"ආහ් මේ, මචං කැම්පස් ලබන සතියේ පටන් ගන්නවලු", "මයෙ පුතේ උඹලෑ වාසිටි කවද්ද බං පටන් ගන්නේ?", "හෙට කැබිනට් රැස්වීමක් තියනවලු, ඒකෙන් විසඳුමක් ලැබෙයි", "අම්මේ හෙට කැම්පස් එකේ පොඩි වැඩ වගයක් තියනවා", "අනේ මයෙ පුතේ ඔය පෙළපාලි වලට හෙම යනව නෙවෙයි", "කැම්පස් වහලලු නේද?", "තව මාස හයකට ඕවා ඇරෙන්නෙ නෑ", "හූ හූ මහලොකුවට ගියා කැම්පස්"......
"කොල්ලො ඔය මොකෑ කරන්නෙ බත් එක කන්නෙ නැතුව ?", අම්මගෙ කටහඬ ඇහිලා තමා අයේ පියවි සිහියට ආවේ. "හා හා අම්මේ", ටිකක් උගුර බැරැණ්ඩි කරලා බර කට හඬකින් මම කිව්වා "මට කැම්පස් මතක් උනා". අම්මා ඇහුන නෑහුන ගානට යන්න ගියා. මම හිටියේ ගෙයි පිලේ අම්මා රෑට බෙදලා දීපු බත් එක කන ගමන්. එළියෙ කිසිම සද්දයක් නෑ රැහැයියන්ගෙ සද්දෙ ඇරුනහම. හෙට ඇසළ පෝය. ඒ හින්දා හොඳට හඳත් පායලා. බත් කද්දි මට මතක් උනේම ගොඩේ බත් එක. ඒක කොච්චර රස නැති උනත්, වෑඤ්ජන නැති උනත් මම ඒක කෑවෙ හරිම උජාරුවෙන්, හරිම ආඩම්බරෙන්. ඒත් ඉතිං මේ ටිකේ ගොඩේ බත් කන්න විදිහක් නෑනේ. කැම්පස් වහලානේ. මට මතක් උනා මේ ටිකේ කණ වැකුණු ඒවා ටිකක්. අනේ ඉතිං මට හිනා වෙන්න එපා. මම ඇත්තමයි කීවේ. මට මේ දවස් ටිකේ එහෙන් මෙහෙන් ඇහිච්ච ඒවා ටිකක් තමා ඔය. ඉන්නකො මම මුල ඉඳන්ම කියන්න.
මගෙ නම සමන්ත. මම කොළඹට බොහොම දුර බැහැර පළාතක. අපේ ගමට කිව්වෙ නාරංකැටිය කියලා. මම තුන්දෙනෙක් ඉන්න පවුලක වැඩිමහලා. පොඩි කාලේ ඉගෙන ගත්තෙ ගමේ ඉස්කෝලේ. ශිෂ්‍යත්වෙ සමත් වෙලා තමයි. අපේ ගමට හැතැප්ම පහකින් හයකින් එහා තිබ්බ නගරේ ඉස්කෝලෙට ඇතුල් උනේ. බොහොම අමාරුවෙන් තමයි නගරෙ ඉස්කෝලෙට ගියේ. මට මතකයි අළුත් සපත්තු දෙකක්වත් ගන්න සල්ලි තිබ්බෙ නෑ. තාත්තා කුලී වැඩ කරේ. අපි හිටියෙ කටු මැටි ගහපු ගේක. මේක කියවද්දි ඕගොල්ලො හිතයි ඒවා තියෙන්නෙ මාටින් වික්‍රමසිංහ මහත්තයගෙ නවකතා වල, රේඩියෝ එකේ ටී.වී. එකේ යන කතා වල කියලා. නෑ ඇත්තමයි අපි ඉන්නෙ ඒ වගේ ගේක. තාත්තාට ගේ හදන්න කොච්චර ඕනෙ උනත් ඒ ගැන තවත් හිතලා, සල්ලි ටික ටික පොතේ දැම්මා මට ඉගෙන ගන්න කියලා. අම්මට, තාත්තා විඳින දුක බලං ඉන්න බැරුව මොනවහරි කරන්නං කිව්වට තාත්තා කැමති උනේ නෑ අම්මා දුක් විඳිනවා බලං ඉන්න. ඒ උනත් අම්මත් පොල් අතු වියලා, එළවළු පාත්තියක් වවලා සල්ලි ටිකක් හෙවුවා. කොහොම හරි යන්තමින් ජීවිතේ ගැටගහගත්තා. අමාරුකම් තිබ්බට අපි බොහොම සතුටින් හිටියා. ඔන්න ඔහොම ඉද්දි දවසක් ආරංචි උනා තාත්තට අනතුරක් වෙලා ටිකක් අමාරුයි කියලා. අපි දුවලා ගියා තාත්තා වැඩ කරපු තැනට. තාත්තලා කප කප හිටපු ළිඳේ පස් කඩාගෙන ඇතුලට වැටිලා යටවෙ ලා ඉද්දි තමයි එලියට අරං තියෙන්නෙ. එක්කෙනෙක් එතනම මැරිලා. තාත්තා හුස්ම ගන්නවා අමාරුවෙන් අපි එද්දිත්. අම්මා අඬාගෙන දිව්වා තාත්තා ලඟට. මම දිව්වා පහළ ගෙදර මාමලෑ දිහාට. ගිහින් විස්තරේ කියලා ත්‍රී වීලර් එක ඉල්ලුවා තාත්තා නගරෙ රෝහලටවත් ගෙනියන්න. ඒත් මාමා අපිත් එක්ක තරහින් හිටියේ පොඩි ඉඩම් හබේකට. මාමා බෑ කිව්වා. මම වැඳ වැඳ කිව්වත් මාමා කැමති උනේ නෑ. මොනවා කරන්නද ආපහු දුවලා ගියා තාත්තා ලඟට. අම්මා අඬන්නෙ නෑ. මම බය උනා. දුවගෙන යද්දි තාත්තා හුස්ම ගන්නෙ නෑ. මට එදා තමයි ජීවිතේ වැඩියෙන්ම දුක හිතිච්ච දවස. මම ඇඬුවා මගෙ දුක නැති වෙනකන්ම. කඳුළු ඉවර උනත් දුක නම් නැති උනේ නෑ. අම්මා මටත්, මල්ලිටත්, නංගිටත් තාත්තා නැති අඩුව දැනෙන්න දුන්නෙ නෑ, "උඹලා හොඳට ඉගෙන ගනින් මම කොහොමහරි උඹලට උගන්නනවා, තාත්තා හැමදාම උඹලා දිහා බලන් ඉඳියි.".
අම්මා ඒ කතාව කියන වාරයක් වාරයක් පාසා මගෙ හිතේ ඇඳුනේ මම සාමාන්‍ය පෙළ පාස් වෙලා, ඊට පස්සෙ උසස් පෙළ පාස් වෙලා කැම්පස් යන පින්තූරයක්. ඉතිං කොහොමහරි වෙර වීරිය දරලා කටුබැද්දෙ ඉංජිනියරිං කරන්න සිලෙක්ට් උනා ඔන්න. ඒකට දරපු වීරිය, විඳපු දුක් ගැහැට ගැන මගෙ හිතේ වැඩිය නෑ දැන්. අමතක වෙලා නෙමේ, මගෙ හිතේ තියන එකම ආසාව කොහොමහරි හොඳ ඉංජිනේරුවෙක් වෙලා අපේ පවුල ගොඩ ගන්නයි, ගේ පොඩ්ඩ ටිකක් හදා ගන්නයි, මල්ලිටයි නංගිටයි හොඳට උගන්නන්නයි. අම්මා විඳපු දුක් හොඳටම ඇති. කැම්පස් යන පළවෙනි දවසෙ අම්මගෙ හිතේ තිබ්බ සතුට මම දැක්කෙ උන්දැගෙ ඇස් දෙකෙන්. ඇස් වල කඳුළු පිරිලා ඒත් ඒ කඳුළු කැට වැටෙන්නෙ නෑ, මට දුක හිතෙයි කියලා. මූන පිහදාලා අම්මා කිව්වා "මයෙ පුතේ උඹේ තාත්තා අද හිටියනම් ගොඩාක් සතුටු වෙයි". එතකොට මගේ ඇහෙනුත් කඳුළක් රූටලා ගියා. මම ඉක්මනට මූන හදාගෙන ගියා, පළවෙනි දවසෙම අඬ අඬ ඉන්න බෑනේ. හැම තැනම තියෙන්නෙ නුපුරුදු මූනවල්. අපේ ගමේ කවුරුත් ඒ වෙනකොට කැම්පස් ගිහින් තිබුනෙ නෑ. ඒක හින්දා ගමේ ගොඩාක් දෙනෙක් මාත් එක්ක ඉරිසියාවෙන් හිටියේ. මට පළවෙනි දවසේ කැම්පස් එකේ වෙච්ච සිද්ධි එච්චර මතක නෑ. මම හොඳටම බයවෙලයි හිටියෙ. අයියලාත් එක එක ඒව කියල හිනා උනා, මම හිතන්නෙ මට වෙන්නැති.
මම හිටියෙ හොස්ටල් එකේ. මට එහෙදි යාළුවො ගොඩක් හම්බ උනා. හොස්ටල් එකේ දේවල් ගැනත් වැඩිය කතා කරන්න ඕන නෑ. මට කැම්පස් එකේදි හිනා වෙච්ච අයියලාම පස්සෙ උදව් කරා. පොත් පත් හොයලා දුන්නා, කුප්පි දාලා දුන්නා. මමත් හොඳට විභාගෙ කරලා ට්‍රිකල් කරන්න තේරුනා. අම්මලාටත් සතුටුයි මම ඒක ගිහින් කියපුහම. මට නිතරම ගෙදර යන්න හම්බුනේ නෑ. ආවට පස්සෙ ගෙදර ගියෙ පළවෙනි විභාගෙ කරාට පස්සෙ.
"කොල්ලො මොකෑ ඔය කරන්නෙ? ගිහින් අත හෝද ගනින්, ඔය අතත් වේලිලා", අම්මා කෑගහද්දි තමා මතක් උනේ මම ඉන්නෙ කැම්පස් එකේ නෙමේ ගෙදර කියලා. ගිහින් අත හෝද ගෙන ඇවිත්ම මම ඉතුරු ටික කියන්නම්කො.
මල්ලි දැන් දහය වසරෙ, නංගි අටේ. උන් දෙන්නට උගන්නන්නත් ඕනේ. මම වගේම උන් දෙන්නත් කැම්පස් යවන්න තමා මගෙ හිතේ තියෙන්නෙ. ඒත් ඉතිං කැම්පස් වහලානෙ. මොනවා කරන්නද? කාට කියන්නද? කාලා එහෙම ඉවර වෙලා රෑට මම හැමදාම වැව් ඉස්මත්තට යනවා. මොකද එතෙන්ට විතරයි සිග්නල් තියෙන්නෙ. ඔව්.. මට කැම්පස් ගියාට පස්සෙ හොඳම යාළුවා රජිත මට පොඩි ෆෝන් කට්ටක් අරං දුන්නා. ඒකත් නැත්තං කිසිම ආරංචියක් එන්නෙ නෑ. ඉතිං ගිහින් මගෙ හොඳම යාළුවා රජිත ට මම කතා කරලා විස්තර අහනවා. එයා මගෙ කතාව හොඳට දන්නවා. "මචං අයියලා මොකද්ද හෙට වැඩක් කරනවලු අපේ බැච් එකේ ඔක්කොටම එන්නලු, ඒත් උඹ එන්න ඕන නෑ මචං... මම දන්නවනෙ උඹට යන්න එන්න තියන අමාරුව". "නෑ නෑ මචං මම එන්නං", එතකොට තමා මතක් වෙන්නෙ මේ ටිකේ අම්මට පොල් අතු වියන්න, පොල් කූරු ගාන්න උදව් කරන්න ඕනෙ නේද කියලා. "එහෙනම් මචං උඹලා හොඳට වැඩ ටික කරපං මම ළඟදිම එනවා". "එළ එළ, පටන් ගන්න ආරංචියක් ආවොත් මම අනිවා කියන්නම්" රජිත හැමදාම මගෙ හිත හදලා තමා කතාව ඉවර කරන්නෙ. "තෑන්ක්ස් මචං", කවද වෙනකන්ද මේක. අම්මටත් දැන් වැඩ කරන්න අමාරුයි. මම රස්සාවක් හොයා ගත්තෙ නැත්තම් අපි ඉවරයි. මහපොළ හම්බෙන නිසා යන්තම් මගෙ වැඩයි, මල්ලිගෙ නංගිගෙ වැඩයි කෙරෙනවා. ඒත් ඉතිං කටුබැද්දෙ හිටියොත් වියදම දන්නවනෙ. වාසනාවට දෝ, අවාසනාවට දෝ මේ ටිකේ කැම්පස් වහලා.
මගෙ කතාව ඔක්කොම කියන්න ගියොත් මගේ කෙළත් හිඳිලා යයි. ඔයගොල්ලන්ටත් එපා වෙයි. දැන්නම් මට ටික ටික බයත් හිතෙනවා. රස්සාවක් හොයාගන්න බැරි උනොත් අපිට මොනවා වෙයිද. අපේ ගමේ අය කියපු කතා ඇත්තද? කැම්පස් යන්නැතුව නගරෙ මොකක් හරි රස්සාවක් හොයාගෙන කීයක් හරි හම්බ කරලා ගමට වෙලා හිටියනම් අම්මලත් සන්තෝසෙන් ඉඳියි. මේ දුක කාටද මම කියන්නෙ? කියන්න කෙනෙක් නෑ මේ ලෝකෙ. මේ කතාව අපේ ඇමති තුමාටත් ඇහෙනවනම්, ලොකු ලොක්කන්ටත් අහෙනවනම්.
ඉවසා සිටින්නම් මේ සා දුක් ගැහැට,
මොනවා කරන්නද පූරුවෙ කළ පවට……
මේ මගේ කතාවයි.... ඔයාගෙ කතාවත් කියන්න මම අහං ඉන්නම්.