පොඩි කාලේ

Wednesday, February 1, 2012
පොඩි කාලේ අපි හිටියේ අපේ සීයලාගේ ගෙදර, වෙනම ගෙදරක පදිංචියට එනකම් තවත් නෑදෑ පවුල් දෙකතුනක් එක්කම ජීවත් උනේ එකම ගෙදර. ඒ කාලේ දැන් වගේ පරිඝනක, ටීවී, විවිධාකාර සෙල්ලම් බඩු තිබ්බේ නැති නිසා අපි ගොඩක් වෙලාවට සෙල්ලම් කලේ වට පිටේ තියෙන දේවල් වලින්.

පරණ ටයර් කියන්නේ ඒ කාලේ මහා අනර්ඝ වස්තුවක් ඕක දෙපැත්තෙන් ලී දෙකක් ගහගත්තාම බයිසිකලයක් වගේ තල්ලු කරන්න පුළුවන්. කාලයක් යනකම් මට හරියට ටයර් එක පැදගනන් බැරුව තිබ්බේ ඒත් පුරුදු උනාට පස්සේ ටයර් එක පදින එක හරිම ලේසි කටයුත්තක්. තවත් වැඩේ නැගලා යන්න ටයර් එක ඇතුලට වතුර හරි බොරලු හරි ටිකක් දානවා. දැන් නම් ඩෙංගු බෝ වෙන්න ඉඩ තියෙන නිසා වතුර දාන්න යන්න හොඳ නැහැ ඒත් ඒ කාලේ අපි වතුර දාලා ටයර් එක පදින එක හරිම විනෝදාත්මක ක්‍රීඩාවක් උනා.

ගෙදර වටේම පුවක් ගස් තිබ්බ නිසා හරිම ලේසියෙන් කොලපොතක් හොයා ගන්න පුළුවන්. කුස්සියේ ඉන්න වැඩිහිටි කාන්තාවන්ගෙන් විරෝධයක් එල්ල උනත් අපේ පාවිච්චියට කොලපොතක් ගන්න එක ඒ හැටි අපහසුවක් උනේ නැහැ. දැන් වගේ ප්ලාස්ටික් භාජන සුලබ නොවුනු ඒ කාලේ කොලපොත කුස්සියට බොහෝම ප්‍රයෝජනවත් දෙයක් උනා. එක්කෙනෙක් වාඩි වෙලා තව කෙනෙක් කොලපොත ඇදගෙන යන එකේ තියෙන සතුට දන්නේ කොලපත් පැදපු කෙනෙක්ම විතරයි. බොරලු පොළවේ කොලපතේ යනකොට පස්සට දැනෙන සනීපේ. ටිකක් ලොකු කොලපොතක් නම් දෙන්නෙක්ට යන්නත් බැරිකමක් නැහැ. හිටපු ගමන් කොලපොත අදින කෙනා වාඩිවෙලා ඉන්න අයව බිමට පෙරලෙන විදිහට අදින්නේ නැතුවමත් නෙමෙයි.

ගේ වටේ තිබ්බ වැලි ගොඩවල් වල බිංකුන්ඩෝ නම් හිඟයක් තිබුනේ නැහැ. බිංකුන්ඩෝ ඉන්න වලකට පොඩි ඉරටුවක් දාලා කරකවලා ඒකේ ඉන්න බිංකුන්ඩා එළියට අරන් ඌව නටවනවා. සමහර වෙලාවට බිංකුන්ඩා අල්ල ගනන් ලේසි වෙන්න උගේ වලට පොඩි කූඹියෙක් අල්ලලා දානවා. නටවලා ඉවර උනාම බිංකුන්ඩට නම් මොනාද කලේ කියලා මට මතක නැහැ.

