ආගන්තුකයාගේ බ්ලොග් ආගමනය සහ තවත් කතාවක්!!

Tuesday, July 26, 2011

කාලයකට ඉහතදී විජය පරිගණක සඟරාවක තිබුන ලිපියකින් බ්ලොග් කියන  වචනය මුලින්ම අහපු මට ඒ ගැන එච්චර වගක් තිබුනේ නෑ.ඒ කාලේ අර ඉස්කෝලේ යන හැම ළමයෙක්ම වගේ දුවපු රේස්‌ එකේ මාත් දුවපු නිසා වෙන්නැති සමහරවිට...පස්සේ දවසක ඒ ලිපිය ආයෙමත් අහම්බෙන් වගේ හම්බවෙලා කියෙව්වම ඒකෙ තිබුනේ බ්ලොග් කියන්නේ ඕනෑම කෙනෙක්ට නිදහසේ පවත්වාගෙන යන්න පුළුවන් තමන්ගේ පොද්ගලික දිනපොත වගේ වෙබ් අඩවියක් කියල අදහසක්....
කොහොම හරි ඉතින්  ඕක සම්පුර්ණයෙන්ම අමතක වෙලා ඉන්න අතරේ තමයි ඉස්කෝලේ යන කාලෙත් එකට ඉඳපු යාලුවෙක් පටන් ගත්තේ බ්ලොග් එකක් ලියන්න.මේ තියෙන්නේ ඒ බ්ලොග් එකට යන පාර.ඒක කියවන්න ගියාම තමයි වැඩේ පොඩි ෆන් එකක් තියෙනවානේ කියල හිතුනේ.මොකද තමන්ගේ අදහස් උදහස් වගේම නිර්මාණ සියල්ලක්ම වගේ පාඨකයා අතරට ගෙනියන්න පුළුවන් ලේසිම විදියක්නේ.

කොහොමහරි ටික දවසකින් කැම්පස් එකත් නිවාඩු දුන්න ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා..(ඒකෙ හැමෝටම පෙනන පැත්ත සහ නොපෙනෙන පැත්ත ගැනත් පසුව දෙයක් ලියන්නම්.)
එහෙම අහම්බෙන් ඔලුවට කඩන්වැටුන පරණ පින නිසා ආයෙමත් බ්ලොග් අවකාශයේ හොඳ හැටියට රවුම් ගහන්න පුළුවන් උනා.කොහොමත් ඉතින් නිවාඩුවක් ලැබෙනවා කියන්නේ අපි කොච්චර ආසාවෙන් ඉන්න දෙයක්ද කියල දන්න අය දන්නවනේ..:D

එහෙම කියවන්න පටන් ගත්ත බ්ලොග් වලින් සෑහෙන්න ප්‍රමාණයක් හිතට අල්ලපු ඒවා තමයි තිබුනේ.ඒ වගේ බ්ලොග් වලට පිස්සු වැටුන කෙනෙක් දන්නවා ඇතිනේ ඊළඟට මොකද්ද හිතෙන්නේ කියල..:)
ඒ ඉතින් මටත් මෙහෙම ලියන්න තියේනම් කියන එක තමයි..
අන්තිමට ඉතින් මමත් කරේ එහෙම හිතුන ගමන් බ්ලොග් එකක් හදපු එක.ඒත් ඉතින් බ්ලොග් එකේ දාන්න දෙයකුත් තියෙන්න එපැයි.
ගොඩක් වෙලාවට කල්පනා කර කර ඉන්න අතරේ හිතට එන ලස්සන අදහස් වගේම අමුතු අදහස් ඒ වෙලාවෙම කොලයක ලියලා පොඩි සටහනක් දාල තිබුන නම් කියල හිතුනේ එවෙලෙ.

අන්තිමට බ්ලොග් එක හදලත් ගොඩක් දවස්‌ යනකම් මුකුත් ලියන්නේ නැතුව කියව කියවම හිටියා..:)
දැන් තමයි ඔන්න ලියන්න පටන් ගත්තේ.
මේක මගේ පළමුවෙනි පොස්ට් එක නිසා කියවල හිතට එන හැමදෙයක්ම කියන්න කියල ආදරෙන් ඉල්ලනවා.ඕනෑම අදහසක්,යෝජනාවක් කියන්න.හරි නැත්නම් එහෙම හරි කියන්න.විශේෂයෙන් අඩු පාඩු කියනවනම් ලොකු දෙයක්.:)

පළවෙනියටම ලියන්න හිතුනේ අපි කාටත් කවදාවත් අමතක වෙන්නේ නැති කවුරුත් ආදරේ කරන දෙයක් ගැන.

අම්මගේ ආදරේ.

 අති බහුතරයක් කවියන්ට,ගීත රචකයන්ට වගේම සියලුම විදියේ කලාකරුවන්ට සොබාදහම විසින් ලබාදුන් අපූර්ව වස්තු බීජයක්.
භාෂාව,ජාතිය,ආගම,සංස්කෘතිය වගේ විවිධ වෙනස්කම් සහිත මිනිසුන්ට පොදු දෙයක් උන ඒ ආදරය සෙනෙහස ගැන තැනුන නිර්මාණ අනන්ත ප්‍රමාණයක් ඇති.
ඒ විදියට ලියවුන තවත් එක සිංහල ගීතයක් ගැනයි මේ කතාව..
සමහර අය අහල නැතුවත් ඇති.එහෙම නම් හොයාගෙන හරි අහන්න වටිනා ගීතයක්.නිකන්ම අහනවට වැඩිය මේක රස විඳලම බලන්න ඕන.
ගීතය තමයි විශාරද නන්දා මාලනිය ගයන චන්ද්‍ර මඬුලු යට සුරංගනාවන්....

 කවුරුත් අහල තියෙන ජාතියේ දරු නැළවිලි ගීයක් නම් නෙවෙයි මේක.බොහොමයක් එවන් ගීත ලියල තියෙන්නේ ලස්සන අපූරු ලෝකයක් මැවෙන විදියට සහ අහගෙන ඉන්නකොට සනීපෙට නින්ද යන විදියේ මිහිරි තනුවකට අනුවනේ.මේකත් ඉතින් තනුව ගත්තම නම් අහන් හිටියම අපිට උනත් නින්ද යන තරම් ලස්සන මිහිරි තනුවක්..:D


මේ විශිෂ්ට නිර්මාණයේ රචකයා මහින්ද අල්ගම මහතා..එදා මෙදාතුර ලියවුන ඉහලම ගණයේ දරු නැළවිලි ගීයක් කියල පිළිගැනීමක් තියෙනවා මේ නිර්මාණයට..රසවිඳලම බලන්න...

         ගීතයේ මුල් පද පේලි මෙහෙමයි.
චන්ද්‍ර මඬුලු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැලවිලි ගී මමයි කියන්නේ.....

අනිත් හැම ගීත රචකයෙක්ම වගේ ඔය වගේ උදාහරණයක් කියල තියෙනවනම් තියෙන්නේ සුරංගනාවෝ ඇවිත් පුංචි දරුවාව නලවන, දරුවා නලවන්නට මිහිරි ගීත ගයන ලස්සන පරිසරයක් අපේ හිත වල ජනිත කරවන අයුරින්..
ඒත් මේකේ එය දක්වන්නේ වෙනස් විදියකට..අම්මාගේ ළයාන්විත මිහිරි හඬින් ගයන ගීත තරම් අනික කිසිවක් සුන්දර නැති බව ඔහු අම්මාගේ වචන වලින්ම කියනවා..
වක්‍රව කියන්නේ අම්මා තරම් වටින සුරංගනාවියක් දරුවට ඉන්නවද? :)

ඊළඟ පද පේලි ටිකත් අහන්න..

රන් තැටියක කිරි පැණි පුරවාගෙන
හඳහාමි  දූ බලන්න එනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
හඳහාමි කෙලෙසද මෙහි එන්නේ..

කිරි මුට්ටිය නුඹේ ගඟේ ගියාලු
ගඟට උඩින් කිරි කොක්කු ගියාලු
දුවේ එපා ඒ කතා අහන්නට
මමයි නුඹට ලේ කිරි කර දෙන්නේ  ..

චන්ද්‍ර මඬුලු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැලවිලි ගී මමයි කියන්නේ.....

රන් තැටියක කිරි පැණි පුරවාගෙන හඳ හාමි එනවලු පුංචි පැටියව බලන්න..එහෙමයි අනිත් අය කියන්නේ.
ඒත් මේ අම්මා කියන්නේ හඳ හාමි කොහොමද දුවේ මෙහෙට එන්නේ..
මට හිතෙන විදියට නම් රචකයාට අනුව, අම්මා තරම් දරුවෙකුට ජිවිතයට ආලෝකය දෙන හඳක් තව කොහෙන්ද?
:)

අවසානයේ කියන්නේ කිරි මුට්ටිය ගඟේ ගියා, ගඟට උඩින් කිරි කොක්කු ගියාලු කියන කතාත් අහන්න එපාලු..කවුරුවත් පුංචි දුවට කිරි ගෙනත් දෙන්නේ නෑනේ.
අම්මනේ තමන්ගේ පුංචි පැටියට ලේ කිරි කරලා දෙන්නේ..

ඇත්තටම පුංචි දරුවෙකුට තමන්ගේ අම්මා,තාත්තා තමයි මුළු ලෝකයම වෙන්නේ.මේකේ කියවෙන්නේ අම්ම ගැන.ලස්සන සුරංගනාවියෝ,හඳ හාමි ..මේ හැමදෙයක්ම අම්මාගේ ලග තියෙනවා.අම්මාගේ ආදරේ ඒ තරම් උතුරා ගලා යනවා..
මේ විදියට අම්මව අගය කරන විදියේ මිහිරි නාදයක් දරුවට ඇහෙනකොට ඒවා සදාකාලිකවම ඒ පුංචි හිතේ තැන්පත් වෙනවත් ඇති..
මෙහෙම තමයි මේ අපූර්ව ගීතය ගැන මට හිතෙන්නේ..

ඔබේ අදහසත් කියලම යන්න....

මහින්ද මාමාගේ නීති සහ අපේ කලාව


අපේ මහින්ද මාමත් ඉතින් එක එක කාලෙට එක එක නීති දානවනේ. සමහර ඒවා නම් ඇත්තටම හොඳයි. ඒත් සමහර ඒවා නම් ප්‍රායෝගික නැහැ. මේ ඊයේ පෙරේදා ඉඳලා අලුත් නීතියක් දාගෙන. ඒක අයිති වෙන්නෙත් අර මම දෙවනියට කිව්ව ප්‍රායෝගික නොවන කුලකයට.
නීතිය තමයි ටෙලි නාට්‍ය, චිත්‍රපටි වගේ ඒවා වල “තමුසේ, තෝ” වගේ වචන පාවිච්චිය තහනම් කරන එක. අපරාදේ කියන්න බෑ. නියම ගොං කතාව. ඒකටම හරි යන්න ඒකට හූරේ දාගෙන ඒක ඒ විදියටම කරන්න ස්වාධීන රූපවාහිනී සේවය නම් කටයුතු කරලා තියනවා මම ඊයේ දැක්කා. අනිත් ඒවා ගැන හොයලා බලන්න තවම වෙලාවක් සෙට් උනේ නෑ.
මට තියන ප්‍රශ්නේ මෙන්න මේකයි. දැන් අපි හිතමු ඔන්න මොකක් හරි ටෙලි නාට්‍යයක එනවා ජවනිකාවක් දෙන්නෙක් බැනගන්නවා. එකෙක් හොඳටම තද වෙලා අනිකට කියනවා ගෙදරින් එලියට යන්න කියලා. එතකොට අර වචන ටික නැතුව ඒ දෙබස කියන්නේ කොහොමද ?
” ඔයා යන්න එලියට ” කියලද ?
එහෙම නැත්නම් තව ජවනිකාවක් එනවා එකෙක්ට හොඳටම තඩ වෙලා තුවක්කුවක් අරගෙන එනවා වෙඩි තියන්න. එතකොට මොන වගේ දෙබසක් යයිද?
” මම ඔයාව මරන්න කලින් මෙතනින් යන්න ” කියලද කියන්නේ.
ඒ ඒ අවස්තාවල් වල ඒ ඒ චරිතයට අදාල ආවේගය පිට කරන්නේ කොහොමද මේ වගේ වචන වලින් ? එහෙම කරාම ඒක තාත්වික රංගනයක් වෙනවද ? මහ ලොකුවට රන්මිහිතැන්න විවෘත කරනකොට නම් ට්‍රම්පට් ගැහුවා මහින්ද මාමා නලුවාය අරකය මේකය කලාවට ආදරේය කියලා. මරු නලුවා. මේවා තමයි අපේ දේශපාලනේ කරන එවුන්ගේ ගොං වැඩ. ඕවා කරලා ලමයි හදන්න පුලුවන් නම් ඒක මැජික් එකක්ම තමයි. අනිත් එක “තමුසේ” කියන වචනෙ නරක වචනයකුත් නෙමෙයි. ඒවා අපේ සිංහල වචන. මම අහලා තියන විදියට නම් “තමුසේ” කියන වචනේ හැදිලා තියන්නේ “තමුන්වහන්සේ” කියන වචනේ කොට වෙලාලු.
මේ තකතීරු නීති දාන මහත්තුරුන්ට ඉංග්‍රීසි කොච්චර දුරට තේරෙනවද කියන එක මේකෙන්ම පේනවා. එහෙනම් ඔය ඉංග්‍රීසි චිත්‍රපටි වල යන පට්ට අමු කුනු හරුපයි මුලින්ම නවත්තලා ඉන්න ඕන. එහෙම නැතුව මේ අපේ සිංහල වචන ටිකට කෙලින එක නෙමෙයි.

විදුලි බල මණ්ඩලය

ඔන්න මමත් සම්බන්ධ උනා සිතුවිලි පවුරට. මම සිතුවිලි පවුරට ලියන පලවෙනි ලිපිය මේක. ඉතින් මම හිතුවා ඒකට මට වගේම හැමෝටම තියන ප්‍රශ්නයක් ගැන කියන්න. ඒක තමා හිටපු ගමන් විදුලිය විසන්ධී කරන එක. අපේ පරිගණක පාවිච්චි කරන්න අපිට අවශ්‍ය වෙන විදුලිය ඒ වගේම ජනතාවගේ ගොඩක් කටයුතු කරන්න උදව්වෙන විදුලිය කිසිදු දැනුම් දීමකින් තොරව විසන්දි කෙරුවාම ඒ මිනිස්සු තම තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන්නේ කොහොමද? මේ ප්‍රශ්නය අපි ඇසිය යුත්තේ අදාල බලධාරීන්ගෙන් බව හැබෑව. ඒත් උන්ගෙන් ඇහුවාම කියන්නේ මොකක්ද? විදුලිය පිරිමැසීම සඳහා විදුලිය කප්පාදු කරන බවයි. ඉස්සර නම් විදුලිය කපන්නේ මාස දෙකකට සැරයක් විතර. ඒත් ගස්වල අතු කැපීම සඳහා. නමුත් දැන් හැමදාම පැයක් හෝ දෙකක් අනිවාර්යෙන්ම කරන්ට් කපනවා. සමහර විට දවසම උනත් විදුලිය නැහැ. උදේම වැඩට යන්න නැගිටින මිනිස්සුන්ට තමන්ගේ වැඩ කරන්න ගියාම විදුලිය නැහැ කියල තේරුනාම මොනවා හිතෙනවා ඇද්ද? හිතෙන දේවල් නම් ගොඩක් ඇති. සමහර විට විදුලි බල මණ්ඩලය සම්බන්ධ අයගේ අම්මලා ගැන මතක් වෙනවා ඇති. ඒ අයගේ අම්මලාට හිතෙන් සුබ පතනවාත් ඇති. මේ සේරම දේවල් උනාට පස්සේ මාසේ අන්තිමට රුපියල් දාහක දෙදාහක බිලක් නම් අනිවාර්යෙන් එනවා. ඒකෙත් අපි පාවිච්චි කරපු විදුලියට ගෙවන මුදලට අමතරව වැට් ඇතුලු සියලුම බදු ඇතුල් කරලා තියනවා. ඒත් බිල ගෙවන්න මාසයක් දෙකක් ගියොත් මොකද වෙන්නේ.....ඇවිල්ලා ලයිට් කපලා යනවා. ඉතින් මම අහන්නේ අපි දාහක් දෙදාහක් විදුලියට ගෙවලා අඳුරේ ඉන්නේ මොකටද? මට තියන ප්‍රශ්නේ ඒකයි.

ප.ලි. පෝස්ට් එක කොහොමද දන්නේ නෑ. මට ලස්සනට ලියන්නත් බෑනේ. කමක් නෑ ඔයගොල්ලන්ගෙ අදහසුත් දාලා යන්නකො. එහෙනම් මම යනවා. ඔබ සැමට ජය වේවා!

කුස රජු කී කව....




රුව ලෙසිනැ රම්බා
විලසැ නුඹෙ වත ම'නෙත සිම්ඹා
එයිනි හද නින්දා
අතැර පෙරවීයැ දැදුරු කම්ඹා
කැවුම් වත හංගා
ගනිමි සියපත් යටෙහි රිංගා
ලෙසිනැ සිතමින් මා
    සොඳුර දෑසිනැ නුඹව සිම්ඹා....

පෙමිනි හද නුඹැ වෙත
ඇලුණු සෙයියාවෙකිනැ සිහි මද
තැවෙන කල නිදි බිඳ
නැතියැ අනෙකුන් මගෙක් මා වෙත.
අහෝ පිය කමලිය
නොබලන් නෙතිනැ පිළිකුල
මගේ මුවැ කබලට
    නැතිද සෙනෙහස කියන් පබවත....




(පසුබිම් රුව ජයසිරි සේමගේ සිත්තරාණන්ගේ තෙළිතුඩු විස්කමකි ෴ උපුටා ගත්තේ සිළුමිණ පුන්කලසෙන්)

ඔන්න මංචිත් අද ඉඳන් සිතුවිලි පවුරෙත් දැලක් බඳින්නයි කල්පනාව..යාළුවො  හැමෝම මකුළු පැංචිගෙ වියමනේදි වගේම මංචිත් එක්ක එකතු වෙයි කියලා හිතනවා.. :))


මේඛලා -2

"අනේ මගේ ඔලුව පැලෙන්න වගේ රිදෙනවා ඉන්න බෑ අම්මා අම්මා......."

" ඩොක්ටර්... මෙන්න ලෙඩාට සිහිය ඈවිලා , ඔයාට කතා කරන්න හොඳ නෑ සඳරු පොඩ්ඩක් ඉන්න ඩොක්ටර් එනකල්"

" ප්ලීස් මිස් කියන්න මම මේ කොහේද ඉන්නේ කියලා , ඇයි මාව මෙහාට ගෙනාවේ?"

"මේ නුවර හොස්පිට්ල් එක, ඊයේ හවස තමා ඔයාව මෙහාට ඇඩ්මිට් කලේ"

"ඇයි ඒ? කෝ මගේ ගෙදර කට්ටිය? මම ඊයේ ට්‍රිප් එකක් ආවානේ එයාලා එක්ක"

"පොඩ්ඩක් රිලැක්ස් වෙන්න තව ටිකකින් ඩොක්ටර් ඒවි ඊට පස්සේ මේ හැමදේම එයා තේරුම් කරලා දේවි ඔයාට"

"අන්න ඩොක්ටර් එනවා ඔයා ඩොක්ටර් එක්කම කතා කරගන්නකෝ සඳරු"

"ගුඩ් මෝනින් සඳරු"

"ගුඩ් මෝනින් ඩොක්ටර්, ඇත්තටම මට මොකද උනේ ඩොක්ටර්"

"ඊයේ හවස ඔයාගේ අම්මලා තමා ඔයාව මෙහෙ ඇඩ්මිට් කලේ , හිටි ගමන් ඔයාට සිහි නැතිවෙලා ඔයාට මතකද මොකද උනේ කියලා"

"ම්ම්ම් ඔව් අපේ නංගි මේඛලාට බැන්නා ඊට පස්සේ මම කේන්ති ගිහින් එයාට ගැහුවා ඊට පස්සේ ඇති උන කතා බහෙන් පස්සේ වෙන්න ඇති මට සිහි නැති උනේ"

"හ්ම්ම්ම් ඔවීට පස්සේ ඔයාට සිහි නැති වෙලා  එවෙලාවේ තමා ඔයාව මෙහෙට ගෙනාවේ"

" හ්ම්"

"දැන් බය වෙන්න දෙයක් නෑ අද හවසට ඔයාට ගෙදර යන්න පුලුවන්"

" කෝ ඩොක්ටර් මගේ ගෙදර කට්ටිය"

එයාලා තව ටිකකින් ඒවි"
" ඩොක්ටර් පුලුවන්ද මට පොඩි උදව්වක් කරන්න මම හිතනවා ඩොක්ටර් මම ඉන්න තත්වේ තේරුම් ගනියි කියලා"

"කියන්න සඳරු මට පුලුවන් දෙයක් නම් මම කරන්නම්"

" මට ගෙදර යන්න බෑ ඩොක්ටර් මට ටික දවසකට මෙහෙ නතර වෙන්න තැනක් හොයලා දෙන්න පුලුවන්ද? ගෙදර ගියාම මට මේඛලාව මතක් වෙනවා"

"ඒකට ඔයාගේ අම්මලා කැමති වෙයිද?"

"මම උත්සහ කරල බලන්නම් එයාලාව කැමති කර ගන්න.ඒත් ඩොක්ටර්ත් පොඩ්ඩක් එයාලාට තේරුම් කරලා දෙන්න බලනවාද?"

"ඕකේ අයි විල් ට්‍රයි ටු ඩූ මයි බෙස්ට්"

"තෑන්ක්ස් ඩොක්ටර්"

" මම දෙයක් ඇහුවාට කමක් නැද්ද සඳරු?"

"කමක් නෑ ඩොක්ටර් අහන්න"

" කවුද මේඛලා කියන්නේ?"

" ම්ම්ම්ම්ම්ම් මේඛලා.... ඒ මගේ ජීවිතය,මගේ ආදරය, මගේ හැමදේම එයා තමා"

"ඉතින් ඇයි එයාව මතක් වෙනවට ඔයා අකමැති සඳරු"

"ම්ම්ම්ම් ඒක දිග කතාවක් ඩොක්ටර්"


පි‍ටු පෙරලපු ගාන