වැදගත් විශය....13 ( Sex Education in Sinhala )

Sunday, March 3, 2013





දේශපාලනය, සත්ව පාලනය වගේම උපත් පාලනයත් සමාජයේ අත්‍යවශ්‍ය අංගයක් විදිහටයි මම දකින්නේ.අධි ජනනය කියන දේ පරිණාමයට වැදගත් උනාට මිනිස්සු පරිණාමයට අවශ්‍ය කරන ස්වභාවික වරණය කියන ක්‍රියාවලිය බොහෝ දුරට පාලනය කරගෙන තියෙන හින්දා මිනිස්සුන්ගේ සංඛ්‍යාව පෘථිවියට දරාගන්ඩ බැරි තරමට වර්ධනය වෙලා.

මිනිස්සුන්ගේ ලිංගික ක්‍රියා අනිත් සත්තුන්ගේ වගේ ප්‍රජනනයටම සීමා නොවුනු දෙයක් කියලත් කළිං ලිපියක කිව්වා වගේ මතකයි.මිනිස්සුන්ගේ ලිංගික ක්‍රියා මග්න් දෙදෙනෙක් අතර ඇති බැඳීම ශක්තිමත් කරවනවා.ඒ වගේම අපි කරන ගොඩක් දේවල් ඒ ක්‍රියාවේ මූලික අවශ්‍යතාවයෙන් බැහැරවනේ සිද්ධ වෙන්නේ.උදාහරණ්යක් විදිහට අපි කේක් කෑල්ලක් කන්නේ කොකාකෝලා එකක් බොන්නේ බඩගින්නටවත් තිබහටවත් නොවෙන අවස්ථා වැඩියිනේ.ඉතිං ඒ නිසා මිනිස්සු ප්‍රජනනයට මිනිස්සුංව යොමු කරවන්ඩ ලිංගිකත්වය තෘප්තිමත් ක්‍රියාවක් වෙලා තියෙන එකෙන් ප්‍රයෝජන අරගෙන ඒක කොච්චර දුර අරගෙන ගියාද කියනවනං ඇත්තටම දැං වෙද්දි දරුවෙක් පිළිසිඳ ගැනීම කියන්නේ ලිංගික ක්‍රියාවේ අතුරුපලයක් හෝ අහිතකර ප්‍රතිඵලයක් ලෙස සළකන තත්ත්වයටම වර්ධනය වෙලා.

ඉතිං සමහරු උපත් පාලනය වැරැද්දක් විදිහට දකිනවා උනාට මුළු ලෝකෙම මිනිස්සුංගෙං පුරවලා ලෝකෙම විනාශ කරගන්නවට වඩා උපත් පාලනය කරන එක හොඳයි නේද?අනිත් එක තමයි නිසි විදිහට උපත් පාලන ක්‍රමයක් භාවිතා කළොත් ගැබ් ගැනීම් වලක්වා ගන්ඩ පුළුවං වගේම ලංකාවේ මේ සිද්ධ වෙන ගබ්සා කිරීම අඩු කිරීමට හෝ නැත්තටම නැති කිරීමට හැකියාවක් ලැබේවි.

උපත් පාලන ක්‍රමයක් විදිහට දැනට තියෙන සාර්ථකම ක්‍රමය තමයි ලිංගිකව එක් වීමෙන් වැළකී සිටීම.ඒ උනාට මේ ජීවත් වෙන ටික කාලේ මොකටද නිකං විඳව විඳව ඉන්නේ.අනුන්ට කරදරයක් නොකර සතුටෙං හිටියා කියලා වැරැද්දක් විදිහට කාටවත් ඒක විවේචනය කරන්ඩ බෑනේ.ඒක හින්දා මේක කරන්ඩ පුළුවං කට්ටිය කරගෙන යන්ඩ.අනිත් අය මේ පහළ විස්තර කරන ක්‍රමවේදයක් පාවිච්චි කළාට කමක් නෑ.

හරි දැං අපි සරළම ක්‍රමවලිං පටං ගම්මු.අතීතයේ ඉඳං පැවතිච්ච ක්‍රමවේද වලින් එකක් තමයි 'දින දර්ශන ක්‍රමය'කට්ටියට මතක ඇතිනේ කලිං ලිපියක ඔසප් චක්‍රය ගැන කතා කළා.ඉතිං මේ ඔසප් චක්‍රයේ ඩිම්බයක් නිකුත් වෙන වෙලාවටනේ ශුක්‍රාණුවකට ගිහිල්ලා ඒක සංසේචනය කරලා පිළිසිඳ ගැනීමක් සිද්ද වෙන්ඩ පුළුවං.මේ දින දර්ශන ක්‍රමයෙදි සිද්ද වෙන්නේ මෙහෙම ඔසප් චක්‍රයේ ඩිම්බය නිකුත් වීමට ඉඩ ඇති දවස් මග ඇරලා අනිත් දවස්වලදි ලිංගිකව එකතු වෙන එක.මේක අසාර්ථක ක්‍රමයක්.මොකද ගැහැනු අයගේ ඔසප් චක්‍රය හරියට පිළිවෙලට සිද්ධ නොවෙන්න පුළුවං.එහෙම උනොත් ඉතිං බබා හම්බ උනා තමයි.ඒක නිසා මේ ක්‍රමය අනුගමනය නොකළ යුතු එකක් විදිහටයි මමනං දකින්නේ.මොකද ගැබ් ගැනීමක් වගේ දෙයක් සම්බන්ධව අවධානමක් ගන්න එකේ තේරුමක් නෑනේ.

අනිත් සාම්ප්‍රධායික ක්‍රමය තමයි ශුක්‍ර තරලය පිට වීමට පෙර ශිෂ්ණය යෝනි මාර්ගයෙන් පිටතට ගැනීම.මේකත් හරිම අසාර්ථක ක්‍රමයක්.මොකද සුරාන්තයේදී ශුක්‍ර තරලය පිට උනාට ඇත්තටම ඊට කළිං ඉඳලම ටික ටික ශුක්‍ර තරලය මුදා හැරෙනවා.අනික හොඳම ශුක්‍රාණු ටික පවතින්නෙත් මේ මුළින්ම පිට වෙන ශුක්‍ර තරලයේ.ඒ නිසා උපත් පාලන ක්‍රමයක් විදිහට අසාර්ථකයි වගේම මේ ක්‍රමය නියම ලිංගික තෘප්තියක් ලබාගන්න එකටත් බාධා කරන්ඩ පුළුවං.ඇයි ඉතිං පටං ගත්තු වෙලාවෙ ඉඳං ඔළුවේ වැඩ කරන්නේ පත්තු වෙන්ඩ කළිං තුවක්කුව එළියට ගන්න එක ගැනනේ.



දැං අපි බලමු ලංකාවේ ගොඩක් අය පාවිච්චි කරන උපත් පාලන පෙති ගැන.


සාමාන්‍යයෙන් බහුලවම තියෙන්නේ 'මිතුරි' කියන වෙළඳ නාමය යටතේ නේ.මේ මිතුරි පෙතිවල අඩංගු වෙන්නේ සාමාන්‍යයෙන් ගැහැනුන්ගේ ශරීරයේ නිපදවෙන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටෙරොන් කියන හෝමෝන දෙක.මේ හෝමෝන දෙක ශරීරයට ඇතුළු උනාම ඒවා සාමාන්‍ය ස්ත්‍රී කායික ක්‍රියා යාමනයට දායක වෙනවා වගේම ගිහිල්ලා පිටියුටරියෙන් FSH සහ LH කියන හෝමෝන ස්‍රාවය වීම වළක්වනවා.එතකොට ඩිම්බකෝෂවල ඩිම්බ නිපදවීම තාවකාලිකව නතර වෙනවා.එයිට අමතරව ගර්භාශය සහ යෝනි මාර්ගය එකිනෙක සම්බන්ධ කරන ගැබ් ගෙල ප්‍රදේශයේ ඇති ශ්ලේෂ්මලය ඝණකම් බවට පත් කිරීමත් මේ හෝමෝන මගින් සිද්ධ වෙනවා.එතකොට ශුක්‍රාණුවලට යෝනි මාර්ගයේ සිට ගර්භාශයට ඇතුළු වෙන්න අපහසු වෙනවා.

මේ පෙතිවලින් උපත් පාලනය කරනවාට අමතරව තවත් වාසි කීපයක් ලබාගන්ඩ පුළුවං.අක්‍රමවත් ඔසප් චක්‍ර ඇති අයගේ ඔසප් චක්‍රය ක්‍රමවත් කරගන්ඩ පුළුවං වගේම ඔසප් වීමේදී ඇතිවන වේදනාව අඩු කරගන්නත් පෙති මගින් පුළුවං.එයිට අමතරව ගර්භාශ සහ ඩිම්බකෝෂ පිළිකාවලට එරෙහිව ආරක්ෂාවක්ද ලබා දෙනවා.මුහුණේ කුරුලෑ ආදිය අඩු වීමටත් පෙති හේතු වෙනවා.

පෙති නිසි ලෙස භාවිතා කළොත් 99.99%ක පමණ ආරක්ෂාවක් ලබා ගන්ඩ පුළුවං.ගැටළුව තියෙන්නේ පෙති ගන්න එක අමතක වීම.ඒ වගේම සමහරුන්ට පෙති ගැනීමත් එක්ක වමනය, ඔක්කාර ගතිය, හිසරදය, පියයුරුවල වේදනාව වගේම ඔසප් වීම් අතර තුර සුළු රුධිර වහනයන් ඇති වෙන්ඩ පුළුවං.වමනය ඔක්කාර ගතිය නැති කරගන්ඩ නම් මේ පෙති රාත්‍රී කෑමට පසුව ගැනීමෙන් බොහෝ දුරට පුළුවං.මේ අතුරු ආබාධ මාසයක් දෙකක් යනවිට නැතිවෙලා යනවා.

