ආගන්තුකයාගේ බ්ලොග් ආගමනය සහ තවත් කතාවක්!!

Tuesday, July 26, 2011

කාලයකට ඉහතදී විජය පරිගණක සඟරාවක තිබුන ලිපියකින් බ්ලොග් කියන  වචනය මුලින්ම අහපු මට ඒ ගැන එච්චර වගක් තිබුනේ නෑ.ඒ කාලේ අර ඉස්කෝලේ යන හැම ළමයෙක්ම වගේ දුවපු රේස්‌ එකේ මාත් දුවපු නිසා වෙන්නැති සමහරවිට...පස්සේ දවසක ඒ ලිපිය ආයෙමත් අහම්බෙන් වගේ හම්බවෙලා කියෙව්වම ඒකෙ තිබුනේ බ්ලොග් කියන්නේ ඕනෑම කෙනෙක්ට නිදහසේ පවත්වාගෙන යන්න පුළුවන් තමන්ගේ පොද්ගලික දිනපොත වගේ වෙබ් අඩවියක් කියල අදහසක්....
කොහොම හරි ඉතින්  ඕක සම්පුර්ණයෙන්ම අමතක වෙලා ඉන්න අතරේ තමයි ඉස්කෝලේ යන කාලෙත් එකට ඉඳපු යාලුවෙක් පටන් ගත්තේ බ්ලොග් එකක් ලියන්න.මේ තියෙන්නේ ඒ බ්ලොග් එකට යන පාර.ඒක කියවන්න ගියාම තමයි වැඩේ පොඩි ෆන් එකක් තියෙනවානේ කියල හිතුනේ.මොකද තමන්ගේ අදහස් උදහස් වගේම නිර්මාණ සියල්ලක්ම වගේ පාඨකයා අතරට ගෙනියන්න පුළුවන් ලේසිම විදියක්නේ.

කොහොමහරි ටික දවසකින් කැම්පස් එකත් නිවාඩු දුන්න ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා..(ඒකෙ හැමෝටම පෙනන පැත්ත සහ නොපෙනෙන පැත්ත ගැනත් පසුව දෙයක් ලියන්නම්.)
එහෙම අහම්බෙන් ඔලුවට කඩන්වැටුන පරණ පින නිසා ආයෙමත් බ්ලොග් අවකාශයේ හොඳ හැටියට රවුම් ගහන්න පුළුවන් උනා.කොහොමත් ඉතින් නිවාඩුවක් ලැබෙනවා කියන්නේ අපි කොච්චර ආසාවෙන් ඉන්න දෙයක්ද කියල දන්න අය දන්නවනේ..:D

එහෙම කියවන්න පටන් ගත්ත බ්ලොග් වලින් සෑහෙන්න ප්‍රමාණයක් හිතට අල්ලපු ඒවා තමයි තිබුනේ.ඒ වගේ බ්ලොග් වලට පිස්සු වැටුන කෙනෙක් දන්නවා ඇතිනේ ඊළඟට මොකද්ද හිතෙන්නේ කියල..:)
ඒ ඉතින් මටත් මෙහෙම ලියන්න තියේනම් කියන එක තමයි..
අන්තිමට ඉතින් මමත් කරේ එහෙම හිතුන ගමන් බ්ලොග් එකක් හදපු එක.ඒත් ඉතින් බ්ලොග් එකේ දාන්න දෙයකුත් තියෙන්න එපැයි.
ගොඩක් වෙලාවට කල්පනා කර කර ඉන්න අතරේ හිතට එන ලස්සන අදහස් වගේම අමුතු අදහස් ඒ වෙලාවෙම කොලයක ලියලා පොඩි සටහනක් දාල තිබුන නම් කියල හිතුනේ එවෙලෙ.

