විදුලි ආශ්‍රිත ප්‍රවේසම

Friday, July 8, 2011


"අප්‍රවේසම අනතුරට අත වනයි."

(මෙම ලිපිය, අප ආයතනයේ කාර්මිකයින් පුහුණුවකට මා විසින් සකසන ලද්දක යම් වෙනස්කම් කර ප්‍රකාශනයට පත් කරන ලද්දකි. නමුත් මෙමගින් ඔබ සැමටම  ප්‍රයෝජනවත් වන දැනුමක් ලබා ගත හැකි වෙතැයි සිතමි.)


"විදුලිය හොඳ සේවකයෙකි, නමුත් දරුණු පාලකයෙකි" යන්න විදුලියෙහි යහපත මෙන්ම අයහපතද කැටිකර දක්වන ප්‍රකාශයකි. නිසි පාලනයක් යටතේ අප විසින් විදුලිය ප්‍රයෝජනයට ගත යුතු බවයි.
ආයතන වල සිදුවන අනතුරු හා සසඳා බලන කළ විදුලියෙන් සිදුවන අනතුරුවල ප්‍රතිශතය ඉතා අඩු වේ. එහෙත් අප, විදුලිය හොඳ සේවකයෙක් කර ගැනීමට තරම් ඒ පිළිබඳව දැනුවත් නම් එසේ සිදුවන අනතුරු වළක්වා ගත හැකි වේ.

විදුලියෙන් අනතුරු සිදුවීමට පහත කරුණු බලපා තිබේ.
  • ·         පහත් තත්වයේ විදුලි උපකරණ භාවිතය
  • ·         නිසි නඩත්තුවක් නොමැති වීම
  • ·         විදුලි උපකරණ නිවැරදිව භාවිතය පිළිබඳ නිසි දැනුමක් නොමැති වීම

විදුලි සැර (electric shock) සහ මිනිස් සිරුර

අයෙකු විදුලි සැර වැදී මියයාමට, ඇම්පියර් 0.05 වැනි සුළු විදුලු ධාරාවක් වුවද ප්‍රමාණවත් වේ. වියළි සමෙහි විදුලි ධාරාවක් ගමන් කිරීමට ඉහළ ප්‍රතිරෝධයක් ඇතත් තෙත් සමෙහි ඊට ඇති ප්‍රතිරෝධය බෙහෙවින් අඩු අගයක් ගනී. 
වියළි සමෙහි විදුලිය සඳහා ප්‍රතිරෝධය : ඕම් 100,000 - 600,000 දක්වා ප්‍රතිරෝධයක්ද,තෙත් සමෙහි විදුලිය සඳහා ප්‍රතිරෝධය : ඕම් 1000 සිට පහළට ප්‍රතිරෝධයක්ද, පවතී.
මිනිස් ශරීරය හරහා විදුලි ධාරාවක් ගලා යන්නේ පරිමා සන්නායකයක් පරිද්දෙනි. බොහෝවිට එය සිදුවන්නේ අත් දෙක හරහා හෝ අතක් හා පයක් අතරය. එම නිසා විදුලිය ගලා යන මාර්ගයට හෘදයත් ශ්වසන පද්ධතියත් අයත් වන අතර මරණය සිදුවීමට එය බලපායි. හිස හරහා විදුලිය ගලා යන අවස්ථා වාර්තාවී ඇත්තේ ඉතාම අවම වශයෙනි. මිනිස් ශරීරයේ සෛල විදුලි ධරාවකට ඉතාම සංවේදී වේ. දිවට මිලි ඇම්පියර් 45ක් වැනි කුඩා විදුලි ධාරාවකින් හෘදයේ වේගවත් ගැස්මක් ඇති කරයි. මෙම ප්‍රමාණය වර්ධනය වීමේදී ක්‍රමයෙන් දැවිල්ලක්, තාපය හා වේදනාවක් ඇතිවේ. මිලි ඇම්පියර් 100කදී, පාලනයකින් තොරව මස්පිඬු හැකිලෙන නිසා විදුලි සන්නයනයේදී අත හෝ ශරීරය ඉවතට ගත නොහැකි තත්වයට පත් වේ.
අයෙකුගේ පපුව හරහා මිලි ඇම්පියර් 20-40 ධාරාවක් ගලා යාමේදී පපුවේ මාංශ පේශි හැකිළී හුස්ම ගැනීම නතර වේ. මෙහිදී ඔක්සිජන් නොමැති වුවහොත් මිනිත්තු ගණනාවක් තුළ මරණය සිදුවේ. එහෙත් මෙලෙස ශරීරගත වන විදුලිය ක්ෂණිකව කපා හැරිය හොත් හුස්ම ගැනීමට හැකිවී, යළි යථා තත්වයට පත් වේ.
ශ්වසන පද්ධතිය පාලනය වන මොළයේ පහළ කොටස හරහා විදුලිය ගමන් කළහොත් ශ්වසන පද්ධතිය අක්‍රිය වේ. හෘදය හරහා විදුලිය ගමන් කළ හොත් ශරීරයේ රුධිර ගමනාගමනය අඩාල වේ. මෙවැනි අවස්ථා වල ක්ෂණික ප්‍රතිකාර ලබා නොදුනහොත් මරණය සිදුවීමේ අවදානම ඉතා වැඩිය. විදුලි සැර වැදීමකදී මස්පිඬු හැකිළී සම ඉරීයාමකටද ලක්විය හැකි අතර කොඳුඇට බිඳී යාමටද හැකියාවක් පවතී. එවැනි අවස්ථාවකදී අතපය පාලනය කරගැනීමට නොහැකිවන නිසා විසිවීමට, සිටි තැනින් පහළට වැටීමට, අවට ඇති භාණ්ඩ වල වැදීමෙන්ද තුවාල සිදුවීමද විය හැකිය. හිනිමං, පළංචි මත වැඩ කරන විට මේ ගැන වැඩි අවධානයක් යොමුවිය යුතුය.

විදුලියෙන් ඇති වන පිළිස්සීම් (Electric Burns)


විදුලි ධාරාවක් සන්නායකයක් තුළින් ගමන් ගන්නා විට සන්නායයකයේ  ප්‍රතිරෝධයට අනුක්‍රමිකව තාපය පිට කරයි. මිනිස් සමේ ප්‍රතිරෝධය වැඩි නිසා ධාරාවක් ගමන් කිරීමේදී වැඩි තාපයක් පිට වේ. මේ නිසා සමේ පිළිස්සීම් තුවාල ඇති වේ. මෙවැනි තුවාල වැඩි ප්‍රමාණයක් ඇති වන්නේ ශරීරයට ශරීරයට විදුලි ධාරාව ඇතුළු වන හා පිටවන ස්ථානයන් වලය.

සැණෙලිය නිසා ඇතිවන පිළිස්සීම් (Flash Burns)



භූගත සන්නායකයක් හා අධි වෝල්ටීයතා සන්නායකයක් එකිනෙක ලංවූ විට මෙවැනි තත්වයක් ඇතිවේ. මෙහිදී වාතය අයනීකරණය වී වාතයේ ප්‍රතිරෝධය ක්ෂණිකව අඩුවී සන්නායක දෙක අතර විදුලි පුළිඟුවක් ඇති කරමින් වැඩි ධාරාවක් ගමන් කරයි.
මේ හා සමානව යම් පුද්ගලයෙක් පරිවරණයක් රහිතව සිටියදී අධිවෝල්ටීයතාවයක් ඇති ස්ථානයකට ලඟා වුවහොත් විදුලි චාපයක් ක්‍රියාත්මක වී පිළිස්සීමක් ඇති වේ.

චාපය නිසා ඇසට ඇතිවිය හැකි ආපදා (Arc Eye)



චාපයකදී පාරජම්බූල කිරණ නිකුත් වේ. එම කිරණ, ඇස තුළ වැලිකැට ඇති සේ වේදනාකාරී තත්වයක් ඇති කරවයි.
"කිරටෝකන්ජන්ටිවයිස්" යනුවෙන් අඳුන්වන මෙම තත්වය විදුලි පෑස්සුම්කරුවන් හට පහසුවෙන් වැළඳේ. සුදුසු ආරක්ෂක ඇස් ආවරණ පැළඳීමෙන් මෙම තත්වය වළක්වා ගත හැකිය.

ගිනි හා පිපිරීම්

විදුලි චාපයකින් ඇති වන තාපය හේතුවෙන් අවට ඇති ද්‍රව්‍යයක් ගිනි ගැනීමක් හෝ අදාල ද්‍රව්‍යයේ තත්වය අනුව පිපිරීමක් හෝ සිදුවීමට අවකාශ පවතී.

විදුලිය හේතුවෙන් තාපය පිටවිය හැකි අවස්ථා
  • ·         පරිපථයක් හරහා අධික ධාරාවක් ගලා යෑමකදී
  • ·         පරිවරණ (insulations) බිඳී ඇති විට
  • ·         විදුලි උපකරණ නිසි පරිදි සිසිල් නොවන අවස්ථා වල
ස්විචයක් හා අනෙකුත් පිළියවන ස්පර්ශයන් අනාරක්ෂිතව ක්‍රියාත්මක වී ගිනි හා පිපිරීම් ඇති විය හැකිය. විදුලි පෑස්සුම් කිරීමේදී මෙවැනි අවස්ථා ඇති විය හැකි අතර එවැනි ස්ථාන අතර ගෑස් හෝ වායු විශේෂ පවතී නම් සිළු ආවරණ සවිකුරු (Flame Proof Fittings) යෙදිය යුතුය.

කර්මාන්ත ආශ්‍රිත විදුලිය භාවිතයේදී කළ යුතු ආරක්ෂක විධි විධාන
  •  සියළු සන්නායකයන් පරිවරණ යොදා කල්පවතින පරිදි සකස් කර තිබිය යුතුය. සන්නායකයක් විවෘතව ප්‍රයෝජනයට ගන්නා විට ඒවා පුද්ගල ශරීර වල නොගැටෙන පරිදි සවි කිරීම හෝ අපවාරක යෙදිය යුතුය.
  • පරිපථයක් රත්වන විටද, එයින් විදුලිය භූගත වන විටද, පරිවාරක බිඳී ඇති විටද පරිපථය ස්වයංක්‍රීයව විසංධි වීමට හැකිවන පරිදි, විලායක (Fuse) හෝ පරිපථ බිඳිනයක් (Circuit Breaker) හෝ යොදා තිබිය යුතුය.
  • ඉදිකිරීම් වැඩබිම් වල ඉහළින්  යොදා ඇති කේබල්, අට්ටාල හා දොඹකර වල නොගැටෙන පරිදි කටයුතු කිරීමට උපදෙස් දිය යුතුය.
  • ගිනි හෝ පිපිරීම් ආපදා ඇති ස්ථාන වල ඇති විදුලි උපකරණ (Flame Proof) සිළු වරණ ඒවා විය යුතුය.
  • විදුලි උපකරණ භාවිතා කරන සේවකයින්ට මනා පුහුණුවක් ලබාදී ආරක්ෂිතව කටයුතු කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදිය යුතුය. එමෙන්ම කඩතොළු වී ඇති හා ආරක්ෂාව රහිත උපකරණ භාවිතා නොකළ යුතුය. එවැනි අනාරක්ෂිත උපකරණ පිළිබඳව බලධාරීන්ට වාර්තා කිරීමට සේවකයින් පුහුණු කළ යුතුය.
  • විදුලි උපකරණ නිසි පරිදි නඩත්තු කිරීමට හා නිසි කාල සීමාවක් තුළ පරික්ෂා කිරීමටද කටයුතු යෙදිය යුතුය.

3 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

චතුර විජේකෝන් said...

ඉතා අගේ ඇති ලිපියක්. විදුලිය දැන් අපේ ජීවිත වලට බද්ධ වෙලා නොවැ. ඉතිං ඒ ගැන දැනගෙන පාවිච්චි කරන එක හොඳයි..

Deeps said...

නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා..ස්තුතියි ලිපියට

Madhawa Habarakada said...

අනිවාර්යයෙන්ම. විදුලිය නැතිව අපිට දැන් කිසිම දෙයක් කරගන්න බෑ වගේ. බොහොමත්ම ස්තුතියි අදහසට.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන