අපි නිදහස් ද??

Sunday, September 11, 2011



මම දැං ඇහුවොත් කාගෙං හරි කැමතිම ඇඳුම මොකක්ද කියලා කොල්ලෙක්නං ටක් ගාලා කියයි ඩෙනිම කියලා.නැත්තං කොට කලිසම කියලා.කෙල්ලෙක්නං ගොඩක් වෙලා අරගෙන කල්පනා කරලා කරලා අපිට අපිවම එපා වේගෙන එනකොට මොකක් හරි පාටක්, හැඩයක්, රෙද්දෙ වර්ගයක්, ගන්ඩ පුළුවං තැනක් එක්කම මොකක් හරි විච්චූරණ ඇඳුමක් කියයි.මම මේ කියන්ඩ හදන්නෙ මම කැමතිම ඇඳුම ගැන.ඒ තමයි සරම.........

සරම වනාහී සුපිරි ධනපති පන්තිය විසින් සිය තත්වය පෙන්වීම සඳහාත් අන්ත දුප්පත් කම්කරු පන්තිය විසින් මූල්‍යමය පහසුව නිසාත් අඳිනු ලබන්නාවූද, අඳිනු ලබන පුද්ගලයාගේ පෞරුෂත්වය හා ආර්ථික මට්ටම මත අගයනු ලැබීමට හෝ ගැරහීමට ලක්වන්නාවූ වස්ත්‍රයකි.දේශපාලනයේදී සරම විසින් ඉටු කරනු ලබන කර්තව්‍යය විශ්මය ජනකය.ජෙනරාල් සිය දේශපාලනය ඇරඹුවේ සරමට බැසීමෙනි.රවී ලොක්කාද රනිල් ඉවත් වී තමාට නායකකම දෙතැයි සිතා සරමට බැස්සේය.නායකකම ලැබීම සුදු අලියෙකු බැව් තේරුම්ගත් පසු ඔහු නැවත ටයිකෝට් අඳින්න පටන් ගත්තේය.තවද සරම නිසා පාලකයා පාලිතයාට සමීප බවක් හඟවයි.අපේ රටේ ජනතාව මෙසේ සරමට රැවටුනේ වරක් දෙවරක් නොවේ.මෙහි ඇති ආතල්ම කොටසනම් ඉදිරියටද ඔවුන් රැවටිය හැකි වීමයි.

සරමේ අනුසස් කියා රජවූ පසු වරක් බණ්ඩාරනායක් ලොක්කා සුනඛ ප්‍රදර්ශනයකට ටයිකෝට් දමාගෙන ගොස් මාට්ටු උනේය."බලු වැඩ බලන්න යන්න ඕනෙ බලු ඇඳුමක් ඇඳගෙන" කියා ලොක්කා ගැලවුනේය.ජනතාව රැවටුනෝය.

සරම තමාගේ පෞරුෂය ප්‍රදර්ශනය කිරීමටද භාවිතා කළ හැක.චණ්ඩියා ප්‍රතිවාදියා ඉදිරියේදී සරම ඉහලට කර කොටවෙන්න නැවත බැඳගනී.දීනයා ලොක්කන් ඉදිරියේ දී සරමේ ගැටය කඩා සරම දිගට ඇඳගනී.සරම පපුව ආසන්නයෙන් ඇඳගෙන සිටීමෙන් උදේ අවදි වූ ගමන් බව හෝ බීමතින් සිටින බව ප්‍රදර්ශනය කළ හැක.


සරමේ ඇති වාසිනම් පහසුවෙන් කෙටි වේලාවක් තුලදී ඇඳගැනීමට හෝ ගැලවීමට හැකිවීම, මුත්‍ර කිරීමේ පහසුව, සමස්ත ශරීරයේම සිසිල් සුළං ලැබීමේ අයිතිය තහවුරු කිරීම, සරමේ සිට වෙන ඇඳුමකට හෝ වෙන ඇඳුමක සිට සරමට මාරු වීමේදී පිටස්තර ආවරණයක පිහිට අනවශ්‍ය වීම් (මෙහිදී කළ යුත්තේ සරමේ ඉහල කෙළවර කටින් සපාගෙන සරමෙන් නිරුවත වසා ගන්නා අතරම සරම ඇඳීම සඳහා අනිත් ඇඳුම ගැලවීම හෝ අනිත් ඇඳුම අඳින තෙක් සරම ආවරණයක් ලෙස හෝ භාවිතා කිරීමය.මෙහිදී සරම ද්විත්ව ක්‍රියාවක් කරයි.), කුඩා දරුවන් නැළැවීමට භාවිතා කළ හැකි වීම (මේ නිසා ගම්වල කාන්තාවෝ සිය ස්වාමි පුරුෂයන්ව සරම් ඇඳීමට දිරිමත් කරවති.), කැසපටකවා ගැනීමෙන් අමුඩයක් ලෙස ඇඳිය හැකි නිසා ගස්වලට නැගීමටද භාවිතා කළ හැක.වහාම ගැටය කඩා දමා නැවත සරම ලෙස ඇඳිය හැකි නිසා සරම හොරපොල් කඩන්නන්ගේ නිල ඇඳුම ලෙසද භාවිතා වේ.බස්වල ගමන් කරන ජැකී චෑන්ලා හා මයිකල් ජැක්සන්ලා ද සරමෙන් මහඟු ඵල නෙලා ගනිති.

ප්‍රධානම වාසිය වන්නේ සරමක් මිලට ගන්නා විට එය ඇඳ උස හා ඉණ හරිදැයි බැලීමට අනවශ්‍ය වීමය.උස මදි වීම ගැටළුවක් උවද, උස වැඩි වීම කිසිසේත්ම ගැටළුවක් නොවේ.කළයුතු වන්නේ සරම අඳිනවිට එහි ඉහත කෙළවරෙන් තීරුවක් ඇතුළු පැත්තට නවා ඇඳීමයි.වයසත් සමඟ උස යන විට මෙසේ නමන්නාවූ තීරුව ක්‍රමයෙන් අඩු කිරීම මඟින් නිසි උසින් යුත් සරමක් දිගු කාලයක් ඇඳීමේ භාග්‍ය හිමිකරුට ලැබේ.අමතර කරුණක් ලෙස සරම සේදීම අනිකුත් ඇඳුම්වලට(ප්‍රධාන ඇඳුම් ) සාපේක්ෂව පහසු වන අතර ඉක්මනින් වේලීමද සිදුවේ.පාඩම් කරන දරුවන්ගේ කකුල් මදුරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමටද සරම භාවිතා කළ හැකිය.

සරමේ අවාසි කීපයක්ද ඇත.ප්‍රධානම මෙන්ම භයානකම අවාසිය වන්නේ ඕනෑම මොහොතක ගැලවී වැටීමේ අවධානමයි.නමුත් මේ තත්වය ඉණ පටියක් හෝ දිය ලණුවක් බැඳීම මඟින් හෝ කාලයත් සමඟ පළපුරුද්ද තුළින් ලඟා කරගත හැකි තද ගැටයක් යොදා සරම ඇඳීමේ හැකියාව ලබා ගැනීම තුළින් මඟහරවා ගත හැක.අනෙක් අපහසුවනම් සාක්කුවක් නොමැති වීමය.මේ නිසා විවාහ මංගල්‍යයක් වැනි දෙයකට සහභාගි වන විට ජංගම දුරකථනය හා මුදල් පසුම්බිය අතේ තබා ගැනීමට සිදුවේ.දං, හිඹුටු, එරමිණියා වැනි දෑ සරමේ ඔඩොක්කුවේ දමාගෙන ගොස් කෙල්ලන්ට දීම කළ හැකි මුත් මඟුල් ගෙදරකට යන විට ජංගම දුරකථනය හා මුදල් පසුම්බිය ඔඩොක්කුවේ දමාගෙන යාම එතරම් උචිත නැත.ජංගම දුරකථනය උඩ සාක්කුවේ දමාගත හැකි මුත් බීමත් වූ පසු එය අස්ථානගත වීමේ අවධානම වැඩිය.ජංගම දුරකථන රැඳවිය හැකි ඉණපටියක් පැළඳීම යෝග්‍ය මුත් මුදල් පසුම්බිය එහි තැබිය නොහැකි නිසා එය බිරිඳට දීමට සිදුවේ.නමුත් ඊට වඩා මුදල් පසුම්බිය හොරෙකුට දීම මනාය.

සරම ඇඳගෙන නිදාගන්නා පුද්ගලයින් නිතරම කාමරයේ දොර වසා ඇතුලතින් අගුලු දමාගෙන සිටීම යෝග්‍යය.එවිට උදෑසන මව පැමින දොරට ගසන විට බිම ඇති සරම ඇඳ ගැනීමට හෝ සරම ගැලවී නැත්නම් කූඩාරම බා ගැනීමට අවකාශයක් ලැබේ.


මෙසේ සියලු වාසි අවාසි සලකා බැලුවිට සරම වනාහී ඉතා වාසි සහගත වන්නා වූද එහි ඇති දුර්ගුණ පහසුවෙන් මගහරවා ගත හැකි වූද ඇඳුමක් බැව් නිගමනය කළ හැක.මට ඇත්තේ එකම එක කොට කලිසමක් පමණක් උවද සරම්නම් තුන හතරක් ඇත.නමුත් එක සරමක් අඳින්නට ගත් විට එය ඔළුවෙන් පහලට දැමීම නාසය විසින් ප්‍රතික්ෂේප කරන් තුරු ඒකම ඇඳීම මගේ සිරිතය.

සරම් අඳින්න නිදහස අත් විඳින්න.කලිසමෙන් සරමට මැයෙන් ජාතික ව්‍යාපාරයක් ගොඩ නගමු.සුද්දා අපිට අහිමි කළ නිදහස රැකගන්න පෙරට එමු.අනුගාමිකයෙක් නොවී බුද්ධියෙන් විමසා බලා සරම අගයමු.සරම රැක ගමු.අනාගත පරපුර වෙනුවෙන් අපේ යුතුකම් කොටස ඉටු කරමු.සරමට තැනක් දෙමු.

අපි නිදහස්! පව් රනිල් තාම කලිසං අඳිනවා.......

9 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

sameera said...

ඔය උඩ තියන පින්තූරෙ මොකද්ද හැබෑට ම ?

Anonymous said...

එළ එල

පිසාචයා said...

නියමෙට ලියල තියෙනවා...
ඇත්තටම අර පොටෝ එක මොකක්ද.....කලිසමක් ඇඳපු එක්කෙනෙක්ට අනිත් අය හිනාවෙනවද....

ක්සැන්ඩරයා said...

මරේ මරු... හැබැයි මට සරම් ඇලෙර්ජික්

දිනුක said...

@sameera : මට හිතෙන්නෙ කලිසමක් ඇඳගත්තු එක්කෙනෙක් වැටිලා සරං ඇඳගත්තු දෙන්නෙක් නැගිටින්න උදවු කරනවා වගේ.ඒකයි ඒක දැම්මෙ.

@Ano:ඉස්තූතියි ඉස්තූතියි

@පිසාචයා : මටත් හිතෙන්නෙ සරං කාරයො ටික කලිසං කාරයාට කින්ඩියට හිනාවෙනව කියලා

@ක්සැන්ඩර් : ඔය ඇලර්ජික් එක තියෙන්නෙ පුරුදු වෙනකං විතරයි.ඊට පස්සෙ සරම නැතුවම බැරුව යනවා......

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

එළ, එළ... මුලදී සරම ඇලජික් වුනත් කසාදෙට පස්සේ නම් පුරුදු වෙන්නම වුනා... දැන් නම් ඉතින් සරම ගෙදර වගේ තමා...!

දිනුක said...

@චතුරංග පෙරෙරා : බැන්දට පස්සෙ සරම ඇන්දම ලේසිනේ නේද?......හඃ හඃ හා

චතුර විජේකෝන් said...

සරම පහසුයි තමයි... මාත් ගෙදරදී වැඩිපුර අඳින්නේ සරම තමයි. ඒත් කොට කලිසම ඊට වඩා ලේසියි කියලයි මට හිතෙන්නේ. පොඩි වුන් සරමේ එල්ලෙන විදිහට කොයි වෙලාවෙ හරි ඕක බිම තියෙයි කියලත් හිතෙනවා...

Unknown said...

හෑ උඹ නේද අර රොකට් යවන කතාව ලිව්වෙ...මේකත් පට්ටයි ඈ :D :D උඹට හොඳ අනාගතයක් තියනවා කවුරු හරි ඉස්සුවෙ නැත්නම් :P

Post a Comment

පි‍ටු පෙරලපු ගාන