ආශ්චර්යයේ දිවයින

Tuesday, July 5, 2011


මහ රජතුමා මගේ නිවසට සැපත් වූ වගයි....


අද මගේ ජීවිතයේ ආතල්ම දවසය.ආතල් කන් දෙකෙන් බේරෙන දවසය.අහල පහල උන්ගේ ඊර්ෂ්‍යාවට මා ඉළක්ක වන දිනයයි.මට පමණක් නොව ඕනෑම තැනක පම්පෝරි ගැසිය හැකි වසර දෙදහස් පන්සීයක ඉතිහාසයක් ඇති ප්‍රෞඪ ජාතියක විශිෂ්ඨත්වයේ හිණි පෙත්තට නගින දිනය අදයි.මෙතරම් විදෙස් අත පෙවීම් දේශීය කුමන්ත්‍රණ හා පාවා දීම් මැද ජීවත් වන සකල ශ්‍රී ලාංකිකයන්ගේ සන්තුෂ්ටියේ අග්‍ර ඵලය බුක්ති විඳින්න ලැබෙන දිනය අදය.

ප්‍රථම ශ්‍රී ලාංකිකයා රැගත් ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම අභ්‍යාවකාශ යානය මේ පුණ්‍ය භූමියෙන් වියුක්ත වන දිනය අදය.මහ රජතුමාගේ ප්‍රඥා මහිමය යටතේ සමුර්දියෙන් සෞභාග්‍යයෙන් වැජඹෙන මේ ධරණී තලයේ කළ යුතු සියල්ල අවසන් නිසා සිය සංවර්ධන වැඩ පිළිවෙල විශ්වීය කිරීමේ පරමාර්ථය පෙරදැරි කරගෙන ප්‍රථම ලාංකිකයා චන්ද්‍ර ගත කිරීමේ දැවැන්ත මෙහෙයුම මෙයයි.මහ රජතුමා සිය දෙවෙනි පදවි ප්‍රාප්තියේදී සිය යටත් වැසියන්ට දුන් ප්‍රතිඥාව කෙටි කලකින්ම මල් පල ගැන්වෙන දිනය අද ය.මේ ප්‍රථම ලාංකිකයා වීමේ භාග්‍යය ලැබුවේ, මේ ප්‍රීති කුසලානයෙන් පානය කිරීමේ වරම් ලැබුවේ මේ මම ය.

අම්මා විසින් අපතයා ලෙස ද පෙම්වතිය විසින් නිකමා යනුවෙන්ද අමතනු ලැබූවත් මේ රටේ ජනතාවටත් මහ රජතුමාටත් මගේ අගය වැටහී ඇත.ඉන්දියාවට හෝ ඇමරිකාවට නියෝජිතයෙක් යවනවාට වඩා ඉතා බැරෑරුම් වගකීමකි මේ මට පැවරෙන්නේ.මේ වගකීම පැහැදිලි කොට මටම පවරා දීම සඳහා අප මහා රාජෝත්තමයාණන් වහන්සේ මගේ පුංචි කුටියටම එදා රාත්‍රියේ වැඩම කළ ආකාරය මගේ මතකයේ මියෙන තුරා පවතිනු ඇත.

මහ රෑ දෙගොඩ හරි ජාමේ එක් වරම හමුදා භටයෝ පනහක් පමණ මගේ නිවසේ මගේ කුටියට කඩා වැදුනෝය.මම වහාම ඇඳෙන් පැන බිම තිබූ සරම ඇඟ ලා ගතිමි.එතෙක් ඉවත බලා සිටීමට හමුදා නිළදරුවෝ කාරුණික වූහ.
"මොකද මේ මාව මොකක් හරි අපරාධෙකට පටලළා ද? නැත්තං චැනල් ෆෝ එකේ සාක්කි කාරයෙක් විදිහට මාවත් පෙන්නුව ද?මම ඉතිං රජතුමාට එක එක ඒව කිව්වට හොඳ රාජ පාක්ෂිකයෙක්"මම කබ කඩමින් පැවසුවෙමි."නෑ නෑ මිස්ට ජයකොඩි" කියමින් හමුදා නිළධාරියා කතාව පටන් ගත්තේය.
"අම්මේ මෙන්න මූට හමුදාවෙ අය මිස්ට ජයකොඩි කියනවෝ.ඕකට මිස්ට ජයකොඩි කියනවනං මට ජයකොඩි උතුමාණෝ කියලවත් කියන්ඩ ඕනෙ."අපේ අයියා සාලේ සිට බෙරිහන් දුන්නේය.
"උඹ කට වහපං.ඌ ඔය අපත වැඩ කළාට උඹට වඩා වැදගත් විදියට ඉන්නවා."අම්මා කොඳුරනු මට ඇසුනි.
"මේකයි මිස්ට අපිට මිස්ටගෙ කාමරේ පරීක්ෂා කරන්ඩ ඕනෙ."හමුදා නිළදරුවා කීවේය.
"ඒ අහවල එකකට ද?.මේකෙ මම ආයුද තියං ඉන්නව කියල හිතුව ද?.කුඩු ගංජා පාවිච්චියකුත් නෑ දැං.සල්ලි නැති නිසා.ඔය ඉතිං වැල ටිකක් නං...."මම හිස කසන්නට වීමි.
"නෑ නෑ මිස්ට.මේකයි, තව ටිකකිං මහ රජතුමා මෙතනට සැපත් වෙනවා.මෙව්වා ඉතිං කළ යුතු පරීක්ෂා විතරයි.නැතුව අපිට මිස්ටව සැක නැහැ."
"මළ කෙළියයි.උන්නාන්සෙට ඉඳගන්නවත් දෙන්නෙ මොකේ ද? අම්මා සීනිත් ඉවරයි කිව්වා.තේ ටිකක් වත් දෙන්න විදිහක් නැහැ."මම ඇඳ මත වාඩි උනෙමි.
"මහ රජතුමා වැඩි වෙලා ඉන්නෙ නැහැ.වැදගත් දෙයක් කතා කරන්ඩ එනව කිව්වෙ.ඉක්මනට ආපහු යනවා."හමුදා නිළදරුවා මාව අස්වසන්න විය.
"හරි ඕනෙ මගුලක් පරීක්ෂා කරන්ඩ.මගෙ කොම්පියුටර් එකේ ඔය සමාජ විරෝධී එව්ව මෙව්ව ටිකක් ඇති.ඒත් රාජ්‍ය විරෝධී ඒව නෑ." හමුදා නිළධාරියෝ පිළිවෙලට පරීක්ෂාව පටන් ගත් හ.මට ද සොයාගැනීමට අවශ්‍යව තිබූ මගේ යට ඇඳුම් කීපයක්, මගේ පැරණි පෙම්වතියගේ ඡායා රූපයක්, කැරපොත්තන් 8ක්, හූනන් 5ක්, මකුළුවන් 11ක් හා එක් පත්තෑයෙක් ඔවුන් සොයාගත් දේ අතර විය.
මේසයේ පොත් අතර තිබී එක් බටයෙක් පුවත් පතක් ඇද ගත්තේය.
"සර් ජේවීපී එකක්".හමුදා නිළධාරියාගේ ඇස් හීන් විය.
"ආ ඕක මම මේ මේසෙ පිහදාන්නයි, සපත්තු මදින්නයි අරං ආවෙ.අම්ම ඕනෙ කරන එකක් කියල හිතල පොත් අස්සෙන් දාන්න ඇති."මම හති ලෑවෙමි.
"කොහොමත් රජ්ජුරුවන් වහන්සෙට පේන්න තියන්න එපා.මිස්ටටත් නායක්ත්ව පුහුණුව දීල තමයි නවතින්නෙ." හමුදා නිළධාරියා මට රහසින් පැවසීය.
"මම මේක ගෙනියනවා මූලස්ථානෙට."හඬ නඟා පැවසූ ඔහු මට අනිත් අයට හොරෙන් ඇහැක් ගැහුවේය.අනිත් අයද එකිනෙකාට හොරෙන් මා දෙස අනුකම්පාවෙන් බැලුවෝය.මම හිත යටින් සැනසුම් සුසුම් හෙලුවෙමි.

ටික වේලාවකින් 'ගුඩු ගුඩු' ගාමින් මුළු පළාතම වියරු සුළඟින් ආලෝලනය කරමින් හෙලිකොප්ටරයක් අපේ මිදුලට සැපත් විය.අපේ නිවසේ වහලයේ උළු ටකරං පොල් අතු සියල්ල එහෙට සහ මෙහෙට විය.උනු සංගෙදිය හරියටම බලාගත හැකිවන්නේ ආයේ වහින කාලය ආවාමය.මිදුලේ පොල් ගස් තුනේම ඇට්ටි මෙන්ම කලටිද ඔක්කොම එක ගොඩේ බිම වැටිලාය.අම්මා හූල්ලමිං කම්මුලේ අත තබා ගත්තාය.

හෙලිකොප්ටරයේ තටු නවතින්නත් පෙර කොල්ලෙක් මෙන් ඔහු බිමට පැන්නේය.අපි කාගෙත් තාත්තා, ඉංදියාවේ නංගීගේ භාර කාරයා වන අපේ මහ රජතුමාගේ ශ්‍රී පාදස්පර්ශය ලැබීමට මා කුඩා කල දවල්ට වැලි බත් ඉවූ, රෑට චූ දැමූ අපේ මිදුලද වාසනාවන්ත විය.හෙලිකොප්ටරයේ හුළං සැරට සාටකය උඩ ගියේය.එය උන්නාන්සේ දෑතින්ම තද කර අල්ල ගනිද්දී සරම උඩ ගියේය.රාජ ඌෂ්ණයෙන් අපේ නෙත් බිමට හැරවුනි.

අපි නැවත නෙත් ඔසවා බලන විට උන්නාන්සේ දුවන්ට සැරසෙන ඉරියව්වෙං සිටගෙන ඉන්නවා දුටිමු.එවිට ගෝලයෙක් පැමිණ උන්නාන්සේගේ තේමා සංගීතය සිය ජංගම දුරකතනයෙන් වාදනය කරවද්දී උන්නාන්සේ අපේ නිවස දෙසට ගමන් ඇරඹූ සේක.රජතුමා අපේ නිවසට පා තබද්දී අම්මගේ නෙත් කඳුලෙන් බර උනේ රජතුමා පැමිණීමේ සතුටටද නැත්නම් වැටුණු පොල් ඇට්ටි ගැන සිතාදැයි මටනම් වැටහුනේ නැත.

අදට මෙච්චරයි.....

ඒ කිව්වේ මතු සම්බන්දයි....

6 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

buwa said...

දේශපාලනික උපහාස කථා දකින්න ලැබෙන්නේ ඉතාම කලා තුරකින් (මාත් ට්‍රයි කරා හරි ගියෙ නැ ) . මේක නම් සුපිරියි , මල් හතයි , පට්ට

දිනුක ජයකොඩි said...

ඉස්තූතියි බුවා.මේ ශෛලියට (මට වඩා හොඳට ) ලිව්ව කෙනෙක් ඉන්නවා චන්ද්‍ර අනගිරත්න කියලා.එයාගෙ පොත් සෙට් එකක් තියෙනවා "නරලොව හොල්මන්" කියලා.හොයාගෙන කියවලා බලන්න.සිරා....මමත් මේ ගැට ගහන්නෙ ඒ අභාශයෙන් තමයි.

සරත් ලංකාප්‍රිය said...

නියමයි මල් හතයි ..පට්ටම පට්ටයි.. එනවා බලන්න ලියන්න ඔක්කොම . (සරමට යටින් ජෝකෙක් ඇඳන් නිදාගන්න ඒක හොඳය..)

මදුශාන් said...

අඩේ මරුනෙ....මෙන්න උපහාසය!!...
මගෙ ගානෙ ෆේස්බුක් සහ බස් ශෙයා පාරක්... :D

දිනුක ජයකොඩි said...

@සරත් ලංකාප්‍රිය : හා හා දෙන්නම්කෝ ඔක්කොම බලන්න ඉතුරු ටිකත් හොඳේ.....
@මදුශාන් : ඉස්තූති වේවා සහෝදරයා.මට කොහොමත් ඔය මූනු පොතේ සම්බන්දකං නෑ.මම බ්ලොග් විතරයි....

අළුත් කොල්ලා said...

ෆට්ට කතන්දරේ...

Post a Comment

පි‍ටු පෙරලපු ගාන