වැදගත් විශය 16 ( Sex Education in Sinhala )

Sunday, March 3, 2013


ස්ථිර පවුල් සැලසුම් ක්‍රම


මේක එක්කෝ ස්ත්‍රියට හෝ පුරුෂයාට කර ගන්න පුළුවන්.


ස්ත්‍රියට සිදුකරන ස්ථිර උපත් පාලන ක්‍රමයට කියන්නේ ටියුබෙක්ටමි කියලා.අපි පාවිච්චි කරන්නේ LRT  හෙවත් Ligation and Resection of the Tubes කියන නම.

මේකෙදි සිද්ද වෙන්නේ ඩිම්බකෝෂවල ඉඳලා ගර්භාශයට ඩිම්බය රැගෙන එන පැලෝපීය නාල දෙකම කපලා කෙළවරට ගැටයක් දාන එක.ඒ මඟින් ඩිම්බය ගර්භාශයට එන එක වළක්වන එක හරහා සහ ශුක්‍රාණුවලට ඩිම්බය හමුවීම වැළැක්වීම හරහා උපත් පාලනය ලබා දෙනවා.

මේ ක්‍රමය ස්ථිර එකක්.ඒ කියන්නේ නැවත යථා තත්ත්වයට පත් කරන්න බැරි ක්‍රමයක්.බැහැ කිව්වට බැරිම නෑ.නමුත් නැවත පැලෝපීය නාළ සම්බන්ධ කරලා ශල්‍යකර්මයක් සිද්ධ කළාට එච්චර සාර්ථක නෑ.ඒ වගේම නැවත සම්බන්ධ කරන තැන පොඩි අවහිරතාවයක් තිබුනොත් තවත් ගැටළුවක් ඇතිවෙන්ඩ පුළුවන්.ශුක්‍රාණු කුඩා හින්දා ඒවට පොඩි අවහිරයෙන් රිංගලා ගිහිල්ලා පැලෝපීය නාළ කෙළවරේදී ඩිම්බය සංසේචනය කරන්ඩ පුළුවන් උනාට ඩිම්බය විශාල නිසා අවහිරයක් තියෙන තැනකින් එන්ඩ අපහසුයි.ඒවගේ වෙලාවට ගර්භාශයෙන් පිටත සිදුවෙන ගැබ් ගැනීම් හෙවත් ectopic pregnancy ඇති වෙන්ඩ අවධානමක් තියෙනවා.මේ තත්ත්වය දරුවට කොහොමත් බලපානවා වගේම අම්මගේ ජීවිතේටත් තර්ජනයක් වෙන්ඩ පුළුවන්.නමුත් මේ අවධානම් ඔක්කොම ඇතිවෙන්නේ නැවත පැලෝපීය නාළ සම්බන්ධ කරන්ඩ ගියොත් විතරයි.ඒ ඇරෙන්ඩ මේ ක්‍රමය නිසා හෝ ශල්‍යකර්මය නිසා මොනවත් බරපතල ආබාධ ඇතිවෙන්නේ නෑ.

නමුත් මේ ක්‍රමයේ වාසි තමයි තමන්ගේ පවුල සම්පූර්ණ කළාට පස්සේ තවත් දරුවෙක් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් මේ ක්‍රමය බොහොම ලාභදායී මෙන්ම විශ්වාසවන්ත පවුල් සැලසුම් ක්‍රමයක් වීම.මම දන්න විදිහට තවමත් ස්ථිර පවුල් සැලසුමකට යොමු වෙන කෙනෙකුට රජයෙන් රුපියල් 500ක් දෙනවා.

නමුත් මේ ක්‍රමය ස්ථිර එකක් නිසා ආවට ගියාට මේක වෛද්‍යවරු කරන්නේ නෑ.

  • කාන්තාව අවුරුදු 26ට වඩා වැඩි වෙන්ඩ ඕනේ.
  • අඩුම ගානේ දරුවො දෙන්නෙක්වත් ඉන්ඩ ඕනේ.
  • දෙවෙනි දරුවාට වයස අවුරුදු දෙකකට වඩා වැඩි වෙන්ඩත් ඕනේ.
  • ඒ වගේම ගෑනු කෙනාට මේ ගැන පහදලා දීලා ඇයගේ නිදහස් කැමැත්ත ලැබෙන්ඩ ඕනෙ වගේම 
  • ඇගේ සහකරුවාගේ කැමැත්තත් ලබාගන්න එක අනිවාර්යයි.


මෙය ඉතාකුඩා ශල්‍යකර්මයක් මඟින් සිද්ද කරන්නක්.ඒ සඳහා ක්‍රම තුනක් තියෙනවා.


  • එකක් තමයි සිසේරියන් සැත්කමකදී දරුවා බිහි කිරීමෙන් පසු ඒ අවස්ථාවේදී පැලෝපීය නාළ ගැට ගසා කපා වෙන් කිරීම.
  • අනිත් එක තමයි උදර බිත්තියේ කුඩා කැපුමක් හරහා සිදු කරන mini-laparotomy නම් ශල්‍යකර්මය.
  • උදර බිත්තිය කපන්නේ නැතුව කුඩා සිදුරු කීපයක් විද කැමරාවක් ඇතුළු කර ඒ ආධාරයෙන් කරන laparoscopy ක්‍රමය.



මෙහි මුලින් සඳහන් කළ ක්‍රමය හැර අනිත් දෙක ඉතාමත් සුළු ශල්‍යකර්ම.උදේට ඇවිත් ශල්‍යකර්මය කරගෙන හවස් වෙද්දි ගෙදර යන්ඩ පුළුවන්.

මේ ක්‍රමයෙන් ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග සඳහා ආරක්ෂාවක් ලැබෙන්නේ නම් නෑ.ඒ වගේම මාසික ශුද්ධිය හෙවත් ඔසප් වීමටත් මෙයින් බලපෑමක් වෙන්නේ නෑ.





වාසෙක්ටමි හෙවත් පුරුෂයාට සිදු කරන ස්ථිර පවුල් සැලසුම් ක්‍රමයෙත් ටියුබෙක්ටමි ක්‍රමයේ වගේම වාසි තියෙනවා.ඒ වගේම මේ ක්‍රමයත් නැවත යථා තත්ත්වයට පත් කරන එක ලේසි නෑ වගේම එච්චර සාර්ථකත් නෑ.

මේකෙදි සිද්ධ කරන්නේ මේ කළිං ලිපියෙදි විස්තර කරපු ශුක්‍ර නාල කපලා ගැට ගහන එක.විනාඩි දහයක් විතර යන බොහොම පුංචි ශල්‍යකර්මයක් නිසා ඉස්පිරිතාලේ නවතින්ඩ ඕනෙත් නෑ.

මේක කරන්ඩත් LRT කරනවා වගේ දරුවො දෙන්නෙක්වත් ඉඳීම, දෙවෙනි දරුවා අවුරුදු දෙකට වඩා වැඩි වීම අවශ්‍යයි වගේම සහකාරියගේ වයස 26ට වඩා වැඩි වීම අවශ්‍ය වෙනවා.

මේක ගොඩක් හොඳ පවුල් සැලසුම් ක්‍රමයක් උනාට මේ ශල්‍යකර්මය කරපු ගමන් මේකේ ප්‍රථිපල ලැබෙන්නේ නෑ.ශුක්‍රාණු කියන්නේ ඩිම්බයක් වගේ එකක් දෙකක් හැදෙන දෙයක් නෙමෙයිනේ.මිලියන ගණන්වලින් හැදෙන නිසා මේ ශුක්‍ර නාළ මඟින් කැපුවට එයින් ඉහළ ඉතුරු වුනු ශුක්‍රාණු සම්පූර්ණයෙන් ඉවත් වෙලා යන්ඩ මාස තුනක්වත් යනවා.ඒ නිසා මාස තුනක් විතර යනකම් වෙනත් උපත්පාලන ක්‍රමයක් පාවිච්චි කරන්ඩ වෙනවා.ඒ වගේම මාස තුනකට පස්සේ ශුක්‍ර තරල පරීක්ෂාවක් (seminal fluid analysis) කරලා ශුක්‍රතරලය ශුක්‍රාණුවලින් තොර බව තහවුරු කරගන්ඩ සිද්ද වෙනවා.මේක එච්චර වියදමක් හෝ අපහසුවක් ඇති පරීක්ෂණයක් නෙමෙයි.කරන්ඩ තියෙන්නේ දවස් තුනක් සංසර්ගයේ යෙදීමෙන් සහ ස්වයං වින්දනයේ යෙදීමෙන් වැළකී ඉඳලා අදාල ලැබ් එකෙන් ලබා දෙන පුංචි භාජනයට ශුක්‍ර තරලය එකතු කරලා ලැබ් එකට ගිහින් දෙන එක.මේ ශුක්‍ර තරලය ලබා ගන්ඩ ඕනේ තනියෙන් මහන්සි වෙලා කියලා මතක් කරන්ඩ කැමතියි.

මේක කරපුවාම තමන්ගේ ලිංගික හැකියාව අඩුවෙයි කියලා බය වෙන්ඩ ඕනේ නෑ.එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.මොකද වෘෂණවල හෝමෝන නිපදවීමට මේ ක්‍රමය කිසිම බාධාවක් කරන්නේ නැති නිසා.ඒ වගේම සුරාන්තයේදී ශුක්‍ර තරලය නිකුත් වීමත් සිද්ද වෙනවා.ඒක නවතින්නෙත් නෑ.එකම වෙනස මේ ශුක්‍ර තරලයේ ශුක්‍රාණු නැති වීම විතරයි.

ඒ වගේම මේ ක්‍රමයෙනුත් ලිංගිකව සම්ප්‍රේශනය වන රෝගවලටනම් ආරක්ෂාවක් ලැබෙන්නේ නෑ.


ඔන්න ඉතිං උපත් පාලන ක්‍රම ගැනත් මම දන්න ටික ඉවරයි.ඊළඟට ටිකක් භයානක වගේම දැන ගැනීම ඉතාමත් වැදගත් 'ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග' ගැන කතා කරමු.හැබැයි ඉතිං මට වෙලාවක් ලැබෙන හැටියට තමයි ඈ.........

1 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

වෙද මැදුර said...

අහම්බෙනුයි මම මෙහෙට ආවේ එත් අද වෙනකම් මට හම්බ වෙච්ච හොදම හා වැදගත්ම බ්ලොග් එකක් කියන්න ඕනැ. මොකද කීවොත් කවුරුත් කතා කරන්නෙ නැති දෙයක් ගැන විද්යයාත්මකව කතා කරලා තියනවා. මටත් ලොකු වුවමනවක් තිබුනා ලින්ගික අධයාපනය ගැන ලොකු අවධනයක් යොමු කරන්න නමුත් තවම ලොකු දෙයක් කරන්න ලැබුනෙ නැහැ. කොහොම නමුත් මෙවන්නක් හමු වීමත් සතුටට කරුනක්.
අනිත් දේ තමයි බොහො විට කොමෙන්ට් එහෙම ලැබෙන්නේ නැති වේවි එත් ඉදිරියටම කරගෙන යන්න කියල ප්‍රාර්තන කරනවා... ඉස්සරහට්ත් එකතු වෙන්නම් ඔබෙ ලින්ගික අධ්ය්පන තීරය සමග මමත් දිගටම

Post a Comment

පි‍ටු පෙරලපු ගාන