මිදුලේ පොඩි වලක් හාරලා ඒකට කඩියෙක් එක්ක දිමියෙක් දානවා ඊට පස්සේ වීදුරු කෑල්ලකින් මේ වල උඩින් වහලා ඒක දිහා බලාගෙන ඉන්නවා. ටික වෙලාවක් යනකොට මුන් දෙන්නා කා ගන්න පටන් ගන්නවා මේ තරඟය තවත් උද්යෝගමත් කරන්න හිතාගෙන තුත්තිරි ගස් වල ඉස්ම පොවනවා කඩියටයි දිමියටයි. උන් ඒවා බීලා වෙරි වෙනවද නම් දන්නේ නැහැ මන් නම් තුත්තිරි ගස් වල ඉස්ම බිව්වට දැනුනේවත් නැහැ.

කඩයයි ගෙයයි දානවා කියලා එකක් කරනවා මේකට නම් ගෙදර ඉන්න වැඩිහිටි කාන්තාවෝ වැඩිය කැමති නැහැ මොකද කඩේ එළවලු වලට කියලා මල් ගස් වල කොල කඩාගන්න නිසා. ගඩොල්කුඩු, වැලි, කොස්කොල සල්ලි එක්ක මේකේ කරන්නේ සෙල්ලම් කඩයක් සහ ගෙයක් දැමීම. කඩේට සහ ගෙදරට ඕනේ සියලුම දේවල් කුස්සියෙ විසිකරන හිස් ටින් බෙලෙක්ක පියන් වලින් තමා සපයා ගන්නේ.

ඩ්‍රැයිවර් කෙනෙක් නැති කොන්දොස්තර කෙනෙක් විතරක් ඉන්න, සුයිප් විකුනන කෙනෙක් සහ බත් කඩයක් කරන අනික් සාමාජිකයොන්ගෙන් සැදුන බස් එකක් යන වැඩක් කලා සමහර වෙලාවට. මේකට නම් සල්ලි, සුයිප් සහ බස් ටිකක්ට් එක්සයිස් පොත්වල පිටු ඉරලා අරගෙන වෙනම හදාගෙන තමා කලේ.

අවුරුදු තුනේ හතරේ ඉඳන් මොන්ටිසෝරි යන්න පටන් ගනන් දැන් කාලේ ලමයින්ට නම් මේවා අත්විඳින්න ලැබෙනවාද කියලා නම් මන් දන්නේ නැහැ.

11 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Senna said...

මේ ලිපිය මාව ළමා කාලෙට රගෙන ගියා.. අර කොලපත් සීන් එකනම් සහතික ඇත්ත.. මාර ගතියක් තියෙන්නේ... ඕක ටිකක් ගස්සලා ඇද්දම වාඩි වෙලා ඉන්න උන් බිම...

අනේ අපේ ළමයි කවදා විදින්නද ඒ අත්දැකීම්....

ගොඩයා said...

අම්මෝ..... නිකම්ම මාත් මගේ පොඩි කාලෙට පාවෙලා ගියා. අල්ලන සෙල්ලම්. හැඟිමුත්තම්, හොරා පොලිස්, ගුඩු විදිල්ල එහෙම අතඇරිලද මන්ද??? මම හිතන්නේ නෑ දැන් ඉන්න පොඩි උන්ට මෙහෙම ගස් කොළන් එක්ක, අවට පරිසරයත් එක්ක එකතු වෙලා සෙල්ලම් කරන්න ලැබෙනවා කියලා. දැන් ඉතින් තාක්ෂණය දියුණුයිනේ. වීඩියෝ ගේම්, කොම්පියුටර්, ෆෝන් තමයි දැන් පොඩි උන්ට ඕනේ. කාලය මැවු වෙනසක අරුමේ.......

sAm (සෑම්) said...

//අවුරුදු තුනේ හතරේ ඉඳන් මොන්ටිසෝරි යන්න පටන් ගනන් දැන් කාලේ ලමයින්ට නම් මේවා අත්විඳින්න ලැබෙනවාද කියලා නම් මන් දන්නේ නැහැ.//

ඒ කික් දැන් ලමයින්ට නැහැ බොල.. පව්..!

Chathura Wijekoon|චතුර විජේකෝන් said...

ටයර් සෙල්ලම නම් මාත් කළා.. ගුඩු විදිල්ල, හොරා පොලිස්, හැංගි මුත්තම්, දාම් ඇදීම, පංචා දැමීම.. කොයි තරං සෙල්ලං තිබුණද හැබෑටම.. අවුරුදු කාලෙට කැට ගැහිල්ල..ඒක නං සමහර තැං වල තාම තියෙනවා.. ඒත් මං වැඩිපුර ම ආසා වුණේ කාඩ් ගහන්ටයි, ක්‍රිකට් ගහන්ටයි තමා... ඒක ඉතිං තාමත් ඉඳලා හිටලා අවුරුදු 2-3 කට සැරයක් හරි කරන්ට ලැබෙන එක එක්තරා විදිහක සතුටක්.. මේ ලඟදී අපේ මාමා කෙනෙක් ආවා පොළොන්නරුවේ ඉඳලා.. එයාලා තාමත් හවසට කාඩ් සෙල්ලං කරනවා ලු... අනේ අපේ ඒ සැහැල්ලුව නැති වෙලා ගිය හැටි කියලා මට ඒ වෙලාවේ හීනි දුකක් හිතුණා..

බොහොම ස්තුතියි සහෝ... අතීත මතක ඇවිස්සුවාට..

~~තරූගේ ලෝකය~~; said...

මටත් පොඩිකාලෙ මතක් උනා..

said...

@සෙන්නා :- දැනුත් කොළපොතක පදින්න ආසයි

@ගොඩයා :- හොරා පොලිස්, හැංගිමුත්තම් සහ අල්ලන සෙල්ලම් නම් කලා ඒත් ගුඩු විදින්න වැඩිය දුන්නේ නැහැ ඔය පොලු කෑල්ල ගිහින් ඇහක වදී කියලා.

@සෑම් :- දැණ් ඉන්න උන්ට අවුරුදු දෙකේ තුනේ ඉඳන් ඉගෙන ගන්න වෙලා නේ

@චතුර:- තාමත් අවුරුදු දාට විතරක් කැට ගහනවා. කාඩ් ගහන එකට වැඩිය ඉඩ දුන්නේ නැහැ

සරත් ලංකාප්‍රිය said...

සත්තුන්ට හින්සාකලේ නම් නැහැ.. අනිත් ආතල් වැඩ ඔක්කොම කළා. දැන් ඉන්න කොන්ක්‍රීට් වනාන්තරවල කොහෙද මෙවුවා අපේ දරුවන්ට ?

said...

@තරූගේ ලෝකය - අපි කාටවත් පොඩි කාලේ අමතක කරනන් බැහැ මන් හිතන්නේ ඒක සුන්දර උනත් අසුන්දර උනත්

@ සරත් ලංකාප්‍රිය - වාසනාවට ලොකු සත්තුන්ට නම් හිංසාවක් කලේ නැහැ

අලුත් කොල්ලා said...

ෂා.........

ඇයි ඔව්වට අමතරව

බට තුවක්කු වලින් යුද්ධ කරන එක
සරුංගල් ඇරපු හැටි
ගුඩු පැනිල්ල
ප්ලාස්ටික් බෝලෙන් අතින් එල්ලෙ ගහපු හැටි
බඩවැටි වලට පැනලා ටාසන්ගෙ සෙල්ලම්

මාත් කලා. මතක් වෙනකොට සතුටයි දුකයි දෙකම එකට එනවා. අපේ ළමයෙක් ඉන්න කාලෙක උන් ඔව්ව කොහොම කරන්නද කියලා.

said...

@අලුත් කොල්ලා : ඔව් අපිත් බට තුවක්කු සෙල්ලම්, ටාසන් නම් කලා හැබැයි සරුංගල් නම් යැව්වේ නැහැ ඒ කාලේ.

Anonymous said...

මේ ලිපිය මාව ළමා කාලෙට රගෙන ගියා.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන