කොපි කිරීමේ නිදහස

Friday, February 3, 2012
මේ දවස් වල නිදහස ගැන මහා ඉහලින් කතා වෙන හින්දා, මට හිතුණා මෙහෙම මාතෘකාවකට බහින්න.

පොඩි කාලෙ ඉඳං ම සමහරු පුරුදු වෙලා ඉන්නේ කොපි කරන්ට. ඉස්කෝලෙදි ගෙදර වැඩ කරගෙන නාවාම ගෙඩි පිටිං කොපි කරන එක විතරක් නෙවෙයි.. ඊටත් පුංචි කාලෙ ඉඳලා කරන අනිත් අයව අනුකරණය කිරීමත් කොපි කිරීමක් තමයි.. ඉතිං හිතලා බලන්ටකෝ අපි කවුරු කවුරුත් අඩු වැඩි වශයෙන් කොපි කොරලා නැද්ද කියලා..

අනුකරණය වගේ දේවල් හොරකමක් හැටියට නොසැලකුවාට සමහර දේවල් කොපි කිරීම හොරකමක් හැටියට තමයි සලකන්නේ..  ගී පද, ගී තනු ප්‍රසිද්ධියේ හොරකම් කරන්ට ගත්තත් ඊට විරුද්ධව ඒ තරම් ලොකු බලවේගයක් ඇති වුණේ නෑ..

පරිගණක තාක්ෂණයේ දියුණුවත් එක්ක පරිගණක මෘදුකාංග, පරිගණක ගත ලිපි ලේඛණ වගේ දේවල් හොරකම් කිරීම වැඩි වුණා. MP3, වීඩියෝ වගේ දේවලුත් අන්තර්ජාලය හරහා අධික වේගයෙන් පැතිර ගියා..
මෘදුකාංගයක්, ලිපියක්, කවියක්, සාහිත්‍ය ප්‍රබන්ධයක්, සිංදුවක් ආදී ඕනෑම නිර්මාණයක පරම අයිතිය නිර්මාණකරුවා සතු වෙන්න ඕන කියන එක මම විශ්වාස කරනවා.. ඒ නිර්මාණ්ය නොමිලේ බෙදා දෙනවද, නැද්ද කියලා තීරණය කළ යුත්තේත් නිර්මාණකරුමයි..

අපේ සමහර බ්ලොග් වල රයිට් ක්ලික් කරන්ට බෑ, පණිවුඩයක් එනවා කොපි කොරන්ට එපා කියලා.. ඒක එයාලගෙ අයිතිය. ඒත් මගේ බ්ලොගයේ හෝ මම අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරන ඕනෑම නිර්මාණයක් කොපි කළාට මගේ අමනාපයක් නෑ.. (හැබැයි මගේ අයිතිය මට තියලා.. ඒ කියන්නේ මට ඒ නිර්මාණය වෙන තැනක පළ කරන්ට අයිතිය තියෙන්ට ඕන) කැමති නං මගේ නිර්මාණයක් කියලා කියන්ට, එහෙම නොකිවුවත් ප්‍රශ්නයක් නෑ..

මං එහෙම කියන්නේ.. මේකයි.. මං බ්ලොග් ලිපි හෝ වෙනත් නිර්මාණයක් පළ කරන්නේ.. මෙන්න මගේ වැඩ.. කියලා පෙන්නන්න නෙවෙයි.. ඒකෙ තියෙන මොකක් හරි වැදගත් දෙයක් තේරුං අරගෙන හැදෙන එකෙකුට හැදෙන්ටයි.. ඉතිං ඔය අදහස වැඩි දෙනා අතරට යනවා නං තමයි මගේ අරමුණ ඉටු වෙන්නේ.. කාගේ නම ගියත් මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි..

කොපි කරන කෙනාගේ යුතුකමක් තියෙනවා.. (අපේ බොහෝ දෙනා ඒ දේ කරනවා) කොපි කළේ කොතනින්ද, කින්ද, මන්ද කියලා පොඩි නෝට් එකකුත් එක්ක අදාල නිර්මාණය එළියට දාන්න..

හැමෝම එහෙම කරනවා නම් මේ ලෝකෙ මීට වඩා සුන්දර වෙනවා.. එහෙම නොකලත් ලෝකෙ සුන්දරයි..
වැදගත්ම දේ කොපි කිරීමෙන් පැවැත්ම හදාගන්න බෑ.. ඒකට නිර්මාණශීලීත්වය අවශ්‍ය මයි..

ප.ලි
කියන්ටම කියලා හිතාගෙන හිටපු දෙයක් අමතක වුණා.. අපේ සයිබරයේ බොහොම දෙනා (පැහැදිලිවම) යහපත් අරමුණින් දුර්ලභ සහ වටිනා නිර්මාණ අපිත් එක්ක බෙදා ගන්නවා.. ඒක නිර්මාණකරුට කෙසේ වෙතත් රස විඳින අපට නම් ලොකු උදවුවක්.. ඉතිං අපි පිනුත් අනුමෝදන් කරනවා ඒ වගේ මිත්‍රයින්ට.. ඒත් ඒ වැඩෙත් ඒ තරම්ම සාධාරණ නෑ කියලා හිතෙන්නේ තමන්ගේ නිර්මාණ ස්ප්‍රෙඩ් වෙන එක නවත්තන්න සමහර නිර්මාණකරුවෝ දරණ උත්සාහය නිසයි.. මේවා කියවලා අපේ තිස්ස අයියා (හද ගී පොත ලියන) එහෙම සිංදු දෙන එක නැවැත්තුවොත් එහෙම මහා වින්නැහියක්.. (විහිළුවට කිවුවට.. තිස්ස අයියා තමන් ලබා දෙන සිංදුවේ නිර්මාණකරුවාට ලබා දෙන්නේ ඉතා ඉහල ගෞරවයක්..ඒ වගේම ඒවා දුර්ලභ හා අපිට අහන්ට නොලැබෙන ගී.. ඉතිං නිකං තියෙන ගීතේ අපිට අහන්ට දීලා ආයෙත් මිනිස්සු අතරට ගෙනැල්ලා තිස්ස අයියා කරන්නේ ඇත්තටම පිනක්.. ) . හැබැයි සමහරු නම් ඉවක් බවක් නැතුව අනුන්ගේ දේවල් හොරකම් කරලා එළිපිට නොමිලේ බෙදා හරිනවා.. මෘදුකාංග වල ක්‍රැක්ස් එළිපිට බෙදා හරින අයත් ඉන්නවනේ..


 


කැම්පස් යන නංගිලා මල්ලිලා වෙත ආදරයෙන්...

මේ ලිපිය ක්සැන්ඩරයා ගේ කොළමේ 26/01/2012 දින පලවූ ලිපියක් නැවත පල කිරීමකි.



කැම්පස් යන නංගිලා මල්ලිලා වෙත ආදරයෙන්...


අවුරුදු 13 ක පාසල් ජීවිතෙන් පස්සේ තවත් හොඳට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් නෝනා කෙනෙක් වෙන්න හිතාන කැම්පස් එකට අඩිය තියපු ඔයාල කරන කියන දේවල් දැක්කම මට මේක නොකිය ඉන්න හිතක් ඇත්තෙම නැති තරම්.

පුංචි බැංකු කෑල්ලක එල්ලිලා පස්ස හිරිවටෙනකම් ටියුෂන් ගිහින් ඉගනගන්නකොට හැමදාම අපි හිතුවේ කොහොමහරි පාස් වෙලා කැම්පස් යනවා කියල. ලෙවල් කරනකොට අපි හිතුවේ කවදාහරි ඒ ලෙවල් පාස් වෙලා කැම්පස් යනවා කියල. ඊටත් කලින් අපි හිතුවේ මං දොස්තර මහත්තයෙක් වෙනවා.. ඉංජිනේරුවෙක් වෙනවා කියල. ඉතින් එහෙම හිතාන අපි රෑ එළිවෙනකම් කකුල් වතුරේ ඔබාන පාඩම් කලා.. බනිස් ගෙඩියක් බත් මුලක් අරන් ගිහින් කාල පන්ති ගියා.. මහා අව්වේ කර වේවි.. මහා වැස්සේ තෙමි තෙමි.. අපි ඉගනගත්තේ අපේ හීනේ හැබෑ කරගන්න..අපේ අම්මල අප්පච්චිලා දහ දුක් විඳලා හම්බ කරලා උගැන්නුවාට ඒ අයට පස්සේ කාලෙක සලකන්න..

ඉතින් එහෙම ඉගනගෙන කැම්පස් ආපු ඔයාල මේ දවස්වල කරන අරගල ගැන දැක්කම මට හිතෙන්නේ ඔයාල ලංකාවේ බෙලහීන දේශපාලනේ තවත් එක ගොදුරක් වෙලා කියල. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් හැටියට කොන්ද කෙලින් තියාගන්න ඕනේ ඔයාල මේ ලංකාවේ වැදගම්මක් නැති දේශපාලන බලවේග වල තවත් එක අතකොලුවක් වෙලා. ඉගනගන්න ආව ගමන පැත්තක තියල රූකඩ ශිෂ්‍ය ව්‍යාපාර ගෙනියන බොළඳ රැල්ලට අහුවෙලා ගහගන ගිහින් ඉන්නවා දැක්කම මටනම් හිතට වේදනාවක් දැනුන..

මමත් ඔයාල වගේම පන්ති ගිහින් ඉගනගෙන විභාග ලිව්වත් කැම්පස් යන්න හම්බවෙන 20000 වන ශිෂ්‍ය ප්‍රජාවට අයත් නොවුණු කුලකයේ එකෙක්. එත් මගේ පූරුවෙ වාසනාවට මගේ අම්මලාට පින් සිද්ධ වෙන්න මම පුද්ගලිකව ඉගෙනගෙන අද ගොඩක් හොඳ තැනක ඉන්නවා. එත් මගේ එක්ක එක පන්තියේ ඉගනගෙන කැම්පස් ගියපු සමහර යාලුවෝ අද මං ඉන්න තැනට කිට්ටුවට එන්නත් බැරිව ඉන්නවා. එහෙම උනේ එයාල ඉගනගන්න අදක්ෂ නිසාවත් වෙන දෙයක් නිසාවත් නෙවෙයි. ඒ අයත් ඉගනගත්ත. එත් කැම්පස් වහද්දි ගෙවල් වලට ගිහින් ආයේ අරිද්දි ඇවිත් ඉගෙනගෙන අපහු වහද්දි ගෙදර ගිය එකේ කාලය එයාලට නොලැබුන හින්දයි එහෙම උනේ.. එයාල කාලය එක්ක තිබ්බ රේස් එකෙන් පැරදුණා.. ඉතින් එයාලට උනෙත් කැම්පස් වල දේශපාලන අතකොලු වෙන්න. පිකට් කරන්න කඳුළු ගෑස් කන්න පොලිසි උසාවි වල රස්තියාදු වෙන්න කාලය වැය කරන්න. ඒ කරපු දේවල් වලින් රටට වෙච්ච යමක් නෑ. තමන්ගේ කාලය නැති උනා මිසක්..



අරගල කරන්න ඕනේ. ඒකත් එක සොඳුරු අත්දැකීමක්.. ඒත් සීමාවක් ඇතුව. අද දකින අරගල සීමා මායිම් නැති හුදෙක් චන්ඩිකම් කරන අරගල වෙලා.. මිනිස්සුන්ට ගහන්න ගෙවල් වාහන කුඩු කරන්න මිනිස්සුන්ගේ ගමනාගමන නිදහසට බාදා කරන්න අද අරගල වෙසින් ශිෂ්‍යයින් මෙහෙයවනවා. ඇත්තටම රටේ බුද්ධිමතුන් කියාගන්න ඔයාලට තරම් වැඩ නෙවෙයි නේද මේ? 

ඔය අතරේ කැම්පස් වල තියන වර්ගවාදී පටු භේද ආදිය මටනම් හිතෙන්නේ කුහක කමින් කරන කෙනහිලි කියල. මේ කැන්ටිම තියෙන්නේ දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට ඒකට තොපි එන්න ලජ්ජා නැද්ද? ඔය හොඳ හෝටල් තියෙන්නේ ගිහින් කාපියව් කියල බඩගින්නට කන්නට එන තමන්ගේම ෆැකල්ටියේ තවත් එක ශිෂ්‍යෙක්ට ශිෂ්‍යාවකට කියන්නේ පටු පන්ති භේදය මුල් කරගත් කුහක කමෙන් නෙවෙයිද? ඇත්ත සමහරුන්ට හොඳට සල්ලිය බාගේ තියෙන්න පුළුවන් ඒත් ඒ දරුවත් එන්නේ ඉගනගන්න. සමහරුන්ට පේන තරමට සල්ලි නොතියෙන්නත් පුළුවන්. ඉන්ටර්නැෂනල් ස්කුල් වලට ගියපු උන් එන්නේ නෑ කවදාවත් ඔය කැම්පස් වලට. උන් එංගලන්තේ ඇමරිකාවේ යයි. එහෙනම් මේ කාටද මෙහෙම කියන්නේ?

තව දෙයක් තම කැම්පස් රැග. පොඩි විහිළුවක් දෙකක් කරන අහිංසක රැග නම් ඕනේ කෙනෙක් එපා නොකියාවී. ඒත් දැන්? ලිංගික අසහනකාරයෝ අසහනකාරියෝ රෑනක් ම කැම්පස් එකේ ඉන්නවා කියන්න පහුගිය ටිකේ පුවත්පත් වල ගිය පුවත් ප්‍රමාණවත්. කෙල්ලන්ගේ කොල්ලන්ගේ කියල වෙනසක් නැතිවම මේ එන්නෙත් අර තියන කුහකත්වයේ තවත් එක පැතිකඩක්.

ඉතින් ඉස්කෝලෙන් හොඳට ගිය එකා කැම්පස් ගියගමන් මේ වෙනස් වෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නය ඔබට බාරයි.. හිතන්න.. රටේ හෙට දවස ඔබ අතේ නම් අද ඔබ හොඳ පුරවැසියෙක් විය යුතුයි. ඔබේ කාලය නාස්ති නොකර ඉගනගන්න.. තරඟකාරී ලෝකයේ තරගයට ඉක්මනින් පා නගන්න.. අපි බලන් ඉන්නම්..

එසේනම් කඩතුරා ඉරා සත්‍ය දකින්න කාලයි මේ....

පි‍ටු පෙරලපු ගාන