රෙදි හෝදනවා රින්සෝ දාල... කුණු යන්නේ නැහැනේ. දාමු බ්ලීච් ටිකක්. ආ. ඔය තියෙන්නේ ගින්දර වගේ සුදට..
නොදකින් අර හොල්මන පද්ද පද්ද යනහැටි.. ඊරිසියාවේ බෑ තුක් විතරක්..
ගෙදර යකා නටලා.. අතුගාන්න ඕන.. ඔන්න දැන් ඉතින් නියම පිරිසිදුයි ..
වැඩක් නෑ ඉතින් ..හපොයි මේ යකාට ගේ හැඩි නොකර ඉන්න බැරි හැටි.. මමත් ඉඳල ඉඳලා හොයාගත්තා මිනිහෙක්.. චික්..
අල්මාරිය අස්පස් කරලා දැම්මොත් හොඳයි වගේ .. ඔන්න එකත් හරි ..
ශික් එතකොටයි මතක් උනේ.. ඇඳුම් තිබ්බට ඇති වැඩේ මොකක්ද ? මු මාව හරි හමන් ගමනක් එක්ක ගිය කාලයක් මතක නැහැනේ..
අම්මෝ දාඩිය.. මුළු ඇඟම ගඳයි.. යන්න ඕන නාගන්න.. හ්ම්ම් දැන් හරි සනීපයි ඉතින් ඇඟ පිරිසිදු උනානේ..
චික්.. මේ ජරා සබන්වල කිසි සුවඳක් නෑ.. මෙවුව හදන උන් හැඳි ගෑවිලා යන්න ඕන..
මේ ගවුම හොඳද ? නෑ. මේක හොඳයි.. ම්ම් මං තාම හැඩයිනේ.
කෝ අපේ බුරුවට පෙනෙයිද මගේ ලස්සන ? වෙන ගෑනියක් නම් ලස්සනට පෙනෙයි.. තුක්..
දාගන්න ඕනා සෙන්ට් ටිකක්.. ආ ම්ම් නියමයි ..
කොච්චර පරණද මේ සෙන්ට් ඒක ? අරන් දුන්නේ කවද්ද කියල මතකත් නැහැ. මේ යකාට දැන් මං ගැන ගානක්වත් නෑනේ.. ෂුවර් එකකට හොර ගෑනියෙක්වත් ඇති..
වරෙන්කො අද ගෙදර.. දෙන්නම් ..
රෙදිත් පිරිසිදුයි
ගේත් පිරිසිදුයි පිළිවෙලයි
අල්මාරිය නීට්
ඇඟත් පිරිසිදුයි
පෙනුමත් බොහොම හැඩයි..
සුවඳත් එක්ක ම්ම් .. අද නම්...ම්ම් .. හ්ම්ම් .. ඕන නෑ.. අදත් බුම්මගෙන ඉන්නවා .. පාඩමක් උගන්නන්න
ඒත් හිතනම් බොහොම අපිරිසිදු වෙලා නේද ? ඒක පොඩ්ඩක් හේදුවොත් හොඳ නැද්ද ?