එතුමා සමග වරුවක්

Thursday, December 18, 2014
නිවේදක :
ආයුබෝවන් ප්‍රිය රසික රසිකාවියනි, අදත් ඔබ මේ එක්වී සිටින්නේ එතුමා සමග වරුවක් කාලින දේශපාලන වැඩසටහන සමගින්. ඔබ මේ වන විටත් ශ්‍රී ලංකාවේ කතිර වරණය පිලිබඳ ඉතා හොදින් දැනුවත්, ඒ නිසාම අපි තීරණය කළා  මෙවර කතිරවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රභලතම අපේක්ෂක තුමෙක් මේ සාකච්චාව සඳහා සහභාගී කරවා ගන්න.

මේ දිනවල නම කියූ සැනින් එතුමා පිළිබඳව හැමෝම දන්නා නිසා එතුමා කවුද කියා හදුනා ගැනීමේ අවස්ථාවත් අපි ප්‍රේක්ෂක ඔබ වෙතම ලබා දෙනවා. ඔබටත් 0326 736737 දුරකථන අංකය මගින් අප සමග සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් මුලින්ම මම අපේ ආරාධිත කතිරවරණ අපේක්ෂකතුමාව ආයුබෝවන් කියල පිළිගන්නම්  
ආයුබෝවන් අපේක්ෂකතුමනි 

අපේක්ෂක :
ආයුබෝවන් ආයුබෝවන් 


නිවේදක :
මුලින්ම ඔබතුමා ගැන ඔබතුමාම පොඩි හැදින්වීමක් කලොත් හොදයි කියල මම හිතන්නේ, අපි පටන් ගනිමු ඔබතුමා දේශපාලනය ආරම්භ කරපු තැනින්ම 

අපේක්ෂක:

පළමුවෙන්ම මම ඔබට ස්තුති කරන්න ඕනේ මට මේ අවස්තාව ලබා දුන්න එක ගැන, මොකද ඇත්තම කියනවා නම් රටේ මාධ්‍ය සියල්ලටම මේ වන විට මේ දුෂිත කුරිරු ආණ්ඩුව විසින් වාරණ නියෝග දාල තියෙන්නේ විපක්ෂයේ නියෝජිතයන්ව මේ වගේ වැඩසටහන් වලට සහභාගී කරවා ගැනීම සම්බන්දයෙන්. මේ වගේ දැඩි ලෙස මාධ්‍ය නිදහස කප්පාදු කරපු තත්වයක් යටතේ උනත් මට මෙතනට ආරාධනා කරපු එක ගැන මම ආයෙමත් ස්තුතිවන්ත වෙනවා. 

නිවේදක:

අපි දන්නා විදියට දේශපාලනයට එන්න කලින් ඔබතුමා රජයේ නිලධාරියෙක් 

අපේක්ෂක:
ඔව් ඇත්තෙන්ම මම මගේ ප්‍රදේශයේ ජනතාවට දැනට අවුරුදු හතලිස් ගානකට කලින් රාජ්‍ය සේවකයෙක් වශයෙන් කරන ලද සේවයේ ප්‍රතිපලයක් විදියට තමයි ජනතාව මාව පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගත්තේ. එදා ඉදන් මම ඒ දුක් විදින ජනතාවගේ ප්‍රශ්න ගැටළු නිරාකරණය කරන්න පුදුම විදියට කැප උනේ. මට දේශපාලනික වශයෙන් මෙච්චර දුර ගමනක් එන්න හැකියාව ලැබුනේ අන්න ඒ කැපවීමෙන් කරපු ජනතා සේවය නිසා කියල මට ආඩම්බරයෙන් කියන්න පුළුවන් 


නිවේදක:
දැන් අපි ඔබතුමාගේ වර්තමාන දේශපාලන කටයුතු දිහා බැලුවොත්, ඔබතුමාගේ පාර්ශවයෙන් ඔබතුමාගේ ප්‍රතිවිරුද්ද  පාර්ශවය වෙත දැඩි ලෙස චෝදනා කරනවා සහෝදර සමාගමක් වශයෙන් රට පාලනය කරනවා කියල, ඒත් රජයේ පාර්ශවය කියන විදියට ඔබතුමාගේ සමාගම ඊට වඩා වැඩියි. තව ඔවුන්ගේ ව්‍යාපාර පිළිබඳවත් රජය චෝදනා එල්ල කරනවා. මේ සම්බන්දයෙන් ඔබ තුමා දරන ස්ථාවරය මොකක්ද කියල ජනතාව දැනගන්න කැමතියි 


අපේක්ෂක:

මුලින්ම මට ඔය වගේ චෝදනා එල්ල කරන කණ්ඩායම් වලට මම කියන්න කැමතියි මගේ සහෝදර පරම්පරාව ඔය දැනට ආණ්ඩුවේ ඉන්න අය වගේ නෙවෙයි කියල. මොකද ඒ වගකීම මම ගන්නවා, මගේ අතේ ලේ ගෑවිලා නෑ. 

නිවේදක:

සමාවෙන්න අපේක්ෂකතුමා ඔබතුමා සහෝදරයන්ගේ වගකීම ගැනීමක් ගැන නෙවෙයි මම ඇහුවේ,  

අපේක්ෂක:

ඉන්නවකෝ පනින්නේ නැතුව මගේ සහෝදරයන්ට එයාලගෙම ව්‍යාපාර කටයුතු තියෙනවා, එක මුළු රටම දන්නවා. එයාල එදා ඉදන්ම සල්ලි තිබ්බ අය. මගේ සහෝදර සහෝදරියෝ ඔය අනිත් අය වගේ පිට රට ගිහින් ෂෙඩ් වල තෙල් ගහලා කියක් හරි හොයාගෙන සහෝදරයා රජ වෙච්ච ගමන් ලංකාවට ඇවිල්ල රටේ පාලනයට සම්බන්ධ වෙච්ච අය නෙවෙයි කියල මම වගකීමෙන් කියනවා 

නිවේදක:

ඔව් අපේක්ෂකතුමා මේ අවස්ථාවේ අපේ නරඹන්නෙක් දුරකථනය හරහා සජීවීව සම්බන්ධ වනවා අපිත් සමග. ඔව් කවුද  මේ කතා කරන්නේ 

අසන්නා:

හෙලෝ මහත්තයෝ

නිවේදක:

ඔව් මට ඔබතුමාගේ නම කියනවද මුලින් කියන්න 

අසන්නා:
මහත්තයෝ මම ගම්පහ සුනිල් කතා කරන්නේ මට කතා කරන්න ඕනේ අපේ අපේක්ෂක තුමාට, 


නිවේදක:
ඔව් සුනිල් ඔබට ප්‍රශ්නය ඉදිරිපත් කරන්න පුළුවන් 


අපේක්ෂක:
ඔබතුමාට ඕන දෙයක් මගෙන් අහන්න. මොකද මම මේ වෙලාවේ මෙතනට ඇවිල්ල ඉන්නේ ජනතාව වෙනුවෙන් ජනතා ප්‍රශ්න වලට උත්තර දෙන්න 


අසන්නා:
මහත්තයෝ අපි දැක්කා ඔබ තුමා ප්‍රකාශ  කරලා තියෙනවා ඔබතුමා වත්කම් ප්‍රකාශයක් ඉදිරිපත් කළා කියලා 

අපේක්ෂක:
ආන්න දැක්කද මම මගේ වත්කම් ප්‍රකාශයකුත් ඉදිරිපත් කරලා මේ කතිරවරණයට ඉදිරිපත් උනේ. මගේ අත්වල කුණු නෑ, පගාව වංචාව දුෂණය තියෙන තැනක මට ඉන්න බෑ කියල හදවතටම දැනුන නිසා මම එලියට බැහැලා ආවේ 

අසන්නා:

මට අපේක්ෂක මහත්තයාගෙන් දැනගන්න පුලුවන්ද එතකොට ඒ වත්කම් ප්‍රකාශය ඇතුලේ අර ගං පහ ඇඹර... 

කික්... කික්... කික්...

නිවේදක:
හෙලෝ හෙලෝ සුනිල් මහත්මයා 
ඔව් බොහොම කනගාටුයි  දුරකථනය විසන්ධි උනා 

අපේක්ෂක:
ඒ මහත්තයා ගම්පහ ප්‍රදේශයේ තියෙන මගේ සතුව තියෙන දෙයක් ගැන නේද අහන්න ගියේ, ඇත්තටම මම ගොඩාක් කනගාටු වෙනවා ඒ මහත්තයා ගැන. මොකද මුළු රටේම ජනතාව දන්නවා මම සියනෑ කෝරලයේ දේශපාලන නායකයෙක් නෙවෙයි කියලා. ඉතින් මට කොහෙන්ද ගම්පහ පැත්තේ වත්කම්. මේවා මගේ දේශපාලන චරිතය ඝාතනය කරන්න මට මඩ ගහන්න මේ වංචාකාරී දුෂිත ආණ්ඩුව කරන වැඩ. ඒත් මේ රටේ බුද්දිමත් ජනතාව මේ වගේ බොරු මඩ ප්‍රහාර වලට සැලෙන්නේ නෑ කියල මට විශ්වාසයි 

නිවේදක:
ඔව් අපේක්ෂකතුමා ජනතාව කතිරවරණයේදී හොද තීරණයක් ලබාදෙයි කියන එක තමයි අපෙත් බලාපොරොත්තුව, දැන් මගේ ඊලග ප්‍රශ්නය තමයි  අපි හැමෝම දන්නවා දැනට රටේ සීග්‍ර සංවර්ධන ක්‍රියාවලියක් කරගෙන යනවා කියන එක. උදාහරණ විදියට ගත්තොත් උතුරු අධිවේගී මාර්ග කොළඹ වරාය හම්බන්තොට වරාය ආදී ව්‍යාපෘති වගේ දේවල්, 
ඉතින් රටේ ජනතාව දැනගන්න කැමති ඇති ඔබතුමා බලයට පත් උනාට පස්සෙත් මේ සංවර්ධන කටයුතු ඒ විදියටම කරගෙන යනවද කියන එක.

අපේක්ෂක:
මම මුලින් ඔබතුමාගෙන් අහන්න කැමතියි ඔබ තුමා මේ සංවර්ධනය කියන එකෙන් අදහස් කලේ දුෂණය වංචාව කියන එකද කියලා.  ඔබතුමා දන්නවද ඔය හයිවේ එකේ එක අඩියකට ගිය මුදලින් රත්තරන් වලින් කාපට් කරන්න තිබ්බ කියන එක. කාගේද මේ සල්ලි රටේ මහ ජනතාවගේ 

නිවේදක:
ඔව් අපේක්ෂකතුමා ඒත් රජයෙන් ප්‍රකාශ කරන විදියට ඔය අධිවේගී මාර්ගය සඳහා වියදම් කළා කියන මුදල් වලින් වැඩි කොටස ඉඩම් අත්පත් කරගැනීම සඳහා ජනතාවට ගෙවපු මුදල්. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය පිහිටලා තියෙන ප්‍රදේශයේ ඉඩම් වල වාණිජ වටිනාකමත් එක්ක සලකනකොට ඒ වියදම් කළා කියන අධික වියදමින් වැඩි කොටසක් ලැබිලා තියෙන්නේ ඒ ප්‍රදේශයේ ඉඩම් හිමි වෙලා තිබුන රටේ මහ ජනතාවටම නේද?  

අපේක්ෂක:
බම්බුව තමයි. එහෙම රටේ ජනතාවට දීපු සල්ලියක් ඔතන නැහැ. ඔය වියදම් කරපු සල්ලි වලින් හයිවේ දහයක්...... 


(දඩ බඩ ඩෝන් ඈතින් වෙඩි තබන බෝම්බ ගසන හඩක් ඇසේ. ආරක්ෂක භටයන් පිරිසක් පැමිණ අපේක්ෂකතුමා වට කරගනියි ) 

අපේක්ෂක:
මොකක්ද ඒ සද්දේ 

ආරක්ෂක භටයන්:
සර් එළියේ කට්ටියක් ෆයර් කරනවා.

අපේක්ෂක:
බලන්න මේ දුෂිත ආණ්ඩුවේ මැරකම. මගේ මේ වැඩසටහන කඩාකප්පල් කරන්න ආණ්ඩුව තමන්ගේ බලය යොදාගෙන. මේ වගේ මැරවරයන් ඉන්න මේ අධම ආණ්ඩුව ඉක්මනටම එලවන්න ජනතාව කටයුතු කරන්න ඕනේ. 


(ආරක්ෂක රැකවල් මැදින් අපේක්ෂකතුමා පිටව යන අතර පහර දීමට සහභාගී වූ අයගෙන් කෙනෙකු දෑත් වලට මාංචු යොදා පොලිස් භට කණ්ඩායමක් විසින් රැගෙන පැමිණේ) 

සැකකරු:
අනේ සර් මං අහිංසක දරු පවුල් කාරයා මාව අත අරින්න සර් 

පොලිස් නිලධාරියෙක්:
අත අරින්න වරෙන් %$%$ 

සැකකරු:
අනේ සර් අපේ මැඩම් ගේ කීම අහක දාන්න බැරි කමට මේ කට්ටියත් එක්ක ආව මිසක් මම මොකුත්ම කලේ නෑ සර්. 

පොලිස් නිලධාරියෙක්:
මැඩම් කිව්වේ මොන මැඩම් ද? ඇත්ත කියනවා නැත්තම් දන්නවනේ 

සැකකරු:
අනේ බුදු සර් ඇත්තම කියන්නම් මට යන්න දෙන්න 

පොලිස් නිලධාරියෙක්:
හ්ම්ම් කියනවා ඉක්මනට 

සැකකරු:
මහ ලොකුවට කෑගැහුවට අපේ සර්ට චන්ද හම්බ වෙන එකක් නෑ කියල අපේ මැඩම්ට හෙන සැකයි සර්.

පොලිස් නිලධාරියෙක්:
සර් කිව්වේ දැන් මෙතන ඉදලා ගිය අපේක්ෂකතුමාද? 

සැකකරු:
ඔව් සර් 
ඉතින් මැඩම් කිව්ව අපේ සර්ගේ මොකක් හරි මිඩියා කන්ෆරන්ස් එකක් ලගදි සර්ට මරණ තර්ජන තියෙනවා වගේ රටට ලෝකෙට පේන්න මොකක් හරි කරන්න කියල, එතකොට ඒක ආණ්ඩුවෙන් කළා වගේ පෙනෙයි කියලත් කිව්ව. 

පොලිස් නිලධාරියෙක්:
උඹේ අ$# ට
දැන් තමුසෙලා ඇවිත් මෙතන ගිනිකෙළි පත්තු කලේ ආණ්ඩුවෙන් සර්ට මරණ තර්ජන තියෙනවා කියල රටට ලෝකෙට පෙන්නන්න නාට්ටියක්රඟපාන්නද? වෙඩි වැදිලා අපේ දෙන්නෙක් හොස්පිටල්. තමුසෙලාගේ නාට්ටි වලින් ඒ මිනිස්සුන්ට මොකක් හරි උනොත් කවුද වගකියන්නේ ඉතුරු කට්ටිය ගැනත් අපි බලාගන්නම්. 

එනවා යන්න පොලිසියට 

 (පොලිස් නිලධාරින් සැකකරු වාහනයට නංවාගෙන රැගෙන යයි. නිවේදක සහ මාධ්‍ය ආයතනයේ සෙසු පිරිස සිදු වූ දේවල් ගැන සිතාගත නොහැකිව බලා සිටියි )



ඔබ සැමට සුභ අනාගතයක්....

පි‍ටු පෙරලපු ගාන