තවත් ගැටළුවක් තමයි කිරි දෙන මව්වරුන්ට මිතුරී පෙති සුදුසු නොවීම.පෙතිවල අඩංගු ඊස්ට්‍රජන් මගින් කිරි නිපදවීමට බාධා පමුණුවන බැවින් මේ කාලයේදී වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිත කළ යුතු වෙනවා.ඒ නැත්නම් ප්‍රොජෙස්ටරෝන් පමණක් අඩංගු පෙති වර්ගද වෙළඳපොළේ ඇති අතර වෛද්‍ය උපදෙස් මත එවැන්නකටද යොමු වීමට පුළුවන්.

පෙති ගත්තම මහත් වෙනවා කියන එක අපේ ගෑනු අය සෑහෙන්ඩ බය වෙන දෙයක් නේ.බය වෙන්ඩ එපා ඔයිට වඩා තව කොහෙ මහත් වෙන්ඩද? ඇත්තටම පෙති ගත්තම ඒකේ තියෙන ප්‍රොජෙස්ටෙරොන් මගින් කෑම රුචිය වැඩි කරවනවා.එතකොට කාලා කාලා මහත් වෙනවා මිසක් පෙතිවලින් මහත් වෙන්නේ නෑ.ඒකට කෑම පාලනය කිරීමෙන් සහ ව්‍යායාම කිරීම  හොඳ පිළිතුරක්.ඒ වගේමයි පෙති ගැනීම නිසා වඳ භාවයට පත් වෙන්නේ නෑ.පෙති නවත්තලා ටික කාලෙකින් නැවත ගැබ් ගැනීමේ හැකියාව ලැබෙනවා.

මිතුරි පෙති පැකට්ටුවක පෙති 28ක් තියෙන කාඩ් එකක් තියෙනවා.පෙති 21ක් කහ පාටටත් යටම පේළියේ පෙති 7ක් රතු පාටටත් තියෙනවා.කහ පාට පෙතිවලින් ආරම්භ කරගෙන දිගටම පෙති අරගන්න ඕනේ.රතු පාට පෙති ගන්නකොට ඔසප් රුධිරය පිට වෙනවා.එක පැකට් එකක් අවසන් උනු වහාම අළුත් පැකට් එකක් ආරම්භ කරන්ඩ ඕනේ.හරිම සරලයි.අමතක නොකර දිගටම ගත්තොත් හරි.වැදගත්ම දේ තමයි ලිංගිකව එක් උනත් නැතත් දිගටම පෙති ගන්ඩ ඕනේ.පෙති ගන්න එක නවත්තන්ඩ ඕනේ දරුවෙක් බලාපොරොත්තු වෙනකොට හෝ වෙනත් උපත් පාලන ක්‍රමයකට මාරු වෙනවනං විතරයි.



DMPA එන්නත

මේ එන්නතේ අඩංගු වන්නේ ප්‍රොජෙස්ටෙරොන් හෝමෝනයයි.මෙය අතේ උඩ බාහුවේ මාංශ පේෂියට එන්නත් කළ විට ක්‍රමානුකූලව සුළු ප්‍රමාණයෙන් හෝමෝනය රුධිරයට මුදා හරියි.මෙමගින් ද උපත් පාලනය සහ අනෙකුත් වාසි පෙතිවලට සමානවම ලබා දේ.මේ එන්නත් සෑම මාස තුනකට වරක්ම ලබාගත යුතු වන අතර එන්නත නවතා මාස 3-4ක් පමණ කාලයකින් නැවතත් ගැබ් ගැනීමේ හැකියාව ලැබේ.මේ එන්නත ගැනීමත් සමඟ ඔසප් රුධිරය පිට වීම අඩු වීම හෝ සම්පූර්ණයෙන්ම නැවතීමට ඉඩ ඇත.නමුත් මෙය ගැටළුවක් නොවේ.ඉන් කිසිඳු අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇති නොවේ.


2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Unknown said...

සයිට් ඵක නම් මාර ගතී වැදගත් තරැණු ගොඩත් තියෙනවා!

ලංකාවෙ ලොකුම ෆෝරම් ඵකට තාම ගියේ නැද්ද..දැන්ම යන්න ගිහින් රෙඡිස්ටර් වෙන්න http://justcrowd.net/

Anonymous said...

ayye,... normal girlslt mithuri biwvt prashnyk nadde ?...
menses waltai,... kurula walti" Hondai kiwva handa, anith eke side effect gana kiwe' ewa digtm tiynwd 1,2 month walin passe nati weid ?... hamdma raata biwoth hondai da ?...

Post a Comment

පි‍ටු පෙරලපු ගාන