කට්ටියට මතකද මන්දා මම කලින් ලියපු එව්වා.බොහොම ඉස්සර නොවැ කලින් ටික ලිව්වේ.අහුකොන් තියන්නෙ මොකටද කියලා ඔන්නොහෙ ඉවරයක් කරලා දාන්න හිතුවා.කියෙව්වෙ නැත්තං
මෙතනින් ගිහින් බලන්න.
ඔන්න කොහොමින් කොහොම හරි මාව උත්සවශ්‍රියෙං රොකට් එකටත් නැග්ගුවා කියමුකෝ.අප්පා ගඳ මේකෙ ඇතුලෙ.මේක හදලා ඉවරවෙලා නිකං ඔහේ තිබ්බ කාලෙ මේක ඇතුලෙ කුඩු කාරයෝ, ගංජා කාරයෝ, පිම්පියෝ, හිඟන්නු විතරක් නෙමෙයි රතිකෙළි කාරයින්ගෙත් පාරාදීසයක් වෙලයි තිබිලා තියෙන්නෙ.හැම තැනම බුලත් කෙළ පාරවල්.බිත්තිවල හුණු වලින් ලංකාවෙ අඟනුන් ලඟ නැති තරමේ අඟපසඟින් යුත් මහිලා රූප ඇඳලා.නූල් පටක්වත් නැති මේ නාරි රූප ඇඳපු උන් කොහෙදි දැකපු එව්වද කියලා මට හිතාගන්නවත් බැරි උනා.මට උන් ගැන හීනි ඉරිසියාවකුත් ආවෙ නැතුව නෙමෙයි.රූප ඇඳලා ඉතුරු උනු ඉඩවල් ඔක්කොම සංස්කෘත ශ්ලෝකවලින් ආවරණය කරලා.එළිවැට ඇති ඒවා නැති ඒවා විතරක් නෙමෙයි දිග ගද්‍ය ආඛ්‍යාන එහෙමත් තැනින් තැන ලියලා.සමහරවිට මේක මේ අපේ රජතුමා මගේ පහන් සංවේගය උදෙසා කරවපු කැටපත් පවුරක් සහ චිත්‍ර එකතුවක්දෝ කියලත් මට හිතුනා.මොකෝ ඉතිං හඳට යනකං කියවන්ඩවත් යමක් තියෙන්ඩ එපායැ.
නගරසභාවෙ වැසිකිලිය අලුත්වැඩියා කරනවා වෙන්නැති රජතුමාගේ වැසිකිළි නැගුම වැඩසටහන යටතේ.පාරෙ යන හැම එකාම මේකට රිංගලාද කොහෙද හැම අහු මුල්ලකම මුත්‍ර ඉස්පිරිට් එක එනවා නහය කැරකැවෙන්න.මේකෙ ඇතුලෙ උපත් පාලන පාඨමාලාවකුත් තියලද කොහෙද.එක එක ජාතියේ පාට පාට පාවිච්චිකළ ඒ ආරක්ෂකාවරණ මහා ගොඩක් ඒක ඇතුලෙ.අපේ රාජ්‍ය අංශයේ ක්‍රියා පිළිවෙලට පින් සිද්ද වෙන්න මට කොස්සක් සහ අතුගාන ක්‍රමය සඳහන් වෙන් අත් පොතක් දීලා තිබුණා.මම ඒ රාජ්‍ය අංශයේ නිළාධාරීන් ඇතුළු පවුලේ සැම සිහිකරමින් මේ දුර ගමන යන්න හැකි වෙන විදිහට අතුපතු ගාලා ටිකක් පිළිවෙලක් කරගත්තා.
ඔන්න මේකේ ඉස්පීකර් කටුවෙන් ලොක්කගේ තේමා වාදනය ඇහෙන්න පටං ගත්තා.(මේකෙ උපකරණ ඔක්කොම අර මල් ඉස්කුරුප්පු නියනෙන් වත් ප්ලැට් එකෙන්වත් ගලවන්න බැරි අමුතු ඇණේකින් සෙට් කරලා තිබ්බ හින්දා එව්වානං අපේ සුචරිතවාදී දේශප්‍රේමීන්ගේ ග්‍රහණයට අහුවෙලා නෑ.)අම්මෝ ඇති යන්තං පොර පාලක මැදිරියට ඇවිත්.හඳට යන්න මුළිං පස්ස ගහපු මම දැං හැකි ඉක්මනිං යන්න හදන්නෙ මේ අටමඟලේ ඇතුලෙ දාඩිය දාන එකෙං ගැලවෙන්න හිතාගෙන.මොකෝ දැං බැහැල ගෙදර යන්ඩයැ.ලොක්කගේ මතේට පිටිං ගියොත් ඉතිං ජෙනරාල් එක්ක ඕමි ගගහ හිටියෑකි අවුරුදු ගාණක් ලෝකෙටම අපිව අමතක වෙනකං.ඊට පස්සෙ ඉතිං එළියට ආවත් වැඩක් තියෙනවයැ දේශද්‍රෝහියෙක් විදිහට.
ලොක්කාව මහත් හරසරින් පිළිගන්නවා මට ඇහෙනවා.ප්‍රීතිඝෝෂා නිමක් නෑ.විසිලුත් ගහනවා.ලොක්කව හේවිසි ගහලා තොරන් යටින් ප්‍රධාන පාලන පුවරුව ගාවට එක්කං යනවා මට හිතාගත්තෑකි.ඇයි ඉතිං පහුගිය කාලෙ රූපවාහිනියේ දැක්කෙම ඕවා විතරනෙ.
"හරි එහෙනං සර් මවුස් එකට අත තියන්ඩකො".ප්‍රධාන ඉංජිනේරු තැන කියන ස්වරෙන්ම මට තේරුණා දැන්නං මුගේ නළල උගෙම දණිස්සෙ වැදිලා ඇති කියලා.
"නෑ නෑ සර් මවුස් එක කියන්නෙ මේකට.ඔය සරම පාත දාලා මේක අල්ල ගන්ඩ." ඉංජිනේරු කොලුවා ආයෙත් බැගෑපත් උනා.
"දැං මෙතෙන්ට ගෙනිහිං මේ බොත්තම තද කරන්න සර්."අප්පා මේකා නළවන නැළවිල්ල.ඉංජිනේරු මහත්මයෙක්ද මහත්මියක්ද?මහත්මයෙක්නං ෂුවර් එකටම මද සරු භාවයෙන් පෙලෙන එකෙක් වෙන්න ඕනෙ.මහරජතුමාගේ යෝධ පෞරුෂය ඉස්සරහා මේකට ලිංගෙත් අමතක වෙලා ද කොහෙද.මම ළඟ හිටියනං ඕකට කියල දෙනවනෙ ඔය ටෙලිවිශන් එකෙ පෙන්නන ඔක්කොම ඇත්ත නෙමෙයි බං. ඇත්තනං ඔය සුපර් මෑන්ල, ස්පයිඩර් මෑන්ලත් ඉන්න ඕනෙනෙ මේ වටපිටාවෙම කියලා.
පිරිකරේ සයිස් එකට පක්ෂෙ මාරුවෙන, දානේ සයිස් එකට බණ කියන, ඒ සිල්වත් මෞඛද්වාරවලින් සජ්ඣායනාවෙන පිරිත් හඬ මැද්දෙ ලොක්කා බොත්තම තද කරන්ඩ ඇති.මොකද එක පාරටම හෝ ගාලා අප්පුඩි ගහන සද්දයක්නං ආවා.ඒත් රොකට එකනං එතනම තමා.
කඩිමුඩියේ දුවගෙන ආපු මිකැනික්ලා, ඉංජිනේරුවෝ, සිවිල් සේවකයෝ, නාට්ටාමිලා, සංස්ථා සභාපතිලා, හමුදා නිලදරුවෝ දාහකිං විතර රොකට් එක පිරුණා.ඇණ බුරුල් කළා, තව එව්වා තද කළා.වයර් හයි කරලා තිබ්බ එව්වා ගැලෙව්වා.ගැලවිලා තිබ්බ එව්වා ඇමිණුවා.අක්‍රිය තත්වේ තිබ්බ රොකට් එක රාජ භීතිය විසින් මිනිත්තු ගාණකදී ක්‍රියාකරන තත්වයට ගෙන එනු ලැබුවා.මේ ගැම්ම මුන්ට කළිං ආවනං මෙලහකට මම හඳට යන ගමංනෙ.කොහෙද දැං ඉතිං නැකතත් පැනලා.රජතුමාට මලත් පැනලා.
කොහොමිං කොහොම හරි ලොක්කගේ මල ඉවර උනාම නැවතත් ඒ ආශ්චර්යමත් මොහොත එළඹුනා.දේශීයත්වයට මුල් තැන දීලා "දහය නමය අට......." කියලා සිංහලෙන් ගැණලා බින්දුව කියද්දිම ලොක්කා මවුස් එකේ බට්න් එක ප්‍රෙස් කළා.මුළු රොකට් එකම දෙදරගෙන මේකෙ මෙව්වා එක ක්‍රියාත්මක උනා.ඔන්න ටික ටික මේ දහිරවාට්ටුව අසරණ මගේ පංචස්කන්දෙත් අරන් ගුවන්ගත උනා.තහඩු එකට ඇතිල්ලෙන සද්දෙට මගේ දත් විතරක් නෙමෙයි හිතත් හිරි වැටුණා.මේකෙ ආශ්චර්ය ඇත්තටම ඔය ටෙලිවිශන් එකේ කියපුවා නෙමෙයි යන අතරමගදි කෑලි කෑලිවලට වෙන් නොවී තියෙන එකයි කියලා මට තේරුණේ ඒ වෙලාවෙ තමයි.
"පාලක මැදිරියෙං රොකට්ටුවට ඇහෙනවද අපිව? ඔබට අනතුරක් නෑ නේද?"
"ඇහෙනවා ඇහෙනවා තවමනං මළේ නෑ.මේ ඒක නෙමෙයි මොකද මේ මේකෙ හැම කෑල්ලකම 'මේඩ් ඉන් චයිනා' කියලා ගහලා තියෙන්නෙ?කිව්වෙ මේක ලංකාවෙ සම්පත්වලින් මෙහෙ ඉංජිනේරු දැනුමෙන් හදනවා කියලනෙ"
"අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා බූරුවො.තමුසෙට කරන්න කියන දේ විතරක් කරනවා."අපේ මහරජතුමාගේ කට හඬින් උන්වහන්සේට රාජ මලක් පැන ඇතිබව දැනගතිමි.රාජ උදහසට බයේ පස්ස ගහන පුතයෙක් නෙමෙයි මම.ක්ෂිතිජයෙන් එහා ලෝකය බලන්ඩ කියලා දුන්නු සති තුනේ පාඨමාලාව කරගන්ඩ පින නැති උනත් උප්පත්තියෙන්ම ලැබුණු විචාර බුද්ධිය නිසා මම මේකෙ එක එක එව්වා ගැන ඔක්කොමො ටික අහනවා කියලා හිත හදාගත්තා.මේ යකා දැං ඉතිං මේ රොකට් එක ආයෙ බාන්ඩයැ.
"ලොක්කා මොකක්ද මේ බී.ටී.අයි. කියලා ගහලා තියෙන බෝතලේ?"
"ඕක දන්නැද්ද බූරුවො, ඔය අර මදුරුවො මරන්න ගෙනාපු බැක්ටීරියාවනෙ ගොනෝ"රජතුමාට මගේ නොදැනුවත්කම නිසා අනුකම්පාවක් පහල වෙලා.
"ඉතිං මේක හඳට යවන්නෙ?එහෙ එච්චරටම මදුරුවො ද?"
"නෑ එළ හරකෝ ඕක කෝටි ගාණක් දීලා ගෙනාවට ඕක ගහල මදුරුවො මරලා බෑ.ඩෙංගු ඉවර උනොත් අලුත් බේත් ගේන්නෙ මොන ලෙඩේට ද?උඹ කියන්නෙ අපිටත් පඩියෙන් විතරක් ජීවත් වෙන්න කියල ද?ඕක මෙහෙ තියෙද්දි බැරි වෙලාවත්, මම මේ වෙනවට නෙමෙයි කියන්නෙ, ඒත් බැරි වෙලාවත් අපේ ආණ්ඩුව පෙරළුනොත් අනිත් උන් ඔව්වා ඇද ඇද අපිට ලෙඩේ අදින්න පුළුවං.ඕක දැං හඳට ගිහින් දාපුවාම ශේප් එකේ අමතක වෙලා යන්නෙ නැතෑ."
"එතකොට මේ වරාය ගැන විස්තර තියෙන ෆයිල්.ඒවත් හඳේ තියලා එන්න ඔනෙ ද?"
"ඔව් උලමො ඔව්.සල්ලි කේස් ගැන ලිඛිත සාක්ෂි තියාගන්න හොඳ නෑ.තව හෙල්පිං හම්බන්තොට කේස් එකක් ඇදගන්න මට ඕනෙ නෑ."
"මගෙන් ඔබට ලැබෙන අන්තිම ප්‍රශ්නය.මෙතන ඇමරිකාවෙ පට්ට ලොකු කොඩියකුයි අපේ රටේ චූටි කොඩියකුයි තියෙන්නෙ ඇයි?"
"අපේ මේ ප්‍රොජෙක්ට් එකට ණය ගත්තේ ඇමරිකාවට වැඳලා කියලා තෝ දන්නැද්ද ගස් ගෙම්බෝ?.උන් දාපු එක කොන්දේසියක් තමා උන්ගේ දිරලා ගිය පරණ කොඩිය වෙනුවට අළුත් එකක් ගිහින් හිටවන්න කියන එක.උන්ට මේ කෙළවරක් නැති යුද්ද හින්දා හඳ පැත්තෙ ගිහින් එන්නවත් නිස්කාන්සුවක් නෑලු."
"ඉතිං ඇයි අපේ කොඩිය පොඩි? මේක නිකං නිදහස් දවසට කොළඹ ඉස්කෝලවල කෙල්ලො ගෙන්නලා උන්ට කියලා වනවන සයිස් එකේ පොඩි එකක්නෙ."
"ඉතිං මොකද පොල් බූරුවෝ.උඹ කියන්නෙ ඇමරිකාවට වඩා ලොකු කොඩියක් ගිහින් ගහන්න කියල ද?උන්ට හඳේ පැත්තක්ම අයිතියි.උන් එකෙං පර්චස් විස්සක් දෙන්නං කියලා කිව්වා.ඔප්පුවත් ඇති රොකට් එකේ.අපිට දුන්නු කෑල්ලෙ විතරක් බලලා කොඩිය හිටවපන් හරි ද මැටි හරකා.නැත්තං තියෙන යුධ අපරාධ චෝදනා අස්සෙ ජාත්‍යන්තර සීමා උල්ලංගනය කලා කියලත් මොකක් හරි මගුලක පැටලෙයි මාව."
රොකට්ටුව ගැටලුවකින් තොරව ගොඩ බා ගත හැකිවිය.
"මේ අපේ අතිගරු මහා රාජෝත්තමයාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ නියෝජනයක් චන්ද්‍ර භූමිය මතට ගෙන ආ එක් කුඩා පියවරක් පමණි.නමුත් උන්වහන්සේගේ දූරදර්ශී පාලනය යටතේ පිබිදෙන ආශ්චර්යයේ දිවයිනේ තවත් යෝධ පිමි රැසක ඇරඹුම පමණි මේ."
ලොක්කා ලියා දුන් දෙය ලෙසටම පාඩම් කරගෙන විත් ලෝකයටම ඇසෙනසේ මයික්‍රෆෝනයට මුව ළං කර ගඹුරු හඬකින් කීවෙමි.පාලක මැදිරියේ හුරේ දානවා ඇහෙනවා ය.ෂැම්පේන් ද බොනවා වාගේ ය.ලොක්කා ජාතිය අමතා සජීවීව කරන කතාව පටන් ගත්තේ ය.සතුටට ලොක්කාගේ උගුර ද හිරවෙලා ය.
"මගේ දයාබර වැසියනි.අද අපි හැමෝටම එක රටක් හැටියට සතුටුවෙන්න පුළුවන් අවස්ථාවක් උදා වෙලා තියෙනවා.ශ්‍රී ලාංකික පුරවැසියෙක් ඔබ අපි හැමෝම නියෝජනය කරමින් දැන් මේ මොහොතේ සඳ මත ඉන්නවා.මේ අවස්ථාවෙ තමුන්නාන්සෙලාට කියන්න කැමතියි අපේ තාක්ෂණික දියුණුව තවම සම්පූර්ණ නෑ.අපි අද සමත් උනා තමයි අපේ රටේ පුරවැසියෙක් හඳට යවන්න.ඒත් ඔහුව නැවත ගෙන්න ගන්න අවශ්‍ය තාක්ෂණය තවම අපි ළඟ නෑ.ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ලබා ගැනීමට කටයුතු කිරීමට මට මීළඟ වතාවෙත් ඡන්දය දෙන මෙන් ඔබ තමුන්නාන්සෙලාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.මට පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තුන්වෙනුවත් මව්බිම....ලොක්කා පෝඩියම් එක දෙදරන්න ගහමින් කියූ විට යටත්වැසියෝ ඔල්වරසන් දුන්හ.
මම සිහිය නැතිව ඇදගෙන වැටුනෙමි.