කොපි කිරීමේ නිදහස

Friday, February 3, 2012
මේ දවස් වල නිදහස ගැන මහා ඉහලින් කතා වෙන හින්දා, මට හිතුණා මෙහෙම මාතෘකාවකට බහින්න.

පොඩි කාලෙ ඉඳං ම සමහරු පුරුදු වෙලා ඉන්නේ කොපි කරන්ට. ඉස්කෝලෙදි ගෙදර වැඩ කරගෙන නාවාම ගෙඩි පිටිං කොපි කරන එක විතරක් නෙවෙයි.. ඊටත් පුංචි කාලෙ ඉඳලා කරන අනිත් අයව අනුකරණය කිරීමත් කොපි කිරීමක් තමයි.. ඉතිං හිතලා බලන්ටකෝ අපි කවුරු කවුරුත් අඩු වැඩි වශයෙන් කොපි කොරලා නැද්ද කියලා..

අනුකරණය වගේ දේවල් හොරකමක් හැටියට නොසැලකුවාට සමහර දේවල් කොපි කිරීම හොරකමක් හැටියට තමයි සලකන්නේ..  ගී පද, ගී තනු ප්‍රසිද්ධියේ හොරකම් කරන්ට ගත්තත් ඊට විරුද්ධව ඒ තරම් ලොකු බලවේගයක් ඇති වුණේ නෑ..

පරිගණක තාක්ෂණයේ දියුණුවත් එක්ක පරිගණක මෘදුකාංග, පරිගණක ගත ලිපි ලේඛණ වගේ දේවල් හොරකම් කිරීම වැඩි වුණා. MP3, වීඩියෝ වගේ දේවලුත් අන්තර්ජාලය හරහා අධික වේගයෙන් පැතිර ගියා..
මෘදුකාංගයක්, ලිපියක්, කවියක්, සාහිත්‍ය ප්‍රබන්ධයක්, සිංදුවක් ආදී ඕනෑම නිර්මාණයක පරම අයිතිය නිර්මාණකරුවා සතු වෙන්න ඕන කියන එක මම විශ්වාස කරනවා.. ඒ නිර්මාණ්ය නොමිලේ බෙදා දෙනවද, නැද්ද කියලා තීරණය කළ යුත්තේත් නිර්මාණකරුමයි..

අපේ සමහර බ්ලොග් වල රයිට් ක්ලික් කරන්ට බෑ, පණිවුඩයක් එනවා කොපි කොරන්ට එපා කියලා.. ඒක එයාලගෙ අයිතිය. ඒත් මගේ බ්ලොගයේ හෝ මම අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරන ඕනෑම නිර්මාණයක් කොපි කළාට මගේ අමනාපයක් නෑ.. (හැබැයි මගේ අයිතිය මට තියලා.. ඒ කියන්නේ මට ඒ නිර්මාණය වෙන තැනක පළ කරන්ට අයිතිය තියෙන්ට ඕන) කැමති නං මගේ නිර්මාණයක් කියලා කියන්ට, එහෙම නොකිවුවත් ප්‍රශ්නයක් නෑ..

මං එහෙම කියන්නේ.. මේකයි.. මං බ්ලොග් ලිපි හෝ වෙනත් නිර්මාණයක් පළ කරන්නේ.. මෙන්න මගේ වැඩ.. කියලා පෙන්නන්න නෙවෙයි.. ඒකෙ තියෙන මොකක් හරි වැදගත් දෙයක් තේරුං අරගෙන හැදෙන එකෙකුට හැදෙන්ටයි.. ඉතිං ඔය අදහස වැඩි දෙනා අතරට යනවා නං තමයි මගේ අරමුණ ඉටු වෙන්නේ.. කාගේ නම ගියත් මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි..

කොපි කරන කෙනාගේ යුතුකමක් තියෙනවා.. (අපේ බොහෝ දෙනා ඒ දේ කරනවා) කොපි කළේ කොතනින්ද, කින්ද, මන්ද කියලා පොඩි නෝට් එකකුත් එක්ක අදාල නිර්මාණය එළියට දාන්න..

හැමෝම එහෙම කරනවා නම් මේ ලෝකෙ මීට වඩා සුන්දර වෙනවා.. එහෙම නොකලත් ලෝකෙ සුන්දරයි..
වැදගත්ම දේ කොපි කිරීමෙන් පැවැත්ම හදාගන්න බෑ.. ඒකට නිර්මාණශීලීත්වය අවශ්‍ය මයි..

ප.ලි
කියන්ටම කියලා හිතාගෙන හිටපු දෙයක් අමතක වුණා.. අපේ සයිබරයේ බොහොම දෙනා (පැහැදිලිවම) යහපත් අරමුණින් දුර්ලභ සහ වටිනා නිර්මාණ අපිත් එක්ක බෙදා ගන්නවා.. ඒක නිර්මාණකරුට කෙසේ වෙතත් රස විඳින අපට නම් ලොකු උදවුවක්.. ඉතිං අපි පිනුත් අනුමෝදන් කරනවා ඒ වගේ මිත්‍රයින්ට.. ඒත් ඒ වැඩෙත් ඒ තරම්ම සාධාරණ නෑ කියලා හිතෙන්නේ තමන්ගේ නිර්මාණ ස්ප්‍රෙඩ් වෙන එක නවත්තන්න සමහර නිර්මාණකරුවෝ දරණ උත්සාහය නිසයි.. මේවා කියවලා අපේ තිස්ස අයියා (හද ගී පොත ලියන) එහෙම සිංදු දෙන එක නැවැත්තුවොත් එහෙම මහා වින්නැහියක්.. (විහිළුවට කිවුවට.. තිස්ස අයියා තමන් ලබා දෙන සිංදුවේ නිර්මාණකරුවාට ලබා දෙන්නේ ඉතා ඉහල ගෞරවයක්..ඒ වගේම ඒවා දුර්ලභ හා අපිට අහන්ට නොලැබෙන ගී.. ඉතිං නිකං තියෙන ගීතේ අපිට අහන්ට දීලා ආයෙත් මිනිස්සු අතරට ගෙනැල්ලා තිස්ස අයියා කරන්නේ ඇත්තටම පිනක්.. ) . හැබැයි සමහරු නම් ඉවක් බවක් නැතුව අනුන්ගේ දේවල් හොරකම් කරලා එළිපිට නොමිලේ බෙදා හරිනවා.. මෘදුකාංග වල ක්‍රැක්ස් එළිපිට බෙදා හරින අයත් ඉන්නවනේ..


 


14 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

රයිට් ක්ලික් කෙරිල්ල නතර කරන එක නම් වැඩක් නැ , කොපි කරන්න ඕනි එකාට කොපි කරන්න පුලුවන් . එකෙන් වෙන්නේ සාධාරණ පාඨකයත් අපහසුතාවයට ලක්වෙන එක

අනුන්ගේ දෙයක් කොපි කරල කවදාවත් සාර්ථක වෙන්න බැය කියල තමන්ටම තේරුම් ගිය දාට තමයි කොපි කරන අය ඒක නවත්වන්නේ

sAm (සෑම්) said...

මේ අසාධාරනේ බ්ලොග්කරුවන්ට ගොඩක් වෙනව මයෙ හිතේ

ඊ ‍මේල් විදිහට යන්නේ බ්ලොග් වල කතන්දර බොහොමයක් !

චතුර විජේකෝන් said...

බුවා ගේ කතාව ඇත්ත.. ඒත් ඒක එයාලගේ කැමැත්ත නිසා කමක් නෑ.. කොපි කරන එක අලුත් දෙයක් නෙවෙයි නොවැ... පුරාතනේ ඉඳං පැවතගෙන ආව දෙයක් නොවැ..

ස්තුතියි සහෝ අදහසට..

කනියා said...

"කොපි කරන කෙනාගේ යුතුකමක් තියෙනවා.. කොපි කළේ කොතනින්ද, කින්ද, මන්ද කියලා පොඩි නෝට් එකකුත් එක්ක අදාල නිර්මාණය එළියට දාන්න.."
මේ කතාවනම් අමූලික ඇත්ත... තමං තමුන්ගේ හෘර්ද සාක්ශියට එකගව වැඩ කරනවනම් මේ මොනවත් නෑ ඒත් එහෙම වෙන්නේ නැත් එකයි තියන ප්‍රශ්නේ?

කොපි කීරීමක් ගැන කියපුවාම ඕං මට මතක් උනා පෝස්ට් එකක්.. හෙටම දාන්න ඕනේ...

Nishan de siva said...

කොපි කරන එක නම් ලොකුම වරදක් අපෝ ඒක චාටර් වැඩක්නේ අනික.මන්නම් කාගේවත් ඒවා කොපි කරන්නේ නැහැ මගේ ඒවා කොපි කරත් අවුලක් නැහැ.ඕවා මාට්ටු වුනහම පට්ට චාටර්.

Unknown said...

අපේ පන්තියේ එකෙක් හිටියා උගේ නම කොප්පා...

නදුන් උයන said...

මගේ ලිපියක පින්තූර ටිකක් පලමු වරට සහ එකම වතාවට [මම දන්න විදිහට] කොපි කරගෙන තිබුනේ, එලකිරි එකේ පෝස්ට් එකකට.. ඒ මම ඔෆිස් සිංහලෙන් ගැන ලියපු ලිපියෙන්. ඒත් ඒ උපුටා ගැනීම ගැන ඇත්තටම මට සතුටු හිතුනා.., මගේ බ්ලොග් එකේ නම නම් දාල තිබ්බේ නෑ.. හැබැයි පින්තූර ගත්තේ බ්ලොග් අඩවියකින් කියල දාල තිබ්බ.. ඒත් මදැයි...

හොඳ මාතෘකාවක් ගැන ලියවුනු වැදගත් ලිපියක්...

The තරුවා said...

ම්ම්ම් ගොඩක් වැදගත් ලිපියක්....

චතුර විජේකෝන් said...

@sAm (සෑම්)
හැබෑව.. මං අදත් දැක්කා.. ගෙඩි පිටිංම කොපි කොරලා ලින්ක් එකක් නොදාපු ලිපියක්.. ඒ ගැන ඉතිං අයිතිකාර සහෝදරයා ඒ හැටි අමනාපයක් තිබුණේ නැති එකයි වටින්නේ.. සමහර විට කොපි කරපු කෙනා වැඩි දුර හිතන්ට නැතුව ඇති.. අමතක වුණා වෙන්ටත් පුළුවන්.. කොහොම වුණත් යහපත් අරමුණින් කරන දෙයක් නම් කවුරු කළත් මොකෝ කියලයි මට නම් හිතෙන්නේ...

චතුර විජේකෝන් said...

@අපේ කනියා
හැබෑටම පෝස්ට් එක දැම්මද? මට හොයා ගන්ට බැරි වුණා..

@නිකමා
මං නං කොපි කරලා තියෙනවා.. Assignment සෑහෙන්න කොපි කොරලා තියෙනවා.. ඒවායේ අයිතිකරු ගැන නෝට් එකක් දැම්මා නම් ඉවරයි නොවැ.. හැබැයි බ්ලොග් ලිපි කොපි කොළා නං ඒ අයිති කරුවා නොදැන (ඊ ලිපි මඟින් ආපුවා). ඒත් ඒක මගේ නෙවෙයි කියන්ට මං අමතක කොළේ නම් නෑ..
හොඳට මතක් කොරලා බලන්ට.. නිකමා ත් කවදා හරි, මොනවා හරි කොපි කොරලා ඇති..

චතුර විජේකෝන් said...

@ඔබ නොදු‍ටු ලොවක්
ඔහොම කියනකොට මතක් වුණේ.. දවසක් මගේ මිතුරෙක් මට කොපි කර ගැනීම පිණිස Assignment එකක් දෙන ගමන් කියනවා.. මචං අර *** වගේ නං කොපි කරන්ට එපා..! කියලා.. මං ඇහුවා මොකද කියලා..

මගේ අතින් වැරදිලා තියපු තිත ත් මූ මුගේ කොපියේ දානවා.. මාට්ටු වුණොත් බඩු ම තමා .. කියලා.. අපි ඉතිං එහෙම නෑ නොවැ.. Past Tense, Future Tense කොරලා I වෙනුවට We යොදලා, විචල්‍ය එහෙම තියේ නම් ඒවා වෙනස් කරලා වැඩේ ලස්සනට නිර්මාණශීලීව දෙනවා නොවැ.. ඒ හින්දා කවදාවත් මං ගහපු කොප්පයක් නං මාට්ටු වෙලා නෑ..

@නදුන් උයන
ඒ කියන්නේ කොපි කරපු හාදයා අවංකයි.. හැබැයි කෘතවේදී නෑ.. කියන එක.. නේද?

@~~තරූගේ ලෝකය~~;
බොහොම ස්තුතියි ..

said...

මුල්ම වතාවට මගේ ලිපියක් කොපි කරලා තියෙනවා දැක්කම නම් පොඩ්ඩක් අවුල් උනා ඒත් දැන් ගානක් නැහැ . මාත් අන්තර්ජාලෙට එකතු කරන ඕනේම දෙයක් මගේ නම ඇතුව හෝ නැතුව කොපි කලාට අවුලක් නැහැ. එහෙම කරන අයත් වැඩිය නැහැ හැබැයි :-D

Madhawa Habarakada said...

හ්ම්ම්. කතුවරයාට ක්රෙඩිට් එකක් නැතිව, කොපි කරන එකට නම් මම විරුද්ධයි. ඔහු/ඇය සම්උර්ණ නිදහසම දීල තිබෙනවා නම් ඕනෑම විදිහකට ඒව භාවිතා කරන්න, අන්න එතකොට කමක් නෑ, නමුත් එහෙම මොකුත් කියල නැති නම් ඒතන අනිවාර්යයෙන්ම යම් copyright ownership එකක් තිබෙනවා.

Anonymous said...

ලිපියක් කොපි කලාට කමක් නෑ. එත් මුල් නිර්මාණකරුවා ඒ සඳහා ගන්න මහන්සියට සාධාරණයක් වශයෙන් ලින්කුව සඳහන් කරනවා නම් හොඳයි.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන