ඩෙංගු

Wednesday, December 7, 2011



ඩෙංගු ආයෙත් රටේ පැතිරෙන්න පටන් අරන් නිසා ඒ වෙනුවෙන් සමීක්ෂණයක් කරන්න රජයේ හිතවතෙක් විදිහට මට ටෙන්ඩර් පටිපාටියට පිටින් කොන්ත්‍රාත්තුවක් ලැබුණා.රජතුමා කතා කළාම කටක් ඇරලා බෑ කියන්න බැරි හින්දාත්, බෑ කියලා ගෙදර ගිහිං මෑණියන්ගේ කන්දොස්කිරියාවට කන් දීගෙන ඉන්න බැරි නිසාත් මම ඔන්න ඔහේ හා කියලා වැඩේ බාර ගත්තා.


'ඈ යකෝ හැඩි දෙමළගෙං මේ රට ගලවගත්ත, හමුදා පාලන‍යකට රට තල්ලු වෙද්දි ඒකව හිරේ දාලා රටේ සුභසිද්දියට කටැයුතු කරාපු, ඒ විතරක්ද පාරවල් වරායවල් හදලා, ගැබිණි මව්වරුන්ට පෝසණ මල්ලක් දීලා තව කොච්චර දේවල් මේ රටට කොරාපු උත්තමයෙකුටද බොල ගස් නරියෝ තෝ බෑ කියලා කිව්වෙ.තොගෙ ඇඟෙන් ඇටයක් යයිද ගිහිං ඔය වැඩේ කරලා ආවනං? ඒ උත්තමයගේ වැඩකට බෑ කියලා තෝ ගෙදර ආවෙ උඹ මහලොකු කෙරුවාවක් කළා කියල හිතල ද?ඈ යකෝ ඒ උත්තමයා නැත්තං අපේ රටේ අහිංසකයෙක්ට දොස්තර කෙනෙක් වෙන්න චෑන්ස් එකක්වත් හම්බවෙනවද?ඔන්න තව ප්‍රයිවට් මැඩිකල් කොලීජි කීපයක්ම පටං ගන්නලු යන්නෙ.තෝත් දාපං ඒකට ඇප්ලිකේසං එකක්.ඔය ආණ්ඩුවෙ ඒවයෙ වගේ නවක වදෙත් නෑ.මී හරකා තොට අද රෑට කන්ඩ නෑ................'

ඔන්න ඔය වගේ ආදර ආමන්ත්‍රණ එක්ක පැයක් දෙකක් දේශනාව අහං ඉන්නවට වඩා ගෙයක් ගෙයක් ගානෙ ගිහිං වතුර පිරිච්ච ටිං බෙලෙක්ක හොයන එක සැප නිසාත්, ගෙවල්වල කුස්සි, කක්කුස්සි, පිළිකනු, සෝල්දර ආදී සෑම අහුමුල්ලකම රිංගා සැඟවුනු රහස් සොයා ගැනීමේ ආශාවත් මඟින් මා මෙකී රාජ්‍ය මට්ටමේ භාරධූර කර්තව්‍යය මගේ කර පිට පටවා ගැනීමට යොමු කරවනු ලැබීමි.

උදෑසනින්ම අවදි වී අම්මා පිසූ කිරිබත්ද අනුභව කොට ශුභ දිසාව බලාගෙන ගමන් ඇරඹීමට ගොස් මල් පෝච්චියක්ද පෙරලාගෙන ඇද වැටුනෙමි.

'කමක් නෑ කොහොමත් ඔය පැලේ ගලවලා දාන්ඩ තමයි හිටියෙ' අම්මා කියද්දී මම තුවාල වූ වැලමිට හා දනිස්ස තනිවම අතගා ගතිමි.

ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාත්, ලේකම් ගැටිස්සිත්, හමුදා නිලදරුවන් කීපදෙනෙකුත්, ගමේ හැඩි දැඩි රැකියා විරහිත තරුණයන් රැසකුත්, උන්ට වහ වැටී සිටි තරුණියන් කීප දෙනෙකුත් මමත් ප්‍රාදේශීය සභාවේ මුදලින් සූදානම් කර තිබූ නානාප්‍රකාර භෝජනයන්ගෙන් අනූන වූ උදා ආහාර කිස නිම කොට මදක් ගිමන් හැර මෙකී මහා කර්තව්‍යයට මුල පිරුවෙමු.

රට වෙනුවෙන් මේ කළ කාර්යයේදී අප මුහුණ පෑ කරදර කම්කටොළු එමටය.විසල් ගේට්ටු, තාප්ප  'බැඳහල රුවන් තනපට කියෙලිය පවුර' යන්න සිහිකළේය.හරක් පැටවු තරම් උස තඩි බල්ලන් ගැන කතා කර වැඩක් නැත.එවැනි නිවෙස්වලදී අපට අසන්නට සිදුවුනේ 'බල්ලා කයිද?' කියා නොවේ. 'බල්ලා අනී ද?' නැත්තං 'බල්ලා පාගයි ද?' කියාය.වැටක වූ කුරුබිළියකින් රිංගා පැමිණි සුනඛ රාජයෙකුගෙන් බේරීමට අසල වූ, මගේ අත් ගොබයක් තරම්වත් මහත නැති රඹුටන් ගසකට නැග මා පෑ වික්‍රමය අදටත් අප ප්‍රදේශයේ මළගෙයක්, දානේගෙයක්, හා ගමේ පොදු සමිතියකදී අනිවාර්යයෙන් කියැවේ.

තමාට හෝ බිරිඳට හෝ දියණියට රැකියාවක් දෙන තුරු වතුර ටැංකියෙන් නොබසින බවට තර්ජණය කළ හා ප්‍රාදේශීය සභා සභාපතිතුමාගේ කාරුණික තර්ජනය හමුවේ පච වී ගෙදර ගිය අයෙකුගේ නිවසේ සියල්ලෝම වැඩට ගොස් ඇති සේ සියළුම දොර ජනේල වසා දමා තිබුණි.බාගෙට අතුගා තිබූ මිදුලත්, පසෙක විසිකර දමා තිබූ ඉදලත් ගෙහිමියන් කඩිමුඩියේ රැකියා සඳහා පිටත් වූ බව අපට පසක් කළේය.

එක් නිවසකින් අප සොයාගත් මදුරු පණුවන් පිරි ජෑම් බෝතල් ඔවුන්ගේ නොවන බවට ඔවුන් දිවුරා පැවසූහ.තමන්ට ජෑම් කෑමට තරම් වත්කමක් නොමැති බවත්, මේ බජට් එකෙන් පසුවවත් ජෑම් කෑමට සිතා සිටි බවත් නමුත් එම අපේක්ෂාව ඊළඟ බජට් එකට කල් දැමූ බවත් පැවසූ බිරිඳ මෙය තරහාකරුවන්ගේ වැඩක් බව පවසා ශ්‍රී භද්‍රකාලී අම්මාන් දේවාලයට ගොස් පළිගසන බව කීවාය.ඒ සඳහා රත්තරන් පවුම් දෙකක් වැයවන බව මම මතක් කර දුන් විට ඇය කීවේ මෙවැනි දරුණු අපරාධයක් කළ අයෙකුගෙන් පළි ගැනීමේදී මුදල් ගැටළුවක් කරගත යුතු නැති බවය.

දිවාභෝජනයද මහජනතාවගේ බදු මුදලින්ම පිරිනැමීමට කටයුතු යොදා තිබුණේ ඉතාමත් උත්කර්ෂවත් අයුරිනි.පිරුණු කුසත්, සභාපතිතුමාගේ දීර්ඝ කතාවෙන් රිදුණු හිසත් නිසා අපේ පිරිස දිවා විවේකයෙන් පසු ක්‍රමයෙන් හීන වී යන්නට පටන් ගත් නමුත් මම තනිවම හෝ රටේ ලොක්කාගේ උවමනාව සපුරනු වස් ව්‍යාපෘතිය තනිවම කරගෙන යාමට ඉටා ගතිමි.මග දිගට හමුවූ දිළිඳු නිවෙස් කීපයක්ම පසු කරමින් මම දැනුවත් කිරීමට සුදුසු නිවෙසක් සොයා ඇදුනෙමි.

කුඩා දිළිඳු පැල්පත් අතරින් ඉන්ද්‍රඛීලයක් සේ ඉහළට එසැවුණු විසල් නිවහනක් වෙත මම ඇදුනේ අඩුම තරමේ තේ එකක්වත් ලැබෙනු ඇතැයි සිතාගෙනය.ගේට්ටු පියන් වසා තිබුණද අගුලු දමා තිබුණේ නැත.රජතුමාගේ අත්සන සහිතව ඕනෑම නිවසකට ඇතුළුවීමට දිනකට ලැබී ඇති වරප්‍රසාදයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් මම මගේ සියලු පුරුෂ දහිරියද එක් කොට වත්තට ඇතුළු වීමි.

රථයක් වත්තෙන් පිට වූ රෝද සළකුණු දැක මම සිහින මවන්නට වීමි.පුරුෂයා රැකියාවට ගොස් ඇති කල ගෘහයේ තනිවී 'නුග සෙවණ' නරඹන හිරිමල්, සියුමැලි, දඟකාර යුවතියක් දැක ගැනීමේ අටියෙන් මම දොරෙහි වූ සීනුව නාද කළෙමි.

'චුට්ටක් ඉන්න .මම ටක් ගාලා එනවා' ඉහල මහලෙන් හඬක් නැඟුණි.සුකුමාල හඬට මම සලිත වීමි.ස්වල්ප වෙලාවකින් දොර හැරුනේ මා දෙනෙත් අභියස ස්වර්ගය මවමිනි.අහෝ මෙවන් ළඳුන් මෙලොව වසත් ද? මෑ සුර අඟනක්ද? ඇසිපිය හෙළන පමණින් නොවෙති දෙවඟන.ඇගේ මුහුනේ වූ බියගත් පෙනුම වහා නැති වූයේ මගේ අහිංසක මුහුණ දැකීමෙන් විය යුතුය.

'මහත්තයා ගෙදර නෑනෙ.හදිස්සි උවමනාවක්ද?'

'හදීසි උවමනාවක් කියන්නෙ මම මේ සමීක්ෂණයක් කරනවා ඩෙංගු මදුරුවො ගැන.මම පොඩ්ඩක් ඇතුළට ආවට කමක් නැද්ද?.මම වැඩි වෙලා ගන්නෙ නෑ.'

'ආ එන්න එන්න.අපේ වත්තෙනං මදුරුවො බෝ වෙන තැන් නෑ.අපි සතියකට පාරක් වත්ත සුද්ද කරවනවනේ.ඒත් බලන්නකො කොච්චරවත් මදුරුවො.'

'ඒක තමයි ප්‍රශ්නෙ.අපි හිතන්නෙ මදුරුවො බෝ වෙන්නෙ එළිය කියලනෙ.අපි ගේ ඇතුලෙ මදුරුවො බෝ වෙන තැන් හොයලා බලන්නෙ නෑ.මම පොඩ්ඩක් ගේ ඇතුලෙ ඇවිදලා බලන්නද? මදුරුවො බෝ වෙන්නෙ අපි නොහිතන තැංවල.' මම පාණ්ඩිත්‍ය ප්‍රදර්ෂණය කළෙමි.

'මහත්තයා මොනවත් බොනවද? කූල්?, සැර ජාතියක්? '

'සැර ජාති එපා.ඩියුටි වෙලාවෙ අපිට තහනං නෙ.තේ එකක් තිබ්බොත්......ආ.... යමුකො කුස්සියට.මිස් තේ හදනකං මම මදුරුවො හොයන්නං.'

ඇය ඇඳුම සකසමින් කුස්සියට යන්නට හැරුණාය.හදිසියේ ඇඟ ලා ගත් බවක් පාමින් ඇඳුම සකසන ඇය දුටු මගේ ඇඟේ මාලු නටන්නට විය.

'එතකොට මිස්ට අර  BTI ගෙනාවෙ? ඒක ගහන්නෙ නැද්ද?' ඇය කේතලය ගැස් ලිප මත තබා 'ටකස්' හඬින් ලිප දැල්වූවාය.

'ඒක ගහලා කොහොමද? අසරණ මදුරු කොයිල් කාරයො, වේපරයිසර් කාරයො විතරක් යැ අර ආයුර්වේද අංකල්ගෙ බාම් එකත් දැං විකුණන්නෙ මදුරුවො කන්නෑ ඒක ගාපුවාම කියලනෙ.ඒක ගාපුවාම මදුරුවො කනවා තියා කකුල් දෙක  කපාගෙන ගියත් දැනෙනවයැ දැවිල්ලට.'

කුස්සියේ පූර්ණ අධීක්ෂණයකින් පසු තේ එකද බොමින් නිවෙස පුරා ඇයත් සමඟ දොඩවමින් මදුරුවන් සොයා යන මගේ සිත සතර අත පාවෙන්නට විය.

'කෝකද මාස්ටර් බෙඩ් රූම් එක?'

'ඒකෙත් මදුරුවො බෝ වෙනවද? මමනං හිතන්නෙ නෑ.'

'ඕකනෙ මම කිව්වෙ, අපි කොහෙත්ම නොහිතන තැංවල තමයි මදුරුවො බෝ වෙන්නෙ.රජතුමා මට වැඩේ පවරද්දි කිව්වා අනිවාර්යයෙං ගෙවල්වල හැම තැනක්ම පරීක්ෂා කරන්ඩ කියලා.එක මදුරුවෙක්වත් අපි මග අරින්ඩ හොඳ නෑ.මේක එච්චර ලුහුඬෙට හිතන්ඩ එපා.'

මම නිදන කාමරයට ඇතුළු වීමි.ඇය දොර ළඟ නැවතුනාය.ඇයට මාගේ අවලං සිත ගැන සැක සිතීදෝහෝයි මට සිතුණු මුත් මෙවන් සියුමැලි, බොළඳ, අහිංසක පෙනුමැති ළඳක් එවැන්නක් ගැන සිහිනෙන්වත් නොසිතනු ඇතැයි සිතමින් මම කාමරය පරීක්ෂා කරන්නට වීමි.සුවිසල් යහන් තලය දැක මට නොදැනුවත්වම හීල්ලුනි.අහෝ මමත් ධනපතියෙක් වූවානම් අද මෙවැනි සයනයක්, සුකුමාල බිරිඳක් සමඟ යෙහෙන් කල් යවනවා නොවේද?.එක එකාගේ අගුපිල්වල මදුරුවන් සොයමින් කටු කන්නට සිද්ධවෙන්නෙ නෑ නේද? මේ භවයේ ඉපදෙන්නට පස්මහා බැලුම් බලද්දී ධනපති නිවසක් නොපෙනීම ගැන මම මටම ශාප කර ගතිමි.සමහර විට ගන්ධබ්බ සමයේ මම රැඩිකල්වාදියෙක් වන්නට ඇත.

පරීක්ෂණය සම්පූර්ණ කරනුවස් සහ ඇඳ යටින් ඇයගේ සුමුදු දෙපා දෙස බැල්මක් හෙළන පවිත්‍ර චේතනාවෙන් මම ඇඳ යටට පහත් උනෙමි.අහෝ මගේ දර්ශනපථය අවහිර කරමින් ඇඳ යට පුරුෂයෙක් වැතිර සිටියි.අසරණයාට නින්ද ගිහිල්ලාය.මම ඔහුගේ අතින් සොලවා අවදි කෙරුවෙමි.

'කෝ ගියාද?' කියමින් මගේ දෙස බැලූ ඔහු මහත් විශ්මයටත්, බියටත් පත් වූයේ මන්දැයි මට නොතේරේ.මට තවම එක මදුරු කීටයෙක්වත් මේ නිවසින් හමු වූයේ නැත.හමු උවත් දඩ ගහන්නට මට අයිතියක්ද නැත.අයිතිය තිබුණද අර සුකුමාල සුවිනීත දයාබර මුහුණ බෙරි කරමින් දඩ කොලයක් දික් කිරීමට මට හිත දෙන්නේද නැත.

'මහත්තයා බය වෙන්ඩ එපා.මට මදුරුවො එකෙක්වත් හම්බ උනේ නෑ.ඔයාලා මේ රටේ මිනිස්සුන්ට ආදර්ශයක්.  ආ.....මම ආදායම් බදු එකෙනුත් නෙමෙයි.මදුරුවො බෝ වෙන තැන් හොයන්ඩ ආවෙ' මම ඔහුගේ බිය පහවෙන්නට කීවෙමි.

'අම්මෝ මම බය වෙච්ච තරමක්.කෝ මහත්ත‍යා ඔය බිම තියෙන මගෙ කලිසම දෙන්ඩකො මම එළියට එන්ඩ' මම ඔහුට කලිසම දී ඉවත හැරුණෙමි.කලිසම ඇඳගෙන කමිසයක්ද ඇඳගත් ඔහු මට සිනාවක් පාමින් බිරිඳ වෙත ගියේය.ඒ හිනාවට යටින් අපේක්ෂාභංගත්වයත්, සැනසුම්සහගත බවත් සම්මිශ්‍රනය වී තිබිණැයි මට සිතුණි.

'මම ඔයාට කොච්චර කිව්වද හස්බන්ඩ්ගෙ ෆොටෝ එකක්වත් මට පෙන්නන්ඩ කියලා.කොහෙද ඇහැව්ව‍යෑ.' ඔහු පිටවී ගියේය.

මමද සමීක්ෂණය නවතා ගෙදර ආවෙමි.

7 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

....ජනියා.... said...

අනේ මට හොද වුණා විතරයි..... පරිස්සම් වෙන්න..

මාතලන් said...

පට්ට බන් පට්ට කියන්න වචන නෑ. උඹගේ හොඳම පෝස්ට් එක. ඒකේ ආයේ කතා දෙකක් නෑ...

Hishan de Silva said...

පට්ට කථාව

වර්ණා said...

හික් හික් මාර කතාවනේ ... අම්මෝ

Miyuru said...

ඈ බොලේ... ගෙදරින් කිරිබතුත් කාල ගිහින් අර වැඩ පොලෙන් දීපු උදේ ආහාර වේලත් ගසල ඇරියද.....
අර බලු වික්‍රමය කළ වෙලාවෙ කාගෙවත් අතේ කැමරා ෆෝන් එකක්වත් තිබුණෙ නැතෙයි.....?
ඔය අහුවෙලා තියෙන්නෙ නියම මදුරුවෙක්....හික්ස්....ඌටත් එදාම ඇඳ යටට රිංගන්න ඕන වෙච්චි එකනෙ වැඩේ....
පව් අනේ.... කොලු කොටියගෙ බලාපොරොත්තු ඔක්කොම සුං වෙලා නොවැ....
ජාති කතාව ඈ....

පෙදරේරුවා නොහොත් මේසන් බාස් said...

නියමයි මචං

Prasanga Rathnapriya said...

max

Post a Comment

පි‍ටු පෙරලපු ගාන