පලවෙනි කොටසට මෙතනින් ගිහින් කියවන්න පුළුවන්
උදේ පාන්දර දැකපු සුභ දර්ශනෙන් පිබිදුන ප්‍රබෝදමත් සිතින් මනොජුයි මමයි ඒජන්සියට ආවා. ගොඩ වෙනකොටම කෝල් එකක්.
"ගුඩ් මෝනින් සුදු මැණිකේ"
"ගුඩ් මෝනින් අදවත් එනවද මේ පැත්තට?"
"මම ආවත් නැතත් බඩු එවනවා මොනවද ඔයාට ඕනේ රත්තරං"
"අසුවෙන් තනි පහයි කොටු දෙකයි, තව හාරසිය කොටු පෙට්ටියයි"
"කැඩුන පෙට්ටියක්ද හොද එකක්ද"
"පල යන්න වලත්තයා" ඒකී ෆෝන් එක තිබ්බා.
"බලපං බං මුන්ගේ වල් හිත අර ලොරියේ තිබ්බ කැඩිච්ච හාරසියේ කොටු පොත් පෙට්ටිය එවන්නද ඇහුවම වලත්තයා කියල බනිනවා. උඹ ඒ පැත්තේ යනවනම් මේ බඩු ටිකත් අරන් පලයන්. මට අද එහෙ යන්න බෑ. දන්නවනේ උදේ පාන්දර ඕකිගේ කට අවුස්ස ගත්තොත් සිද්දවෙන දේ."
මං මනෝජ්ට එහෙම කිව්වේ ඕඩරේ බඩු ටික බිල් කරලා බිල උගේ අතට දෙන ගමන්
උගේ උත්තරේ ලැබෙන්න කලින්ම තවත් කෝල් එකක් බෝසාගෙන්
"තවම ඒජන්සියේද ඉන්නේ."
"ඔව් සර්"
"එහෙනම් අද ෆීල්ඩ් එකට යන්නේ නැතුව කම්පනියට එන්න".
වැඩි විස්තර අහන්න කලින් බොසා ෆෝන් එක තිබ්බා.
කොහේ යන්නත් කලින් ඩොකියුමන්ට් ටිකේ වැඩ ඉවර කරලා දාන්න ඕන හින්දා මම එතන තිබ්බ පුටුවට බර උනා
කොම්පැනියට ගොඩ වෙනකොටම ඉස්සරහට මුණ ගැහුනේ අපේ රත්නතිලක බොසාව.
“මොනවද බං උඹ මේ කර ගන්න වැඩ”
“ඇයි මොකද සර් වෙලා තින්නේ”
මම ඇහුවේ මොකුත්ම හිතා ගන්න බැරුව.
“අද එන්න කිව්වේ මොකටද කියලා දන්නවද?”
“නෑ”
“අද උඹට විරුද්දව විනය පරීක්ෂණයක් තියනවලු”
“මොකක් ඒ මං මොන වරදක් කරාටද සර් “
මේ මොන ගිනි ගෙඩියක්ද මගේ ඔලුවට කඩා පාත් වෙන්න යන්නේ. මේ දවස වල මගේ කේන්දරෙත් මොක්ද ග්‍රහයෙක් නීච වෙලා කියලා දවසක් අපේ අම්ම කියනවා මං අහගන.
"තාම අපි දන්නෙත් නෑ බං මේ සිං එක මොකක්ද කියලා. උඹ වරදක් කරලා නැත්තම් බය වෙන්න එපා. මොකද වෙන්නේ කියලා අපි බලමුකෝ."
එහෙම කියපු රත්නතිලක බොසත් හෙමිහිට මාරු වෙලා ගියා. ටික වෙලාවකින් මට කොන්ෆරන්ස් රූම් එකට එන්න කියලා පණිවිඩයක් ආවා. ඒක පිරෙන්නම සෙනග. කොම්පැනියේ මැනේජර් විජිතමුණි ලොක්කයි එකවුන්ටන් (අප) කිර්ති ලොක්කයි ඉස්සරහ මේසයක් උඩ තිබ්බ ලැපක් දිහා කන්න වගේ බලාගන හිටියා.
“වාඩිවෙන්න”
විජිතමුණි බොසා පුටුවක් පෙන්නලා කිව්වා. මං වාඩි උනා. (අප) කිර්ති ලොක්කා කට ඇරියා.
"මම හිතන්නේ තමුන් තවම දන්නේ නැතුව ඇති අද තමුන්ට මෙතෙන්ට එන්න කිව්වේ මොකටද කියලා. තමුන්ට විරුද්දව බරපතල චෝදනා ගණනාවක් තියෙනවා. ඒත් තමුන් වරදක් කරලා නැත්තම් බයවෙන්න එපා. දැන් අපි තමුන්ට විරුද්දව තියන චෝදනා එකින් එක ඉදිරිපත් කරනවා. ඒ සම්බන්දව නිදහසට කාරනා තියනවා නම් තමුන්ටත් ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්."
“මම නම් දැනුවත්ව කිසිම වරදක් කරලා නෑ සර්”
(අප) කිර්ති ලොක්කා මං දිහා බලලා කින්ඩියට හිනා උනා.
"මේ ඇවිල්ල ඉන්න හැම එක්කෙනාම අද ඇවිත් ඉන්නේ තමුන්ට විරුද්දව සාක්ෂි දෙන්න කියන එකත් මතක තියාගන උත්තර දෙනවා."
හැහ් මෙච්චර සෙනගක් මට විරුද්දව. මං මොන වරදක් කලාටද? මේක නම් අර නීච වෙලා තියෙනවා කියන ග්රහයගේ ගේම් එකක්ම තමයි. ලගදීම කේන්දරේ මාරයා අයියට හරි ජෝතිෂ්‍ය අයියට හරි මේල් කරන්න වෙනවා මේ කරුමෙන් බේරෙන්නේ කොහොමද කියලා අහගන්න.
“වැඩිය කාලේ නාස්ති කරන්න ඕන නෑ එහෙනම් මෙන්න පලවෙනි චෝදනාව.”
“අන්තර්ජාලයේ පවත්වාගන යන බ්ලොග් අඩවි තුලින් ආයතනයේ කිර්ති නාමයට සහ පුද්ගලයන්ට අපහාස වන පරිදි පොස්ට් පල කිරීම.”
මොකක්ද යකෝ මේ චෝදනාව. බ්ලොග් ලියන එකත් වැරද්දක්ද? මොන උප්පරවැට්ටියක් දාල හරි මේකෙන් බේරෙන්න මං හිතුවා.
“අන්තර්ජාලයේත් බ්ලොග් කියලා ජාතියක් තියෙනවද සර්. මම නම් මෙච්චර කාලෙකට දැනගන හිටියේ අර සිමෙන්ති වලින් හදන බ්ලොග් ගල් ගැන විතරයි. කව්ද සර් ඔය ආයතනයට අපහාස කරලා තියෙන්නේ ”
“ඒ ගමන තමුන් මෙතන බබා පාට් දාන්නත් පටන් ගත්තද? මතක තියා ගන්නවා. මෙතන තමුන් කියන හැම වචනයක්ම බොරු කියලා ඔප්පු කරන්න තමයි මේ හැම එක්කෙනාම මෙතනට ඇවිත් ඉන්නේ කියලා. දන්නවද බොරු කිව්වොත් ලැබෙන දඩුවම මොකක්ද කියලා”
“ඔව් සර් සේල්ස් රෙප් කෙනෙක් බොරු කිව්වම කමිෂන් එක වැඩි වෙනවා. හොදටම බොරු කියන්න පුළුවන් කෙනාට සුපවයිසර්, ඒරියා මැනේජර් වගේ ප්රමොෂනුත් හම්බවෙනවා,”
“තමුසේ මේක විහිළුවක් කියලා හිතුවද” (අප) කිර්ති ලොක්කා මට එරෙව්වා
“මට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් රෙප් මහත්තයා කියන නමින් බ්ලොග් පොස්ට් දාන්නේ මේ ඉන්න අරුණ හෙට්ටිආරච්චි කියන කෙනාමයි කියලා.”
අහිංසක පාට වලස් මුණක් තියන පොරක් නැගිටලා ඇවිත් ලැපා ඉස්සරහ වාඩිවෙලා එෆ් බි එකට ලොග් උනා. කෙලින්ම ගියේ මගේ ඔරිජිනල් ප්‍රොෆයිල් එකේ Website කියන තැන දාල තිබ්බ www.pinaage-kuppiya.blogspot.com ලින්ක් එකට. මිනිහා කතා කරන්න පටන් ගත්තා. මට කට උත්තර නැති උනා.
“මේ තියෙන්නේ තමුන්ගේ ඔරිජිනල් ප්‍රොෆයිල් ඒක කියලා පිලිගන්නවා නේද?”
“ඔව්”
“ඉතින් තමුන් බ්ලොග් කියලා ජාතියක් ගැන දන්නෙම නැත්තම් මොකක්ද මේ බ්ලොග් එකක ලින්ක් එකක් දාගන කරන්නේ. අනික මේ ප්‍රොෆයිල් පික්චර් එකේ තියෙන්නෙත් ලංකාවේ බ්ලොග් ලියන උන් පිස්සු කෙලින්න ගාලු ගිය වෙලාවේ අරගත්ත ෆොටෝ එකෙක්. මෙයා ඉස්සර ලිව්වේ අම්බලමක නමින් මෙන්න මේ පොස්ට් එකේ අන්තිමටම තියෙනවා අම්බලම රෙප් මහත්තයා වෙච්ච හැටි. මතක නැත්තම් ඇවිත් බලා ගන්න.”
මෙයා නම මගේ අතිතේ ගැනත් හොදටම විශ්ලේෂණය කරලා ආව පොරක් වගේ. දැන් නම් බොරු කියලා බේරෙන්න හම්බ වෙන්නේ නැති බව ෂුවර්
“දැන් තමුන්ට තවත් ඔප්පු කරලා පෙන්නෙන්න ඕනද රෙප් මහත්තයා කියන නමින් පොස්ට් ලියන්නේ තමුන් කියලා”.
විජිතමුණි බොසා ඇහුවා.
“මම පිලිගන්නවා සර්, මේ බ්ලොග් ලිව්වේ මම කියලා ඒත් ඒක එච්චර වැරද්දක් කියලා මම හිතුවේ නෑ.”
“රෙපා කියන්නේ කව්ද කියලා එළිදරව් කරලා අපේ ආයතනය වෙනුවෙන් කල සේවයට සාතන් කොලුවට
මෙන්න අපේ කොම්පැනියෙන් පොඩි තෑග්ගක්. අපිට උදව් කරන අයට අපි හොදට සලකනවා.” අපේ ප්‍රතිපත්තිය තමයි සතුරන් වලලන් මිතුරන් ගොඩ ගන් කියන එක”
(අප) කිර්ති ලොක්කා ලියුම් කවරෙක දාපු චෙක් කොලයක් සාතන් කොලුවාගේ අතේ තිබ්බා.
යකෝ එතකොට මට මේ ගේම දුන්නේ අර සාතන්ගේ අඩවිය ලියන එකාද? අම්මපා අහිංසක කොලුවා වගේ ඉදගන මු දීපු ගේම” මට දැන් මුව කන්න කේන්තියි, ඒත් මේ වෙලාවේ මොනවා කරන්නද මම. චෙක් කොලේ අතට ගත්තු සාතන් කොලුවා මා ලගට ආවා.
“මාකට් එක බැහැලා තියෙන මේ වෙලාවේ ෂෙයාර්ස් ටිකක් අරන් දාන්න හිතුනා බං. අතේ සල්ලිත් නැති වෙලාවනේ. ගණන් ගන්න එපා. සාතන් කොලුවා චෙක් කොලේ ඉඹ ඉඹ පිට වෙලා ගියා. දැන් ඉතින් නාහෙට උඩින් වතුර ගිහින් තියෙන එකේ තව මොනවා උනත් මට මොකද කියලා මම හිත හදා ගත්තා.
ඒ පොස්ට් එක සම්පුර්ණයෙන් කියවපු (අප) කිර්ති ලොක්කා දත්මිටි කාගන මගේ මුණ දිහා බලාගන ඉන්නවා.
“බලනවා විජිතමුණි මේ යකා ලියල තියෙන ඒවා “රට හරකෙකුට අන් තට්ටුවක් උවමනා කර තිබේ” කියලා. තමුසේ කා ගැනද මේ ලියලා තියෙන්නේ. මේක සම්පුර්ණ අපහාසයක්"
ලොක්කට හොදටම තද වෙලා.
“අනේ සර් මම කාටවත් අපහාස කරන්න හිතලා මේක ලිව්වේ නෑ. නිකන් ආතල් එකට ලියපු එකක්.”
“අනේ බොරු කියන්නේ නැතුව ඉන්නවා අයිසේ. තමුසේ හොදටම දන්නවා මේ කොම්පැනියේ ඔහොම එකෙකුට ඉන්නේ මම විතරයි කියලා “
(අප) කිර්ති බොසාට එහෙම කිව්වා නෙවෙයි කිය උනා.
"කට කට අහක යන තොප්පි දාගන්නේ නැතුව කට පියාගන ඉන්නවා. ඔය තියන විදියට ලේඛම් කෙනෙක් හෙව්වේ මමනේ."
විජිතමුණි බොසා හිමිහිට කියනවා ඇහුනා.
“චෝදනා අංක දෙක, පවත්වාගන යන බ්ලොග් අඩවිය තුල වෙනත් ආයතන වල නිෂ්පාදන පිළිබද දැන්වීම් පල කිරීම. මෙන්න තියෙනවා පොස්ට් ඒක."
"මේ ගැන තමුන් මොකද කියන්නේ”
“මේ ඔක්කොම මම නිකම් කම්මැලිකමට ලියපු ඒවා විතරයි සර් “
“අනික තමුන් මේ කොටස් කියලත් ජාතියක් ගන්න විකුණන හැටි ගැන ලියලා තියෙනවා. මේ තියෙන්නේ කොටස් වෙළද පොලේ ගනුදෙනු කරන එක ගැන .
එකක් මතක තියා ගන්නවා කම්මලිකමටවත් කොටස් වෙලදපොලේ වීතරක් නෙවෙයි අපේ කොම්පැනියේ ඒවා ඇර වෙන නිෂ්පාදන පිලිබදව කතා කිරීම ප්‍රචාරය කිරීම අලවි කිරීම තමුන්ට තහනම්. බොරු නම් බලනවා පත්වීමේ ලිපියේ තුන් වන ඡේදය.”
“මේ කොම්පැනියේ විතරක් නෙවෙයි මෙයා දාල තියෙන පොස්ට් හින්දා තව පොඩ්ඩෙන් මේ රටේ සමස්ත බැංකු පද්දතියම විනාශ වෙනවා. වෙලාවට රටේ ජනතාව මේ මිනිහා ලියන පොස්ට් කියවන්නේ නැත්තේ. ඒවා කියවලා ඒ තියන විදියට කළා නම් අපේ ජොබ් වලට මොකද වෙන්නේ.”
මෙච්චර වෙලා කට පියාගන හිටපු කුරුණෑගල පැත්තේ බැංකුවක වැඩ කරන කොල්ලෙක් පොස්ට් එකක් පෙන්නලා කෑගහන්න පටන් ගත්තා. ඒ මදිවට එකේ මෙයා මේ පොස්ට් එක කියවලා මං වගේ බැංකුවේ මහත්තුරු තරහ වෙයිද දන්නෙත් නෑ කියලා ලියලා තියලා. හදිසියේ හරි මේක කියවලා බැංකුව වැහුණ නම් අසරණ අපේ දරු පවුල් බලා කියා ගන්නේ කවුද?”
බැංකුවේ කොලුවා අඩන ඇඩිල්ලට මට පව් කියලා හිතුනා. මොනවා උනත් අහිංසක කොලුවා.
"අම්මපා මේ යකා මේ හැසිරෙන විදිය අපේ කොම්පැනියට විතරක් නෙවෙයි රටේ මුල්‍ය පද්දතියටත් බොහොම හානිකරයි. වහාම මෙයාට දඩුවම් දෙන්න ඕනේ.“
(අප) කිර්ති ලොක්ක බොහොම ගරු ගාම්භීර විදියට කිව්වා.
"මේ චෝදනා ඔක්කොටම තමුන් වැරදිකරු බවට අපි තීරණය කරලා ඉවරයි. එකට මේ මාසේ සම්පුර්ණ පඩියම පැනල්ටි. ඊට අමතරව මේ කම්පනියේ වැඩ කරන තාක් කල් තමුන්ට බ්ලොග් ලිවිම කියවීම තහනම්. තේරුනාද?"
"ඒක නම් මට කොහොමටවත් කරන්න බෑ සර් මේ කෙහෙල්මල් රස්සාවට වඩා බ්ලොග් ලියනවා කියවනවා. කියන එක මට වටිනවා. බ්ලොග් ලිවිල්ල නවත්තුවත් බ්ලොග් කියවිල්ල නම් නතර කරන්න මට බෑ. මගේ නමින් කමෙන්ට් කරන්න බැරි නම් ඇනෝවෙක් විදියට ගිහින් මම අර ශානි කෙල්ලගේ බ්ලොග් එකේ හරි පිස්සු කෙලිනවා. මෙන්න මගේ ඉල්ලා අස් වීමේ ලිපිය."
මේ යන විදියට රස්සාවේ ආයුෂ තව ටික කාලයක් බව දැනුන නිසාම මම ලොකු ටොක් එකක් දුන්නා.
"තමුන්ට ඕන ඕන විදියට එහෙම රස්සාවලින් අයින් වෙන්න බෑ. අස්වීමේ ලියුම බාර දීලා මාසයක් වැඩ කරන්න ඕනේ. ඒ හින්දා තව මාසයක් වැඩ කරලා ඕන නම් ගෙදර යනවා."
මට කට උත්තර නැති උනා.
මාසයක් යනකං වත් මේ යකාගේ බ්ලොග් ලිවිල්ල නවත්තන්න පුළුවන් වෙච්ච එක නම් ලොකු දෙයක්. ඔය බ්ලොග් එකකට මාසයක් කිසිම පොස්ට් එකක් දැම්මේ නැත්තම් ඒ බ්ලොග් ඔක්කොම සින්ඩි වලින් අයින් කරනවා. එතකොට මේ බ්ලොග් එක කියවන්න බලු බල්ලෙක් වත් එන එකක් නෑ. ලොක්ක අපිට නියමෙට සලකයි නේද බං. දාපන්කෝ පහක්" (අප)කිර්ති බොසා පහක් දාන්න හදනකොට විජිතමුණි බොසා දහයක්ම දැම්ම.
"ඔය රෙපාම තමයි පහු ගිය දවස වල මහ කරදර කාර ඇනෝවෙක් විදියට ඇවිත් මගේ බ්ලොග් එකේ පිස්සු කෙලියේ. හොද වැඩේ ඔය රෙපාට අහුවෙයන්කෝ හලාවත පැත්තේ එහෙම ඇවිත්. හොද වැඩක් කරනවා." අවුරුදු විසි ගානක් වෙලත් තවමත් බබා වෙන්න හදන කෙල්ලෙක් ජපන් බෝනික්කියෙකුත් තුරුළු කරන ඇවිත් මහා හයියෙන් කෑ ගහන්න ගත්තා." තාමත් එයා පුංචි බබෙක් වගේ හින්ද එයාගේ කෑගැහිල්ල කවුරුවත්ම ගණන් ගත්තේ නැ. තනියම කෑ ගහලම එපා වෙලා ටික වෙලාවකින් අතේ තිබ්බ ජපන් බෝනික්කිවත් කිහිල්ලේ ගහගන ඒ කෙල්ල පාරේ ගිය පුත්තලම් බස් එකක එල්ලුණා.
(අප) කිර්ති ලොක්කයි විජිතමුණි ලොක්කයි යන්න ලැස්ති උනා.
“හොද වැඩේ ඔය රෙපාට. මෙන්න මමත් ලියලා තියෙනවා ඉස්සර කාලේ රෙපෙකුට වෙච්ච දෙයක්”
අවුරුදු හැත්තෑවක් අසුවක් විතර උනාට ඔබා තාමත් බබා වගේ ශෝටක් ගහ ගත්ත අන්කල් කෙනෙක් හැරමිටියක වාරුවෙන් පොස්ට් එකක් දික් කරගන ආවා. ඒ පොස්ට් එක කියවලා විජිතමුණි ලොක්කටයි (අප)කිර්ති ලොක්කටයි දෙන්නට හොදටම හිනා.
“මම නම් අහල තියෙන්නේ ඒ කාලේ මේක සිද්ද වෙලා තියෙන්නේ රෙපෙකුට නෙවෙයි. ඔය අලව්ව කුරුණෑගල පැත්තේ සි ටි බි ඩිපෝවක බස් වලට හුලන් ගහ ගහ හිටපු පොරකට කියලා. ඔය සිං එක ඩිපෝ එකේ ඉන්න කට්ටිය දැන ගත්ත හින්දා නොන්ඩියටම මිනිහා ගම රටත් ඇත ඇරලා දාල ගියා කියලා තමයි ඒ කාලේ අපට නම් ආරංචි උනේ. ඔන්න දැන් මිනිහා ඔය ඔස්ට්‍රේලියාවේද කොහෙද ඉදගන එහේ කොච්චි වලට හුලන් ගහනවලු”
එහෙම කියපු බොසාල දෙන්න කොන්ෆරන්ස් රූම් ඒකෙන් පිටවෙලා ගියා. මමත් කොම්පැනියෙන් පිට වෙලා පාරට බැස්සා. තාමත් හිතා ගන්න බෑ මොකක්ද මේ උනේ කියලා. සුදුපාට වෑන් එකක් එක පාරටම ඇවිත් මා ඉස්සරහ බ්රේක් කළා. අහිංසක පෙනුම තියෙන දඩාර් සයිස් අයියලා සෙට් එකක් බොහොම සාන්ත දාන්ත විදියට වාහනෙන් එලියට බැස්සා.
“අඩෝ රෙපා උඹව තනියෙන් අහු වෙනකම් තමයි අපිත් බලාගන හිටියේ. දැන් උඹේ රස්සාවටත් බඩු හරිනේ. කැළණි ගගෙන් මෙහා පැත්තේ කොම්පැනියක ඉදගන අපේ ලොක්කට අනම් මනං ටෝක් දාලා බේරිලා යන්නද හැදුවේ."
අයියලා සෙට් එකම වට කරගන මට නෙලන්න පටන් ගත්තා
“බුදු අම්මෝ”........
"මොකද බං මේ කෑ ගහන්නේ හීනෙන් බය උනාද? අද උඹට ෆීල්ඩ් එකට යන්න අදහසක් නැද්ද? රෑ තිස්සේ නිදි මරලා මල් කඩ කඩ ඉදලා දැන් මෙතන ඇවිත් දොයි. බඩු ටික ලෝඩ් කරලා ඉවරයි දැන්වත් ඉතින් පලයන් පව් නොදී ."
ඒජන්සියේ ධම්මික අයියා එහෙම කියාගන ඒ පැත්තට ආවා.....
(බ්ලොග් අවකාශයෙන් අතුරුදන් වී සිටි පහු ගිය මාසයේදීත් දුක සැප විමසමින් මා හා රැදී සිටි නාකියා යැන්කියා ශානියා ඇතුළු පිරිසටත් මුහුණු පොතේ හෝ පණිවිඩ තබමින් මා හා රැදී සිටි බ්ලොග් අවකාශයේ සියලුම මිතුරු මිතුරියන්ටත් රෙපාගේ හර්දයාංගම ස්තුතිය)