අන්තිමට බ්ලොග් එක හදලත් ගොඩක් දවස්‌ යනකම් මුකුත් ලියන්නේ නැතුව කියව කියවම හිටියා..:)
දැන් තමයි ඔන්න ලියන්න පටන් ගත්තේ.
මේක මගේ පළමුවෙනි පොස්ට් එක නිසා කියවල හිතට එන හැමදෙයක්ම කියන්න කියල ආදරෙන් ඉල්ලනවා.ඕනෑම අදහසක්,යෝජනාවක් කියන්න.හරි නැත්නම් එහෙම හරි කියන්න.විශේෂයෙන් අඩු පාඩු කියනවනම් ලොකු දෙයක්.:)

පළවෙනියටම ලියන්න හිතුනේ අපි කාටත් කවදාවත් අමතක වෙන්නේ නැති කවුරුත් ආදරේ කරන දෙයක් ගැන.

අම්මගේ ආදරේ.

 අති බහුතරයක් කවියන්ට,ගීත රචකයන්ට වගේම සියලුම විදියේ කලාකරුවන්ට සොබාදහම විසින් ලබාදුන් අපූර්ව වස්තු බීජයක්.
භාෂාව,ජාතිය,ආගම,සංස්කෘතිය වගේ විවිධ වෙනස්කම් සහිත මිනිසුන්ට පොදු දෙයක් උන ඒ ආදරය සෙනෙහස ගැන තැනුන නිර්මාණ අනන්ත ප්‍රමාණයක් ඇති.
ඒ විදියට ලියවුන තවත් එක සිංහල ගීතයක් ගැනයි මේ කතාව..
සමහර අය අහල නැතුවත් ඇති.එහෙම නම් හොයාගෙන හරි අහන්න වටිනා ගීතයක්.නිකන්ම අහනවට වැඩිය මේක රස විඳලම බලන්න ඕන.
ගීතය තමයි විශාරද නන්දා මාලනිය ගයන චන්ද්‍ර මඬුලු යට සුරංගනාවන්....

 කවුරුත් අහල තියෙන ජාතියේ දරු නැළවිලි ගීයක් නම් නෙවෙයි මේක.බොහොමයක් එවන් ගීත ලියල තියෙන්නේ ලස්සන අපූරු ලෝකයක් මැවෙන විදියට සහ අහගෙන ඉන්නකොට සනීපෙට නින්ද යන විදියේ මිහිරි තනුවකට අනුවනේ.මේකත් ඉතින් තනුව ගත්තම නම් අහන් හිටියම අපිට උනත් නින්ද යන තරම් ලස්සන මිහිරි තනුවක්..:D


මේ විශිෂ්ට නිර්මාණයේ රචකයා මහින්ද අල්ගම මහතා..එදා මෙදාතුර ලියවුන ඉහලම ගණයේ දරු නැළවිලි ගීයක් කියල පිළිගැනීමක් තියෙනවා මේ නිර්මාණයට..රසවිඳලම බලන්න...

         ගීතයේ මුල් පද පේලි මෙහෙමයි.
චන්ද්‍ර මඬුලු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැලවිලි ගී මමයි කියන්නේ.....

අනිත් හැම ගීත රචකයෙක්ම වගේ ඔය වගේ උදාහරණයක් කියල තියෙනවනම් තියෙන්නේ සුරංගනාවෝ ඇවිත් පුංචි දරුවාව නලවන, දරුවා නලවන්නට මිහිරි ගීත ගයන ලස්සන පරිසරයක් අපේ හිත වල ජනිත කරවන අයුරින්..
ඒත් මේකේ එය දක්වන්නේ වෙනස් විදියකට..අම්මාගේ ළයාන්විත මිහිරි හඬින් ගයන ගීත තරම් අනික කිසිවක් සුන්දර නැති බව ඔහු අම්මාගේ වචන වලින්ම කියනවා..
වක්‍රව කියන්නේ අම්මා තරම් වටින සුරංගනාවියක් දරුවට ඉන්නවද? :)

ඊළඟ පද පේලි ටිකත් අහන්න..

රන් තැටියක කිරි පැණි පුරවාගෙන
හඳහාමි  දූ බලන්න එනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
හඳහාමි කෙලෙසද මෙහි එන්නේ..

කිරි මුට්ටිය නුඹේ ගඟේ ගියාලු
ගඟට උඩින් කිරි කොක්කු ගියාලු
දුවේ එපා ඒ කතා අහන්නට
මමයි නුඹට ලේ කිරි කර දෙන්නේ  ..

චන්ද්‍ර මඬුලු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැලවිලි ගී මමයි කියන්නේ.....

රන් තැටියක කිරි පැණි පුරවාගෙන හඳ හාමි එනවලු පුංචි පැටියව බලන්න..එහෙමයි අනිත් අය කියන්නේ.
ඒත් මේ අම්මා කියන්නේ හඳ හාමි කොහොමද දුවේ මෙහෙට එන්නේ..
මට හිතෙන විදියට නම් රචකයාට අනුව, අම්මා තරම් දරුවෙකුට ජිවිතයට ආලෝකය දෙන හඳක් තව කොහෙන්ද?
:)

අවසානයේ කියන්නේ කිරි මුට්ටිය ගඟේ ගියා, ගඟට උඩින් කිරි කොක්කු ගියාලු කියන කතාත් අහන්න එපාලු..කවුරුවත් පුංචි දුවට කිරි ගෙනත් දෙන්නේ නෑනේ.
අම්මනේ තමන්ගේ පුංචි පැටියට ලේ කිරි කරලා දෙන්නේ..

ඇත්තටම පුංචි දරුවෙකුට තමන්ගේ අම්මා,තාත්තා තමයි මුළු ලෝකයම වෙන්නේ.මේකේ කියවෙන්නේ අම්ම ගැන.ලස්සන සුරංගනාවියෝ,හඳ හාමි ..මේ හැමදෙයක්ම අම්මාගේ ලග තියෙනවා.අම්මාගේ ආදරේ ඒ තරම් උතුරා ගලා යනවා..
මේ විදියට අම්මව අගය කරන විදියේ මිහිරි නාදයක් දරුවට ඇහෙනකොට ඒවා සදාකාලිකවම ඒ පුංචි හිතේ තැන්පත් වෙනවත් ඇති..
මෙහෙම තමයි මේ අපූර්ව ගීතය ගැන මට හිතෙන්නේ..

ඔබේ අදහසත් කියලම යන්න....

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

නාකියා said...

අම්මා ගැන නම්, එහෙමත් නැත්තන් අම්මගෙ ආදරේ ගැන නම් මට තාමත් කියන්න වචන නෑ.. මං හිතන විදියට තාම ඒ ගැන කියවෙන සර්ව සම්පූර්ණ ගීතයක් ලියවිලාත් නෑ.. ලියවෙන්නෙත් නෑ..
ඒත් මේක හොද පෝස්ටුවක්.. දිගටම ලියන්න ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා කියලා පතනවා... ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා...

ආගන්තුකයා said...

@නාකියා - ගොඩක් ස්තූතියි සහෝ කමෙන්ට් එකට..ඇත්ත තමයි ඉතින් අම්මගෙ,තාත්තගෙ ආදරේ ගැන ලියවුන ගීත කොච්චර තිබුනත් ඒවයින් හමදෙයක්ම කියන්න බෑ..

ප.ලි - මේ මගේ සිතුවිලි පවුරේ මුල්ම පෝස්ට් එක.ඒකටත් කොහෙද යන පිස්සු කේස් එකක් ඇවිත් කුනුහරුප කමෙන්ට් එකක් දාලා තිබුනා.ඇඩ්මින් සහෝදරයා ඒක ඉවත් කරලා.ඒත් මට එක ආපු නිසයි මම දැක්කේ..අදාල පුද්ගලයට කියන්නේ..කියවන්න දෙයක් නැත්නම් පාඩුවෙ ඉන්න එකයි හොඳ..අපි ඕව දන්නෙ නෑ කියල හිතාගෙනද අපිට උගන්නන්නද හදන්නේ..එහෙම හිතුව නම් ඒක වැරදියි හොඳේ?
තමන්ගෙ වැඩක් බලාගත්තනම් හොඳයි.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන