මහින්ද සමග මෛත්‍රී එදා අද සහ හෙට

Sunday, December 28, 2014

යුද්දේ දින්නට මහින්දට 2009 ඉදන් 2014 වෙනකම් රට කන්න දුන්නා ඇති කියලා කට්ටිය එකසිය ගානට කියවනවා. ඒත් එහෙම කියන එකෙක්ටවත් මතක නෑ 2009 දීත් මහින්දට ඔතනට එන්න දෙන්නේ නැතුව එලවගන්න දගලපු දැගලිල්ල. මේ ටික ලියලම දාන්න හිතුනේ මේ කියවිල්ල දැකලම එපා වෙලා. 

යුද්දේ ඉවර කරපු ගමන් රටේ ජනාදිපතිවරයාට එරෙහිව හමුදාපතිවරයාව බලයට ගේන්න එදා දැගලුවෙත් අද දගලන සෙට් එකම තමයි. අද ඒවා ඔක්කොම අමතක වෙලා අහසින් පාත් උනා වගේ කලගුණ සලකන්න මහින්දට රට භාර දුන්න වගේ කතා කිව්වට 2009 දීත් පැත්තක හිටපු මනුස්සයෙක්ව බල ලෝභයෙන් අන්ධ කරවලා ඒ මනුස්සයාගේ අනාගතේ විනාස කරලා දැම්මේ රට කොටින්ගෙන් බේරගත්ත එකට කල ගුණ සලකන්න වෙන්න ඇති. යුද්දේ දින්නට ඔය කියවන තරමට කල ගුණ සලකන්න එදත් සැදී පැහැදී හිටිය කියන මිනිස්සු එදා මොන මගුලකටද රටේ සේනාධිනායකයයි හමුදා නායකයයි කෙටෙව්වේ. එහෙමත් කරලා බැරි වෙච්ච තැන අදත් හොරකම භිෂණය දුෂණය ඒකාධිපති පාලනය වගේ ලොකු ලොකු කතාන්තර සෙට් එකක්ම කියාගෙන මහින්ද එලවන්න හින දකිනවා.

මහින්දගේ හොරකම දුෂණය භිෂණය ගැන කතා කරන්නේ අවුරුදු එකොළහක් යුද්දේ වවාගෙන කන ගමන් රටත් කාපු ගෑනියෙක්. ආයුධ ගේනකොට එහෙන් හම්බ වෙන කොමිස් කුට්ටිය කාටවත් පේන්නේ නෑ, රටේ පොදු පහසුකම් සංවර්ධනය වෙනකොට තමයි ඉස්සර පෙනුනේ නැති දේවල් උනත් හැම එකාටම පේන්න පටන් ගන්නේ.
එදා ගහපු කොමිස් කරපු හොරකම් කොච්චරද කියල මිනිස්සුන්ට පෙනුනේ නැත්තේ අන්න උතුරේ මිනි මරනවෝ කියලා යුද්දයක් කියල එකක් රටේම උන්ට පේන්න තිබුන නිසා. එදා කොච්චර කොමිස් ගැහුවත් හොරකම් කලත් කාටවත්ම පෙනුනේ නැත්තේ ඒකයි. අද ඉන්න නායකයන්ට එහෙම පෙන්නන්න මොකුත් නෑ. ජනතාවට පෙන්නන්න ප්‍රශ්නයක් නැති නිසා හොරකම වංචාව තමයි එක පාරටම පේන්න පටන් ගත්ත ලොකුම ප්‍රශ්නේ.

ඕනෑම මිනිහෙක් දේශපාලනේට එන්නේ නිකම් අත පිහදාගෙන යන්න නෙවෙයි. බලයට එන්න කලින් මොන ධර්මය දේශනා කලත් බලය අතට ගත්තට පස්සේ මුලින් කියපු කතාන්තර එකක්වත් මතක නෑ, ඒක මනුස්සයෙක් උනාම ගොඩ දෙනෙකුට පොදුයි.

ඊට පස්සේ ඒකාධිපති පාලනේ ගැන කියවන්නේ පක්ෂයේ ඉන්න  ඔක්කොම ප්‍රභල නායකයෝ ටික ආණ්ඩුවට එකතු වෙනකම් උඩ බලාගෙන ඉදලා ජිවිත කාලෙටම පක්ෂ නායකත්වය තමන්ට රැක ගන්න පුළුවන් විදියට පක්ෂයේ ව්‍යවස්ථාවේ ඉදන් වෙනස් කරගත්තු එකෙක්. භිෂණය ගැන කියවන්නේ කුරුඳු පොලු හමුදාවේ ලොක්කා.
ඒ මදිවට මේ හැම එකෙන්ම රට ගලවගන්න කියල ඉදිරිපත් වෙලා ඉන්නේ  තමන් ඉදිරිපත් කරන්න හදපු සෞඛ්‍ය පනතේ වත් එක කොපියක් පරිස්සම් කරගන්න බැරි වෙච්ච මෙච්චර කාලයක් ඇමති ධුර දරාගෙන ඉදලා කරා කියන එක වැඩක් පෙන්නන්න බැරි වෙච්ච පතෝල නායකයෙක්.

එහෙම කියනකොටත් බුකියේ කට්ටිය නම් කියන්නේ ඝෝටාභය වැඩක් කරන්න දුන්නේ නෑ. මහින්ද පවුල් පාලනයෙන් වියරු වැටිලා වගේ හිනා යන කතා සෙට් එකක් විතරයි. මොකද සිරිසේන කියන්නෙත් වැඩ බැරි මනුස්සයා උනත් කතාන්තර කියන්න පුළුවන් එකෙක්. නැත්තම් මෙලෝ වැඩක් නැතුවට අවුරුදු හතලිස් ගානක් දේශපාලනේ කරයියැ. තමන්ට වැඩක් කරගන්න ආණ්ඩුවෙන් ඉඩක් හම්බ උනේ නැත්තම් මෙච්චර කල් ඔය කියන ආණ්ඩුවේම ඇමතියෙක් වෙලා බකන් නිලාගෙන හිටියේ අහවල් බම්බුවකටද? ඒ දවස් වලම ආණ්ඩුවෙන් එලියට බැහැලා විපක්ෂයේ වාඩි වෙන්න තිබුන නේ.

අනික මහින්දගේ කෘර පාලනය යටතේ ඇමති කෙනෙකුට එහෙමවත් වැඩක් කරගන්න දුන්නෙම නෑ කියමු. චන්ද්‍රිකාගේ කාලෙත් සිරිසේන කියන්නේ 2001 ඔක්තෝබර් ඉදන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේඛම් ඒ වගේම 2004 පාර්ලිමේන්තු සභා නායක වගේම  2004 දී නව එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය තුළ ගංගා නිම්න සංවර්ධන හා රජරට සංවර්ධන ඇමති. ඒත් කරපු වැඩක් නම් නෑ. එහෙම හිටපු ඒ මනුස්සයට 2007 ජනවාරි මස කැබිනට් සංශෝධනය මගින් කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා සංවර්ධන ඇමති විදියට පත් කරලා නග්ගලා ගත්තෙත් මහින්ද රාජපක්ෂම තමයි. 2010 මේ සිරිසේන අප්‍රේල් මාසයේ ඉදන් රටේ සෞඛ්‍ය ඇමති විදියට හිටියත් ජනතාවට දැනෙන්න වැඩක් කරපු කෙනෙක් නෙවෙයි. 

1995 මහින්ද වෘත්තීය පුහුණු අධිකාරිය හැදුවේ ජනාධිපති වෙලා නෙවෙයි. ඒ මනුස්සයා රටේ  මිනිස්සුත් එක්ක හිටිය මිනිස්සුන්ගේ ප්‍රශ්න අදුන ගත්ත කෙනෙක් වෙච්ච නිසා. එදා ඒ කරපු නිර්මාණයෙන් කාර්මික අධ්‍යාපනය ගමට ගිහින් ගමේ හිටපු තරුණ තරුණියන් රැසකට තමන්ගේම රැකියා ආරම්භ කරන්න අවස්තාව සැලසුණා කියන එක අද කාටවත් මතක නෑ. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කම්කරු ප්‍රඥප්තියක් කෙටුම්පත්  කරලා ඉදිරිපත් කළත් චන්ද්‍රිකා රජය යටතේ එය ක්‍රියාත්මක උනේ නෑ.

ඒ විතරක් නෙවෙයි කම්කරු ඇමති විදියට මහින්ද රටට අලුත් දේවල් දෙනකොට ඒ කාලෙම තමන්ට තර්ජනයක් වෙයි කියල දැනුන නිසාම චන්ද්‍රිකා කලේ මහින්දව ධිවර ඇමති බවට පත් කිරීම. වැඩක් කරපු මනුස්සයෙකුට මාළු අල්ලන්න භාර දුන්න වගෙයි කියල ඒ කාලේ මිනිස්සු කිව්වේ ඒ නිසා. ඒත් මාළු අල්ලන්න හම්බ වෙච්ච ඇමතිකමේ ඉදගෙනත් සාගර කටයුතු පිළිබඳ විශ්වවිද්‍යාලයක් එක්කම වෙරළ ආරක්ෂණ අංශයක් ඇති කරන්නත් මහින්ද රාජපක්ෂ කටයුතු කලේ ජනාධිපති විදියට නෙවෙයි.

හොරකම දුෂණය ගැන මොන තරං කතා කිව්වත් ඔය එකක්වත් ඔප්පු කරන්න සාක්ෂි තියෙන චෝදනා නෙවෙයි. හොරා හොරා කියල කෑගැහුවට මහින්ද මෙන්න මෙතන මේ විදියට ගසාකාල තියෙනවා කියල සාක්ශි එක්ක කතා කරන්නවත් නෑ. ගිරව් වගේ මොකෙක් හරි එකෙක් කිව්ව එකක් ඔහේ කියවනවා විතරයි. දැන් රටේ කියන කතා වල හැටියට නම් පේන්නේ පාරේ වැඩ කරන මනුස්සයෙක් සිමෙන්ති කොට්ටයක් හොරෙන් අරගෙන ගෙදර ගියත් ඒකත් කරලා තියෙන්නේ මහින්ද. ජීවිතේට මොකුත්ම හොරකම් කරලා නැති මිනිස්සු වගේ මහින්දගේ දුෂිත පාලනයට එරෙහිව බනින්න ඉදිරිපත් වෙලා ඉන්නේ පාරෙන් සිමෙන්ති කොට්ටේ උස්සගෙන ගෙදර ගියපු එකා. රට තනිකරම සංවර්ධනය කරලා තියෙන්නේ චීනෙන්. ආණ්ඩුව මොකුත්ම කරලා නෑ. චීනෙන් ඇවිත් ඔක්කොම කරලා යනකම් ආණ්ඩුව ඔහේ නිදාගෙන ඉදලා.

දැන් මෙච්චර කල් රට කන්න ආසාවෙන් ඉදලත් ඒකට චෑන්ස් එකක් හම්බ උනේ නැති සෙට් එකටත් රට කන්න චෑන්ස් එකක් හදලා දීපන් කියල නොවැ ඔය කියන්නේ. කියන්න තියෙන්නේ තව එකම එක දෙයයි. මහින්ද හොරෙක් නම් මහින්දගේ හොර රංචුවේ මෙච්චර කාලයක් එකට හිටපු හොරුන්ටත් ඒ හොරකම් වලින් අත පිහදාගෙන මම විතරක් හොද මනුස්සයා කියල කියන්න බැහැ. මොකද හොරකම වරදක් නම් ඊට අනුබල දීමත් වැරද්දක්. එකම අරමුණ මහින්ද එළවීම උනත් ලොකු හොරා පන්නලා පොඩි හොරා පත් කරගත්තා කියල වෙනසක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. පහු ගිය දවසක සිරිකොත ඉස්සරහ වෙච්ච දේවල් වලින් ඇති කරන්න හදන යහපාලනය කොහොම එකක්ද කියල රටේ ජනතාවට ඡන්දයට කලින්ම ඔප්පු වෙලා ඉවරයි. මෙච්චර කාලයක් ඇස් කන් පියාගෙන ඉදලා එක පාරටම දුෂණයෙන් භිෂණයෙන් තොර යහපාලනයක් ගැන ගිරව් වගේ කියවන්න පටන්ගත්ත සෙට් එකේ පැටිකිරිය ගැනත් හොයලා රටේ අනාගතය කාට භාර දෙනවද කියල තීරණය කරන එක රටේ ජනතාවටම භාරයි 


සුභ අනාගතයක් මෛත්‍රී පාලනයක් 

9 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

ශණි शनि said...

අපි වැඩි දෙනකුට ඕනෑ මෛත්‍රිපාල සිරිසේන දිනවන්න නෙවෙයි. රනිල් හරි චන්ද්‍රිකා හරි දිනවන්නත් නෙවෙයි. මේ අති භයානක ව්‍යවස්ථාව වෙනස් කරල නීතියේ ආධිපත්‍යය ඇතිකරවන්නයි. මහින්ද ප්‍රබාකරන් මැරුවට යුද්දෙ දිනුවෙ නෑ. දිනුවනම් තවම බයේ මර හඬ තියන්න වෙන්නෙ නෑනෙ “කොටිය තාම ඉන්නවා....ඌ ඉන්නෙ පිටරට....මං ගියොත් ඌ ආයෙ එනවා....“ කිය කියා. මේ යන විදිහට ගියොත් දෙමළ මිනිස්සුත් මුස්ලිම් මිනිස්සුත් සිංහල මිනිස්සුත් වෙන වෙනම ආයෙත් ආයුධ අතට ගන්නවා. රටක පාලකයෙක්ගෙ පළමුවැනි රාජකාරිය රටේ නීතිය හා සාමය ස්ථාපිත කරවීමනෙ. ඒකනෙ ආපු ගමන් එල් ටී ටී ඊ එකට සාකච්ඡා වලට ආරාධනා කරන්න ගියෙ. අන්තිමට ප්‍රබාකරන් නොමරා බැරි තැනට ආව නිසා ඌව මැරෙව්ව. හොඳ වෙලාවට ලෝකෙට ත්‍රස්තවාදය එපා වෙලා එල්ටීටීඊ එකට ලෝක ජනමතය නම්මාගන්න බැරි වුනා. මතක තියාගන්න මානව හිමිකම් කියන්නෙ කොටි හිමිකම් නෙවෙයි. මානව හිමිකම් කඩ කිරීමෙන් කොටි බිහි වෙනවා. මිනිස්සු කියන්නෙ දියුණු සත්තු ජාතියක්. කන්න දීපු පළියට, සැප පහසුකම් දීපු පළියට මිනිස්සු රවට්ටන්න බෑ. අද ලංකාවට අධිවේගී පාරවල් තියනව. නැව් ආවෙ නැති උනත් වැඩිපුර වරායක් තියනව. ප්ලේන් බැස්සුවෙ නැති වුනත් අතිරේක එයාපෝර්ට් එකක් තියනව. ඒව මේ කාලෙ හැටියට ඕනැ තමයි. අධිවේගී මාර්ගයක් ඉස්සෙල්ලම හදන්න හැදුවෙ සමගි පෙරමුණ ආණ්ඩුවෙන්. කරගන්න බැරි වුනා තමයි. පාරවල් කාපට් කිරිල්ල පටන් ගත්තෙ ජේ ආර් ගෙ කාලෙ. දාහත් අවුරුදු සාපය කාලෙ. පාරවල් කාපට් කළාට ජේ වී පී එක නැගිට්ටා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විදිහට. මතක තියාගන්න. තිස් අවුරුදු යුද්දෙ පටන් ගත්තෙ මේ ඒකාධිපති ව්‍යවස්ථාව හැදුවට පස්සෙ. ව්‍යවස්ථාව වෙනස් කළානම් මහින්දට තව දුරටත් ඉන්න තිබුනා. දැන් නෝ චාන්ස්. කාන්ට් හෙල්ප් පුතා.

රාජ් said...

//හොරකම දුෂණය ගැන මොන තරං කතා කිව්වත් ඔය එකක්වත් ඔප්පු කරන්න සාක්ෂි තියෙන චෝදනා නෙවෙයි. හොරා හොරා කියල කෑගැහුවට මහින්ද මෙන්න මෙතන මේ විදියට ගසාකාල තියෙනවා කියල සාක්ශි එක්ක කතා කරන්නවත් නෑ. ගිරව් වගේ මොකෙක් හරි එකෙක් කිව්ව එකක් ඔහේ කියවනවා විතරයි//

මේකට හොඳ උත්තරයක් දුන්න අමිල හාමුදුරුවො. හොරකම් කරපු රත්තරංට ඒ ගැන විභාග කරන්න එන්න කිව්ව දවසෙ ඌ නයෙක් කාල. අනේ මෙහෙමත් වැඩ!

Anonymous said...

@ හෙනහුරා
රනිල්, චන්ද්‍රිකා, රිෂාඩ් බදියුදීන්, හකීම්, TNA ආදීන් මෛත්‍රීට එකතුවෙලා ඉන්නේ මේ අති භයානක ව්‍යවස්ථාව වෙනස් කරල නීතියේ ආධිපත්‍යය ඇතිකරවන්නයි කියලා ඔබට තිබෙන සහතිකය කුමක්ද? එය සිදු කරවානම් ඔවුන්ට විශේෂයෙන් රනිල්ට හා චන්ද්‍රිකාට ඕනෑතරම් අවස්ථා හා විධායක බලතල අතීතයේ තිබුනා. මගේ මතකය හරිනම් චන්ද්‍රිකා මැතිණිය 95 හෝ 2000 JVPය එක්ක 'බලයට ආ වහාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න' ගිවිසුමකුත් අත්සන් කරා. එත් බලයට ආවහම ඒක අමතක කරලා දැම්මා. මෙවරත් ඒ දේ සිදුනොවෙයි කියලා ඔබට 100%ක් විශ්වාසද?

ඒ වගේම අමතක කරන්න එපා ඉහල පුටුව මාරුවුනත්, එදා ඉඳන්ම (95 විතර ඉඳන්) අනිත් පුටුවල ඉන්නේ එකම කණ්ඩායමක් කියන එක. මට පෙනෙන විදියට මෙතනදිත් ඒ කණ්ඩායමේ ලොකු වෙනසක් වෙන්නේ නෑ.... අවුරුදු 20ක පමණ කාලයක් තිස්සේ ව්‍යවස්ථාව වෙනස් කරල නීතියේ ආධිපත්‍යය ඇතිකරවන්න සහයෝගය නොදීපු කණ්ඩායමක් වෙතින් හදිසියේම ඉහල පුටුව වෙනස්වුනා යන කාරණය මත පමණක් ඒකට ස‍හයෝගය ලැබෙයි යයි සිතීම විහිළුවක් පමණක් වෙයිද???

ඒ වගේම අමතක කරන්න එපා අපි අතීතයේ ඉඳන්ම "ඉඟුරු දීලා මිරිස් ගන්න" උපන් හපන්කම් දැක්වූ ජාතියක් වග. කාට රිදුනත් ඒකයි ඇත්ත......

ශණි शनि said...

මං ආයෙත් කියන්නෙ මේ වෙලාවෙ කාටවත් මෛත්‍රිපාල හරි එයාගෙ කණ්ඩායම හරි දිනවන්න අවශ්‍යතාවක් නෑ. අවශ්‍යතාව මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය අවසන් කරන එකයි. ඒකට හරියටම හරියන්නෙ එකෙකුට එකෙක් නොගැලපෙන මේ වගේ කණ්ඩායමක්.
බලන්න දෙයක් නෑ. මෛත්‍රිපාලට කියල රට සංවර්ධනය කරවගන්න තරම් අපි මෝඩයෝ නෙවෙයි. සංවර්ධනය කරන්න අවශ්‍ය තරම් නිලධාරීන් අපට ඉන්නවා. දේශපාලුවෝ ඇඟිලි ගහන්නෙ නැතිනම් ඒක අපූරුවට කරගන්න පුළුවනි. සාමූහික නායකත්වය තමයි වැදගත් වෙන්නෙත් ප්‍ර යෝජනවත් වෙන්නෙත්. තනි බලට වෙනුවට සාමූහික බලයක්. ඒකයි අවශ්‍ය. කැබිනට් මණ්ඩලයට විධායක බලතල දෙන්න කියන්නෙ ඒකටයි.

ලොකු පුතා said...

++++++
බොහෝ කරුණු සමග එකඟය...

අරුණ හෙට්ටිආරච්චි said...

මේක බුකියේ මම නිරෝෂන් රුපසිංහගේ ස්ටේටස් එකකට දාපු කමෙන්ට් එකක්. මේ කියලා තියෙන අදහස් වලට මේකත් එකතු කරගන්න. ඊට අමතරව මේකේ ඔරිජිනල් පොස්ට් එක දාපු මගේ බ්ලොග් එකෙත් දෙමල ඩයස් පෝරාව ගැනත් කමෙන්ට් එකක් වැටිලා තිබුනා. ඒක මෙතනින් ගිහින් බලන්න
http://ape-ambalama.blogspot.com/2014/12/blog-post_25.html




සිරිසේනට කඩේ යන මිනිස්සුන්ටත් අවශ්‍ය මුලු රටටම පිලිලයක් වුන ඒකාධිපති ධුරය වෙනස් කරන්න නොවෙයි.සිරිසේන කියන කොහෙවත් යන රූකඩයක් දිනවලා තමන්ගේ දේශපාලන ප්‍රතිවාදියා පරාජය කර කාලකන්නි සතුටක් ලබන්න. මහින්ද හැර ඕන කෙනෙක් පත් කරගන්න කියලා රටට පේන්න කියවලා ජේවීපි අයත් සිරිසේනට මෙහෙම කඩේ යන්නේ ඒකයි. ,රැකියා ස්තානවල තමන් මහින්ද වෙනුවෙන් එලිපිට පෙනීසිටි නිසා ඇතිවන බිය මාධ්‍ය හරහා සහ මංගල සමරවීරගේ කටකතා බලකාය මගින් නිර්මාණය කරන ලද්දක්. උදාහරණයක් විදියට සයිබරයේ මේ දවස් අපි මුහුණ දෙන තත්වයම පෙන්වන්න පුළුවන්.

මේ දවස් වල අපි මොකක් හරි දෙයක් වෝල් එකේ දැම්මොත් කමෙන්ට් වලින් බාගයක් එන්නේ මහින්දට කඩේ යන්න ලජ්ජා නැද්ද මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා දුෂිත පාලනේ සහෝදර සමාගමේ කෙරුවාව වගේ කතාන්තර විතරයි. යන්නේ කොහෙද කියල ඇහුවත් කට්ටියක් වටවෙලා රාජපක්ෂට විරුද්දව කමෙන්ට් දාල ඇති.
නිරෝෂන් රූපසිංහ කියන්නේ කොයිතරම් හොද මනුස්සයෙක් උනත් ෆේක් සහ රියල් ගිණුම් දෙතුන් සියයකින් සෙට් වෙලා සංවිධානාත්මකව නිරෝෂන් රූපසිංහ කියන පුද්ගලයා ගැන මු හොරෙක් ස්ත්‍රී දුෂකයෙක් වගේ එකම කරුණක් සයිබරය පුරාම ගෙනියන්න පුළුවන්කමක් තියෙනවා නම් ඇත්තටම නිරෝෂන් රූපසිංහ කියන පුද්ගලයා කිසිම කෙනෙකුට වරදක් නැති පන්සිල් රකින අහිංසක පුද්ගලයෙක් උනත් සයිබරය වටා එකතු වෙලා ඉන්නජනතාවගේ හදවත් ඇතුලේ ඇදිලාතියෙන්නේ නිරෝෂන් රූපසිංහ කියලා කියන්නේ හොරෙක් ස්ත්‍රී දුෂකයෙක් කියන ප්‍රතිරූපය, ඒක කලේ යම් කිසි සැලසුමක් ඇතුව කාලයක් තිස්සේ සන්විධානාත්මකවද නැද්ද කියන කාරණය ගැන අපිට හැගීමක් නෑ.
ඒවගේම තමයි ඔය සිස්ටම් එකටම ඕනෑම කෙනෙක් පුම්බන්නත් පුළුවන්. කොයිතරම් වැරදි තියෙන පුද්ගලයෙක් උනත් ඒ මනුස්සයාගේ වැරදි ඔක්කොම යටපත් කරලා හොද මිනිහෙක් වගේ චිත්‍රයක් ලෝකෙට පෙන්නන්නත් පුළුවන්

මේක කිව්වේ මහින්දව සුද්ද කරන්න ඕන නිසා නෙවෙයි, ඒත් රනිල්ට බෑ කියන මතය ලංකාව තුල හැදුනෙත් ඔන්න ඔය විදියට. රනිල් කොච්චර දක්ෂ නායකයෙක්ද අනම් මනං කතා දැන් කොච්චර කිව්වත් මිනිස්සුන්ගේ හිත් ඇතුලේ රනිල්ට බෑ කියන මතය පැල පදියම් වෙලා ඉවරයි. මේසැරේ මහින්ද රාජපක්ෂටත් මහින්දට බෑ කියලා මුලින්ම කරන්න උත්සාහ කලේ අන්න ඒ මතය හදන එක, ඒත් ඒක කරගන්න බැරි උනා. පවුල් පාලනය ඒකාධිපති පාලනය හොරකම වංචාව දුෂණය වගේ කතාන්තර සෙට් එකක් එලියට ආවෙත් ඒත් එක්කම. ඒත් ඒ එකක්වත් මෙන්න මෙතන මෙන්න මේ හොරකම මහින්ද හෝ රාජපක්ෂ පවුලෙන් සිද්ද උනා කියලා නිශ්චිතව කියන්න කවුරුවත්ම නෑ. ඔහේ ඉබාගාතේ මු හොරා හොරාපන්නලා යහපාලනයක් ගේන්න ඕනේ කියලා ඔහේ කියවනවා විතරයි

ඒකටත් උත්තරේ හැටියට ඔය සුදු වෑන් එකක් ඇවිත් උස්සගෙන යයි වගේ කතාවක් කියන්න නම් පුළුවන්. ඒත් මේ බුකියේ මහින්ද රාජපක්ෂ පාලනය යටතේ සුදු වෑන් එකකින් උස්සගෙන ගිය එකෙක් කියපන් කියලා කිව්වට පෙන්නන්න එකෙක් නෑ,
මොකද දැන් මහින්ද එක්ක තරගෙට ඉදිරිපත් වෙලා ඉන්නේ අවසාන මොහොත දක්වා එයා එක්කම හිටපු කෙනෙක්, මහින්දගේ හොරකම් එයා නොදැන ඉන්න විදියක් නැහැ කොහොමටවත්. එයා කියන විදියට දුෂිත ආණ්ඩුවෙන් එලියට ආවේ යහපාලනයක් සඳහාම නම් මහින්ද රාජපක්ෂ හොරකම් කළා කියලා ඔහේ කියනවට වඩා මහින්ද මෙන්න මෙතනින් මේ විදියට මෙච්චර ගානක් හොරකම් කළා කියලා කියන්න කාට බැරි උනත් එයාට බැරි වෙන්න බැහැ, වෙන කාට බැරි උනත්,

දැනට ඔය ඇති වගේ ටයිප් කරන්න කම්මැලියි දැන්. ඉතිරිය පසුවට

සෙන්නා said...

<< එයා කියන විදියට දුෂිත ආණ්ඩුවෙන් එලියට ආවේ යහපාලනයක් සඳහාම නම් මහින්ද රාජපක්ෂ හොරකම් කළා කියලා ඔහේ කියනවට වඩා මහින්ද මෙන්න මෙතනින් මේ විදියට මෙච්චර ගානක් හොරකම් කළා කියලා කියන්න කාට බැරි උනත් එයාට බැරි වෙන්න බැහැ, වෙන කාට බැරි උනත්, >>

සහතික ඇත්ත. මමත් මේ බල බලා ඉන්නෙ මෛත්‍රී හරි රාජිත හරි කට ඇරලා සාක්ෂි සහිතව මහින්ද ඇතුළු පවුල් සමාගම මේ මේ තැන් වලින් මේ මේ විදිහට ගහලා තියනවා කියලා කියනකම්.. ඒත් තාම එලුවන්කන්නයි මන් ආවේ කිය කිය ඉන්නවා මිසක් ඇතුලට පනින පාටක් පේන්න නෑ. එහෙම නොපනින්නේ ඒ ගොල්ලොත් ඒවට සම්බන්ද නිසාද දන්නෙත් නෑ කියලා ජහ මනයා වෙච්ච අපිට හිතෙනවා..

Anonymous said...

@හෙනහුරා
//මෛත්‍රිපාලට කියල රට සංවර්ධනය කරවගන්න තරම් අපි මෝඩයෝ නෙවෙයි.//

එසේනම් ඔබට අවශ්‍ය කුමක්ද??????
ඔබට අවශ්‍ය මහින්ද පැරදවීම නම්, ඇයි මෛත්‍රීපාලවම දිනවන්නේ?
මහින්ද හා මෛත්‍රී ඇරුනහම තවත් අපේක්ෂකයන් 17ක් පමණ ඉන්නවා ඒ අතර ස්වාමින්වහන්සේ කෙනෙකුත් සිටිනවා.... ඔවුන් බහුතරයක් ඔබට අවශ්‍ය කරුණ ඉටු කරනවා යයි පොරොන්දු වී තිබෙනවා......

//සංවර්ධනය කරන්න අවශ්‍ය තරම් නිලධාරීන් අපට ඉන්නවා. දේශපාලුවෝ ඇඟිලි ගහන්නෙ නැතිනම් ඒක අපූරුවට කරගන්න පුළුවනි.//

ඔබ ඔය කියන අවශ්‍ය තරම් හෝඅවශ්‍ය තරමටත් වැඩියෙන් නිලධාරීන් එදත් හිටියා.... මම මේ කතාකරන්නේ මා පෞද්ගලිකවම දන්නා 1975න් පසු කාලය ගැන. එදා අදටත් වඩා දක්ෂ නිලධාරින් හිටියා 1990 ආසන්නයේදී අදටත් වඩා දක්ෂ හමුදාවක් හා කොබ්බෑකඩුව වැනි අති දක්ෂ හමුදා නායකයින් හිටියා ඒත් ඔවුන්ට ඒ කාලයේ කරන්න හැකිවූයේ කුමක්ද???? වරද ඔවුන්ගේ නොවේ. නිවැරදි දේශපාලන නායකත්වය ඔවුන්ට නොලැබීමයි.

අද මේ සංවර්ධන කටයුතුවල යෙදිල‍ා ඉන්නේ ඔබ ඔය කියනා //අවශ්‍ය තරම් නිලධාරීන්//ම තමයි. ඔවුන් චන්ද්‍රිකා මැතිණියගේ කාලයේත් සිටියා. එහෙත් අද ඔවුන්ට නිවැරදි දේශපාලන නායකත්වය ලැබිලා තියනවා.
2010දී සරත් ෆොන්සේකා මහතා කීවා යුද්ධය දිනෙව්වේ මම කියලා.... එහෙත් ඔබ පිළිගන්නවාද ඩෙන්සිල් කොබ්බෑකඩුව යනු ඔහුට වඩා 100ගුණයක් දකෂ හමුදාපතිවරයෙකු බව.... එහෙත් ඔහුට යුද්ධය දිනාගත නොහැකිවූයේ ඇයි????

//කැබිනට් මණ්ඩලයට විධායක බලතල දෙන්න කියන්නෙ ඒකටයි//

අමතක කරන්න එපා විධායක ජනාධිපති දූරය ඇතිවුනේ 1977 කාල වකවානුවේදී කියන එක. ඊට පෙර තිබුනේ ඔවැනි පාර්ලිමේන්තුවක් තමයි.... එසේනම් එය සාර්ථක වුනාද.....? නෑ අන්ත විදියට පැරදුනා.
එය පරදවා (රට සංවර්ධනය කිරීම සඳහ‍ා) අද පවතින ක්‍රමය ගෙන ඒමට මුල් වුනෙත් අපේ මහජනතාවම තමයි...

මම නැවතත් ඔබෙන් අහනවා.... තමන්ට මීට පෙර මේ දේ කිරීමට හැකියාව තිබියදීත් එය ඉටු නොකල හා ඉටු කිරීමට සහයෝගය නොදුන් කණ්ඩායමක් අතින් මෙවර එය ඉටු වේවි යයි බලාපොරොත්තු විය හැකිද???? ඒ සඳහා ඔබට දිය හැකි සහතිකය කුමක්ද???

Lavkush said...

your site is very nice, and it's very helping us this post is unique and interesting, thank you for sharing this awesome information. and visit our blog site also
Apna Tv
tipsontechnology
learn every time new tips on technology
Hey my audience, in this website we’ll post about many tips on technology. many tips on hacking, education and many entertainment niche. i’ll post something special for you, Everyday
So check out it from here
tipsontechnology
learn every time new tips on technology

Post a Comment

පි‍ටු පෙරලපු ගාන