භයංකාර රාත්‍රියක් - 3

Thursday, July 28, 2011
මං මීට කලිං වෙනත් සයිට් එකක භයංකාර රාත්‍රියක් කියලා ලිපි පෙලක් (පෙලක් කිව්වට ලිපි 3 යි) ලිව්වට ඒවා බොහොමයක් අය දකින්න නැතුව ඇති. මොකද එතකොට මං මේ සයිබර් අවකාශයට ආආආ.... ම.. ධුනිකයෙක්. කොටින්ම මගේ හද පතුල බ්ලොග් එක ලියන්න පටං ගත්තෙත් ඊට ටික කාලෙකට පස්සේ. 


මාසයකට දෙකකට සැරයක් ලිපියක් ලියන මං මේ අවකාශයේ ඒ හැටි ජනප්‍රිය කෙනෙක් නොවෙන එක අහම්බයක් නෙවෙයිනේ... අනික මට තිබුණු යම් යම් පෞද්ගලික ප්‍රශ්ණ හින්දා සයිබර් අවකාශයේ පොදු කටයුතු කිසිවකට සම්බන්ධ වෙන්න ලැබුණෙත් නෑ.


මොන තරං වෙලාව අඩු වුණත් මාසයකට වරක් වත් මං ලියන බ්ලොග් වල ලිපියක් පල කරන්න මං උත්සාහ කරනවා. ඔහොම ඉන්න අතරේ තමයි මට සිතුවිලි පවුර හමු වෙන්නේ..


ඉතිං මට හිතුනා මගේ ජිවිතේ මං අත්විඳපු ඉතාම සංවේදී සිද්ධි දාමයන් වලින් එකක මතකයන් නැවත අවධි කරමින් අර ලිපි තුන සිතුවිලි පවුරේ පලකරන්න.


භයංකාර රාත්‍රියක් - 1 - මේ ලිපිය ඉස්සෙල්ලා වතාවට වඩා කීප දෙනෙක් කියවලා තිබුණා මයෙ හිතේ... ප්‍රතිචාර කීපයකුත් තිබුණා. ඔන්න ඉතිං ඒ සතුට පිටිංම දැම්මා ඊලඟ ලිපියත්....


භයංකාර රාත්‍රියක් -2 - අනේ අර තිබුණු උනන්දුව නං හේ වෙලා ගිහිං වගෙයි පෙනුනේ... ඒත් ඉතිං මක් කොරන්නද ? ඕන එකක් වෙන්න කියලා දානවා අවසාන කොටසත්...


මෙන්න අන්තිම කොටස....


අපි පහුවදා තමයි අපි පිච්චුන ෆැක්ටරිය බැලුවේ. ඒකෙ ගන්න දෙයක් ඉතුරු වෙලා තිබුණෙ නෑ. කෝටි ගණන් වටින යන්ත්‍රෝපකරණ වගේම ලක්ෂ ගණනක නිමි රබර් තොගයක් ගිනි අරං. 


කට්ටිය ලෑස්ති වෙන්නේ මුළු කර්මාන්තශාලාවටම ගිනි තියන්න කියලා තේරුණාම ඔවුන්ගෙන් අප්පච්චි ඉල්ලලා තියෙන්නේ රබර් ටික එලියට අරන් ඒ ටික විතරක් ගිනි තියන්න කියලා. 

එතකොට ඔවුන් කියලා තියෙන්නේ මහත්තයට ඕනි දෙයක් තියෙනවනම් ගන්න, අපි කොහොමත් මේක රබර් ටිකත් එක්කම ගිනි තියනවා කියලයි. 


එහෙම කියපු ඔවුන් ඒ කර්මාන්ත ශාලාවට ගිනි තියලා තියෙනවා.
ඒ දවසෙම ඒ ප්‍රදේශයේ කර්මාන්තශාලා කීපයක් ගිණි තියලා තිබුණා.

ඉන් පසුව අපේ ජීවිතත් බොහෝ වෙනස් වුණා. අපි වෙන වතු යායකට ගියා. අවුරුදු ගනණක් ගොඩනගාගත් බොහෝ දේ අපෙන් දුරස් වුණා. තවත් අලුත් දේවල් අපට ලං වුණා. අපේ තිබුණු ස්ථාවර ගතියට පොඩි හානියක් වුනත් අපි කොහොම හරි හොඳින් ජීවත් වුණා.

ඒත් කර්මාන්තශාලාවේ වැඩ කරපු සුළු සේවකයෝ...
ඔවුන්ට යන එන මං නැති වුණා.
සමහරු අසල වතුයාය වල වැඩට ගියා. සමහරු රට ගියා. ඒත් සමහරු අන්ත අසරණ වුණා. ඔවුන්ගේ ජීවිත කබලෙන් ලිපට වැටුණා.

මේ සිදුවීම වූ දාට පහුවදා තවත් ආරංචියක් ලැබුණා...
අපේ බාප්පා අතුරුදන් කියලා....
එයා සදහටම අතුරුදන් වෙලා තිබුණා.

ප්‍රේමකීර්ති ද අල්විස් නම් හෘදයාංගම කලාකරුවා ව මරා දැමුවා කියා ආරංචි වුනෙත් මේ කාලෙමයි.

මගේ හිත නම් වැඩිපුරම දුක් වුණේ ඔහුගේ අකල් වියෝවටයි. ඔහු කොයි තරම් හදවත් ගනනක් සනසන්නට දායකත්වයක් දීපු කෙනෙක්ද.....?
ජීවත් වුනත් මළා වගේ ඉන්න මිනිසුන් වෙසෙන රටක ප්‍රේමකීර්ති මැරුණත් ජීවත් වෙන කෙනෙක්......

සටහන ඉවරයි.....!

පසුව ලියන වග නම්....


බොහෝ දෑ වෙනස් කළ, විකෘති කළ ඒ අඳුරු කාලය නිමා වී යලි ප්‍රජාතන්ත්‍රවාදය රජ වේ යැයි බලා පොරොත්තු වුවද ප්‍රජාතන්ත්‍රවාදය අපිත් එක්ක හැංගිමුත්තං කරද්දී විපිලිසරව බලාහිඳින අතර ඒ කාලයේ මේ සිද්ධීන් වලට සම්බන්ධ අප ඇතුළු අයට කුමක් සිදුවීදැයි බිඳක් සොයා බැලීමි. 


ජීවිත ඉතුරු වූවෝ මොන තරම් දුක සේ හෝ තමන් ගේ ජීවිත ගොඩ නගාගෙන ඇත. 


අහිමි වූ බොහෝ දෑ අමතක කොට ජවිපෙ ට චන්දය දෙන්ට වුවද දැන් අප සූදානම්ය.... 



8 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Madhawa Habarakada said...

මට නම් ඔය කාලය ගැන කිසිම මතකයක් නෑ. මොකද මට ඒ වෙනකොට වයස අවුරුදු 3යි.
සංවේදී කතාවක්. සුභ පතනව ජීවිතයටත්, බ්ලොග් ලිවීමටත්.

චතුර විජේකෝන් said...

අපේ රටේ විවිධ කාල වල විවිධ අපරාධ සංවිධානාත්මකව රට පුරාම සිදුවුණා... ඒත් අපි දන්නේ ඒවයින් බොහෝම අල්පයයි නොවැ.

මේ මෑත කාලය ගත්තොත් 1971, 1983, 1989 සිදුවූ කෝලහාල වගේම දශක 3ක් රටට ශාපයක් වූ LTTE යුද්ධයත් දැන් බොහෝ දෙනාට අමතකයි.. ඒත් අපි ඒවා මතක තබා ගත යුතුයි.

උරය පලා සැනෙකින් කියන දුකා ගේ ලිපියෙත් තියෙන්නේ මේ වගේ ම කතාවක්...

සරත් ලංකාප්‍රිය said...

අපේ රටේ දේශපාලනේ ඉන්න කාගේ කාගේත් හුණු කිල්ලෝටවල තියෙන්නේ මේ වගේ දේවල් තමයි.. බලේ නැතිකොට ප්‍රජතන්තරවදේ මුර දේවතාවෝ. බලේ ගත්තම යක්කු. ථ් එහෙමයි දෙපැත්තම කලේ එකම දේ.. තුක් නොදකින් ..

Anonymous said...

දේශපාලනය ගැන කතා කරනකොට කලකිරීම් වල ඉවරයක් නෑ...

චතුර විජේකෝන් said...

@සරත් ලංකාප්‍රිය
හරියටම හරි සහෝ.... අඩුම තරමේ පහුගිය දේවල් වලින් පාඩමක් ඉගෙන ගන්නවත් මිනිස්සු පුරුදු වෙන්න ඕනනේ.. බොහොම ස්තුතියි...

චතුර විජේකෝන් said...

@ඇනෝ
එහෙමයි කියලා දේශපාලනය කතා නොකරත් බෑ... නේද?

හංසි said...

ඔක්කොම කියෙවුවා. මේ සිදුවීම් මගේ හිතට තදින්ම දැනෙනවා. තරුණ ජීවිත නිකරුණේ නාස්ති වුණ කාලයක් විදිහටයි මම අහලා තියෙන්නෙ. එතකොට මම ඉපදිලත් නෑ මම දන්න තරමින්. ඒ වගේ කාලයක් කිසිම දවසක උදා නොවේවා කියලයි කියන්න තියෙන්නෙ.

චතුර විජේකෝන් said...

@හංසී

තරුණ ජීවිත විතරක් නෙවෙයි, ලංකාවෙම ජීවිත ආපස්සට ඇදුණු යුගයක් ඒක. සිදුවුණු පාඩු මෙතෙකැයි කියන්න බෑ. ඔයාලා ඉපදිලා නැති වුණත්, ඔයාලටත් මේ කාලයේ සිදුවුණු දේවල් වල රස්නේ දැනෙන්නට ඇති... දැනටත් ඒ රස්නය තියෙන බවයි මට නම් හිතෙන්නේ...

බොහොම ස්තුතියි නංගී...

Post a Comment

පි‍ටු පෙරලපු ගාන