දිග නපුරු තියුණු කටු
සූර සූරා ඇනෙන
ඇවිද යමි ඔහු සමග
ආදරේ දිගු ගමන
දෙසවනද නොබිහිරිය
දෙනෙත් නොමවිනි අන්ධ
එහෙත් මට මගේම හිත
හඬනු නැසුනෙ මන්ද
ඔහුද මා අත රැගෙන
උණුසුමින් සිනාසේ
මා ගැහෙන බව අහෝ..!!
බිඳක් නුදුටුවා සේ
තවත් හිත වාරු නැත
පැකිලි පැකිලී දුවමි
ඔහු නිතර ඉඟි මරයි
මා පුදුමයෙන් දැවෙමි
ඒත් නැත නැවතුමක්
මා පිළිමයෙකි ශෛල
සිතු ලෙසිනි නොනැවතී
ඔහු දොඩන හැටි බයිල
හඬන්නට තබා දිව
යන කලට ගිලෙන්නට
නෙතද දැන් නැත එකඳු
කඳුලකුත් සොයන්නට
බාඳුරා මල් පිපේ
අප යනෙන මග අවට
ඔහු නෙතින් නිති නැගේ
සොඳුරු බැල්මන් රුවට
හිත එකම සැනසුමෙකි
එළි බිංදුවක් ලෙසින
ඔහු අල්ලගෙන සුරත
පෙර ලෙසම ඇත තදින
එයම මර උගුලක්ද
විටෙක හදවත හිතන
ප්‍රේම වද බන්ධනෙන්
මිදෙන්නට ඉඩ නොදෙන
කමක් නැහැ මගෙ සොඳුර
එහෙත් මා මළ දිනෙක
මග අතැර නොගොස් කටු
පඳුරකින් වත්......වසනු මැන.....