හැන්දෑවට ගෙයිං එළියට බහිද්දී අත්තම්මා කියන්නේ ඇඳිරි වැටෙන්ට කලියෙං එන්ට ඕනෙ කියලයි.. ඒත් බෝල ගහන්ට ගත්තහම රවිඳුට හෝ සගයන්ට ඇට කළුවර එනකං ම කළුවර වැටුණු බව දැනෙන්නේ නැත.. පන්දු ඕවර අටෙන් පටං ගන්නා සෙල්ලම ඇඳිරි වැටෙත්ම ටික ටික අඩුවී තනි ඕවරයට බසී.. රවිඳු ගෙදරට එන විට අත්තම්මා ඉන්නේ පෙරමඟ බලා ගෙනය. තාත්තා ගෙතුළ නැතිනම් පමණක් "මොකද කොල්ලෝ මෙච්චර රෑ වුණේ..? " කියා විස්සෝපයෙන් අසයි.. ඒ අත්තම්මා අද නැත.. ඇට කළුවර වැටෙනකම් බෝල ගහන්නට සිටි කොලු රෑන ද අද නැත..
තුෂාරි ත් සමඟ හාද වූ පසු හැන්දෑව රවිඳු ගේ දවසේ ප්‍රියතම කාලය විය. අමතර පංතියෙන් පසු ඈ හමුවී විනාඩි කීපයක් කතා කරන්නට ලැබෙන්නේ ඒ සොඳුරු හැන්දෑවේය. කලාතුරකින් පංතියක් නොපැවැත්වුණු දිනක වැඩි වේලාවක් ඇය හා සතුටු වන්නට ලැබෙයි. ඒ ගැන රවිඳුට නෝක්කාඩුවක් තිබුණේ නැත.. දැං අමතර පංති නැත.. තුෂාරී රවිඳුට අයිති නැත..
වාසිටියේ දී හැන්දෑව කොයි තරම් සොඳුරු දැයි තේරුම් ගැනීමට අටුවා, ටීකා, ටිප්පණි අවැසි නැත. සේපාලිකා රවිඳු ට කැමැත්ත දුන්නේ ද එවන් හැන්දෑවක ය.. ඈ රවිඳුගේ අත අල්ලගෙන කප්පරක් සිහින ගොනු කරමින් ආදරය කළ හැන්දෑවන් ගණන රවිඳුට මතක නැත. දැන් රවිඳු වත් සේපාලිකා වත් වාසිටියේ ද නැත.. සේපාලිකා තුළ සිටි අහිංසකාවියත් අද නැත...
කලාතුරකින් නිවාඩු දොහක හැන්දෑවට එකතු වෙන යාළුවොත් එක්ක මධුවිත තොල ගාමින් ගීයක් මිමිනූ අයුරු සොඳුරු මතක මවයි.. එවන් වූ දිනක හිතේ යම් දුකක්, ගැහැටක්, සංකාවක් ඇත් නම් එය පහව ගිය බව රවිඳුට සිහි වේ. අද රවිඳු මධුවිත තොල ගාන්නෙත් නැත. එසේ නොවුණත් එකතු වෙන්නට යාළුවොත් නැත..
රවිඳු හා හා පුරා කියා රස්සාවට ගිහිං ගෙදර ආපු හැන්දෑව හැබෑවටම සුන්දරය. උදේ ගෙදරින් ගියාටත් වඩා ප්‍රබෝධයෙන් එදා නිවසට ආ හැටි ඔහුට මතකය. එදා බස් රථයේ තෙරපීමෙන් හෝ ඔහුට තෙහෙට්ටුවක් දැනුණේ නැත. ඒ සැහැල්ලුව, ප්‍රබෝධය අද නැත. වෙහෙස, තෙහෙට්ටුව පමණක් ඇත..
කිසිවක් ස්ථිර නැත. හැන්දෑව අපට දැනෙන විදිහත් ස්ථිර නැත.. !
පිංතූරෙ ගත්තේ මෙතැනින්..