිතුනේ  . තදම ග්රීෂ්ම කාලෙදිත් මේ ගහේ කොළ තදම තද කොළ පාටයිනේ.. අපිට පෙනෙන දේවල් අතරේ  අපි නොදකින දේ කොච්චර තියෙනවද ?
"නැහැ" මං කිවුව..ඔලුවත් හොල්ලල.. 
"ඒක තමයි මං කියන්නේ.. සාතීර් කියනවා.  දැන්  ඇවිත් මේ ගහේ කොළ දිහා ලංවෙලා බලන්න.."
"මොනවද පෙනෙන්නේ ?"
චුටි වතුර බින්දු කොළ මතුපිට රැඳිලා හරියට ළදරුවෙකුගේ නළලේ මතුවෙන චුට්ටන් දාඩිය බින්දු වගේ මගේ ඇස් උඩට හැරුන.. පණිවිඩේ මොකක්ද ඉතින් ?
තාත්තට හපන් කමක් කරලා පෙන්නපු පුංචි දරුවෙක්ගේ මුණ  වගෙයි   සාතිර්ගේ මූන දැන්.. 
මේ කාන්තාරේ කිසිම වතුර පොදක් නැතුව මේ ගස් මේ විදිහට ජීවත් කරන්න අල්ලාට පුළුවන් නම් රස්සාව නැතිඋනාම මට බඩගින්නේ මැරෙන්න දේවි  කියල හිතනවද ?
සාතිර්ගේ දෑස් දැන් අහස දෙසටයි යොමුවෙලා ඇත්තෙ. 
මට කියන්නට උත්තරයක් නැත. මම දෙවියන් අදහන්නෙක් නොවෙමි.. එහෙත් සාතීර් කියන සොබාදහමේ නියමයන් මට වැටහේ... 
මේ ගස් වල කොළ අවකාශයේ තියෙන තෙතමනය  උරාගෙන මුල්   වලට ගිහින් තැන්පත් කරනවා.. කවදාවත් වේලෙන්න දෙන්නේ නැහැ ..
සියල්ල පාලනය කරන  දෙවියන් යනුවෙන් අප හඳුන්වන්නේ සොබා දහම බවයි මගේ නිගමනය.. .

එහෙමයි  සොබා  දහම  තමුන්ගේ දරුවන් ආරක්ෂා කරන්නේ.. සොබා දහමේ දරුවෝ උන  මනුස්සයින් සොබා  දහ මෙන් ඈත් වීම හින්ද ආරක්ෂාව  නැතිවෙලාද ?

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

දිනුක ජයකොඩි said...

අපි විශ්වාස කරන්නෙ අල්ලා ද, ජේසු ද, විෂ්ණු ද, පුනර්භවයද කියන එක නෙමෙයි වැදගත් වෙන්නෙ.විශ්වාසය කියන එකයි.සිරා කතාවක්.ඒ මිනිහ නිකං ඩ්‍රයිවර් කෙනෙක් වෙලත් ගත්ත උදාහරනෙ නං මාරයි.ඔය අපේ ලොකු පොරවල්වලට මෙව්ව කියල දෙන්ඩ ඕනෙ.

අලුත් කොල්ලා said...

අර්ථවත් කතාවක් සරත්. ඇත්තමයි පුදුම ඇත්තක් මේක ඇතුලෙන් එන්නෙ.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන