ඔබ වෙයි හපනා...

Wednesday, June 29, 2011

ප්‍රශ්න අංක 1
යාලුවොන්ට කැට පෙරළ පෙරළ ඉන්න පොඩි ප්‍රශ්නයක් දාන්න හිතුනා...:)
මේක මෙන්න මෙහෙමයි.යටින් තියෙන්නේ ඒකක 5*5 ජාලයක් සහිත පුවරුවක්.එකේ උඩ දාදු කැටයක් තියෙනවා.දාදු කැටයේ විරුද්ධ මුහුණත් 2කේ එකතුව 7යි.දාදු කැටය එක් වතාවක් පෙරළිමෙන් ඊලග කොටුවට පිවිසෙනවා නම්,අදාල මාර්ගය දිගේ ගිහින් අවාසානයේ දී දාදු කැටයේ මුදුනේ පෙන්වන ඉලක්කම කියද කියලයි මම අහන්නේ?













ප්‍රශ්න අංක 2
ඔන්න මැජික් කො‍ටුවක්...1 සිට 9 විතරයි අංක දාන්න ඔනි.එක අංකයක් එක පාරයි භාවිතා කරන්න පුළුවන්..ඔයාලට තියෙන්නේ A, B,C,D වල අගය හොයලා කියන්නයි.

ප්‍රශ්න අංක 3
පැහැදිලියි නේ X,Y,Z හොයන්නයි ඔනි.. :)
 ප්‍රශ්න අංක 4

ප්‍රහේලිකාවක් වගේ නේ. ඔකේ නම් 1,2,3,4,5 වලට අයිති වචන හොයන්න තමයි ඔනේ ඔන්න.හැබැයි ඔන්න කොන්දෙසි 2කක් තියනවා.

1. 1 වෙනි ප්‍රශ්නයට පිළිතුර වශයෙන් පහළට යොදන වචනයේ මුල් අකුර,තෙවෙනි අකුර හා පස්වන අකුර පිළිවලින් 2,4,5 යන ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් හරහට යොදන වචන වල මුල් අකුර වෙන්න ඔනි..
1. 3 වෙනි ප්‍රශ්නයට පිළිතුර වශයෙන් පහළට යොදන වචනයේ මුල් අකුර,තෙවෙනි අකුර හා පස්වන අකුර පිළිවලින් 2,4,5 යන ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් හරහට යොදන වචන වල අවසාන අකුර වෙන්න ඔනි..
ඔන්න වචන ටික.. මෙකෙන් 5ක් තොර ගන්න..
1.පිරිවිතර
2.සන්නයන
3.රන්තරුව
4.නවනළුවා
5.පිළිසකර
6.සන්ධානය
7.විගමනය
8.නිරායාසය

වැරද්ද නිවැරදි කිරිම...4 වන ප්‍රශ්නයේ එක් වචනයක් මා අතින් සටහන් වි නොමැත..
එහි 8 වන වචනය පිළිවිසන විය යුතුය.

පළවෙනි දවස නේ.ටිකක් ලෙසි වෙයි.තව හොද හොද ප්‍රශ්න තියෙනවා.ඉදිරියේදි බලාපොරොත්තු වන්න.දැන් ඉතින් නෑ....බෑ කියන්නේ නැතුව පුළුවන් ටිකට හරි උත්තර දිලා යන්නකෝ යාළු.. 

පිලිතුරු..(පහුවුණාට සමාවන සෙක්වා.. :))

ප්‍රශ්න අංක 1
පිලිතුර 5 යි (සියලු දෙනාම නිවැරදි පිළිතුර ප්‍රකාශ කර ඇති බැවින් ව්ස්තර කිරිම අනවශ්‍ය යැයි සිතිමි. සැ.යු-අවශ්‍ය වේ නම් කියන්න.)


ප්‍රශ්න අංක 2 

පිලිතුර A=3, B=7, C=8, D=1 

 
ප්‍රශ්න අංක 3
පිලිතුර x=10, Y=14, Z=17

 ප්‍රශ්න අංක 4
පිලිතුර (වරදවා ඇත්තේ මාය. සියල්ලන්ටම ලකුණු ලැබේ. :O සතු‍ටුයි නේ. :/ එකනේ... :/ ඉතින් ඔය.. :/ රවාගෙන ඉන්නේ නැතුව දැන් ඩිංගිත්තක් හිනා වෙන්න.. :) :D ) පහත සදහන් ලෙස නිවැරදි වෙන්න ඔනි..

දෙවැනි රාජසිංහ රස කතා

Tuesday, June 28, 2011
රාසිං දෙවියන් එහෙමත් නැත්නම් දෙවන රාජසිංහ රජතුමා කියන්නෙ ලියනවනම් මේ ‍බ්ලොග් එකම පිරෙන්න ලියන්න තරම් රස කතා ගොඩක කතා නායකයෙක්.විශේෂයෙන්ම කියන්න ඕනෙ මට මුලින්ම මේ ‍බ්ලොග් එකේ රාජසිංහ රජතුමා ගැන ලියන්න හේතුව තුන්පත් රටා බ්ලොග් එකේ තිබිල මේ ලගදි කියවපු මෙන්න මේ ලිපි

රාසිං දෙවියන් එහෙමත් නැත්නම් දෙවන රාජසිංහ රජතුමා බොහොම දක්‍ෂයි හිටිවන කවි කියන්න.රජතුමා වටා ගෙතුනු කවි වගේම ඒවයේ පසුබිම් කතාත් බොහොම රසවත්.සාමාන්‍ය ඇදුමින් සැරසී රට වටා සැරිසරපු එක රාජසිංහ රජතුමාගෙ සිරිතක්. දවසක් ඔය විදිහට රහසින් යද්දි පැල් රකිමින් සිටි ලස්සන තරුණියක් දැකල  පොඩි හිතක් පහල වුණු රාජසිංහ රජ්ජුරුවෝ මේ තරුණියට  නොපෙනෙන්නට සැගවීලා  හිටිවන කවියක් කිව්වලු.

දිලිසෙන සිසි නමල් මුවනෙක පෑ      සොබන
සොබන දෙපියයුරු වසමින් සළු            පටින
පටින් සමන් වරලස බැඳ බැඳ                යටින
සිටින මෙනුඹ කාරණා කිම ලඳ             ඔතන

මේක අහගෙ හිටපු අර තරුණිය දැක්කෙවත් නැති රජතුමාට ඇහෙන්න පිළිතුරු කවියක් කිව්වලු මෙන්න මෙහෙම. මේකනම් ගොඩක් අය අහල ඇති.

ලස්සන හිමවතේ මා වී                පැසෙන්නේ
දුක්දෙන අලි ඇතුන් පන්නා              දමන්නේ
රැක්මෙන දෙවියන්නේ වෙල බත්      බුදින්නේ
දුප්පත්කම නිසයි මම පැල්              රකින්නේ

මේක අහපු රාජසිංහ රජතුමා සතුටට පත් වෙලා හැංගිලා හිටි තැනින් එලියට ඇවිත්.මේ හැංගිලා කවි කිව්වෙ රාජසිංහ රජ්ජුරැවන් බව දැක්ක මේ තරුණිය බයවෙලා පැලත් දාල දුවන්න ගත්තලු. රජතුමත් පරාදවෙන්න කැමති නැති නිසා තව කවියක් කිව්වලු.

විකලා මරණ සිහ රජෙකුත් නොවී           නම්
විදලා මරණ වැදි රජෙකුත් නොවී            නම්
ඇනලා මරණ කුළු මීමකු නොවී              නම්
දුවලා වෙහෙස නොගනින් ලඳ බියේ       නම්


රජතුමාට බයවෙලා පැනල දුවපු මේ තරුණිය දුවන එක නතර කරල රජතුමාට මෙහෙම කිව්වලු.

රෑන පිට රෑන තුඩ රෑන ගීය               න්
අල්ලා අතට දුන්නත් අතට ඊය         න්
බළලුන් දුටුවාම බිය නැද්ද මීය        න්
දුටුවාම බිය නැද්ද රාසිං දෙවිය        න්

රජතුමා පස්සෙ දවසක මේ තරුණිය හොයාගෙන හිටිවන කවි කීමෙ දක්ෂතාවයට සම්මාන වශයෙන් දෙවියන්ගේ වෙල නින්දගම් කරල ඇයට පැවරුවයි කියලයි පත පොතේ සඳහන් වෙන්නෙ.


රාජසිංහ රජතුමා ගැන තව කතා තියෙනව.ඒව ඊලග පෝස්ට් එකෙන්.පිංතුරය wikipedia. comment එකක් දාල යන්න අමතක කරන්නත් එපා.

♥ මගේ ආදරේ - 01♥


" අහන් ඉන්න...... අහගෙන ඉන්න ...... මගේ හිත මොනවද..... මුමුනනවා...."

"හෙලෝ මේ ඈංගල් කානුද?"


"ඔව් කවුද මේ"


"අඳුර ගන්න බැරිද කවුද කියලා"


"ම්හු බෑ කවුද කියන්නකෝ"


"මම මේ පිස්සු කෝච්චියක් දැන් අඳුරනවාද? "


"ඔව් ඔව් අඳුරන්න පුලුවන් මොකෝ කතා කලේ "


"ටිකට් පොත් 2ක්නම් දෙන්න නෑ එක ටිකට් පොතක් දෙන්නම් *** අයියා ගාව තියෙන්නේ එක ටිකට් පොත් 2මයි කිව්වා අනිත් එක මට ඕනි"


"හා කමක් නෑ එහෙනම් ඒක දෙන්නකො"


" හරි එහෙනම් මම හෙට හවසට ගෙනත් දෙන්නම්"


" තෑන්ක්ස් එහෙනම් මම තියන්නම් බායි "


" බායි "



මීට මාස එකහමාරකට කලින් මේ ආව කෝල් එක නිසා මගේ ජීවිතේ මෙච්චර වෙනස් වෙයි කියලා මම හිතුවේ නෑ. ........



ම්ම්ම්ම්ම්ම්ම්ම් මාව සම්පූර්නෙන්ම වෙනස් කරපු ඔයාට මම හැමදාම ආදරෙයි මගේ පිස්සු කෝච්චියේ........

මෙලෝ රහක් නෑ 3 එක නැට්ටෙ ලබු



                                තද කරල උඩ ඇන්දෙ දාගෙන
                                පැද්දි පැද්දී තියෙන ලස්සන
                                හැට්ටෙ අස්සේ වගේ රුවාගෙන
                                එක නැට්ටෙ ලබු මයි මතක් උන

                                පාරෙ යන උන් කෙල පෙරාගෙන
                                පොටෝ අරගති කට අයාගෙන
                                ගෙදර ගෙනගොස් දත විකාගෙන
                                සුද්ද කරවති පන දමාගෙන

සිතුවිලි පවුර වෙනුවෙන් බුවාගෙන් විහිලු කථාවක් (හිනා නොගියොත් වග කියනු නොලැබේ )

Monday, June 27, 2011
සිතුවිලි පවුරට මාවත් එකතු කරගැනීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙන ගමන් , පලවෙනි ලිපිය එකතු කරන්නයි මේ සූදානම . 


මේක ගොඩක් කාලෙකට කලින් මගේ බ්ලොග් අඩවියේ පල කරපු කථාවක් (කිති කවාගත්තොත් හිනාත් යනව මයෙ හිතේ ) . ඒ කාලේ මගේ බ්ලොග් අඩවියට ආපු ගියපු අය ඉතාම අඩු නිසා මේ කථාව දකින්න ඇත්තේ බොහොම ටික දෙනෙක් . ඒ නිසා ඕං ආයෙමත් සැරයක් ඒ කථාව කියන්නයි හදන්නේ . එහෙනම් කට්ටිය කිති කවාගන්න එහෙම ලැසිති වෙලා.. (හෝව් හෝව් අනුන්ගේ පිටවල්  කහන්න නෙවෙයි තමන්ම කිති කවාගන්න කියල කිව්වේ) , හූ පාරක් එහෙම තියල , පැත්තකින් ඇන තියා ගත්ත නම් හොඳා

ඔන්න එකෝමත් එක රටක ( ලංකාව කියමුකො ) ඇට්ටර කොලුවෙක් හිටියා . මුගේ නම...( මම අහපු කථාවෙ නම් කොලුවට නමක් නැහැ නමුත් කෝකටත් අපි ඌට ඇම්ඩා කියල කියමුකො ) .ඔන්න ඇම්ඩා දවසක් විභාගයක් ලියන්නේයි කියල ගියා . ලංකාවෙ විභාග කියන්නේ ඉතින් ලමයි මරවන්න හදපුව නේ කොහොමත් ඇම්ඩා වගෙ අයට විභාග අමාරුයි .

ඔන්න දැන් විභාගය පටන් අරගෙන ටික වේලාවක් ගත උනා .ශාලාධිපතිතුමත් ලමයි දිහා කන්න වගේ බලාන ඉන්නව . ඇයි හත්දෙය්යනේ එකෙක් වත් කොපි කරොත් එහෙම කවද හරි සක්විති වගෙ ලෝක හොරෙක් වෙලා නෙව නවතින්නෙ . ඉතින් ශාලධිපතිතුමා ඔහොම alert  එකේ ඉන්නකොට දැක්ක ඇම්ඩ කොලයක් බලගෙන මොනවදෝ ලියනව . ශාලධිපතිට මල , ඒත් ඉස්කෝලෙදි වගෙ විභාග ශාලවෙදි කැගහල බනින්න බැනේ . එනිසා ටිකක් වෙලා ඇම්ඩා දිහාම බලාන හිටියා. එතකොටවත් වැඩේ නතර වෙයි ද බලන්න . කොහෙද ඇම්ඩට ගානේ ගානක් නැහැ, හිටු කියල ලියනව. සැරින් සැරේ ඔලුව උස්සල බලනව අයෙත් ලියනව  . ඒ පාර නම් ශාලධිපති තුමගේ මල්වඩමම පැන්න . ගියා ඇම්ඩ ලඟට .ගිහින් හෙමීට උගුර පොඩ්ඩක් පැදුවා .


 "අම්මට උඩු ශාලධිපතිය ලඟ " ඇම්ඩා කලබල වෙලා බල බල හිටපු කොලේ පොඩි කරල බිමිට දැම්ම .ශාලධිපතිතුමත් ඇම්ඩට ඇඟ සලිත වෙන සයිස් එකේ බැල්මක් දාල බිම වැටිලා තිබුන කොලේ අරගේන බැලුව .

ඒකේ ලියල තියනවලු " සර් රැවටුනා නේද ? " කියලා  

ශාලාධිපතිට  කලිසම බිම වැටුණ ගානට ලැජ්ජයි ලු , සිද්ධිය දැක්ක වටේ පිටෙ ඉන්න උන් කින්ඩියට හිනාවකුත් දැම්මලු , ඒත් මොනව කරන්නද . බිම බලාගෙන තමන්ගේ පුටුවට ගිහින් ලමයි උත්තර ලියන දිහා බලාන ඉන්නවලු .හැබැයි ඇම්ඩ ඉන්න පැත්ත බලන්නේවත් නැතුව.

 ඔහොම ටික වෙලාව්ක් ගත උනා ශාලාධිපති අංකල්ට අයෙත් නිකන් කැහිල්ල වගේලු ඇම්ඩා මොනව කරනවද කියල බලන්නේ නැතුව . ( අපේ රටෙ උන්ට කොහොමත් ලැජ්ජාව කියල නාමයක් නැහැනේ එකම දේට  දෙතුන් සැරේ චාටර් වෙන්වනෙ )
ඒ නිසා ශේප් එකේ ඇම්ඩා ඒ පාරත් මොනවදො ලියනවලු කොලයක් බලාගෙන . මේ පාර නම් ඇත්තටම කොපි කරනව වගේමලු ටිකක් ලියනවලු කවුරු හරි දකීවිද කියල වට පිට බලනවලු අයෙමත් ලියනවලු 

" මූ හදන්නෙ මාව ගොනාට අන්දලා කොපි කරන්න"  තමයි කියල හිතපු ශාලාධිපති ගොන්පොර තරඟයක කුලු හරෙකෙක් වගෙ පිඹගෙනම ගියා ඇම්ඩා ලඟට . ශාලාධිපති වේගයෙන් ලඟට එනව දැක්ක ඇම්ඩා දඩිබිඩි ගාල ලිය ලිය හිටපු කොලෙයි බල හිටපු කොලෙයි  කොල ටික අස්සේ ගහගත්ත . හැබැයි හදිසිය නිසා ලිය ලිය හිටපු කොලෙ කොනක් එලියෙ .
 ඇම්ඩ ලඟට අපු ශාලධිපතිත් " හිතුව මදි 'කලවැද්දා' තෝ මාව තම්බන්න " ( ශාලාධිපති අංකල් 'ෆොන්සේකා' පාක්ෂිකයෙක් ද කොහෙද ) කියලා සද්දයක් එහෙම දාල අර එලිය පෙන්න තිබුනු කොනෙන් ඇම්ඩ ලිය ලිය හිටපු කොලය එලිය ඇදල බැලුවා
ඒකෙ ලියල තියනව " සර් අයෙමත් රැවටුණා නේද ?" කියලා



ඔන්න කථාව .  දැන් ඉතින් කට්ටිය කිති කවාගෙන එහෙම හිනාවෙල හිතෙන දෙයක් ලියල හරි , නැත්නම් පහල තියන "නියම්යි, හොඳයි,වැඩක් නැ " තැනට මනාපයක් පල කරල හරි යමුකො නේ ? 


ආ.. මේක මගේ නිර්මානයක් නම් නෙවෙයි . මමත් කෙනෙක්ගෙන් අහගත්ත එකක් ! 

දවල් දුටු සිහිනය!!!!!

ගෙදර ඉස්සරහාම  ලොකු සුදු කොඩියක්... ඇයි මේ???  අනේ මංදා... හ්ම්ම්ම්... වෙනදට උවමනාවත විතරක් අපේ ගෙදරට එන අය අද මේ මොකද ගේට්ටුව ඉස්සරහම ලොකු කතාවක? අහන්නත් බෑ. අනේ මංදා. අනේ මෙන්න වැඩක්, මගේ යාලුවො ඔක්කොම ඇවිත්.. අවුරුදු ගානකින් කට්ටිය ඔක්කොම අපේ ගෙදර ඇවිත්, සමහර අය මගේ මූනවත් බලන් නැති අය. ඇයි මේ?? ආහ්, මේ මොකද?? මගේ ලගටම ඇවිත් මාව දැක්කෙ නෑ වගෙ හැරිලා ගියා අර පිස්සා.මෙන්න බොලේ වැස්සකට වත් අපේ ගෙදර ආපු නැති එකෙකුත් ඇවිත් ගාලු සෙනග ඔක්කොම ඇවිත්. මොකක් හරි අවුලක් වෙලා.


ගේට්ටුවෙන් ඇතුලට යනකොටම දිගටම ලස්සනට ගොක් කොල සැරසිලි කරලා.හ්ම්ම්ම්ම්.. දානෙකට පිරිතකට අපේ ගෙදර අය අත දිගෑරලා වියදන් කරාට, දෙයියනේ මේ තරන්??? හ්ම්ම්ම්ම්... බය හිතෙනවා. මළ ගෙදරක්, මට දැනෙනවා.. වෙලා තියෙන්නෙ හොද දෙයක් නෙවී. ඒත් කවුද මැරිලා ඉන්නෙ?? හිත ගැස්සෙනවා. 
අක්කි?? අක්කිත් හදිස්සියෙම ඇවිත්, මං දන්නෙත් නෑ. හැමෝම ඇවිත්ද? ඇයි කවුරුත් මට මුකුත් කියන්නෙ නැත්තෙ. හැමෝම අහක බලාගෙන යනවා. මාව ගනන් ගන්නෙවත් නෑ.. කවුද දෙයියනේ මැරුනේ?? අනේ මට කියන්න??


හැමෝම ඇවිත්, දානෙකට මගුලකට විතරක් එකතු වෙන අය හැමොම ඇවිත්. චූටි කෙල්ල ඇවිදිනවා. අනේ ආසාවෙ බෑ, දුවලා ගිහින් වඩා ගන්න හිතෙනවා, ඒත් ඊට වඩා හිත ගැහෙනවා. කවුද දෙයියනේ මැරුනෙ?? මට කියන්නකො??? කවුරුත් ඇයි මාව ගනන් ගන්නෙ ඇත්තෙ??හ්ම්ම්ම්ම්... මොකක් හරි ප්‍රශ්නයක්, තේරෙන්නෙ නෑ ඔලුව අවුල් වෙනවා. 


ගේ ඇතුලෙත් ඔක්කොම අස් කරලා, වෙනදට සාලෙ පිරෙන්න තියන මේස පුටු අද එකක් වත් නෑ..හැම දේම වෙනස් වෙලා... හ්ම්ම්ම්ම්... අම්ම කෝ??? ගිහින් බලන්න ඕන කාමරේට. අනේ ඇයි මේ අම්ම අඩන්නෙ?? අක්කා, අක්කි, ඇන්ටි ඔක්කොමලා ඇයි මේ අඩන්නෙ?? අහ්, වෙලාව රෑ 7යි. "ඔන්න දැන් ගේනවලු" කවුදෝ ඇවිත් කියුවා. කාගෙන් අහන්නද මං???අනෙ මංදා. මේ ලෝකෙ මං ආසම නැති දේ, අම්මා අඩන එක, ඒත් දෛයනෙ අද මට ඇඩෙන්නෙ නැත්තෙ ඇයි??? හ්ම්ම්ම්ම්... ඔන්න ආවා වාහන පේලියක්. මට මේක බලාගන්නකන් ඉන්න වෙනවා.කවුරුත් මට කියන්නෙ නෑ ඒ කියන්නෙ? හරි බලමුකො.. එයාලට කොඉ වෙලෙ හරි මට කියන්නම වෙනව නෙ...




ලස්සන ලොකු ඇත් දල දෙකක් උස්සන් ඇවිත් තිව්වා. උඩුවියන්, සාලෙ මැදින් තියලා,හැම දේම හරි ලොකූ කෑගැහිල්ලක් මැදින් ලස්සනට කැටයම් කරපු මිණි පෙට්ටියක් ගෙනත් තිව්වා. ලස්සනයි. අයියා, මේ තරන් අඩන්නෙ ඇයි??? පවුලෙ හැමොම මෙතන ඉන්නකොට් කවුද මේ මැරිලා ඉන්නෙ? හිතා ගන්නත් බෑ. 
හෙමීට හෙමීට ඒ පෙට්ටියෙ පලු 2 ඇරියා. දෙවියනෙ. 


ලස්සන සාරියක් ඇදන් එතන ඉන්නෙ මම නේද?????

(මගේ කලින් බ්ලොග් එකක දාපු පෝස්ට් එකක්. අද මෙ නික්මට වගෙ ඒකට ගියාම දැක්කෙ. මේක නිකන්ම නිකන් හිතුන දෙයක් විතරයි.. ඒ වෙලාවෙ මගේ හිතේ මොනව තිබුනද කියලා නං අද මතකයි නෑ. ඒ තරන් ගොඩක් පරණයිද කොහෙදෝ මේක. අනේ මංදා.)

වැලන්ටයින්

කුමාරයගේ
කුණාටුවෙන්
කුළුදුල්
කුසුම
කුඩා
කුටියක
කුණුමුල්ලට

චතූ ඔයාටයි මේ

"චතූ අද ඔයාට පුලුවන් නම් ඉක්මනට ගෙදර එන්නකෝ."
බලමු හිමාලි.මම දැන් meeting එකක ඉන්නෙ.එහෙනම් මම තියන්නම්.මාව තේරුම් ගන්න ළමයො.චතුරoග එහෙම කිව්වෙ හිමාලි කතාකරන්නෙ දුකෙන් බව එයාට තේරුන නිසා.

"හුගක් මහන්සියි හිමාලි."චතුරoග ගෙට ගොඩවැදුනෙ එහෙම කියාගෙන.
ඔයා එහෙනම් නාගෙන එන්නකො චතූ.මම තේ හදන් එන්නම්කො.ඔයා ආස කරන කෑමක් මම අද හැදුවා.කියන්නත් දෙයක් තියෙනවා චතූ සතුටු හිතෙන ආරන්චියක්.හිමාලි එහෙම කියාගෙන කුස්සියට ගියා තේ හදන්න.

"ඔයා නාගෙන ආවද චතූ?ආ..චතූ තේ.මම අද චොකලට් කේක් හැදුවා.ඔයා ආසයි නෙ.
චතු අද වගේ ටිකක් කලින් එන්නකො ඔයාට පුලුවන් හැමදාම.දවල් දවසෙම මම තනියමනෙ.මටත් පාළුයි නෙ චතූ."
හිමාලි දවස් ගානක් හිතේ තද කරන් හිටපු වේදනාව එහෙම කියුවෙ ඉස්සර වගේම චතූත් එක්ක හුරතල් වෙන්න තිබුන ආසාවට.

"ඔයාට තේරෙන්න නෑ හිමාලි බිස්නස් වැඩ ගැන.මම මේ මහන්සි වෙන්න බිස්නස් එක දියුණු කරගන්න.ගෙදරට වෙලා හිටියම කොහොමද සල්ලි හම්බකරන්නෙ."

ඔයා උදේ ඉදන් හවස් වෙනකම් office එකේ.රෑට ගෙදර ආවමත් ෆයිල් ගොඩක් බදාගෙන.නිදහසේ කතාකරන්න වත් වෙලාවක් නෑනේ චතු.ඒ නිසා මගේ හොද මහත්තයා වගේ office එකේ වැඩ office එකේ තියල ඉස්සර හිටපු චතූ වගේ සැහැල්ලුවෙන් ගෙදර එන්න.please.


"හ්ම්ම්..බලමු."චතුරoග එහෙම කියුවෙ ෆයිල් ගොඩක් අතරෙ නෙත් යොමන ගමන්.චතුරoග හිමාලිට ආදරේ නැතුව නෙවෙයි ඒත් හිමාලිට දැනෙන්නෙ චතූ ගොඩක් ඈත් වෙලා කියලා.
හිමාලි කවුළුව අතරින් අහස දිහා බලන් හීල්ලුවා.

"ආදරේ කරපු කාලෙදි මම පුන්චි දේකට දුකෙන් හිටියත් මගේ පුන්චි වෙනසක් උනත් ඔයාට තේරෙනවා.ඒත් දැන්??මම දන්නවා ඔයා මට ආදරේ බව ගොඩා..ක්.ඒත් චතූ ඉස්සර හිටිය වගේ වෙන්න.ජීවත් වෙන්න සල්ලි ඕන තමයි.ඒත්  ඊට වඩා අපේ සතුට වටිනවා නේද?



තුන් තිස් පැයක්
නිදිවරාන වෙහෙසිලා
මම ලිව්වා
නුඹේ නමින්
පද වැලක්

බලා උන්නා
නුඹ එන තුරා
නුඹේ සිත් අහසේ
මගේ නමින්
ගෙත්තම් කරන්න
ඒ සුපෙම් සිහිනය

පාරමී පුරපු
අපේ සිහිනය
හැබෑ වෙන්නයි හදන්නෙ

ඒත්
නුඹට වෙලා නෑලු
ඒ සිහින පද වැල
අහන් ඉන්න
 මේක මම මගේ බ්ලොග් එකේ පළ කරපු පෝස්ට් එකක්.සිතුවිලි පවුරෙ පළ කරන්න හිතුනෙ නොදෑකපු අයට බලාගන්න.

කාගෙද වරද

මේ දවස් කිහිපයේම බ්ලොග් කියවනකොට කියවන්න ලැබුනෙම බස් කතන්දරමයි. මේකත් මේ මගී ප්‍රවාහන බස් රථ සම්බන්ධ කතාවක්. මේ පොස්ට් එක ලියන්න හිතුනේ  නම් අපේ මදුරංග අය්යා ලියපු කොන්දොස්තර මහත්තයෙක් කියන පොස්ට් එක කියෙව්වට පස්සේ.

මම හැමදාම මෙට්‍රෝ එක බලා එන්නේ ගාලු පාරේන්, ගොඩක් වෙලාවට ඉතින් භාවිතා කරන්නේ ප්‍රයිවට් බස් එකක්ම තමා.මොකෝ ඉතින් ලංගම බස් එකක් බෙහෙතකටවත් හොයා ගන්න තියෙන එකක්යැ. ජාතියේ ගමන් සගයෝ ගොඩක් අන්තිමට දැක්කේ නම් මේ ලගකදී තිබ්බ බස් වර්ජනය වෙලාවේ.

මේ මොන බස් එකේ ආවත් දෙහිවල ගුවන් පාලම පහු කරන්න ඕනනේ.මම මේ කියන්න හදන අත්දැකීම නම් ගොඩක් අයට ඇති.දෙහිවල වර්ණ සලකුණ ළග බස් රථය නතර කරාම ගොඩක් අය කරන දේ තමයි ටක් ගාලා බස් එකෙන් බහින එක.හැබැයි ඒ වෙලාවෙම බස් එක ඉදිරියට ගත්තොත් මොකද වෙන්නේ ?. බොහෝ වෙලාවට ඉතින් වටිනා ජිවිතයක් නැති වෙනවා. දෙහිවල විලියම් මංසන්දිය , ගල්කිස්ස මංසන්දියේ එහෙම මෙවන්‌ සිදුවීම් නිතරම බලා ගන්න පුළුවන්. එක දවසක් ගල්කිස්සේදී කාන්තාවක් මේ වගේ බහින්න ගිහින් බසයෙන් වැටුනා.ඇගේ ජීවිතයට අනතුරක් උනේ නැත්තේ නම් පෙර පිනකින් වෙන්න ඕන.

කතාවේ හොදම දේ වෙන්නේ ඊට පස්සෙ. බස් එකකින් අර විදියට කවුරුහරි වැටුනොත් ඒ අවට වටා පිටාවේ ඉන්න මිනිස්සුයි , බස් එකේ මින්ස්සුයි හැමෝම ඉස්සෙලාම කරන්නේ බස් එකේ කොන්දොස්තරටයි , රියදුරු ටයි පුළුවන් තරම් බනින එක. වැටිච්ච මනුස්සයාට ටිකක් බරපතලයි වගේ නම් ඉතින් කොන්දොස්තරටයි , රියදුරුටයි අතින් පයින් සංග්‍රහ කරන්නත් ඉතින් අමතක කරන්න නැහැ.කවදාවත් වරද කාගෙද කියලා හොයලා බලලා වැඩ කරන්නේ නැහැනේ අපේ අය.ඔය පහුගිය කාලේ සිදුවුන රිය අනතුරු වලදීත් බස් එක ගිනි තියලා රියදුරුට සංග්‍රහ කරලා ඉවරා වෙලානේ නඩුව අහන්න පටන් ගත්තේ.

මොනදේ උනත් ඉතින් ප්‍රයිවට් බස් රථ වලත් ඉතින් සේවය හොදයි කියන්න නම් බැහැ.මම ඉන්න තැන ඉදලා කොළඹට විනාඩ් 45 යන්න පුළුවන් ගමන අපරාදේ කියන්න බැහැ අනිත් බස් වලට වෙට්ටු දාලා, හැම බස් හෝල්ට් එකක්ම මගින් ඇතැත් නැතත් පරික්ෂා කරලා එනකොට පැයත් පැනලා.වෙන විකල්පයකුත් නැති එකේ අපි ට යන්න තියෙන්නෙත් ප්‍රයිවට් බස් විතරනේ.ඒ අයත් ඉතින් අපිට කරන්නේ සේවයක් නේ(ද).

බස් කතාව ඔයින් ඉවරයි.ඉදිරියේදී ඇතිවෙනවා කියන අලුත් ශ්‍රී ලංකාවේ වත් මේ වගේ අප්සට් දේවල් නොවේවායි ඉත සිතින් ප්‍රර්ථනා කරනවා.

සිතුවිලි පවුර සරසමු සැම සනසමින

කාලය හිඟයි වැඩ වැඩි වුණ නිසාවෙන
ආලය ලියන්නයි කවි පද හැකි පමණ
ලද ඉඩ ලියන්නට මෙහි දැන් හිතට ගෙන
සිතුවිලි පවුර සරසමු සැම සනසමින

මම තව බ්ලොග් තුනක් ලියනවා මගෙම කියා
එනමුත් තවම නෑ හවුලේ කිසිත් ලියා
ආසයි ලියන්නට දුක සැප සමව තියා
බෙදලා හදලා ලියමුකො සිත සතුට තියා

නිසඳැස් ලියන්නට පුළුවන් කමක් ඇත
එනමුත් සඳැසටයි තවමත් වැඩිය හිත
අරුතෙන් පිරුණු දේ ලියනට යොමා සිත
කළ හැකි යමක් බැලුවොත් සිත සතුටු වෙත

ආසයි අඳුනගන්නට හැම දෙනා හොඳින්
හැකි හැම විටක සිත සතුටින් සිනාසෙමින්
ජීවිත සටන ගෙන යන ධර්මයෙන් සෙමෙන්
අප හට හැකි වේවි සරසනු පවුර ඉතින්


පසුව ලියන වග නම්;

මා බ්ලොග් ලිපි ලියන්නට පටන් ගත්තේ මීට වසර එක හමාරකට පමණ පෙරාතුවය. එහෙත් ඒ වන විට බ්ලොග් පිළිබඳ මට තිබූ දැනුම ඉතා අල්ප විය. එහෙත් කල් යත්ම බ්ලොග් අවකාශය යනු අපූරු කලාවන්ගෙන් පිරුණු සුන්දර පාරාදීසයක් බව මට පසක් විය. එහෙත් මා තවම බ්ලොග් ලිපි ලිවීමේ කෙල පැමිණියෙක් නොවෙමි. ප්‍රකාශණ විධි අතර ප්‍රබලතම ප්‍රකාශණ විධියක් වන සඳැස් කවිය මගේ ප්‍රියතම ප්‍රකාශණ විධියයි. එහෙත් නිසැඳසටද මම ඇලුම් කරමි. මාගේ බ්ලොගයන් වන හද පතුල හා පෙම් පෙත යන බ්ලොග් වල ලිපි බොහොමයක මේ අයුරින් ලියූ පද්‍ය ඇතුලත් කර ඇත. මා මෑතකදී ලියන්නට පටන් ගත් නිදුක් බ්ලොග් එක තුලින් බුදු දහම තුලින් යහපත් ජීවිතයක් ගත කිරීම ගැන කතා කරමි.

මෙසේ බ්ලොග් අවකාශයේ කතුවරයෙකු ලෙස කටයුතු කළද, සාමූහික බ්ලොගයක කතෲත්වයක් මට ලැබුණේ සිතුවිලි පවුර තුලිනි. මෙහිදී  මේ බ්ලොගයට නවකයෙකු ලෙස මට බොහෝ දේ ඉගෙන ගන්නට තිබෙනු ඇත. බොහෝ දේ බෙදා ගන්නට තිබෙනු ඇත. අප බ්ලොග් කරුවන් ලෙසට ඉදිරියට ගෙන යන්නේ අප ලියූ දෑ කියවන්නෝය. ඒ නිසා ලිපියට කමෙන්ටුවක් දැමීම අගේ කොට සලකමි.

ඉතිං ආයුබෝවන්!

පි‍ටු පෙරලපු ගාන